රාඩා ආයතනයට අයත් රුපියල් මිලියන 200ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් දී ඇති සාක්ෂි අසත්‍ය බව පෙන්වා දෙමින් ඊයේ (02දා) කොළඹ මහාධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ හතරක් ඉදිරිපත් කෙරිණි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදී එහි පළමු විත්තිකරු වූ ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් මෙම දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉකුත් 24 වැනිදා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියේ 2005 වසරේ කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය විවෘත කරන්නැයි බල කරමින් තමා සහ අතුරලියේ රතන හිමියන් එම ප්‍රදේශයට ගොස් සෙරොව්ව විවෘත කරන්නැයි බලපෑම් කිරීමේ ව්‍යාපාරයකට එක්ව සිටි බවය. එම අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය තමා අමතා මෙම ගැටලුව එමිල් කාන්තන් නමැත්තකු මඟින් එලිලන් නමැති කොටි සාමාජිකයකු හරහා සාකච්ඡා මාර්ගයෙන් විස¼දා ගැනීමට උත්සාහ කරන හෙයින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි බව දිවුරුම් පිට ප්‍රකාශ කර තිබිණි.
මෙම කරුණු සම්බන්ධයෙන් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් අස්සන් කළ දිවුරුම් ප්‍රකාශයක් ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම දිවුරුම් ප්‍රකාශය මඟින් අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කර තිබුණේ මාවිල්ආරු සටනට තමන් වහන්සේද එක්ව සිටි බවයි. එහෙත් එම සටනින් ඉවත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවට සාක්ෂිකාර වර්ණසිංහ මහතා දී ඇති සාක්ෂිය අසත්‍යක් බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇතැයිද ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා පෙන්වා දුන්නේය.
ඊට අමතරව මීට පෙර දින අධිකරණය හමුවේ සාක්ෂි දුන් වර්ණසිංහ මහතා රාඩා මූල්‍ය වංචාවට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කළේ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් කමිටුවට සම්බන්ධ නීතිඥ ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, රවී ජයවර්ධන, රජිත් කීර්ති තෙන්නකෝන් යනාදීන්ගේ සහභාගිත්වය සහිතව බවද ප්‍රකාශ කර තිබිණි.
එහෙත් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා, කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය මඟින් සඳහන් කර තිබුණේ රාඩා ආයතනය සම්බන්ධ මූල්‍ය වංචාවකට අදාළව දූෂණ විරෝධී පෙරමුණ විසින් සිදුකළ පැමිණිල්ලකට තමා දැනුවත් නොමැති බවයි.
උලපනේ සුමංගල හිමියන් විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් සඳහන් කර තිබුණේ එම නඩුවට පාදක වී ඇති පැමිණිල්ල පිළිබඳව තමන් වහන්සේගේ දැනුවත්කමක් නොමැති බවයි.
රාඩා මූල්‍ය වංචාවට අදාළ පැමිණිල්ල 2015 වසරේ පෙබරවාරි මස 25දා පොලිසිය වෙත භාර දුන් බව සාක්ෂිකාර වර්ණසිංහ මහතා සාක්ෂි දෙමින් සඳහන් කර තිබිණි. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ තමා දූෂණ විරෝධී පෙරමුණේ උපදේශකයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ 2015 වසරේ අගෝස්තු මස සිට බවත් මෙම නඩුවට පාදක වී ඇති කාරණය පිළිබඳව සිය දැනුවත්කමක් නොමැති බවයි.
ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා – ඔබ මූලික සාක්ෂි දෙමින් සඳහන් කර තිබුණා ඔබ අ.පො.ස. උසස් පෙළ සමත් වූ බවට.?
සාක්ෂිකාර වර්ණසිංහ මහතා – මා උසස් පෙළ හැදෑරුවා. එහෙත් 1988 වකවානුවේ රටේ පැවැති කලබලකාරී වාතාවරණය නිසා උසස් පෙළට පෙනී සිටීමට නොහැකි වුණා.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – ඒ කියන්නේ ඔබ සාමාන්‍ය පෙළ දක්වා තමයි අධ්‍යාපනය ලබා තිබෙන්නේ. පාසල් ගිය වකවානුවේ සිට දේශපාලනයේ නිරත වූ බව ඔබ මූලික සාක්ෂි දීමේදී සඳහන් කර තිබුණා. ඔබ පාසල් කාලේ කුමන දේශපාලන පක්ෂයකට සම්බන්ධවද කටයුතු කළේ?
සාක්ෂිකරු – පිළිතුරු දීමෙන් වැළකී සිටිනවා ස්වාමිනී.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – ඒ කියන්නෙ ඔබ පාසල් ගිය අවධියේ විනාශකාරී ක්‍රියාවල නියැළුණු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටි නිසා තමයි ඔබ එම ප්‍රශ්නයට උත්තර දීමෙන් වැළකී සිටින්නේ.?
සාක්ෂිකරු – එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – සාමාන්‍ය පෙළ විභාගයට ඔබ පෙනී සිටියේ කවර නමකින්ද?
සාක්ෂිකරු – ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නමින්.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – ඔබට කමල් දේශප්‍රිය යනුවෙන් නමක් තිබුණද?
සාක්ෂිකරු – ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – කමල් දේශප්‍රිය කියලා කෙනෙක් ඔබ දන්නවාද?
සාක්ෂිකරු – දන්නේ නෑ. කමල් පිළිතුරු ලබා නොදෙන පුද්ගලයකු බවත්, එම නිසා අධිකරණ නියෝගවලට අවනතව පිළිතුරු ලබාදෙන ලෙස ඔබතුමා අවවාද කර තිබුණා.
විනිසුරු විකුම් කළුආරච්චි මහතා – සාක්ෂිකරුට අවශ්‍ය නම් පිළිතුරු දීමෙන් වැළකී සිටින්න පුළුවන්.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – මෙම නඩුවට අදාළව පොලිසියට පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ කවදාද?
සාක්ෂිකරු – 2015 වසරේ පෙබරවාරි මස 25 වැනිදා
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – එහෙත් පොලිස් ලේඛනවල සඳහන් වෙනවා මෙම පැමිණිල්ල භාරදුන්නේ 2015 පෙබරවාරි මස 01 වැනිදා ලෙස. එම දිනයට අදාළ දින මුද්‍රාව තමයි එම ලේඛනවල සඳහන්ව තිබෙන්නේ.?
සාක්ෂිකරු – පොලිස් මූලස්ථානයේ කටයුතු පිළිබඳ මට වගකීමක් දරන්න බෑ ස්වාමිනී.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – පොලිස් ලේඛනවලට අනුව ඔබ සඳහන් කරන දිනයට වඩා දින 24කට කලින් තමයි මෙම පැමිණිල්ල භාරදී තිබෙන්නේ.?
සාක්ෂිකරු- එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – මෙම නඩුවට අදාළ ඔබගෙන් කටඋත්තර පොලිසිය විසින් ලබා ගත්තේ කුමන ස්ථානයක සිටද?
සාක්ෂිකරු- බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්යාලයේදී තමයි මෙම කටඋත්තරය සටහන් කර ගත්තේ.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – ඔබගේ ප්‍රකාශය හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී සටහන් කර ගත්තේ ඔබ විසින් පෞද්ගලික මට්ටමින් කළ පැමිණිල්ලක් නිසා නේද?
සාක්ෂිකරු – නැහැ ස්වාමිනී, පොලිසිය කතා කළ අවස්ථාවේ මා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ. එම නිසා ඔවුන් පක්ෂ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් සටහන් කරගත්තා.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – ඔබ සඳහන් කළා දූෂණ විරෝධී පෙරමුණේ තීරණයක් මත ඔබ විසින් පොලිසියට මෙම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බව. එහෙත් එම ව්‍යාපාරයට සම්බන්ධව සිටි නීතිඥ මෛත්‍රි ගුණරත්න, උලපනේ සුමංගල හිමියන් සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන අය දිවුරුම් ප්‍රකාශ දී සඳහන් කර තිබෙනවා ඔවුන් මෙම පැමිණිල්ල පිළිබඳව දැනුවත් නොමැති බවට.?
සාක්ෂිකරු –
එය ප්‍රතික්ෂේප කරනවා. දැන් විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කරනවා.
ජ.නී. ලද්දුවහෙට්ටි මහතා – මෙය දූෂණ විරෝධී පෙරමුණේ අනුදැනුමකින් තොරව ඔබත් ඔබගේ දේශපාලන ගුරුතුමාත් වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේත් පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කළ පැමිණිල්ලක් බව මා යෝජනා කරනවා.
සාක්කිකරු – එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.
ඉන් අනතුරුව නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර දැනට අධිකරණය මඟහැර සිටින ඇන්තනී එමිල් කාන්තන් නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාගේ හරස් ප්‍රශ්නවලට සාක්ෂිකාර නිශාන්ත වර්ණසිංහ මහතා පිළිතුරු දුන්නේය.
ජ.නී. රණසිංහ මහතා
ඔබගේ දේශපාලන ගුරුතුමා වන චම්පික රණවක මහතා විදුලිබල ඇමැති ලෙස කටයුතු කළ අවධියේ විද්‍යා අමරපාල නමැති අයකු විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවාද?
සාක්ෂිකරු – ඔව් ස්වාමිනී
ජ.නී. රණසිංහ මහතා – විද්‍යා අමරපාල මහතා අතීතයේදී කොළඹ දිස්ත්‍රික්කයට ජාතික හෙළ උරුමයෙන් තරග කර තිබෙනවාද?
සාක්ෂිකරු – මතක නෑ ස්වාමිනී
ජ.නී. රණසිංහ මහතා –
විද්‍යා අමරපාල මහතා වර්තමානයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදේශකයකු ලෙස කටයුතු කරනවා නේද?
සාක්ෂිකරු – ඔව්
මෙම අවස්ථාවේ විද්‍යා අමරපාල නමැත්තා සහ මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින ඇන්තනී එමිල් කාන්තන් එක්ව සිටින බව කියන ඡායාරූපයක් ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම ඡායාරූප ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම ඡායාරූප බැලූ බැල්මට ව්‍යාජ ඒවා ලෙස පෙනී යන බව කීවේය.
අනතුරුව ඒවා පරීක්ෂාවට ලක් කළ විනිසුරු කළුආරච්චි මහතා මෙම ඡායාරූප ඔප්පු කිරීමේ භාරයට යටත්ව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසීමට අවසර දුන්නේය.
ජ.නී. රණසිංහ මහතා – මෙම ඡායාරූපයේ එමිල්කාන්තන් සමඟ සිටින්නේ විද්‍යා අමරපාල නේද?
සාක්ෂිකරු – හඳුනාගැනීමට අපහසුයි ස්වාමිනී.
ජනාධිපති නීතිඥ රණසිංහ මහතා – 2015 වසරේ විද්‍යා අමරපාල මහතා ඩුබායිවලට ගොස් එමිල් කාන්තන් හමුවී රජයේ සාක්ෂිකරුවකු වී රාඩා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන ලෙස ඉල්ලා සිටියා නේද?
සාක්ෂිකරු – ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.
ජ.නී. රණසිංහ මහතා – එම යෝජනාවට එමිල් කාන්තන් අකැමැති වීම නිසා තමයි ඔහුව මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර තිබෙන්නේ.?
සාක්ෂිකරු – මා එය ප්‍රතික්ෂේප කරනවා.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 4දාට කල් තැබිණි.
මෙම නඩුවේ පළමුවැනි විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටි අතර, දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.
තුන්වැනි විත්තිකාර සාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය. හතරවැනි විත්තිකාර ජයන්ත ඩයස් සමරසිංහ මහතා වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...