බ්‍රිතාන්‍යය මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඩයස්පෝරාව මුණ ගැසුණු බව වාර්තා විය. එහිදී ඔහු ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින අතර ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභා මහ ඇමතිවරුන්ගේ යෝජනා සැලකිල්ලට ගන්නා බවද සඳහන් කළේය. ඊට පෙර විවිධ රටවල ජීවත්වන ශ‍්‍රී ලංකාවේ දෙමළ ඩයස්පොරාවේ විවිධ ප‍්‍රකාශකයින් හුවා දක්වමින් ‘‘ටැමිල් ගාඩියන්ස්’’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඔවුන්ගේ වත්කම් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙර ඊනියා දෙමළ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවය. ඒ සඳහා තුන්වන පාර්ශවයක මැදිහත්වීම් මත එනම් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ද ඔවුහු යෝජනා කරති.
ඒ අතර ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒබ‍්‍රහම් සුමන්දිරන් මහතා සඳහන් කරන්නේ දෙමළ ඩයස්පෝරාව දුක් මහන්සියෙන් උපයාගත් විදේශ මුදල් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට නම් පළමුව දේශපාලන විසඳුමක් ලබා දිය යුතුව ඇති බව ය. එම ප‍්‍රකාශ නිකුත් වන්නේ මාර්තු මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස දෙමළ ඩයස්පෝරාව වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස ය.
ඊට මාස 4කට පසුව අගෝස්තු මාසයේදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප‍්‍රබල සංවිධාන 6කට සහ ඒවාට සම්බන්ධ ප‍්‍රබල පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබීය. ඉන්පසුව ඩයස්පෝරාවේ ඩොලර් මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සහ ඊට හිලව්වට ව්‍යවස්ථා සංශෝධනයක් සලකා බැලීමට තමා සූදානම් බවට සැප්තැම්බර් 19 වැනි දින ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් සිදුකිරීම විශේෂ තත්වයකි.
‘ටැමිල් ගාඩියන්ස්’ සාකච්ඡා අනුව ඩයස්පෝරා ඩොලර් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සඳහා පනවනු ලබන මූලික කොන්දේසිය වන්නේ ඊනියා දේශපාලන විසඳුමක් බව ඉතා පැහැදිලිය. මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයාට අනුව ඩයස්පෝරාවෙන් ඩොලර් ඉල්ලා සිටීමට පෙර ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන දේශපාලන විසඳුම ප‍්‍රකාශයට පත් කළ යුතුය. ඒ අතර උතුරු පළාතේ හිටපු මහ ඇමති සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේශ්වරන් මහතා සඳහන් කරන්නේ ඩයස්පොරා අරමුදල් උතුරු සහ නැගෙනහිර පළාත් වල ආයෝජනය කිරීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවය. ඔහු මහ ඇමති තනතුරේ සිටියදී ‘‘මහ ඇමැති අරමුදල් ප‍්‍රඥප්තිය’’ නමින් පළාත්නී තියක් සම්මත කිරීම මගින් එම අවශ්‍යතාවය සැපිරීමට බලවත් උත්සාහයක් ගනු ලැබීය. නමුත් ඒ මගින් රටේ විනිමය නීති සහ මහ බැංකුවේ බලය පවා අභියෝගයට ලක්වන බැවින් ආණ්ඩුකාර ධුරය දැරූ ජෙනරාල් චන්ද්‍රසිරි මහතා එම ප‍්‍රඥප්තිය ආපසු හරවා යවනු ලැබීය.
ඉදිරි පළාත් සභා මැතිවරණයට පසුව එවැනි බාධාවක් නැවත සිදුවීම වැලැක්වීමට නම් ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමතිවරයාගේ බලයට යටත් කළ යුතුය. එනම් ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකාරවරයාට ලබාදී ලබා දී ඇති බලතල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කප්පාදු කළ යුතුය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 154 වගන්තියේ උප වගන්ති දෙකක් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන ඇතුල් කිරීම මගින්වි ග්නේෂ්වරන් මහතාගේ අපේක්ෂාව ඉටු කිරීමට උත්සාහයක් ගෙන තිබුණි.
එම සංශෝධන මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීමක් සිදු වන අතර මහ ඇමතිගේ බලය ශක්තිමත් වේ. එම කෙටුම්පත සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ ද එය සකස් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒබ‍්‍රහිම් සුමන්දිරන් මහතා විසින් බව පසුව අනාවරණය විය.
කෙසේ වෙතත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රමුඛ ජාතික බලවේග විසින් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ බැවින් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් අධිකරණය විසින් පනවනු ලැබීය. ඒ නිසා ප්‍රේමදාස – සුමන්තිරන් සන්ධානය විසින් ඉතා සූක්ෂම ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ගනු ලැබූ උත්සාහයක් වැලකී ගියේය.
ඉහත සඳහන් කළ ඩයස්පෝරා නායකයින්ගේ ප‍්‍රකාශ අනුව ඔවුන් ඉල්ලා සිටින දේශපාලන විසඳුම යනු 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම බව ඉතා පැහැදිලිය. අවස්ථා කිහිපයක දී ඉන්දීය අගමැතිවරයා මෙන්ම ජිනීවාහි ඉන්දීය තානාපතිවරයාද මෙවර 51 වැනි සැසියේදී එම අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඩයස්පෝරා ඩොලර් යොදාගත හැකි බවට ඇති කරන මහජන අපේක්ෂාව සමග බෙදුම්වාදීන්ගේ 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ අපේක්ෂාව සමපාත කිරීම සඳහා විවිධ පාර්ශව විසින් උත්සාහයන් ගනු ලබන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. ඒ සඳහා එදා 1987 දී 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම වැලැක්වීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයට 154 වන වගන්තිය යටතේ පනවා ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපය ඉවත් කළ යුතුය. දැන් විජේදාස රාජපක්ෂ මහතා විසින් දියත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාන්විතයේ කාරක සභා අවස්ථාවේදී ඒ සඳහා උත්සාහ කරන බවට කිසිදු සැකයක් නැත.
එවැනි තත්වයක් තුළ ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන ‘ටැමිලස් ෆෝ බයිඩන්’ නැමැති සංවිධානය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව සුහදව වෙන්වීමට එකග වන්නේ නම් ඩොලර් මිලියන 52000ක විදේශ ණය ගෙවීම දෙමළ ඩයස්පෝරාව විසින් භාර ගන්නා බවය. එවැනි ප‍්‍රකාශ අතිශයෝක්තියෙන් සිදුකරන බව ඉතා පැහැදිලිය. නමුත් එමගින් ඔවුන්ගේ අවසාන අරමුණ කුමක්දැයි පැහැදිලි වේ. ඊට අනුව අර්බුදය හමුවේ ඊළම යනු මිලදී ගත හැකි අරමුණක් බවට ආකල්පයක් ප‍්‍රකාශ වේ.
කෙසේ වෙතත් ඔවුන් විසින් ප‍්‍රකාශයට පත් කරන ආකාරයට ලොව පුරා වෙසෙන මිලියන දෙකක් බව කියන ඩයස්පෝරා සාමාජිකයන්ගේ සමස්ත වත්කම් එකතු කළ ද ඩොලර් මිලියන 50000ක එකතු කළ හැකියැයි විශ්වාස කළ නොහැක. නමුත් ඊට පෙර උතුරු නැගෙනහිර පළාත් වල වාර්ෂිකව ඩොලර් මිලියන 500 බැගින්ආ යෝජනය කිරීමට තමා සූදානම් බවට එම සංවිධානය විසින් සිදුකළ ප‍්‍රකාශය පිළිගත හැක. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්තිය සම්මත කිරීම යන කොන්දේසි පනවනු ලබන්නේ ඒ සඳහාය. ඒ අනුව ඩයස්පෝරාව ඉල්ලා සිටින සියළුම කප්පම් ලබා දුන්නද අර්බුදය පියමන් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට විදේශ මුදල් ඔවුන් මගින් රට තුළට ගෙන්වා ගත නොහැකි බව ඉතා පැහැදිලිය.
කෙසේ වෙතත් ඩයස්පෝරා සංවිධාන වල සහ පුද්ගලයින්ගේ තහනම ඉවත් කිරීමෙන් පසු විවිධ පාර්ශව විසින් පළ කරන අදහස් අනුව එසේ තහනම ඉවත් කිරීමට අදාලව ප‍්‍රකාශිත අරමුණු තුනක් හඳුනා ගත හැක.
පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට ඩොලර් අර්බුද විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමය.
දෙවැන්න බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී පක්ෂ ජාතික ආණ්ඩුවක පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම සඳහා ඩයස්පෝරාව මගින් බලපෑම් කිරීමය. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ජනාධිපති ලෙස පත් කිරීම සඳහා පැවැත්වූ ඡුන්ද විමසීමේ දී එම පක්ෂවල මන්ත‍්‍රීවරුන් ජාතික ආණ්ඩුවක් අරමුණු සහිතව රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡන්දය ප‍්‍රකාශ කළ බව රහසක් නොවේ.
තුන්වන අරමුණ ලෙස හඳුනාගත හැක්කේ මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන පීඩනය සමනය කරගැනීමය. එහිදී පැතිකඩ දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න ඩයස්පෝරා සංවිධාන වල තහනම ඉවත් කිරීම මගින් දේශපාලන විසඳුමකට ආණ්ඩුව සූදානම් බව පෙන්වීමය. දෙවැන්න ඩයස්පොරාවේ ඩොලර්වලින් නැටවෙන යස්මින් සුකා වැනි ප‍්‍රබල ජාත්‍යන්තර රාජ්‍ය නොවන ක‍්‍රියාකාරිකයින් මගින් මානව හිමිකම් කොමසාරිස්ගේ බලපෑම සමනය කිරීමය.
එසේ වුවත් ඩයසපෝරාවට කප්පම් ලබා දීම මගින් ඔවුන් තුලනය කිරීමේ වුවමනාව ඇති වන්නේ එම ප‍්‍රකාශිත අරමුණු ඉක්මවා යන ප‍්‍රබල හේතුවක් නිසා බව හඳුනාගත හැක. ඇත්ත වශයෙන්ම ඩයස්පෝරාව විශේෂයෙන්ම ඊනියා මධ්‍යස්ථ ඩයස්පෝරාව සමග ගනුදෙනු කළ යුතු බවට දේශපාලන උපායමාර්ගයක් ආණ්ඩුව විසින් තෝරා තෝරනු ලබන්නේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදී ය. ඒ සඳහා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ එකඟතාවය ලැබී තිබූ
බවටද සාක්ෂි ඇත. ආණ්ඩුව ඒ සඳහා පොලබවනු ලබන්නේ විදේශ අමාත්‍යාංශයේ ෆාත්ෆයින්ඩර් උපදේශකයින් විසින් බවද ඉතා පැහැදිලිය. එවැනි යම් උපදේශකයින් මාධ්‍යයට හෙළිදරව් නොවන සාකච්ඡා මණ්ඩපවලදී ඒ ආකාරයට ඩයස්පෝරාව තුලනය කිරීම හෙවත් ආරක්ෂාකාරී ප‍්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට අදහස් දැක්වූ බව මෙම ලියුම්කරුට සහතික කළ හැක. එතැනට ආණ්ඩුවේ නායකයින් තල්ලූ කරනු ලබන්නේ ඊනියා යුද අපරාධ චෝදනා නම් වූ කෙවිට භාවිතා කරමින් බව ඉතා පැහැදිලි ය.
ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා 46/1 යෝජනාව මගින් පත්කළ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය මගින් එකතු කළ තොරතුරු මේ වන විට සූදානම්කර ඇත. එම චෝදනා සහ සාක්ෂි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන බැවින් ඒවා මත පදනම්ව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විවිධ රටවලදී නඩු පැවරීමේ හැකියාව ලැබේ. එසේ කළ යුතු බවට මෙවර සැසියේදී මහකොමසාරිස්වරිය විසින් අවධාරණය කරනු ලැබීය. ජාතික සංවිධාන සහ ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය වැනි ජාත්‍යන්තර ශ‍්‍රී ලාංකික සංවිධාන විසින් 2017 වසරේ සිට එවැනි තත්ත්වයක් වැලැක්වීම සඳහා අදාළ චෝදනා වලට විධිමත්ව පිළිතුරු බැඳිය යුතු බවට කරුණු දක්වනු ලැබීය. ආණ්ඩුව ඊට සවන් නොදෙන තත්ත්වයක් යටතේ එම සංවිධාන විසින් දේශිය මෙන්ම ජාත්‍යන්තර නීති සහ යුධ අපරාධ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබද විශේෂඥයින්ගේ උපදෙස් පවා ලබා ගනිමින් වාර්තාවක් හෙවත් විත්තිවාචකයක් සකස් කරන ලදී. ඒ සඳහා මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවන බල අධිකාරිය යටතේ කැඳවූ විශේෂ විශේෂඥ වාර්තා හයක් ද උපයෝගී කරගනු ලැබීය. එම වාර්තාව පිළිබඳව ඇගයීමක් සිදු කළ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සහ බ්‍රිතාන්නී තිඥ ශ‍්‍රීමත් ජෙප්රි නයිස් මහතා සඳහන් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බව එම වාර්තා මගින් ඉතා ප‍්‍රබල ලෙස තහවුරු කෙරෙන බව ය.
ඒ අනුව එම සංවිධානවල මැදිහත්වීම මත එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද බාරදෙනු ලැබීය. එහෙත් එවැනි වාර්තාවක් නිල වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ රජය විසින් ස්වභාවික යුක්තිය එනම් චෝදනාවක් එල්ල වූ විට පිළිතුරු බැඳීමේ අයිතිය මත චෝදනාවලට එරෙහිව පිළිතුරු බැඳීම සඳහා නිල අවස්ථාවක් ලබා ගන්නේ නම් පමණි. එසේ වුවත් ඉහත සඳහන් කළ ෆාත්ෆයින්ඩර් උපදේශකයින්ගේ බලපෑම මත ආණ්ඩුව කල් මැරීම නිසා දැන් එම අවස්ථාව ගිලිහී ඇත. ඒ අනුව දැන් පැන නැගී ඇති ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමේ අවදානම යොදා ගනිමින් ඩයස්පෝරාව සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම හෙවත් ඉහත සඳහන් කළ ආකාරයට ඩයස්පෝරාව තුලනය කිරීම නම් වූ ආරක්ෂණවාදී ප‍්‍රවේශය අනුගමනය කිරීම සඳහා ආණ්ඩුව පෙළඹවීමේ හැකියාව ලැබී ඇත. එම උපදේශකයින් සැමවිටම චෝදනා වලට පිළිතුරු බැඳීමේ හෙවත් ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයට එරෙහිව තර්ක ඉදිරිපත් කරනු ලැබුවේ එම උගුලට ආණ්ඩුව තල්ලූ කිරීම සඳහා බව දැන් පැහැදිලි ව දැකගත හැක.
නමුත් සත්‍ය වශයෙන්ම සිදු විය හැකිදේ ඊට බෙහෙවින් වෙනස් බවට දෙමළ ඩයස්පේරාවේ ඉතිහාසය හදාරන්නෙකුට පැහැදිලි වේ. සියලූ කප්පම් ලබාදීමෙන් පසුවද උදාහරණයක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම වැනි ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව ද ඔවුන්ගේ මාර්ග සිතියම වෙනස් නොවනු ඇත. එනම් යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය සැලසුම් කළ ආකාරයටම දියත්වනු ඇත.
ඒ අනුව ඩයස්පෝරාවට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ කප්පම ලබාදීම මගින් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලියෙන් ගැලවිය හැකියැයි යමෙකු සිතන්නේ නම් එය සිහිනයක් බවට පත්වනු ඇත. එම තත්ත්වය සමාන කඵ හැක්කේ 89 භීෂණ සමයේදී බිල්ලා නමින් හැඳින්වූ ඔත්තුකරුවාගේ ඉරණමටය. පාවාදීම කළහොත් ඔවුන් නිදහස් කරන බවට ආරක්ෂක අංශ විසින් ඔවුන්ට පොරොන්දු ලබා දුන්නද උවමනා පුද්ගලයින් පාවා දීමෙන් පසුව බිල්ලා ද මරා දමනු ලැබීය.
ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී විශ්වාස කළ ආකාරයට මධ්‍යස්ථ ඩයස්පෝරාව යනුවෙන් යම් පාර්ශවයක් ක‍්‍රියාත්මක නොවන බව ද ඉතා කෙටි කලකින් පැහැදිලි වනු ඇත. එදා ප‍්‍රභාකරන් සහ සම්බන්ධන් යන පාර්ශවවලට බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව වෙනස් වගකීම් පැවරී තිබූ ආකාරයට ඩයස්පෝරාවේ මධ්‍යස්ථ හා අන්තවාදී යන පාර්ශ්වවලට එකම අරමුණට අදාලව වෙනස් වගකීම් පැවරෙන බව ඉතා පැහැදිලිය. බොහෝවිට ජාත්‍යන්තර අධිකරණ බලය අනුව නඩු පැවරීමේ ක‍්‍රියාවලිය දියත් වන විට තහනම ඉවත් කළ බලවත් සංවිධාන ඊට සෘජුව සම්බන්ධ නොවී දේශීයව සහ ජාත්‍යන්තරව යටිපෙළ ක‍්‍රියාන්විතය, විශේෂයෙන්ම රහසිගතව අරමුදල් සැපයීම, සිදු කරනු ඇත.
ඒ අනුව ඩයස්පෝරාව විසින් ඉල්ලා සිටින ප‍්‍රධානතම කප්පම වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම සිදුකළහොත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ඉතා කෙටි කලකින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුමට ලගාවන බවට කිසිදු සැකයක් නැත. එම ක‍්‍රියාවලියට අදාලව ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීමේ සහ දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය ගෝල්ෆේස් අරගලයෙන් ආරම්භ වූ අතර එය යාපනය සහ ත‍්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීමද සිදුවනු ඇත. ඒ අනුව හමුදා කඳවුරු ඉවත් කිරීමේ ක‍්‍රියාන්විතය ඊට සමගාමීව ආරම්භ වන බවට සැකයක් නැත. එම ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවට ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම මගින් ළඟා වනු ඇත.
එම ක‍්‍රියාවලිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු සහ දැනට සේවයේ නියුතු ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් 58 දෙනෙකුට එරෙහිව විවිධ රටවලදී නඩු පැවරීම සිදු වනු ඇත. ඒ මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීම යනු බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන අදියර සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසියකි. 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව එම අවසාන සැතපුම සඳහා ගමන ආරම්භ වනු ඇත. එම ක‍්‍රියාවලිය තුළ රට තුළ සිටිමින් මැදිහත්වීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර යාන්ත‍්‍රණය සත්‍ය සෙවීමේ කොමිෂම මගින් සම්පූර්ණ වනු ඇත. ඒ අනුව මෙවර 51/1 යෝජනාව තුළ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් පළාත් සභාවලට බලතල ලබාදීම සහ සත්‍ය සෙවීමේ කොමිසම යන කොන්දේසි දෙක ඉදිරිපත් වන බවට සැකයක් නැත.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...