ජවිපෙ රතු අලි පැටවුන් මෙන් ආණ්ඩු විරෝධී කමිසය ඇඟ ලා ගෙන තෝරාගත් ආණ්ඩු විරෝධී සටන් පාඨ කීපයක් කොඳුරන, කපටි ආණ්ඩු විරෝධයකින් මේ පරගැති – වැඩ බැරි – හිඟන ආණ්ඩුවේ ගමන නතර කළ නොහැකි බවත් ඒ සඳහා ආණ්ඩු විරෝධී සටන ලක්ෂ සංඛ්‍යාත ජනයා සමග මහපාරට රැගෙන ආ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය දා යාපහුව මහව මැල්වත්ත හෝටල් ශ්‍රවණාගාරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘ජාතික ආරක්ෂාව බිඳ වැට්ටවීම’
“එදා ආක්රමණිකයාගෙන් දළදා හාමුදුරුවන් රැක ගැනීම සඳහා උරදුන් ගෞරවනීය පරම්පරාවකින් පැවත එන යාපහුව ප්‍රදේශයේ ඔබ සැම අද මේ රටට සිදු වෙමින් පවතින දේ පිළිබඳ සම්පූර්ණ චිත්‍රය අවබෝධකර ගතහොත් ඊට එරෙහිව නැගී සිටින බවට කිසිදු සැකයක් නැහැ. මේ කරුණු දැක්වීම, මේ රටට සිදු කරන විනාශය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ඔබට ලබා දේවි.
දැන් බලන්න, හමුදාවේ පිරිස් බලය 25%කින් අඩු කිරීමට හදනවා. ඒ යටතේ බල ඇණි 33ක් ඉවත් කෙරෙනවා. ඒ බලඇණි 33ට අයත් යුද හමුදා කඳවුරු 100කට අධික ප්‍රමාණයක් ද ඒ සමගම ඉවත් වෙනවා. ඒ අතර වෙල්ලමුල්ලිවයික්කාල් ඇතුළු යුද උපායිකව ඉතා වැදගත් උතුරේ යුද හමුදා කඳවුරු 36ක් ද වෙනවා. ඒ විතරක් ද? අපේ බුද්ධි අංශ නිලධාරින්ට අභූත චෝදනා නඟා සිරගත කොට තිබෙනවා. එසේ බුද්ධි අංශ නිලධාරින් මර්දනය හේතුවෙන් අද රාජ්‍ය බුද්ධි තොරතුරු ජාලය බිඳ වැටී තිබෙනවා. ඒ අතරේ සාලාව අවි ගබඩාව පිපිරී ගියා. ආරක්ෂක හමුදා සතු බර අවි උණ්ඩ නාවික හමුදාව මගින් මුහුදේ ගිල්වූවා. තවත් ආයුධ ප්‍රමාණයක් විදේශ රටවලට විකුණා දැමීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
එසේම, අපේ ආරක්ෂක හමුදාවන් ‘අතුරුදහන් කරවීම’ යන යුද අපරාධය සිදු කළ බවට චෝදනා කොට දෙස් විදෙස් අධිකරණවල ඔවුන්ට විරුද්ධව නඩු ඇසීමට හැකි නීතිමය ප්‍රතිපාදන දැන් සැකසී අවසන්. මේ ආණ්ඩුව ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ සම්මත කළා. එමගින් අර්ධ අධිකරණ කොමිසමක් පිහිටුවනු ලැබුවා. දැන් එම කාර්යාලයේ ප්‍රධානීන් ලෙස කොටි හිතවාදීන් පත්කොට තිබෙනවා. එම කාර්යාලය අපේ රණවිරුවන්ට එරෙහිව ‘අතුරුදහන් කරවීම’ යටතේ චෝදනා හදන චෝදනා ෆැක්ටරියක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම දෙවනුව ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්රඥප්තිය’ පනත නමින් තවත් පනතක් සම්මත කළා. එමගින් රණවිරුවන්ට එරෙහිව ‘අතුරුදහන්’ කරවීම යන චෝදනාව යටතේ නඩු ඇසීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට පුළුවන්. ඒ වගේම ඉහත ප්රඥප්තියට අත්සන් කළ රටක අතුරුදහන් කරවීම යන චෝදනාව යටතේ නඩු පවරනු ලැබූ අපේ රණවිරුවකුව ඒ රටට භාර දීමට අපි බැඳී සිටිනවා. ඒ ප්රඥප්තියට අත්සන් නොකළ රටක් අපේ රණවිරුවකුට එරෙහිව ඒ රටේ අධිකරණයක නඩුවක් පැවරුවොත් ඊටත් නීතිමය ප්‍රතිපාදන සලසා දීමට මේ ආණ්ඩුව කටයුතු කළා. ඒ ‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත’ සංශෝධනය කිරීමෙනුයි. මේ පනත් තුන එක්ව ගත්විට තම රටේ රණවිරුවන් දඩයම සඳහා බලගතුම යාන්ත්‍රණය සාදා දුන් ආණ්ඩුව ලෙස මේ ආණ්ඩුව ලෝක ඉතිහාසයට එක් වෙනවා. මේ සියල්ල අපට පෙන්වන්නේ කුමක් ද? අපේ ආරක්ෂක හමුදාවන් දුර්වල කොට, දුර්මුඛ කරන බවයි. මේ රටේ ජාතික ආරක්ෂාව ඉතාමත් බරපතළ ලෙස බිඳ වට්ටවා ඇති බවයි. මේ මා ඉහත කියූ චිත්රයේ එක් කොටසක්.
‘ආර්ථිකය බිඳ වැට්ටවීම‘
අද රටේ ආර්ථිකයට සිදු වන්නේ කුමක් ද? අපේ රටේ අධිනාගරීකරණයක් සිදු නොවුණේ, දැනටත් ජනගහනයෙන් 70%ක් ග්‍රාමීය පෙදෙස්වල වෙසෙන්නේ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ඒ ප්‍රදේශවල තිබෙන නිසයි. මාර්ග, පාසල්, රෝහල් ආදිය යම් ප්‍රමිතියකින් පවත්වාගෙන යන අතරේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් ද ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ලැබී තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය ශ්‍රමිකයා අඩු වැටුපට නගරයේ රැකියාවට පැමිණීම තවමත් බහුල ලෙස සිදුවන්නේ නැහැ. නමුත් ගෙවී ගිය වසර තුන තුළ සිදු වූයේ කුමක් ද? වත්මන් පාලකයන් අපේ රටේ සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කෘතික ප්‍රතිපත්ති විදේශ බලවතුන්ගේ උවමනාවන් අනුව සකසමින් සිටිනවා. ස්වදේශිකයාගේ ආරක්ෂාව සඳහා පැවැති නීති ඉවත් කරලා විදේශිකයාට ආර්ථිකයේ දොර විවෘතකර දීමත් සිදු කරනවා. මේකට තමයි ‘නව ලිබරල්වාදය’ කියන්නේ.
‘සිංගප්පූරුවෙන් සහල්’
සිංගප්පූරුව සමඟ අත්සන් තැබූ වෙළඳ ගිවිසුම මගින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළු විෂ ද්‍රව්‍ය පැමිණීම ද සිදු වෙනවා. නමුත් බලන්න, එමගින් ග්‍රාමීය ආර්ථිකය විනාශ කිරීමට ඉඩ හදා ගෙන තිබෙන අයුරු. සිංගප්පූරුවෙන් සහල් ආනයනය කළොත් ඒවාට සම්පූර්ණයෙන් බදු සහන ලැබෙනවා. මියන්මාරයේ, තායිලන්තයේ සහල් අතිරික්තයක් තිබෙන කාලයට ඒවා රැස්කර ගෙන ‘මේඞ් ඉන් සිංගප්පූර්’ කියලා ගහලා නුදුරේදීම ලංකාවට එවාවි. එවිට ඔබේ වී අස්වැන්නට, සහල්වලට වෙළඳපොළේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබලාට වී වගාව අතහැරලා නගරයට අඩු වැටුපට වැඩ කරන්න යන්න වේවි. මේ ගිවිසුම සහ දෙසැම්බරයේදී අත්සන් තබන එට්කා ගිවිසුම මගින් විදේශ ශ්‍රමිකයන් අඩු වැටුපට ලංකාවට ගෙන එන්නට පුළුවන් නිසා, අපේ ශ්‍රමිකයාගේ වැටුපත් අඩු වෙනවා. ඔබ නගරයට යන විට ඒ අඩු වැටුපට තමයි සේවය කරන්න වෙන්නේ.
‘ඉඩම් විදේශිකයන්ට‘
දැන් විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව ගැනීමට නීති හදලා තිබෙනවා. ඒ අතරේ බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙනවා. ඒ ඔබට ආදරේට නොවෙයි. එහෙම කළාම අවසානයේදී මොකද වෙන්නේ ? වී මිල බස්සලා, ග්‍රාමීය ආර්ථිකය වට්ටලා, විකුණා ගන්න බැරි විදිහට තිබුණු ඉඩමට සින්නක්කර ඔප්පුව දුන්නාම ග්‍රාමීය ගොවි ජනතාව ඒවා විකුණලා රැකියා හොයාගෙන නගරයට යාම සිදුවන්නේ නැද්ද? ඒ විකුණන ඉඩම ගන්නෙ කවුද? ස්වදේශික ව්‍යාපාරිකයන් ද? නැහැ. ඔවුනුත් අද මේ බදු පෝරියල් එක නිසා හතරගාතෙන් වැටිලා ඉන්නේ. ඒ අනුව සක්‍රීය වන ග්‍රාමීය ඉඩම් වෙළඳපොළේ ඉඩම් ටික යන්නේ විදේශික සමාගම් අතට.
ඒ වගේම විදේශ විනිමය පාලන පනත සංශෝධනය කරලා මේ රට තුළට මහ බැංකුවට රහසේ ඩොලර්, පවුම්, යෙන් ගෙන ඒමට ඉඩකඩ හදලා තිබෙනවා. දැන් කොටි ඩයස්පෝරාව සතුව තිබූ කළු සල්ලි ටික ලංකාවට එනවා. ග්‍රාමීය ජනතාව විකුණන ඉඩම්, ඒ වගේම මහල් නිවාස සංකර්ණවල නිවාස මේ සල්ලිවලින් ඔවුන් මිලදී ගන්නවා. ව්‍යාපාර අරඹනවා. දැනටමත් කටුනායක සිට යාපනය දක්වා ප්‍රවාහන සේවා කොටි ඩයස්පෝරාවේ මුදලින් අරඹා තිබෙනවා. දැන් ඔබට පැහැදිලියි ‘මේ නව ලිබරල්වාදී ආර්ථිකය ඇතුළේ අවස්ථාව හදන්නේ විදේශිකයාට. ගහන්නේ ස්වදේශිකයාගේ ආර්ථිකයටයි’ කියලා. අපේ රටේ ස්වෛරීභාවය රැකී තිබීමට මූලික හේතුවක් වී ඇත්තේ අපි ආහාර සුරක්ෂිතතාව සහිත රටක් වීම. නමුත් සිංගප්පූරුවෙන් සහල් ටික ගෙනත් ඒකත් නැති කරන්නයි මේ හදන්නේ.
‘කුඹුරේ මාළු බෑම – සෝලා පැනල් සවි කිරීම’
මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය වට්ටනවා. ඉබේ වැටෙනවා නොවෙයි ඒක කරන්නේ තමන් බලයට ගෙන ආ බටහිර බලවතුන්ගේ, ඉන්දියාවේ උපායමාර්ගික සැලසුමට අනුව. කුඹුරුවල මිරිදිය මාළු හැදීමේ ව්‍යාපෘති, සෝලා පැනල් සවි කිරීමේ ව්‍යාපෘති එන්නේ අපේ ආර්ථිකයේ පදනමට ගහන්න. ආහාර සුරක්ෂිතතාව අහිමි කරන්න. අර ජනාධිපති කීව වගේ ඔහු මේ රට යළි අවුරුදු 1000කට පෙර තිබූ තැනට ගෙන යනවා. ඉතිහාසයේ හිටපු දුර්වලම පාලකයා වූ පස්වැනි මිහිඳුගේ පාලන කාලය වෙත රට ආපහු ගෙන යමින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා නූතන පස්වැනි මිහිඳු බවට පත් වී තිබෙනවා. රට අවුරුදු 1000කට පෙර තිබූ තැනටම යනවා. නූතන පස්වැනි මිහිඳු ඉන්නවා. අපි තවම දන්නෙ නැත්තෙ ‘නූතන චෝල ආක්රමණිකයා රාජරාජ කවුද? කියලා විතරයි. මෙහෙම ගිහින් අවසානයේ මේ රට විදේශ රටවල කොලනියක් බවට පත්වේවි.
‘පා.ච. රණවක කී ගොන් කතාව’
ඒ වගේම බ්‍රෝකර් අගමැති මේ රටේ මූලෝපායික වශයෙන් වැදගත් ආර්ථික සම්පත් විදේශ රටවලට විකුණා දමමින් සිටිනවා. නව සේද මාවත ඉදි වූවාට පසු ලෝකයේ දියුණුතම වරායවල් 10 අතරට ගැනෙන හම්බන්තොට වරාය චීනයට කුණුකොල්ලයට විකුණා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කර අවසන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ඉදිකළ මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දීමට යනවා. මම දැක්කා ඉංජිනේරු පා. ච. රණවක ඇමැතිවරයා පවසා තිබෙනවා, ‘දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැදිය යුත්තේ කටුනායක ආසන්නයේ’ කියලා. ඒක මොන ගොන් කතාවක් ද? කටුනායක කාලගුණ තත්වය අයහපත් වන විට විකල්පයක් ලෙසයි ස්ථානයක් සෙවිය යුත්තේ. අපේ රටේ ජාත්‍යන්තරව පිළිගත් ගුවන්ගමන් විශේෂඥයන් තමයි ඒ සඳහා සුදුසුතම මත්තල හා වීරවිල බවට නිර්දේශ කළේ.
‘රාජතාන්ත්‍රික බැලන්ස් කිරීම’
හම්බන්තොට වරාය චීනයට දීලා දැන් මත්තල ගුවන්තොටුපල විතරක් නෙවෙයි කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ගාලු වරාය, ත්‍රිකුණාමල වරාය (ඉන්දීය – චීන – සිංගප්පූරු හවුල් සමාගමකට) දෙන්න හදනවා. ඒකට මේ ආණ්ඩුවේ ‘සුවපති’ කියන්නේ රාජතාන්ත්‍රික බැලන්ස් කිරීම කියලයි. දෙසැම්බරයේ එට්කා අස්සන් කළාම අපේ රටේ රැකියා වෙළදපොළ ඉන්දියන් ශ්‍රමිකයන්ට විවෘත වෙනවා. සේවා ආර්ථිකය ඉන්දියන් සමාගම්වලට ඩැහැගැනීමට හැකි වෙනවා. අවසානයේ දී මේ රට ඉන්දියානු අර්ධ කොලනියක් වේවි. එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට කියා දීපු පක්ෂයේ නූතන නායකයන් රෝ ඔත්තු සේවාවට විකිණිලා. අද මේ මහා ඉන්දියානු ඩැහැගැනීමට විරුද්ධව කටක් අරින්නේ නැහැ.
මේ ආකාරයට මේ නව ලිබරල්වාදී ව්‍යාපෘතියට ඉදිරියට යන්න දුන්නොත් මේ රටේ ස්වදේශික ජනතාව මේ රට ගිලගන්න ආපු විදේශික සමාගම් ඉදිරියේ අසරණ වේවි. රටේ ජාතික ආරක්ෂාව බිඳ වට්ටවා, ආර්ථිකය බිඳ වට්ටවා, අවසානයේ රට දෙකඩ කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනත් ගෙන ඒමට මේ ආණ්ඩුව තම විදෙස් හාම්පුතුන්ගේ උවමනාව අනුව කටයුතු කරනවා. රට දෙකඩකර අවසානයේ උතුරේ ගොඩනැගෙන පාලනයත් ඉන්දියාව විසින් තමන්ට අවශ්‍ය පරිදි යොදා ගනිවී. මේ බියකරු අනාගතය අබියස සිටින අපිට තවදුරටත් නිහඬව සිටිය හැකි ද? මේ මහා පින්තූරය දැක්කට පස්සේ හුදු මතුපිට තලයේ විරෝධය දැක්වීමකින් නතර විය හැකි ද ?
කපටි ආණ්ඩු විරෝධය
අද විපක්ෂය විදිහට මතුපිටින් ආණ්ඩු විරෝධයක් පෙන්වා ගෙන ඉන්න දෙමළ ජාතික සන්ධානයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ කපටි ආණ්ඩු විරෝධයක්. අද රතු අලිපැටියාට ඇත්තේ තමන්ගේ නියෝජ්‍ය ඇමති වරප්‍රසාද සහිත පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය රැක ගැනීම පමණයි. සැබෑ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හැත්තෑවක් නියෝජනය කරන විට මෙයා මන්ත්‍රී ධුර හයට ඉහත තනතුර දරනවා. ඔවුන් කරන්නේ ආණ්ඩු විරෝධී කමිසය ඇඟ ලා ගෙන තම වරප්‍රසාද රැක ගැනීම. මේ චෞර ආණ්ඩුව ගෙදර යැවීම සඳහා අපි සැබෑ ආණ්ඩු විරෝධී ජනකොටස් පෙළගැස්විය යුතුයි. එය මේ රටට සිදු වන මහා විපත තේරුම්ගත් රටට ආදරේ ගැන සෑම ජන කොටසකගේම අත්හළ නොහැකි වගකීමක්”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/08/14
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...