දේශීය පුවත්

ආණ්ඩුව ගම්පෙරළියකට සැරසෙන විට පොදුජන පෙරමුණ පුංචි ඡන්‍දයෙන් ගම පෙරළා ආණ්ඩුව පෙරළීමේ වෙඩි මුරය ද තබා අවසන් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයන්ට ගම මතක් වී ඇත්තේ පසුගිය මැතිවරණයෙන් නින්දිත පරාජයක් ලැබුණු පසුව බව පෙන්වා දුන් රණතුංග මහතා ආණ්ඩුවට ගම මතක් වූවාට ගමේ මිනිස්සුන්ට නම් ආණ්ඩුව තිත්ත වී අවසන් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ කටාන ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (30) පැවැති ජනහමුවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව දැන් ගම්පෙරළිය කියලා වැඩසටහනක් පටන් අරන්. මේක පිටිපස්සේ ඉන්නේ මංගල. මංගලලා ගම් පෙරළන්න එන කොට අපි පහුගිය පුංචි ඡන්දෙන් ගම පෙරළලා ඉවරයි. ‍රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකටම ඇඩ්‍රස් නැති වෙන්න අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ගම පෙරළුවා.

පොහොට්ටු ලකුණෙන් ගම පෙරළපු අපිට දැන් තියෙන්නේ පළාත් සභා ටික පෙරළන්නයි. ඊළඟට අපිට තියෙන්නේ ආණ්ඩුව පෙරළන්නයි. මංගලලා හැරෙන කොට අපි ආණ්ඩුවත් පෙරළලා ඉවරයි. රටේ සම්පත් විකුණලා, ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය විනාශ කරපු මංගලලාට පෙරළන්න ගමක් දැන් නැහැ.

මංගලලා ගම් පෙරළියක් කරන කොට ජනාධිපතිවරයා ග්‍රාම ශක්ති කියලා වැඩක් පටන් අරන්. මෙයාලා සේරටම ගම මතක් වෙලා තියෙන්නේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලබපු නින්දිත පරාජයත් එක්කයි. පැරදුණාම විතරක් ගම මතක් වෙන මේ ආණ්ඩුවේ ලොක්කන්ට දැන් ගමේ තැනක් නැහැ. ගම දැන් අයිති පොහොට්ටුවටයි.

එදා මහින්ද මහත්තයාගේ කාලේ එක්සත් ජාතික පක්ෂය පෙළපාලි ගියේ ඡන්ද එපා කියලයි. හැබැයි අපිට දැන් පාරට බහින්න වෙලා තියෙන්නේ ඡන්ද ඉල්ලලයි. ආණ්ඩුව අවුරුදු තුනක්ම පළාත් පාලන ඡන්දය කල් දාලා ඉල්ලගෙන කෑවා. දැන් ඊටත් වඩා කෑමක් පළාත් සභා ඡන්දය කල්දාලා කන්න ලැහැස්ති වෙලා ඉන්නවා.

ජනාධිපතිගේ ළඟ ඉන්න උපදේශකයෝ හරියට කඩුව අතට ගත්තු වඳුරෝ වගෙයි. එතැන ඉන්න එක ජනාධිපති නීතිඥයෙක් තමයි ඡන්ද කල්දාන වැඩවලට උපදෙස් දෙන්නේ. එයාම තමයි පුංචි ඡන්දය කල්දාන්න උපදෙස් දුන්නේ. දැන් පළාත් සභා ඡන්දයත් කල්දාන්නේ එයාගේ උපදෙස් මතයි. ඒ වගේ උපදෙස්වලට වැඩ කරලා ජනාධිපතිවරයාටත් කවදා හරි වෙන්නේ කඩු පාරක් කන්න තමයි.

ජනාධිපතිවරයාට තව ඉතුරු වෙලා තියෙන්නේ අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් විතරයි. ඒ කාලෙදිවත් රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරනවා නම් තමයි හොඳ. මහින්ද මහත්තයා පැරදුණත් ගෙවල්වලට හොයාගෙන එන්න මිනිස්සු හිටියා. ඒ එතුමා රටට වැඩ කරපු නිසයි. මෛත්‍රී මහත්තයට බලය නැති වුණොත් නම් අද ළඟ ඉන්න මිනිස්සුවත් ඇහැක් ඇරලා බලන එකක් නැහැ.

ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නේ 2019ත් ජනාධිපතිවරණයට ඉදිරපත් වෙන්නයි. එතුමට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි මේ කපේදි දිනන්න නම් ලැබෙන්නේ නැහැ. ජනාධිපති පුටුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් පත් වෙන්න ඡන්ද ගන්න එතුමට දැන් බැහැ. මේ රටේ මිනිස්සු තවදුරටත් මෛත්‍රී පාලනය විශ්වාස කරන්නේ නැහැ.

ඊළඟ ජනාධිපති බිහිවෙන්නේ පොහොට්ටුවෙන්. 2019 දී අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්නය දැන් අපිට වඩා තියෙන්නේ ආණ්ඩුවට. අපි ආණ්ඩුවට කියනවා තමුන්නාන්සේලා අපේ අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා. අපේ අපේක්ෂකයා තීන්දු කරන්නේ මහින්ද මහත්තයයි. එතුමා කියන ඕනේ අපේක්ෂකයකුට ඡන්දෙ දෙන්න ‍අපේ ජනතාව ලැහැස්තියි.

හොඳට මතක තියා ගන්න මහින්ද මහත්තයා දාන අපේක්ෂකයා ‍ඒ වෙනකොට මේ රටේ ඉන්න හොඳම අපේක්ෂකයා බව. ඒ අපේක්ෂකයා එක්ක හැරෙන්නවත් මෛත්‍රීලට, රනිල්ලට බැහැ. 2019 දී අපි ආරම්භ කරන ආණ්ඩුව තව අවුරුදු 20කින්වත් හොලවන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක්. මේ රටේ ඉන්න සියලු ප්‍රගතිශීලි බලවේග එක්ක එකතු වෙලයි අපි ආණ්ඩු කරන්නේ.

අපේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ තමයි රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න එක. ඊළඟ අරමුණ මේ ආණ්ඩුවේ හිටපු කම්බා හොරු රැල හිරගෙට දක්කන එක. අපි මේ දෙකම සමබරව කරනවා. ඔය හදන විශේෂ අධිකරණවල පෙනී ඉන්න වෙන්නෙත් මේ ආණ්ඩුවේම හොරුන්ට කියලත් මතක තියාගන්න ඕනේ. එදාට අපෙන් කිසිම සමාවක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More