චීන ඉතිහාසය තුල තෙවරක් ජනාධිපතිධූරයට පත්වූ එකම ජනාධිපතිවරයා වූ ක්ෂී ජින්පින් මහතා තෙවන වරට ජනාධිපති ලෙස පදවි ප්රාප්තියෙන් පසු පළමු විදේශ සංචාරය ලෙස මොස්කව් තෝරා ගැනීම විශේෂත්වයකි. චීන ජනාධිපතිවරයාගේ සංචාරය විශේෂයෙන් වැදගත් වන්නේ එවැනි සංචාරයක් සිදුවීමට බලපාන පුළුල් සන්දර්භය නිසාය. චීනය සහ රුසියාව මුහුණ දෙන බාහිර අභියෝගවලට මුහුණ දීම සඳහා චීන-රුසියානු සබඳතා තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ගෝලීය තත්ත්වයන් දැඩිව ඉල්ලා සිටී.
මේ වන විට ජාත්‍යන්තර ක්‍රියාපිළිවෙල ලෝක යුද්ධයක පරිමාණයෙන් අර්බුදයක් හරහා ගමන් කරමින් සිටී. අර්බූදය ආරම්භ වූයේ දශකයකට පමණ පෙර කියෙව්හි සිදුවූ බටහිර සහය ලත් “යුරෝමයිඩාන්” කුමන්ත්‍රණයට සමාන්තරව ක්‍රිමියාවේ පාලනය සියතට ගැනීමෙන් රුසියාව දැක්වූ ප්‍රතිචාරය විසින් දිගුකාලීන එක්සත් ජනපද-රුසියානු ගැටුමකට තුඩු දුන් අවස්ථාවේදීය.
වසර තුනකට පසුව, එක්සත් ජනපදය චීනය සම්බන්ධයෙන් අනුගමනය කළ ‘එකඟවීම සහ ආරක්ෂාව’ නම්වූ ප්‍රතිපත්තිය හදිසියේ ප්‍රතිස්ථාපනය කර “වෙළෙඳ හා තාක්ෂණ යුද්ධය” ඉදිරියට ගෙන ඒම මගින් වොෂින්ටනය සහ බීජිනය අතර ගැටුමක් නිර්මානය කරනු ලැබීය.
පසුගිය වසරේ රුසියාව යුක්රේනය තුල සිය මිලිටරි මෙහෙයුම දියත් කළේය. මොස්කව්හි මෙම ප්‍රවේශය බොහෝ දෙනෙක් විග්රහ කරනු ලැබුවේ “රුසියාවේ දොරකඩ නවතා ඇති ගොඩබිම පදනම් වූ එක්සත් ජනපද සන්නද්ධ සහ පාලිත ගුවන් යානා වාහකය” ලෙස රුසියාව හඳුනාගත් තර්ජනය තුරන් කිරීමක් ලෙසය. ඒ සමඟ, ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා වන රුසෝ-ඇමරිකානු ගැටුම “නියෝජිත (Proxy )” යුද්ධයක් දක්වා පහත හෙලනු ලැබුණි. මේ අතර, වොෂින්ටනය බීජිං වෙත සිය ප්‍රවේශය තව දුරටත් දැඩි කර ගත් අතර, චීනයට එරෙහිව ආසියාවේ සහ යුරෝපයේ සිය සහචරයින් සහ හවුල්කරුවන් සංවිධානය කිරීමට ද උත්සාහ කළේය.
එම පසුබිමට සමාන්තරව, තායිවානය අවට යුද ආතතීන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. මේ අනුව, වොෂින්ටනය විසින් තායිවාන දිවයින පුරා සන්නද්ධ ගැටුමක් අවුලුවාලීමේ හැකියාව බැහැර කළ නොහැකිය.
වොෂින්ටනයේ මෙම හැසිරීම් විසින් අවදානමට ලක්ව ඇත්තේ යුක්රේනයේ ඉරණම හෝ තායිවානයේ අනාගතය පමණක් නොවේ. ගැටළුව වන්නේ පවතින ලෝක පර්යාය සහ එහි වත්මන් සංවිධානාත්මක මූලධර්මය වන ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයි. මොස්කව් සහ බීජිං පරිපාලනයන් විසින් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන ලද මෙම තත්වය දැන් ප්‍රශ්නයක් බවට පත්ව ඇත.වර්තමාන තත්වය වසර කිහිපයක සිටම එක්සත් ජනපදය හඳුන්වන්නේ ‘ප්‍රධාන බල තරඟයක්’ ලෙසයි. එම හැඳින්වීම 20 වන සියවසේ ඇතිවූ ලෝක යුද්ධ දෙකෙහිම සාරය විය. රුසියානුවන් සහ චීන ජාතිකයන්, 1990 ගනන්වල සිට එක්සත් ජනපදය ප්රමුඛ ඒක ධ්‍රැවීයත්වයේ සිට බහු ධ්‍රැවීය ලෝක පර්යායක් දක්වා සංක්‍රමණයක් සඳහා පෙනී සිටින්නෝය. ඔවුන්ගේ මෙම ස්ථාවරය සඳහා ආසියාවේ, මැදපෙරදිග කළාපයේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ විවිධ රටවල් වල සහයෝගය ලැබෙමින් තිබේ. ඇත්ත වශයෙන්ම, සමස්ථ පද්ධතිමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතී.
මෙයට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සිය “ගෝලීය පාලනය” ඕනෑම වියදමක් ගෙවා ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටී. මෙය ඔවුන්ගේ බල පරාක්‍රමය බිඳ වැටීම වැළැක්වීමේ උපාය මාර්ගයකි. ඇමරිකානුවන් චීනයේ නැගීම, සෝවියට් බිඳවැටීමෙන් රුසියාව අනපේක්ෂිත ලෙස යථා තත්ත්වයට පත්වීම සහ ඉරානයේ කලාපීය අභිලාෂයන් හා න්‍යෂ්ටික අභිලාෂයන් දරාගත නොහැකි අභියෝග ලෙස අවබෝධකරගෙන ඇත. බටහිර සමග සිය දැවැන්ත හා ලාභදායී ආර්ථික සබඳතා පවත්වා ගැනීමට බීජිනයේ දැඩි උනන්දුව නොතකා, මින්ස්ක් ගිවිසුම් අනුව ඩොන්බාස් හි අර්බුදය විසඳීමට රුසියාව දරන උත්සාහය සහ JCPOA න්‍යෂ්ටික ගිවිසුමට ඉරානයේ කැපවීම නොතකා, වොෂින්ටනය අඛණ්ඩව ප්‍රහාරයක් දියත් කර තිබෙන බව දක්නට ලැබේ. තත්වයන් ගොඩ නැගෙන්නේ තමන්ට වාසිදායක ලෙස නොවන බව එක්සත් ජනපදය පැහැදිලිව වටහාගෙන ඇති අතර බල තුලනය තමන්ට වාසිදායක ලෙස භූමිය සකසා ගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇති බව ඔවුන්ගේ සමහර ක්‍රියා තුලින් පැහැදිලි වේ. යුක්රේනයේ මිලිටරි ක්‍රියාමාර්ග ගනිමින් මොස්කව් කුපිත කිරීම සැලසුම් කර ඇත්තේ රුසියාව දුර්වල කිරීමට සහ හුදකලා කිරීමට ය. එලෙසම තායිවාන ප්‍රදේශයේ ආතතීන් ඇවිලවීම චීනයට බලපෑම් කිරීමේ සහ ආසියා-පැසිෆික් කලාපයේ බීජිං විරෝධී සන්ධානයන් ශක්තිමත් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුනින් කරන ලද්දකි.
එක්සත් ජනපද මූලෝපායට ලොව පුරා වොෂින්ටනයට පක්ෂපාති බහුවිධ සහචරයින් බලමුලු ගැන්වීම සහ විනයගත කිරීම ඇතුළත් වේ. අමෙරිකාවේ ලෝක අධිරාජ්‍යයේ නවතම අනුවාදයට අනුව විවිධ කණ්ඩායම් තුළ සිටින ඇමරිකානුවන්ගේ නායකත්වය කිසි විටෙකත් දැන් තරම් විද්‍යාමාන නොවීය.
ඇත්ත වශයෙන්ම, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වැනි හිටපු මහා බලවතුන් සහ ප්රමුඛ කාර්මික රාජ්‍යයන් වන ජර්මනිය සහ ජපානය, සීතල යුද යුගයට වඩා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිවලට බොහෝ සමීපව බැඳී සිටිති. ඉන්දු-පැසිෆික් කලාපය කරා යොමු වීමට නේටෝව දිරිමත් කිරීමෙන් සහ විශේෂයෙන් චීනය ඉලක්ක කරන නව මිලිටරි සන්ධානයක් (AUKUS) ආරම්භ කර ඇති වොෂින්ටනය, යුරේසියාවේ සිටින තම ප්‍රතිවාදීන් දෙදෙනා වන චීනය සහ රුසියාව යන රාජ්‍යන් දෙකටම එරෙහිව තම සන්ධානවල සම්පූර්ණ බලය භාවිතා කරමින් සිටියි. එලෙසම ඔවුන්ගේ ප්‍රතිවාදීන් දෙදෙනා එකින් එකා වෙන වෙනම පරාජය කිරීමට ද අමෙරිකාව අපේක්ෂා කරයි. ඒ අනුව පළමුව, ප්‍රධාන බලවතෙකු ලෙස රුසියාව සටන් බිමෙන් ඉවත් කිරීමෙන් පසුව චීනය ඇමරිකානු කොන්දේසි පිළිගැනීමට සලස්වන තත්වයට පත් කරනු ලබයි.
එසේ නම්, මේ සියල්ල හමුවේ චීන-රුසියානු අන්තර් ක්රියාවේ උපාය මාර්ගය කුමක් විය හැකිද? චීනය සහ රුසියාව යන දෙදෙනාම ප්‍රධාන බලවතුන් වන්න්නෝය. ලෝක දර්ශනය මත ඔවුන්ගේ උපාය මාර්ග ප්‍රස්ථාරගත කිරීමේ දී ඔවුහු පූර්ණ ස්වෛරීභාවයක් අත්පත් කරගනිති. ඒවා සෘජුවම ඔවුන්ගේ ජාතික අවශ්‍යතා මත පදනම් වේ. මොස්කව්-බීජිං සම්බන්ධය එක්සත් ජනපදය ප්රමුඛ බටහිර සන්ධානවල පවතින දැඩි කන්ඩායම් විනයට වඩා බොහෝ වෙනස්කම් වලින් යුක්තය.
කෙසේ වෙතත්, චීන සහ රුසියානු නායකයින් නිසැකවම තේරුම් ගෙන සිටින්නේ, මුලින් මොස්කව් පරාජය කර පසුව බීජිං වෙත යොමුවීමේ වොෂින්ටනයේ සැලැස්ම ඔවුන් විසින් බිඳ දැමිය යුතු බවයි. ඒ අනුව චීනය විසින් රුසියාවට දිය හැකි ආධාර සම්බන්ධයෙන් බීජිං පාලනයට කරන ඇමරිකානු අනතුරු ඇඟවීම් සහ තර්ජන ඇත්ත වශයෙන්ම අමෙරිකාවට පාරා වලල්ලක් වනු ඇත. චීන නායකත්වය මෙම අමෙරිකානු අවවාදවල ස්වරයේ ඇති රළු සහ අගෞරවනීය බව අවබෝධකර ගනු ඇත. විශේෂයෙන්ම තායිපේ වෙත ඇමරිකානු ආයුධ බෙදා හැරීම් සමඟ චීන පරිපාලනය අමෙරිකානු හැසිරීම ඒකාබද්ධව තේරුම්ගනු ඇත. චීනය නිසැකවම තම භාණ්ඩ හා සේවා සඳහා එක්සත් ජනපදය හා යුරෝපා සංගම් වෙලඳපොලවල් ගැන සැලකිලිමත් වන නමුත්, හිටපු ජර්මානු සහ ප්‍රංශ නායකයින් පිළිගෙන ඇති පරිදි, ඩොන්බාස් පිළිබඳ මින්ස්ක් ගිවිසුම් සම්බන්ධයෙන් මොස්කව්හි අත්දැකීම් අනුව, වොෂින්ටනය සහ එහි සහචරයින් සැබවින්ම විශ්වාස කළ හැකිද යන්න ගැන චීනය ගැඹුරින් විශ්ලේෂණය කරනු නියතය. ඉහත කී රටවල නායකයන් රුසියාව සමඟ ගනුදෙනුවේදි කාලය මිල දී ගැනීමේ උපක්‍රමයක් මිස අන් කිසිවක් නොකළ බව චීනය දැනටමත් අවබෝධ කරගෙන ඇති බව තහවුරු වේ.
මේ අනුව, බීජිං සහ මොස්කව් අතර තවත් බොහෝ කිට්ටු සබඳතාවයන් ගොඩ නැගෙනු අපේක්ෂා කළ හැකිය. නමුත් මෙම තත්වය යුරේසියාවේ නව මිලිටරි කන්ඩායමක් ගොඩ නැගෙනු ඇතැයි පුරෝකථනය කළ නොහැකියි. ඒ වෙනුවට ලෝකය බහු ධ්රැවීයත්වය කරා වේගයෙන් ගමන් කිරීමට උපකාර කිරීම සඳහා විශාල ඒකාබද්ධ ප්රයත්නයක් දැරීම හෙවත් ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය ඵලදායි ලෙස අවසන් කිරීමට චීන රුසියා ඒකාබද්ධ ප්රයත්නයක් ගනු ලැබීම ඒකාන්ත වශයෙන්ම සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.
අමෙරිකානු ගෝලීය ආධිපත්‍ය බිඳලීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන එක් ක්‍රමයක් වනුයේ ජාත්‍යන්තර ගනුදෙනුවලදී එක්සත් ජනපද ඩොලරයේ බලපෑම අවම වන ක්‍රියා මාර්ග ගැනීමයි. චීන-රුසියානු ද්විපාර්ශ්වික වෙළඳාම් බොහෝමයක ගනු දෙනු දැනටමත් චීන යුවාන් වලින් සිදු කරයි. නමුත් යුවාන් මුදල් ඒකකය තුන්වන පාර්ශවයේ රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ද භාවිතා කළ හැකිය.
නව ලෝක අනුපිළිවෙල ක්‍රියාවට නැංවීමට උපකාර කළ හැකි තවත් ක්‍රමයක් නම්, BRICS සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි බටහිර නොවන ආයතන වැඩිදියුණු කිරීම, මූල්‍ය සහ තාක්ෂණය, බලශක්තිය සහ දේශගුණය වැනි ක්ෂේත්‍ර අරබයා සමස්ත ලෝකය වෙනුවෙන් න්‍යාය පත්‍රයක් සැකසීමට ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමයි .
ඉරාන-සෞදි සහයෝගීතාවය ගොඩනැගීමේදී මෑතකාලීනව චීනය විශද කළ බේරුම්කරණ භූමිකාව මගින් විදහා දක්වන ලද හැකියාව චීනය යනු හුදෙක් භූ-ආර්ථික ක්‍රීඩකයෙකු නොව ලෝක ව්‍යාප්ත භූ-දේශපාලනික ප්‍රවීනයෙකු බවත් නව ලෝක සම්මතයන් නිර්මාණය කිරීමට ප්‍රායෝගික පියවරක් තැබූ දැවැන්තයෙකු ලෙසත් රුසියාව පිළිගනු ලැබ තිබේ. මැදපෙරදිග කළාපය , ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් ආර්ථික හා දේශපාලන කාරණා වලදී එක්සත් ජනපදය සහ එහි යුරෝපීය සහචරයින් මත යැපීම අවම කිරීමට ඒකාබද්ධව ක්‍රියා කළහොත් මොස්කව් සහ බීජිං වඩාත් සාර්ථක විය හැකිය.
මිලිටරි ආරක්ෂණ ක්ෂේත්රයේ පවතින ආකෘතිවලින් ඔබ්බට සමීප සහයෝගීතාවයන් ඇති කරගතහොත් රුසියාවට සහ චීනයට ප්‍රයෝජන ගත හැකි බොහෝ දේ ඇත. මෙහි ප්‍රධාන අරමුන වන්නේ, යුක්රේනයේ රුසියාවට එරෙහි නියෝජිත (Proxy ) යුද්ධය උත්සන්න කිරීමෙන් සහ තායිවානයට එරෙහිව බීජිං කුපිත කිරීමෙන් වොෂින්ටනය ල්බාගන්නට උත්සහා කරන ප්රතිලාභ ලිඛිත ගිවිසුම් වලින් පමණක් නොව ක්‍රියාවෙන්ම අධෛර්යමත් කිරීමයි.
මේ සඳහා උපයෝගී කරගත යුතු එක් විශේෂිත ක්ෂේත්රයක් වන්නේ ප්‍රධාන බලවතුන් අතර පවතින ගැටුමේ සහ සැබෑ ගැටුමේ වර්තමාන කොන්දේසි යටතේ න්‍යෂ්ටික ප්‍රතිපත්ති සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇති කිරීමයි. බහු ධ්‍රැවීය අනාගතයකට ලෝකය සංක්‍රමණය කරවීමට ඔවුන් කටයුතු කරන අතරම, ප්‍රධාන බලවතුන් අතර වෙඩි උන්ඩ හුවමාරු වන යුද්ධයකින් තොරව මෙම සංක්‍රාන්තිය සිදුවීමට වග බලා ගැනීම සඳහා පුටින් සහ ක්ෂී විශාල වෙහෙසක් දරයි. චීනය සහ රුසියාව ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම විසින් සිදු වීමට නියමිත සංක්‍රාන්තිය ආරක්ෂිත වනු ඇත.
ජීවන්ත ජයතිස්ස
(රුසියාවේ උසස් ආර්ථික විද්‍යා පාසලේ පර්යේෂණ මහාචාර්යවරයකු මෙන්ම ලෝක ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා ආයතනයේ ප්‍රධාන පර්යේෂණ සගයෙකු සහ රුසියානු ජාත්‍යන්තර කටයුතු කවුන්සිලයේ ද සාමාජිකයෙකු වන දිමිත්‍රි ට්‍රෙනින් විසින් ලියන ලද ලිපියක් ඇසුරින් සැකසුනි.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...