මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ යුතු පරිදි මෙම ලියුම්කරු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින්වහන්සේ ලගින් ඇසුරු කොට නැත. එනිසාම උන්වහන්සේ ගේ හදවත කියැවීමට නොදනී. නමුත් උන්වහන්සේ සමඟ යොදා ඇති යම් සංවාද සහ උන්වහන්සේ විසින් මහා සමාජය තුළ ඉටු කරනු ලබන භූමිකාව තුළින් උන්වහන්සේගේ හැකියාවන් සහ දක්ෂකම් ඉතා හොඳින් දැක ඇත. මේ ලියුම්කරු ඒ ගුණයන් ඉතා ඉහළින් අගය කරන අතර ඒවා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ සහ රටේ පොදු යහපතට යොදා ගැනීමට නොහැකිවීම පිළිබඳව අවංකවම කණගාටු වේ.
මේ ලියුම්කරුගේ අත්දැකීම් අනුව සංකීර්ණ දේශපාලන ගැටුම්කාරී තත්ත්වයන් විග්රහ කිරීමේදී සහ තේරුම් ගැනීමේ දී පළමුවෙන්ම ඒ දෙස බැලිය යුත්තේ එම ගැටුම් නිර්මාණය කරන පාර්ශවයේ ඇසිනි. එනම් විශේෂයෙන් ම රටට අදාළව ගත් විට රටට සතුරු පාර්ශව වල ඇසිනි. වෙනත් වචනවලින් කියන්නේ නම් සතුරාගේ සපත්තු සහ උගේ උපැස් යුවළ පැළඳ උගේ පුටුවේ වාඩි වී ප්රශ්නය දෙස සහ ඊට අදාළ පාර්ශව දෙස බැලිය යුතුය. ඓතිහාසිකව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සහ අදත් මුහුණ දෙමින් සිටින දේශපාලන ගැටුම් අර්බුධ සහ යුද්ද පිළිබඳ අධ්‍යයනය කිරීමේදී බාහිර පාර්ශව වල මැදිහත්වීමේ පංගුව ඉතා හොඳින් හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ භූ දේශපාලන පිහිටීම නිසා සහ බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය විසින් මහා සමාජය මෙහෙය වීම තුළ දක්නට ලැබෙන්නේ සුවිශේෂී සමාජය ගුණය සහ බලය නිසා අප ජාතිය සුවිශේෂී සතුරු ප්‍රහාරයකට ලක්වී ඇත. කෙසේ වෙතත් ඒ සතුරු ප්‍රහාර වලදී සතුරාට වාසිදායක ලෙස අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඒ සුවිශේෂී සමාජය ගුණය යොදා ගන්නා බවද ප්‍රකට කරුණකි.
විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව අතුරින් ඉතා සක්‍රිය හා අනාරක්ෂිත මනසක් සහිත පිරිස් සතුරා විසින් ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නා බවට පැහැදිලි සාක්ෂි ඇත. එහි දී සිංහල බෞද්ධයාට ඓතිහාසිකව සිදුවෙමින් පවතින අසාධාරණකම් සහ බලපෑම් නිසා සමාජය තුළ පොදු අනාරක්ෂිත මනෝභාවයක් ඇති බවද පිළිගැනීමට සිදුවේ. ඒ නිසා සතුරා විසින් එම සමාජ කොටස් බළල් අත් ලෙස යොදා ගැනීමට සමත්වී ඇත. අප රට තුල සිදුවී ඇති සෑම ජාතිවාදී ආගම්වාදී ගැටුම්ක දී ම සතුරා විසින් සිදුකොට ඇත්තේ රහසිගතව පළමු වෙඩිල්ල තැබීම පමණි. එතැන් පටන් සතුරාට අවශ්‍ය තැනට ගැටුම රැගෙන යාම සඳහා සිංහල බෞද්ධ බලවේග ඉතා සද්භාවයෙන් සහ වෙහෙස මහන්සියෙන් මෙන්ම කැපවීමෙන් ඉදිරිපත් වේ.
එසේ ගැටුම් ඇවිලවීම සඳහා යොදා ගන්නා සක්‍රීය සමාජ කොටස් රටට සතුරු බලවේග විසින් දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස භාවිතා කෙරේ. එක පැත්තකින් ඔවුන් සිංහල බෞද්ධ බලවේග තුළ භේද ඇති කරන අතර සැබෑ යථාර්ථය තේරැම්ගත නොහැකි ලෙස ඔවුන් තුළ මානසික අවුල් නිර්මාණය කෙරේ. අනෙක් පැත්තෙන් සුළු ජාතික සහ සෙසු ආගමික බලවේග ගැටුමට කැඳවන අතර ඔවුන් අතර අන්තවාදීන්ට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කෙරේ. ඒ පොදු තත්ත්වය හෙවත් වැරදි ගැටුම් තුළ සැබෑ ලෙසම රට මුහුණ දෙන තීරණාත්මක අර්බුදය තේරුම් ගැනීමට මහා සමාජය අසමත් වේ. අවසානයේදී කුඩා කණ්ඩායම් විසින් අවුලුවන ගැටුම්වලට මහා සමාජය ගොදුරු වේ. ඒ තුළ සතුරාට ඉතා පහසුවෙන් තම අරමුණ ඉටුකර ගැනීමට ලැබෙන අතර ගැටුම් ඇවිලවීමට මුල්වන බලවේග වලට තම සැබෑ අරමුණු ඉටුකර ගැනීම වෙනුවට විනාශකාරී ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ.
මෑතකාලීනව සතුරා විසින් එසේ කුඩා කණ්ඩායම් හරහා අවුලුවනු ලබන ගැටුම් මහා මෙහෙයුමක් බවට පත්කොට පැවති ආණ්ඩුව පෙරළා දමා තමාට අවශ්‍ය ආණ්ඩුව පත් කරගත් ආකාරය 2015දී අපි අත් දුටුවෙමු. සතුරා විසින් ඉතා සූක්ෂම ලෙස ආරම්භ කළ ආගමික ගැටුම් ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම දක්වා කළමනාකරණය කළ ආකාරය දැන් තව දුරටත් රහසක් නොවේ.සතුරු පාර්ශවයට උදව් කළ විවිධ බලලෝභී කොටස් විසින් ලියා ප්‍රසිද්ධ කළ පොත්පත් වලින්ම ඒ මෙහෙයුම් දියත් කළ ආකාරය හෙළිදරව් කොට ඇත. ඊට අමතරව ඉන්දියානු සහ ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ලෙස හඳුන්වන ඔත්තු සේවා ප්‍රබලයින්ගේ ප්‍රකාශ අනුව එම කරුණු තවදුරටත් සනාථ වී ඇත. එහිදී යම් දේශපාලන පක්ෂ තම පක්ෂයෙන් යම් භික්ෂූන් වහන්සේලා ඉවත්වත්ව ගිය බවට ප්‍රසිද්ධ කොට උන් වහන්සේලා යොදා ගනිමින් ගැටුම් ඇවිල වූ ආකාරයද හෙළිදරව් වී ඇත.
ඊට අමතරව වර්තමාන ආණ්ඩුවේ සිටින අපරාජිත නායකයින් ලෙස පෙනී සිටින යම් අමාත්‍යවරුන් සහ ව්‍යාජ සිංහල බෞද්ධ සළුපිළි පොරවාගෙන සිටින අමාත්‍යවරුන් විසින් ගැටුම්වලට මුල් වූ දෙපාර්ශව දුරකථන සංවාද හරහා දිරිගැන්වූ බවටද සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඔවුන්ගේ ඉතා සරල අංක ගණිතමය දේශපාලන සූත්‍රයට අනුව එක් පැත්තකින් සිංහල-බෞද්ධ බලවේගයෙන් යම් කොටසක් පැවති ආණ්ඩුව පිළිබඳ කලකිරීමට පත් කරවන අතර අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිවාදී බලවේග වලට පක්ෂපාතී පිරිස් කලකිරීමට පත් කෙරේ. ඒ බලවේග දෙක එකට එකතු කළ විට ජනාධිපතිවරණ ජයග්රාහකයාගේ වැඩි ඡන්ද ප්‍රමාණය තීන්දු කෙරිණි.දැන් ගොඩනැගෙමින් පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේදී එම සූත්‍රය තවදුරටත් වලංගු වනු ඇත. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය හෙවත් වර්තමාන ආණ්ඩුවට අවසන් කළ නොහැකි වන ඉතිරි වැඩ කොටස ඉදිරියට ගෙනයාම සඳහා වර්තමාන රෙජිමය නැවත බලයට ගෙන ඒම සඳහා එදා 2015දී ඉතා හොඳින් අත්හදා බලා සාර්ථක වී ඇති එම ක්‍රමවේදය නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේද? පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ඉදිරි දේශපාලන භූමිකාවේ ගුණ අගුණ කතා කිරීම වැදගත් වන්නේ එවැනි සන්දර්භයක් තුළය. ඒ සඳහා දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ භූමිකාව දෙස සතුරාගේ ඇසින් බැලීම සඳහාය. ඉතා සුළු වරදක් පටලවා පොලිසිය විසින් උන් වහන්සේට විරුද්ධව ගොනු කළ පැමිණිල්ල සැබෑ ලෙසම සමථ මණ්ඩලයකින් වුවද විසඳාගැනීමට ඉඩ තිබුණි. උන්වහන්සේට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් හෝ ස්ත්‍රියකට එරෙහිව මරණ තර්ජන කිරීමේ චෝදනාවක් එල්ල වී නැත. එම නඩුවට මුල්වූ අනෙක් නඩුවේ ස්වභාවය පොදු මහජනයා ඉතා හොඳින් දන්නා අතර ඊට අදාලව ඥානසාර හාමුදුරුවන් වැනි හැඟීම්බර භික්ෂූන් වහන්සේ නමක් දැඩි ස්වරයකින් යමක් ප්‍රකාශ කළා නම් එය පුදුමයට කාරණයක් නොවේ. මහජනයාගේ පැත්තෙන් පුදුම වන්නේ උන් උන්වහන්සේට පැනවූ දඩුවමේ තරම් පිළිබඳවය. පසුගිය කාලය පුරා ම උන්වහන්සේට සමාජය තුළ සුවිශේෂී දේශපාලන භූමිකාවක් අත්පත් කරගත නොහැකි වුවත් දැන් උන්වහන්සේට ලැබී ඇති දඬුවමට පින් සිදු වන්නට එම අවස්ථාව උදා වී ඇත.
කෙසේවෙතත් උන්වහන්සේට ලබා දුන් දඬුවම පිළිබඳ කම්පාවට පත්වූ ගිහි සහ පැවිදි පිරිස දඬුවමට හෝ අධිකරණයේ විනිශ්චයට අභියෝග කළේ නැත. එහිදී ප්‍රධාන වශයෙන්ම හැඟීම්බරව මතු වූයේ උන්වහන්සේගේ සිවුර ගලවා ‘’ජම්පරය’’ ඇන්දවීමේ ඛේදවාචකය පිළිබඳ ව ය. විශේෂයෙන් ම උන්වහන්සේ විසින් සිදු කළා යැයි කියන වරද ශාසනික විනය අනුව පාරාජිකාවක් ලෙස නොසැලකෙන තත්ත්වයක් තුළ එසේ සිවුර ගැලවීම පිළිබඳ බෞද්ධයා තුළ කම්පාවක් ඇති වීම ස්වභාවික තත්වයකි. මීට පෙර විවිධ දේශපාලන හේතූන් මුල් කරගෙන යම් භික්ෂූන් වහන්සේලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ දී සිවුර ගැලවීමේ ප්‍රශ්නයක් මතු වූයේ නැත. මේ වන විට යම් බරපතළ වැරදි සඳහා දඬුවම් ලබන භික්ෂූන් වහන්සේලා 15 නමක් සිවුරු ගලවා ජම්පරයක් අන්දවා ඇතත් මෙවැනි විරෝධයක් බෞද්ධ සමාජයෙන් මතු වූයේ නැත.
කෙසේ වෙතත් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීමට එරෙහිව පැණනැගනු විරෝධය යම් පමණකට යම් පිරිසක් විසින් මෙහෙයවා ඉහලට එසවූ බව ද පෙනේ. ඥානසාර හාමුදුරුවන්ගේ අනාගත භූමිකාවේ දේශපාලන වැදගත්කම අනුව එවැනි උවමනාවන් සහිත බොහෝ පිරිස් සිටින බවටද සැකයක් නැත. ඒ ආකාරයටම උන්හන්සේ දින කිහිපයකට හෝ සිරගත කොට යම් බෞද්ධ දේශපාලන ප්රවනතාවයක් ඉහළට එසවීමට “එන්.ජී.ඕ කාරයින්” 18 දෙනෙක් ඉදිරිපත්වූ බව වාර්තාවිය. මෙම රාජ්‍ය නොවන සංවිධාන අදාළ නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පුභල මැදිහත්වීමක් කළ බව වාර්තාවිය. ඔවුන් සියලු දෙනා ඥානසාර හාමුදුරුවන්ට ප්‍රසිද්ධියේ බැන අඩගසති. ඔවුහු එක පැත්තකින් උන්වහන්සේට විරුද්ධ වන අතර අනෙක් පැත්තෙන් ඉතා නිර්මානශීලීව තම අරමුණ වෙනුවෙන් උන්වහන්සේ උපාංගයක් ලෙස යොදා ගැනීමට කටයුතු කරති.
නමුත් පසුගිය කාලය පුරා වර්තමාන ආණ්ඩුව විසින්, මල් තබා වැඳිය යුතු තරම්ට ගරු කළයුතු, රට වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ රණවිරුවන් සිරගත කිරීමේ දී හෝ රණවිරු දඩයම් පනත් සම්මත කිරීමේදී එවැනි ප්‍රබල වූ විරෝධයක් ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරිපත්වූ පිරිස අතුරින් මතු වූයේ නැත.ඒ අනුව යම් බලවේග විසින් ඥානසාර හාමුදුරුවන්ට සුවිශේෂී දේශපාලන වැදගත්කමක් ලබා දීමට රහසිගත මෙහෙයුම්ක් දියත් කළ බවට සාධාරණ සැකයක් මතු කළ හැක. ඉදිරි කාලයේ දී රටට හතුරු බලවේග වලට උන්වහන්සේ කෙතරම් වටින්ටින්නේ ද යන්න පිළිබඳව විවාදයක් තිබිය හැකිද?. උන්වහන්සේ කෙතරම් පරිස්සම් වුවත් ඒ බලවේග උන්වහන්සේගේ පසුපස හඹා ඒම වැළැක්විය නොහැක. එයට හේතුව 2015 නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය හැකියාව සහ දක්ෂකකම් සහිත වෙනත් භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම හෝ නිර්මාණය කිරීම පහසු නොවීමය.
දැන් මිතුරු වෙසින් සිටින යම් සතුරු බලවේග විසින්ද සෝභිත හාමුදුරුවන් කෙනෙක් සොයා ගැනීමට වෙහෙස වන බව පෙනේ. එහෙත් ඔවුන් විසින් සොයා ගෙන ඇති භික්ෂූන්වහන්සේට සෝභිත හාමුදුරුවන්ගේ භූමිකාව අසලටවත් ළඟාවීමට දක්ෂ කමක් නැත. ඒ නිසා ඥානසාර හාමුදුරුවන් තමන්ගේ වටිනාකම දැන් සිටියත් නොසිටියත් සතුරා උන්වහන්සේ හඹා ඒම වැළැක්විය නොහැක. දැන් ඉතා පහසුවෙන් සහ අඩු මිලට පූර්ව කොන්දේසි සැපිරී ඇත. දින කිහිපයක් තුළ කෝටි ගණනක් වටිනා ප්රචාරක වාසියක් උන්වහන්සේට ලැබී ඇත. තව දින කිහිපයකින් අභියාචනා ඇප මත උන්වහන්සේ ජම්පරය ගලවා සිවුරු අදිනු ඇත. එතනින් උන්වහන්සේගේ ශාරීරික දුක අවසන් වේ. නමුත් රටේ සතුරන් මෙන් ම සැබෑ අර්ථයෙන් ම උන්වහන්සේගේ සතුරන් විසින් උන්වහන්සේට හිමිකර දීමට නියමිත ‘‘දේශපාලන සංසාරික දුක‘‘ අවසන් වනු ඇතැයි කිසිසේත් ම සිතිය නොහැක.
දැන් උන්වහන්සේට සැබෑ ලෙසම තමාගේ වටිනාකම සහ තමාට සතුරා විසින් අනාගතයේදී බාරදීමට නියමිත රටට සතුරු වගකීම පිළිබඳ ඉතා හොඳ පූර්ව අවබෝධයක් තිබුනද එම භූමිකාවෙන් ගැලවීම පහසු නැත. නමුත් ඒ සඳහා ආරම්භයක් ගත හැක්කේ උන් වහන්සේටම පමණි. අප විසින් ඉතා සද්භාවයෙන් කරනු ලබන මෙම විවේචන ඒ සඳහා උදව්වක් බවට පත්වේනම් අපි ඉතා සතුටු වෙමු. ඒ අපි උන් උන්වහන්සේගේ භූමිකාව විවේචනය කළත් උන්වහන්සේ සතු නිසඟ හැකියාවන් සහ දක්ෂකම් අගය කරන බැවිනි.
ඉහත සඳහන් කළ ආකාරයටට සතුරාගේ ඇසින් බැලීමේ ‘‘භාවනාව‘‘ අනාගතය දැකීම සඳහා උන්වහන්සේට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ලියුම්කරු සතුරාගේ ඇසින් දකින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ නම් වූ ජයග්‍රාහී අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදුරා ගැනීම සඳහා 2015 සූත්‍රය තවදුරටත් වලංගු වේ. එදා ජාතිවාදී ගැටුම් අවුළුවා මහින්ද රාජපක්ෂයන්ට වල කැපූ ව්‍යාජ සිංහල බෞද්ධ සළුපිළි පෙරවාගත් දේශපාලන නායකයින්ගේ වර්තමාන කියුම් කෙරුම් අනුව ඔවුන් නැවත වටයකින් සිංහල බෞද්ධකම අලෙවි කිරීමට පිඹුරුපත් සකස් කරන බවට කිසිදු සැකයක් නැත. කෙසේ වෙතත් සතුරාගේ ඇසින් බලනවිට පවා ඥානසාර හාමුදුරුවන් අතට උන්වහන්සේගේ පැරණි භූමිකාව ලබාදීම පහසුවන්නේ නැත. නමුත් උන්වහන්සේ වටා ගොඩනැගෙන අනාරක්ෂිත මනස් සහිත හැගීම්බර බෞද්ධ බලවේගය සහ ව්‍යාජ බෞද්ධ දේශපාලකයින් විසින් මෙහෙයවන බෞද්ධ බලවේගය ඉදිරි ජනාධිපතිවරණය දක්වා වන ගමනේ යම් සන්ධිස්ථානයකදී එකට එක් කෙරෙනු ඇත.
එම එකතුව විසින් තුන්වන ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළත්, නැතත්, ඔවුන් විසින් ඇති කරන ඝෝෂාව මගින් සැබෑ සටන් පාඨ යටපත් වනු ඇත. එසේම එහිදී ඉදිරිපත් වන ව්‍යාජ සටන් පාඨ හෙවත් කොන්දේසි මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අවුල් කිරීමට අවස්ථාව නිර්මාණය වනු ඇත. සතුරාට අවශ්‍ය වන්නේ බෞද්ධ බලවේග යොදා ගනිමින් අවුල නිර්මාණය කිරීම පමණි. මේ නිශ්චිත මොහොතේ දී සිංහල බෞද්ධ ජනතාව අන් කවර කලක දී ටත් වඩා දුර දක්නා නුවණින්, ඉවසීමෙන් සහ පරිස්සමෙන් කටයුතු කළ යුතුය. ගෝලීය නව ලිබරල් සංස්කෘතික ක්‍රමණයට එරෙහිව නැගී සිටීමේ විභවය ඇත්තේ ථෙරවාදී බුදුදහමට සහ ඒ මත පදනම් වන සංස්කෘතික උරුමය මත දෙපා තබාගෙන සිටින ජනතාවට ය. ඒ නිසා සකල විධ අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේග විසින් ඒ උරුමයට නිරන්තරයෙන් පහරදීම යනු සාමාන්‍ය දේශපාලන තත්ත්වයකි. විශේෂත්වයක් වන්නේ ඒ සඳහා ඒ ජනතාවගෙන්ම යම් පිරිස් යොදා ගැනීමය. ඒ නිසා හැඟීම්බරව සහ සක්‍රීයව දේශපාලන භූමිකාවක් ඉටු කරන සිංහල බෞද්ධ බලවේග විසින් අතට ගන්නේ දෙපැත්ත කැපෙන දැලි පිහියකි. ඥානසාර හාමුදුරුවන් සුවිශේෂී වන්නේ සහ අන් කාටත් වඩා පරිස්සම් විය යුත්තේ ඒ අර්ථයෙනි. ඒ අර්ථයෙන් ම ඒ මහා උගුලින් ගැලවීම සදහාසෙසු මහා සංඝරත්නය උන්වහන්සේට අවවාද අනුශාසනා කළ යුතුය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...