මහවැලි සංවර්ධන විෂයය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සැලකෙන්නේ පෙරළිකාර දේශපාලනඥයෙකු ලෙසටය. 2018 පෙබරවාරි මාසයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට ද අභියෝග කරමින් පක්‍ෂයේ තවත් පිරිසක් සමඟ ඔහු රජයට එකතු වන්නේ මෛත්‍රී පිලත් මහින්ද පිලත් සමගි කරවීම හැර රට ගොඩනැගීම සඳහා වෙනත් විකල්පයක් නැතැයි කියමිනි. එසේ පැමිණි ඔහු රාජ්‍ය ඇමැති කමකින් සංතෘප්ත වූවා මිස අරමුණු ජය ගන්නට යමක් ඉටු කළේද නැද්ද යන්න විවාදිතය. අප අද ඔහු හමුවුණේ ඒ පිළිබඳ වත්මන් තත්ත්වය හා ඔහුගේ දේශපාලන ස්‌ථාවරය පිළිබඳ විමසීමටය.
ප්‍රශ්නය – අපිට මතකයි 2018 පෙබරවාරි මාසයේ ඔබ ඔබගේ දේශපාලන ජීවිතයේ දෙවන දැඩි තීන්දුව ගන්නවා. පළමුවර විමල් වීරවංශ ඇතුළු කණ්‌ඩායම සමඟ ජවිපෙන් සමු ගත් ඔබ දෙවැනි වර තවත් කිහිපදෙනකු සමඟ විමල් වීරවංශගේ කණ්‌ඩායමෙනුත් සමුගෙන ආණ්‌ඩුවට එකතු වෙනවා. ඒක සමහරු සලකන්නේ පෙරළියක් ලෙසයි. ඒක එහෙම නම් ඔබ ඒ කරපු පෙරළියේ අද වන විට ලබපු ප්‍රතිඵල මොනවාද?
පිළිතුර – මම එදා ගනිපු තීන්දුව ඉතාම නිවැරැදියි. මම කලින් හිටපු කඳවුරේ අයට දිගින් දිගටම කියාපු කාරණාවක් තිබුණා. ඒ තමයි අපි මේ රට බේරා ගැනීමට හා ගොඩගැනීමට යම්කිසි සටනක් කරනවා නම් ඒ සටනේ ශක්‌තිය, වේගය, සටන්කාමීත්වය හා සාර්ථකත්වය පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ඒකාබද්ධව යන්නේ නම් පමණයි කියලා. ඒක මම එදා එළියේ කතා කළේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් මම පක්‍ෂය ඇතුළේ ලොකු සටනක් අරන් ගියා.
මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිල්ලෙක් විදියට දකිමින් අපට ගමනක් නැහැ කියලයිs. අපට විරුද්ධව, රටට විරුද්ධව තිබෙන මහා බලවේගය පරාජ කරන්න නම් අපිට කල්ලි කල්ලි සටන් පෙරමුණුවලට කැඩිලා ගිහිල්ලා බැහැ. අපේ හතුරා බලවත්. ඔහු පරාජය කරන්න නම් ඒ සතුරාට විරුද්ධව තැන් තැන්වල සිටින හැම ඡන්දයක්‌ම අපිට වටිනවා. හැම බලවේගයක් ම අපිට වටිනවා. අන්න ඒ මතවාදය උඩ මම සටන් කළා. ඊට ඇහුම්කන් නොදුන් අය සමඟ දිගින් දිගටම අරගල කිරීමෙන් ඵලක් නැති බව තේරුම් අරන් මම එළියට ආවා. මම ඒ තැබුවේ විපක්‍ෂයේ බලවේග ඒකරාශී කිරීමේ සටනේ එක් පියවරක්. මම එතනදී ලොකු කැපකිරීමක් කළා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල අනාගතයේදී අපේ බලවේගයට ලැබෙමින් පවතිනවා.
ප්‍රශ්නය – ඔබ ඔය කළා කියන සටනේ තේමාව හා අරමුණ මෛත්‍රී – මහින්ද බලවේග දෙක සමගි කරවීමනේ. ඒකනේ ඇත්ත. කෝ දැන් ඒ සමගිය ඇතිවෙලා තියෙනවාද? ඇතිවෙමින් පවතිනවාද? මොකද්ද දැන් අලුත් තත්ත්වය.
පිළිතුර – මම ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළේදීත් කළේ විපක්‍ෂයේ බලවේග ඒකරාශී කිරීමකට ගේන්න යම් විවෘත භාවයක් හදන එක. ශ්‍රී ලංකා එකට ඇවිල්ලා ඒ බලවේග ඇතුළේදීත් මම කළේ ශ්‍රී ලංකා එක ප්‍රධාන වූ බලවේග තුළ අර කියපු විවෘතභාවය නිර්මාණය කරන එකයි. ඒ විවෘත භාවය හදපු නිසා තමයි විපක්‍ෂයේ බලවේග ගිහින් ජාතික නිදහස් පෙරමුණ පවා ගිහින් මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලවේග සමඟ ඒකාබද්ධ විපක්‍ෂය සාකච්ඡා ආරම්භ කළේ අපි ඒක ඇතුළට ගිහිල්ල වැහිල තිබුණු පාරවල් විවෘත කරල දීපු නිසයි.
ප්‍රශ්නය – මම අහන්නේ ඒ සාකච්ඡා ගැන නොවෙයි. මෛත්‍රියි මහින්දයි එකතු කිරීම වෙනුවෙන් මොකද්ද ඔබ කළේ.
පිළිතුර – මහින්දයි – මෛත්‍රියි පුද්ගලයන් දෙදෙනා එකතු කිරීම ගැන නොවෙයි මම අදහස් කළේ. මම අදහස් කළේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයක් ගැන. මෛත්‍රියි මහින්දයි එකතු වුණත් වැඩක් නෑ රටට ඉන් යමක් වෙන්නේ නැත්නම් මම කතා කරන්නේ වාමාංශික කඳවුරේ සමගිය ගැන. එහෙම දෙයක් තිබුණා. අපි එකට ආපු ගමනක් තිබුණා. 2001 පරිවාස ආණ්‌ඩුවේ ඉඳලම ඒ සමගිය තිබුණා. 2015 වන විට ඒ කඳවුර කඩා වැටිලා සීසීකඩ විසිරිලා ගියා. මම කතා කරන්නේ ඒ කඩා විසිර ගිය බලවේග ඒකරාශී කිරීම ගැනයි. ඒක මහින්ද – මෛත්‍රී නම් දෙකෙන් සංකේතවත් කළා මිස පුද්ගලයන් දෙන්නා ගැන කීවා නොවෙයි.
ප්‍රශ්නය – අපි අදහස් කළේත් බලවේග දෙක ගැනම තමා. ඔබතුමා මේ පසුගිය කාලේ කරපු දේවල්වලින් රටේ ජනතාව දැකපු දේ මම ඔබට කියන්නම්කෝ. ඔබ සටනක් පටන් ගත්තා මහින්ද – මෛත්‍රී බලවේග දෙක එක් කරන්න. 2018 පෙබරවාරියේ පුංචි ඡන්දයේදී රටේ ජනතාව එහෙම සමගියක් අවශ්‍ය නෑ කියන සංඥාව ලබා දෙමින් මෛත්‍රී පිල අන්ත අසරණ කරමින් මහින්ද පිලට ජයග්‍රහණය ලබා දෙමින් බරපතළ තීන්දුවක් ගත්තා. එතනින් පසු බැහැපු ඔබ මෛත්‍රීගේ නායකත්වය යටතේ ජනපති අගමැති ප්‍රමුඛ ආණ්‌ඩුවේ ඇමැතිකමකුත් අරන් ඇමැති සැප වින්දනය කරනවා. මේක නොවෙයිද ඇත්ත.
පිළිතුර – ඔබ පත්තරකාරයෙක් නිසා ඔබට එහෙම බලන්න පුළුවන්. ජනතාව එහෙම හිතනවා ඇති කියලා ඔබට එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි ඒක නොවෙයි යථාර්ථය.
2018 පෙබරවාරියේ ඔය ඡන්ද ප්‍රතිඵලය ලැබෙනවා කියලා මම දන්නවා. මම ඒක කිව්වා එදා. ශ්‍රීලනිපය ඡන්ද ගන්නේ 10% ට මඳක් වැඩි ප්‍රමාණයක් බව මම කිව්වා. හැබැයි මගේ ඉලක්‌කය ඔතන නොවෙයි. අපි දුරයි බැලුවේ. ඔය ප්‍රතිඵලයම විග්‍රහ කරල බලන්න 2020 එන ජනාධිපතිවරණය දිහා. මේ විදියේ ප්‍රතිඵලයක් ආවොත් 2020 ජනාධිපති ධුරය අස්‌ථාවරයි. අස්‌ථාවරයි කියලා මම කිව්වේ එම ඡන්දෙට කලින්. ඒ මොකද මේ යන ක්‍රමයට වමේ බලවේග දෙකට තුනට කැඩිල විසිරිලා තිබුණත් කවරෙකු හෝ එන වමේ අපේක්‍ෂකයකුට ජනාධිපතිවරණය දිනන්න බෑ. කාටවත් බෑ. එදා මහින්ද 2005 දින්නේ ඡන්ද 150,000 කින්. ජනතා විමුක්‌ති පෙරමුණේ ඡන්ද ටික නොලැබුණා නම් දිනනවද? නෑ……. ඒක තමයි මම කියන්නේ. මේ අපේක්‍ෂකයාට 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීම ලොකු අභියෝගයක්. අපි ඒක ගන්න ක්‍රමයකුයි බලන්න ඕන. වම එකමුතු කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ එතනයි.
අනිත් එක ඇමැති සැප ගැන විවිධ කතා කියනවනේ. මම නම් ඔය කියන කතා එකක්‌වත් ගණන් ගන්නේ නැහැ. මම කැප කිරීමක් කරල ආණ්‌ඩුවට ඇවිත් විපක්‍ෂයේ සිsටියා වගේ බකන් නිලා ඉන්න මට බෑ. මම මගේ ප්‍රදේශයේ ජනතාවට වැඩ කරන්න ඕන. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. ඒකට යම් බලයක් අවශ්‍යයි. ඒ නිසා මම දෙගිඩියාවකින් තොරව ජනතාවට වැඩ කරන්න ඇමැතිකමක් ගත්තා. ඒක ගැන ඔය එක එක්‌කෙනා කියන කතා මම ගණන් ගන්නේ නැහැ.
ප්‍රශ්නය – ලොකුවට ගණන් ගත යුතු නැහැ ඇමැතිකම. ඇමැතිකම ගත්තට පස්‌සේ ඔබතුමා බලාපොරොත්තු වුණ දේවල් ජනතාවට කරන්න පුළුවන් වුණාද? අපට නම් පැහැදිලි නැහැ මොකද්ද ඔබගේ ආසනය කියලාවත්. හොරොව්පොතාන ද කැකිරාවද, කලාවැවද කොතනද කියලවත් පැහැදිලි නැහැ.
පිළිතුර – ඔබ මාධ්‍යවේදියෙක් හැටියට මාධ්‍ය පරිශීලනය කරනවා නම් ඔබ දැනගත යුතුයි පැහැදිලිවම ජනාධිපතිතුමා මට හොරොව්පොතාන ආසනයේ සංවිධායකකම භාරදුන් බව. පුදුමයි දන්නෙ නෑ කිව්වාම.
ප්‍රශ්නය – හොරොව්පොතානට ඔබ නම් කර ඇති බව අපි දන්නවා. නමුත් මම ඇහුවේ කැකිරාව කලාවැව වගේ ගොවි ජනතාව බහුලව ඉන්න ප්‍රදේශවලත් ඔබ වැඩ කරනවානේ. කොතැනද ඔබේ සේවය ජනතාවට සිදුවන්නේ කියලයිs මම අදහස් කළේ.
පිළිතුර – හොරොව්පොතානට වගේම මුළු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයටම මම වැඩ කරනවා. මට ඒ හැම තැනකටම පුළුල් ජන පදනමක් තියෙනවා.
ප්‍රශ්නය – ඒ ජන පදනම අරන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගියාට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ඒ ජන පදනම ක්‍රියාත්මක වුණා කියලා අනුරාධපුරයේ කිසිම තැනක අපිs දැක්‌කේ නැහැ. ඡන්ද කොට්‌ඨාසයක් දිනා ගන්න බැරිවුණානේ කිසිම තැනක.
පිළිතුර – පෙබරවාරි 10 ඡන්දෙ ගැනනේ ඔබ ඔය කතා කරන්නේ. මැරිච්ච අපේක්‍ෂකයොත් ඉඳපු ඡන්දයක්‌නෙ ඒක. මහරගම බලන්නකො. මහරගම කියන්නේ මැද පන්තියේ බහුතර බුද්ධිමත් සිංහල බෞද්ධ ජන පදනමක් ඇති වමේ කඳවුරේ ඡන්ද කොට්‌ඨාසයක් කියල කවුරුත් දන්නවා. නමුත් ජනතාව නායකයකුගේ වචනයට ගරු කරල ඡන්දෙ වෙන කණ්‌ඩායමකට දුන්නනේ. ඒක නිසා එවේලේ ජනතාවගේ පොදු මතය මොකක්‌ද කියන එක තේරුම් නොගෙන ඒ ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කරන්න බෑ. ඒක තනිකරම ආණ්‌ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ ඡන්දයක්. ඒකෙන් සමස්‌තය මනින්න එපා.
ප්‍රශ්නය – ඔබතුමා වමේ කඳවුරේ එකමුතුකම ගැන මේ තරම් කතා කරනවා. වමේ කඳවුර එකමුතු වෙලා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවා. ඔබ සමඟ සිටි 40 ගණනක මන්ත්‍රී කණ්‌ඩායමක් මේ වෙලාවේ සංවේදී වුණා. 20 ගණනක් ඊට සහාය පළ කළා. 16 දෙනෙක් එළියට ඇවිත් විශ්වාසභංගය දිනවන්න ඡන්දෙත් දුන්නා. ඔබතුමා කොහේද හිටියේ ඒ වෙලාවේ.
පිළිතුර – මම හිටියේ මගේ ස්‌ථාවරයේ. එක එක්‌කෙනා ගන්න දේශපාලන තීන්දු තීරණ මත යෑපෙන කෙනෙක් නෙවෙයි මම. මම එවේලේ ආණ්‌ඩුවෙන් එළියට ගිය අය සමඟත් කතා කළා. මම කිව්වේ කරන දෙයක් හරියට කරන්න. භාගෙට කරන්න එපා කියලයි. එයාලා ගත්ත තීන්දුව හරිද වැරදිද කියල මම කියන්නෙ නෑ. මම තීරණයක් ගත්තේ සාමුහිකත්වයට හා ප්‍රගමනයට බලපානවා නම් විතරයි.
ප්‍රශ්නය – ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම ඉදිමින් විශ්වාසභංගය දිනවන්න ඡන්දය දීමේ අපහසුතාවක් තිබුණේ නැහැ මම හිතන්නේ.
පිළිතුර – ඒක මගේ තීරණයක්. විශ්වාසභංගය ජයග්‍රහණය කරවන්න ඡන්දය දෙන්න අවශ්‍ය නෑ කියල මට හිතුණා. මම ඒක කළා. විශ්වාසභංගය දිනවන්න පදනමක් තිබුණද වැඩපිළිවෙළක් තිබුණද එකම නායකයෙක් හිටියද?
ප්‍රශ්නය – නායකත්වය දෙන්න ඕන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානේ. එතුමානේ අගමැතිකමෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතුයි කියල සංවාදයක් ගෙනාවේ. ඉවත් වෙන්න කියල කිව්වේ.
පිළිතුර – නෑ.. නෑ….. එතුමා ඒකට මැදිහත් වුණේ නෑ. එතුමා ඒකට නායකත්වය දෙන්න අවශ්‍ය නැහැනේ. විශ්වාසභංගය ගෙනාවේ ඒකාබද්ධ විපක්‍ෂයෙන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගෙනෙන දේවල්වලට මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහාය දෙනවා කියලා කතාවක් තිබුණේ නැහැනේ. නායකත්වයක් නැති වගකීමක් ගන්න කෙනෙක් නැති යෝජනාවකට මම මොකටද සහාය දක්‌වන්නේ.
ප්‍රශ්නය – විශ්වාසභංගය ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගෙනාවට එහෙම දෙයක් කරන්න පටන් ගන්න කියල එස්. බී. දිසානායක ඇතුළු කණ්‌ඩායමට උපදෙස් දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බව ඔවුන් කියනවා. අපි නොවෙයි කියන්නේ. 16 දෙනාගේ කණ්‌ඩායමයි ඒ ගැන කියන්නේ.
පිළිතුර – නැහැ නැහැ. එතුමා කිසි ලෙසකින් ඊට සම්බන්ධ වුණේ නැහැ. ඒක කාගෙ හරි බොරුවක්.
ප්‍රශ්නය – ඔබතුමා ඒ ගැන වගකීමෙන්ද කියන්නේ.
පිළිතුර – ඔව්. මම වගකීමෙන් කියන්නේ. ජනාධිපතිතුමා ඊට කිසි ලෙසකින් සම්බන්ධ වුණේ නැහැ. එයාලට ස්‌වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නා. එච්චරයි.
ප්‍රශ්නය – මේ දිනවල රටේ සංවාදයක් යනවා ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මොකද්ද ඔබ විශ්වාස කරන යෝජනාව. කවුද ඔබේ අපේක්‍ෂකයා.
පිළිතුර – ඉතාම පැහැදිලියි. මගේ තේරාගැනීම හා විශ්වාසය තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වමේ කඳවුරේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුයි කියන එක. එතුමාට තමයි ඒ හැකියාව තියෙන්නේ. නීතිමය වශයෙනුත් සමාජ දේශපාලන වශයෙනුත්.
ප්‍රශ්නය – ඔබ කියන කඳවුරේ අපේක්‍ෂකයා මෛත්‍රිපාල සිරිසේන වුණොත්, එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ තරගයට ඇවිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවොත් මොනව වෙයිද?
පිළිතුර – මම හිතන්නේ තවම කල් වැඩියි. අපි ඒ ගැන සාකච්ඡා කරන්න. මොකද තවම යම් යම් කාරණා ප්‍රකාශ වෙලත් නැහැනේ. කාලය තියෙනවා. ඔය ප්‍රශ්නයට හරියටම ගැළපෙන පිළිතුර නිර්මාණය කරන්න.
සංවාදය මෙහෙයවීම – බුලිත ප්‍රදීප් කුමාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...