පුරවැසි කොලම

ලොව යම් දර්ශණයක් මත පදනම්ව මහා ශිෂ්ටාචාරයක් ගොඩනැගූ රටවල් දෙකකි. එක් රටක් චීනයයි. ඒ කොන්පියුසිස් දහම මත පදනම්වය. අනෙක් රට බුදුන් වහන්සේගේ ධර්මය හා දර්ශනය කේන්ද්‍ර කරගනිමින් බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ අපේ ශ්‍රිලංකාද්වීපයයි. මේ රටවල් දෙකම ආසියාතික වීමත් එසේම ඉතිහාසය අවුරුදූ තුන්දසකට එහාද දිවෙන්නකි. ලෝකයට අති විශිෂ්ඨ උරුමයන් දායාද කර දුන්නෝද අපිම වීම අරුමයක් නොවේ. කවුරුත් දන්නා පරිදී චීන මහා ප්‍රාකාරය සාමුහිකත්වයේත් කැපකිරිමේත් එක්සිත්ව එක්සත්බවේත් මහා සංකේතයකි. ලේ කදුලු දහඩිය හා අති ශෝචනීය මරණ මතින් ගොඩනැගුනු එවන් විශ්මිත ප්‍රාකාරයක් විශ්වයේ නොමැත. ලොව වෙනස් කල සොයාගැනීම් වූ වෙඩි බෙහෙත් හා මුද්‍රණ යන්ත්‍රද සොයා ගැනුනේ චීන්නුන් විසිනි. තවත් බොහෝ දේ ඇති බවද සැබැය. අපිද ජාතියක් විධියට චීනයට නොදෙවෙනි විශිෂ්ඨ නිර්මාණයන් ලොවට හදුන්වා දුන් ජාතියකි.

ලොව කිසිදු රටක අදටත් ගොඩනංවාලිය නොහැකි ලොව විශිෂ්ටතම වාපි කර්මාන්තය අප සතුය. ක්‍රිස්තූන් වහන්සේ උපදින්න පෙරාතුව රුවන්වැලි සෑය , ලෝවාමහාපාය වැනි සුවිසල් නිර්මාණ කළෙමු. එයද සාමුහිකත්වයේත් , කැපවීමෙත්, එක්සිත්ව එකසත්බවේත් සංකේතයයි. එවන් පරිදිම අප කිසිම දවසක යුධමය ලෙස පරාජය කළ නොහැකි වූ මහා වීරත්වයෙන්ද පිරිපුන් ජාතියක්ද වන්නෙමු. ලොව බලගතුම රාජ්‍යයන් පවා පරාජය කල නොහැකියැයි කියූ පිරබාහරන්ගේ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබුවේද එනිසාය .

ලෝකයට ගුවන් යානාව හදුන්වා දුන්නේ රයිට් සහෝදරයන් යැයි අපට කුඩා කල උගැන්වූවා මතකය. එහෙත් වසර හාර පන්දහසකට පෙර දඩුමොණරයෙන් අපේ රාවණා රජ්ජුරුවෝ උඩින් ගිය බවට අපේ අත්තම්මලා අපිට කියා දී තිබේ. එසේ උඩින් ගියපු යන්ත්‍රයක් ගැන මනස්කල්පිතයක් හෝ මවන්න අපේ රාවණා රජ්ජුරුවෝ මහා දැවැන්තයෙක් විය. ඔහුගේ යුද්ධය වූ රාම රාවණා සංග්‍රාමය කතා පුවත අපේ අත්තම්මලා කියන විට අපි කට බලියාගෙන අසා සිටියෙමු. එවන් නිර්භීත ජාතියක් ලොව නැති බවට අදද අපිට විශ්වාසය. ගැමුණු එළාර සංග්‍රාමයේ සිට මහින්ද පිරබාහරන් සංග්‍රාමය දක්වාම ඓතිහාසික වීරත්වයෙන් හා සාමුහිකත්වයෙන් කැපවීමෙන් ලැබු ජයග්‍රහණයන් බොහෝය.. නිර්ලජ්ජිත පාවාදීම් නිසා රටක් විධියට ජාතියක් විධියට අප කඩා වැටුනු අවස්ථාවන්ද නැතුවා නොවේ. විශේෂයෙන්ම විශ්වයම සලිත කල රාම රාවණා සංග්‍රාමය බලසම්පන්න රටවල් දෙකක බලවත් රජවරු දෙදෙනෙක් අතර ඇතිවන මහා සංග්‍රාමයකි. රාවණා රජ්ජුරුවෝ යනු අහසද පොළොවද සාගරයද එක සමානව ජයගත් මහා බලවන්තකමේ සංකේතයකි.

ඔහුව සියලු ක්ෂේත්‍රයන් අතික්‍රමණය කල රජෙකි. මහා මිනිසෙකි.ඔහුගේ සහෝදයන් හා පුතුන් නිසා තව තවත් බලවන්තයෙක් ලෙස විරාජමානත්වයට පත් විය. එහෙත් අවසානයේ මේ බලසම්පන්න රාවණා රාමාට පරාජය වන්නේද තම සහෝදරයා වූ විභීෂණ නිසාය. විභීෂණ යනු රාවණා ගේ එක කුස උපන් සහෝදරයෙක් නොවුනද එකම ලේ දුවන දැඩි සහෝදර බැම්මකි. එහෙත් විභීෂණට තිබුනු බල සිහිනය නිසාම රාමගේ සෙන්පතියෙකු වූ හනුමන්තා සමග රහසේ සබදතා තර කරගනිමින් රාවණා පරාජය කරන්නට ඉතාමත් සූක්ෂමව එහෙත් සක්‍රියව කටයුතු යොදයි. රාවණා සතු බලසම්පන්න මෘතායුධය රාමාට ලැබෙන්න සලස්වන්නේ මේ සහෝදර විභීෂණය. අවසන රාවණා නොතේරුම් ගත් ,නොසිතූ විභීෂණගේ සැගවුනු බල අරමුණු නිසාම රාවණා රාමාට පරදී. මේ අපේ ඉතිහාසයේ එන පළමු මහා පාවාදීමයි.

ගැමුණු එළාර සංග්‍රාමයට පෙරද ඔහුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරුටද බලසිහිනයක් තිබුනි. ගැමුණු කුමරු කොත්මලේ සැගව සිටින නිසාවෙන් රාජ්‍යත්වය පිලිබදව වූ බලාපොරොත්තව ඔහු විසින් අත් හලේ යැයි සිතා රජවීමේ සිහිනය මනස්ප්‍රාප්ත විය. අන්තිමේදි ගැමුණු තිස්ස ගැටුම දුරදිග ගියේය.

සහෝදර බැදීම් යටපත් වී සිහසුනක උරුමය හා බැදුනු ආසාව මෝදූ විය.. ගැමුණු කුමරු සමග සංග්‍රාමගත විය. එනමුදු මහා සංඝරත්නය හා විහාරමහාදේවියගේ මැදිහත්වීම මත ගැටුම සමථයකට පත්විය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා රටත් ජාතියත් වෙනුවෙන් එළාරට එරෙහිවත්, රටේ ඒකීයත්වය වෙනුවෙනුත් ආක්‍රමණිකයාට එරෙහිවත් මහා යුධමය සංග්‍රාමයකට මුල පිරීය. සද්ධාතිස්ස දිගාමඩුල්ලට ගොස් වගා සංග්‍රාමයට නායකත්වය දෙමින් එහි මහා භූමිකාවකට පණ පොවන ලදි. ගැමුණු රජුට තම සහෝදර සද්ධාතිස්ස මහා ශක්තියක් විය. සද්ධාතිස්ටද ඉතිහාසය තුල මහා යුගපුරුෂ සංකේතයක් හිමිවිය. මහරජ ගැමුණුගෙන් පසු සද්ධාතිස් රාජ්‍යත්වයේ උරුමය හිමි වී වළගම්බා වැනි තවත් වීර පුතෙක් බිහිකර යළිදු වතාවක් මව්බිම පර සතුරු ආක්‍රමණිකයාගෙන් බේරාගත් වීර පරපුරක සාඩම්බර උරුම කරුවෙක් විය. සද්ධාතිස්ස අහම්බෙන් හෝ ගැමුණුටත් රටටත් ආගමටත් එරෙහිව වක්‍රව හෝ දකුණු ඉන්දීය ආක්‍රමණික එළාරට වාසි සහගත ලෙස තීන්දු තීරණ ගත්තේ නම් ඔහුට හිමි භූමිකාව වන්නේද විභීෂණට මෙන් මහා ඓතිහාසික දේශදෝහියාගේ සළකුණය. සද්ධාතිස්ස එසේ නොවීමම රටේත් ජාතියේත් ආගමේත් සුභසිද්ධිය පිණිසම විය.

වසර හයසියකට පසු මහින්ද හා පිරබාහරන්ගේ ගැටුමේ ජයග්‍රහණය රටේත් මුලු මහත් ශ්‍රී ලාංකීය ජාතියේත් ඒකියභාවය රැකගැනීමේ උත්තුංග කාර්ය භාරයකි. නූතන බටහිර ආධිපත්‍යයට නතුව ඉන්දීය සෘජු හා වක්‍ර මැදිහත්වීම අඩු වැඩි ලෙස මෙරට බෙදාවෙන්කරලීමේ මෙහෙයුම සකස් වන්නේද ඊළම්වාදී පිරබාහරන් හරහාය. 2009 මැයි 18 නන්දිකඩාල් ජයග්‍රහණය සමග පිරබාහරන්ගේ බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජය විය. නමුදු රට බෙදිමේ න්‍යාය පත්‍රය ජාතිකවත් ජාත්‍යන්තරවත් අපට පරාජය කළ නොහැකි විය. බෙදුම්වාදී සිතැගියාවන් ඉටුකරලීම වෙනුවෙන් උරෙනුර ගැටි සිටි රටට හතුරු දෙස් විදෙස් බලවේග එකපෙළට සිට ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැදමුලනට යවන්නට කටයුතු සැලැස්විය. එහි ප්‍රථිඵලයන් වූයේ දෙමළ බෙදුම්වාදය අලුත් වටයකින් රග දැක්වීමේ නාටකයක ආරම්භයයි. එහි තිර පිටපත් සකසන්නේ දෙස් විදෙස් රටට හතුරු බලවේගයි. මේ හතුරු බලවේගයන් අත්‍යාවශ්‍යෙන්ම පරාජය කරලීමේ වගකීමත් පූජනීය යුතුකමත් මහින්ද රාජපක්ෂයන් ඇතුලු දේශහිතෛශී මිතුරු බලවේගයන්ට ඇත්තේය. එහි තීරණාත්මක වසර එළඹෙන ජනාධිපතිවරණයි. එය මාතෘභූමියේ හිස නැති කවන්ධයට හිසක් දයාද කිරිමේ ක්‍රියාන්විතයයි. 2020 යනු රටේත් මුලුමහත් ශ්‍රී ලාංකීය ජාතියේත් ඉරණම විසදන වසරයි.

එම ඉරණම විසදිය හැක්කේ රටට අතිශය හිතවත්ව, ජාතිකවත් ජාත්‍යන්තරවත් සෘජූ තීන්දු තීරණ ගතහැකි වූත් රට රකින රට හදන ජාතික නායකත්වයකට පමණි. එවන් නායකත්වයක් ලෙස මහින්ද රාජපක්ෂයන්ගෙන් පසුව රටම එක හඩින් ඉල්ලාසිටින්නේ ගෝටාභය රාජපක්ෂයන් බව අපගේ ප්‍රබල විශ්වාසයයි. 2020 ජනපතිවරණය තුල තිබිය හැක්කේ බලවේග දෙකක් අතර සටනකි . ඒ රටට හතුරු හා මිතුරු බලවේග දෙක අතර සටනකි. එය ගල උඩ සටනකි. 2020 ජනපතිවරණයේදී රටට මිතුරු බලවේගයේ වඩාත්ම හොදම අපේක්ෂකයා ඉදිරිපත් කරමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අප එකපෙළට එක්සිත්ව එක්සත්ව පෙළගැසිය යුතුමය. ඒ වෙනුවෙන් සුවිසල් භූමිකාවක් බැසිල් රෝහණ රාජපක්ෂයන්ට ඇත්තේය. 2025 අනාගත බල අරමුණු වෙනුවෙන් විජාතික බලවේගවල සැහැසි අරමුණු ඉටුකිරීමට සෘජුව හෝ වක්‍රව දායකවී ඉගිබිගි පාමින් සිදුවන්නේ රටට අවැඩකි. මනමාලිට තැල්ලක් බදින්න බෙල්ලක් අවැසිය. 2020 පරාජය යනු බෙදුම්වාදි සිහිනය සැබෑවක් වීමය. එවන් බෙදුනු රටක පලාතක හෝ 2025 ජනපතිවීමේ සිහිනය යනු කයිචාන්ඩු ද්‍රෝහිකමකි. අනාගත බල අරමුණු වෙනුවෙන් 2020 ජනපතිවරණ සටන අඩපණ කර 2025 බල අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් සේනා සංවිධානය නොකර 2020 ජයග්‍රහණය කරවමු. ඒ වෙනුවෙන් සේනා සංවිධානය කරනු මැනවි. එසේ නොකොට වෙනත් අරමුණු හා බැදී රටට මිතුරු බලවේගය පරාජය කරලන්නට නියමින් හෝ අනියමින් ක්‍රියාමාර්ගයන් ගන්නේ නම් ඔබ මහා රාවණා පරාජය කිරිමට කටයුතු කල විභීෂණ වනු නොඅනුමානය .

ඉතින්, බැසිල් රෝහණ රාජපක්ෂයාණෙනි ඔබ රාවණා පැරදවීමට කුමන්ත්‍රණ බලගැන්වූ විභීෂණ නොවී ගැමුණු දිනවීමට ක්‍රියාන්විතය හෙළිපෙහෙළි කල සද්ධාතිස්ස වනු මැනවි..!!
රජරට අනුරාධ තෙන්නකෝන්
රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More