මහින්දාගමනයට පෙර බෞද්ධයන්ට වැදගත් සිදුවීම් රාශීයක් මේ දූපතේ සිදු වූ බව මෙරට සම්මත ඉතිහාසය තුල පිලිගනී.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර දීම උන්වහන්සේගේ ධාතූන් වහන්සේ මේ භූමිවල තැන්පත් කර තිබූ බව මෙරට ලිඛිත ඉතිහාසයේ සදහන්.
තපස්සු භල්ලුක දෙදෙනා බෞද්ධ ඉතිහාසයේ හමුවන්නේ බුද්ධත්වයෙන් පලමු සත් සතිය තුලය. ඔවුන් දෙදෙනාට ඈදුනු ගිරිහඬු සෑ කිහිපයක් අදටද ලංකාවේ ඇත. තිරිකුණාමලයේ තිරියාය, කුරුණෑගල මාවතගම මකුලාන, අම්බලන්තොට වලවේ ගඟ අසල, අම්බලන්තොට කළමැටිය වෙහෙර නමය සහ අම්බලන්තොට ගොඩවාය ගෝටපබ්බතය යන ස්ථානවල මේ සෑ පිහිටා ඇත.
මනුශ්‍ය වාස නොවූ තැන්වලට වෙළෙන්දන් වෙළදාමේ නොයයි. එම කාලයේ සිටම බුද්ධ දර්මය නොදැන සිටි පිරිසක් මේ ප්‍රදේශවල ජීවත් වූයේ නම් ඒ කාලයේදීම මේ කථාව වැලලී යන බව ස්ථීරයි. මක් නිසාද යත් තිරියාය ගිරිහඬු සෑයේ පවා ශිලා ලේඛණය පිහිටුවන්නේ ක්‍රිස්තු වර්ෂ 733 රජ වූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේදීය. එතෙක් ඒ ‘දැණුම’ හුවමාරු වූයේ එහි විසූ ජනයාගේ පරපුරෙන් පරපුරට බව සිතීම වරදක් නොවේ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ රුහුණට ගෙනැවිත් හත්තොට්ඨ ජනපදයේ තැන්පත් කර මහාකාල නමැති කෙළෙඹියා විසින් පුද පූජා පවත්වමින් සිටි බව ඉතිහාසය කියයි. එම ධාතූන් වහන්සේ පසු කලෙක සේරුවාවිල සෑයේ තැන්පත් කල බව කියයි.
බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් නිදන් කර තැනූ මහා ස්තූපය රුවන්වැලි මහා සෑයයි. එය බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වන්නේ එබැවිනි. එහි බුද්ධ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේලා බෙදූ ද්‍රෝන 8න් එක් ද්‍රෝනයක ධාතූන් වහන්සේලා නිදන් කල බව ඉතිහාසයේ සටහන් වී තිබේ.
රුවන්වැලි සෑය සඳහා මේ දාතූන් වහන්සේලා රැගෙන එන්නේ සෝණුත්තර නම් තෙරුන් වහන්සේ නමක් බවත්, උන් වහන්සේ එම දාතූන් රැගෙන එන්නේ දඹදිව පිහිටි රාමගාම නම් ප්‍රදේශයකින් බවත් මහාවංශය කියයි. එම රාමගාමයේ විසුවේ නාග ජනතාව බවත්, එතෙක් ඔවුන් මහත් ගෞරවයෙන් ආරක්ෂා කල ඔවුන්ගේ වටිනාම වස්තුව වූ එම ධාතූන් වහන්සේලා අනුරාධපුරයට රැගෙන යෑම ඔවුන්ගේ මහත් දොම්නසට හේතු වූ බවත්, ඔවුන් හඬමින් වැලපෙමින් සෝණුත්තර තෙරුන් පසුපස අනුරාධපුරය දක්වා පැමිණි බවත් මහාවංශය විස්තර කරයි. ඒ විස්තරය අනුව මේ සිදුවීම ගැලපෙන්නෙ උතුරු ඉන්දියාවේ මහාවංශය බලා මෑත කලක නම් කල රාමගාමයකට වඩා මෙරට මහවැලි නදිය අසබඩ පුරාණ රෝහණයට අයත්ව තිබූ රාමගෝණ හෝ රාමගාම නම් නාග ජනපදයට බව පැහැදිළිව පෙනේ. ඒ අනුව එම නාගයින් පුරාණයේ සිටම බෞද්ධයන් විය යුතුය.
මහියංගන සෑය පළමු වරට ඉදි කරන්නේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ උන් වහන්සේගේ කේෂ ධාතූන් නිදන් කරමින් සුමන රජු විසින් බව එම සෑයේ ඉතිහාසයේ සදහන්ය. උපවත්තන සල් උයනේ බුද්ධ පරිනිර්වණයෙන් පසු උන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල චිතකයේ ගිණි නිවෙන්නටත් පෙර සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරබූ තෙරුන් ඉන් ලබා ගත් ලොව ප්‍රථම සර්වඥ ධාතුව වූ ග්‍රීවා ධාතුව (බෙල්ල ආශ්‍රිත අස්ථි සතක්) සරබූ තෙරුන් අතින්ම තැම්පත් කෙරුනේ පෙර කේශධාතු තැම්පත් කල මහියංගන ස්තුපයේම බව එම ඉතිහාසය තවදුරටත් පවසයි. මේ සිද්ධීන් අනුව මහියංගනයද පුරාණ බෞද්ධ මධ්‍යස්ථානයක් විය යුතුය.
බුදුන් වහන්සේ මුතියංගන වැඩම වූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහිද, කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේද තැම්පත් කර ඇතැයි එම විහාර වංශකථා හී සදහන්ය. ඔවුන් බෞද්ධයන් නොවන්නේද ?
මා මෙහි සදහන් කලේ මහින්දාගමනයට පෙර මෙරට බුදු දහම පැතිර තිබූ බව කියන්නට පෙන්වා දිය හැකි අප්‍රමාණ සාක්ෂි අතරින් ජනප්‍රිය අතලොස්සක් පමණි.
එසේ නම් මහින්දාගමනයේ වැදගත්කමක් නැතිද..?
මිහිඳු තෙරුන් වැඩියේ මිහින්තලයට බව පොදු පිළිගැනීම වුවත් එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට අනුව මේ පිළිබඳව මතභේද ගණනාවක් ඇත. උන් වහන්සේට අනුව මිහිඳු හිමි කුරුන්දන්මලයට වැඩි බවටද, මැදවච්චියේ ඉසින්බැස්සගලට වැඩි බවටද මතාන්තර තිබෙන අතර මිහිඳු තෙරුන් හෝ උන්වහන්සේ සමඟ වැඩම වූ තෙරුන් වහන්සේලා ගැන හෝ සඳහන් වන තත්කාලීන එක ම ශිලා ලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමුවී නැත.
නමුත් එම සමයටම අයත් අතිවිශේෂ ශිලා ලේඛනයක් පුරාණ රෝහණයෙන් හමු වී තිබේ. ඒ වර්ථමාන දිගාමඩුල්ලෙ රජගලින්. කළු ගල් කුට්ටි එක් කර (රූපයේ දැක්වෙන) සෑදූ කුඩා චෛත්‍ය හැඩය ගත් ඉදිකිරීමක් අසල ඇති ‘යේ ඉමේ දීප පටම ය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ’ [අර්ථය : ..දීපයේ යහපත සදහා වැඩම කළ ඉට්ඨිය හා මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ථූපයයි ] ලෙස සදහන් එම ශිලා ලේඛණය මෙරට ඉතිහාසය සොයා යන්නෙකුට අතිශය වැදගත් ලියවිල්ලකි. එහි අශෝක රජු ගැන හෝ වෙනත් තොරතුරු කිසිවක් සදහන් නොවේ.
මෙම ලිපිය හමුවන රජගල පුරාවිද්‍යා ස්ථානය යනු මෙතෙක් මෙරටින් හමු වූ විශාලතම පුරාවිද්‍යා භූමියකි. පුරාණ බෞද්ධ ආරාමයක් වන එහි මහින්දාගමනයෙන් ඔබ්බට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වසර සිය දහස් ගණනක් ඉදිරියට අඛණ්ඩ ඉතිහාසයක පුරාවිද්‍යා සාධක හමු වී ඇත.
එහි මහින්දාගමනයට පෙර ලිවූ බවට සැලකිය හැකි ඉපැරණි ශිලා ලේඛණවල සිට මහින්දාගමනයෙන් පසුව අනුරාධපුරයේ රජ කල විවිධ රජවරුන්ගේ නම් සදහන් ශිලා ලේඛණ දක්වා දීර්ඝ කාලයක් තුල ලියවුනු සෙල්ලිපි සහ කටාරම් කෙටූ ලෙන් සිය ගණනක් හමුවේ. මේවා සියුම්ව අධ්‍යයනය කිරීමෙන් මහින්දාගමනයත් සමඟ රජගල සහ අනුරාධපුරය ඈදුනු ආකාරය නිරීක්ෂණය කල හැක.
වංශ කථාව අනුව අනුරාධපුරයට වැඩම කල මිහිඳු තෙරුන් පරිනිර්වාණය දක්වා වැඩ සිටින්නේ අනුරාධපුරය ආශ්‍රිතවය. උත්තිය රජුගේ පාලන සමයේ අනුරාධපුරයේදී උන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන අතර උන් වහන්සේගේ ආදාහනය සිදු වන්නේද එහිමය. එසේ තිබිදී උන් වහන්සේගේ භෂ්මාවශේෂ රජගල ගෙනගොස් එහි තැම්පත් කර ශිලා ලේඛණයක්ද පිහිට වූයේ ඇයිද යන්න විශේෂයෙන් කල්පනාවට ගත යුතුය. ඒ ඇයිද යැයි අදහසක් ඇති නමුත් එය සොයා ගැනීම ඔබට භාර කරමි.
ඉතිහාසයේ සදහන් පරිදි දුටුගැමුණු රජු මේ දිවයින පළමු වරට එක් රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට පෙර රජගලද අයත් වර්ථමාන කටුගස්තොට සිට ත්‍රීකුණාමලය දක්වා ඇති මහවැලි ගඟෙන් දකුණෙහි වූ පුරාණ රෝහණය නැතිනම් රුහුණ පුරා පැතිරුණු ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරයක සාදක අදටද පහසුවෙන් නිරීක්ෂණය කල හැක.
මේ ලිපිය මුල ජීවමාන බුදුන් දවසට ඈදෙන ඓතිහාසික තොරතුරු වලින් වැඩිම ප්‍රමාණය හමු වන්නේ මේ භූමිය තුලය. එකල විවිධ රජවරුන් යුවරජවරුන් ප්‍රාදේශීය පාලකයන් මෙහි විවිධ ප්‍රදේශ පාලනය කලේ අනුරාධපුර පාලනයෙන් ස්වායත්තවය. ඔවුන් බොහොමයක් බෞද්ධයන් හෝ බුදු දහමට ලැදි වූවන් බවද පැහැදිළිය. පසු කලෙක අනුරාධපුර පාලනයේ අධිපතිවාදයට යට වූ මෙරට ප්‍රධාන ලිඛිත ඉතිහසයේ මේ පාලකයන් ගැන සදහනක් ඇත්නම් අල්පයකි. නමුත් පැරණි රෝහණය පුරා පැතිරුණු දහස් සංඛ්‍යාත ශිලා ලේඛණ අතර මේ නම් අදටද කියවා ගත හැක.
කෙටියෙන්ම දුටුගැමුණු රජුට පෙර මේ දූපත එක් රාජ්‍යයක් ලෙස පැවතුණු බවක් තහවුරු නොවේ. මේ කරුණු සැලකීමේදී මිහිදු හිමියන්ගේ අනුරාධපුර ගමන අතිශය වැදගත් වන්නේ ඇයිදැයි නිරීක්ෂණය කල හැකිය.
මාස 9ක් පුරා පැවති තුන්වන ධර්ම සංගායනාවට පසු එහිදී ගත් තීරණ අනුව බුද්ධ සාසනය ඉදිරියට පවත්වා ගැනීම සදහා අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සහ නව සැලසුම් අනුරාධපුර රාජධානිය කේන්ද්‍රකර ප්‍රතිස්ථාපනය කිරීමේ ඓතිහාසික කාර්යභාරය සිදු කිරීම මහින්ද තෙරුන් ඇතුළු කණ්ඩායමට පැවරුණු බව මගේ නිරීක්ෂණයයි.
එම කණ්ඩායම අනුරාධපුරයට වැඩි විගස සාකච්ඡා කල ධර්ම කරුණු සහ සූත්‍ර සැලකූ විට ඒවා බුද්ධ ධර්මය ගැන කිසිදු අදහසක් නැති තවමත් ඇතැමුන් කියන ගස් ගල් වන්දනාමාන කල ඉතා ප්‍රාථමික මනුස්ස කොට්ඨාශයක් සමඟ කල සාකච්ඡා දේශණ බව කිසිසේත් පිළිගත නොහැක.
බුද්ධ සාසනයට අදාල කාරණය සමග වැඩිදෙනා කිසිදා සාකච්ඡාවට නොගන්නා ලංකා රාජ්‍යය බිහි කිරීමේ ඉතා විශේෂ දේශපාලණ කරුණකට මහින්ද තෙරුන් ඇතුළු කණ්ඩායම මැදිහත් වූ බව මගේ විශ්වාසයයි.
ඒ අනුරාධපුර සහ රුහුණ දේශපාලණිකව යා කිරීමේ කටයුත්තයි.
මහින්ද තෙරුන් අනුරාධපුරයට එන විට එහි පාලකයා මුටසිව රජුගේ පුත් දේවානම් පියතිස්ස රජු වූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටියේ රජුගේ සොයුරු මහනාග කුමරුවන්ය. නමුත් මහානාග කුමරු අනුරාධපුරයේ රජ නොවී රුහුණට ගොස් මාගම රාජධානිය පිහිටුවා ගන්නේ මහින්ද තෙරුන් අනුරාධපුරයේ වැඩ සිටි සමයේදීය.
ඔහු රුහුණට යෑමට හේතුව ලෙස විෂ අඹ කුමණ්ත්‍රණයක් මහාවංශය පැවසුවද මේ යුගයේ දේශපාලණ පෙරලි සමග ඒ කථාවට වඩා වෙනත් දේශපාලණ තීන්දු ඊට හේතු වූ බව නිසැකය. අනතුරුව දේවානම් පියතිස්ස රජුගේ අභාවයත් සමග අනුරාධපුරයේ රජ වෙන්නේ ඊට නියමිතව සිටි මහානාග කුමරු නොව ඔහුගේ සොයුරු උත්තිය කුමරුය. ඒ වන විටද මහින්ද තෙරුන් අනුරාධපුරයේ වැඩ සිටි අතර උන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වන්නේ එම උත්තිය රජුගේ පාලන සමයේදීය.
මහින්ද තෙරුන්ගේ පරිනිර්වාණයෙන් වසර 20ක් පමණ ගිය තැන අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන අතර නැවත එහි පුනරුද සමය බිහි වන්නේ අනුරාධපුරය සහ රුහුණ ඒකාබද්ධ කරමින් පළමු වරට මේ දූපතම එක්සේසත් කල මහා දුට්ඨගාමිණී අභය රජුගේ ආගමනය සමගය.
දුටුගැමුණු රජුගේ පියා රෝහණය එක්සේසත් කල කාවන්තිස්ස වූ අතර ඔහුගේ පියා ගෝඨාභයයි. ගෝඨාභයගේ පියා වූ යඨාලතිස්ස යනු මහින්ද තෙරුන් අනුරාධපුරයේ වැඩ සිටි සමයේ ජාතියේම ඉරණම වෙනස් කරමින් රුහුණට ගොස් එහි රාජ්‍යයක් පිහිට වූ මහානාග කුමරුය.
මුළුමහත් ජාතියේම අනාගත ගමන් මග වෙනස් කල දුටුගැමුණු රජුට මහින්ද තෙරුණ් ළකුණු කර ගොස් තිබුණේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ රුවන්වැලි මහා සෑය ඉදිකල යුතු ස්ථානය පමණක් නොවේ. බුද්ධ සාසනය රාජ්‍යය සමඟ බද්ධ කර ඉදිරියට ගෙන යායුතු නිලද උන් වහන්සේ ඔහුගේ පරපුර හරහා කියා දී තිබූ බව පැහැදිළිව පෙනේ.
එබැවින් මහින්දාගමනය යනු බුදු දහමක් ගැන මෙලොව දෙයක් නොදැන සිටි දේවානම් පියතිස්සට බණ කියා ඔහුව හරවා ගන්නට අහසින් ආ ට්‍රිප් එකක් නොව, ජාතියත් සාසනයත් ශත වර්ශ ගණනාවටම බිදී නොයන්නට සවිමත් අඩිතාලමක් දමන්නට ආ මෙරට ඉතිහාසයේ වැදගත්ම ගමන ලෙස සැලකීම මහින්ද තෙරුන්ට කරන ලොකුම ගෞරවය බව මගේ විශ්වාසයයි.. 🙏
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...