පුරවැසි කොලම

කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ පනස් වන ගුණ සමරුව අදට යෙදී තිබේ.

වර්ෂ 1899 නොවැම්බර් මස 09 වන දින පානදුර මාලමුල්ලේ දී උපතලද ගුණපාල මලලසේකර මැතිතුමා දේශීය වෛද්‍යවරයෙකු වූ සියදෝරිස් පීරිස් මලලසේකර මැතිතුමාගේ පුත්‍රයෙකු විය. පියාණන්ගේ අභිලාෂය පරිදි බටහිර වෛද්‍යවරයෙකු වීම පිණිස කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී පියතුමා අභාවයට පත් වූයෙන් ඇති වූ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාලි, බෞද්ධ දර්ශනය ආදී පෙරදිග ශාස්ත්‍රීය විෂයයන්ගෙන් උසස් අධ්‍යාපනය ලබා ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගන්නා ලදි. අනගාරික ධර්මපාලතුමාගේ අදහස් ගරු කරමින් ජෝර්ජ් පීරිස් (George Peiris (ජී පී)) නම වෙනුවට ගුණපාල පියසේන නම භාවිතා කරන ලදි.

මේ කාලයේ මල් ගුරු සහයකයෙකු වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවයට එක් වූයේ ආනන්ද විදුහල්පති පී. ද එස් කුලරත්න මැතිතුමාගේ අවසරය පරිදි ය. අනුක්‍රමිකව එහි නේවාසිකාගාර පාලක නියෝජ්‍ය විදුහල්පති ධුරයන් දක්වා උසස්වීම් ලැබීය.

1920 දශකයේ මුල් කාලයේ ආනන්දයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි පසු කලෙක ඉංග්‍රීසි ආණ්ඩුකාර ධුරයට පත්, එවකට මහලේකම් (වර්තමාන අග්‍රාමාත්‍ය ධුරයට සමාන යයි කිව හැකිය) ශ්‍රීමත් ග්‍රීම් තොම්සන් මැතිතුමා ක්‍රීඩාංගණය වශයෙන් භාවිතා කිරීමට කැම්බල් පෙදෙසේ බිම් කොටසක් ආනන්දයට පිරිනමා තිබුණි. වල්ගොඩැලි සහිත එම බිම එතෙක් කිසිදු පරිභෝජනයකට ගෙන නොතිබුණි. එක් වසරක අවුරුදු නිවාඩු කාලයේ ගමට නොගොස් නේවාසිකාගාරයේ සිසු කැල ද සමග මලලසේකර උපවිදුහල්පතිතුමා එම බිම එළිපෙහෙළි කරවූ අතර 1922 වර්ෂයේ එහි පොල් අතු සෙවිලි කළ ශාලාවක ආනන්දයේ මධ්‍ය අංශය ස්ථාපනය කරන ලදි. නොබෝ දිනකින් එම බිමෙහි මහා ගොඩනැගිලි ඉදිකිරීම ද ආරම්භ කරවන ලදි.

ආනන්ද විදුහල්පති පී. ද එස් කුලරත්න මැතිතුමා උසස් අධ්‍යාපන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගිය වකවානුවේ වැඩබලන විදුහල්පති පදවිය මලලසේකර මැතිතුමා හොබවන ලදි. මලලසේකර මැතිතුමා උසස් උපාධි ලබා ගැනීම පිණිස එංගලන්තයට ගොස් සිටියදී එතුමා හෙළිපෙහෙළි කළ බිම නව විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු සම්පාදනය කොට තිබුණි. එය නාලන්දා විද්‍යාලයයි.

අභිනව විද්‍යාලයේ විදුහල්පති ධුරය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයා මලලසේකර මැතිතුමා බව සියලු දෙනාගේ ම මතය විය. එතුමා එංගලන්තයේ සිටියදී ම නව පාසලේ කටයුතු පිළිබඳ දැන්වීම් වල විදුහල්පති වශයෙන් දක්වා ඇත්තේ මලලසේකර මැතිතුමාගේ නාමයයි.

මහාබ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි දෙක ම එකවිට ලබා ගනිමින් මලලසේකර මැතිතුමා වාර්තාවක් තබා ඇත.

උසස් අධ්‍යාපන කටයුතු නිමවා ලංකාවට පැමිණ 1926 ජනවාරි පළමුවන දින නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධුරයේ වැඩභාරගත් මලලසේකර මැතිතුමා එතුමන්ගේ රාජකාරි දිවියේ භද්‍ර යෞවන කාලය නාලන්දාව වෙනුවෙන් කැප කරමින් ළදරු වියේ පැවති නාලන්දාව ඉහළට ඔසවා තැබීමට මහත් කැපවීමෙන් කටයුතු කරන ලදි. සෑම දිනකම උදෑසන රැස්වීමේ දී ධම්මපදය තේමා කොට ගනිමින් සාරගර්භ කතාවක් සිදු කරමින් ගුරු සිසු දෙපිරිසේ ම ප්‍රසාදයට පත් විය.

නාලන්දා විද්‍යාලයේ භෞතික සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩනැගිලි සංවර්ධන අරමුදල ආරම්භ කරවා රටේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවන ලදි. නාලන්දා කුසුම්දිනය හඳුන්වා දී පොපිමල් හා සූරියමල් ව්‍යාපාරවලට සමාන අන්දමින් රට පුරා මල් විකුණා අරමුදල් තර කිරීමත්, කැට මගින් ආධාර එකතු කිරීමත් සිදු කරවා තිබේ. මෙහි තවත් කොටසක් නම් නාලන්දා කුසුම් දිනය දා රාත්‍රියේ ප්‍රභූ පවුල් නිරාහාරව හිඳ අදාළ ආහාරවේලට වැය වන මුදල නාලන්දා ගොඩනැගිලි අරමුදලට වැය කිරීමයි. මේවා පිළිබඳ තොරතුරු විචිත්‍රවත් අන්දමින් පුවත්පත්වල පළ වී තිබේ.

ඒ වන විට තනවා තිබූ අද කුලරත්න මන්දිරය යයි නම් කර ඇති ගොඩනැගිල්ලට සමාන අන්දමින් තනවා ඇති අද ජිනේන්ද්‍රදාස මන්දිරය ලෙස හඳුන්වන ගොඩනැගිල්ල තනවන ලද්දේ මලලසේකර මැතිතුමා විසිනි. ඊට රු. 175 000ක මුදලක් වැය වී තිබේ.

එසේම මලලසේකර යුගයේ ළදරු නාලන්දා විදුහල විභාග ප්‍රතිඵල හා ක්‍රීඩා කුසලතා අතින් ආනන්දය අභිභවා ගිය බව පී.ද එස් කුලරත්න මැතිතුමා පවසා තිබේ. මලලසේකර මැතිතුමා ස්වකීය තරුණ ජවයෙන් විදුහල්පති ධුරයේ කටයුතු මැනවින් සිදු කළ ද පරමවිඥානාර්ථ සමාගම ඇතැම් කටයුතුවල දී අකාර්‍යක්ෂමව ක්‍රියා කිරීම මලලසේකර මැතිතුමාගේ ප්‍රසාදයට හේතු නොවීය. වසර දෙකකට ආසන්න කාලයක් නාලන්දා විදුහල්පති ධුරය දරන කාලයේ එවක යුනිවර්සිටි කොලේජ් නමින් හැඳින් වූ ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලැබීමෙන් මලලසේකර මැතිතුමා නාලන්දාවෙන් සමු ගත්තේ ය.

1920 දශකයේ ගම්බද ප්‍රභූ දරුවන් බොහෝ දෙනෙක් ආනන්දයට හා නාලන්දාවට පැමිණ තිබේ. එම දරුවන් සරම් හා කමිසවලින් සැරසී පැමිණි අතර එම දරුවන් අපහසුවට පත්වීම වැළැක්වීම පිණිස කුලරත්න මැතිතුමා හා මලලසේකර මැතිතුමා ගාල්ල මහින්ද විද්‍යාලයේ සංගීතය ඉගැන්වූ වංග ජාතික කාලිදාස මැතිතුමාගේ ඇඳුමේ ආභාසය ලබා සුදු සරම, අත්දිග කමිසය සහ සාටකය සහිතව ඇඳුමක් නිර්මාණය කොට ඇඳීම සිදු කරන ලදි. මෙය මෙරට ජාතික ඇඳුමට සුදුසු යයි අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කරන ලදින් එය රටපුරා ව්‍යාප්ත විය. එවක තරුණයන් වූ බණ්ඩාරනායක , සී. ඩබ් ඩබ් කන්නංගර වැනි නායකයන් ද මෙම ඇඳුමින් සැරසීමෙන් පසු මෙය රටේ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. එය නූතන ජාතික ඇඳුම යි.

ලංකා විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවේ දී ම පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය හා ශාස්ත්‍ර පීඨයේ පළමු පීඨාධිපති වශයෙන් එතුමා පත් විය. පාලිසාහිත්‍යය , පාලි සංඤානාම අකාරාදිය ආදී පොත්පත් ලිපිලේඛන රාශියක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් එතුමා රචනා කොට තිබේ. එතුමන්ගේ නාමය මෙරට සෑම අයෙක් ම හඳුනා ගන්නේ මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය නිසාවෙනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දීර්ඝ කාලයක් සභාපති ධුරය දැරූ එතුමා ලෝක බෞද්ධ සම්මේලනයේ නිර්මාතෘවරයා ද වෙයි. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම, 2500 බුද්ධ ජයන්තිය සැමරීම ආදී බොහෝ දෑ සංකල්පමය වශයෙන් පළමුවරට ඉදිරිපත් කළේ මලලසේකර මැතිතුමා විසිනි. භාෂා 32ක් පිළිබඳ හසල දැනුමක් එතුමා තුළ පැවති බව කියවේ. බෞද්ධ විශ්වකෝෂය රචනා කිරීම ආරම්භ කරන ලද්දේ ද මලලසේකර මැතිතුමා විසිනි. බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය වැනි සංගම් රාශියක් ම එතුමාගේ උපදේශකත්වය ලැබීය.

බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා වඩාත් ම සුදුස්සා මලලසේකර මැතිතුමා බව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අදහස විය. තමා දේශපාලකයෙකු නොවන බැවින් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළෙන් විජයානන්ද දහනායක මැතිතුමා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා විසින් සෝවියට් දේශයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙසත් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය විසින් මහාබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් මලලසේකර මැතිතුමා පත් කරන ලදි. එහිදී ජාත්‍යාන්තර තලයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් එතුමා සිදු කොට තිබේ. සියලු විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු කළ උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති පදවිය ද එතුමා හෙබවීය.

නාලන්දා විදුහල්පති නාමාවලියේ දීප්තිමත් ම සහ සම්භාවනීය ත ම විදුහල්පතිවරයා මලලසේකර මැතිතුමා බව අවිවාදිත ය.

සැත්තෑ තුන් වසකට වැඩි කාලයක් ආයු වැළඳූ මලලසේකර මැතිතුමා 1973 අප්‍රේල් 23 වන දා අභාවප්‍රාප්ත විය.

නාලන්දාවේ ප්‍රමුඛතම යුගපුරුෂයෙකු වන මහාචාර්ය මලලසේකර මැතිතුමන්ට නිවන් සුව පතමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More