පුරවැසි කොලම

“කන්නන්ගර තමුසෙට පිස්සුද ? තමුසෙ හදන්නෙ ගහකට නගින්නවත් කොල්ලෙක් නැතිකරන්නද ? යැයි නිදහස් අධ්‍යාපනය පනත ඉදිරිපත් කරන්නට පෙර මෙරට වලව්කාර , වංශවත් මහඇමතිවරු එතුමාට උසුලු විසිළු කලහ.

උසුළු විසුළු මැද යථාර්ථයක් කල නිදහස් අධ්‍යාපනය නිසා ගුරුමුෂ්ටියෙන් තොරව පරම්පරාවෙන් පරම්පරාවට නොමිලේ දැනුම , ආකල්ප සහ කුසලතා සම්ප්‍රේෂණය වීම සිහිකරන්නට අදද රිච්මන්ඩ් විද්‍යාලයීය කන්නන්ගර ශාලාව ඉදිරියේ මෙම පිළිමය ස්ථාපිතව තිබේ.

එය 1897 වර්ෂයේ දිනකි. එදින අම්බලන්ගොඩ රන්දොඹේ වෙස්ලියානු උසස් පාසලේ තෑගි බෙදාදීමේ උත්සවය වර්ණවත් කළ සිසුවකු වෙත කාගේත් ඇස් යොමුවී තිබිණි. 14 වතාවක්ම තෑගි දිනාගත් මේ දරුවා පිළිබඳ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ එවක විදුහල්පති ජේම්ස් හෝන් ඩැරල් පියතුමාගේ අවධානය යොමු විය. කෙටි කතා බහකින් ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලෙසින් හඳුනාගත් මෙම ශිෂ්‍යාට තම පාසලට ඇතුළත් වීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ලෙස දන්වනු ලැබීය.

ශිෂ්‍යත්වය සමත් වූ කුඩා කන්නන්ගර රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත්වීමට සමත් වූවේය. කෙසේ වෙතත් ඔහුට හිමිව තිබුණේ තුන්වැනි පන්තියේ ශිෂ්‍යත්වයකි. ඒ අනුව හිමිවූයේ අවම පහසුකම්වලින් යුක්ත වූ නේවාසිකාගාරයකි. මෙම නේවාසිකාගාරයේ සිටි අයට පළමු පන්තියේ නේවාසිකාගාර හිමි ශිෂ්‍යයන්ගේ උසුළු විසුළු ‍වලට ලක්වූහ. මෙහිදී ඔවුහු කුඩා කන්නන්ගරට සමච්චල් කළේ “රන්දොඹේ ගොඩයා“ කියමිනි.

කෙසේ වුවද මේ අතිදක්ෂ සිසුවා පසු කලක මෙරට ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කළේය.

කන්නන්ගර යනු ජාතික මන්ත්‍රණ සහාවේ ජාතික ඇඳුම ඇඳි පළමු ඇමතිවරයාය..

නිදහස් අධ්‍යාපනය නම්, ජාතියට සදාකාලික වටිනාකමක් දීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන කමිටු වාර්තාවේ නිර්දේශ 1943 දී ඉදිරිපත් කළේය. එම නිර්දේශ අනුව යමින් 1944 දී මැයි මස 30 වෙනිදා අධ්‍යාපන සංශෝධන ආඥා පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා මන්ත්‍රණ සභාවට කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණි .
එම යෝජනාවලිය, කන්නන්ගර මහතා පැය හයකට අධික කාලයක් තිස්සේ පැවති ඓතිහාසික කතාවක් හරහා රාජ්‍යය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය.

එතුමා සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකිනි,

“නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට

අගනා මිණි කැට අදුරේම සැගෙවෙද

පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත

හමනා සුළෙඟින් වනෙයෙම පරවෙත”

“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”

කෙසේ වෙතත්, මෙම ප්‍රගතිශීලී නිදහස් අධ්‍යාපන යෝජනා සඳහා බාධක වැට කඩුලු බොහෝමයක් එල්ල විය. ගමේ බත් බැලයන්ට අධ්‍යාපනය දුන් විට ගස් නගින්නේ අපිදැ යි ඇසූ ජාතික විරවරයෝ මෙන්ම, කන්නන්ගරට එලව එලවා පහර දුන් මාධ්‍ය එකල බොහෝ තිබුණි. එහෙත් කන්නන්ගර මහතාට හේරත්නායක, ඊ.ඒ. නුගවෙල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යන මන්ත්‍රණ සභා සභිකවරුන්ගේ සහායත් ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහාය ලැබිණි . මේ පනතට තම පුද්ගලික ලාභ අපේක්ෂාවන් මත එරෙහිව සිටි අයට ද කන්නන්ගර මහතා සිය කතාවේ දී කාරුණික ආයාචනයක් කිරීමට පසුබට වූයේ නැත.

“ගරු සභිකවරුනි, එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුවා මා එන විට ගඩොලින් බැඳ තිබු රෝමය වෙනුවට ඉතිරි කොට ආවේ කිරි ගරුඬෙන් තැනූ රෝමයකි. අන්න ඒ වගේ අප යන විටත් මිල අධික අධ්‍යාපනය මිල බැස්සුවා ය. වසා මුද්‍රා තබන ලද අධ්‍යාපන විවෘත ලිපියක් බවට පත් කළා ය. ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපන දිළින්දන්ගේ දායදයක් පත කළායැ යි උදම අනන්න පුළුවන් නම් එය කොයි තරම් අගේදැ යි”

යනුවෙන් එතුමා ඔවුන්ගේ හෘද සාක්ෂිය අවදි කලේය . ඒ අනුව 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ අතර, දහසක් දූ දරුවන්ගේ හා දෙමාපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් එම වසරේ ඔක්තෝම්බර් මස පළවෙනිදා සිට එය බලාත්මක විය .

1931 සිට 1947 දක්වා වසර 16ක් අධ්‍යාපන ඇමති ධුරය ද 1936-1947 මතුගම ආසනයේ මන්ත්‍රීවරයා ද වූ කන්නගර මහතා, 1947 පැවති අතුරු මැතිවරණයෙන්, විල්මට් ඒ. පෙරේරාට පරාජයට පත්විය . විල්මට් ඒ. පෙරේරා ඡන්ද 19,000ක් පමණ ලබා ගනිද්දී, කන්නන්ගර මහතාට ලැබුණේ ඡන්ද 16,000 පමණයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් එතුමා, ලංකාවේ පළමු පෞද්ගලික විශ්වවිද්‍යාල වූ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අයිතිකරුට පරාජයට පත් වීම දෛවයේ සරදමකි.
කන්නන්ගරයන්ගේ එම පරාජයට දේශීය මෙන්ම විදේශීය බලපෑම්ද වූ බව කියැවේ. මෙය හොඳින්ම තහවුරු වන්නේ 1947 එතුමාගේ පරාජය නිසා ඇතැම් ආගමික ස්ථානවල ගණ්ටාර පවා නාද කර සතුට ප්‍රකාශ කර තිබීමෙනි.

ඉන්පසුව 1952 දී පැවති මහ මැතිවරණයේ දී අගලවත්ත ආසනය ජයග්‍රහණය කළ එතුමා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වෙන්නේ දෙගුණයකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. එහෙත් ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වන්නේ ඩි. එම්. බන්ඩා යි. කන්නන්ගරයන්ට හිමි වන්නේ පළාත් පාලන ඇමතිධුරය යි. ඔහුට අධ්‍යාපන ඇමතිධුරයට රජයේ බොහෝ දෙනෙක් විරුද්ධ වී ඇති අතර, ඒ එතුමාගේ සේවය තවදුරටත් ගම් දනව් කරා යාමෙන් බමුණු කුලවලට විය හැකි බරපතල තර්ජනය පහසුවෙන් එසේ වළකා දමා තිබිණ .කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන පනතේ අයිතිය බොහෝ පක්ෂ සින්නකර ලියා ගැනීමට, දේශපාලනික වාසි ලබා ගැනීමට උත්සුක වුවද කන්නන්ගර මහතාට අත් වූ ඉරණම කණගාටුදායක ය.

රටට ජනතාවට සේවය කළා විනා ඔහු ඉන් ආර්ථික වාසියක් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ නැත. මේ නිසා අවසාන කාලයේ ආර්ථික අතින් ඔහු පීඩාවට පත්ව සිටියේය.

1961 ඔක්තෝබර් මාසයේ 26 වැනි දින කන්නන්ගර මහතා තමා මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ කතානායකවරයාට පවා ලියා දැන්වීය. විශ්‍රාම වැටුපක් පාර්ලිමේන්තු නියෝජිතයන්ට වෙන්ව නොතිබූ සමයේ තමාට ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔහු එහිදී ඉල්ලා සිටී.

“ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිඳු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවක්ම යැපුණේ මාගේ මිත්‍රයන්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාගවලිනි. මාගේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍යම වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩ ගැසෙමින් පවතී.”

රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ආර්ථිකමය වශයෙන් ඔහු ලබාගත් දේ අවම වුවත්, සමාජමය වශයෙන් ඔහු ඉපයූ දේ සුවිශාලය.

‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබන ඇත” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය අගයමින් පවසා තිබිණි.

ඉන්දියානු මහකොමසාරිස්වරයා කියූ පරිදි දෙවියකු බවට පිළි නොගැනුනද එදා මෙදාතුර ලක්ෂ සංඛ්‍යාත දුප්පත් දුවා දරුවන්ගේ ජීවිතයට ආලෝකය ලබාදී සිහින සැබෑ කළ දෙවියා ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර බව නිදහස් අධ්‍යාපනයේ පල ලැබූ කවුරුත් දනිති.

නිදහස් අධ්‍යාපනය හරහා නොමිලයේ අධ්‍යාපන අවස්ථා මෙරට දරුවනට දායාදකල ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර 1969 වසරේ අදවන් දිනක දිවිසැරිය නිමාකළේය.

නුවන් ගම්මම්පිල
( උපුටාගැනීම් වලට යටත්ව)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More