පුරවැසි කොලම

වර්තමානයේ රටේ පවතින තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කුමක්ද?
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රධානම අනන්‍යතා දෙකක් තියෙනවා. එකක් නම් මිහිඳු හිමි විසින් ගෙන ආ බුදු දහමින් පෝෂණය වී ගොඩනැඟුණ බෞද්ධ සංස්කෘතියේ යාවජීව ස්වරූපයයි. දෙවැන්න නම් චෝල, පාණ්ඩ්‍ය සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණවලින් රටත් ජාතියත් බේරා ගැනීමේ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීමයි. එහි අවසාන අදියර වශයෙන් අප දකින්නේ රට තුළම දේශය දෙකඩ කිරීමේ තිස් අවුරුදු යුද්ධයේ නිමාව හා රණවිරු කැපවීමයි.

අද වන විට සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?
ඉතිහාසයේ මෙම ශේ‍ර්ෂ්ඨ අනන්‍යතා දෙකම අකාමකා දැමීමේ දේශපාලනයෙන් මෙහෙයවන දේශද්‍රෝහී ප්‍රතිපත්තියක්. එක් අතකින් ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැඟී ඇති සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාව හෙවත් බලවේගය ක්‍රමිකව දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අනෙක් අතින් මතු පරම්පරාවට මෙතෙක් ඉතිරිව ඇති රටේ සම්පත්, භූමිය, ගහකොළ, ගංගා සියල්ලම උදුරාගෙන විජාතිකයන්ට තුට්ටුවට දෙකට පවරාදීමේ ජාතිද්‍රෝහී කුමන්ත්‍රණයක්.
අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තිබේ. වර්තමාන යහපාලන යමපල්ලන් විසින් හම්බන්තොට, මත්තල විකුණා දැමීමේ අපරාධයට වඩා එහා ගිය පුළුල් ජාතික විනාශයක සැලැසුම් තවදුරටත් සකස් කරමින් සිටින බවයි. මුළු රටම ආර්ථික වශයෙන් බංකොලොත් හා වළේ වැටී ගොඩඑන්නට බැරි තැනක තිබෙන බව ඒත්තු ගැන්වෙන ආර්ථික ඝාතක සැලැසුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව ඉතා පැහැදිලියි. එවිට සියලු රාජ්‍ය ආයතන, භූමිය, ගංගා, ඇළ – ‍ෙදාළ, වනාන්තර ආදිය විකිණීම පහසුවේ. ආර්ථිකය, රට ගොඩගන්නට නම් මේ සියල්ල විදේශිකයන්ට ආයෝජනයට පැවැරිය යුතුය යන මතය ඉදිරියට ගෙන ඒම පහසුයි.

මේ ආණ්ඩුව ආර්ථික ඝාතන වැඩපිළිවෙළක් ගෙන යන බවද ඔබ කියන්නේ?
හම්බන්තොට වරාය ඩොලර් බිලියන 292ක් වැනි සොච්චම් මුදලට අවුරුදු 99 කටම චීනයට පැවැරීම අහස පොළොව නුහුලන අපරාධයක්. වරායට ගත් ණය ගෙවීමට බැරි බව කියමින් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබිය නොහැකි සුදු අලියෙක් යන ප්‍රචාර පිට ප්‍රචාර ගෙන ගිය හැටි අපට තවම මතකයි. ඔය කියන තරම් ආර්ථික වාසියක් ගත නොහැකි නම් චීනය අවුරුදු 99කට මිලදී ගත්තේ (බදු) ඇයි? ඉන්දියන් සාගරයේ වැදගත්ම නාවික ගමනාගමන මාර්ගය ආසන්නයේ පිහිටි හම්බන්තොට වරාය කොතරම් ධන උල්පතක්ද යන්න පවා ජනතාවගේ සිත්වලින් අෑත් කළා. රැකියා කෙතරම් නම් අපේම තරුණ පරම්පරාවට ලබාදීමට තිබුණද?

හම්බන්තොට වරාය බදු දීම අපරාධයක්ද?
ඔව්. හම්බන්තොට අවුරුදු 99කට බදු දීම මඟින් අනාගත පරම්පරාවේ වටිනාම සම්පතක් විදේශිකයන්ට පැවැරීමට අවුරුදු පහකට බලයට ආ ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද? මත්තල ගුවන්තොටුපොළ වසර 40 හෝ 45කට ඉන්දියාවට ස්ථීර ලෙසම පවරන බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදීත් තදින්ම තහවුරු කළා. මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කළේ විවිධ හේතු මත කටුනායකට ගොඩ බැස්සවීමට හෝ ඉන්දියාවේ ගොඩබැස්සවිය නොහැකි ගුවන්යානා ගොඩබැස්සවීමේ ගුවන් අංගණයක් හා සංචාරක පහසුකම් සලසන ගුවන් අංගණයක් ලෙසයි. එක්වරම එම තත්ත්වයත් වර්ධනය නොවන බව දැන දැනම හා ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් සකස් නොකර මේ වටිනා ජාතික සම්පත ඉන්දියාවට පැවැරීමට යනවා.

ඇමැති නිමල් සිරිපාල කියා තිබෙනවා කවුරු විරුද්ධ වුණත් ‘මත්තල’ ඉන්දියාවට පවරන බව.
යහපාලන යමපල්ලන් හා එක් වී සිටින නිමල් සිරිපාල ද සිල්වා යනු මැතිවරණයේදී ජනතාව විසින් පයින් ගසා කුණු කූඩයට විසි කළ අන්ත පරාජිත දේශපාලනඥයෙක්. රටේ අනාගත පරපුරට අයත් ‘මත්තල’ ජාතික සම්පත ඉන්දියාවට පැවැරීමට දේශපාලන කුණු කූඩයට විසි වී සිටින නිමල් සිරිපාල ද සිල්වාට ඇති අයිතිය කුමක්ද? යහපාලන දේශපාලනඥයන්ට ඇති අයිතිය කුමක්ද?

අමාත්‍ය සාගල රත්නායක වරක් පුවත්පතකට පවසා තිබුණේ හම්බන්තොට ආර්ථික කලාපය සඳහා අක්කර 62,845ක් ඉල්ලා ඇති බවයි. එම ඉඩම් මනින බව පසුව පුවත්පත් වාර්තාවක පළ වුණා. ඉන්දියාව සම්බන්ධයෙන් නොකඩවා පළවන විදේශීය ප්‍රවෘත්ති අනුව ඉන්දියාවට ත්‍රි’මලේ ඉතිරි තෙල් ටැංකි, ගාලු වරාය, පලාලි ගුවන්තොටුපොළ, කන්කසන්තුරේ වරාය හා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය දීර්ඝ කාලීනව බදු දීම සම්බන්ධව රහස් කතා බහ ඉන්දියාව හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර දැන් සිදුවෙනවා.

පැහැදිලි හේතුවක් උපන් බිමේ උරුමක්කාරයන්ගේ සම්පත් විජාතිකයන්ට ඉතා අඩු මුදලට පැවැරීමේදී දක්වන්නට රනිල් – මෛත්‍රි ආණ්ඩුව මේ දක්වා අසමත් වෙලා. මවාපාන එකම කරුණු පාඩු යන්නයි. විජයදාස රාජපක්ෂ පැවැති තනතුරුද අත්හැර ආණ්ඩුව හා නොහොඳ නෝක්කඩු ඇති කරගත් දිනවලදී කීවේද අවුරුදු පහකට බලයට ආ ආණ්ඩුවට අවුරුදු 99කට රටේ සම්පත් විජාතිකයන්ට බදු දීමට බලයක් හෝ අයිතියක් නැති බවයි. එහෙත් යළි ඇමැති තනතුරක් ගත් නිසා විජයදාස දැන් නම් ඒ කතාව කියන එකක් නෑ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් මේ ආකාරයට රටේ දේපොළ බදු දුන්නා නේද?
චන්ද්‍රිකා පවා ගත් තීන්දු තීරණ සැබැවින්ම රනිල් – මෛත්‍රි ආණ්ඩුව මෙන්ම කවදත් එජාප ආණ්ඩුව ගත් තීරණවලට සමානයි.
රජයේ වටිනා වතු කොම්පැනිවලට තුට්ටු දෙකට ඇය බදු දුන්නා. අද ඒ වතු විනාශ වී පමණක් නොව බොහෝ දේශපාලනඥයන්ගේ උසි ගැන්වීමෙන් ජනතාව ඒ ඉඩම් බලයෙන් අල්ලාගෙන. ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එමිරේට්ස් වෙත අඩු මුදලකට බදු දුන්නා. ‘ශ්‍රී ලන්කන් එයාර් ලයින්’ යන අපේ ජාත්‍යන්තර නාමය වෙනුවට ඉතිරිව ඇත්තේ ‘ඒඪප ඹ්චදඬච’ යන්න පමණයි.

මේ වන විට එයාර් ලංකා ආයතනයේ දූෂණ කොමිසම හරහා එළිවෙමින් තිබෙනවා. අති විශාල මූල්‍ය පාඩුවක් දරන ගුවන් සේවයට අලුතින් ගුවන් යානා මිලදීගෙන දියුණු කිරීමට පසුගිය ආණ්ඩුව ගත් පිළියම වළක්වන ලද්දේ වර්තමාන ආණ්ඩුව විසින්. චන්ද්‍රිකා ‘වෝටර්ස් එජ්’ බත්තරමුල්ලේ ආයතනයට කුණු කොල්ලයට රජයේ ඉඩම් ලබාදීම නිමවූවේ ඇයට උසාවි ගොස් විශාල දඩයක් ගෙවීමට සිදු වීමෙන්.

එජාපය තමයි පෞද්ගලීකරණය ආරම්භ කළේ?
ඔව්. එජාප බලයට ආවේ කවදාද කවදත් කළේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමයි. වසා දැමීමයි. ඉතා අගනා හා ස්ථාවරව තිබූ රජයේ ‘ලංගමය’ කෑලි කෑලිවලට කඩා විනාශ කර පාඩු ලබන තත්ත්වයට ගෙන ආවේ එජාප විසින්. අනතුරුව රටට අදත් ශාපයක්ව ඇති පෞද්ගලික බස් ව්‍යාපාරය ඇරැඹුවා.

වර්තමාන ආණ්ඩුව ගෙන යන ආර්ථික ඝාතක වැඩපිළිවෙළ තුළ ඇත්තේ සියලු රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලැබීමට උපාය මාර්ග රහසේ ගෙන ඒමයි. ඒවා දියුණු කිරීම නොවේ. 2017 නොවැම්බර් 29දා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විශේෂ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි ආණ්ඩුව තීරණය කළ රාජ්‍ය ආයතන 12ක ලැයිස්තුවක් ඉදිරිපත් කළා.

ජාතික කඩදාසි සංස්ථාව, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා සිමෙන්ති සමාගම, ලංකා සළු සල, ලංකා ලුණු සංස්ථාව, ලංකා ලේලන්ඩ්, ලංකා අශෝක් ලේලන්ඩ්, හිඟුරාන සීනි කම්හල, ලංකා සීනි සමාගම, පරන්තන් රසායනික සංස්ථාව, ග්‍රැනයිට් ලංකා ලිමිටඩ් හා ලංකා ඛනිජ වැලි සංස්ථාව ඒ අතර තිබුණා.මේ ආයතන සියල්ලම එක සේ පාඩු ලබන්නේද නැද්ද යන්න පවා ප්‍රකාශ වුණේ නෑ.

අද වන විට නුවරඑළිය, නකල්ස් කඳුවැටිය අක්කර දහස් ගණන් විජාතිකයන්ට විකිණී අවසානයි. මුලතිව්, අම්පාර, විල්පත්තුවේ වනාන්තර අක්කර දහස් ගණන් එළිකරමින් හෝටල්, නිවාස තනවද්දී විෂය භාර මෛත්‍රිපාල සිරිසේන මහතා නිහඬයි. සිංගප්පූරුව, ජපානය හා ඉන්දියාව එක්වී පිහිටුවීමට යන ආර්ථික කලාපයට ත්‍රි’මලේ අක්කර 25,000ක් දීමට තීරණය කර තිබෙනවා. විදේශ රාජ්‍යයන්ට තව තවත් මෙබඳු ඉඩම් පැවැරීම කෙළවරක් නැහැ.

මේ ආකාරයට ආණ්ඩුව ඉදිරියට යෑම රටට අහිතකර බව ඔබගේ අදහසය.
“ශ්‍රී ලංකාව තිස් අවුරුදු යුද්ධයෙන් පසු ඇතැම් රටවලට ලංකාව අස්ථාවර කිරීමට අවශ්‍ය වුණා. ඔවුන්ට ශ්‍රී ලංකාව ඊළඟ සිංගප්පූරුවක් වීම වළක්වන්නට අවශ්‍ය වුණා. ඒ නිසා යුද්ධය අවසන් වූ විට ඔවුන් නැවත ඒ කාර්යය ආරම්භ කළා.”

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සිත්තරවින් (හිටපු නාවික හමුදා) (2017 සැප්තැම්බර් 23 පුවත්පත් සාකච්ඡාව, ඉරිදා ලංකාදීපය.)
අපට පැහැදිලි වන්නේ හිටපු නාවික හමුදාපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කලාපයේ රාජ්‍යයන්ගේ අවශ්‍යතාව හා ඒ පසුපස සිටින බලවත් රාජ්‍යයන්හි ඕනෑකම ඉටු කිරීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන බවයි.

යහපාලන ආණ්ඩුවට තව මාස දහඅටකට ආසන්න කාලයක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය තවත් බලයේ ඉන්නටයි. ජනතාව ආණ්ඩුවේ රනිල්ගේ කණ්ඩායම හෝ මෛත්‍රිගේ කණ්ඩායම සමඟ නැති බව ඔවුන් හොඳින්ම තේරුම් ගත්තේ ප්‍රාදේශීය සභා ඡන්දෙයෙන්. රටේ සම්පත් විකුණා විදේශික රාජ්‍ය හා බහුජාතික සමාගම් පිහිටෙන් කෙසේ හෝ ඉදිරියේ රැඳී සිටීමේ අපේක්ෂාව හා කුමන්ත්‍රණය අප තේරුම් ගත යුතුයි.

ආණ්ඩුව පවසන්නේ ඔවුන් යහපාලනයක් ගෙන යන බවයි.
මහ බැංකු මංකොල්ලයෙන් ආර්ථිකය වැටී ගියද රනිල්ට හෝ ආණ්ඩුවට ගණනක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් පත් කළ අගමැති තවම ඔහුව ගෙන ඒම මඟ අරිනවා. රුපියල් කෝටි දාහක් ලංකා බැංකු අධ්‍යක්ෂවරයකුට ණයක් ලෙස දීම රනිල් වික්‍රමසිංහ විසින් සාධාරණීයකරණය කර තිබෙනවා. රාජ්‍ය බැංකු මුදල් පෞද්ගලික බැංකුවලට තැන්පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී නතර වූ බව අපට මතකයි. හැම තැනම රාජ්‍ය අංශයත් මැති ඇමැති දේශපාලනඥයෝ රාජ්‍ය මුදල් ජයටම හොරකම් කරනවා. ගසා කනවා. එසේ කරමින් කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. යහපාලනය ගැනයි.

රාජ්‍ය බැංකු, විදුලිබලය, ජලය, අධ්‍යාපනය, අධිවේගී මාර්ග, දුම්රිය හැම සම්පතක්ම විකිණීමට ආණ්ඩුව අර අඳිනවා. ඔවුන් කියන්නේ සියල්ල පාඩු කියායි. ඕනෑකමින් පාඩුවන්නට හැර එසේ කරනවා. අධිවේගී මාර්ගවල ආදායම නඩත්තුවටවත් මදියැයි ආණ්ඩුව පසුගියදා පැවැසුවා. දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවක් අධිකාරියක් කිරීමේ කතාබහ එන්නේ එයද විකුණා දැමීමටයි.

එක්කෝ ජනතාව පාරට බැස මේ විපත් නතර කරන්නට බල කළ යුතුයි. නැතිනම් ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා පෙරමුණ ගත යුතුයි. ඒකාබද්ධ විපක්ෂය ඊට සූදානම් නැති බව පෙනෙනවා. මේ යන ගමන නිමාවන්නේ උපන් බිමේ උරුමක්කාරයන්ගේ සියලු දේ විජාතික සමාගම්වලට තුට්ටුවට දෙකට දී දේශයේ දූ පුතුන් ඔවුන්ගේ කුලීකරුවන් වීමෙන්. අපේ ජාතික ගුවන් සේවය පාඩු නොව හිතාමතා දේශපාලනඥයන් විසින් පාඩු හා විනාශ කළා. ඔවුන්ට අවශ්‍ය එය විකුණා දමන්නටයි. ඒ සඳහා හොඳම දෙය පාඩුව පෙන්වීමයි.

ජනාධිපති නීතිඥ කල්‍යානන්ද තිරිණගම
මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More