පුරවැසි කොලම

කන පතේ ගෙවල් හැදීම

July 2, 2023 11:54 am | Lanka Lead News

අපේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සීයට 22 ක විතරයි වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙක්ටයාර් ලක්‍ෂ 14 කට (අක්කර ලක්‍ෂ 35 කට) කිට්ටු ප්‍රමාණයක්. මෙහෙම රටට ම එක ගානක් කිව්වාට මේ ප්‍රමාණය බිම් මට්ටමට බෙදලා දක්වන ක්‍රමයක් අපේ රටේ නෑ. ඒ කියන්නේ ගමෙන් ගමට මේ සංඛ්‍යාව බෙදලා පෙන්නන ක්‍රමයක් අපිට නෑ. එහෙම බෙදලා දක්වනවා නම් මෙන්න මේ ගමේ වගා කරන්න පුළුවන් ඉඩම් අක්කර මෙච්චරක් තියෙනවා, අන්න අර ගමේ වගා කරන්න පුළුවන් ඉඩම් අක්කර මෙච්චරක් තියෙනවා කියලා අදාළ විස්තර ටක්කෙට ම දැනගන්න අපිට පුළුවන්.

කොහොම වුනත් අපේ රටේ වගා කරන්න පුළුවන් ඉඩම් ප්‍රමාණය ගැන කියන ඔය ගණන් හිලව් වැඩිය විශ්වාස කරන්න අමාරුයි. ඔය ගණන් හිලව් හදන්නේ නිලධාරීන් ලව්වා පරණ සංඛ්‍යාලේඛන අලුත් කර කර මිසක් හරි හමන් විමර්ශන කරලා නම් නෙවෙයි. ගම් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා මේ ගණන් හිලව් හොයන එක ඒ ආයතනවලට පැවැරුවා නම් අදාළ විස්තර ගම් මට්ටමින් ම යාවත්කාලීන වෙනවා. එහෙම කරනවා නම් වගා කරන ඉඩම් භාවිතයට ඇතිවෙලා තියෙන ප්‍රශ්න වුනත් හඳුනාගන්න පුළුවන්. එ්ත් එහෙම වැඩපිළිවෙළක් අපිට නෑ.

අපේ රට නාගරිකකරණය වෙන්නේ මහ අමුතු විදිහකට. සිංහල මිනිස්සු නගරවල පදිංචිවෙන්න කැමැති නෑ. ඉතින් අපේ රටේ නාගරිකකරණය සිද්දවෙන්නේ පාරවල් අයිනේ. අපේ ගම්වල මහ පාරවල් අයිනේ සහ ඒ කිට්ටුව තියෙන ඉඩම් පර්චස් දහයේ දොළහෙ ප්‍රංචි කෑලිවලට කැඩෙනවා. ප්‍රධාන මහා මාර්ග වැටිලා තියෙන, නගරවලට ගොඩක් දුර නැති අපේ ගම්වලට දැන් දැන් හුඟක් පිටස්තර මිනිස්සුත් ඇවිල්ලා පදිංචි වෙනවා. මේ පුංචි කෑලිවල මෙහෙම අය හදන ගෙවල් හරියට ඒ මිනිස්සුන්ගේ බෝඩිම් වගේ. දවල් දවසේ වැඩ රාජකාරිවලට යන ඒ මිනිස්සු රෑට විතරක් ඒ “බෝඩිම්වල” ලගිනවා. සමහර වෙලාවට වෙන වැඩක් නැතිනම් සති අන්තවලත් ඒවායේ රැඳිලා ඉන්නවා.

මේ විදිහට ගෙවල් හදන සෙල්ලම හින්දා කෑලි කෑලිවලට කැඩිලා වෙන්වෙන්නේ අපිට තියෙන වගා කරන්න පුළුවන් ඉඩම්. අපේ ගම්වල තිබුණු පොල් ඉඩම් කොච්චරක් නම් මේ විදිහට විනාශවෙලා ද කියන එක රහසක් නෙවෙයි. මේ විදිහට ඉඩම් කට්ටි කරද්දි ඒවා වෙනුවෙන් හරි හරියට පාරවලුත් වෙන් කරන්න ඕන. ඒවාටත් යටවෙන්නේ වගා කරන්න පුළුවන් ඉඩම් ම තමයි.

රටක තියෙන මූලික ම අවශ්‍යතාව තමයි ආහාර. අනිත් දේවල් නැතුව පණ ගැටගහගන්න පුළුවන් වුණාට කෑම නැතුව ඉන්න පුළුවන්කමක් අපිට නෑ. ලෝක මට්ටමේ මහ කලබැගෑනියක් වෙන වෙලාවට කොච්චර සල්ලි තිබුණත් වෙන රටවල්වලින් ආහාර ගේන්න ඉඩක් අපිට ලැබෙන්නේ නෑ. ඉතින් ඕන ම රටක් ඉහළ ම ප්‍රමුඛතාව ලබාදෙන්නේ ආහාර සුරක්‍ෂිතතාවට. මේ අරමුණ සාක්‍ෂාත් කරගන්න නම් වගා කරන්න පුළුවන් ඉඩම් රැකගන්න ඕන. ඒත් ඒ ගැන කිසිම තැකීමක් අපිට නෑ. අපි මේ වෙද්දි කන පතේ ගෙවල් හදන ජාතියක් බවට පත්වෙලා. එක පැත්තකින් අපි සරුසාර ඉඩම් කට්ටි කරනවා. තවත් පැත්තකින් කුඹුරු ගොඩ කරනවා. ඒ මදිවට වැව් පිටි පවා ගොඩ කරන මිනිස්සු ඉන්නවා.

හැමෝට ම ඕන ගෙවල් හදන්න. ගෙවල් නැතුව අපිට ජීවත්වෙන්න බැරි බව ඇත්ත. ඒත් අපි මේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න ඕන වගා කරන්න පුළුවන් ඉඩම් බිල්ලට දීලා ද?

අපේ රටේ ජන ඝනත්වයත් ඉතාමත් ඉහළයි. ඒ අගය වර්ග කිලෝ මීටරයකට 332 ක්. ලෝකයේ ඉහළ ම ජනගහනයක් හිටියත් චීනයේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 149 ක් විතරයි. ඉන්දුනීසියාව (143), තායිලන්තය (140), මැලේසියාව (101), කාම්බෝජය (92) කියන මේ හැම රටක ම අපේ තරම් තදබදයක් නෑ. මුළු ලෝක මට්ටම ම ගත්තත් ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 60 ක් විතරයි. ඉතින් අපේ රටේ තියෙන තදබදයේ තරම අපි තේරුම්ගන්න ඕන.
මෙන්න මේ හැම කරුණක් ගැන ම හිතද්දි අපේ රටේ ඉඩම් සහ නිවාස ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් කරන්න කාලය ඇවිල්ලා කියන එක පැහැදිළියි. තවදුරටත් වගා කරන ඉඩම් මේ විදිහට කට්ටි කරන්න, කුඹුරු ගොඩ කරන්න, වැව් පිටි පුරවන්න අපිට බෑ.

ඉඩම් කට්ටියක් ඇරැගෙන ගෙයක් හදන එක අපේ සංස්කෘතික පුරුද්දක්. මේක හුඟක් ඈත අතීතයේ ඉඳලා ආපු පුරුද්දක් කියලා හිතන්න අමාරුයි. ඉස්සර අපි ගෙවල් හදාගෙන ඉඳලා තියෙන්නේ ගම් ගොඩවල් විදිහට. ඒ කියන්නේ ගෙවල් තිබිලා තියෙන්නේ ගමේ එක කොටසක. වගා කරන ඉඩම් තිබිලා තියෙන්නේ වෙනම. ඒත් ඒ ඉස්සර කතා දැන් කියලා වැඩක් වෙන්නේ නෑ. දැන් තරමක කාලයක ඉඳලා පුංචි පුංචි ඉඩම් කට්ටිවල ගෙවල් හදන මේ අලුත් සංස්කෘතික පුරුද්දක් අපි හදාගෙන. මෙහෙම පුරුද්දක් කෙටි කාලයකින් වෙනස් කරන්න අපිට බෑ. ඒත් මේ වෙනුවට විකල්පයක් ගැන හිතන්න කාලය ඇවිල්ලා.

මහ පොළොවේ තනි තනියෙන් ගෙවල් හදන්න පුරුදුවෙච්ච අපේ මිනිස්සු තොග විදිහට එක සැරෙන් මහල් නිවාස වගේ විකල්පවලට තල්ලු කරන්න පුළුවන්කමක් අපිට නෑ. ඒත් ජනගහනයෙන් යම් ප්‍රමාණයකට හරි එහෙම විකල්පයක් සලස්වන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්කමකුත් නෑ. ඒත් මේ වැඩේ කරන්නේ කොහොම ද?

ගුරුවරුන්ට, වෛද්‍යවරුන්ට, අනෙකුත් රජයේ සේවකයන්ට අදාළ සේවා ස්ථානය මායිමේ ම මහල් නිවාස හදලා දීලා මේ වැඩේට මුල පුරන්න අපිට පුළුවන්. කර්මාන්ත ශාලා ආශ්‍රිතව වුනත් මේ වැඩේ කරන්න බැරිකමක් නෑ. මෙහෙම කරද්දි අදාළ සේවකයෝ රාජකාරියට යන්න බස්වල, පාරවල්වල රස්තියාදු වෙන්න ඕන නෑ. මේ හරහා රටේ ඉන්ධන වියදමත් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේ ම, මාර්ග තදබදයත් අඩු කරගන්න පුළුවන්.

මෙහෙම රස්සා කරන මිනිස්සු අවුරුදු තිහක් තිස් පහක් කරන්නේ ඒ වැඩේ ම තමයි. ඉතින් අවුරුදු තිහක් තිස් පහක් මහල් නිවාසවල ඉන්න මිනිස්සුන්ට ඒක පුරුද්දක් බවට පත්වෙනවා. මෙහෙම අයට ඊ ළඟට ඕන වෙන්නේ විශ්‍රාම ගියාට පස්සේ පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක්. ඒ වෙනුවෙන් විශ්‍රාමික මහල් නිවාස හදන්න පුළුවන්. රාජකාරි කාලය තුළ මහල් නිවාසවල ජීවත්වෙලා පුරුද්දක් තියෙන හින්දා විශ්‍රාම ගියාට පස්සේ ඒ හා සමාන තැන්වල ඉන්න එක ඒ අයට ගැටලුවක් නෙවෙයි.
අදාළ ජන කොටස් මහල් නිවාස සංස්කෘතියකට පුරුදු කළාම ඒ වෙනුවෙන් යට කරන්න වෙන්නේ ඉතාමත් සුළු ඉඩම් ප්‍රමාණයක් විතරයි. ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන්න ඕන කරන ඉඩම් ප්‍රමාණයත් සීමාවෙනවා. මේ මහල් නිවාස ආශ්‍රිතව මහජන උද්‍යාන හදලා ඒ අයව මහ පොළොවට ගේන්නත් පුළුවන්. මෙහෙම නිවාස ප්‍රතිපත්තියකට අපි යොමුවෙනවා නම් අපේ වගා කරන්න පුළුවන් ඉඩම් ටික පරිස්සම් කරගන්න එක අමාරු වැඩක් වෙන එකක් නෑ.

– ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති –
(අද 2023 ජූලි මස 2 වැනි දා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන ලිපිය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More