දේශීය පුවත්

13 වැනි සංශෝධනය පිළිබඳව තම මතය දන්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකොට තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ලෙස ජනාධිපතිතුවරයාට තමන්ට අනන්‍ය වූ ජනවරමක් නොමැති බවත්, ජනාධිපතිවරයා පත් වී සිටින්නේ ජනවරම ලැබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට බවත්, එමගින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වරමක් පතා නැති බව හා එහි සඳහන් වන්නේ ඒකීය රාජ්‍යය සවිමත් කරන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම බවත් එම ලිපියේ පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්…

2023 අගෝස්තු 15 දින
ජනාධිපති ලේකම්
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01
හිතවත් ජනාධිපති ලේකම්තුමනි

13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම

ඔබේ අංක පීඑස්/පීසීඒ/03 දරණ 2023 අගෝස්තු 2 දිනැති ඔබතුමාගේ ලිපියෙන් කළ ඉල්ලීම අනු​ව 2023 ජූලි 26 දින සර්ව පාක්ෂික සමුළුවේ දී ද 2023 අගෝස්තු 9 දින පාර්ලිමේන්තුවේ දී ​ද ජනාධිපතිතුමාගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ මතය අපි මෙසේ ප්‍රකාශ කරමු.

01. ජනාධිපතිවරයාගේ ජන වරම

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ලෙස ජනාධිපතිතුමාට තමන්ට අනන්‍ය වූ ජනවරමක් නැත්තේය. එබැවින් ජනාධිපතිතුමා පත් වී සිටින්නේ ජනවරම ලැබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමටය. එහි 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වරමක් පතා නැත. එහි සඳහන් වන්නේ ඒකීය රාජ්‍යය සවිමත් කරන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි. ඒ අනුව පත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කර ජනාධිපතිවරයාට භාර දෙන ලදී. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව විසින් පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ජන වරමක් දුන් බැවින් ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය එකී ජනවරමට පටහැනි බැවින් ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කළ යුත්තේ මී ලඟ ජනපතිවරණයේ දී ඒ සඳහා ජනවරමක් පැතීමයි. එතෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ ව්‍යාපෘතිය හකුලා ගත යුතුය.

02. ජනාධිපතිවරයාගේ සද්භාව​ය

ජනාධිපතිවරයා විසින් පළාත් සභා සඳහා වඩාත් බලතල ලබා දීමට යෝජනා කරන්නේ පලාත් සභා විසුරුවා හැර තමන් විසින් පත් කර ගත් නියෝජිතයින් වන පළාත් ආණ්ඩුකාරවරුන් හරහා පළාත් සභා පාලනය කරන පසුබිමකය. මධ්‍යම ආණ්ඩුවේ බලතල භුක්ති විඳින්නේ මහජන නියෝජිතයින් වන ඇමතිවරුන්ය. එබැවින් මහජන නියෝජිතයින්ගෙන් බලය උදුරා ගෙන ජනාධිපතිගේ නියෝජිතයින්ට ලබා දීම බලය කේන්ද්‍රගත කිරීමක් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් ද වන්නේය.
එමෙන්ම බලය බෙදීම පිලිබඳ සංවාදය ජනාධිපතිවරයා ගෙන එන්නේ ජනතාවට සමීපතම මහජන නියෝජිත ඒකකය වන පළාත්පාලන ආයතන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා වසරකට වැඩි කාලයක් ගත වී ඇති පසුබිමකය. සැබැවින්ම බලය ජනතාවට සමීප කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සිය සද්භාවය පෙන්වීමට ජනාධිපතිවරයා කළ යුත්තේ වහාම පළාත්පාලන මැතිවරණය පැවැත්වීමයි.

03. ජාතික සමගිය ගොඩ නැගීමේ මිථ්‍යාව

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන්නේ ජාතික සමගිය ගොඩ නැගීමට බවට ජනාධිපතිතුමා විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම ඒ සඳහා වූ ආයතනයක් ද බිහි කරන බවට ප්‍රකාශ කරන ලදී. නමුත් මේ වන විට ලොව බලවත් රටවලට ආදර්ශයක් වන මට්ටමේ ජාතික සමගියක් රට පුරාම ගොඩ ​නැගී ඇත. කලාතුරකින් වුවද වාර්තා වන්නේ උතුරු පලාතේ දී බෞද්ධයින්ට සිය ආගමික කටයුතු ඉටු කර ගැනීමට දෙමළ බෙදුම්වාදි දේශපාලකයින්ගෙන් එල්ල වන බාධාවන් පමණි.

ජනාධිපතිතුමා යෝජනා කරන අයුරින් හුදු ජනවර්ග පදනම් ක​රගත් පළාත් සභාවන් සවිමත් කිරීමෙන් සිදු වන්නේ ජාතික අනන්‍යතාවය වෙනුවට ජනවාර්ගික අනන්‍යතා ඉස්මතු වී පවතින ජාතික සමගිය ද විනාශ වීමයි. ජනවර්ග පදනම් කරගෙන බලය බෙදීම හුදු ගෝත්‍රික සමාජයකට මේ රට තල්ලු කිරීමකි. එබැවින් අප කළ යුතු වන්නේ ජාතික උරුමය මත පදනම් වී ජාතික අනන්‍යතාවය ගොඩ නැගීම මිස ශ්‍රී ලාංකි​ක සමාජය ජනවාර්ගික පදනමින් බෙදා ජාතිවාදය නීතිගත කිරීම නොවේ.

04. කාලෝචිත නොවීම

ශ්‍රී ලංකා​ව මේ අවස්ථාවේ මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ දැවැන්ත​ම අර්බූදයටයි. එබැවින් සමස්ත ජාතියම සියළු භේද පසෙක ලා සමගි වී මෙම අර්බූදයෙන් මිදීමට සාමුහික ප්‍රයත්නයක යෙදි​ය යුතුව ඇත. එවැනි පසුබිමක ශ්‍රී ලාංකික ජනතා​ව වඩාත්ම තියුණු ලෙස බෙදී සිටින මාතෘකාව වන 13 වන ව්‍යවස්ථාව සංශෝධනය සමාජ මාතෘකාව බවට පත් කිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයකි. ආර්ථික අර්බූදයෙන් මිදීමේ මං සෙවීමේ නිරත වී සිටි ජාතියක් අද එය පසෙක තබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ගුණ අගුණ පිළිබඳ සංවාදයක නිරත වී සිටියි. එබැවින් ආර්ථික පුනර්ජීවන වැඩසටහනට එරෙහිව දැවැන්තම මරු පහර එල්ල කලේ ජනාධිපතිවරයා බව සඳහන් කළ යුතුමය.

05. 13 වන සංශෝධනය බලාත්මක කිරීම

i) ඊනියා දෙමළ ඊළාම් රාජ්‍යයේ භූමිය සලකුණු කර ගැනීමේ යටි අරමුණින් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම​ සඳහා පලාත් ඒකාබද්ධ කිරීමේ විධිවිධානයක් 13 වන සංශෝධනය තුල ඇතුලත් කර ඇත. ඒ අනුව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ දී උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීම ද සිදු වනු ඇත. එය බෙදුම්වාදින්ගේ සිහිනය සැබෑ කිරීමකි.

ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ඇ වගන්තිය අනුව පළාත් සභා මෙන්ම සමගාමි ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් ද විධායක බලය හිමි වන්නේ පළාත් සභාවන්ටයි. එබැවින් 13 වන සංශෝධනය බලාත්මක කලොත් මධ්‍යම ආණ්ඩුව සංවෘත ලැයිස්තුවට සීමා වී පළාත් සභාව මධ්‍යම ආණ්ඩුවට වඩා බලවත් කිරීම වෙන් වී යෑ​මට පාර කැපීමකි.

iii) 13 වන සංශෝධනය අනුව පුරාවිද්‍යාව පළාත් සභා විෂයකි. ජාතික වැදගත්කමකින් යුක්ත බවට යම් නීතියක් යටතේ හෝ නීතියක් මගින් ප්‍රකාශිත ස්ථාන හැර අන් සියළුම පුරාවිද්‍යාත්මක ස්ථාන අයත් වන්නේ පළාත් සභාවටයි. ඒ අනුව 13 වන සංශෝධනය බලාත්මක කර තිබුණේ නම් කුරුන්දි විහාරයේ කැනීම් කටයුතු අයත් වන්නේ දෙමළ බෙදුම්වාදින්ගේ පාලනය යටතේ පවතින උතුරු පළාත් සභාවටයි. වසර 2,200ක් පැරණි බෞද්ධ විහාරයක් බවට ඓතිහාසික ලේඛණ, ශිලා ලිපි සහ නටබුන් මගින් තහවුරු වී තිබිය දීත් එය හින්දු කෝවිලක් බවට ප්‍රකාශ කිරීමේ වෑයම දෙමළ බෙදුම්වාදින් අත්හැර නැත. 13 වන සංශෝධනය බලාත්මක වී තිබුණේ නම් එය හින්දු කෝවිලක් ලෙස පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරන කරුණු සැල කිරීම නීතිය ඉදිරියේ පිලිගැනීමට ලක් වී සමස්ත ලෝකයටම සුවිශේෂී ඓතිහාසික පුදුබිමක් සදහටම ලෝක ප්‍රජාවට අහිමි වනු ඇත.

iv) අප විසින් දිගු කාලයක් පුරා පොලිස් බලතල පළාත් සභාවන්ට ලබා දීමේ ආදිනව පැහැදිලි කර ඇත. පොලිස් බලතල පළාත් සභාවන්ට ලබා නොදිය යුතුය යන ස්ථාවරය ජනාධිපතිවරයා විසින් ගැනීමෙන් අපගේ තර්ක වලට පිලිගැනීමක් ලැබී ඇත. එබැවින් ජනාධිපතිතුමා විසින් දැන් කළ යුත්තේ පිවිතුරු හෙළ උරුමය විසින් පළාත් පොලිස් බලතල අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රජයේ පනතක් ලෙස කඩිනමින් ක්‍රියාත්මක කිරීමයි.

06. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම නාමයෙන් 13 ඉක්මවා බලය බෙදීම

i) 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිලිබඳ ජනාධිපතිවරයා දිගින් දිගටම කතා පැවැත්වුව ද ඇත්තෙන්ම ඊට මුවා වී එතුමා උත්සාහ දරන්නේ 13 ඉක්මවා බලය බෙදීමටයි. එතුමා විසින් ඉහත සඳහන් කළ අවස්ථා දෙකේදීම සඳහන් කලේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. 13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාපිත බැවින් එය ක්‍රියාත්මක කිරීම සඳහා නව පනත් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ අනුව නව පනත් හරහා සිදු වන්නේ 13 වන සංශෝධනය තව දුරටත් සංශෝධනය කරමින් 13 ඉක්මවා බලය බෙදීමකි.

ii) සමගාමි ලැයිස්තුවේ අඩංගු විෂයන් පළාත් සභා ලැයිස්තුවට ඇතුලත් කිරීමට ජනාධිපතිතුමා යෝජනා කර තිබිණි. සමගාමි ලැයිස්තුව යනු ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල ව්‍යවස්ථාවන්හි දැකිය හැකි වැදගත් ලක්ෂණයකි. පළාත් සුළු ජනවර්​ගයකට පළාත් පරිපාලනයෙන් අසාධාරණයක් හෝ නොසලකා හැරීමක් සිදුවන විට ඊට මැදිහත් වීමටත් සමස්ත රට පොදු නීති රාමුවක තබා ගැනීමත් සමගාමි ලැයිස්තුවෙන් සිදුවන වැදගත් මෙහෙයන් අතර වේ. එබැවින් සමගාමි ලැයිස්තුව දුර්වල කිරී​ම යනු ඕනෑම ආකාරයක ජාතිවාදයක් දිරිමත් කිරීමකි. එමෙන්ම සමගාමි ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් නීති සැකසීමට පාර්ලිමේන්තුවේ ​සරල බහුතරය ප්‍රමාණවත්ය. නමුත් පලාත් සභා ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් නීති සැකසීමට පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බහුතර බලයක් අවශ්‍ය වේ. එබැවින් සමගාමි ලැයිස්තුවේ විෂයන් පළාත් සභා ලැයිස්තුවට ඇතුළු කිරීම පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය සීමා කිරීමක් වනු ඇත.

iv) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්ම වගන්ති සංශෝධන​ය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් අනුමත කර ජනමත විචාරණයක දී ජනතාව ද අනුමත කලොත් පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 5 වගන්ති එවැනි වැදගත් වගන්ති ඝණයට අයත් වේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට යෝජනා කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ 2017 සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව අනුව එකී වගන්ති සංශෝධනය කිරීමට​ය. එකී වගන්ති සංශෝධනය කිරීමෙන් සිදු වෙන්නේ ඒකීය රාජ්‍යය සන්ධීය රාජ්‍යයක් හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පත් වීමයි. මෙවැනි යෝජනා ගණනාවක් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් තුල අඩංගු වී තිබේ.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට ගෝඨාභය ජනාධිපතිතුමා දක්වා ජනපතිවරුන් සත්දෙනෙකු 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වෙර නොදැරුවේ එහි ඇති භයානකකම හොඳින් තේරුම් ගෙන සිටි හෙයිනි. එබැවින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම 13 ඉක්මවා බලය බෙදීම ද දැවැන්ත ව්‍යසනයකට අත වැනීමක් බවට අපි ජනාධිපතිතුමාට අනතුරු අඟවමු.

මෙයට දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය

උදය ගම්මන්පිල
නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More