තවත් පළාත් පාලන මැතිවරණයක් පවත්වන්න සූදානම් වෙනවා. රටකට පළාත් පාලන ආයතන අවශ්‍ය බව ඇත්ත. ඒත් මේ පවතින ක්‍රමයෙන් මිනිස්සුන්ට වැඩක් වෙලා තියෙනවා ද? මේ ගැන කිසිම විමර්ශනයක්, ඇගැයීමක් නැතුව තවත් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වියදම් කරලා මේ ඡන්ද පවත්වන්නේ ඇයි?
2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ ඊට කලින් අවුරුද්දේ සම්මත කරගත්ත සංශෝධන පනතේ හැටියටයි. ඒකට අනුව කොට්ඨාශ පදනමින් සීයට හැටකුත් සමානුපාතික පදනමින් සීයට හතළිහකුත් පත් කරගන්නවා කියලා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 4,486 ඉඳලා 8,356 දක්වා වැඩි කරගත්තා. ඒ අවුරුද්දේ පළාත් පාලන ඡන්දය පවත්වන්න රුපියල් කෝටි 35 ක විතර මුදලක් වියදම් වුණු බවක් මැතිවරණ කොමිසම කිව්වා. පත්වෙච්ච මන්ත්‍රීවරු 8,356 වෙනුවෙන් ගෙවපු වැටුප් සහ ඒ අය වෙනුවෙන් දරපු අනෙක් වියදම් කොච්චරක් ද කියලා වෙනම හොයලා බලන්න ඕන. කොහොමටත් ඒක සුළුපටු වියදමක් නොවන බව අපි කවුරුත් දන්නවා. ජනතාවගේ බදු මුදලින් කරන මේ මහා වියදම වෙනුවෙන් ලැබිලා තියෙන ප්‍රතිලාභය මොකක්ද?
පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි. මැතිවරණයට තරග කරන හැට හුට හමාරක් අපේක්‍ෂකයෝ සහ ඒ අය ඉදිරිපත් කරන දේශපාලන පක්‍ෂත් ඒ වෙනුවෙන් සල්ලි විසි කරනවා. ඒ ගණන් හිලව් කොච්චර ද කියලා කවුරුවත් වාර්තා කරන්නේ නෑ. කොහොම වුනත් ඒ මුදල් කන්දරාවේ ප්‍රමාණය කොච්චරක් ද කියන එක හිතන්නත් අමාරු බව නම් අපි දන්නවා.
මේ පළාත් පාලන ඡන්ද සෙල්ලමින් බලයට ආපු අය අතර ප්‍රාදේශීය චණ්ඩි, පාතාලයෝ, අපරාධකාරයෝ සෑහෙන ප්‍රමාණයකුත් ඉන්න බව රහසක් නෙවෙයි. මැතිවරණ වෙනුවෙන් මහා සල්ලියක් වියදම් කරන්න හැකියාව සහ බලය තියෙන්නේ එහෙම අයට හින්දා ඒ ජයග්‍රහණ අත්පත් කරගන්න විදිහ අපිට හිතාගන්න පුළුවන්.
තමන්ගේ වගකීම මොකක්ද කියන එක පළාත් පාලන ආයතනවත් ඒවා නියෝජනය කරන අයවත් තේරුම් ඇරැගෙන නෑ. රටේ සහ මිනිස්සුන්ගේ ආර්ථික සාධනය වෙනුවෙන් ඒ ආයතනවලට සහ ඒවායේ මන්ත්‍රීවරුන්ට කිසිම වගකීමක් පවරලත් නෑ. ඉතින් රටට සහ මිනිස්සුන්ට කිසිම ප්‍රතිලාභයක් නැති මේ මගඩිය වහාම නවත්තලා ඒ වෙනුවට විකල්පයක් හොයාගන්න අපිට බැරි ද?
මේ සඳහා තියෙන හොඳ ම විකල්පය ගම් සභා ක්‍රමයයි. ආරම්භයක් විදිහට ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් ගම් සභා පිහිටුවන්න පුළුවන්. ග්‍රාමීය සහ වතු නොවන ප්‍රදේශවලට නාගරික සභා ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්. විශාල ජනගහනයක් ජීවත්වෙන නාගරික ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කොට්ඨාශ මේ වෙනුවෙන් යොදාගන්න බෑ. උදාහරණයක් විදිහට 2020 සංඛ්‍යාලේඛන අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති බොරැල්ල උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ මිනිස්සු 22,525 ක් ජීවත්වෙනවා. ඉතින් මෙහෙම අධික ජනගහනයක් ජීවත්වෙන නාගරික ප්‍රදේශවලට වඩාත් ගැලැපෙන්නේ වීදි සහ නිවාස කලාප අනුව පාලන ප්‍රදේශ හඳුනාගැනීමයි.
දැනට අපේ රටේ ගම්මාන 36,822 ක් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021 ක් තියෙනවා. ඉතින් ආරම්භක ක්‍රමය මොකක් වුනත් කාලයත් එක්ක ජනගහනය, භූමියේ විශාලත්වය කියන කරුණු පදනම් කරගෙන වඩාත් පහසු බිම් මට්ටමේ පාලන කොට්ඨාශ හඳුනාගන්න බැරිකමක් අපිට නෑ. වඩාත් වැදගත්වෙන්නේ බිම් මට්ටමේ ජනතා පාලන ක්‍රමයක් (ජන සහභාගීත්ව පාලන ක්‍රමයක්) හඳුන්වාදීමයි. ගම් සභා සහ නාගරික සභා ක්‍රමයෙන් මේ වැඩේ කරන්න පුළුවන්.
ගම් සභා සහ නාගරික සභා වෙනුවෙන් මැතිවරණ පැවැත්විය යුත්තේ නිර්පාක්‍ෂික ක්‍රමයටයි. හඳුනාගන්නා බිම් මට්ටමේ ප්‍රදේශයක් (ග්‍රාමීය ප්‍රදේශයක නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයක්) උප කලාප ගණනාවකට බෙදලා ඒවා නියෝජනය කරන විදිහට නියෝජිතයෝ පත් කරගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් අදාළ සභාවලට පත්වෙන්නේ ජනතාව අතර ජීවත්වෙන, ජනතාව හොඳින් දන්න හඳුනන නියෝජිතයෝ පිරිසක්.
1985 අංක 7 සහ 1988 අංක 26 දරන පනත්වලින් සංශෝධනය කරපු 1978 අංක 16 දරන විශ්වවිදාල පනතේ සඳහන් ශිෂ්‍ය සංගම්වලට අදාළ විධිවිධාන ආශ්‍රයෙනුත් ගම් සභා සහ නාගරික සභා සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පාදනය කරගන්න පුළුවන්. ඒ පනත්වල තියෙන විධිවිධානවල හැටියට ශිෂ්‍ය සංගමයක් වෙනුවෙන් සභිකයන් තෝරාපත් කරගන්න ඕන පක්‍ෂ හෝ කණ්ඩායම් අනුව නෙවෙයි. ඒවායේ සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක, කණිෂ්ඨ භාණ්ඩාගාරික සහ අනෙකුත් සාමාජික තනතුරු වෙනුවෙන් පවත්වන නිලවරණවලට අපේක්‍ෂකයෝ ඉදිරිපත් වෙන්න ඕන තනි තනිව. ඒ කියන්නේ ස්වාධීනව. ඉතින් බිම් මට්ටමේ පාලන ආයතනවලට මේ ක්‍රමය ම ආදේශ කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි.
එතකොට පළාත් පාලන ආයතන? ගම් සභාවකින්, නාගරික සභාවකින් නියෝජිතයෙක් අදාළ පළාත් පාලන ආයතනයට (ප්‍රාදේශීය සභාවට, නගර සභාවට) යැව්වාම වැඩේ හරි. ඒ අය තමයි අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයෝ වෙන්නේ. පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපති විතරක් බහුපක්‍ෂ ක්‍රමයට පවත්වන මැතිවරණයකින් තෝරාපත් කරගන්න පුළුවන්. මේ විදිහට කරද්දි නිර්මාණය වෙන්නේ නිර්පාක්‍ෂික ක්‍රමය සහ බහුපාක්‍ෂික ක්‍රමය මිශ්‍රවෙච්ච පාලන ක්‍රමයක්. මෙහෙම පාලන ක්‍රමයකට අමුතුවෙන් විපක්‍ෂයක් ඕන නෑ. බිම් මට්ටමින් පළාත් පාලන ආයතනයට යන්නේ නිරන්තරයෙන් ම ජනතාවත් එක්ක එකට ඉන්න පිරිසක්. ඉතින් ඒ අයට පුළුවන් අදාළ පළාත් පාලන ආයතනයේ කටයුතු මේච්චල් කරගන්න.
මෙහෙම ක්‍රමයක් ඇති කිරීමෙන් දැන් ඉන්න පළාත් පාලන සභිකයන්ට සහ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙන්න අපේක්‍ෂා කරන අයට අගතියක් වෙයි ද? එහෙම වෙන්න විදිහක් නෑ. ඒ අය ජනතා අතර ඉන්න ජනතාවගේ නායකයෝ නම් ඉතාමත් පහසුවෙන් කිසිම වියදමක් නො කර අදාළ ගම් සභාවට හරි නාගරික සභාවට හරි තේරී පත්වෙන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් සහ නායකත්වයේ ස්වභාවය අනුව ඉතාමත් ලේසියෙන් අදාළ පළාත් පාලන ආයතනය නියෝජනය කරන්නත් ඒ අයට පුළුවන්. ඉතින් මේක දැන් ඉන්න අයට වගේ ම ඉස්සරහට දේශපාලනයට එන්න අයටත් පහසු ක්‍රමයක්.
කොහොම වුනත් මේ ක්‍රමය ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න බෑ. බිම් මට්ටමින් අය කරන බදු මුදල්වලින් සුළු ප්‍රතිශතයක් මේ අයගේ මූලික දීමනා විදිහට වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒක මූලික යැපීම් දීමනා මට්ටම ඉක්මවපු එකක් වෙන්න බෑ. ඒ අය අමතර ආදායම් උපද්දවා ගන්න ඕන ජනතාවත් එක්ක ආර්ථික කටයුතු සිදුකිරීමෙන්. තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකතුවෙලා නිශ්චිත ආර්ථික කටයුතු මෙහෙයවලා ඒ මාර්ගයෙන් උපයන ලාභයෙන් කොටසක් (සීයට දෙකක් කියලා හිතමු) මේ අයට ලබාගන්න පුළුවන්. මෙහෙම කරනවා නම් විතරයි මේ අය ආර්ථික කාර්යයන්ට සෘජුව මැදිහත් වෙන්නේ.
මේ යෝජනා කරන්නේ වික්ටර් අයිවන්ලා කියන “ජන සභා” ක්‍රමය නම් නෙවෙයි. ඒ අය තමන්ගේ ක්‍රමය යෝජනා කරන්නේ පවතින පළාත් පාලන ආයතන සෙල්ලමේ කිසිම වෙනසක් කරන්නේ නැතුව. ඒත් මේ යෝජනාවෙන් අලුත් පළාත් පාලන ක්‍රමයක් ඇතිවෙනවා. ඒ වගේ ම, බිම් මට්ටමයි පළාත් පාලන මට්ටමයි එකට සම්බන්ධ කරනවා. එතැනින් නවතින්නේ නැතුව බහුපාක්‍ෂික ක්‍රමයටත් ඉඩක් ඉතුරු කරනවා. ඉතින් තවත් කල් දාන්නේ නැතුව මේ වතාවේ ම ගම් සභා ක්‍රමයට මාරුවෙන්න කියලා අපි බල කරන්න ඕන.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...