ප්‍රතිපත්ති සම්පාදනයේ දී ලෝකය පුරා පිළිගන්නා මූලධර්මයන්ට අනුව යම් ප්‍රතිපත්තියක අන්තර්ගත කරුණුවලට වඩා එම ප්‍රතිපත්තිය සකස් කළ ආකාරය වැදගත් වේ. එනම් ඊට බුද්ධිමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ විශ්වසනීයත්වය සහ වඩා පුළුල් පරාසයක මහ ජනතාවගෙන් අදහස් ලබාගැනීම සඳහා යොදා ගත් ක්‍රමවේදය කුමක්‌ද යන්නයි. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017.06.18 දින දරන නව වෙළෙඳ ප්‍රතිපත්තිය නමින් හඳුන්වන ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය හෙවත් සැබෑ අර්ථයෙන් ගත් විට විදේශීය වෙළෙඳ ප්‍රතිපත්තියට අදාළව ඉහත සඳහන් කළ ක්‍රමවේදය සහ ඊට දායක වූ පුද්ගලයන්ගේ වතගොත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත. ඒ අනුව ඕනෑම ජාත්‍යන්තර ඒජන්සියකට රහසිගත සේවා සපයන පුද්ගලයන්ට එම ආයතනයේ හෝ එම රටේ වුවමනාවන්ට අනුව අප රටේ වෙළෙඳ ප්‍රතිපත්තිය තීරණය කිරීම සඳහා ඉඩක් ඉතිරි වී ඇත. ඉන්දියාව වැනි රටවල් මෙම ඉඩ නැති කිරීම සඳහා විශේෂ ක්‍රමවේද හඳුන්වා දී ඇත. ඉන් පළමු වැන්න පුද්ගලයන් සහ ක්‍රමවේදය එළිදරව් කිරීමය.
මීට පෙර ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නමින් ලේඛනයක් 2016-09-05 දිනය යොදා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ A4 වර්ගයේ පිටු 105කින් සමන්විත එම ලේඛනයේ සඳහන් වන්නේ එම ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් ආචාර්ය රවී රත්නායක නම් වූ පුද්ගලයා වෙත විද්යුත් තැපෑල මගින් එවන ලෙස ය. නමුත් වඩා පුළුල් ලෙස විද්වතුන්ගේ හෝ මහජනතාවගේ අදහස් ලබා ගන්නා ක්‍රමවේදයක් එහි සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් එම ලේඛනයේ ආරම්භයේදී ස්‌තුතිය පළ කිරීමේදී ඊට දායක වූ පුද්ගලයන්ගේ නම් සහ තනතුරු ලයිස්‌තුවක් ඇතුළත් කොට ඇත. රවී රත්නායක නම් වූ පුද්ගලයා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ සහ ආයෝජන පිළිබඳ අධ්‍යක්‌ෂවරයෙක් ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු නවසීලන්ත පුරවැසියෙකි.
පිටු 105කින් සමන්විත වූ එම ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නව වෙළෙඳ ප්‍රතිපත්තිය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී පිටු 27 දක්‌වා අඩුවී ඇත. නමුත් එසේ එම ලේඛනය කපා කොටා නැවත සකස් කළ ආකාරය පිළිබඳව විස්‌තරයක් දැනගන්නට නැත. කෙසේ වෙතත් එම මූලික ලේඛනයේ අඩංගු වූ බොහෝ කරුණු පාඨ ග්‍රන්ථ සහ පර්යේෂණ පත්‍රිකා වලින් කපා – කොටා ඇලවූ ඒවා බව පැහැදිලිව පෙනුණි. අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ලේඛනය තුළ අඩංගු වන්නේ වෙළෙඳාමට අදාළ පොදු සංකල්පීය කරුණු පමණි. එමඟින් මූලික ආර්ථêක උපායමාර්ගයන්ට අනුකූලව වෙළෙඳ උපාය මාර්ග ස්‌ථානගත කෙරෙන්නේ නැත. එනම් ඒ තුළින් රටේ ආර්ථික වුවමනාවට අනුව වෙළෙඳාම ප්‍රචලිත කිරීම සඳහා යොදාගත යුතු උපාය මාර්ගික රාමුවක් හඳුන්වා දෙන්නේ නැත.
නමුත් පිටු 29 කින් සමන්විත ඉන්දියාවේ විදේශ වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ නිශ්චිත උපාය මාර්ගික රාමුවක් හඳුන්වාදී ඇත. ඊට අනුව වැඩි අවධානය යොමුවන්නේ අපනයනය සහ නිෂ්පාදනය දිරි ගැන්වීමට ය. එමගින් නිෂ්පාදකයා සහ අපනයනකරුවාට ලබා දිය යුතු දිරිගැන්වීම් මොනවාද යන්න සහ ඊට අදාළ ප්‍රමාණයන් සහ ප්‍රතිශත පවා නිශ්චිතව දක්‌වා ඇත. ඊට අමතරව එම වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ විවිධ අපනයන භාණ්‌ඩ සහ ක්‌ෂේත්‍ර වලට අදාළව ලබාදෙන විශේෂ දිරිගැන්වීම් දක්‌වා ඇත. ඒ අනුව ඉන්දියාවේ සියලු අපනයන නිෂ්පාදන ක්‌ෂේත්‍ර එම ප්‍රතිපත්තිය මගින් ආවරණය කොට ඇත. ඒ විවිධ අංශ සඳහා විවිධ ආකාරයේ දිරිගැන්වීම් නිර්දේශ කොට ඇත. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය තුළ මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ මෙතෙක් අනුගමනය කළ ආරක්‌ෂණවාදී ක්‍රමවේද ඉවත්කොට ආනයනය සඳහා තීරු බදු සහන ලබාදීම පිළිබඳව ය. එනම් හැකිතාක් ආනයන ප්‍රචලිත කිරීම සඳහා වෙළෙඳාම් ලිහිල්කරණය කිරීම පිළිබඳවය. ඊට අමතරව ඕනෑම වෙළෙඳ ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලික කරුණක් වන වෙළෙඳාම් පහසුකරණය කිරීම පිළිබඳව සාමාන්‍ය සංකල්පමය කරුණු අඩංගු වේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය අහසට පොළොව මෙන් වෙනස් උපාය මාර්ගික රාමුවලට අනුව ස්‌ථානගත කොට ඇත.
ශ්‍රී ලංකාවේ නව වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ මූලික වශයෙන්ම අවධාරණය කෙරෙන්නේ වෙළෙඳාම ලිහිල්කරණය කිරීම හෙවත් ආරක්‌ෂණ වාදයෙන් ඉවත් වීම හෙවත් ආනයන දිරිගැන්වීම සඳහා තීරුබදු සහ වෙනත් අතුරුබදු සහ බදු මගින් නොවන බාධක ඉවත් කිරීම පිළිබඳවය. ඊට අමතරව ඒ මඟින් රජයට අහිමි වන ආදායම ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා මහජනයා මත පටවන වෙනත් බදු ආදායම් වැඩි කර ගත යුතු බව අවධාරණය කෙරේ. ඇත්ත වශයෙන්ම පිටු 104 ක හෝ 27ක හෝ එක් පිටුවක සදහන් කළත් ගෝලීය නව ලිබරල් වෙළඳ පොළ ආර්ථිකය ලොව පුරා ප්‍රචලිත කොට සමස්‌ත ලෝකයම එකම වෙළෙඳපොළක් බවට පත් කිරීම සඳහා යොදාගන්නා මූලික උපාය මාර්ගය වන්නේ අප වැනි රටවල් ආරක්‌ෂණ වාදයෙන් ඉවත් කිරීමය. එනම් දේශීය නිෂ්පාදන ආර්ථිකය සහ නිෂ්පාදකයා රැක ගැනීම මගින් නිෂ්පාදනය දියුණු කිරීම සහ ඒ හරහා අපනයන වර්ධනය කිරීමේ මූලික ප්‍රතිපත්තිය අත්හහැරීම ය. ඊට පක්‌ෂපාත ගෝලීය වෙළෙඳපොළ බලවේග තම ප්‍රතිපත්තිය අප වැනි රටවල් මත පැටවීම සාධාරණීකරණය කරන්නේ ආරක්‌ෂණවාදය යනු නිෂ්පාදන ආර්ථිකයට එරෙහිව පවතින ප්‍රධානතම බාධාව බවට ව්‍යාජ න්‍යායාත්මක පදනමක් හුවා දක්‌වමිනි. ඊට අදාළ විද්වත් ප්‍රකාශන පිළිබද සොයා බැලීමේදී එම න්‍යාය ප්‍රචලිත කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වන විද්වතුන් ජාලයක් හඳුනාගත හැක.
ඔවුන්ගේ තර්කවලට අනුව දේශීය නිෂ්පාදකයා තම අපනයන නිෂ්පාදන වල තරඟකාරිත්වය වර්ධනය කර ගැනීමට පෙළඹවිය හැක්‌කේ ඔවුන් හැකිතාක් තරගයට ගොදුරු කිරීම මගිනි. ඒ අනුව විදේශීය තරගකාරී භාණ්‌ඩ සහ ඒවා නිදහසේ රට තුළට ගලා ඒමට ඉඩ දුන් විට දේශීය නිෂ්පාදකයා ඊට මුහුණ දීම සඳහා කෙසේ හෝ තම තරගකාරිත්වය වැඩි කරගත යුතුය. නමුත් මහ පොළොවේ යථාර්ථය ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. දේශීය නිෂ්පාදකයාට තම තරගකාරිත්වය වර්ධනය කරගැනීම සඳහා යම් කාලයක් සහ දැනුම යෙදවුම් ඇතුළත් ප්‍රමාණයක් වැය වේ ඉහත සඳහන් කළ ආකාරයට ඉන්දියානු වෙළෙඳ ප්‍රතිපත්තිය මගින් මූලික වශයෙන් අවධාරණය යොමු කරන්නේ ඒ යෙදවුම් සඳහා රජය විසින් නිශ්චිත සහන ලබාදීම සහ අවශ්‍ය කාලය ලබා දීම පිළිබඳව ය. එසේ නොමැතිව අත් පා බැඳ දමා ඇති පුද්ගලයෙක් බොක්‌සිං තරගයට ඇද දමන්නා සේ යාන්තමින් නැඟී සිටින නිෂ්පාදකයා මහා සමාගම් විසින් අඩුමිලට ප්‍රතාපනය කරන භාණ්‌ඩ සමඟ තරගකිරීමට තල්ලු කළ විට සිදු වන්නේ කුමක්‌ද? දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ඊනියා නව වෙළෙඳ ප්‍රතිපත්තිය මගින් නිර්දේශ කරන්නේ ඒ විනාශකාරී පිළිවෙතය.
ලෝකයේ වෙළෙඳ ආධිපත්‍යය දරන රටවල් ලෝක වෙළෙඳ සංවිධානය උපාංගයක් ලෙස යොදා ගනිමින් අප වැනි රටවල් පොළඹවන්නේ එම මූලික ප්‍රතිපත්තිමය වෙනස සඳහා ය. එනම් ආරක්‌ෂණවාදී පියවර අත් හැරීම සඳහා ය. නමුත් එම බලවත් රටවල් 1930 දශකයේ සිට 1950 දශකය දක්‌වා අනුගමනය කළ තීරු බදු ප්‍රතිපත්ති අධ්‍යයනය කරන විට එම රටවල් තම නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම සඳහා යොදාගෙන ඇති මූලික ප්‍රතිපත්තිය ආරක්‌ෂණවාදය බව පැහැදිළිව පෙනී යයි. එම රටවල් තම වර්ධන අවධියේදී ආරක්‌ෂණවාදය හරහා නිෂ්පාදන ආර්ථිකය ශක්‌තිමත් කර ගැනීමෙන් පසුව දැන් ආක්‍රමණශීලීව ගෝලීය වෙළෙඳපොළ අත්පත් කරගැනීම සඳහා ආරක්‌ෂණවාදය අත්හරින ලෙස අප වැනි රටවලට උපදෙස් දෙති. ඒ අනුව දැන් නිෂ්පාදන ආර්ථිකයේ ළදරු අවධියේ සිටින එම රටවල් ඒ වැරදි උපදේශය පිළිගැනීම සඳහා නව ප්‍රතිපත්ති හදති.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව 40 දශකයේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ සංවිධාන ජාලය මෙන්ම ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල ආදී සංවිධාන බිහි වුවද ලෝක වෙළෙඳ සංවිධානය බිහිවන්නේ 90 දශකයේය. ඊට හේතු වන රහස කුමක්‌දැයි තේරුම් ගත හැක්‌කේ එම සංවිධාන බිහි කිරීමට මුල් වූ රටවල් අද අප වැනි රටවලට ලබාදෙන උපදෙස් තුළිනි. එම රටවල් විසින් එදා පළමු වටයේදීම ලෝක වෙළෙඳ සංවිධානය බිහි කළා නම් එම මුල් අවධියේදීම ආරක්‌ෂණවාදී ප්‍රතිපත්ති අත්හැරීමට ඔවුන්ට බල කෙරේ. ඔවුන් ආරක්‌ෂණවාදය හරහා තම රටවල නිෂ්පාදන ආර්ථêකය ශක්‌තිමත් කිරීමෙන් පසු ලෝක වෙළෙඳ සංවිධානය බිහි කරන්නේ දැන් ඔවුනට ආරක්‌ෂණවාදී වීම අවශ්‍ය නොවන බැවිනි. එහෙත් එම රටවල අවශ්‍යතාව අනුව ඕනෑම අවස්‌ථාවක ඒක පාර්ශ්වීයව ආරක්‌ෂණවාදී වීමට පසුබට වන්නේ නැත. මෑත කාලීනව ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය ඒ සඳහා හොඳම උදාහරණ සපයයි.
ලෝක වෙළෙඳ සංවිධානය හරහා නිර්දේශ කරන ප්‍රතිපත්ති අප වැනි රටවල් මත පටවන්නේ විවිධ මායාකාරී වචනවලින් තම සැබෑ අරමුණ සඟවන ඊනියා විද්වතුන් හෙවත් උපදේශකයන් හරහා ය. බොහෝ විට ඒ සඳහා උපදේශකයන් රාශියක් විවිධ ක්‌ෂේත්‍ර නියෝජනය කරමින් සහභාගි වේ. නමුත් බොහෝ විට සමස්‌තය මෙහෙයවන්නේ ජාත්‍යන්තර ඔත්තුකරුවන් ලෙස කටයුතු කරන එක් පුද්ගලයෙක් මගිනි. අප රටේ ඊනියා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන බවට හෙළිදරව් වී ඇති විද්වතුන් ගේ නම් ලැයිස්‌තු අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විවිධ විදේශීය බලපෑම් සහගත ආයතනවල කාලයක් සේවය කොට පසුව උපදේශකයින් ලෙස ශ්‍රී ලංකාවට සපැත් වූ අය බව ය. බොහෝ විට ලෝක වෙළෙඳ සංවිධානයේ සාකච්ඡා මෙන්ම ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් වලට අදාළ සාකච්ඡා ක්‍රියාවලිය මෙහෙය වන්නේ ද එම පිරිස් විසින් ම ය.
ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් ඒ ආකාරයට ඔත්තුකරුවන් කිහිප දෙනෙක් විසින් සමස්‌ත රටේ ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම වැළැක්‌වීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වාදී ඇත. ඉන් පළමුවැන්න විනිවිද භාවය යි. එනම් සාකච්ඡා ක්‍රියාවලිය මහජනයාට විවෘත කිරීමය. ඒ තුළ අවසන් එකඟතාවකට පැමිණීමට පෙර සහ පසුව යන අවස්‌ථා දෙකේදීම මැදිහත්වීම සඳහා මහජනයාට අවස්‌ථාව ලැබේ. දෙවැනි ක්‍රමවේදය අදාළ ක්‍රියාවලිය සහ ඊට සහභාගි වන පුද්ගලයින් නිශ්චිත වගකීම දක්‌වමින් එළිදරව් කිරීම ය. තුන්වැන්න රටට ලැබෙන ප්‍රතිලාභ හැකිතාක් දුරට ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව තක්‌සේරු කොට ඔවුන්ගේ නිර්දේශ සාධාරණීකරණය කිරීමට බලකිරීමය. බොහෝ රටවල් එම තත්ත්වය නීතිමය රාමුවක් තුළින් ම තහවුරු කෙරේ.
උදාහරණයක් ලෙස ඔස්‌ටේ්‍රලියාවේ නීතිය අනුව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඒ මඟිsන් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න සහ ඒ සඳහා යොදා ගන්නා උපාය මාර්ග කුමක්‌ද යන්න හෙළිදරව් කළ යුතුය. ඊට අදාළව මහජන සංවාද වලින් පසු පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ඒ සඳහා ලබාගත යුතුය. නමුත් අප රටේ ආර්ථිකයට ඉතා ප්‍රබල විනාශකාරී බලපෑම් ඇති කළ හැකි සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්නේ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය පවා විධිමත්ව ලබා ගැනීමෙන් තොරවය. පාර්ලිමේන්තුවේ අනුමැතිය කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමක් හෝ සිදුකොට නැත. එම ගිවිසුම මහජනයාට දැක ගැනීමට ලැබෙන්නේ සියලුම නීතිමය බැඳීම් සිංගප්පූරුව සමඟ ඇතිකර ගැනීමෙන් පසුවය.
2016 වසරේදී අමාත්‍ය මණ්‌ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව ලෝක වෙළෙඳ සංවිධානය සමග වෙළෙඳාමට පහසුකම් සැපයීමේ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තැබීය. ඊට අමතරව ඊනියා නව වෙළෙඳ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන්නේ එම බහුපාර්ශ්වීය ගිවිසුමට සහ සිංගප්පූරු ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ය. ඒ අනුව එම ගිවිසුම ක්‍රියාමාර්ග වලට අදාළ නිලධාරීන් අවතීර්ණ වන්නේ ඒ සඳහා මඟ පෙන්වන විධිමත් සහ නීත්‍යනුකූල ප්‍රතිපත්තිමය රාමුවක් නොමැතිවය. එවැනි තත්ත්වයක් තුළ එවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට මහජනයා විසින් ප්‍රතිචාර දැක්‌විය යුත්තේ කෙසේද? දැන් පමාවී හෝ අඩුම තරමින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය විවාදයට ගැනීමට පෙර එම ලේඛනය විධිමත් මහජන සංවාදයකට ලක් කිරීම සඳහා බලකිරීම යනු අවම ක්‍රියාමාර්ගයකි. කෙසේ වෙතත් දැනට වාර්තා වන ආකාරයට නව වෙළෙඳ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්‌කෙරෙන්නේ නැත. ඒ වෙනුවට දැනටමත් අත්සන් කොට ඇති සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම විවාදයට ලක්‌කෙරෙන බවක් වාර්තා වේ.
ජනාධිපතිතුමා විසින් 2017 දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ නිරීක්‌ෂණයක දැක්‌වෙන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම 2017 ජුලි මාසයේදී අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කළ නව වෙළෙඳ ප්‍රතිපත්තියට අනුකූල විය යුතුය. නමුත් එම ගිවිසුම අත්සන් කිරීමට පෙර අදාළ ප්‍රතිපත්තිය සහ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවක් එතුමා සඳහන් කරන්නේ නැත. කෙසේ වෙතත් එතුමාගේ නිරීක්‍ෂණය අනුව එම ප්‍රතිපත්තියේ සඳහන් ආකාරයටම සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ආරක්‌ෂාවාදී වෙළෙඳ ප්‍රතිපත්තිය සහමුලින්ම අත්හැර දමා ඇත. ඒ අනුව එම ක්‍රියාවලි දෙකටම ඊනියා බුද්ධිමය දායකත්වය සපයන්නේ එකම පිරිසක් බව තහවුරු වේ. ඊට අමතරව ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ඊනියා විද්වතුන්ගේ මතය සමග එකඟ වන බව තහවුරු වේ. නමුත් එතුමා සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් තමා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ නිර්දේශ සහමුලින්ම ප්‍රතික්‌ෂේප කොට ඇත. එනම් පළතුරු ආරක්‌ෂා කිරීම සඳහා බදු පනවා ආනයන පාලනය කළ යුතු බව සඳහන් කොට ඇත. නමුත් සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මගින් ආනයනික පළතුරු සඳහා දැනට පනවා ඇති තිරුබදු සහ අනෙක් බදු වසර 6ක් තුළදී සහමුලින්ම අහෝසි වේ.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...