පුරවැසි කොලම

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන්, බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම් පරීක්ෂා කිරීමට පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාට වාර්තාව බාර දුන්නේය. එම කමිටු වාර්තාව නිකුත් වූයේ බෝන් අගේන් නිකාය විවේචනය කිරීමෙන් තමාට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකාර තනතුර අහිමි වූ බවට චරිත් සේනානායක විසින් කරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ උණුසුම මැදය. මේ පළවන්නේ ඒ පිළිබඳ ඔහු ‘සිළුමිණ‘ට විශේෂයෙන් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවය.

බෝන් අගේන් එකට විරුද්ධව මොකක්ද ඔබ කළ විවේචනය?

මෙහෙමයි, මම කිවුවේ මගේ කිසිම ප්‍රශ්නයක් නෑ කාගෙවත් තියෙන ඇදැහිලි විශ්වාසයන් ගැන. හැබැයි කෙනෙක්ගේ තියෙන ඒ විශ්වාසයන් තව කෙනකුට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක වැරදියි. විශේෂයෙන් ක්‍රීඩාවේදි. එහෙම එකක් තියෙනවා නම් ඒක හොයලා බලලා ඒක නවත්තන්න ඕනා. ඒක වෙන්න බෑ. ඒකයි මම කිවුවේ. ඕක මම 2018දිත් කිවුවා. ආයේ මේ ඊයේ පෙරේදා බෝන් අගේන් ප්‍රශ්නය ආයේ ඇදිලා ඇවිල්ලා මගෙන් ඇහුවම මම එහෙම කිවුවා. මම එදත් කිවුවා. අදත් කියනවා හෙටත් කියනවා.

2018දී මොකක්ද වුණේ ?

මම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් අයින් වෙනකොට චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු විදිහට ගාලු ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ මට චෝදනාවක් ආවා ශ්‍රී ලංකා කණ්ඩායම පරදින්නේ මම හින්දා කියලා පුහුණුකරු කිවුවා කියලා. එහෙම කිවුවම මම තරගයෙන් පස්සේ ගෙදර ආවා. මම හින්දා නම් ලංකාව පරදින්නේ මම කණ්ඩායමේ ඉන්න එක හරි නෑ. මම අසාධාරණයක් නේ කණ්ඩායමට කරන්නේ. හතුරුසිංහ පැහැදිලිවම කිව්වා මම නිසා තරග පරදිනවා කියලා. ඉතින් මම ගෙදර ගියා. හැබැයි හතුරුසිංහගෙයි මගෙයි පුද්ගලික තරහක් නෑ, මතවාදයන් තිබ්බට. එයාගේ පුහුණු ක්‍රමවේද, අනුගමනය කරපු පිළිවෙත, එයාගේ ඇදහිලි හා විශ්වාසයන් ගැන මම එකඟ නෑ. වෘත්තීමය වශයෙන් ඇති අපි අතර යම් යම් මතවාද තිබුණා; එච්චරයි.

ඊට පස්සේ ඔබ ආපහු ආවනේ ?

ඔව්. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාව ආපහු ගෙන්නුවා ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු හැටියට. ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු හැටියට මම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ගියා.

හතුරුසිංහ පුහුණුකරු විදිහට කණ්ඩායමට එකතු වුණාට පස්සේ ඔබ බෝන් අගේන් ප්‍රශ්නය ගැන කතා කළා නේද?

ඔව්.

මොකක්ද ලැබුණු ප්‍රතිඵලය ?

මොකුත් නෑ. කණ්ඩායමෙන් අයින් වෙන්න සිද්ධ වුණා විතරයි.

ඔබ සෑහෙන කාලයක් ක්‍රිකට් ආයතනය සමඟ එකට වැඩ කළානේ?

ඔව්. මම වෙළෙඳ ප්‍රධානි විදිහට කාලයක්ම වැඩ කළා තමයි.

ඒ කාලේ මේ බෝන් අගේන් ප්‍රශ්නය තිබුණේ නැද්ද ?

මම ඉස්සෙල්ලාම ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වුණේ 2008දී කණ්ඩායමේ කළමනාකරු විදිහට. ඒ, ඉන්දියානු සංචාරයකදී. ඊට පස්සේ එයාලා මාව වෙළෙඳ ප්‍රධානි තනතුරට දැම්මා.

එතකොට කවුද සභාපතිවරයා විදිහට හිටියේ ?

එතකොට හිටියේ අර්ජුන රණතුංග.

ඔබයි හතුරුසිංහයි එකම කාලයේ එකම සංචාරයක් ඇතුළත කණ්ඩායමට එක් වුණේ. එතකොට චන්දික බෝන් අගේන් කියලා ඔබ දැනගෙන හිටියද?

නෑ, එයා බෝන් අගේන් වුණේ ඊට පස්සේ වෙන්නැති.

බෝන් අගේන් සංකල්පය ශ්‍රී ලංකාවට ගෙනාවේ ක්‍රිකට් ඒජන්ත චාලි ඔස්ටින් ද ?

නෑ, ඔය බෝන් අගේන් සංකල්පය ලංකාවේ තිබ්බා අපි ඉස්කෝලේ යන කාලෙත්. ඒ කාලෙත් ජාතික කණ්ඩායමේ බෝන් අගේන් ක්‍රීඩකයන් හිටියා.

ඉතින් ඒ කාලයේ අනිත් ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වුණේ නැද්ද ?

නෑ. එහෙම අනිත් අයට ප්‍රශ්න දැම්මේ නෑ. තමන් පෞද්ගලිකව ඇදහීම් කළා. ඒ හිටපු කෙනා වේගපන්දු යවන්නෙක්. පසුගිය කාලයේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ විවිධ තනතුරු පවා දැරුවා. බෝන් අගේන් සංකල්පය ලංකාවේ හැමදාම තිබුණා. ඕක මේ ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි. ඒ වුණාට ඒක පිල්ලියක් වුණේ ළඟදි. එහෙම පිටින්ම. අනික ඒ දවස්වල එච්චර කොටස් තිබ්බේ නෑ. බෝන් අගේන් එක කොටසක් නෙවෙයි. බෝන් අගේන් කොටස් කිහිපයක්ම තියෙනවා.

දැන් බෝන් අගේන් නායකයා කියලා කියන්නේ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර්නේ. ඔබ කියන්නේ බෝන් අගේන් ලංකාවට එනකොට ඔහු ඉපදිලාවත් නෑ කියලද?

ඔව්. ඒක කලින් ඉඳලම තිබ්බා. දැන් හැම කෙනෙකුම පාස්ටර්ලා. පාස්ටර්ලා කියලා නෙවෙයි එයාලාට කියන්නේ ප්‍රොෆට්ලා කියලා. පිරිමින්ට කියන්නේ ප්‍රොෆට්. ගැහැනුන්ට කියන්නේ ප්‍රොෆටිස් කියලා.

පාස්ටර් ජෙරොම් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ. ඔබ සමඟ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවද?

නෑ. ඔහු මට වඩා කනිෂ්ඨ ක්‍රීඩකයෙක්.

එතකොට මේ බෝන් අගේන් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිපුර කතාබහට ලක් වුණේ කොයි කාලයේද ?

මම හිතන්නේ 2015න් පස්සේ තමයි ඕවා සිද්ධ වෙන්න පටන් ගත්තේ. මේක ගොඩාක් අයට තේරෙන්නේ නැත්තේ කොහොමද මේක ක්‍රීඩකයන්ට බලපාන්නේ කියන එකයි. අපි මෙහෙම හිතමුකෝ. උදාහරණයකට ගත්තොත් කණ්ඩායමේ කළමනාකරු බෝන් අගේන් නිකායට අයිති කෙනෙක්. එයා හැම තිස්සෙම දෙවියෝ ගැන කියවන්න පටන් ගන්නවා. එයා ක්‍රීඩකයන්ට කියනවා ඔයාලා එන්න දෙවියන් ළඟට. ඔයාලගේ හැකියාවන් වර්ධනය වෙනවා කියලා. එතකොට වෙන්නේ ක්‍රීඩකයන් දෙන්නෙක් අතර කවදාහරි තේරීම්වලට අවස්ථාවක් ආවොත් සමහර වෙලාවට බෝන් අගේන් නිකායට බැඳෙන්න පුහුණුකරු ළඟට ආපු ක්‍රීඩකයාට හිත යන්න පුළුවනි. ආපු නැති ක්‍රීඩකයාව එළියේ තියන්න පුළුවනි.

එහෙම වුණාද ?

( සිනාසෙයි) එහෙම වීගෙන ආවා. ගොඩාක් ක්‍රීඩකයන් බෝන් අගේන් පැත්තට හැරුණේ එයාලා හිතුවා බෝන් අගේන් වුණොත් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් වේවි කියලා. අන්න එතනයි අනතුර තියෙන්නේ.

ඒ කියන්නේ ක්‍රීඩකයන් අතරම විශ්වාසයක් ඇතිවුණා බෝන් අගේන් වුණොත් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් කියලා?

ඔව්. ඒ විශ්වාසය හදනවා. මෙහෙමයි, ඉහළ තනතුරකට ඇවිත් කවුරුහරි බෝන් අගේන් එක වපුරන්න පටන් ගත්තොත් එයාගේ බලපෑම අනිවාර්යයෙන්ම එයාගේ යටතේ ඉන්න ක්‍රීඩකයන්ට එන්න පුළුවනි. ඒකම වෙනවා නිලධාරීන්ගේ පැත්තෙනුත් එහෙමයි. වැටුප් වැඩි කිරීම්, ඉහළ තනතුරු, කොන්ත්‍රාත් වගේ දේවල් ඔක්කොම ලැබෙන්නේ ඒ විශ්වාසය පස්සේ යන අයට තමයි. අනිත් අය ඔක්කොම හැලෙනවා. ඔය සිස්ටම් එක ඇවිල්ල අපි යටත්විජිතවාදී කාලේ සුද්දා ඉන්නකොටත් ඕකම තමයි කළේ. මිනිස්සුන්ව ආගම්වලට හැරෙව්වා. නම් මාරු කළා. ඒ විදිහට තමයි යන්නේ. එගොල්ලෝ හැරුණේ එගොල්ලන්ගේ පෞද්ගලික වාසි තකා. ඒ ප්‍රවණතාවම දැන් ආපහු වෙන්නේ. වැඩිපුරම ඇදලා ගන්නේ බෞද්ධාගමේ අයව.

මොකක්ද එයාලාගේ පරමාර්ථය ?

පරමාර්ථය එයාලගේ ආගමට හරවාගෙන එයාලගේ කොටස වර්ධනය කරගැනීමයි. බලන්නකෝ එයාලගේ වර්ධනය වෙලා තියෙන හැටි. මේ වගේ කොටස් පටන් ගත්තේ පොඩි කාමරවලින්. ඒත් දැන් බලන්න තට්ටු ගණනාවක මන්දිර හදලා. රථ ගාල සකස් කරලා තියෙන්නෙත් ඒවා ඇතුළේ. එච්චර වර්ධනයක් කොහොමද වෙන්නේ. කෝටි ගාණක් වියදම් කරලා. කොහොමද කරන්නේ. ඊයේ පෙරේදා මට ආරංචි වුණා ජෙරොම්ගේ පාස්ටර් කෙනෙක්ගේ විවාහ මංගලෝත්සවයක් පැවැත්වුණා කියලා ෂැංග්‍රිලා හෝටලයේ අමුත්තන් 1100 ඇවිල්ලා තියෙනවා. හොයලා බලන්න. ඒවා ඇත්තම බෝන් අගේන් කොටස් නෙවෙයි ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ කල්ට්ස් කියලා. කල්ට්ස් එහෙම නැත්තම් ඇදහිල්ලක්, වන්දනයක් බවට පත්වෙනවා. අන්න එතැන තමයි අනතුර තියෙන්නේ.

අලුත් පරම්පරාවත් ඒකට යොමු වෙනවා?

ඔව්, වාණිජමය වාසිවලට.කෙළින්ම එන්නේ එගොල්ලෝ කියන්නේ මේ නිකායට ආවොත් ඔයාලට ඉහළ තනතුරු හම්බවෙනවා. ඔයාට දෙවියෝ අරවා දෙනවා මේවා දෙනවා කියලා කිවුවම මිනිහෙක්ගේ ආත්ම විශ්වාසය නැතිවෙලා හැම දෙයක්ම දෙවියෝ දෙනවා කියලා හිතන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ.

අපේ යොවුන් ක්‍රීඩකයන්ට කොහොමද මේ බලපෑම සිද්ධ වෙනවානම් සිද්ධවෙන්නේ. ? විශේෂයෙන් පාසලින් පිටතට එන ක්‍රීඩකයන්ට?

එයාලගේ හැකියාවන් ගැන විශ්වාසය නැතිව, වෙන වෙන පැතිවලින් කෙටි පාරවල් හොයනවා ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරන්න.

ඒකෙන් වෙන්නේ තිබ්බ හැකියාවත් නැති වෙන එකද ?

ඔව්, හරි මාර්ගයේ යන්නේ නැතිව දේව මාර්ගයේ ගිහින් ලෝකේ ක්‍රිකට් ගහන්න බෑ. තමන්ගේ තියෙන හැකියාව වර්ධනය කරගන්නේ නැතිව තනිකරම හොර මාර්ගයෙන් ලංකා ටීම් එකට සෙල්ලම් කරන්න හදනවා. සෙල්ලම් කරයි. හැබැයි ජාත්‍යන්තර මට්ටමේදී මොකුත් කරන්න බෑ. ජාත්‍යන්තර පිටියේදී ඒවා වැඩක් නෑ. ක්‍රිකට් ආයතනයෙනුත් මිථ්‍යා දෘෂ්ටිය අයින් කරන්න ඕනා. මිථ්‍යා දෘෂ්ටිකයන් ඉන්නවා නම් උන්වත් එළවන්න ඕනේ.

නව තාක්ෂණයත් එක්ක මේවා ගැළපෙන්නෙත් නෑනේ?

නව තාක්ෂණය, නව හැකියාවන්, නව ශාරීරික යෝග්‍යතා මට්ටම් ඒවා ඔක්කොම අයිතියි. නව ලෝකයේ ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනෑම ක්‍රීඩාවක තනිකරම වෙන්නේ ඒ විදිහට. ආගමට ඉඩක් නෑ ජාත්‍යන්තර ක්‍රීඩාවේදි. ඒවා කරන්න පුළුවන් නිකම් සාම්ප්‍රදායික විදිහට. ඒක ක්‍රීඩාවට ගෙනියන්නේ නෑ.

ඔබට බෝන් අගේන් නිකායට බැඳෙන්න කවුරුවත් යෝජනා කළේ නැද්ද ?

මගේ යාළුවෝ ඉන්නවා. මගේ පවුල්වලට සම්බන්ධ අය ඉන්නවා. මට කතා කරලා තියෙනවා ඕන තරම්. ඒ වුණාට ඒක මගේ කැමැත්ත. මට කතා කරපුවම මම එයාලාගෙන් අහනවා ඇයි මම මොනවටද එතැනට එන්නේ කියලා. මට කිසිම අවශ්‍යතාවක් නෑ කියලා. හැබැයි මගේ කිසිම තරහකුත් නෑ එයාලත් එක්ක.

ඔබ බෞද්ධයෙක් ද?

මම සිංහල බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ ඉස්කෝලෙකට ගියේ. ඒ වුණාට මට ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕන නම් මම පන්සලට යනවා. මට ඕන නම් මම පල්ලියට යනවා. ඕනේ නම් මුස්ලිම් පල්ලියටත් යනවා මට ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ හැමදෙයකටම වඩා මගේ ආත්ම විශ්වාසය මට වටිනවා. මගේ හිතට හරියන වැඩ තමයි මම කරන්නේ.

හරි. අපි ආපහු පටන්ගත්තු තැනට යමු. ඔබට ලිඛිතව දැනුම්දීලා තිබුණ ද ඔබ තමයි ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු කියලා?

මට ඔප්පු කරන්න පුළුවනි මා එක්ක කතා කළා කියලා ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු හැටියට.

දැනුම් දීමකින් තොරව ඔබව ඉවත් කළා කියලනේ ඔබ කියන්නේ. හරි ක්‍රමය ඒක නෙවෙයිනේ. ?

හරි ක්‍රමය වෙන්න තිබ්බේ මා අතින් වැරැද්දක් වුණා නම් මාව ගෙන්නලා පරීක්ෂණයක් පවත්වන එක. මොකක්ද මේ කිවුවේ කියලා. එහෙම කියලා ඔයා කරපු ප්‍රකාශය වැරදියි, ඒකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හානියක් වෙනවා. ඒක නිසා ඔයාව අයින් කරනවා කියලා. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.

එහෙනම් මොනවද ඔබ මේ කියන්නේ ?

ප්‍රශ්නය තියෙන්නේ මට නොකියා මාව අයින් කරපු එක ගැනයි. මොකක්ද මේ අද්භූත බලවේගය මගේ පිටිපස්සෙන් ගිහිල්ලා එංගලන්ත සංචාරයේ වැඩසටහන ගැන මාත් එක්ක කතා කර කර ඉඳලා කොහොමද පුහුණුවීම් පටන් ගන්න සතියක් තියෙද්දී මාව අයින් කරන්නේ? මම ඒක දැනගත්තෙත් මාධ්‍යයෙන්. අද වෙනතුරු මට කියලා නෑ මම ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු නෙවෙයි කියලා. හැබැයි කනගාටුවට කාරණය මාව පත් කළේ නෑ කියලා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරපු එකයි. ඒක හරිම කැතයි. මම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ගහලා රටට සෙල්ලම් කරලා, ක්‍රිකට් ආයතනයේ වැඩ කරලා මම හිතුවේ නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කවදාවත් ආයතනයක් හැටියට මේ වගේ පහත් වැඩ කරයි කියලා. බොරු කියන්න හොඳ නෑ. එතකොට ආයතනයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා. වැරැදි වෙන්න පුළුවනි. මට වැරැද්දක් වෙන්න පුළුවන්. ක්‍රිකට් ආයතනයට වැරැද්දක් වෙන්න පුළුවන්. ළඟින් වැඩ කරන දෙපාර්ශ්වයක් හැටියට අපිට කතා කරලා විසඳගන්න තිබුණා. හැබැයි බොරු කියන්න හොඳ නෑ. විශේෂයෙන් මාධ්‍යයට.

ඒ වුණාට ඔබට පරීක්ෂණයක් පවත්වනවා කියලා පස්සේ කිව්වා නේද ?

පරීක්ෂණයක් මොකක් කරන්නද? පරීක්ෂණයක් මොකටද කරන්නේ ආයතනය කියනවානම් ‘ඒ‘ කණ්ඩායමේ කළමනාකරු හැටියට මාව පත් කළේ නෑ කියලා. එහෙනම් මම ක්‍රිකට් ආයතනයට වැඩ කරන කෙනෙක් නෙවෙයිනේ. මම ස්වාධීන පුද්ගලයෙක්නේ. කොහොමද එහෙමනම් පරීක්ෂණයක් තියන්නේ ?

ඔබව ඒ තනතුරට පත් නොකළ බවට ඔප්පු කරන්න කියලා ඔබ ක්‍රිකට් ආයතනයට අභියෝග කරනවද ?

මට කිසිම දෙයක් එයාලට අභියෝග කරන්න ඕන නෑ. එගොල්ලන්ගේ කර්මය එගොල්ලෝ අරන් ගියාදෙන්. let them carry their own cross. මට අභියෝග කරන්න ඕනෙත් නෑ, මට අඩුම තරමින් එයාලට කතා කරන්න ඕනෙත් නෑ. ඒක එගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මගේ නොවෙයි. ඊට එහා මම ඒ ගැන අනාගතයේදී මට කිසිම වුවමනාවක් නෑ මේ ප්‍රශ්නය කතා කරන්නවත්.

ඔබ ආවේගශීලිවද නැතිනම් වේදනාවෙන් ද මේ කතා කරන්නේ?

මම කියන්නේ හැමදාම මම විතරයි කෑගහන්නේ මේකට. අන්තිමට මමයි නරක මිනිහා වෙන්නේ. හැමදාම මමයි ඒකට පවු ගෙවන්නේ. වෙන කිසිම මිනිහෙක් ඉස්සරහට එන්නේ නෑ ඒ ගැන කතා කරන්න තමන්ගේ පෞද්ගලික හේතු නිසා. කිසිම දෙයක් ගැන ඇත්ත කියන්නේ නෑ. මම ඇත්ත කියලා ඉවරවෙලා මටයි පවු ගෙවන්න වෙලා තියෙන්නේ.

ඔය කියන පුද්ගලයන් ඇයි ක්‍රිකට් ආයතනය ඔයතරම් බය ?

එයාලගේ පෞද්ගලික වාසි තකා තමයි. බයයි හැමකෙනාම.

ඔබ කියන්නේ ඔවුන්ට මුදල් දීලා නිශ්ශබ්ද කරලා කියලද?

ඒක දන්නවනේ ඔයා. මීඩියා එකෙත් කටවල් වහලනේ තියෙන්නේ. මීඩියා එකේ කීදෙනක් කතා කරනවද ඔය ගැන ? කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ මීඩියා එකේ. ගොඩාක් අය පෞද්ගලික වාසි තකා. දන්නවා හරි මොකක්ද වැරැදි මොකක්ද කියලා. හැබැයි කවුරුවත් කතා කරන්නේ නෑ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් සංචාරයක් යද්දී ආගමික වතාවත් සිදුකරනවනේ. ඔබ කළමනාකරු විදිහට කටයුතු කළ කාලයෙත් ඒක සිදු වුණාද ?

ඔව්. මගේ ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ කළමනාකරුගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ දේ සිද්ධ වුණේ. මොකද කළමනාකරු තමයි කණ්ඩායමේ ලොක්කා.

ඒක දැන් කෙරෙන්නේ නෑ නේද ?

එහෙම ආරංචියි. මම දන්න විදිහට කොවිඩ් වසංගතය කාලේ තමයි ඕක නතර වුණේ.

ඒවා කෙරෙන්න ඕන දේවල් නේද ?

ඒක සාම්ප්‍රදායික දෙයක්. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන්න කලින් ක්‍රිකට් පාලක මණ්ඩලය තිබුණු කාලයේ රොබට් සේනානායකලාගේ කාලයේ ඉඳලා සිදු කළ සාම්ප්‍රදායික දෙයක්. මේක ලංකාව බුද්ධාගමේ රටක් හැටියට, ආගම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මනවා. උන් වහන්සේ කණ්ඩායමේ හැමෝටම ආශිර්වාද කරනවා. ආගම් ප්‍රශ්නයක් නැතිව හැම කෙනෙක්ම පිරිත් නූලක් දැම්මා, මොන විශ්වාසය තිබ්බත්. ඒක දැම්මේ හැම කෙනාගෙම ආරක්ෂාවට. ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මම දන්නේ නෑ දැන් ඒක ප්‍රශ්නයක් වෙලාද කියලා. අපි සෙල්ලම් කරන කාලයේ ඉඳලා විදෙස් සංචාරවලට යනකොට පිරිත් නූලක් ගැට ගහනවා. නැතිව මේක බුද්ධාගමේ කියලා එකක් නෙවෙයි. ඒක කණ්ඩායමේ ආරක්ෂාවට කියලා කරපු ආශීර්වාදයක්.

ක්‍රීඩා ඇමැතිවරයාට බාර දුන්නු කමිටු වාර්තාවෙත් මේ ගැන සඳහන් වෙනවා ?

ඒ වාර්තාවේ බෝන් අගේන් ගැන කියලා තියෙනවනේ. පුද්ගලයන් හත් අට දෙනෙක් ගැනත් කියලා තියෙනවනේ ලොකුවට. ඒකේ තියෙනවා මේ ගැන විභාග නොකළොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්, ඒ නිසා විභාග කරන්න කියලා.

ඔබ කීවේ ඊට පෙර ?

මම කිවුවේ මේ වාර්තාව එන්න කළින්, 2018 ඉඳලා. මේක මෙතැනින් නතර කර ගන්න කියලා ප්‍රශ්නයක් වෙන්න කලින්. කවුරුවත් මම කියපු දේ ඇහුවේ නෑ. ඕවා කියන්න ගිහින් තුන්හතර පාරක් මට ගෙදර යන්න වුණ ඒකයි වුණේ. කෙළින් කතා කරපු මට හැමදාම ක්‍රිකට් ආයතනයෙන් කළේ ඕකයි.

ක්‍රීඩකයන්ගේ විශ්වාසයන් සහ ඇදැහිලි සම්බන්ධව ඔබේ අදහස මොකක්ද ?

ඕන විශ්වාසයක්, ඇදැහිල්ලක් කමක් නෑ. අනිත් එක මම යෝජනාවක් ගේනවා මින් පස්සේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුමට දාන්න වෙයි තමන්ගේ පෞද්ගලික ආගම් විශ්වාසයන් ක්‍රීඩාවට අදාළ කරගන්න එපා කියලා. තමන්ගේ ආගමික දර්ශනය තමා ගාව තියා ගන්න කියලා.

මෙය විශේෂ සම්මුඛ සාකච්ඡාවක් නේද ?

ඔව්. මම ‘සිළුමිණ‘ට විතරයි මේ සම්මුඛ සාකච්ඡා දුන්නේ. මොකද ‘සිළුමිණ‘ තමයි මේ ගැන ඉස්සෙල්ලම ලිවුවේ. අනිත් අය ලිවුවේ වටින් ගොඩින්. ‘සිළුමිණ‘ විතරයි කෙළින් කතා කළේ. මාධ්‍යවේදියෙක් හැටියට සත්‍ය තොරතුරු අනාවරණය කරන්න ගිහින් ඔබටත් පෞද්ගලිකව ප්‍රශ්න ඇතිවීම ගැන මට හරිම කනගාටුයි.

දැන් ඉතින් ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

(සිනාසෙයි) මට කරන්න දේවල් දෙකක් තියෙනවා. එකක් බෝන් අගේන් වෙන එක. එතකොට ආයේ ක්‍රිකට් ආයතනයට යන්න පුළුවනි. නැත්තම් දෙයියන්ට කියලා දෙයියන්ගේ නාමෙන් ගෙදරට වෙලා ඉන්න පුළුවනි. ඒ කියන්නේ දෙයියන්ට ප්‍රශංසා කරලා ක්‍රිකට් ආයතනයට යන්න පුළුවන්. නැත්තම් දෙයියන්ට ප්‍රශංසා නොකර ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මේ දෙකෙන් එකක් තමයි මට දැන් කරන්න වෙලා තියෙන්නේ.

(සිළුමිණ පුවත්පත)
– ෆවුස් මොහොමඩ්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More