ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින ජනතාව මාර්තු 8 දා කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස සලකනු ලබයි.
කෙටියෙන් IWD ලෙස ද හඳුන්වනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ (UN) පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා වර්ධනය වූයේ ලෝක කම්කරු ව්‍යාපාරය හරහා ය.
එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කිරීමේ අදහස පැමිණියේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවගෙනි. 1910 වසරේ දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇය මෙම අදහස යෝජනා කළා ය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුහු ඇගේ යෝජනාවට ඒකමතිකව එකඟවූහ.
1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල එය මුලින් ම සමරනු ලැබිණි. එහි ශතක පූර්ණ සංවත්සරය සමරනු ලැබුවේ 2011 වසරේ දී ය.
1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමග එය නිල වශයෙන් පිළිගනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය (1996 වසරේ දී) විසින් ඊට යොදා ගන්නා ලද පළමු තේමා පාඨය වූයේ “අතීතය සමරමින්, අනාගතය සැලසුම් කිරීම” යන්න ය.
නමුත් ජාත්‍යන්තර කාන්තා දිනයක් සඳහා වූ ක්ලාරාගේ අදහසට නිශ්චිත දිනයක් නොතිබිණි.
1917 වසරේ දී රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා සිටි යුදකාලීන වැඩ වර්ජනය පැමිණෙන තෙක් එය විධිමත් නොවිණි. වැඩ වර්ජනය ආරම්භ කර දින හතරක් ගත වන විට සාර්ට රජකම අත්හරින ලෙස බල කෙරුණු අතර, තාවකාලිකව පත්වුණු රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.
රුසියාවේ එවකට භාවිතයේ තිබූ ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනයේ මෙම දිනය මාර්තු 8 වන දා වූ අතර අද එය සමරනු ලබන්නේ ඒ අනුව ය.
මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක හෝ හතරක කාලය තුළ සිට මල් අලෙවිය දෙගුණ වන රුසියාව ඇතුළු බොහෝ රටවල ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් වේ.
චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි, එරට බොහෝ කාන්තාවන්ට මාර්තු 8 වන දින වරුවක් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීමට අවස්ථාව හිමි වේ.
ඉතාලියේ ‘ලා ෆෙස්ටා දෙලා දෝනා’ (la Festa della Donna) හෙවත් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මිමෝසා මල් (නිදිකුම්බා වැනි) ලබා දීමෙනි. මෙම සම්ප්රදායේ මූලාරම්භය අපැහැදිලි නමුත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.
2023 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා එක්සත් ජාතීන්ගේ තේමාව වන්නේ, “ඩිජිට්ඕල්: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් නවෝත්පාදනය සහ තාක්ෂණය” (DigitALL: Innovation and technology for gender equality) යන්න ය. තාක්ෂණය සහ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කාන්තාවන් සහ ගැහැණු දරුවන් දක්වන දායකත්වය හඳුනා ගෙන සැමරීම මෙම තේමාවේ අරමුණයි.
මෙම වසරේ, ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අසමානතාව කෙරෙහි ඩිජිටල් ස්ත්‍රීපුරුෂ පරතරයේ බලපෑම ද ගවේශනය කරනු ලබයි. ඒ, පියවරක් නොගන්නේ නම්, 2025 වසර වන විට කාන්තාවන්ට ඔන්ලයින් ලෝකයට ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක පාඩුවක් සිදු වනු ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තුගත කරන පසුබිමක ය.
නමුත් එය වටා වෙනත් තේමා ද තිබේ. “කාන්තාවන් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට වේදිකාවක් සැපයීමට” නිර්මාණය කර ඇති බව පවසන ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවිය “ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිවලට (gender stereotypes) අභියෝග කිරීම, වෙනස්කොට සැලකීමට එරෙහිව හඬ නැගීම, පක්ෂග්‍රාහීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සහ සමානාත්මතාව සොයා යාම” බලාපොරොත්තුවෙන් සංවිධායකයින් එක්ව #EmbraceEquity යන්න තේමාව ලෙස තෝරා ගෙන ඇත.
– BBC ඇසුරිනි –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...