පුරවැසි කොලම

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2023 සඳහා එහි ලෝක ජනගහන වාර්තාව නිකුත් කර ඇති අතර, එම වාර්තාවට අනුව 2023 මැද භාගය වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 ක් වීමට නියමිතය. ඒ අනුව චීනයේ ජනගහනය වන බිලියන 1.4257 ඉක්මවා ගොස් ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට බවට පත් වීමට නියමිතය. චීනයේ වසර 61 කට ආසන්න ඉතිහාසය තුළ පළමු සෘණ ජනගහන වර්ධන වේගය වාර්තා කළේය. “ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය” යන ශ්‍රේණිගත කිරීම චීනයට අහිමි වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? සෘණ ජනගහන වර්ධනය චීනයේ ආර්ථිකයට ගෙන එන නව අභියෝග මොනවාද? යන මාතෘකා ඔස්සේ චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාතික තලයේ ඉහළම චින්තකයන් අතර සිටින ප්‍රධාන විශේෂඥයෙකු මෙන්ම “ජනගහන වර්ධනයේ සෘණ යුගය”  The Era of Negative Population Growth නම් ග්‍රන්ථයේ කතුවරයා වන Cai Fang (Cai), Global Times (GT) වෙබ් අඩවියේ වාර්තාකරු ‍Yang Shasha සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී , කරදර විය යුතු නැත,එමෙන්ම සෘණ ජනගහන වර්ධනය චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමට තිබෙන අපේක්ෂාව වෙනස් කරන්නේද නැත යනුවෙන් පැවසුවේය.

Cai Fang

Global Times (GT): චීනය සහ ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙකයි. යම්කිසි රටක් ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය වීම හේතුවෙන් ආර්ථික බලයක් අත්පත් කර ගත හැකි බව ඔප්පු කළ ඓතිහාසික අත්දැකීමක් තිබෙනවාද?

Cai Fang : කාර්මික විප්ලවයට පෙර එසේ වුවා යැයි කෙනෙකුට පැවසිය හැකියි. නමුත් කාර්මික විප්ලවයෙන් පසුව එය එසේ වූවේ නැහැ. විද්‍යාත්මක හා තාක්‍ෂණික විප්ලවයන් නිරන්තරයෙන් නිෂ්පාදන සාධකවල නව මායිම් පුළුල් කරමින් නව සාධක සහ සම්පත් නිර්මාණය කරනවා. එබැවින් “ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය” වීම යන නාමකරණය තවදුරටත් වැදගත් වන්නේ නැහැ. රටකට තිබෙන ප්‍රධාන අභියෝගය වන්නේ ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීම සහ නියමිත පරිදි ඉහළ ආදායම් ලබන රටවල් සමඟ සම්බන්ධ වීමයි.

බ්‍රිතාන්‍ය විද්වතෙක් වන ජෝසෆ් නීඩ්හැම්ට (Joseph Needham ) අනුව, වර්ෂ 1600 ට පෙර, චීනයේ තාක්ෂණික නවෝත්පාදනයන් ලෝකය මෙහෙයවනු ලැබුවා. ඉන්පසුව, චීන ජනගහන අනුපාතය ලෝක ජනගහනයේ සමස්තයට අඛණ්ඩව දායක වූ නමුත්, පශ්චාත් කාර්මික විප්ලව යුගයේදී චීනය තවදුරටත් විද්‍යාව හා තාක්‍ෂණ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ නැහැ. අබිං යුද්ධයෙන් පසුව චීනය දැඩි පීඩනයකට ලක් වූ අතර දරිද්‍රතාවය සහ දුර්වලභාවය තුළ චීනය සිර වූවා. චීනය මුහුණ දුන් මෙම තත්වය “නීඩ්හැම් ප්‍රහේලිකාව”(the Needham Puzzle) නම් නව ප්‍රහේලිකාවක් ලෝකයට හඳුන්වා දීමට හේතු වූවා.” පැරැණි ලෝකයේ මානව විද්‍යාවට සහ තාක්‍ෂණික සංවර්ධනයට චීනය දක්වන ලද වැදගත් දායකත්වය සැලකිල්ලට ගනිමින් නවීන චීනයේ විද්‍යාත්මක හා කාර්මික විප්ලවය සිදු නොවූයේ ඇයි?” යන ප්‍රහේලිකාව ලෝකය පුරා ජන හා සංඛ්‍යා ලේඛන විශේෂඥයන් වසර ගණනාවක් පුරා විසඳීමට උත්සාහ කරනු ළබුවා.

චීන සංවර්ධන ඉතිහාසයේ හමුවන “ප්‍රතිසංස්කරණ සහ විවෘත කාලපරිච්ඡේදයේදී” චීන ආර්ථිකය තුළ සිදුවූ වර්ධනය එක්තරා දුරකට “නීඩ්හැම් ප්‍රහේලිකාවට” පිළිතුරු ලබා දී තිබෙනවා. ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම් හරහා චීනය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගනිමින් මහා පරිමාණ නවීකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ග්‍රාමීය ශ්‍රම බලකාය තුළ වූ ශක්තිය මුදා හැරියා. වෙනත් වචන වලින් කිවහොත්, නූතන යුගයේ සිට, චීනයට ජනගහනය යනු වාසිය ලබාදෙන සාධකයක් වූවා. නමුත් චීන ආර්ථිකය සැබෑ සංවර්ධනයක් අත්පත් කර නොගත්තේ නම්, ජනවිකාශන ලාභාංශය ප්‍රාග්ධනය බවට පත් කරගනිමින් එය සෘජුවම ආර්ථික බලය බවට පරිවර්තනය වන්නේ නැහැ. මේ වන විට චීනයේ ජන විකාශන ව්‍යුහය අඩු වාසිදායක වෙමින් පැවතුනද, ඉහළ මට්ටමේ ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම මගින් තවමත් ජනවිකාශන ලාභාංශයේ විභවයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව එලෙසම පවතිනවා. මෙය එක්තරා ආකාරයක ගැඹුරු ප්‍රතිසංස්කරණයක් වන නිසා මම එය “ප්‍රතිසංස්කරණ ලාභාංශ” ලෙස හඳුන්වනවා.

Global Times (GT): එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, 2023 මැද භාගය වන විට මිලියන 340 ක ජනතාවක් සමඟ එක්සත් ජනපදය තුන්වන වැඩිම ජනගහනය පවතින රට වන බව පැවසෙනවා. ඔබ අවධාරණය කරන්නේ චීනයේ අභිලාශය විය යුත්තේ එක්සත් ජනපදය මිස ඉන්දියාව නොවිය යුතු බවයි. ඔබ එලෙස පවසන්නේ කුමණ කරුණු පදනම් කරගෙනද?

Cai Fang : චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්ම(2021-25) ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2035 වන විට මධ්‍යස්ථ සංවර්ධිත රටවල මට්ටමට ළඟා වනු ඇති බව සඳහන් කර තිබෙනවා. එනම් චීනයේ සමස්ත ආර්ථික නිමැවුම වර්ෂ 2030 දී පමණ එක්සත් ජනපදයේ සමස්ථ නිෂ්පාදනය ඉක්මවා යනු ඇති බව විශේෂයෙන් කිව යුතුයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2035 දී ඩොලර් 23,000 සීමාවට ළඟා වනවා ඇති. ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වීම සඳහා එක්සත් ජනපදයේ විභව වර්ධන වේගය වන සියයට 2ක මට්ටමේ හෝ ඊට වඩා දෙගුණයක් කරගනිමින් 2035 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5ක් පමණ අගයක පවත්වා ගැනීමට අපට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි තව ටික කාලයක් එක්සත් ජනපදයට අපිව සංසන්දනය කිරීම අර්ථවත් කරනව. නමුත් අපගේ ඉලක්කය එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වීම බව එයින් අදහස් වන්නේ නැහැ. ඒ වෙනුවට, අපේම ඉලක්කය අනුව, ස්වභාවික ප්‍රතිඵලය විය යුත්තේ 2035 වන විට චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමයි.

 Global Times (GT): 2022 දී, චීනයේ ජනගහනය සෘණාත්මක වර්ධන මාවතකට ඇතුළු වී තිබෙනවා. එබැවින් චීනයේ ජනගහනය අපේක්ෂිත නියමිත කාලයට වඩා වසර අටකට පසුවයි එහි උච්චතම අවස්ථාවට ළඟා වන්නේ. ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වීමට චීනයට ඇති හැකියාවට සහ අපේක්ෂාවට මෙය බලපාන්නේ නැතිද?

Cai Fang : අපගේ පුරෝකථනයට අනුව, 2021 සිට 2035 දක්වා චීන ජනගහනයේ විභව වර්ධන වේගය මුල් පුරෝකථනය වූ 4.84% හි සිට 4.53 % වන නවතම පුරෝකථනය දක්වා පහත වැටී තිබෙනවා. අඩු වූ විභව වර්ධන වේගය 2035 දී චීනය “මධ්‍යස්ථ සංවර්ධිත රටක්” බවට පත්වීම සැලකිය යුතු ලෙස වළක්වන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිසංස්කරණ ලාභාංශය තවමත් පවතිනවා. ඉහළ මට්ටමේ ප්‍රතිසංස්කරණ මගින් ඵලදායිතාව සැලකිය යුතු ලෙස වැඩි කරන්නේ නම්, ඒවාටද විභව වර්ධන වේගය ඉහළ දැමීම කළ හැකියි.

 Global Times (GT): කාර්මික දෘෂ්ටිකෝණයකින් බැලුවහොත්, වයස්ගත ජනගහනය සහ සෘණ ජනගහන වර්ධනය චීන ආර්ථිකයට නව අවස්ථා ගෙන එයි කියා සිතිය හැකිද?

Cai Fang :ජපානයේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ අත්දැකීම් අනුව ජ්‍යෙෂ්ඨයින්ට අද්විතීය පාරිභෝගික කණ්ඩායමක් බවට පත්විය හැකියාව පවතිනවා. දෛනික අවශ්‍යතා සඳහා නැගී එන පරිභෝජන ඉල්ලීම් සහ වැඩිහිටියන් සඳහා හෙද රැකවරණ කර්මාන්ත සඳහා නව අවස්ථා උදා වෙනවා.

පරිභෝජනය සම්බන්ධයෙන් ගත් කල, චීන ජනතාවගේ පරිභෝජන වියදම් දළ දේශීය නිෂ්පාදනයට දක්වන අනුපාතය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නවා. චීනයේ ජනගහනය ලෝක ජනගහනයෙන් සියයට 17.9 ක් වන අතර ගෘහ පරිභෝජන වියදම සියයට 12.8 ක් පමණ වන අගයක පවතිනවා. ලෝකයේ පරිභෝජනය සහ ජනගහනය අතර වන අනුපාතය සලකා බැලීමේදී චීනය වග කියන දායකත්ව කොටස අතර වන පරතරය අඩු කළ හැකි නම්, චීන වැසියන්ගේ මුළු පරිභෝජන වියදම සියයට 39.4 කින් ඉහළ නැංවිය හැකි වනවා. එය ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල එක් එක් සමස්ත පරිභෝජනයට වඩා ඉහළ අගයක් ගන්නවා.ඒ අනුව චීනය සතු දැවැන්ත ජනගහනය ලෝක ආර්ථිකයට කරන දැවැන්ත බලපෑම  පැහැදිළියි.

නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවල වර්ධනයක් ඇති කිරීමටද මෙම තත්වය විසින් හැකියාව නිර්මානය කරනවා. සමහර අය ප්‍රශ්න කරනවා ජනගහණය අඩු වෙනවා නම් අපට තවත් නිවාස අවශ්‍යද කියා. එයට පිළිතුර ඔව් යන්නයි. නිදසුනක් වශයෙන්, මිලියන 172 ක සංක්‍රමණික කම්කරුවන් නාගරික පදිංචිකරුවන් බවට පත් වූ විට, ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ නිවාස තත්ත්වය වැඩිදියුණු කර ගත යුතුයි. චීනයේ නාගරීකරණය, විශේෂයෙන්ම ලියාපදිංචි ජනගහනයේ නාගරීකරණ අනුපාතය සියයට 47 ක් පමණයි. එය තවමත් ඉහළ ආදායම් ලබන රටක තිබෙන සියයට 80 ක නාගරීකරණ අනුපාතයට වඩා බොහෝ පහලින් තිබෙන්නේ. මෙයින් අදහස් කරන්නේ නිවාස ඉල්ලුම සඳහා විශාල විභවයක් තවමත් පවතින බවයි.

මීට අමතරව, දෙමාපියන් රැකබලා ගැනීම වැනි කටයුතු වල සහ අධ්‍යාපනය තුළ විශාල විභවයක් ඇත. චීනයේ ජනගහනය අඩු වන විට, එම ජනගහනය ගුණාත්මකභාවයෙන් පරිපූරණය කළ යුතුයි. එයින් අදහස් කරන්නේ මිනිසුන් අධ්‍යාපනය සඳහා ගත කරන කාලය වැඩි කිරීමයි. වත්මන් නව අවුරුදු අනිවාර්ය අධ්‍යාපනයේ පදනම මත පෙර පාසල් අධ්‍යාපනය සහ ජ්‍යෙෂ්ඨ උසස් පාසල තුළ පුද්ගලයෙකු ගත කරන කාලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීම මගින් ජනගහනය පාසල් අධ්‍යාපනයේ යෙදෙන වසර ගණන සැලකිය යුතු ලෙස වැඩි කිරීමේ හැකියාව තිබෙනවා.

 Global Times (GT): එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් චීනයෙන් “විසංයෝජනය” කිරීමේ ඉම දක්වා තල්ලු කරමින් සිටිනවා. ඒ අතර චීනය අභ්‍යන්තරව සෘණ ජනගහන වර්ධනයක් අත්විඳිමින් සිටිනවා. එය චීන ආර්ථිකයට බලපානු ඇතැයි ඔබ සිතනවාද? එලෙසම ගෝලීයකරණය ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී චීනයට ඉටු කළ හැකි කාර්යභාරය කුමන ආකාරයේ මුහුණුවරක් ගන්නවාද?

Cai Fang : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළේ එක්සත් ජනපද-චීනය “විසංයෝජනය කිරීම” ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක් දක්වා ප්‍රමානයකට පාඩු කළ හැකි බවත් එය අවසානයේ රටවල් පුරා ව්‍යාප්ත වනු ඇති බවයි. පැති ගැනීමට ගන්නා පියවරයන් වඩාත් ආන්තික වන තරමට සිදුවන හානිය වැඩිවීම නියතයක් වනවා. එබැවින්, ඉක්මනින් හෝ පසුව, වෙනත් රටවල බලහත්කාරයන් වලට හෝ බලපෑම්වලට යට නොවී, තම අභිමලාශයන් සඳහා වඩාත් සුදුසු තේරීම් කිරීමට රටවල් පෙළඹෙනු ඇත.

එක්සත් ජනපදයේ විශාලතම “මිතුරා” ලෙස යුරෝපය ඇමරිකානු යෂ්ටිය අනුගමනය කිරීමේ අනවශ්‍ය ප්‍රතිඵල අත්පත් කරගෙන සිටින බව දැන් දැන් ලෝක පරිමානයෙන් සිදුවන දෑ නීරික්ෂණය කිරීමෙන් පැහැදිළි වෙනවා. මේ අතර බොහෝ දෙනෙක් සීතල යුද්ධයෙන් වැළකී සිටීමට සහ “විසංයෝජනයෙන්” ඉවත්ව සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් තම චීන සංචාරයෙන් පසු යුරෝපය “උපායමාර්ගික ස්වයං පාලනයක්” ඉල්ලා සිටිය යුතු යැයි යෝජනා කරමින් අදහස් කළේ ඉහත අප පෙන්වා දුන් දෙයයි.

ගෝලීය දකුණ, බ්‍රික්ස්, ආසියාන්, ලතින් ඇමරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ අනෙකුත් කලාප සහ කණ්ඩායම් සියල්ලම පැත්තක් නොගැනීමේ මෙම අභිප්‍රාය පෙන්නුම් කර ඇති අතර චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඒ අනුව ක්‍රියා කර ඇති බව අපට පැහැදිළි වෙනවා.

ඔබට පෙනෙන පරිදි, ආර්ථික ගෝලීයකරණයේ සාම ලාභාංශ සහ ප්‍රතිලාභ ලබා ගැනීම එක් පාර්ශවයක් පමණක් ජයග්‍රහනය කරවන සූදු ක්‍රීඩාවක් වන්නේ නැහැ. තවදුරටත් විවෘත කිරීමේ ලාභාංශ චීනයට තවමත් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.පසුගිය ශතවර්ෂය තුළ නොදුටු ගැඹුරු වෙනස්කම් මධ්‍යයේ, ගෝලීයකරණයේ වෙනස් වූ ප්‍රවණතාවය සහ චීන සංවර්ධනයේ වෙනස් වූ අවධිය සමඟ ඒකාබද්ධව,චීනයට එහි ආර්ථික විවෘත කිරීමේදී වාසි තුනක් සහ උපායමාර්ගික තේරීම් තිබෙනවා. ඉන් පළමුවැන්න නම් සංසන්දනාත්මක  පරිමානයෙන් ආර්ථිකය පරිපූරණය කිරීමයි (සම්පිණ්ඩනය කිරීමේ බලපෑම, ආධාරක ධාරිතාව සහ සැලකිය යුතු වෙළඳපල); දෙවැන්න වඩාත් විවිධාංගීකරණය වූ සහ බහු-ධ්‍රැවීය හවුල්කරුවන් සමඟ වෙළඳාම සහ අන්තර්ජාතික ආයෝජන පුළුල් කරන අතරම අවදානම් වළක්වා ගැනීමයි; තෙවනුව විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් වේගවත් කිරීම, කාර්මික වටිනාකම් දාම තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ඉහළ මට්ටමේ ගතික සංසන්දනාත්මක වාසි ලබා ගනිමින් ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් පවත්වා ගැනීමයි.

China has strong economic prospects despite losing rank of most populous nation: top demographer

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More