පුරවැසි කොලම

ඉංග්‍රීසින් විසින් ලංකාවට ඊනියා නිදහස ලබා දෙන ලද්දේ 1948 බව සියලු දෙනා ම දනිති. එහෙත් ලංකාවට නිදහස ලබා දීමේ අභිලාශය එංගලන්තය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1943 දී බව බොහෝ දෙනා නොදනිති. ඊටත් පෙර එනම් 1940 දසකය ආරම්භ වන විට ම ලංකාවේ පාලනයෙන් නිදහස් වීම ගැන එංගලන්තයේ සාකච්ඡා වෙමින් පැවතුණු බව ද බොහෝ දෙනා දන්නේ නැත. ඒ වන විට ලංකාව ඔවුන්ගේ පාඩු ලබන යටත්විජිතයක් වීම ඊට ප්‍රධාන හේතුවයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ වහා ම ලංකාවට නිදහස ලැබෙන්නට නියමිත ව තිබූ බව ද බොහෝ අය නොදනිති. අද බොහෝ දෙනා නොදන්නා ඒ ඇත්ත එවකට ලංකා දේශපාලනයේ සිටි ඩී.එස්. සේනානායක ඇතුළු නායකයෝ සියලු දෙනා ම පාහේ දැන සිටියෝ ය.

ඒ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ජ්‍යෙෂ්ඨතම නායකයා වූ ඩී.බී. ජයතිලක කලින් ම දේශපාලන වේදිකාවෙන් ඉවත් කරන්නට ඩී.එස්. සහ ඔහුගේ පවුල් කල්ලියට අවශ්‍ය වූයේ ඒ නිසා ය. නිදහස් ලංකාවේ පළමු වැනි අගමැතිවරයා වීමේ ඉහළ ම සුදුසුකම තිබූ නායකයා ප්‍රාමාණික උගතකු වූ ඩී.බී. ජයතිලක බවට මගේ කලින් සටහනේ සඳහන් කිරීම අහම්බයක් හෝ හිතළුවක් හෝ නොවේ. ‘නිදහස එපා කී පියා’ දෙවැනි කොටසට පූර්විකාවක් වශයෙන් මේ විස්තරය ලිවිය යුතු යැයි සිතිණි. එය, ඩී.බී. ජයතිලක ගැන මා කළ සඳහන තහවුරු කිරීමක් පමණක් නොවේ. නායකයන් බිහි කර ගැනීමේ දී ජාතියක් වශයෙන් අපට තිබෙන උපන් ගෙයි දෝෂය ආරම්භ වූයේ කෙසේ දැයි සිහිපත් කර ගැනීම ද සඳහා ය.

ඩී.බී. ජයතිලක දිළිඳු පවුලක උපන් අයෙකි. එහෙත් ඔහු පිරිවෙන් අධ්‍යාපනයක් ලබා සිංහල භාෂාව හා බෞද්ධ දර්ශනය පිළිබඳ පඬිවරයකු බවට පත් විය. පසු ව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පෙරදිග භාෂා පිළිබඳ ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. ඊට අමතර ව එංගලන්තයේ දී නීතිය හදාරා බැරිස්ටර් විභාගය සමත් විය. ඩී.බී. නීතිය උගත් නමුත් කිසි දාක වෘත්තීය නීතීඥයකු ලෙස මුදල් උපයන්නට උසාවි ගියේ නැත. ඔහුගේ ප්‍රධාන උනන්දුව තිබුණේ ඉගැන්වීම, අධ්‍යාපනය සහ දේශපාලනය යන විෂයන් කෙරෙහි ය. මෙරට ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් පිහිටුවීම සඳහා පුරෝගාමී ව කටයුතු කළ ඔහු 1898 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයෙහි (Buddhist High School) විදුහල්පති ලෙස පත් විය. ඉන් පසු ව කොළඹ ආනන්ද විද්‍යාලයෙහි (English Buddhist School) උප විදුහල්පති ධුරය දරා අනතුරු ව විදුහල්පති ලෙස පත් වූයේ ය. 1898 දී බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ සභාපති පදවියට පත් වූ හෙතෙම මිය යන තෙක් ම ඒ තනතුර දැරී ය.

ඔහුගේ කතා සහ ලියූ ලිපි ද නායක පෞරුෂය ද හේතු කොට ගෙන 1915 දී ඉංග්‍රීසි ආණ්ඩුව යුද නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ ය. 1923 දී ලංකා ජාතික සංගමයේ සභාපති තනතුරට පත් වූ ජයතිලක ඒ ආසන්න කාලයේ දී ම ලංකා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වී 1930 දී එහි උප සභාපති වශයෙන් ද තේරී පත් වූයේ ය. එහි සභාපති තනතුර නිල බලයෙන් දරන ලද්දේ ආණ්ඩුකාරයා විසිනි. පසු ව ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ ඔහු ස්වදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් සහ සභා නායකවරයා වශයෙන් කටයුතු කළේ ය. 1935 සිට 1941 දක්වා ලංකා රාජකීය ආසියාතික සමිතියේ සභාපතිවරයා වූයේ ද ජයතිලකයි. සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම සංස්කාරකවරයා වූ හෙතෙම 1927 සිට 1941 දක්වා එ් කාර්යයෙහි නිරත විය.

‘ලංකාවේ ඔටුනු නොපළන් රජු’ ලෙස හැඳින්වෙන, මේ සා ඉහළ ප්‍රාමාණිකයකු වූ ඩී.බී. ජයතිලක දේශපාලනයෙන් ඉවත් කර සියුම් සැලැස්මක් (සැබැවින් ම නම් කුමන්ත්රසණකාරී සැලැස්මක්) ඔස්සේ ලංකාවේ පළමු වැනි අගමැති ධුරයට පත් වූ ඩී.එස්. සේනානායක යනු කවරෙක් ද? ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කළ නොහැක්කේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ව ඒ පිළිබඳ පැහැදිලි තොරතුරු ප්‍රකට නැති බැවිනි. එහෙත් දොන් ස්පේටර් සේනානායකගේ පුතුන් තිදෙනා වූ ඩී.එස්., එෆ්.ආර්. සහ ඩී.සී. යන තිදෙනා අතරින් උසස් අධ්‍යාපනයක් ලැබූ එක ම තැනැත්තා එෆ්.ආර්. සේනානායකයි. කෙනකුගේ අඩු අධ්‍යාපන සුදුසුකම් නිසා ඔහු හෙළාදැකීම හෝ අවමානය පත් කිරීම හෝ නොකළ යුතු බව සැබෑවක් නමුත් රටක නායකත්වයට, විශේෂයෙන් ම වසර 133ක් පූර්ණ යටත්විජිතයක් ලෙස තිබී නිදහස් වන රටක පළමු අගමැති තනතුරට පත් විය යුත්තේ කෙබඳු නායකයෙක් ද? අපේ රටේ ඉරණමේ ලියවී තිබී ඇත්තේ රට ගැන, අනාගතය ගැන, පැහැදිලි දර්ශනයක් තිබූ ‘ඔටුනු නොපළන් රජකු’ වීසි කර දමා ‘කැලෑ ජෝන්’ කෙනකු නායකත්වයට පත් කර ගන්නට නොවේ ද?

නිදහස එපා කී හැටි මීළඟ කොටසින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More