2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කිතුණු බැතිමතුන් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී අද වන විට හරියටම වසර හතරක් ඉක්මවා ගොසිනි. පාස්කු ප්‍රහාරය මෙන්ම එම ප්‍රහාරය සුල මුල සොයා ගැනීමට විමර්ෂණ කටයුතු සිදු වූ ආකාරයද එකම මූලයකින් සිදුවූවක් බවට සැක කිරීමට තරම් කරුණු කාරණා පෙල ගැසුනු ආකාරය විමසීමෙන් තහවුරු වන බව අපගේ විශ්වාසයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා 2021 අප්‍රේල් 21 වන දින The Island පුවත් පතට Some incomprehensible lapses in Easter Attack Commission Report නමින් ලියූ ලිපියක සිංහල පරිවර්තනය මෙසේ පලකරමු.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට දැවැන්ත සාක්ෂ්‍ය ප්‍රමාණයක් පරීක්ෂා කර බැලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එම සාක්ෂ්‍ය වාචික සාක්ෂ්‍ය සහ වාර්තාමය සාක්ෂ්‍ය ලෙස විශාල පරාසයක පැතිරී තිබූ අතර, ඒවා සිය ගණනක් වූ බව දකින්නට ලැබිණි. පාස්කු ප්‍රහාරය සඳහා සහභාගි වූ පුද්ගලයන් හඳුනා ගැනීම, ප්‍රහාර සැලසුමේ උච්ඡාවස්ථාවට පත් කිරීමට බල පෑ සිද්ධි සහ වටපිටාව හඳුනාගැනීම මෙන්ම, දේශපාලන බල අධිකාරිය සහ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය වගකීම් පැහැර හැරීම යන කාරණා විමර්ශනය අතිශය සියුම් සහ අතිශය සංවේදී කාරණා විය. එම කාරණා සම්බන්ධව ගැඹුරු විමර්ශනයෙන් පසුව මෙවැනි තිරශ්චීන ප්‍රහාරයක් වළක්වා නොගැනීමට කටයුතු කළ වගකිවයුතු සියලුම අංශ නියෝජනය කළ අයට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කිරීම මෙන්ම, එවැනි ප්‍රහාරයක් නැවත සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම වඩාත්ම තීරණාත්මක අභියෝගය විය.
එම ජනාධිපති කොමිසම රජයට ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ රජය විසින් කරනු ලැබිය යුතු දැවැන්ත වැදගත්කමක් සහිත ප්‍රස්තූත කාරණයට අදාළ වන්නා වූ ප්‍රයෝජනවත්, ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද, එම නිර්දේශවලින් සමහර ඒවා රජය විසින් ඒ වන විටත් ක්‍රියාවට නංවා තිබුණි. එම ක්‍රියාවට නංවා තිබූ ක්‍රියා මාර්ග අතර, කොමිසම විසින් හඳුනාගනු ලැබ තිබූ ප්‍රහාරයට සම්බන්ධ සමහර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, සමහර සංවිධාන තහනම් කිරීම ආදිය විය. මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී කොමිසම ප්‍රශස්ථ වැඩ කොටසක් ඉටු කර තිබුණි.
ජනාධිපති කොමිසම සිය විමර්ශන ආරම්භ කරමින් සාක්ෂ්‍යකරුවන් කැඳවීමට හා සාක්ෂ්‍ය සටහන් කර ගැනීමට කටයුතු කළේය. ඊට සමාන්තරව එම සියලුම ක්‍රියාකාරකම්වලට විශාල ප්‍රසිද්ධියක් දීමටද කටයුතු කළේය. ලැබුණු ප්‍රසිද්ධිය නිසාම මහජනයා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාම කොමිසම මගින් හඳුනාගනු ඇතැයි විශ්වාස කළහ. එපමණකින් නොනැවතී, රට තුළ මෙන්ම රටින් පිටත සිට ඍජුව සහ වක්‍රව පාස්කු ප්‍රහාරයට මුදල් ආධාර කළ, ප්‍රහාරය සඳහා පුද්ගලයන් පොළඹවාලූ සියලු දෙනාම එම ගොන්නට අයත්වනු ඇති බව මහජනයා තරයේ විශ්වාස කරන්නට පෙළඹුනහ. පොදු මහජනයා තුළ ප්‍රහාරකයන්ට සහ අත් උදව්කරුවන්ට වර්ගවාදී මුස්ලිම් දේශපාලන නායකයන් සමඟ තිබූ සම්බන්ධය පිළිබඳව දැන ගැනීමට දැඩි උනන්දුවක් ඇති වී තිබුණි. ඊටත් වඩා ප්‍රහාරකයන්ට ඇති විදෙස් සම්බන්ධය දැන ගැනීමේ උවමනාව මහජනතාව තුළ දැඩිව කුළු ගැන්වී තිබුණි. ඒ අතරම, මහජනයා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ දේශපාලන බල අධිකාරිය සහ නිලධාරිතන්ත්‍රය හඳුනා ගැනීමේ දැඩි උවමනාවෙන් පෙළුණි. එම වගකිව යුතු පිරිස් ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට හේතු වූ කාරණා ඔවුන්ගේ වගකීම් විරහිත හැසිරීම සම්බන්ධව නීතියට අනුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමේ බලවත් පිපාසයකින්ද ඔවුහු පෙළුනහ.
කෙසේ වුවද යම් පමණක නීති දැනුමක් සහිත විශ්ලේෂණාත්මක මනසක් තිබෙන කෙනෙකුට වාර්තාව අධ්‍යයනයේදී තහවුරු වන්නේ, වාර්තාව තුළ සිතා ගත නොහැකි අඩුපාඩු, සමහර ඉවත් කිරීම් සහ පුරවා නොමැති හිඩැස් පවතින බවයි. මෙම ලිපියේ අරමුණ, පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම් වාර්තාව පරිශීලනය කරන්නෙකුට අනිවාර්යයෙන් හමුවන අඩු ලුහුඬුකම් පිළිබඳව මඟ පෙන්වීමක් කිරීමයි.
ත්‍රස්ත ප්‍රහාරවලට ඍජුව දායක වූ පුද්ගලයෝ
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ වාර්තාව තුළ, පාස්කු ඉරුදින ප්‍රහාරයට ඍජුව දායක වූ පුද්ගලයින් 14 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඔවුන්ගෙන් 11 දෙනෙකු ප්‍රහාර වලදී මිය ගොස් තිබේ. ඔවුන් 11 දෙනා වන්නේ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සහරාන් සහ ඉල්හාම් ඊබ්‍රාහිම්, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් ඊබ්‍රාහිම්, කින්ග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මුබාරක්, දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ජමීල්, කොච්චිකඩේ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මුආත්, කටුවපිටිය පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්, මඩකළපුව සයොන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අසාද් සහ සයින්දමරුදු පුපුරුවා ගැනීමට සම්බන්ධවූ රිල්වාන්, ෂයිනි සහ නියාස් යන 11 දෙනායි.
නීතිය හමුවට පැමිණවීමට ජීවතුන් අතර ඇත්තේ තිදෙනෙකු පමණි. ඔවුන් තිදෙනා නම්,
(i) සහරාන්ගේ කණ්ඩායම පවත්වා ගෙන ගිය පුහුණු කඳවුරුවලදී අයි.එස්. ත්‍රස්තයන්ගේ මතවාද ප්‍රචලිත කිරීමට දේශන පැවැත්වූ මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර්
(ii) සහරාන් පවත්වා ඇති පුහුණු කඳවුරු 12 කදී ගිනි අවි භාවිතය පුහුණු කරන්නෙකු ලෙස කටයුතු කර ඇතිවාක් මෙන්ම, වනාතවිල්ලුව ආශ්‍රිතව පවත්වා ගෙන ගිය පුහුණු කඳවුර ගොඩනැඟීමටත් පුපුරන ද්‍රව්‍ය සකස් කිරීමටත්, 2018 නොවැම්බර් මාසයේදී වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු මරා දැමීමටත් සම්බන්ධ වෙමින් බෝම්බ නිපදවීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සම්පාදනයට දැවැන්ත දායකත්වයක් සැපයූ හයතු මොහමදු අහමදු මිල්හාන්
(iii) ජමාත් ඉස්ලාමියා ශිෂ්‍ය ව්‍යාපාරයේ (Jamath Islamia Student Movement -SLJISM) ක්‍රියාකාරිකයෙකු මෙන්ම, 2014 වර්ෂයේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අවි පුහුණුව ලැබුවා වූද, සහරාන් පවත්වා ගෙන ගිය පුහුණු කඳවුරු දෙකකට සහභාගි වී 2017 සහ 2018 වසර වල තමන් විසින්ම පුහුණු කඳවුරු පවත්වා ගෙන ගියා වූ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, යන තිදෙනායි.
ත්‍රස්ත ප්‍රහාරයට සහභාගි වූ පුද්ගලයෝ සහ සංවිධාන
පාස්කු කොමිසම පහත දැක්වෙන පුද්ගලයන් සහ සංවිධාන ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ සංවිධාන ලෙස හඳුනාගත්තේය. ඒ අතරම එම සංවිධාන සහ පුද්ගලයින් වර්ගවාදී සහ ආගම්වාදී බාධා ඇතිකරන්නවුන් ලෙස හඳුනාගැනීමටද, ශ්‍රී ලංකා සමාජය තුළ මහජන කැළඹීම් ඇතිකිරීමට මෙන්ම, සාමකාමී සමාජ පිළිවෙළ අවුල් කිරීමට දායක වූ පුද්ගලයින් ලෙසද පාස්කු කොමිසම හඳුනාගෙන ඇත.
සංවිධාන :
(i) ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි (Sri Lanka Jamaat – e – Islami – SLJI)
SLJI සංවිධානය යනු ඊජිප්තුවේ ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා තහනම් කරන ලද “මුස්ලිම් සහෝදරත්වය” නම් අන්තවාදී සංවිධානයේ මතවාදවලට සමානම මතවාද දරන්නාවූ ශ්‍රී ලාංකේය සංවිධානයකි. එම සංවිධානයට සමාන අදහස් දරන ඊජිප්තුව, සෞදි අරාබියාව, කුවේටය, කටාර් රාජ්‍යය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල සිටින අන්තවාදී සංවිධාන සහ අන්තවාදය පතුරුවන පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගොස් තිබුණු බව අනාවරණය විය. ශ්‍රී ලංකා ජමාත් – ඉ – ඉස්ලාමි සංවිධානයේ අවසාන අරමුණ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටු වීමයි. ඔවුන්ගේ නිල ප්‍රකාශනය වන Al Hassanat (යහපත් ක්‍රියා) සඟරාව වසර ගණනාවක් තිස්සේ ජිහාඩය පෝෂණය කිරීමට අවශ්‍ය සාහිත්‍යයමය අඩුව පුරවමින් සිටියි. එම සඟරාවේ 1990 වර්ෂයේ පෙබරවාරි කලාපය පළ කළ එක්තරා ලිපියකින් කියැවුණේ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැංවීම ජිහාඩ් යුද්ධය දියත් කිරීමෙන් තොරව කළ නොහැකි බවයි. 1999 වර්ෂයේ නොවැම්බර් කලාපය එම සඟරාවේ කතුවැකියෙන් පිළිම වන්දනාව විවේචනය කළ අතර, එවැනි පිළිම කඩා බිඳ දමන්නන් අගය කර තිබුණි. 2001 වර්ෂයේ පෙබරවාරි කලාපය පළ කළ ලිපියකින්, ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් දිවි පිදූ සියලුදෙනා ඉහළින් වර්ණනා කරමින් පවසා සිටියේ ඔවුන් ස්වර්ගයට යන බවත්, එහිදී ඔවුන්ට කන්‍යාවන් හැත්තෑ දෙදෙනෙකු (72) ලැබෙන බවත්ය. 2008 ජූනි කලාපය, ඊජිප්තුවේ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර සිටින අල් ක්වාද්වි ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ජිහාඩ් යුද්ධයේදී හොඳම ක්‍රියාව “මරාගෙන මැරෙන” ප්‍රහාරය බව පවසා සිටියේය. ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි සංවිධානය මාදම්පේ, මාවනැල්ල සහ කල්කුඩා යන ස්ථානවල අරාබි පාසල් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබුණි. මාදම්පේ පිහිටුවා තිබූ අරාබි පාසලේ ශිෂ්‍යයන්ට ඉස්ලාමික රාජ්‍යය පිළිබඳ ඉගැන්වීම් කර තිබූ අතර, ඔවුන්ට අවි පුහුණුව අනිවාර්ය කර තිබුණි.
(කොමිසම් සභා වාර්තාවේ පිටු අංක 227-228)
(ii) ශ්‍රී ලංකා ජමාත්-ඉ-ඉස්ලාමි ව්‍යාපාරය (Sri Lanka Jamaat – e – Islami Students Movement – SLJISM)
ශ්‍රී ලංකා ජමාත්-ඉ-ඉස්ලාමි ශිෂ්‍ය ව්‍යාපාරය (SLJISM) යනු ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි (Sri Lanka Jamaat – e – Islami – SLJI) ශිෂ්‍ය අංශයයි. එම සංවිධානයේ සාමාජිකයින් වැඩි ගණනක් සහරාන්ගේ පුහුණු කඳවුරුවලට සහභාගි වී ඇති බව තහවුරු වී තිබේ. එලෙසම පාස්කු ඉරුදින ප්‍රහාරයට සහභාගි වූ වැඩි දෙනා ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි (SLJI) සංවිධානයේ සාමාජිකයන් බවට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා ජමාත්-ඉ-ඉස්ලාමි ශිෂ්‍ය ව්‍යාපාරය (SLJISM) සංවිධානයේ සාමාජිකයන් 15 කට වඩා වැඩි ගණනක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට පොලිස් අත්අඩංගුවේ පසුවෙතා. ඔවුන්ගෙන් සමහරුන් අවි පුහුණුව සඳහා සිරියාවට ගොස් පැමිණි අයවලුන් බව කොමිසම හඳුනා ගෙන තිබුණි. පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි සොයාගත් වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉඩම සැපයූ මූෆී නම් අය ශ්‍රී ලංකා ජමාත්-ඉ-ඉස්ලාමි ශිෂ්‍ය ව්‍යාපාරයේ (SLJISM) සාමාජිකයෙකි.
කොමිසම ශ්‍රී ලංකා ජමාත්-ඉ-ඉස්ලාමි ශිෂ්‍ය ව්‍යාපාරය (SLJISM) සහ ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි (SLJI) සංවිධානය තහනම් කරන ලෙස නිර්දේශ නිකුත් කර ඇත.
පුද්ගලයන්
(i) අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ් (පියා)
(ii) ලුක්මාන් තාලිබ් අහමඩ් (පුතා)
මෙම පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාගත් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා ජමාත්-ඉ-ඉස්ලාමි ශිෂ්‍ය ව්‍යාපාරයේ (SLJISM) සංවිධානයේ ඇතැම් පුද්ගලයන්ට යුද අවි පුහුණුව ලබා ගැනීම සඳහා තුර්කිය හරහා සිරියාවට යාමට පහසුකම් සැලසූ පුද්ගලයන්ය.
(iii) රිම්සාන්
මොහු අල් කයිඩා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූවෙකි. පාස්කු කොමිසම, පොලිස් දෙපාර්තමේන්තුව දැනටමත් පවත්වා ගෙන යනු ලබන අපරාධ පරීක්ෂණ කටයුතු මෙම පුද්ගලයන් සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීමට දිශානති කරණ ලෙස ඉල්ලා සිටියි.
(iv) රෂීඩ් හජ්ජුල් අක්බාර්
ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි සංවිධානයේ (Sri Lanka Jamaat – e –Islami – SLJI) නායකයා ලෙස 1994 සිට 2018 දක්වා කටයුතු කළ තැනැත්තාය. ඔහු ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි සංවිධානයේ (Sri Lanka Jamaat – e – Islami – SLJI) ශුරා කවුන්සිලයේ සාමාජිකයෙකි. හජ්ජුල් අක්බාර් යනු ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදයේ ප්‍රධාන න්‍යායාචාර්යවරුන්ගෙන් කෙනෙකි. මොහු ආගමික වෛරය සහ අසහනය සමාජය තුළ පතුරුවන්නකු මෙන්ම, ශරියා නීතිය භාවිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමික රාජ්‍යය නිර්මාණය කිරීම වෙනුවෙන් සිද්ධාන්ත හඳුන්වාදෙන්නන්ගෙන් කෙනෙකි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ජමාත් ඉ ඉස්ලාමි සංවිධානයේ (Sri Lanka Jamaat – e – Islami – SLJI) ප්‍රකාශනය වන Al Hassanat (යහපත් ක්‍රියා) සඟරාවේ අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරවීම වෙනුවෙන් ලිපි සම්පාදනය කළ අයෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2019 අගෝස්තු 25 වනදා රෂීඩ් හජ්ජුල් අක්බාර් අත්අඩංගුවට ගෙන 2019 සැප්තැම්බර් 27 වන දා නිදහස් කර ඇත. මොහුගේ බාල සහෝදරයා වන්නේ මවුලවි රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්ය. මවුලවි රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන සාදික් අබ්දුල්ලා සහ ෂාහිඩ් අබ්දුල්ලා 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබේ. පාස්කු කොමිසම රෂීඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ නිකුත් කර තිබේ. එහිදී කොමිසම, රෂීඩ් හජ්ජුල් අක්බාර් ශ්‍රී ලංකාවට එරෙහිව ඉස්ලාමික රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් අපරාධ වරදක් සේ සලකා කටයුතු කිරීමට නිර්දේශ කරන බවයි.
(v) වෛද්‍ය මොහොමඩ් සුෆ්යාන් මොහොමඩ් සෆ්‍රාස්
කොළඹ ජාතික රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි. සහාරන්ගේ සහෝදරයා වන රිල්වාන් නමැත්තා පුපුරන ද්‍රව්‍ය යොදා කළ අත්හදාබැලීමක් වැරදීම හේතුවෙන් තුවාල සිදු වී තිබූ අතර, ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් අදාළ තුවාල සිදුවූ බවට ව්‍යාජ තොරතුරු සපයා ඔහුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව පාස්කු කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත්තේ වෛද්‍ය සෆ්‍රාස්ට එරෙහිව අපරාධ වරදක් කර ඇති බවට නඩු පවරන ලෙසත් එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එස් 5 යටතේ ඔහුට එරෙහිව තොරතුරු වසන් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්ය.
ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වන බලධාරීන්ගේ වගවීම
දේශපාලන බල අධිකාරිය
ආණ්ඩුවේ දේශපාලන බල අධිකාරිය පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වග කිව යුතු වුවත්, පාස්කු කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වග කිව යුත්තෙකු ලෙස හඳුනාගෙන ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජකාරි සහ වගකීම් ඉටු කිරීමේදී හුදු සිවිල් පැහැරහැරීම ඉක්මවා ගොස් ඇති බව විද්‍යමාන වේ. (පාස්කු කොමිසම් වාර්තාව 263 පිටුව) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාපරාධී අතපසුවීමක් කර ඇති බව දක්නට ලැබෙන බැවින් එතුමාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීමට පාස්කු කොමිසම නීතිපතිපතිවරයාට නිර්දේශ කරයි. (පාස්කු කොමිසම් වාර්තාව 265 පිටුව)
ඉහළ රාජ්‍ය නිලධාරීන්
පාස්කු කොමිසම ඉහළ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු වගන්තියක් යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට නිර්දේශ කරයි. එම නිලධාරීන් තිදෙනා නම්,
(i) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු (පාස්කු කොමිසම් වාර්තාව 284 පිටුව)
(ii) නියෝජ්‍ය පොලිස් පොලිස්පති සිසිර මෙන්ඩිස්, ප්‍රධානී – ජාතික බුද්ධි තොරතුරු බලකාය (පාස්කු කොමිසම් වාර්තාව 285 පිටුව).
(iii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් ජයවර්ධන, අධ්‍යක්ෂ – රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය (පාස්කු කොමිසම් වාර්තාව 288 පිටුව)
නීතිය බලාත්මක කරන නිලධාරීන්
තමන්ගේ බල අධිකාරිය තුළ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ නීතිය බලාත්මක කරන නිලධාරීන්ගෙන් එක් අයෙකුට පමණක් පාස්කු කොමිසම දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු වගන්ති යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නිර්දේශ කරයි. එම නීතිය බලාත්මක කරන නිලධාරියා වන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාය. (පාස්කු කොමිසම් වාර්තාව 308 පිටුව).
ඒ සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරින් හයදෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු වගන්තියක් යටතේ හෝ පොලිස් ආඥා පනතේ 82 යටතේ අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට කොමිසම නිර්දේශ කරයි.
එම කාණ්ඩයට පහත සඳහන් නිලධාරින් හය දෙනා අයත් වේ.
(i) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) – නන්දන මුණසිංහ (පාස්කු කොමිසම් වාර්තාව 312 පිටුව).
(ii) පොලිස් අධිකාරී (කොළඹ උතුර) – සංජීව බණ්ඩාර (පාස්කු කොමිසම් වාර්තාව 314 පිටුව)
(iii) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (මීගමුව) – චන්දන අතුකෝරාල (පාස්කු කොමිසම් වාර්තාව 308 පිටුව)
(iv) පොලිස් අධිකාරී (බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය) – බී.ඊ.අයි. ප්‍රසන්න (පාස්කු කොමිසම් වාර්තාව 315 පිටුව)
(v) ප්‍රධාන පොලිස් පරීක්ෂක (වැඩ බලන කාර්ය භාර නිලධාරි කොටුව පොලීසිය) – සරත් කුමාරසිංහ (පාස්කු කොමිසම් වාර්තාව 315 පිටුව)
(iv) ප්‍රධාන පොලිස් පරීක්ෂක (ස්ථාන භාර නිලධාරි කොටුව පොලීසිය) – සාගර වේලිගොඩ ලියනගේ (පාස්කු කොමිසම් වාර්තාව 320 පිටුව)
පාස්කු කොමිසමේ නිර්දේශවලට අනුව නීතිපතිවරයාට දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු යැයි හැඟෙන ප්‍රතිපාදනයකට අනුව ඔවුනට එරෙහිව කටයුතු කිරීමට ඉඩ සලසා ඇති අතර, සුදුසු යැයි හැඟෙන්නේ නම් පමණක් පොලිස් ආඥා පනතේ 82 යටතේ නඩු පැවරීමේ අභිමතය ඇත. යම් විධියකින් නීතිපතිවරයාගේ අභිමතය පරිදි පොලිස් ආඥා පනතේ 82 යටතේ නඩු පවරන්නේ නම් අදාළ නිලධාරියාට අධි චෝදනා භාර දීම අවශ්‍ය නොවේ. එලෙසම අපරාධ නඩු කටයුත්තක් ආකාරයට කටයුතු කිරීමටද නීතිපතිවරයාට අවශ්‍ය නොවේ. ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පොලිස් ආඥා පනතේ 82 යටතේ රාජකාරිය පැහැර හැරීමට එරෙහිව නඩු පැවරිය හැකිය.
පොලිස් ආඥා පනතේ 82 වන වගන්තිය– ඕනෑම පොලිස් නිලධාරියෙකු (අ) කිසියම් රාජකාරියක් හිතාමතා උල්ලංඝනය කිරීමක් හෝ වෙනත් රෙගුලාසි සහ වෙනත් නිසි බලධාරින්ගේ නීති නියෝග නොසලකා හැරීමකට වරදකරු වන්නේ නම්, එම නිලධාරියා මාස තුනක වැටුප නොඉක්මවන දඩයකට හෝ මාස තුන නොඉක්මවන බරපතළ වැඩ රහිත සිරදඬුවමකට හෝ ඉහත දඬුවම් දෙකටම යටත් වේ.
තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස පමණක් පාස්කු කොමිසම නිර්දේශ කර ඇත. ඔවුන් තිදෙනා නම්,
(i) කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
(ii) මීගමුව සහකාර පොලිස් අධිකාරි සිසිල කුමාර
(iii) කටාන පොලිසියේ ස්ථාන භාර නිලධාරි චමින්ද නවරත්න යන පොලිස් නිලධාරින්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ වගවීම සහ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට වගකීම් සහගතව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු කොමිසම කළ නිර්දේශ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිර්දේශ නොකිරීමට පාස්කු කොමිසම වග බලාගෙන ඇත.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට දැක්වූ අසමත්භාවය සම්බන්ධයෙන් පාස්කු කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අසීමිත දයානුකම්පාවක් දක්වා ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කොමිසම් වාර්තාව පවසන්නේ “ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම පවත්වන දිනය සහ වේලාව ඉතාමත් කෙටි කාලයක් තුළ දැනුම් දීම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී තිබුණු වෙනත් කටයුතු නිසා සහභාගිවීමට නොහැකි වීම කොමිසමට භාර ගත හැකි හේතුවකි; රනිල් වික්‍රමසිංහ මහතා, සමහර රැස්වීම්වල සම්පූර්ණ කාලය තුළම තමා රැඳී නොසිටීම සම්බන්ධව පැහැදිලි කිරීමට අපොහොසත් වුවද ඔහුට එරෙහි චෝදනාවක් ගොනු කිරීමට තරම් කාරණාවක් නොවන්නේය.” (පාස්කු කොමිසම් වාර්තාව 268 පිටුව) රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාරණාවලදී කටයුතු කළ වගකීම් විරහිතභාවය නොසලකා, පාස්කු කොමිසම ඔහු කෙරෙහි දයානුකම්පාවෙන් කටයුතු කිරීම තහවුරු වන තවත් උදාහරණ හමුවේ. “සාම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව වහාබ්වාදයේ ප්‍රචණ්ඩත්වය නැඟ එන බව වික්‍රමසිංහ මහතා දැන සිටියද, එය වැළැක්වීමට කිසිදු සාධනීය පියවරක් ගත්තේ නැත; විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාත තුළ මූලිකව සමස්ත ශ්‍රී ලංකාවේම ඉස්ලාම් අන්තවාදය නැඟ ඒම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් ප්‍රදර්ශනීය වාර්තාව (presentation) භාර නොගැනීමට කටයුතු කළේය. (පාස්කු කොමිසම් වාර්තාව 270 පිටුව); යුද හමුදාපතිවරයා නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට ආරක්ෂක කවුන්සිලයේදී ගෙන ආ යෝජනාව, අඩුම තරමින් මුස්ලිම් පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමක් හෝ නොකරම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. (පාස්කු කොමිසම් වාර්තාව 271 පිටුව); තනි තනි පුද්ගලයන් විසින් අයි.එස්. මතවාද ප්‍රචලිත කරන බව වාර්තා වීම හැරෙන්නට, ශ්‍රී ලංකාව තුළ අයි.එස්. මතවාදය ප්‍රචාරය කරන සංවිධාන හමුනොවන හෙයින් ශ්‍රී ලංකා රජය අයි.එස්. සංවිධාන තහනම් කිරීමට කටයුතු නොකළේය; කොමිසමට ඉදිරිපත් වූ බොහෝ සාක්ෂ්‍ය මගින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත ආණ්ඩුවේ පැවැත්ම රඳා පවතින බැවින් ඉස්ලාම් අන්තවාදයේ නැඟීමට එරෙහිව ශක්තිමත් ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව අකමැත්තෙන් සිටි බවයි.”
කෙසේ වුවද, වාර්තාව ප්‍රකාශ කරන්නේ; “ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ඇල්මැරුණු ප්‍රතිපත්තිය ඉස්ලාම් අන්තවාදයට එරෙහි ක්‍රියාශීලී ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව උත්සුක නොවීමට බල පෑ ප්‍රධාන හේතුවකි. මෙම තත්ත්වය ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා වර්ධනය වීමට තරම් පහසුකම් සැපයුවේය.” (පාස්කු කොමිසම් වාර්තාව 277 පිටුව)
– එය එසේ වන්නේ නම්, රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට නීතිපතිවරයාට නිර්දේශ නිකුත් කිරීමට පාස්කු කොමිසම කටයුතු නොකළේ ඇයි?
– 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වුවද කැබිනට් මණ්ඩලයේ සහ සමස්ත රජයේ පාලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත තිබූ බව සම්පූර්ණයෙන්ම පාස්කු කොමිසම නොසලකා ඇත.
– අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය හිතේෂිවන්තයෙකු වන සාගල රත්නායක මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇමති මණ්ඩලයේ වගවීම
ඇමති මණ්ඩලයේ සාමාජිකයන්ට ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය වළක්වාලීම වෙනුවෙන් යොදා නොගැනීම සම්බන්ධයෙන් පාස්කු කොමිසම සිය අවධානය යොමු කර නැත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වගවීම විමර්ශනයට ලක් කිරීමට කොමිසම කටයුතු කළද, කොමිසම් වාර්තාව පරිහරණය කරන්නෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන වගන්තියෙන් අමාත්‍ය මණ්ඩලයට පැවරී ඇති වගකීම නොකළේ මන්ද යන ප්‍රශ්නය පැන නඟී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ප්‍රතිපාදනය
(1) කැබිනට් අමාත්‍යවරුන්ට ජනරජයේ රාජ්‍යය පාලනය කිරීමේ සහ දිශානති කිරීමේ වගකීම රඳා පවතී.
(2) කැබිනට් මණ්ඩලය සාමූහිකව වගකියනු ලබන අතර, පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීමට බැඳී සිටී.
(3) ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වන්නා සේම, ඔහු කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානියාද වන්නේය.
2019 අප්‍රේල් 09 වන දින ජාතික බුද්ධි තොරතුරු බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සහ ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන ලද ‘FNA’ යන සටහන යෙදූ ඉන්දියානු බුද්ධි තොරතුරු අංශයකින් ලැබුණු තොරතුරක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලැබුණි. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එම තොරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට යවා ඇත. එම නිලධාරීන් වන්නේ,
(i) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) – නන්දන මුණසිංහ
(ii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ අණදෙන නිලධාරි විශේෂ කාර්ය බලකාය) – එම්. ලතීෆ්
(iii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශේෂ ආරක්ෂක කලාපය) – ප්‍රියලාල් දසනායක
(iv) අධ්‍යක්ෂ, ත්‍රස්ත විමර්ශන අංශය – වරුණ ජයසුන්දර (පාස්කු කොමිසම් වාර්තාව 303 පිටුව)
“විශේෂ ආරක්ෂක කලාපය” යනු කැබිනට් අමාත්‍යවරුන් වෙත ආරක්ෂාව සපයන ඇමති ආරක්ෂක අංශයයි. පාස්කු කොමිසම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පවසා සිටියේ, කොමිසම ඉදිරියේ සාක්ෂ්‍ය දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියාල් දසනායක මහතා, තමාට ලැබුනු බුද්ධි තොරතුර 2019 අප්‍රේල් 09 වන දා ම තමා විසින්ම ඇමති ආරක්ෂක අංශයට යැවූ බව පැවසූ බවයි.
පොලිස්පතිවරයා විසින් යවන ලද බුද්ධි තොරතුර ලැබුනු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනාගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) නන්දන මුණසිංහ මහතාට පමණක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සුදුසු ප්‍රතිපාදනයක් යටතේ හෝ පොලිස් ආඥා පනතේ එස්. 82 යටතේ අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස පාස්කු කොමිසම නීතිපතිවරයාට නිර්දේශ නිකුත් කරයි. (පාස්කු කොමිසම් වාර්තාව 312 පිටුව) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ අණදෙන නිලධාරි විශේෂ කාර්ය බලකාය) එම් ලතීෆ් මහතා සම්බන්ධයෙන් පාස්කු කොමිසම කර ඇති සටහන වන්නේ, “පාස්කු කොමිසම, පොලිස්පතිවරයාගෙන් ලැබුණු තොරතුරු සම්බන්ධව ගන්නා ලද පියවර සම්බන්ධයෙන් නැගූ පැනයට ඔහුගේ ප්‍රතිචාරය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වී එම කාර්යාලයට අවශ්‍ය ආරක්ෂාව සැපයූ බවයි. කෙසේ වුවද, ලැබුණු බුද්ධි තොරතුරට අනුව බුද්ධි ඒකකවලට කටයුතු කිරීමට උපදෙස් ලබා නොදීම මවිතයට කරුණකි.” (පාස්කු කොමිසම් වාර්තාව 309 පිටුව) පාස්කු කොමිසම ඔහු සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් නිකුත් නොකිරීමට වග බලාගෙන තිබුණි.
කෙසේ වුවද පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා තමන්ට ලැබුණු බුද්ධි තොරතුරට අනුව ප්‍රියලාල් දසනායක මහතා ගන්නා ලද පියවර සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමට වග බලාගෙන ඇත. එලෙසම බුද්ධි තොරතුර ඇමති ආරක්ෂක සේවයේ නිලධාරීන් වෙත ලබා දීමෙන් පසුව එම නිලධාරීන් අදාළ ඇමතිවරුන්ට එම තොරතුර සම්බන්ධයෙන් දැනුම් දුන්නාද, එසේ දැනුම් දුන්නේ නම් එම තොරතුර ලැබීමෙන් පසු ඇමතිවරුන් දැක්වූ ප්‍රතිචාර මොනවාද යන්න පිළිබඳව කොමිසම ප්‍රශ්නයක් හෝ නැගුවේදැයි කිසිදු සඳහනක් නැත. මෙය ඉතාම අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් මෙන්ම, පාස්කු කොමිසමේ වාර්තාව තුළ තිබෙන බරපතල අඩුපාඩුවකි. අදාළ බුද්ධි තොරතුර ලැබුණු කිසිදු නිලධාරියෙකු කිසියම්ම හෝ ඇමතිවරයෙකුට මෙම බුද්ධි තොරතුර ලබා නොදුන්නේ යැයි කෙනෙකුට විශ්වාස කළ නොහැකිය. තවද, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට අදාළ බුද්ධි තොරතුර පොලිස් නිලධාරියෙකු මගින් ලැබුණු බවත්, ඔහු තම පුත්‍රයා එම මාරාන්තික දිනයේ පල්ලියට යාම වැලැක්වූ බවත් ප්‍රසිද්ධ කරුණකි.
සමස්ත කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාවෙන් පවරා ඇති වගකීම් පැහැර හැරීම යන චෝදනාවෙන් පලා යාමට අවස්ථාවක් ඇත්තේම නැත. ඔවුන් නීතිමය වශයෙන් වැරදිකරුවන් නොවුනද, ඔවුන්ගේ හැසිරීම අතිශය වගකීම් විරහිත, අශික්ෂිත සහ දෝෂාරෝපන ලැබීමට තරම් වන බරපතළ හැසිරීමකි.
කෙසේ වුවද වර්තමාන රජය පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යයනය කර, එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව තම නිරීක්ෂණ ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ, බලයේ සිටි සමස්ත ආණ්ඩුවම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ කාරණයට වග කිව යුතු බවයි.
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
මතු සම්බන්ධයි…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...