පුරවැසි කොලම

බටහිර ලිබරල් දේශපාලනය කියන්නේ ම ජනතාවගේ බලය පැහැරගැනීමේ අදහසින් අටවපු එකක්. මේ ක්‍රමය ඇතුළේ ජනරජයක පරමාධිපත්‍යය අර්ථ විරහිත දෙයක් බවට පත් කරලා ඉවරයි. ජනතාවට පුළුවන් ඡන්දය දෙන්න විතරයි. ඡන්දයක් හරහා තමන්ගේ බලය පවරලා දුන්නාට පස්සේ ජනතාව නිකම් ම නිකම් නරඹන්නක් පිරිසක් බවට පත්වෙනවා. පාලනයේ බිම් මට්ටමටවත් ජනතාව සහභාගී වෙන්න බෑ.

මේ පුද්ගලාන්තික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මිලත් සුළුපටු නෑ. දැවැන්ත මුදලක් වියදම් කරන්න බැරි නම් ප්‍රාදේශීය සභාවකවත් නියෝජනයක් ලබාගන්න බෑ. ඉතින් ධනය හිමි අයට, මැතිවරණ වෙනුවෙන් මුදල් එකතු කරගන්න පුළුවන් අයට ඉතාමත් ලේසියෙන් බලය ලබාගන්න පුළුවන්. ඒ වගේ ම, පැරැණි වලව්කාර ප්‍රභූන්ටත්, අලුතින් සමාජයේ ඉහළට පිම්බිච්ච අයටත් මේ සෙල්ලම ඇතුළේ වැඩි ඉඩක් ලැබෙනවා.

මේක අපේ රටට විතරක් සීමාවෙච්ච රෝගයක් නෙවෙයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ම මහ ගෙවල් විදිහට සළකන ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවල්වල තත්ත්වයත් මෙහෙම ම තමයි. 2020 අවුරුද්දේ ඇමෙරිකාවේ පවත්වපු ජනාධිපති සහ කොංග්‍රස් ඡන්ද වෙනුවෙන් ඩොලර් බිලියන 14.4 ක් වියදම් කරලා තියෙනවා. ඇමෙරිකාවේ ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්‍ෂවලට සම්බන්ධ ප්‍රභූ බල කණු විතරක් මේ ඡන්ද සෙල්ලමෙන් බලයට එනවා. බහුතර ජනතාව කතිරය ගහලා බලාගෙන ඉන්නවා.

අපේ රටේ ජනතා පරමාධිපත්‍යය කොල්ලකන්නෙත් මේ විදිහට ම තමයි. අපි හැමෝ ම දන්න හින්දා ඒ ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑ. දැන් කාලයක් තිස්සේ රඟ දැක්වෙන “බලය බෙදීම” නාටකයත් මේ මංකොල්ලයට ම සම්බන්ධ එකක්. 1987 දී පළාත් සභා ඇති කළා කියලා විසැඳිච්ච ප්‍රශ්නයක් තියෙනවා ද? ඒ වැඩේ හරහා සිද්දවුණේ මැද මට්ටමේ ප්‍රභූ පිරිසගේ බල ව්‍යාපෘතියට තොටිල්ලක් නිර්මාණය කිරීම විතරයි. ඊ ළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නැවත වතාවක් මේ නාට්‍යය රඟ දැක්වීම ආරම්භ කරලා තියෙන බවකුත් පේනවා. ජනතාවගේ විවිධ පාර්ශ්ව නියෝජනය කරනවා කියලා උඩ පනින, බෙරිහන් දෙන සමහර ප්‍රභූ නායකයෝ කරන්නෙත් මේ සෙල්ලම සාධාරණීකරණය කරන එකයි. තමන්ගේ පැවැත්ම තීරණය වෙන්නෙත් මේ සෙල්ලම ඇතුළේ කියලා ඒ අය දන්නවා.

දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් මොකක්ද වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විදිහට නම් පාර්ලිමේන්තුවෙන් කෙරෙන්න ඕන “ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය” නියෝජනය කිරීමක්. ඒත් පාර්ලිමේන්තු ඡන්දයක දී ජනතාවගේ ඡන්දය ලබාගන්න බහුතරය ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙන අය නෙවෙයි. මේ සම්බන්ධයෙන් ජනතාවට දොස් කියන්න බෑ. ජනතාවට ඕන තමන්ගේ වැඩ කරලා දෙයි කියලා ඒ අය හිතන නායකයෝ පිරිසක් පත් කරගන්න. ඒ කියන්නේ විධායක හැකියාවක් තියෙන පිරිසක්. මේක ඉතාමත් සාධාරණ සිතුවිල්ලක්.

ජනතාවගේ මේ අපේක්‍ෂාව ඉටු කරන්න පුළුවන් කියලා තහවුරු කරන අය බලයට එනවා. (මේ ජනතා අපේක්‍ෂා තහවුරු කිරීමේ ව්‍යාපෘතියේ පිරිවැය ගැන ආයෙත් කියන්න ඕන නෑ). ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයකින් බලයට එන අය අතර බහුතරයක් ඉන්නේ විධායක හැකියාව විතරක් තියෙන අය. එහෙම අයට ව්‍යවස්ථාදායක හැකියාවක් නෑ. හැබැයි මේ අයට පැවැරෙන්නේ නීති ව්‍යවස්ථා හැදීමේ වගකීම.

“උත්තරීතරයි” කියලා බොරුවට පුම්බලා තියෙන ඔය පාර්ලිමේන්තුවේ වැඩ කෙරෙන්නේ මෙහෙම තේරෙන මන්ත්‍රීවරු බහුතරයට ඕන විදිහට නම් නෙවෙයි. නීති අණ පනත්, ව්‍යවස්ථා හදන්නේ ඉතාමත් සීමිත පිරිසක් විසින්. ඒ සුළු පිරිස විසින් හදලා (බොහෝ වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් හදලා) ඉස්සරහට දාන ඒවාට පක්‍ෂව සහ විපක්‍ෂව අත ඉස්සීමේ “වගකීම” විතරක් ඒ බහුතරයට පැවැරිලා තියෙනවා. තමන් ඡන්දය දුන්නේ මොකකට ද කියලාවත් ඒ අයගෙන් සෑහෙන පිරිසක් දන්නේ නෑ.

ඇමැතිවරු කියන්නේ විධායක හැකියාවක් තියෙන්න ඕන පිරිසක්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ඇමැතිවරු තෝරලා පත් කරගන්න ඕන පාර්ලිමේන්තුවෙන්. ඒ කියන්නේ පොතේ හැටියට ගත්තොත් ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙන අය අතරින්. මේ මොන විකාර වැඩක් ද? ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙන අය අතරින් විධායකයට මිනිස්සු තෝරනවා. ව්‍යවස්ථාදායක හැකියාවත් විධායක හැකියාවත් දෙකම තියෙන අය ඉන්න පුළුවන් තමයි. ඒත් එහෙම අය කී දෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ද? ඒ වගේ ම, ඇමැතිවරු විදිහට මේ පත් කරගන්නේ එහෙම අය ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන කාර්යය ඉෂ්ට කරන්න බැරි පිරිසකුත් (ඒ කියන්නේ විධායක හැකියාව විතරක් තියෙන පිරිසකුත්) පාර්ලිමේන්තුවට පත්වෙන හින්දා ඇමැති මණ්ඩලයට අවශ්‍ය අය තෝරගන්න අමාරු නෑ. ඔය අස්සේ කිසිම විධායක හැකියාවක් නැති සමහර අයත් ඇමැතිකම්වලට පත්වෙනවා. හුඟක් වෙලාවට එහෙම අය පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නේ ජාතික ලැයිස්තුවෙන්.

විධායක හැකියාවක් තියෙන අය ඇමැතිකම් බලාපොරොත්තු වීම හිතාගන්න පුළුවන්. ඉතින් දැන් හැම කෙනෙක් ම වගේ පාර්ලිමේන්තුවට එන්නේ ඇමැතිකම් බලාගෙන. මෙහෙම අයට ගහ මරාගන්න වුනත් පුළුවන්. ඉතින් පාර්ලිමේන්තුව ඇතුළේ යුද ගැටුම් ඇතිවෙන එකත් සාමාන්‍ය දෙයක්. කිරි නිෂ්පාදනය වෙනුවෙන් ගොන්නු ඇති කරලා කරත්ත අදින්න උන් දානවා. ඊට පස්සේ “කිරි නෑ, කිරි නෑ” කියලා කට්ටිය බෙරිහන් දෙනවා. එක එකාට දොස් කියාගන්නවා.

මේ මහා ජංජාල මැද්දේ නීති හදන්නේ, ව්‍යවස්ථා හදන්නේ සහ රෙපෙයාර් කරන්නේ ප්‍රභූ නායකයන්ගේ සහ ප්‍රභූ කණ්ඩායම්වල අවශ්‍යතා වෙනුවෙන්. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා (නගර / මහ නගර සභා) මේ හැම එකක් ම හදලා තියෙන්නෙත් ඒ අය වෙනුවෙන්. අතරින් පතර වෙනත් අයටත් මේවාට රිංග ගන්න පුළුවන් තමයි. හැබැයි මහ බලයක් අල්ලගන්න නම් ඒ අයට බෑ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මායාව ඇතුළේ රඟ දැක්වෙන ප්‍රභූ බල සන්නිය ගැන කියවා කියවා ඉඳලත් වැඩක් නෑ. මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහක් ගැනත් අපි හිතන්න ඕන. හැම ලෙඩක් ම එක බෙහෙතකින් සනීප කරගන්න බෑ කියන එක අපි කවුරුත් දන්නවා. කොහොම වුනත් මේ සඳහා යන මහා ගමන අපි පටන්ගන්න ඕන ඒ වෙනුවෙන් තියෙන එක වැදගත් පියවරකින්. මේ ගමන ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ බිම් මට්ටමේ පාලනයට ජනතාව සහභාගී කරගැනීමෙන්. ඒ කියන්නේ ගම් සභා සහ නාගරික සභා ඇති කරගැනීමෙන්.

අද අපි අපේ මූලික ම දේශපාලන කාර්යය බවට පත් කරගත යුත්තේ ජනසහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් හඬනැගීමයි. ජනතා ප්‍රශ්න ගසාකමින් බලයේ රැඳිලා ඉන්න ප්‍රභූ කඳවුර දුර්වල කරන්න පුළුවන් මූලික ම ක්‍රමයත් මේකයි. ඉතින් අපි අපේ දේශපාලන ක්‍රියාන්විත මෙහෙයවන්න ඕන මෙන්න මේ වෙනුවෙන්. ඒ කියන්නේ බිම් මට්ටමේ ජන සහභාගීත්ව පාලනයක් (ගම් සභා සහ නාගරික සභා) ඇති කරගැනීම වෙනුවෙන්. මේක තමයි ආරම්භක පියවර.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More