පුරවැසි කොලම

2022 වර්ෂයේදී චීන ජනාධිපතිවරයා ලෝක පරිමානයෙන් සහ කලාපීය වශයෙන් පැන නගින ආරක්ෂාව සම්බන්ධ කාරනා වලදී චීනයේ පරමාදර්ශී ප්‍රවේශය සහ කාර්ය භාරය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරණු ලැබුවේය. ඒ මහතා ඉදිරිපත් කරන අදහස් වල දිගුවක් ලෙස පසුගිය මාර්තු 21 වනදා ගෝලීය ආරක්ෂක මුල පිරීම ප්‍රසිද්ධියට පත් කළේය. එලෙසම පසුගිය මාර්තු 29 වනදා චීන මහජන ජනරජයේ හයිනාන් පළාතේ බොආවෝ නගරයේදී “ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative-GSI) පිළිබඳව ආසියාව සඳහා වූ බෝආවෝ සමුළුවට ( Boao Forum -BFA ) චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ගෝලීය ආරක්ෂක මුලපිරීමට අදාල වන සංකල්ප පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමට ඉදිරිපත් කළේය.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙනුත්, අනාගතයේදී මුහුණ දීමට නියමිත ආරක්ෂක ගැටලු සම්බන්ධයෙනුත් ඒවා නිරාකරණය කරගැනීමට මැදිහත් වීමට අදාල වන්නාවූ ගැඹුරු ප්‍රවේශයට අවතීර්ණ වන ආකාරය සම්බන්ධයෙන් එම සංකල්ප පත්‍රිකාවෙන් කරුණු ගෙනහැර ඇත. එහි ඇති වැදගත්කම සලකා මෙලෙස පල කරමු.

ජගත් ආරක්ෂක මුලපිරීම් සඳහා වන සංකල්ප පත්‍රිකාව

I.පසුබිම

ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සෑම රටකම මිනිසුන්ගේ යහපැවැත්ම, ලෝක සාමයේ සහ සංවර්ධනයේ උදාරත්වය සහ මානව වර්ගයාගේ අනාගතය මත රඳා පවතී.

අද, අපේ ලෝකය, අපේ කාලය සහ අපේ ඉතිහාසය පෙර නොවූ විරූ ආකාරයෙන් වෙනස්කම් වලට ලක් වෙමින් පවතී. ජාත්‍යන්තර ප්‍රජාව මීට පෙර කලාතුරකින් දැක ඇති බහුවිධ අවදානම් සහ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. කලාපීය ආරක්ෂක “උණුසුම්” ප්‍රදේශ ගිනි ඇවිලෙමින් තිබේ. ප්‍රාදේශීය වශයෙන් සිදුවන ගැටුම් සහ කැළඹීම් නිතර නිතර මතුවෙමින් තිබේ. කෝවිඩ් 19 වසංගතය ජීවමානව පවතී. ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය සැලකිය යුතු ලෙස ඉහළට මතුවී තිබේ. සම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන එකිනෙක පැටලී ඇත. සාමයේ, සංවර්ධනයේ, ආරක්ෂාවේ සහ රාජ්‍ය පාලනයේ ඌනතාවයන් වර්ධනය වෙමින් පවතින අතර, ලෝකය නැවතත් ඉතිහාසයේ සන්ධිස්ථානයකට පැමිණ තිබේ.

මේ යුගය අභියෝගවලින් පිරුණු යුගයක්. එසේම එය බලාපොරොත්තු වලින් පිරුණු යුගයක්. සාමය, සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයේ ඓතිහාසික ප්‍රවණතා නැවැත්විය නොහැකි බව අපට ඒත්තු ගොස් තිබෙනවා. ලෝක සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ ගෝලීය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සියලු රටවල පොදු කාර්යය විය යුතුයි. චීන ජනාධිපති ෂී ජින්පින් ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative ) යෝජනා කර කරමින් සහයෝගීතාවයේ ආත්මය තුළ ගැඹුරින් වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනයට අනුගත වන ලෙස සියලු රටවල් වලින් ඉල්ලා සිටී. ඔහු ඉදිරිපත්කරන ගෝලීය ආරක්ෂක මුලපිරීම  සංකීර්ණ හා එකට බැඳී ඇති ආරක්ෂක අභියෝගවලට ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව විසඳුම් ලබා දී ඇත. ගෝලීය ආරක්ෂක මුලපිරීමෙහි අරමුණ වන්නේ ජාත්‍යන්තර ගැටුම්වලට තුඩු දෙන මූල හේතු ඉවත් කිරීම, ගෝලීය ආරක්ෂක පාලනය වැඩිදියුණු කිරීම, සීඝ්‍රයෙන් වෙනස්වන වතමන් යුගයකට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ඇති කිරීම වෙනුවෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර ප්‍රයත්නයන් දිරිමත් කිරීම මගින් ලෝකයේ කල් පවතින සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමය.

II. මූලික සංකල්ප සහ මූලධර්ම

1)පොදු, විස්තීර්ණ, සහයෝගිතා සහ තිරසාර ආරක්ෂාව පිළිබඳ දැක්ම රැක ගැනීමට කැපවිය යුතුය. 2014 දී ජනාධිපති ෂී ජින්පින් පොදු, විස්තීර්ණ, සහයෝගිතා සහ තිරසාර ආරක්ෂාව සඳහා නව දැක්මක් ආරම්භ කරන ලද අතර එය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගෙන සහාය ලබා දුන්නේය. ආරක්‍ෂාව පිළිබඳ මෙම නව දැක්මෙහි හරය වන්නේ සෑම රටකම ආරක්‍ෂාවට ගරු කිරීම සහ ආරක්‍ෂාව තහවුරු කිරීම යන පොදු ආරක්‍ෂාව පිළිබඳ සංකල්පය වෙනුවෙන් පෙනී සිටීමයි. ආරක්ෂාව සම්බන්ධයෙන් වන සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන වසම් දෙකෙහිම ආරක්‍ෂාව පවත්වාගෙන යාම ඒවා සම්බන්ධීකෘත ආකාරයකින් ආරක්‍ෂක පාලනය වැඩි දියුණු කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයකට අවතීර්ණ වීම; සහයෝගීතාව සඳහා කැපවීම; දේශපාලන සංවාදය සහ සාමකාමී සාකච්ඡා හරහා ආරක්ෂාව ගෙන ඒම මගින් තිරසාර ආරක්ෂාව ලුහුබැඳීම, සංවර්ධනය තුළින් ගැටුම් නිරාකරණය කිරීම සහ අනාරක්ෂිත භාවය සඳහා ඇති ඉඩ ඉවත් කිරීම. සදාචාරය, යුක්තිය සහ නිවැරදි අදහස් තහවුරු වූ විට පමණක් ආරක්ෂාව ස්ථිර  සහ ධරණීය වනු ඇතැයි අපි විශ්වාස කරමු.

2)සියලුම රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට කැපවිය යුතුය. රටවල් වල ස්වෛරීභාවයට සමානාත්මතාවයට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම වන අතර ඒවා ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලිකම සම්මතයන් වේ. ලොකු කුඩා, ප්‍රබල හෝ දුර්වල, පොහොසත් හෝ දුප්පත් යන සියලුම රටවල් ජාත්‍යන්තර ප්‍රජාවේ සමාන සාමාජිකයන් බව අපගේ විශ්වාසයයි.රටක අභ්‍යන්තර කටයුතුවලට බාහිර ඇඟිලි ගැසීම් සිදු නොකළ යුතුය. එම රටේ පරමාධිපත්‍යයට සහ අභිමානයට ගරු කළ යුතු අතර, ස්වාධීනව සමාජ පද්ධති සහ සංවර්ධන මාර්ග තෝරා ගැනීමට එම රටට ඇති අයිතිය තහවුරු කළ යුතුය.රටක ස්වෛරීභාවය ස්වාධීනත්වය සහ සමානාත්මතාවය තහවුරු කළ යුතු අතර, අයිතිවාසිකම්, නීති සහ ඉඩ ප්‍රස්ථාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් සමානාත්මතාවය භුක්ති විඳීමට සියලු රටවලට සමාන අවස්ථාව ලබා දීමට උත්සාහ කළ යුතුය.

3)එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීමට කැපවිය යුතුය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම, ලෝක යුද්ධ දෙකක කටුක පාඩම් පිළිබඳව ලොව පුරා සිටින මිනිසුන්ගේ ගැඹුරු ආවර්ජනය මූර්තිමත් කරයි. ඒවා සාමූහික ආරක්ෂාව සහ කල්පවත්නා සාමය සඳහා මානව වර්ගයාගේ ආයතනික සැලසුම වන්නේය. අද ලෝකයේ විවිධ ගැටුම් සහ අසාධාරණකම් ඇති වූයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම යල් පැන ගිය නිසා නොව ඒවා ඵලදායි ලෙස නඩත්තු කර ක්‍රියාත්මක නොකිරීම නිසාය. සැබෑ බහුපාර්ශ්විකවාදය භාවිතයට ගන්නා ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් පාදක කර ඇති ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් සහ ජාත්‍යන්තර නීතිය මගින් පදනම් වූ ජාත්‍යන්තර පටිපාටිය, එහි හරය සමඟින් දැඩි ලෙස තහවුරු කිරීම; ගෝලීය ආරක්ෂක පාලනය සඳහා ප්‍රධාන වේදිකාව ලෙස එක්සත් ජාතීන්ගේ අධිකාරිය සහ එහි තත්ත්වය තහවුරු කිරීම. ආදී වූ ක්‍රියාමාර්ග මගින් සැබෑ බහුපාර්ශ්විකවාදය තහවුරු කළ හැක. සීතල යුද මානසිකත්වය, ඒකපාර්ශ්විකවාදය, කණ්ඩායම් ගැටුම සහ අධිපතිවාදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආත්මයට පටහැනි වන අතර ඒවාට ප්‍රතිරෝධය දැක්වීම සහ  ප්‍රතික්ෂේප කිරීමද කළ යුතුය.

4)සියලුම රටවල නීත්‍යානුකූල ආරක්‍ෂාව බැරෑරුම් ලෙස සැලකීමට කැපවිය යුතුය. මානව වර්ගයා යනු වෙන්කළ නොහැකි ආරක්ෂක ප්‍රජාවකි. එක් රටක ආරක්‍ෂාව වෙනුවෙන් තවත් රටක ආරක්‍ෂාව කැප කළ යුතු නැත. ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් සියලු රටවල් සමාන බව අපි විශ්වාස කරමු. සියලුම රටවල නීත්‍යානුකූල සහ සාධාරණ ආරක්‍ෂක අවශ්‍යතා බැරෑරුම් ලෙස සැලකිය යුතු අතර එයට නිසි ලෙස අවධානය යොමු කළ යුතුය. ඒ වෙනුවට නොකඩවා නොසලකා හැරීම හෝ ක්‍රමානුකූලව අභියෝග කිරීම නොකළ යුතුය. ඕනෑම රටක්, තමන්ගේම ආරක්ෂාව සම්බන්ධයෙන් පොර බදින අතරම, අන් අයගේ සාධාරණ ආරක්ෂක ගැටළු සැලකිල්ලට ගත යුතුය. පුද්ගල ආරක්ෂාව සහ පොදු ආරක්ෂාව අතර, සම්ප්‍රදායික ආරක්ෂාව සහ සම්ප්‍රදායික නොවන ආරක්ෂාව අතර, ආරක්ෂක අයිතිවාසිකම් සහ ආරක්ෂක බැඳීම් අතර, මෙන්ම ආරක්ෂාව සහ සංවර්ධනය අතර අත්හල නොහැකි ආරක්ෂාව සම්බන්ධයෙන් වන මූලධර්මය අපි සුරැකිව රැකගත යුතු වෙමු. විශ්වීය ආරක්‍ෂාව සහ පොදු ආරක්‍ෂාව සාක්‍ෂාත් කර ගැනීම සඳහා සමතුලිත, ඵලදායී සහ තිරසාර “ආරක්‍ෂක ගෘහ නිර්මාණ ශිල්පයක්‌” තිබිය යුතුය.

5)සාකච්ඡා සහ උපදේශන මගින් රටවල් අතර මතභේද සහ ආරවුල් සාමකාමීව විසඳීමට කැපවිය යුතුය. යුද්ධය සහ සම්බාධක ආරවුල් සඳහා මූලික විසඳුමක් නොවේ; වෙනස්කම් නිරාකරණය කිරීමේදී ඵලදායී වන්නේ සංවාදය සහ උපදේශනය පමණි. උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසය වැඩි දියුණු කිරීම, ආතතීන් පැතිරීම, වෙනස්කම් කළමනාකරණය කිරීම සහ අර්බුදවලට මූලික හේතු ඉවත් කිරීම සඳහා කැපවන ලෙස අපි රටවල්වලින් ඉල්ලා සිටිමු. ප්‍රධාන රටවල් යුක්තිය තහවුරු කළ යුතු අතර, ඔවුන්ගේ නියමිත වගකීම් ඉටු කළ යුතුය. සමාන පදනමක් මත උපදේශනයට සහාය විය යුතුය. එලෙසම සාමය සඳහා සාකච්ඡා කිරීමට පහසුකම් සැලසිය යුතුය. ඒ සඳහා හැකියාව සහ දක්ෂතාවය ඇති රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පත් කළ යුතු අතර ගැටුමට මුහුණ දී සිටින අදාළ රටවල අවශ්‍යතා සහ කැමැත්ත අනුව මැදිහත් විය යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව අර්බුද සාමකාමීව සමථයකට පත් කිරීමට හිතකර සියලු ප්‍රයත්නයන්ට සහාය විය යුතු අතර, විශ්වාසය ගොඩනැගීමට, ආරවුල් විසඳීමට සහ සංවාදය තුළින් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට ගැටුම්කාරී පාර්ශ්ව දිරිමත් කළ යුතුය. ඒකපාර්ශ්වික සම්බාධක සහ දිගුකාලීන අධිකරණ බලය අනිසි ලෙස භාවිතා කිරීම මගින් ගැටලුවක් නිරාකරණය වන්නේ නොමැති අතර ඒ වෙනුවට තව තවත් දුෂ්කරතා සහ සංකූලතා ඇති කරයි.

6)සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන කළාප දෙකෙහිම ආරක්ෂාව පවත්වා ගැනීමට කැපවිය යුතුය. අද ලෝකයේ ආරක්ෂාවේ තීව්‍රතාවය සහ වපසරිය යන දෙඅංශයම පුළුල් වෙමින් පවතී. ආරක්ෂාව වඩාත් අන්තර් සම්බන්ධිත, අන්තර්ජාතික සහ විවිධාකාර වේ. සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජන එකිනෙකට ගැට ගැසී ඇත. ගෝලීය පාලනයේ පුළුල් උපදේශන, ඒකාබද්ධ දායකත්වය සහ හවුල් ප්‍රතිලාභ යන මූලධර්ම ප්‍රගුණ කරන ලෙස අපි සියලු රටවල් දිරිමත් කරන අතර කළාපීය ආරවුල් සහ ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස, සයිබර් ආරක්ෂාව සහ ජෛව ආරක්ෂාව වැනි ගෝලීය අභියෝග විසඳීමට එක්ව කටයුතු කළ යුතුය. තිරසාර විසඳුම් සෙවීම, ගෝලීය ආරක්‍ෂක පාලනය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂක අභියෝග වැලැක්වීම සහ විසඳුම් ගෙන ඒම සඳහා බහු නාලිකා ගවේෂණය කිරීමට, පරිපූර්ණ විසඳුමක් සංවර්ධනය කිරීමට සහ අදාළ නීති වැඩිදියුණු කිරීමට සාමූහික උත්සාහයන් ගැනීම කළ යුතුමය.

මෙම කැපවීම් හය අන්තර් සම්බන්ධිත සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන අතරම ද්විඝඨනාත්මක  එකමුතුවේ ඓන්ද්‍රීය සමස්ථය වන්නේය. ඒවා අතර, පොදු, විස්තීර්ණ, සහයෝගිතාවය සහ තිරසාර ආරක්ෂාව පිළිබඳ  සංකල්පීය මග පෙන්වීමක් සපයයි; සියලු රටවල ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම මූලික පදනම වේ; එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීම මූලික මිණුම් දණ්ඩයි; සියලුම රටවල නීත්‍යානුකූල ආරක්‍ෂක අවශ්‍යතා බැරෑරුම් ලෙස සැලකීම වැදගත් මූලධර්මයකි. සාකච්ඡා සහ උපදේශන මගින් රටවල් අතර මතභේද සහ ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට කළ යුතු අනිවාර්ය තේරීමකි. සාම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන කළාප දෙකෙහිම ආරක්ෂාව පවත්වා ගැනීම අනුලංඝණීය අවශ්‍යතාවයකි.

III. සහයෝගීතාවය සඳහා වන  ප්‍රමුඛතා

සියලුම රටවලට සාමකාමී සහ ස්ථාවර බාහිර පරිසරයක් භුක්ති විඳීමට හැකි වන පරිදි තිරසාර ලෝක සාමයක් සාක්ෂාත් කර ගැනීම අපගේ පොදු අභිලාෂය වන අතර ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සහතික කර එම රටවල ජනතාවට ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය. එකම නෞකාවේ සිටින මගීන් මෙන්, මානව වර්ගයා සඳහා හවුල් ආරක්ෂාවක් ඇති ප්‍රජාවක් පෝෂණය කිරීමට සහ බියෙන් තොර සහ විශ්වීය ආරක්ෂාව භුක්ති විඳින ලෝකයක් ගොඩනැගීමට රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

මෙම දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය ආරක්ෂක මුලපිරීමේ රාමුව යටතේ සියලුම රටවල් සහ ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයක් පැවැත්වීමට චීනය සූදානම් වන අතර ආරක්ෂක සංකල්ප සහ අභිලාෂයන් සම්බන්ධීකරණය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට චීනය කටයුතු කරයි. එකිනෙකාගෙන් ඉගෙනීම සහ අනුපූරකත්වය ලුහුබැඳීම සඳහා සහ ලෝක සාමය සහ සන්සුන්භාවය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා පහත සඳහන් කරුණු ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී තනි හෝ බහු සහයෝගීතාවයක් ඇතිව කටයුතු කරණ ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

1)එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් අපගේ පොදු න්‍යාය පත්‍රයේ දක්වා ඇති සාමය සහ අනෙකුත් යෝජනා සඳහා නව න්‍යාය පත්‍රයක් සැකසීමට ක්‍රියාකාරීව සහභාගී විය යුතුය. ගැටුම් වැලැක්වීම වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රයත්නයන්ට සහාය වීම සහ සාමය ගොඩනැගීමේ දී පශ්චාත් ගැටුම් රාජ්‍යයන්ට සහාය වීම සඳහා සාමය ගොඩනැගීමේ නිර්මාණ ශිල්පය සම්පූර්ණයෙන් උපයෝගී කර ගැනීම කළ යුතුය. චීන-එක්සත් ජාතීන්ගේ සාම හා සංවර්ධන භාර අරමුදලේ මහලේකම්වරයාගේ සාමය සහ ආරක්‍ෂක උප අරමුදල තවදුරටත් ප්‍රයෝජනයට ගැනීම මෙන්ම ගෝලීය ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශාල කාර්යභාරයකට සහාය වීම කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක වරම ක්‍රියාවට නැංවීමේ හැකියාව ඉහළ නැංවීමට සහාය වීම, සාම සාධක මෙහෙයුම් සඳහා “ගැටුමට මුහුණ දී සිටින පාර්ශවල එකඟතාවය, අපක්ෂපාතීත්වය සහ ආත්මාරක්ෂාව සහ ජනවරම ආරක්ෂා කිරීම හැර බලය භාවිතා නොකිරීම” යන මූලධර්ම ත්‍රිත්වය තහවුරු කිරීම, දේශපාලන විසඳුම් සඳහා ප්‍රමුඛත්වය දීම, සහ රෝග ලක්ෂණ සහ මූල හේතු යන දෙකම විසඳීමට පරිපූර්ණ ප්‍රවේශයක් ගත යුතුය. ප්‍රමාණවත් සම්පත් සමඟ සාම සාධක මෙහෙයුම් සැපයීම මෙන්ම ස්වාධීන සාම සාධක මෙහෙයුම් සිදු කිරීම සඳහා අප්‍රිකානු සංගමයට (African  Union) ප්‍රමාණවත්, පුරෝකථනය කළ හැකි සහ තිරසාර මූල්‍ය ආධාර සැපයීමට සහාය වීම කළ යුතුය.

2)ප්‍රධාන රටවල් අතර සම්බන්ධීකරණය සහ හොඳ අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී සහජීවනය ප්‍රධාන කොට සමස්ථ ස්ථාවරත්වය සහ සමබර සංවර්ධනය ඇතුළත්  යහපත් රාජ්‍ය සබඳතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කළ යුතුය. ප්‍රධාන රටවල් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේදී වැදගත් විශේෂ වගකීම්වලට උර දෙනු ලබන්නේය. සමානාත්මතාවය, සද්භාවය, සහයෝගීතාවය සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කිරීමේදී ආදර්ශමත් නායකත්වයක් සපයන ලෙස ප්‍රධාන රටවල්වලින් ඉල්ලා සිටිය යුතුය. අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයට අනුගත වන ලෙස සියලුම රටවලින් ඉල්ලා සිටිය යුතුය. රටවල් අතර වාද විවාද සහ හා ගැටුමකින් තොරව සිටීමට අවශ්‍ය අවම කොන්දේසිය වෙත නැඹුරුව සිටීමට වග විය යුතුය .වෙනස්කම් වෙන්කර ගනිමින් පොදු පදනමක් සොයාගැනීමට සහ වෙනස්කම් කළමනාකරණය කිරීමට නැඹුරු විය යුතුය.

3)”න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර කිසිදා න්‍යෂ්ටික යුද්ධයකට අවතීර්ණ නොවිය යුතුය.” යන සම්මුතිය දැඩි ලෙස තහවුරු කළ යුතුය. න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් පහේ නායකයින් විසින් 2022 ජනවාරි මාසයේදී නිකුත් කරන ලද න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීම සහ අවි තරඟ වළක්වා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශයට අනුකූල විය යුතුය. න්‍යෂ්ටික යුද්ධයේ අවදානම අවම කිරීම සඳහා න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් අතර සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මැදිහත් විය යුතුය. න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුම (NPT) මත පදනම් වූ ජාත්‍යන්තර න්‍යෂ්ටික ප්‍රගුණනය නොවන පාලන තන්ත්‍රයන් ආරක්ෂා කිරීමට සහ න්‍යෂ්ටික අවිවලින් තොර කලාප පිහිටුවීමට අදාළ කලාපවල රටවල් දරන ප්‍රයත්නයන්ට ක්‍රියාකාරීව සහාය විය යුතුය. සාධාරණ, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ජාත්‍යන්තර න්‍යෂ්ටික ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම සඳහා න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය.

4)එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේදී සම්මත කරන ලද ජාත්‍යන්තර ආරක්ෂාව ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපාදනය තුළ ඇති සාමකාමී භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1540 කමිටුව, රසායනික අවි සම්මුතිය (CWC) සහ ජීව විද්‍යාත්මක අවි සම්මුතිය (BWC) වැනි රාමු යටතේ සහයෝගීතාව ක්‍රියාත්මක කිරීම, සමූල ඝාතක අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ සම්පූර්ණයෙන් විනාශ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු රටවල හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම ප්‍රගුණනය නොවන අපනයන පාලනය, ජෛව ආරක්‍ෂාව සහ රසායනික අවිවලින් ආරක්ෂා කිරීම ඇතුළු ක්ෂේත්‍රවල ක්‍රියාකරී මැදිහත්වීමක් සිදුකිරීම.

සාම්ප්‍රදායික ආයුධ පාලනය කිරීමේ ගෝලීය ක්‍රියාවලියට සහාය වීම. අප්‍රිකාවේ අභිලාශයට ගරු කිරීමේ පදනම යටතේ කුඩා අවි සහ සැහැල්ලු අවි පාලනය සම්බන්ධයෙන් චීනය, අප්‍රිකාව සහ යුරෝපය අතර ගොඩ නැගී ඇති සහයෝගීතාවයට සහාය වීම. අප්‍රිකාවේ “තුවක්කු නිහඬ කිරීමේ” මුලපිරීම ක්‍රියාත්මක කිරීමට සහාය වීම.  බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාන්විතයට  ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සහාය ක්‍රියාකාරීව ලබා දීමට  සහ බලපෑමට ලක් වූ රටවලට තම හැකියාවට අනුව අවසර ලැබෙන පරිදි උපකාර කිරීම.

5)ජාත්‍යන්තර සහ කලාපීය “උනුසුම් ස්ථාන” සම්බන්ධ ගැටළු වලට දේශපාලන විසදුම් ප්‍රවර්ධනය කිරීමට සහ  අවංක සංවාදය සහ සන්නිවේදනය තුළින් වෙනස්කම් ජය ගැනීමට පෙරට විත් “උණුසුම් ස්ථාන” සම්බන්ධ ගැටලු විසඳීමට අදාළ රටවල් දිරිමත් කළ යුතුය.ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කිරීමේ ප්‍රවේශය අනුගමනය කරමින් සාම සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමේ මාධ්‍යයන් හරහා, සාධාරණත්වය සහ ප්‍රායෝගිකත්වය ප්‍රධාන ආකල්පය කර ගනිමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන පදනම යටතේ, “උණුසුම් ස්ථාන” වල දේශපාලන සමථයකට සාධනීය ලෙස සහභාගී වීමට ජාත්‍යන්තර ප්‍රජාවට සහාය වීම තුළින් රෝග ලක්ෂණ සහ මූල හේතු යන ගැටළු  දෙකම විසඳීමට මැදිහත් විය යුතුය. සංවාදය සහ සාකච්ඡා මාර්ගයෙන් යුක්රේන අර්බුදය වැනි උනුසුම් ස්ථානවල ගැටළු දේශපාලනිකව විසඳා ගැනීමට සහාය විය යුතුය.

6)ආසියාන් සංවිධානය කේන්ද්‍ර කරගත් කලාපීය ආරක්‍ෂක සහයෝගීතා යාන්ත්‍රණය සහ “ගෘහ නිර්මාණ ශිල්පයට” සහය වීම සහ එය වැඩිදියුණු කිරීම මෙන්ම කලාපීය රටවල් අතර ආරක්‍ෂක සංවාදය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එකඟතාවය ගොඩනැගීමේ සහ එකිනෙකාගේ සුවපහසු මට්ටමට අනුගත වීමේ ආසියාන් ක්‍රමයට නැඹුරු වීම කළ යුතුය. ලැන්කෑන්ග් මීකොන්ග් සහයෝගිතා (Lancang Mekong Cooperation-LMC) රාමුව යටතේ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන්ට සහාය වීම මෙන්ම ලැන්කෑන්ග් මීකොන්ග් විශේෂ අරමුදල යටතේ අදාළ සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා ගෝලීය ආරක්ෂක මුලපිරීම් (GSI ) සඳහා නියමු කලාපයක් පෝෂණය කිරීමට උත්සාහ කිරීම කළ යුතුය.

7)අන්‍යෝන්‍ය ගෞරවය වෙනුවෙන් පෙනී සිටීම, සමානාත්මතාවය සහ යුක්තිය තහවුරු කිරීම, ප්‍රගුණනය වැළැක්වීම සාක්ෂාත් කර ගැනීම, සාමූහික ආරක්ෂාව ඒකාබද්ධව පෝෂණය කිරීම සහ සංවර්ධන සහයෝගීතාව වේගවත් කිරීම ඇතුළුව මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා මැද පෙරදිග ආරක්ෂක රාමුව නම් කරුණු පහකින් යුත් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම කළ යුතුය.  සංවාදය ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ සබඳතා වැඩිදියුණු කිරීමට මැදපෙරදිග රටවල ධනාත්මක ගම්‍යතාවයට සහ ප්‍රයත්නයන්ට සහාය වීම, සියලු පාර්ශ්වයන්ගේ සාධාරණ ආරක්ෂක අවශ්‍යතාවලට ඉඩ සැලසීම, කලාපීය ආරක්ෂාව ආරක්ෂා කිරීමේ අභ්‍යන්තර බලවේග ශක්තිමත් කිරීම සහ අරාබි රාජ්‍ය ලීගය (League of Arab States (Arab League)- LAS) සහ අනෙකුත් කලාපීය රටවල මේ සම්බන්ධයෙන් නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරන සංවිධාන වලට සහාය වීම කළ යුතුය.  පලස්තීන ප්‍රශ්නය අවසන් කිරීමට ඉදිරිපත්ව තිබෙන රාජ්‍ය දෙකේ විසඳුම ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රායෝගික පියවර ගත යුතු අතර, පලස්තීන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා වඩා විශාල,  සහ වඩාත් බලගතු ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවිය යුතුය.

9)කලාපීය ගැටුම් විසඳීමට, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ සමුද්‍රීය ආරක්ෂාව ආරක්ෂා කිරීමට අප්‍රිකානු රටවල්, අප්‍රිකානු සංගමය (African Union) සහ වෙනත් උප කලාපීය සංවිධාන දරන උත්සාහයට සහාය වීම, අප්‍රිකාවට ප්‍රමුඛව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීම සහ අප්‍රිකානු රටවල් ප්‍රමුඛ කොට ගෙන ස්වාධීනව සාමය ආරක්ෂා කිරීමට ඇති හැකියාව ශක්තිමත් කිරීමට ඇප කැප වීම. අප්‍රිකානු ක්‍රමවේදයට අනුව අප්‍රිකානු රටවල ගැටලු විසඳීමට සහාය වීම සහ “අප්‍රිකාවේ අඟ”, සහෙල්, මහා විල් කලාපය සහ අනෙකුත් අප්‍රිකානු මහ ද්වීපයේ ප්‍රදේශවල ගැටුම්කාරී ස්ථාන සාමකාමී ප්‍රදේශ බවට පත් කිරීම ප්‍රවර්ධනය කිරීම. “අප්‍රිකාවේ අඟ” ප්‍රදේශයේ සාමය සහ සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම ක්‍රියාකාරීව ක්‍රියාත්මක කිරීම,  “චීන- අප්‍රිකාවේ අඟ සාමය, පාලනය සහ සංවර්ධන සමුළුව” ආයතනිකකරණය ප්‍රවර්ධනය කිරීම සහ එය සහයෝගීතාවයේ නියමු ව්‍යාපෘතියක් ලෙස් දියත් කිරීමට ක්‍රියාකාරීව කටයුතු කිරීම.

ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශ කිරීමේ ප්‍රකාශයේ දක්වා ඇති කැපවීම් සක්‍රීයව ඉටු කිරීමේදී ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට සහය වීම සහ ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජාවට සහ අනෙකුත් කලාපීය සහ උප කලාපීය සංවිධානවලට ක්‍රියාකාරීව කටයුතු කිරීමට සහාය වීම. කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරය සහ කලාපීය උණුසුම් ස්ථානවල ගැටුම් කළමනාකරණය කිරීමට නිසි ලෙස මැදිහත් වීම.

10)දේශගුණික විපර්යාස, ස්වාභාවික විපත් සහ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් පැසිෆික් දූපත් රටවල විශේෂ තත්ත්වය සහ නීත්‍යානුකූල උත්සුකයන් කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළ යුතුය. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා පැසිෆික් දූපත් රටවල් දරන ප්‍රයත්නයන්ට සහාය වීම සහ “වර්ෂ 2050 නිල් පැසිෆික් මහාද්වීපය” නම් උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට දූපත් රටවලට සහාය වීම. සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන සමඟ කටයුතු කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට දූපත් රටවලට උපකාර කිරීම සඳහා ද්‍රව්‍ය, අරමුදල් සහ කුසලතා වර්ධනය කර ගැනීමට වැඩි ඉඩක් සහ කාලයක් වෙන් කිරීම.

11)‘සමුද්‍රීය සංවාදය සහ හුවමාරුව” සහ ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීම, සමුද්‍රීය වෙනස්කම් නිසි ලෙස හැසිරවීම සහ මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් ඇතුළු මුහුදේ ජාත්‍යන්තර අපරාධ මැඩලීමට එක්ව කටයුතු කිරීම. සමුද්‍රීය සාමය සහ සන්සුන් භාවය සහ මුහුදු මංතීරු ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධව ආරක්ෂාව සැපයීමට කටයුතු කිරීම. ජාත්‍යන්තර සහයෝගීතාවයේ සක්‍රීයව නියැලීමට, සංවාද සහ උපදේශන මගින් අදාළ ආරවුල් විසඳා ගැනීමට, සීමා මායිම් වල පිහිටා තිබෙන ගංගාවල නැව් ගමනාගමනයේ ආරක්ෂාව සහතික කිරීමට,ඒවා තාර්කිකව භාවිතා කිරීමට සහ ජල සම්පත් ආරක්ෂා කිරීමට සහ පාරිසරික පරිසරය ආරක්ෂා කිරීමට මායිම් ගංගා දිගේ ඉහළ සහ පහළ පිහිටි රටවල් සමඟ වඩා හොඳ සංවාදයක් ඇති කර ගැනීම.

12)ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ කේන්ද්‍රීය සම්බන්ධීකාරකයා ලෙස ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමිකාව ශක්තිමත් කිරීම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන යෝජනා සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්ත මර්දන උපායමාර්ගය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට සහාය වීම සහ සියලු දෙනා ඒකාබද්ධව ත්‍රස්තවාදය මර්ධනය කිරීමට සහය දැක්වීම. ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන සහ පුද්ගලයින් මර්ධනය කිරීමට සහය වීම. සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ත්‍රස්ත-විරෝධී හැකියාවන් ගොඩනැගීම වැඩි දියුණු කිරීම සඳහා ගෝලීය ත්‍රස්ත විරෝධී සම්පත් වැඩි වැඩියෙන් දායක කිරීමට කටයුතු කිරීම. ත්‍රස්තවාදයට කිසියම් රටක්, වාර්ගික කණ්ඩායමක් හෝ ආගමක් සමඟ සම්බන්ධ කිරීමට විරුද්ධ විය යුතුය. ගෝලීය ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් මත නැගී එන තාක්ෂණයන්ගේ බලපෑම පිළිබඳ අධ්‍යයනයන් සහ ප්‍රතිචාර වැඩිදියුණු කිරීමට දායක වීම.

13)තොරතුරු ආරක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතාව ගැඹුරු කිරීම. චීනය, දත්ත සුරක්ෂිතභාවය පිළිබඳ ගෝලීය මුලපිරීම ඉදිරිපත් කර ඇති අතර, සියලු පාර්ශ්වයන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවන්ට ගරු කරන ඩිජිටල් පාලනය පිළිබඳ ගෝලීය රීති සැකසීමට ඒකාබද්ධ උත්සාහයන් ඉල්ලා සිටී. දත්ත ආරක්ෂාව පිළිබඳ චීන- අරාබි රාජ්‍යයන්ගේ ලීගය සහයෝගිතා (China- League of Araba Cooperation (LAS) Initiative) මුලපිරීම සහ චීනයේ සහ මධ්‍යම ආසියාවේ දත්ත ආරක්ෂණ සහයෝගීතා මුලපිරීම, විවිධ සයිබර් තර්ජන මැඩ පැවැත්වීම සඳහා ඒකාබද්ධව කටයුතු  කිරීම මෙන්ම ඒ සඳහා විවෘතභාවය රැක ගැනීමට කටයුතු කිරීම. එලෙසම එම කාරණා සඳහා  ස්ථාවරත්වය, ශක්තිය සහ ජවය, යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම ආරක්ෂාව ඇතුළත් සයිබර් අවකාශයේ ගෝලීය පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය.

14)ජෛව ආරක්ෂණ අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම. වගකිවයුතු ජෛව විද්‍යා පර්යේෂණ සඳහා ඒකාබද්ධව පෙනී සිටිමින් ස්වේච්ඡා පදනමක් මත ක්‍රියාත්මක විද්‍යාඥයින් සඳහා චර්යාධර්ම සංග්‍රහ සඳහා (ටියාන්ජින් – Tianjin) ජෛව ආරක්ෂණ මාර්ගෝපදේශ වෙත යොමු වීමට සියලුම පාර්ශවකරුවන් දිරිමත් කිරීම. රසායනාගාරවල ජෛව ආරක්ෂණ හැකියාව ගොඩනැගීම ඒකාබද්ධව ශක්තිමත් කිරීම, ජෛව ආරක්ෂණ අවදානම් අවම කිරීම සහ ජෛව තාක්‍ෂණයේ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

15.කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence- AI) සහ අනෙකුත් නැඟී එන තාක්ෂණයන් පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක පාලනය ශක්තිමත් කිරීම සහ විය හැකි ආරක්ෂක අවදානම් වැළැක්වීම සහ කළමනාකරණය කිරීම. චීනය, මිලිටරි යෙදුම් නියාමනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) හි සදාචාරාත්මක පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ තම ස්ථාවරය දක්වන පත්‍රිකා නිකුත් කර ඇති අතර,කෘත්‍රිම බුද්ධිය ආරක්ෂක පාලනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සන්නිවේදනය සහ හුවමාරුව ශක්තිමත් කිරීමට, පුළුල් සහභාගීත්වයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම ප්‍රවර්ධනය කිරීමට සහ පාලන රාමු, ප්‍රමිති සංවර්ධනය කිරීමට සහ පුළුල් සම්මුතියක් මත පදනම් වූ සම්මතයන් සකස් කිරීමට සූදානම්ව සිටී.

16.අභ්‍යවකාශය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර නීතියට අනුගතව අභ්‍යවකාශයේ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කිරීම. ජාත්‍යන්තර නීතියට අනුකූලව අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම් සිදු කිරීම, අභ්‍යවකාශයේ සිටින ගගනගාමීන්ගේ ආරක්ෂාව සහ අභ්‍යවකාශ පහසුකම්වල දිගු කාලීන සහ තිරසාර ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම. අභ්‍යවකාශය සාමකාමීව භාවිතා කිරීමට සියලු රටවලට ඇති සමාන අයිතියට ගරු කිරීම සහ සහතික කිරීම. අභ්‍යවකාශයේ ආයුධ සන්නද්ධ කිරීම සහ අවි තරඟය අධිෂ්ඨානශීලීව ප්‍රතික්ෂේප කිරීමට සාකච්ඡා සහ නිගමනයන්ට පැමිණීමට සහාය වන ලෙස ඉල්ල සිටී.

17)මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය පාලනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය වීම සහ කෝවිඩ්-19 සහ අනෙකුත් ප්‍රධාන ගෝලීය බෝවෙන රෝග සඳහා ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා ගෝලීය සම්පත් ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම සහ බලමුලු ගැන්වීම.

18)ගෝලීය ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම. ජාත්‍යන්තර කෘෂිකාර්මික වෙළඳාමේ සුමට ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම, ස්ථාවර ධාන්‍ය නිෂ්පාදනය සහ සුමට සැපයුම් දාම සහතික කිරීම සහ ආහාර සුරක්ෂිතතා ගැටළු දේශපාලනීකරණය කිරීම සහ ආයුධ සන්නද්ධ කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාකාරී සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම. ජාත්‍යන්තර බලශක්ති ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, බලශක්ති ප්‍රවාහනය සහතික කිරීම සඳහා ආරක්ෂිත සහ ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීම සහ ගෝලීය බලශක්ති වෙළඳපොලේ සහ බලශක්ති මිලෙහි ස්ථාවරත්වය ඒකාබද්ධව පවත්වාගෙන යාම.

19)අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සම්පූර්ණයෙන් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. ජාත්‍යන්තර ගිවිසුම්, සම්මුතීන් හෝ ගිවිසුම් අවසන් කිරීමට හෝ සම්බන්ධ වීමට හෝ අන්තර්ජාතික අපරාධවලට එරෙහිව සටන් කිරීමට ආයතනික විධිවිධාන සලසා ගැනීමට සියලුම රටවල් දිරිමත් කිරීම. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන සම්මුතීන් තුනට සහාය වීම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන පද්ධතිය ආරක්ෂා කිරීම සහ මත්ද්‍රව්‍ය ගැටලුවෙන් එල්ල වන අභියෝග ඒකාබද්ධව විසඳීමට සහ මානව වර්ගයාට හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ සම්බන්ධීකරණය කිරීම. ලෝකය මත්ද්‍රව්‍යවලින් තොර බව තහවුරු කිරීමේ හවුල් වගකීම සහ අවංක සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම.නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ආරක්ෂක පාලනය ඒකාබද්ධව වැඩිදියුණු කිරීම සඳහා, එක් එක් රටේ ස්වෛරීභාවයට ගරු කිරීමේ පදනම මත නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව ක්‍රියාකාරීව පවත්වා ගැනීම. සංවර්ධනය වෙමින් පවතින රටවලට තම රටවල ආරක්ෂක අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් වැඩි පිරිසක් පුහුණු කිරීම සඳහා ගෝලීය පුහුණු පද්ධතියක් පිහිටුවීමට සහාය වීම.

20)දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සහ ස්ථාවර සහ සුමට සැපයුම් සහ කාර්මික දාමයන් පවත්වාගෙන යාම සඳහා රටවල් අතර සහයෝගීතාවයට සහාය වීම. තිරසාර සංවර්ධනය හරහා තිරසාර ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසාර සංවර්ධනය සඳහා ඉදිරිපත් කළ UN 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සහ වේගවත් කිරීම.

IV සහයෝගීතාවයේ යාන්ත්‍රණය සඳහා ගොඩනැගෙන වේදිකා

1)එක්සත් ජාතීන්ගේ මහා සභාව, අදාළ එක්සත් ජාතීන්ගේ කමිටු, ආරක්ෂක කවුන්සිලය, අදාළ ආයතන සහ අනෙකුත් ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන ඔවුන්ගේ විධාන මත පදනම්ව සාමය සහ ආරක්ෂාව පිළිබඳ පුළුල් පරාසයක සාකච්ඡා සහ සන්නිවේදනයන්හි නිරත වීම. එමෙන්ම ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා පොදු මුල පිරීම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව තුළ සම්මුතියක් ඇති කිරීම.

2)ෂැංහයි සහයෝගිතා සංවිධානය, BRICS සහයෝගිතාව, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව, “චීන+ මධ්‍යම ආසියාව” යාන්ත්‍රණය සහ නැගෙනහිර ආසියාවේ සහයෝගීතාවයේ අදාළ යාන්ත්‍රණයන් සමාන හෝ එකම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කිරීම. එමෙන්ම එම සංවිධාන ආරක්‍ෂක සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම.ගල්ෆ් කලාපයේ බහුපාර්ශ්වික සංවාද වේදිකාවක් පිහිටුවීම ප්‍රවර්ධනය කිරීම සහ ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ‘චීන – අප්‍රිකානු අඟ පාලනය සහ සංවර්ධන සමුළුව’ වැනි කලාපීය සහ ගෝලීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සංවාද මණ්ඩපවල සම්බන්ධීකරණය සහ සහයෝගිතා යාන්ත්‍රණවල කාර්යභාරය ඉටු කිරීම.

3)ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ ප්‍රතිපත්ති සන්නිවේදනය ශක්තිමත් කිරීම. අන්තර් රාජ්‍ය සංවාද සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම. ඒ සඳහා නියමිත කාලය තුළ ගෝලීය ආරක්ෂක මුලපිරීම් පිළිබඳ ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණ පැවැත්වීම.

4)චීන-අප්‍රිකා සාමය සහ ආරක්ෂක සංසදය, මැදපෙරදිග ආරක්ෂක සංසදය, බීජිං ෂියැන්ග්ෂාන් සංසදය, ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදය (Lianyungang) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවාද වේදිකාවලට ආරක්ෂාව පිළිබඳ ගැඹුරු හුවමාරුව සහ සහයෝගීතාව සඳහා දායක වීම. රජයන්, ජාත්‍යන්තර සංවිධාන, චින්තකයන් සහ සමාජ සංවිධාන සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් ඇතිවන වාසි ප්‍රයෝජනයට ගැනීමට සහ ගෝලීය ආරක්ෂක පාලනයට සහභාගී වීමට නව වේදිකා සැපයීම සඳහා තවත් ගෝලීය ආරක්ෂක සංසද පිහිටුවීම ප්‍රවර්ධනය කිරීම.

5)සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක වසම තුළ පාලන හැකියාව වැඩිදියුණු කිරීමේ අදහසින්, ත්‍රස්තවාදයට එරෙහි, සයිබර් ආරක්‍ෂාව, ජෛව ආරක්‍ෂාව සහ නැගී එන තාක්‍ෂණ වැනි ක්ෂේත්‍රවල ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා හුවමාරු සහ සහයෝගීතාව සඳහා තවත් ජාත්‍යන්තර වේදිකා සහ යාන්ත්‍රණ ගොඩනැගීම. විශ්ව විද්‍යාල මට්ටමේ හමුදා සහ පොලිස් ඇකඩමි අතර වැඩි හුවමාරු සහ සහයෝගීතාව දිරිමත් කිරීමට රාජ්‍යයන් කටයුතු කළ යුතුය. ගෝලීය ආරක්ෂක ගැටළු විසඳීම සඳහා වෘත්තිකයන් පුහුණු කිරීම සඳහා ඉදිරි වසර පහ තුළ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට පුහුණු අවස්ථා 5,000 ක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී.

ගෝලීය ආරක්ෂක මුලපිරීම් වල විවෘතභාවය සහ සංගත කිරීමේ මූලධර්මය අනුගමනය කරමින්, සාදරයෙන් පිළිගන්නා අතර, සියළුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වය සාමූහිකව පොහොසත් කිරීමට සහ සහයෝගීතාවයේ නව ආකෘති සහ ක්ෂේත්‍ර සක්‍රීයව ගවේෂණය කිරීමට බලාපොරොත්තු වේ. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීමටත්, පෘථිවියේ සාමය සහ සාමය ආරක්‍ෂා කිරීමටත්, මානව වර්ගයාට යහපත් අනාගතයක් සාමූහිකව නිර්මාණය කිරීමටත් සාමයට ආදරය කරන සහ සතුට අපේක්ෂා කරන සියලුම රටවල් සහ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී. සාමයේ පහන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගොස් ලොව පුරා බැබළෙනු ඇත.

Global Security Initiative Concept Paper (full text)

ජගත් ආරක්ෂක මුලපිරීම් සඳහා වන සංකල්ප පත්

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More