ශ්රී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා සහ මහ බැංකුව පිහිටුවීම සඳහා මුදල් නීති පනත් සම්මත කරනු ලබන්නේ 1949 දීය. ඉන් පසුව 2014 දක්වා එම පනත් කාලීන අවශ්‍යතාවයන්ට අනුව අවස්ථා 22කදී සංශෝධනය කර ඇත. නමුත් වර්තමාන ආර්ථික සහ මූල්‍ය අපදාව අවස්ථාවේදී හදිසි කටයුත්තක් ලෙස එම පනත් සම්පූර්ණයෙන්ම ඉවත් කර නව මහබැංකු පනතක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කටයුතු කිරීම පිළිබඳව බරපතළ සැකයක් මතුවේ. විශේෂයෙන්ම වත්මන් විදේශ විනිමය අර්බුදයට මූලික හේතුව ලෙස සලකන 2017 දී සම්මත කළ විදේශ විනිමය පනත සංශෝධනය කිරීම ඉහළම ප‍්‍රමුඛතාවයක් ලබාදිය යුතු අවස්ථාවක් ඒ වනවිට මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් නව මූල්‍ය පනතක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පැහැදිළි නැත. මේ වන විට පනත අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ගැසට් කර ඇතත් ආණ්ඩුවේ කිසිදු බලධාරියෙකු එම අවශ්‍යතාවය කුමක්දැයි පැහැදිලි කර නැත.
ඒ පිළිබඳව අදහස් දක්වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ පී. සමරසිරි මහතා ප‍්‍රශ්න කරන්නේ අදාළ පනත් ඉදිරිපත් කරනු ලබන්නේ ‘‘බිඳවැටී ඇති මහ බැංකුව නගා සිටුවීමටද එසේ නැතිනම් මුල්‍ය පද්ධතිය විනාශ කිරීමටද’’ යනුවෙනි. පසුගිය කාලය තුළ එතුමා ද ඇතුළුව විවිධ පාර්ශ්ව විසින් මහබැංකුවේ නිලධාරීන්ගේ නොසැළිකිළිමත් භාවය, අකර්යක්ෂතාවය සහ අත්තනෝමතික භාවය පිළිබඳව බරපතළ චෝදනා එල්ලකරනු ලැබීය. වත්මන් විදේශ විනිමය සහ මූල්‍ය අර්බුදයට එම තත්වය ප‍්‍රභල හේතුවක් වූ බවටද සාක්ෂි ඉදිරිපත්විය. විශේෂයෙන්ම මහබැංකු බැඳුම්කර වංචාවට ඉ ඩසැළසීම පමණක් නොව වංචාවක් ලෙස සැළකෙන ඩොලර් මිලියන 12,000ක් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ආදියට වගකිව යුත්තේ ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මහ බැංකු නිලධාරීන් බව ඉතා පැහැදිළිය. උදාහරණයක් ලෙස ඒ ආකාරයට 2015 සිට 2019 දක්වා වසර 5ක් වැනි කෙටිකාලයකදී ආපසු ගෙවිය යුතු ස්වෛරීබැඳුම්කර හෙවත් වාණිජ ණය 7.2%ක් තරම් ඉහළ පොළියට ඩොලර් මිලියන 12,000ක් නිකුත් කළ අවස්ථාවේදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය හොබවනු ලැබුවේ මහබැංකුවේ වර්තමාන අධිපතිවරයාය.
එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ අනුමැතිය අනිවාර්ය වේ. ශ‍්‍රි ලංකාවේ වෙළඳ හිගය ගොවුම් ශේෂය සහ ද්‍රවශිල සංචිත ප‍්‍රමාණයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇති එතුමාට එසේ ඉහළ පොලියට කොටිකාලීන වාණිජ ණය එතරම් ප‍්‍රමාණයක් ලබාගත් විට ගොවාගත නොහැකිවීම නිසා අර්බුදයක් ඇතිවන බව තේරුම් ගැනීමේ අමාරුවක් තිබිය නොහැක.
එතුමාට පමණක් නොව අංක ගණිතය සමත් වූ ඕනෑම පහළ නිලධාරියකුද වුවද ඒ බව වටහා ගත හැක. ඊට අමතරව බැංකු සහ මූල්‍ය ආයතන පාලනය කිරීමේ දුර්වලතා පිළිබඳව මෙන්ම එම ආයතන වලට උවමනා ආකාරයට ක‍්‍රියාකිරීම හෝ නිෂ්ක‍්‍රීය ව සිටීම පිළිබඳව ද මහ බැංකු නිලධාරීන් ට එරෙහිව චෝදනා එල්ල වේ. නමුත් බැංකු පද්ධතිය තුළ උසස් නිලධාරීන් පත්කිරීමේ දී මහ බැංකුවේ අධීක්ෂණයට සහ අනුමැතියට යටත් වුවද මහ බැංකු නිලධාරීන්ගේ ඒකාග‍්‍රතාවය හෝ විශ්වාසනීයත්වය පිළිබඳව එවැනි සොයා බැලීමක් සිදු කිරීම සඳහා යාන්ත‍්‍රනයක් නැත. නමුත් මුදල් නීති පනත ඉවත් කර නව මහබැංකු පනතක් හඳුන්වාදීම මගින් එවැනි බරපතළ වැරදි නිවැරදි කිරීම සඳහා අපේක්ෂාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනේ.
මහ බැංකුව ස්වාධීන කිරීම හෙවත් මූල්‍ය අරමුදලේ ආධිපත්‍යයට යටත් කිරීම සඳහා ඉඩ සැලසීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ ණය කොන්දේසියක් බව ඉතා පැහැදිලිය. මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9ක් ණය පහසුකම් ලබාදීම සඳහා කොන්දේසි 15ක් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් සඳහන් කර ඇත. ඒ අනුව රටේ මූල්‍ය පද්ධතිය දුර්වල කර මහ බැංකු නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට රටේ මුදල් පාලනය හැසිරීම සඳහා ඉඩ සැලසීම ඒ අතුරින් එක් කොන්දේසියක් බව නව පනත් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාංගයක් බවට පත්කිරීමේ ක‍්‍රියාවලියට මහ බැංකුව ස්වාධීන කිරීම යන ලේබලය ඇලවීම මගින් ඊට මහජන සහාය ලබාගත හැකි යැයි ආණ්ඩුව විශ්වාස කරන බව පෙනේ. එනම් මහ බැංකුව ඇමතිවරයාගේ හෝ ජනාධිපතිවරයා ගේ දේශපාලන බලපෑම්වලට යටත් නොවී කටයුතු කිරීම සඳහා නව පනත් හඳුන්වා දෙන බව පැවසීම මගින් මහජනයාට ‘‘මොඩචූන්’’ එකක් ලබා ලබා දිය හැකි බවය. ඊට හේතුව දේශපාලනයකරණයට මෙන්ම දේශපාලනඥන්ට එරෙහිව රටේ බරපතළ විරෝධයක් පැවතීමය. සමාජ මනෝභාවය සහ රටේ පවතින ආපදා තත්ත්වය වාසියට හරවා ගනිමින් මූල්‍ය අරමුදලේ ඒ කොන්දේසිය ඉටු කළ හැකි යැයි ආණ්ඩුවේ සහ මූල්‍ය අරමුදලේ බලධාරීන් කල්පනා කිරීම ඉතා තර්කානුකූල යැයි පිළිගැනීමට සිදුවේ.
නමුත් වසර 72ක් විවිධ අර්බුදවලට මුහුණ දෙමින් ස්ථාවරව පැවති මූල්‍ය පද්ධතිය මෙම නව පනත මගින් දුර්වල කෙරෙන බව පනතේ ප‍්‍රතිපාදන වලින් පැහැදිලි වේ. වත්මන් විදේශ විනිමය අර්බුදයට මූලික වශයෙන් වගකිව යුතු 77 සිට නඩත්තු කළ ආර්ථික මොඩලයේ අවුල මෙන්ම 2017 දී සම්මත කළ විදේශ විනිමය පනත මගින් නිර්මාණය කර ඇති අවුල නිවැරදි කිරීමකින් තොරව ‘‘කෝකටත් තෛලය’’ ලෙස මහ බැංකුව ස්වාධීන කිරීම මගින් මූල්‍ය පද්ධතිය බිඳ වැටීම නිසා නව අර්බුදයක් නිර්මාණය වීමේ අනතුරක් මතුවන බව ඉතා පැහැදිලිය. ප‍්‍රධාන වශයෙන් නව පනත මගින් මූල්‍ය පද්ධතියේ පදනම වන දේශීය මුදල් ඒකකය නීතිගත කිරීමට අදාල ප‍්‍රතිපාදන ඉවත් කර ඇත. නමුත් දැනට තිබෙන මුදල් නීති පනතේ පළමු පරිච්ෙඡ්දය වෙන්කර ඇත්තේ ඒ සඳහාය.
ඒ අනුව නව බැංකු පනත් ක‍්‍රියාත්මක වීමේ දී ශ‍්‍රී ලංකාවේ නීතිය මගින් පිළිගත් ප‍්‍රමිතියක් මුදල් ඒකකයක් නොමැති තත්ත්වයක් ඇතිවේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රුපියලට අමතරව හෝ ඒ වෙනුවට වෙනත් විදේශීය මුදල් ඒකක භාවිතා කර ගෙවීම් කිරීමේ හැකියාව ලැබේ. මේ වන විට ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර මුදල් ඒකක ඒකාබද්ධකරණයක් පිළිබඳව කතා කෙරෙන තත්ත්වයක් තුළ නව පනත හදුන්වා දීමේ මූලික අරමුණ වන්නේ ඊට පහසුකම් සැලසීම යයි උපකල්පනය කිරීමේ වරදක් නැත. මේ වන විට ඉන්දියාවේ රිසර්ව් බැංකුව ඒ සඳහා පහසුකම් සලසා ඇත.
එවැනි තත්ත්වයක් තුළ මේ වන විට ශේෂපත‍්‍ර වල රුපියල් වලින් සඳහන් වටිනාකම් අනුව කුණු කොල්ලයට දේපළ මිලදී ගන්නා ඉන්දියානු ජාතිකයින්ට නව පනත යටතේ තම වත්කම් සහ වගකීම් ඇමෙරිකානු ඩොලර් හෝ ඉන්දියානු රුපියල් වලින් දැක්වීමේ හැකියාව ලැබේ. ඒ අනුව රටේ මූල්‍ය පද්ධතිය රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සහ සංවර්ධනය කිරීම සඳහා වන උපාංගයක් ලෙස නොව එම ක‍්‍රියාවලිය අවුල් කරන බාධකයක් බවට පත් වනු ඇත. නව පනත මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම මහ බැංකුවේ මූලික වගකීමක් ලෙස දක්වන්නේ නැත. ඒ වෙනුවට මුදල් පාලනය ස්ථාවරත්වය සහ මිල ස්ථාවරත්වය පිළිබඳ වගකීම පමණක් පවරා ඇත. ඊට අමතරව නව පනත මගින් මහ බැංකුව පුර්ණ වශයෙන් ස්වාධීන ආයතනයක් බවට පත් වන අතර රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව විසින් මේ වන විට ඉටු කරන භූමිකාව විවිධ බාහිර බලපෑම් නිසා ඉටු නොකර සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස රජයට ණය ලබා ගැනීම සහ මුදල් සැපයුම ආදිය පිළිබඳව අත්තනෝමතික තීන්දු ගැනීමේ බලයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව සහ මුදල් පාලන බලයට අභියෝග කිරීමේ හැකියාවද ලැබේ.
නව පනත් අනුව මහ බැංකු නිලධාරීන්ගේ තීන්දු පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට මහා භාණ්ඩාගාරයට හෝ පාර්ලිමේන්තුවට බලයක් නැත. එම ආයතන වලින් ඉදිරිපත් වන ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළ හැකි අතර ඉල්ලා සිටින තොරතුරු ලබා නොදී සිටීමේ හැකියාවද ඇත. ඒ අනුව මෙම පනත් තුළ මහජන පරමාධිපත්‍යය නොසලකා කටයුතු කිරීමේ බලයක් මහබැංකුවේ නිලධාරීන්ට පළාත් මණ්ඩලවලට ලැබෙන අතර එම තත්ත්වය මගින් රටේ විවස්ථාව උල්ලංඝනය වන බව පැහැදිලිව පෙනේ. මහජන වගවීමකින් තොරව සහ විනිවිදභාවයකින් තොරව තීන්දු ගැනීමේ බලය රටේ ආර්ථිකයට අදාළව ප‍්‍රබල භූමිකාවක් ඉටු කරන ආයතනයක නිලධාරීන් අතළොස්සකට ලබාදීම පවතින අර්බුදය උත්සන්න කිරීමට පමණක් නොව නව අර්බුද නිර්මාණය කිරීමට ද හේතු විය හැක.
ඒ අනුව මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් රටේ ව්‍යවස්ථාවට පවා පටහැනිව සම්මත කිරීමට උත්සාහ කරන නව මහබැංකු පනත් ඉතා පැහැදිලිවම ආපදා යටත්විජිතවාදී මෙහෙයුමක් බව තහවුරු වේ. ආපදා තත්ත්වය තුළ මූල්‍ය අරමුදලට ලැබී ඇති කේවල් කිරීමේ බලය යොදා ගනිමින් සහ බිලියන 2.9 කැරට් අලය පෙන්වමින් ආණ්ඩුව එතැනට තල්ලූ කිරීමට මූල්‍ය අරමුදල සමත් වී ඇත. ඒ සඳහා මහ බැංකු නිලධාරීන්ගේ ආශිර්වාදය අවවාද සහ අනුශාසනා ලැබෙන බවට සැකයක් නැත. ඔවුන් විසින් තමාගේ දුර්වලතා සහ අකාර්යක්ෂමතාව වලට නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කරන ප‍්‍රධානතම හේතුවක් වන්නේ පවතින නීතියේ අඩුපාඩු කම් ය. එසේ ම දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කරති. ඒ මගින් නව නීතියක අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීමට හැකියාව ලැබී ඇත. නමුත් ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම හෝ එම ආයතනයේ පාලනයට යටත් කිරීම මගින් එම ආයතනයේ ස්වාධීනත්වයට සිදුවන හානිය පිළිබඳව එම නිලධාරීන් අතරින් හෝ මහ සමාජයෙන් විරෝධයක් මතු වන්නේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපැදීම මගින් අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ලෙසට විවිධ පාර්ශව වලින් ආණ්ඩුවට බලපෑම් එල්ල වන තත්ත්වයක් තුළ සහ පසුගිය ආණ්ඩුව එසේ නොකළ බැවින් අර්බුදය උත්සන්න වූ බවට මත නිර්මාණය කෙරෙන තත්ත්වයක් තුළ එවැනි විරෝධයක් මතු වන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ තනතුරු දරා ඇති සහ පුහුණුවීම් අවස්ථා ලබාගෙන ඇති නිලධාරීන් මූල්‍ය අරමුදල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම පිළිගත හැකි තත්ත්වයකි. එසේ නොවන සහ මූල්‍ය පද්ධතිය කළමනාකරණයට අදාළ ව නව පනත් මගින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අවබෝධය සහිත සෙසු නිලධාරීන් මෙම තත්ත්වය තුළ නිහඬව සිටීම ඉතාම කණගාටුදායක තත්වයකි. දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව රාජකාරි කිරීමේ සාධාරණ සිතුවිල්ල මත සද්භාවයෙන් නව පනත ට සහයෝගය දක්වන පිරිස් ද මහබැංකු සේවකයින් අතර සිටිය හැක. එසේ වුවත් රුපියල පා කිරීම සඳහා බලපෑම් එල්ල කළ සහ වර්තමාන මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වූ නව පනත් ද අදාළව ගැඹුරු හැදෑරීමක් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට බාධාවක් තිබිය නොහැක.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...