හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඇතුළු ජාතික සම්පත් විකුණා දමන අතරේ මෙරට කෘෂිකර්මාන්තය හා වාපී ශිෂ්ටාචාරය වනසා දමමින් පැරණි රජවරු තැනූ වැව් සියල්ල ද වෙන්දේසි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
අද (17) පිිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ චෝදනා කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
“අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන්නි හත්පත්තුවේ වැවක් සුද්ධ කරන්න ගිහිල්ලා සිදු කළ ජාතිද්‍රෝහී, අමන, මරි මෝඩ ප්‍රකාශය සමඟ බැඳී ඇති ‘වැව් ටිකත් විකුණන් කෑමේ අනතුර’ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටයි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ. උදැල්ලක් හරියට අතින් අල්ලන්න බැරි මේ පිං අගමැති මඩත්තාව වැවට ගිහිල්ලා නොකියා කීවේ ‘අපේ රටේ කෘෂි කර්මාන්තයට, වාරි කර්මාන්තයට ඉදිරියේදී සිදු වීමට නියමිත නස්පැත්තියයි. ඔහුගේ එදා ප්‍රකාශය තුළම තිබෙනවා ඔවුන් අපේ වැව් පද්ධතියට කරන්න යන දේ. ‘දැන් මේ වැව්වල වැලි, මඩ කවුද ගන්නේ?’ කියා ඔහු අහනවා.’ එවිට සභාවෙන් කියනවා ‘ව්‍යාපාරිකයන්’ කියා. ඊට පස්සේ පිං අගමැති කියනවා, ‘අපි පහන් පත්තු කරනවා. ඒ අය නිවන් දකිනවා. ඒ නිසා අපි තීරණය කළා මේවා විකුණන්න. විකුණලා ඒ ලැබෙන සල්ලි ගොවි සංවිධානවලට දෙන්න?’ කියා. ඒ විතරක් නොවෙයි ඔහු වේදිකාවේ අසුන් ගෙන සිටින මුදල් ඇමති පින්සිරි හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වලා කියනවා, ‘මුදල් ඇමතිතුමා හා ලේකම්තුමා දැන් මේ කටයුතු ටික ආරම්භ කරලා තියෙනවා’ කියා.
‘නරුම අගමැති වැව් ටික වෙන්දේසියේ දමනවා’
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය වනසලා දමන්න මේ අය සැරසෙන බවයි ඉන් ගම්‍ය වෙන්නේ. මේ අවස්ථාවේදී අගමැතිවරයා වැවට ලංසු තියනවා. ‘රුපියල් ලක්ෂ දහය ද? නැහැ. කෝටිය ද? නැහැ. කෝටියටත් වැඩියි’ කියමින් ඔහු ලංසු තියනවා. අපේ පැරණි රජවරුන් හදපු වැව් ටික වෙන්දේසියේ දමන්නයි, මේ මරි මෝඩ ඇමැතිවරයා සැරසෙන්නේ. පිං අගමැති රනිල් වික්කම – සිංහ ඉතිහාසයට එක්වන්නේ ‘මේ රටේ වැව් ටික වෙන්දේසියේ දමන්න හදපු නරුම පාලකයා’ හැටියටයි. ඔහු ඒ ‘ගොං පෙරළිය’ වේදිකාවේ කළ නරුම, වසල ප්‍රකාශයෙන් අප තේරුම්ගත යුත්තේ ‘වරාය චීනයට, මත්තල ගුවන්කොට ඉන්දියාවට, හයිවේ ජපානයට, ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණන මේ ආණ්ඩුව දැන් අවසානයේ අපේ රජවරු හදපු වැව් ටිකත් විකුණන් කන්න හදනවා. දැන් මුදල් අමාත්‍යාංශයෙන් ඊට අදාළ අණපනත් ටිකත් හැදෙමින් තිබෙනවා’ කියලයි. මේ තමයි මේ ආණ්ඩුවේ ජාතික සම්පත් විකුණන් කෑමේ ප්‍රතිපත්තිය.
අපේ ඉපැරණි වාපී ශිෂ්ටාචාරය වෙනුවට රජවරුන් හදපු වැව් ටික වෙන්දේසියේ දමන, වැවේ වතුර බහුජාතික සමාගම්වලට විකුණා දමන යුගයක් නිර්මාණය කිරීමයි මේ නරුම පාලකයාගේ අරමුණ. මේ හැදෙන අණපනත් පිළිබඳව මුදල් අමාත්‍යවරයා වහාම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළ යුතුයි. වසර 2500ක් තිස්සේ වැව් දියෙන් ගොවිතැන් කළ, මේ රටේ අටුකොටු පුරවපු ගොවි ජනතාව පමණක් නොවෙයි. රටට ආදරය කරන විද්වත් පිරිස් ඇතුළු සියලු බලවේග පාරට බැහැලා විරෝධය පළ කළ යුතු ප්‍රකාශයක් තමයි මේ පිං අගමැතිවරයා සිදුකර තිබෙන්නේ.
‘නරුම අගමැති – වසල අගමැති’
අපේ ජනවහරේ තිබෙනවා, ‘නරුමයා’ කියා වචනයක්. ‘සියල්ලෙහි මිල දන්නා, ඒත් කිසිවක වටිනාකම නොදන්නා තැනැත්තාට තමයි අපේ ජනතාව නරුමයා කියා කීවේ. ඒ වගේම බුදුන් වහන්සේ වදාල වසල සූත්‍රයේ ඉතාමත් පැහැදිලිව වසලයකු යනු කවුදැයි පෙන්වා දී තිබෙනවා. පිං අගමැතිගේ මේ වැව් වෙන්දේසියේ දැමීමේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු සැබෑ නරුමයකු, වසලයකු බවයි. අපේ වංශ කතාවල සඳහන් වෙනවා ‘අපේ රජදරුවන්ට ඇත්තේ වැව් බැඳී ඉතිහාසයක්’ බව. එහෙම ඉතිහාසයකට උරුමකම් කියන රටක පාලකයකු වැව් වෙන්දේසියේ දමන්න කතා කිරීම ඛේදනීයයි.
‘වැව් තැනූ ඉතිහාසය’
අපේ වාරි කර්මාන්ත ඉතිහාසය ක්‍රි.පූ. 6 වන සියවසටත් එහා යනවා. ‘ආර්යයන් ලංකාවට පැමිණෙන විට මල්වතුඔය අසබඩ හා ගංගා අසබඩ ජනපද තිබුණා. කුවේණි කපු කටිමින් සිටියා’ කියලයි ඉතිහාසයේ සනිටුහන්ව ඇත්තේ. එදා පණ්ඩුකාභය රජතුමා ජයවාපී, අභයවාපී, ගාමිණි වාපී නමින් වැව් තුනක් ලබා දුන්නා. දේවානම්පියතිස්ස රජතුමා ක්‍රි.පූ. 3 වන සියවසේ තිසා වැව හැදුවා. ගජබා රජු නුවර වැව හැදුවා. ක්‍රි.පූ. 2 වන සියවසේ ගැමුණු මහ රජතුමා වැව් සහ ඇල මාර්ග රැසක් හදලා කෘෂි කර්මාන්තය නැංවූ ආකාරය මහාවංශයේ සඳහන් වෙනවා. පූජාවලියේ තිබෙනවා ඔහුගේ මලනුවන් සද්ධාතිස්ස රජතුමා වැව් හදලා‘වෙල් ලක්ෂයක්’ අස්වද්දපු හැටි.
ඒ වගේම වසභ රජතුමා මහා වැව් 11ක් තැනූ බව වංශ කතාවල තියැවෙනවා. මහසෙන් රජතුමා ක්‍රි.ව. 247-304 කාලය තුළ මින්නේරිය, ඇලහැර, කවුඩුල්ල ඇතුළු මහා වැව් 16ක් හැදූ බව මහාවංශයේ සඳහන්. ඉන්පසු ධාතුසේන රජතුමා කලාවැව, මහා ඇලමාර්ග තැනුවා. දෙවන මුගලන් රජතුමා මල්වතුඔය හරස් කරලා පන්නපාෂාණවාපී, ධනවාපී, හරිතවාපී යන නම්වලින් වැව් තුනක් හැදුවා. 6 වන සියවසේ පළමු අග්ගබෝධි හා දෙවන අග්ගබෝධි යන රජවරුන් මහා වැව් හැදුවා.
‘මහා පරාක්‍රමබාහු යුගය’
ඊළඟට මහා පරාක්‍රමබාහු යුගය එළඹෙනවා. අපේ ඉතිහාසයේ වැඩිම වැව් ප්‍රමාණය තැනුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසිනුයි. මේ නරුම අගමැතිට අනුව පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය තනා ඇත්තේ කුරුඳු විකුණලයි. එය තමයි අපේ ශ්‍රේෂ්ඨ නරපතියකුට මෑත ඉතිහාසය තුළ සිදු කළ බරපතළම අපහාසය. ‘අහසින් වැටෙන එක් දිය බිඳුවකුදු නිකරුණේ මහා මුහුදට ගලා බැසීමට ඉඩ දෙන්න එපා’ කියලයි එතුමන් මෙරට මතු පරම්පරාවලින් එදා ඉල්ලා සිටියේ. විශාල වැව් 163ක්, කුඩා වැව් 2375ක්, අමුණු 165, ඇල මාර්ග 3910ක්, බිසෝ කොටු 341ක් හැදූ මේ මහා නරපතියා කැඩී බිඳී ගිය ඇලවේලි 1753ක් පිළිසකර කර වූ බව වංශ කතාවල කියැවෙනවා. ඒ මහා නරපතියාටත් අපහාස කරපු මේ නරුම – වසල පිං අගමැති අද මේ කියන්නේ කුමක් ද? අපේ රජවරු තැනූ වැව් සියල්ල විකුණන බවයි. මේක සුළුවෙන් තකන්න එපා!, මේ තමයි මෙරට පාලකයකු විසින් සිදු කළ අහස පොළොව නුහුලන පාපතරම ප්‍රකාශය. ‘ඊට එරෙහිව, ඒ වගේම මේ නරුම අගමැතිවරයා කරන්න හදන නරුම වැඬේට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න’ කියා අපි රටට හිතැති සියලු ජනකොටස් වෙතින් ඉල්ලනවා”
මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය මහතා සහ ගාල්ල මහ නගර සභා මන්ත්‍රිනී ශ්‍රීයානි අබේගුණසේකර මහත්මිය ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...