දේශීය පුවත්

‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි. එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය එදා බොරතෙල් බැරලය 121ක් වන විට පෙට්රල් ලීටරය රුපියල් 15කට දුන්නා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද (12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණෙහි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“අද මේ ආණ්ඩුව ඉතාමත් අසාධාරණ ලෙස ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 145 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් 119 දක්වාත් ඉහළ දමා තිබෙනවා. ඔවුන් පවසන්නේ ‘මිල සූත්‍රය අනුව මෙසේ ඉන්ධන මිලෙහි වැඩිවීම්, අඩුවීම් සිදු විය හැකියි’ කියලා. නමුත් අපි කිසිවකුත් දන්නේ නැහැ, මේ කියන මිල සූත්‍රය කුමක්ද, කියා. මේ ආණ්ඩුව සියලු දේ වැඩි කරනවා, ජනතාව බදු බරෙහි ගිල්වනවා. ඒ විදියට කටයුතු කරමින් ඒවාට හේතුත් කියනවා. අලුත් බදු පනතින් ‘බලු බද්ද සහ තන බද්ද’ විතරයි ගහලා නැත්තේ. එහෙම බදු බර වැඩි කිරීමට හේතුව ලෙස කියන්නේ ‘රාජපක්‍ෂ රෙජීමයේ ණය බර නිසා මෙහෙම බදු අය කරන්න වුණා’ කියලයි.

‘ණය බර ටි්‍රලියන 4.1කින් වැඩි කරලා’

රාජපක්‍ෂ පාලනයෙන් මේ රට භාරගන්න කොට තිබුණු ණය බර රුපියල් ටි්‍රලියන 7.4ක්. නමුත් ගෙවීගිය වසර තුනහමාර තුළ රටේ සමස්ත ණය බර රුපියල් ටි්‍රලියන 11.5 දක්වා වැඩි වී තිබෙනවා. මේ ආණ්ඩුව මේ කෙටි කාලය තුළ ටි්‍රලියන 4.1කින් රටේ ණය බර වැඩි කර තිබෙනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුව තම පාලන කාලය තුළ වැඩිම ණය බරක් ජනතාව මත පැට වූ ආණ්ඩුව බවට පත් වෙලා ඉවරයි. මේ විදිහේ විනාශයක් රටට සිදු කරලා අන්තිමට ‘රාජපක්‍ෂ ණය’ කියලා එකක් පෙන්වලා මේ අය තමන්ගේ ගැලවීමට බොරු හේතුත් කියනවා.

‘මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ’

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව බැලුවත් මේ අය කියන්නේ බොරු හේතුවක්. ‘මිල සූත්‍රය’ කියන එක පෙන්නලා කරන්නේ ඉන්ධන මිල මාසයෙන් මාසයට වැඩි කිරීම පමණයි. මේ මිල සූත්‍රය අනුව බැලුවොත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 72යි. එවිට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 145යි, ඩීසල් ලීටරය රුපියල් 119යි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ (2014 වන විට) බොරතෙල් බැරලය ඩොලර් 121ක්. මේ මිල සූත්‍රය අනුව බොරතෙල් බැරලය ඩොලර් 121 වුවහෙත් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 243ක් සහ ඩීසල් ලීටරය රුපියල් 198ක් වෙනවා. හැබැයි මහින්ද රාජපක්‍ෂ පාලනය එදා මේ රටේ ජනතාව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 153කට ලබා දුන්නා. මේ අවුරුදු තුනහමාර තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 40 – 45 වූ අවස්ථා තිබුණා. එහෙම අවස්ථාවල මේ අය ඒ වාසිය ජනතාවට දුන්නා ද? නැහැ. ඔවුන් රුපියල් බිලියන ගණනක ලාභයක් ලැබුවා. නමුත් ජනතාවට කිසිදු සහනයක් දුන්නේ නැහැ. අවසානයේදී ජනතාව මත 2018 අප්‍රේල් 01 වැනිදා සිට අධික බදු බරක් පැටවූවා. දැන් ඉන්ධන මිල ඉහළ දැමීම තුළ සිදුවන්නේ අසරණ ජනතාව ‘කබලෙන් ලිපට වැටීම’ පමණයි.

‘පාතාලය හිස ඔසවලා’

මේ ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ඉතාමත් බිහිසුණු ලෙස පාතාලය හිස ඔසවා තිබෙනවා. ගෙවී ගිය මාස එකහමාර තුළ විපක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනකු මරා දමා තිබෙනවා. ඒ වගේම ගෙවීගිය මාස 05 තුළ මංකොල්ලකෑම් 1260ක්, ස්ත්‍රී දූෂණ 734ක්, ඝාතන 214ක් වාර්තා වී තිබෙනවා. ඉහත මනුෂ්‍ය ඝාතන 214න් 33ක් වෙඩි තබා ඝාතනය කිරීම්. මේ ආකාරයට පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාමට ප්‍රධානතම හේතුව තමයි, පාතාල නායකයන්ට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ ඍජු අනුග්‍රහය ලැබී තිබීම.

‘ඇමතිවරුන් පාතාලයට කිරි පොවනවා’

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එජාපයේ හිටපු ප්‍රබල ඇමතිවරයකුගේ මැතිවරණ කටයුතුවලට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාතාල නායකයින් සම්බන්ධ වී සිටියා. ‘සමයං’ නමැති ප්‍රබල පාතාල නායකයා කඩුවෙල ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වුණා. අනුරාධපුර තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ මැරයන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලැබූ පිරිස් බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ නිසා පැහැදිලිව පෙනෙනවා, මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාතාලයන්ට කිරි පොවන බව.

‘පාතාලය රකින පොලිස් රාජ්‍යයක්’

අනුරාධපුර තිදරු පියා ඝාතනය වූ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම පෙන්නුම් කළේ කුමක්ද? ඔහු වින්දිතයන්ට චෝදනා කළා. සැකකරුවන් රැකගන්න උත්සාහ කළා. නඩු භාණ්ඩ මාධ්‍යයට ලබා දෙන්න සූදානම් වූවා. බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු මාධ්‍ය හමුවේ තැබුවා. මෙමගින් පෙනී යන්නේ ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම අනුරාධපුර තිදරු පියා ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ එජාප ප්‍රබල දේශපාලනඥයා රැක ගැනීමේ හැසිරීමක්’ බව නොවේ ද? පාතාලයට සහ ඊට කිරි පොවන ආණ්ඩුවේ දේශපාලනඥයන්ට රැකවරණය දෙන අතරේ විපක්‍ෂයේ දේශපාලනඥයන් හා මහජනතාව පීඩාවට පත් කරන පොලිස් රාජ්‍යයක් බිහි වෙමින් ඇති බවයි ඉන් කියැවෙන්නේ. මේ සියල්ල කඩිනමින් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස් පෙළගැසිය යුතුයි”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More