Uncategorized

තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවුණු දරුවන් 12දෙනාත් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුත් පිටතට රැගෙන එමින් වයිල්ඩ් බෝර් එෆ්සී පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබේ.

ඒ අනුව, අද (10දා) දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකරමින් දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරාගැනීම මේ වනවිට අවසන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ සිරවූ දරුවන් 12 දෙනාගෙන් දරුවන් 8 දෙනෙකු හතර දෙනා බැගින් බේරාගැනීම ඊයේ (9දා) සහ පෙරේදා (8දා) සිදුවිය.

පසුගිය ජුනි 23 වැනිදා ගුහා සංකීර්ණය නැරඹීමට මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු පැමිණ තිබුණද, හදිසියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීමෙන් ඔවුන් එහි කිලෝමීටර් 4ක් පමණ ඔබ්බෙහි ගොඩැල්ලක් මත සිරවුණි.

මෙම දරුවන් අතුරුදන් වූ දින සිට ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් දින 9කට පසුව පසුගිය සතියේ සඳුදා (02දා) දරුවන් සිටි ස්ථානයට ළඟා විය.

පසුව දරුවන් පිටතට ගැනීමේ අභියෝගය පැන නැගුණු අතර, වර්ෂා කාලය අවසන් වනතෙක් මාස කිහිපයක් බලා සිටීමට මුලින් තීරණය වුවත්, වර්ෂාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම නිසා පැවති අවදානම තේරුම්ගත් තායිලන්ත බලධාරීන් දරුවන් කඩිනමින් පිටතට ගැනීමේ මෙහෙයුමක් ඇරඹීය.

මෙම මෙහෙයුම සඳහා විදෙස් විශේෂඥයන්ගේ සහාය සහ තාක්ෂණික දැනුම තායිලන්ත රජයට ලැබුණු අතර, විදෙස් නායකයන් මෙන්ම ලෝකයම මෙම මෙහෙයුම දෙස වඩාත් අවධානයෙන් බලා සිටියහ.

මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වනවිටම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ ආදී රාජ්‍ය නායකයන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මෙහි සාර්ථකත්වයට සුබපැතුම් එක්කර තිබුණේද එබැවිනි.

එමෙන්ම, ප්‍රකට තාක්ෂණික සමාගම් නිර්මාතෘවරයෙකු වූ එලොන් මස්ක් මෙම මුදාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම හමුවී දරුවන් පිටතට ගැනීම සඳහා විශේෂ සබ්මැරීනයක් ලබාදීම ගැන සාකච්ඡා කළත් එය ප්‍රායෝගික නොවන බව කියවුණි.

මේ අතර, ගුහාවේ සිරවුණු දරුවන්ගෙන් දෙදෙනෙකු පෙනහළු ආසාදනයකින් පෙළෙන බව පවසා තිබුණත්, මුලින්ම බෙරාගැනුණු දරුවන් සිව්දෙනා මේ වනවිට රෝහල් කාමරය තුළ නිදහසේ ඇවිද යන මට්ටමට සුවය ලබා ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ඔවුන්ට තවමත් තම දෙමවුපියන් හමුවීමට අවස්ථාව ලබාදී නොමැති බවත් සඳහන් වෙයි. ඔවුන් පිටස්තර ආසාදනයකට ගොදුරුවීමේ අවදානම වැඩිවීම ඊට හේතුව බව රෝහල් බලධාරීහු පවසති. නමුත්, නුදුරු දිනකදීම ඔවුන්ට දෙමවුපියන් තුරුලට යෑමට අවස්ථාව හිමිවනු ඇත.

මේ අතර, දරුවන් සමග මෙම ගුහාව තුළට ගිය ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු 25 හැවිරිදි එකාපෝල් චන්ටාවොන්ග් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පිරිසක් විරෝධය දක්වන බවද තායිලන්තයෙන් වාරතා වෙයි. නමුත්, ඔහු ගුහාවේ සිටියදීම දරුවන්ගේ දෙමවුපියන් වෙත ලිපියක් එවමින් සමාව ඉල්ලා සිටීමටද කටයුතු කළේය.

විශේෂයෙන්ම, පසුගියදා මෙම මෙහෙයුම අතරතුර තායිලන්තයේ හිටපු නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අභාග්‍යසම්පන්න සිදුවීමක්ද වාර්තා වූ අතර, ඔහු මේ වනවිට තායිලන්තයේ වීරයෙකු බවට පත්ව සිටින බවද විදෙස් වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More