පුරවැසි කොලම

මහජන රාජ්‍ය සභාවේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම විධායකයේ වගකීමක් ලෙස සලකා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳව යවන ලද ලිපිය පහත පළවේ…

ගරු ජනාධිපතිතුමනි,
ජනාධිපති මන්ධිරය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම විධායකයේ වගකීමක් ලෙස සලකා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳවයි.

මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු නොකළ ආකාරයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ඔබතුමා විසින් සථිරසාර සහ විවෘත ප්‍රකාශයක් කරනු ලැබීය. ඉන්පසුව ඔබතුමා විසින් නිදහස් දින ජාතිය අමතමින් ඒකීය රටක් තුළ උපරිම වශයෙන් බලය බෙදන බවට තෛපොංගල් දින ප්‍රකාශය වෙනත් ආකාරයට තහවුරු කරනු ලැබීය. නමුත් වචන වෙනස් කිරීම මගින් පළමුව සිදුකළ ප්‍රකාශයේ බරපතලකම අඩුකිරීමට ඔබතුමා උත්සාහ කළ බව පැහැදිලිව පෙණුනි. ඊට හේතුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බවට ත්‍රෛනිකායික මහනායක හිමිපාණන් වහන්සේලා විසින් ඔබතුමාට දැඩි ලෙස අවවාද කිරීම බව උපකල්පනය කළ හැක. එසේ වුවත් ඔබතුමා විසින් පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරනු ලැබුවේ රාජාසන කතාව මගින් ඔබතුමාගේ අභිප්‍රායට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා බව ඉතා පැහැදිලිය.

ඔබතුමාට පෙර ධුරය දැරූ ජනාධිපතිවරුන්ට ද ඔබට මෙන්ම බාහිරින් ඒ සඳහා පීඩනයක් එල්ල වුව ද ඔවුන් විසින් එය විවෘතව ප්‍රකාශ නොකළේ ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් පැවතීම නිසා බව ඉතා පැහැදිලිය. එහෙත් මේ වන විට රටේ පවත්නා ආපදා තත්ත්වය තුළ එම විරෝධය ප්‍රබල ලෙස මතු නොවනු ඇතැයි ඔබතුමන් විසින් උපකල්පනය කරන බව අපට සිතේ. ඒ අතර ව්‍යවස්ථාවේ දැනට පවත්නා ප්‍රතිපාදන ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම ඔබතුමාගේ පරම වගකීමක් බවට ද ප්‍රකාශ විය. එහෙත් එසේ කිරීම මගින් රට බෙදීමට ඉඩ නොදෙන බවට ද ඔබතුමා විසින්ම ඌණ පූරණයක් ඉදිරිපත් කර ඇත.

ඔබතුමාගේ ද හිතමිතුරු එරික් සෝල්හයිම් විසින් සුඩානයේ ජනාධිපති අල් බෂීර් ඉලක්ක කොට ද මෙබඳු උගුලක් අටවනු ලැබිණි. එම උගුලට එතුමා විසින් පය තැබීමේ දී ද එවැනිම ප්‍රකාශයක් කරනු ලැබිණි. එතුමා විසින් ද ඔබතුමා සේම සටන් විරාම ගිවිසුමක් සහ තාවකාලික ආණ්ඩු යෝජනාවත් අත්සන් කිරීමේ දී ප්‍රකාශ කරනු ලැබුවේ තමා කිසිසේත්ම දකුණු සුඩානය බෙදා වෙන් කිරීමට ඉඩ නොදෙන බවය. එහෙත් 2002 දී එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වසර දෙකක් තුළ මධ්‍යම රජයේ පාලනය ගිලිහී ගිය අතර ජාත්‍යන්තර අත පෙවීම් සිදු විය. 2011 දී වෙනම රාජ්‍යයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. දැන් අන්තර්ජාලයේ සුඩානය පිළිබඳ සඳහන් වන්නේ “සුඩානය මිය ගොස්ය – කිසිවෙකු මළමිණී ගනින්නේ නැත” යනුවෙනි. ඒ මළමිණී අතර අල් බෂීර් සිටිනවාද නැද්ද යන්න දැන් කිසිවෙකුට වැදගත් නැත.

අද රට බෙදීමට ඉඩ නොතබන බව සඳහන් කරන ඔබතුමා එදා 2002 දී අල් බෂීර් කළ වරද කිරීමට බලවත් උත්සාහයක් ගනු ලැබූ බව අපට මතකය. එදා සොල්හයිම් ඔබට ඉදිරිපත් කළේ සුඩානයට ඉදිරිපත් කළ ගිවිසුම්වල කාබන් පිටපත බව පසුව හෙළිදරව් විය. ඔබතුමා පළමු ගිවිසුම වන සටන් විරාම ගිවිසුමට අත්සන් තැබූමුත් ප්‍රබල මහජන විරෝධය නිසා තාවකාලික ආණ්ඩු ගිවිසුමට අත්සන් තැබීමට නොහැකි විය.

ඒ නිසා පෙර පිනකට මෙන් අල්බෂීර්ට අත්වූ ඉරණමෙන් ගැලවීමට ඔබතුමාට හැකි විය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට සුඩාන වැසියන්ට අත්වූ ඉරණමෙන් ගැලවීමට හැකි විය.

එදා අගමැතිවරයා ලෙස ඔබතුමන් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔබතුමා සඳහන් කළේ “මම පෑන ගත්තා අත්සන් කළා” යනුවෙනි. එම ගිවිසුම අත්සන් කිරීමේදී ඔබ සෝල්හයිම්ගේ වචන පිළිගත්තා මිස ගිවිසුමේ වගන්ති සම්පූර්ණයෙන්ම කියවා බැලීමට උනන්දු නොවූ බව පසුව හෙළිදරව් විය. එවැනි බැරෑරුම් කාර්යයක් සැහැල්ලුවට ගැනීම තුළින් ඔබතුමා විසින් ලබා දී ඇති ආදර්ශය අනුව එදා සිදු කළ ආකාරයටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම කෙසේ වෙතත් එය උල්ලංඝනය කරමින් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔබතුමාට බලපෑමක් එල්ල වීමේ හැකියාව අදටත් පවතී. අප රටේ ව්‍යවස්ථාව අනුව යුද්ධය හෝ සාමය ප්‍රකාශ කළ හැක්කේ රටේ ජනාධිපතිවරයාටය. නමුත් එදා හිටපු ජනාධිපතිවරියගේ අනුමැතිය, එකඟතාව හෝ අවසරයක් නොමැතිව ඔබතුමා අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව ඇය විසින්ම සඳහන් කරනු අපට අසන්නට ලැබිණි. ඒ මගින් ඔබතුමන් විසින් එදා අගමැතිවරයා ලෙස රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබීය.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විසින් ඔබතුමාට ජනවරමක් නොමැති බවට දැක්වූ අදහසට පිළිතුරු දෙමින් ඔබතුමා සඳහන් කළේ ඔබතුමාට පොදුජන පෙරමුණේ සහ වෙනත් යම් යම් පක්ෂවල මන්ත්‍රීවරුන් මගින් ජනවරම ලැබී ඇති බව ය. අප රටේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට සෘජු ජනවරමක් ලැබෙන අතර මන්ත්‍රීවරුන්ට එම ජනවරම නියෝජනය කළ නොහැක. ඔවුනට ඇත්තේ වෙනත් මැතිවරණයක ඊට සපුරා වෙනස් ජනවරමකි. ජනපතිවරණ ප්‍රතිඵල හා මහමැතිවරණ ප්‍රතිඵල එකිනෙකට වෙනස්ය. අනුන්ගේ ජනවරම ඔබතුමා භාවිත කිරීම සදාචාර විරොධී ද නීති විරෝධී ද වේ. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් තමාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව අන්තර්කාලීන ජනාධිපතිවරයකු පත් කළ ද එම ජනාධිපතිවරයා නියෝජනය කළ යුත්තේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ ජනවරම හෙවත් 69 ලක්ෂයේ ජනවරම ය. එම ජනවරම අනුව ඔබතුමා බැඳී සිටින්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට නොව එම සංශෝධනය මගින් සිදු වී ඇති වරද නිවැරදි කරන නව ව්‍යවස්ථාවක් මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමටය.

ගරු ජනාධිපතිතුමනි,

එම දීර්ඝ පූර්විකාව ඉදිරිපත් කළේ ඔබතුමා විසින් කියන දේ සහ කරන දේ අතර වෙනස මෙන්ම කියන දේ සහ අනාගතයේදී සිදුවිය හැකි දේ අතර වෙනස පෙන්වා දීම සඳහා ය. ඊට අමතරව අප විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතිහාසය විමසා බැලීම වැදගත් වන්නේ එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගැනීම සඳහාය. ඉන්දියාවේ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාව දුර්වල කර ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් බවට පත් කළ යුතුය. එදා 1987දී ඔවුන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊලාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙස ද ඇඳෑ ගැනීමය. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී 13වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව 30වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව ඇත.

එදා ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවට අනුව බෙදුම්වාදී ගැටුම් වර්ධනය කිරීම සඳහා බාහිර බලවේග දායක වූ බව සහ එය යොදා ගනිමින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලපෑම් කළ බව දැන් රහසක් නොවේ. එසේ වුවත් එතුමා විසින් රට බෙදීම වැළැක්වීම සඳහා ඉන්දියානු නිලධාරීන් සමග කේවල් කර 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවසථාමය බාධක ප්‍රමාණයක් පනවා ඇති බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් හෙළදිරව් කරනු ලැබීය. එසේ කිරීම මගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදු නොවන ආකාරයට සම්මත කරගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වූ බව පිළිගත හැක. එදා ඉන්දු-ලංකා ගිවිසුමට සහ 13වැනි සංශෝධනයට එරෙහිව පැවති ප්‍රබල විරෝධය නිසා එම සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත කළ නොහැකි බව පැහැදිලි කරුණකි.

එම විනිසුරුතුමා 13වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් විභාග කළ විනිසුරු මඬුල්ලට එතුමන් ද ඇතුළත් විය. එතුමාට අනුව 13වැනි සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩකි. ඔහුට අනුව එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලිනි. ඒ නිසා ඔහු අප රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේගවලින් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදෙන ලෙස ය. ඒ අනුව ඔහු අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් මගින් “කඩුව” ඉවත් කරන තෙක් රැහැන කැපීම හෙවත් බාධක ඉවත් කිරීම මගින් 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුතු බරපතල වරදක් බවය.

එහෙත් පවතින දේශපාලන තත්ත්වය සහ විදේශීය බලපෑම් නිසා 13වැනි සංශෝධනය පමණක් විශේෂිතව ඉවත් කිරීම ද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැත. එසේ නම් කළ යුත්තේ ඔබතුමා විසින් නියෝජනය කරනු ලබන 69 ලක්‍ෂයේ ජනවරම අනුව විද්වත් මණ්ඩලයක් මගින් සකස් කළ නව ව්‍යවස්ථාව සම්මත කිරීමය. ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කරන බව සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව සකස් කළ විද්වත්හු පවසති. එසේ නම් එම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කර සම්මත කිරීමට හෝ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔබතුමන්ට නව ජනවරමක් ලබා ගැනීමට හෝ බාධාවක් තිබිය නොහැක. ඊට හේතුව එමගින් ඔබතුමන් සඳහන් කරන ආකාරයට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේ විභවයක් පැවතීමය.

ඒ වෙනුවට ඔබතුමා සඳහන් කරන ආකාරයට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 13වැනි සංශෝධනය පමණක් විශේෂිතව අහෝසි කිරීමට යෝජනා කිරීම මගින් අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි අපි කල්පනා නොකරමු. එක් පැත්තකින් ගත් විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ ද අවසානයේ දී ඔබතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නොමැතිව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට හෝ ඇතුල් කළ නොහැකි බව අප දන්නා කරුණකි. අනෙක් පැත්තෙන් ගත්විට 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට ඔබතුමාට සද්භාවයෙන් අවශ්‍යතාවක් තිබේ නම් රාජා වනසුන්දර විනිසුරුතුමාට අනුව ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් “ප්‍රකාශන පනතක්” සම්මත කිරීමය. විනිසුරුතුමාට අනුව එදා 1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු පළාත් සභා පනත සම්මත කළ යුතු වුවත් එම පනත් දෙකම එකවර සම්මත කිරීම නිසා ක්‍රමවේදයේ වරදක් සිදුවී ඇති බැවින් පාර්ලිමේන්තුවට ප්‍රකාශන පනතක් ඉදිරිපත් කිරීම සහ අදාල සංශෝධන මගින් එය සමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අහෝසි කිරීමේ හැකියාව ඇත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට පුද්ගලිකව මන්ත්‍රී යෝජනා හෝ වෙනත් ආකාරයකට 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට යෝජනා කිරීම සමාන කළ හැක්කේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියක් ඉල්ලා සිටීමටය. එවිට විකල්ප වෙදකම හෙවත් 13 බලාත්මක කිරීම මගින් ලෙඩා මරා දැමීම සාධාරණීකරණය කිරීමට වෙදාට අවස්ථාව නිර්මාණය වේ.

අවසාන වශයෙන් ලිපිය දීර්ඝ වුව ද බුද්ධපුත්‍රයෙකු ලෙස ඔබතුමා විසින් සිදුකිරීමට නියමිත අකුසල කර්මයේ විපාක සංක්ෂිප්තව අවධාරණය කිරීම මගේ යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ අනුව පහත සඳහන් කරුණු ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගන්නා ලෙස කරුණාවෙන් දැනම් දෙමි.

1.) 13 වැනි සංශෝධනයට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථා බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ යුත්තේ එම සංශෝධනය පරිපාලන වශයෙන් ක්‍රියාත්මක කිරීමට අකමැති ජනාධිපතිවරයෙකු බලයේ සිටින තත්වයක් යටතේය. එසේ නොමැතිව පරිපාලන වශයෙන් එය බලාත්මක කිරීමට සූදානම් වීම මගින් ඔබතුමා විසින් රටේ ජනතාවට පෙන්වනු ලබන්නේ තමා බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා 13වැනි සංශෝධනය ස්වකැමැත්තෙන්ම බලාත්මක කරන බවය. ඒ මගින් ඔබතුමාට ඉදිරි ජනාධිපතිවරණයක දී බෙදුම්වාදයට පක්ෂපාතී යම් ප්‍රතිශතයක ඡන්ද ලබා ගත හැකි වුවත් ඊට එරෙහි වන විශේෂයෙන්ම බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය ලබා ගැනීමට නොහැකිවනු ඇත.

2.) පළාත් සභා මැතිවරණය පවත්වා (ඒ සඳහා දැනටමත් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේග විසින් බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ.) බෙදුම්වාදයට පක්ෂපාතී හෝ මහ ඇමතිවරයාට ස්ව කැමැත්තෙන් යටත් වන ආණ්ඩුකාරවරයෙකු නැගෙනහිර සහ උතුරු පළාත්වලට පත්කළහොත් 13වැනි සංශෝධනය පරිපාලනමය වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම ආරම්භ වේ. ඒ අනුව කෙටි කාලයකදී එම පළාත්වල ඉඩම් ප්‍රඥප්ති, පොලිස් ප්‍රඥප්ති, මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය ආදිය සම්මත කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමේ තත්ත්වය ආරම්භ වනු ඇත. එහි ප්‍රතිඵල නැගෙනහිර සහ උතුරු පමණක් නොව දකුණේ ජනතාවට ද පැහැදිලිව දැකගත හැකි වන අතර ඔබතුමා ඊට වගඋත්තරකරුවකු බවට මහජනයා විසින් නම් කරනු ඇත.

3.) එසේ ප්‍රඥප්ති සම්මත කරමින් මධ්‍යම ආණ්ඩුව සමග ප්‍රතිවිරෝධතා ඇතිකර ගන්නා අවස්ථාවේ දී ජනාධිපතිවරයා ලෙස ඔබතුමාට අසරණව බලා සිටීමට සිදුවනු ඇත. ඊට හේතුව එවැනි අවස්ථාවක මධ්‍යම රජය ඊට එරෙහි වුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීමකට අවස්ථාව නිර්මාණය වීමය. එවැනි තත්ත්වයක දී අදාළ පළාත් සභාවට හෙවත් අදාළ ප්‍රදේශයේ පරමාධිපත්‍යය හිමි ජනතාවට බෙදී වෙන්වීමේ අයිතිය ඇති බවට ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දී ඇති බව අප අමතක නොකළ යුතුය. පරමාධිපත්‍යය බෙදී යන ආකාරයට බලය බෙදා ඇති නම් සහ මධ්‍යම රජය එම ජනතාවට තම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන අවස්ථාවක එම ජනතාවට වෙන්වීමේ අයිතිය ඇති බවට නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ඕස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත් වී ඇත. එම තත්ත්වය ඇතිවන විට ඔබතුමා බලයේ සිටියද නොසිටියද මහජන ඇස් ඉදිරියේ ඔබතුමා චුදිතයා බවට පත්වනු ඇත.

4.) ඔබතුමන් විසින් පත් කිරීමට නියමිත සත්‍යය සෙවීමේ කොමිසමට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ද අයත් වන බැවින් අනාගත ගැටුම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ද, එනම් බලය බෙදීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ සහ නිර්දේශ ලබා දීම සඳහා බලයක් ද එම කොමිසමට ලැබේ. ඒ අනුව ඉහත සඳහන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම තවදුරටත් බලවත් කිරීම සඳහා එම කොමිසම යොදා ගැනීමේ හැකියාවද ලැබේ. ඊට අමතරව එම කොමිසම මගින් තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසක් පාවා දීම සඳහා පාපෝච්චාරණ ක්‍රියාවලියක් ද දියත් විය හැක. එවිට හමුදාව පාවා දීමේ වරද සමග ඔබතුමාට එරෙහිව එල්ල විය හැකි චෝදනා වඩා බරපතළ වනු ඇත.

5.) වර්තමාන ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය පෙන්වා බලය බෙදීම මගින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වීම හෝ රට බෙදීමක් සිදු නොවන බව තහවුරු කිරීමට උත්සාහ කළ ද එය බොරුවක් බව කෙටිකලකින් ඔප්පු වන බවට කිසිදු සැකයක් නැත. ඊට හේතුව සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩු තීන්දු අනුව ව්‍යවස්ථාවේ ඒකීය වචනය එසේම තිබියදී ෆෙඩරල් රාජ්‍යයක් පැවතිය හැකි වීමය. ඒකීය වචනය මගින් ඒකීයභාවය තහවුරු නොවන බව එමගින් පැහැදිලි වේ. ඒ අනුව අවසානයේ දී පළමුව තමාම රවටා ගැනීම සහ දෙවනුව පොදු මහජනතාව රැවටීමේ පාපය ඔබතුමාට භාර ගැනීමට සිදුවනු ඇත.

6.) දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල අරමුණු, ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග අනුව ෆෙඩරල් රාජ්‍යය ජාත්‍යන්තර මැදිහත්වීම මත වෙනම රාජ්‍යයක් බවට පත් කෙරෙන බවට කිසිදු සැකයක් නැත. එය වැළැක්වීම සඳහා ඔබතුමාට කිසිදු ව්‍යවස්ථාමය බලයක් නැති බව ඉතා කෙටිකලකින් ඔබතුමා වටහා ගන්නවා ඇත. එවැනි තත්ත්වයක දී දැනටමත් පශ්චාත් ගැටුම් මානසික පීඩනයට සහ ආර්ථික පීඩනයට මෙන්ම කුල පීඩනයට ද ගොදුරුව සිටින 65% අධික උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සාපය ද ඔබතුමන්ට එරෙහිව එල්ලවීම වැළැක්විය නොහැක. එම ජනතාවගේ දුකට මුල් වූ දේශපාලන නායකයින්ට පොලිස් බලය ලබා දීමෙන් ඔවුන් තවදුරටත් පීඩාවට ලක්වන බවට සැකයක් නැත.

7.) වෙනම රාජ්‍යයක් බිහි වීමෙන් පසුව එම රාජ්‍යයේ අහිංසක ජනතාව පීඩනයට ලක් වීමට අමතරව නව ගැටුම් නිර්මාණය වීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකිනෙකා මරාගන්නා මහා ගැටුමකට තල්ලු වීම වැලැක්විය නොහැක. සුඩානයේ ජනතාව මේ මොහොතේ දී එම ඛේදවාචකයට මුහුණ දී සිටින බව ඔබතුමන් විසින් ඉතා හොඳින් දන්නා කරුණකැයි සිතමි.

8.) එම ගැටුම් තුළ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යය මහා බලවතුන්ගේ භූ දේශපාලන උවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වීම නිසා රටේ සමස්ත ජනතාව දාස රාජ්‍යයක යටත් වැසියන් බවට පත්විය හැක. එය අතිශයොක්තියකින් කරුණු හුවා දැක්වීමක් නොවන බව ජාත්‍යන්තර අත්දැකීම් අනුව වටහා ගත හැක. එවැනි තත්වයකදී ඉතිහාසය විසින් ඔබතුමා ඇතුලු සියලු චුදිතයන් විනිශ්චයට ලක් කෙරුණු ඇත.

9.) ඔබතුමන් විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව පෙබරවාරි 8 වැනිදා නව සැසිවාරය ආරම්භ කිරීමේදී ඉදිරිපත් කිරීමට නියමිත “රාජාසන කතාව” මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේනත්ුවේ අනුමැතිය ලබාගැනීම මගින් චුදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමක් මිස ඔබතුමාට නිර්දෝෂීවීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

10.) අවසානයේ දී සමස්ත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යයේ ඉතිහාසය අවසාන විය හැකි අතර ඒ සමගම සම්බුද්ධ ශාසනය ද ඉතා කෙටි කලකින් අවසන් වනු ඇත. සම්බුද්ධ ශාසනය යනු මානව සංහතිය සුවපත් කරන ඖෂධයක් හෙවත් කසායකි. ශ්‍රී ලංකාව නම් වූ සුවිශේෂි සභ්‍යත්ව රාජ්‍යය එම කසාය ආරක්ෂා කරන සහ ගබඩා කර තබාගන්නා මංජුසාවයි. ඒ අනුව සම්මා සම්බුද්ධ ශාසනය අනාරක්‍ෂිත කිරීමේ මහා ඓතිහාසික පාප කර්මයේ විපාකය ඔබතුමන් සහිත සියලු උපකාරක සගයන්ට විදිමට සිදුවනු ඇත. එම විපාකය කුමක්දැයි අපට අද තීරණය කළ නොහැක.

මේ වගට

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
කැඳවුම්කරු
මහජන රාජ්‍ය සභාව
2023.02.05

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More