සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම : වෘත්තිකයින් හිතනවාට වඩා බොහෝ භයානකයි
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සමග සීපා ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ 2003 දී ය. එහිදී මූලික අරමුණ වූයේ ඒ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් විවෘත කොට තිබූ භාණ්ඩ වෙළඳාම තවදුරටත් සේවා වෙළඳාම දක්වා පුළුල් කිරීම ය. එහිදී සේවා වෙළඳාමේ 4 වැනි ක්‍රමවේදය යොදාගනිමින් ඉන්දියානු ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ ශ්‍රම වෙළඳපොළක් නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණක් විය. නමුත් ඊට එරෙහිව වෘත්තිකයන් සහ දේශීය කර්මාන්තකරුවන් විසින් එල්ල කළ විරෝධය නිසා ‘සීපා’ ගිවිසුමට අදාළ සාකච්ඡා ක්‍රියාවලිය නතර විය. ඉන්දියානු රජය විසින් 2008 සිට සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මහින්ද රාජපක්‍ෂ පාලනයට දැඩි බලපෑමක් එල්ල කළ ද ශ්‍රී ලංකා රජය ඒ සඳහා විශේෂ උනන්දුවක් නොපෙන්වීය.
වර්තමාන යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියානු බලපෑම ප්‍රබල වූ අතර ‘සීපා’ ක්‍රියාවලිය නැවත ආරම්භ විය. නමුත් වෘත්තිකයන් විසින් නැවත වටයකින් විරෝධතා ක්‍රියාවලිය උත්සන්න කළ බැවින් ‘සීපා’ ගිවිසුම ‘එට්කා’ හෙවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලෙස නාමකරණ වෙනසකට ලක් විය. එහෙත් ගිවිසුමේ සැබෑ අන්තර්ගතය වෙනස් නොවීය. කෙසේවෙතත් එම රැවටීමේ ක්‍රියාවලිය සාර්ථක නොවූ අතර වෘත්තිකයන් විසින් විරෝධතා ක්‍රියාවලිය උත්සන්න කරනු ලැබීය. ගිවිසුමට අදාළව ඒ වනවිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා වට 7ක් අවසන් කොටස් තිබුණි. ඉන්දියාව සමග සේවා වෙළඳාම විවෘත කිරීමට එරෙහිව පැන නැගුණු ප්‍රබල විරෝධය සැලකිල්ලට ගත් යහපාලන ආණ්ඩුව ඉතා සූක්ෂ්ම ලෙස ‘එට්කා’ වෙනුවට සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නව ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබීය. එය එක්තරා ආකාරයකට සිංගප්පූරුව හරහා ‘එට්කා’ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙස හැදින්වීමේ වරදක් නැත.
ඇමති මලික්ගේ ගිනස් වාර්තාව
සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මෙන් භාණ්ඩ වෙළඳාම සඳහා පමණක් සීමා වන බවක් පෙන්නුව ද ඊට ‘එට්කා’ හෝ ‘සීපා’ ගිවිසුම් මෙන් සේවා වෙළඳාම ද ඇතුළත් වේ. එම ගිවිසුමට අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සිංගප්පුරුවේ දී අත්සන් තබන්නේ 2016 අගෝස්තු මාසයේදී ය. ඊට අදාළ සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල උපකමිටුව විසින් එම වගකීම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට පැවරීය. ඒ අනුව අදාළ ගිවිසුම 2017-12-22 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. සිංගප්පූරුව සමඟ සිදුකළ සාකච්ඡා වට 8ක් මගින් එකඟ වූ එම ගිවිසුම අත්සන් කරන්නේ 2018-01-23 වැනිදා ය. ඒ අනුව දෙරටක් අතර විස්තීර්ණ ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමක් දින 30ක් තුළ සාකච්ඡා කොට අනුමත කිරීම මගින් ශ්‍රී ලංකාවේ රජයේ අමාත්‍ය මණ්ඩලය සහ විශේෂයෙන්ම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් ගිනස් වාර්තාවක් තබා ඇත.
සිංගප්පූරුවේ නිලධාරීන් සහ උපදේශකයින් එම සාකච්ඡා ක්‍රියාවලිය තුළදී වෙළඳ ගිවිසුමක් සාකච්ඡා කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවට උපදෙස් දුන් බව ද වාර්තා විය. ඒ අනුව එම ක්‍රියාවලිය තුළ සිංගප්පූරුවේ උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාවේ නිලධාරීන් කටයුතු කළ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් දෙරට අතර සාකච්ඡා ක්‍රියාවලිය පවත්වාගෙන යන අතරතුර ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් ප්‍රමුඛ විරෝධතාකරුවන් රැවටීම සඳහා ඔවුන් සමග අතුරු සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීහු කටයුතු කළහ. රටේ නියාමන නීති පද්ධතිය ශක්තිමත් කිරීමෙන් තොරව සහ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව එකගතාවක් ඇතිකර ගැනීමෙන් තොරව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම වරදක් බවට එම වෘත්තිකයන් පෙන්වා දුන් බව වාර්තා විය. නමුත් ඒ කිසිවක් නිවැරදි කිරීමකින් තොරව දෙරට අතර සිදුකළ ඒ රහසිගත සාකච්ඡා ක්‍රියාවලිය අවසන් කළ වහාම ගිවිසුම අත්සන් කිරීම සදහා අමාත්‍යවරයා විසින් ප්‍රබල උත්සාහයක් ගනු ලැබීය.
ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය හරහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොමැති බවට ද මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට චෝදනා එල්ල විය. අමාත්‍ය මණ්ඩලය විසින් 2018-01-16 දින ගනු ලැබූ තීන්දුව අනුව නීතිපතිවරයාගේ අනුමැතිය පූර්ව කොන්දේසියකි. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් 2018-01-17 දින දරන ලිපිය සමඟ අදාළ ගිවිසුම නීතිපතිවරයාට යවා ඇත. ඉන්පසුව ගිවිසුමට අවසන් අනුමැතිය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය රැස්වීමට පෙර 2018-01-23 දින ගිවිසුම අත්සන් කරනු ලැබීය. 2018 ජනවාරි 16 වැනි දින සහ 2018-01-30 දින අතර අමාත්‍ය මණ්ඩල නැවත රැස්වීමක් පවත්වා නැත. පිටු 1083කින් සමන්විත එම ගිවිසුම අමාත්‍ය මණ්ඩලය විසින් හෝ නීතිපතිවරයා විසින් ගැඹුරින් අධ්‍යයනය නොකළ බව ද ඒ මගින් තහවුරු වේ. එසේම අමාත්‍යවරයා විසින් විධිමත්ව සහ නීත්‍යනුකූල ක්‍රමවේදයට යටත්ව අනුමැතිය ලබාගැනීමෙන් තොරව ගිවිසුම අත්සන් කොට ඇති බව ද පැහැදිලි වේ.
එම ගිවිසුමේ අඩංගු වන වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය කනපිට පෙරළීමට තරම් හේතු විය හැකි බරපතළ ප්‍රතිපාදන පිළිබඳව යම් පමණකට හෝ මහජනයාට දැන ගැනීමට ලැබෙන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ය. මහජනයාට කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ අමාත්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ බවට කිසිදු සැකයක් නැත. මෙම ගිවිසුමට එරෙහිව ප්‍රබල විරෝධයක් එල්ල වන්නේ වෘත්තිකයන් අතුරින් පමණක් නිසා ඒ මඟින් සමස්ත ආර්ථිකයට සිදුවන අනර්ථය පිළිබඳ මහජනයා අතර පුළුල් අවබෝධයක් නොමැත. බොහෝ දැන උගත් පිරිස් පවා කල්පනා කරන්නේ සේවා අංශ විවෘත කිරීම හරහා සිංගප්පූරුවෙන් වෘත්තිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සලසා ඇති බැවින් මෙරට වෘත්තිකයින් ඊට අකැමැති බව ය. සේවා වෙළඳාමට අදාළ ප්‍රතිපාදන පිළිබඳව ද වෘත්තිකයන් අතර පවා අනවබෝධයක් ඇත.
උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තිය සහ අධිකරණයේ පෙනී සිටිමින් නීති උපදේශන සේවා ලබා දීම ආදී සේවා වෙළඳාමට අදාළ ක්ෂේත්‍ර පළමු වටයේ දී ශ්‍රී ලංකාව විසින් විවෘත කොට නැත. නමුත් එම සේවා එක් පාර්ශ්වයක් විසින් විවෘත කොට අනෙක් පාර්ශ්වය විසින් එසේ කළ යුතු බවට ඉල්ලා සිටිය හැක. ඒ සඳහා ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ එම සේවාව විවෘත සේවා ලැයිස්තුවට ඇතුළු කිරීම පමණි. මෙහිදී අමාත්‍යවරයා තර්ක කරන්නේ එම සේවා වෙළඳපොළ තුළ 4 වැනි ක්‍රමවේදය එනම් නිදහස් පුද්ගලයින් රැකියා සඳහා පැමිණීමට ඉඩ නොමැති බව ය. නමුත් සේවා වෙළඳාමේ 3 වැනි ක්‍රමවේදය අනුව යම් වෘත්තිකයකුට සමාගමක් ලෙස ලියාපදිංචි වීම මගින් ‘නීතිමය පුද්ගලයින් ලෙස’ සේවා වෙළඳපොළට ඇතුළු වීමේ හැකියාව ඇත.
මානව සම්පත් සැපයීමේ සේවාව විවෘත කිරීම
සේවා වෙළඳාම ආශ්‍රිතව ඉතා බරපතළ තත්ත්වයක් මතු වන්නේ මානව සම්පත් සැපයීමේ සේවාව විවෘත කිරීම නිසා ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමාගමකට හෝ පුද්ගලයකුට අවශ්‍ය කම්කරුවන්, රියදුරන් පමණක් නොව තාවකාලික සහකාරියන් පවා සැපයීම සඳහා සිංගප්පූරුවේ මානව සම්පත් සැපයීමේ සමාගම්වලට ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළ විවෘත වේ. ඒ මගින් සේවා වෙළඳාමේ 4 වැනි ක්‍රමවේදයට අනුව නිදහස් පුද්ගලයන් සේවා වෙළඳපොළට ඇතුළු වීමට සමාන තත්වයක් ඇති වේ. සේවා වෙළඳාමට අදාළ 3 වැනි ක්‍රමවේදයට අදාළව යම් පාර්ශ්වයක් සඳහා වීසා ලබා දීමට බැඳී සිටින්නේ විධායක ශ්‍රේණි, විශේෂඥයින් හා කළමනාකරුවන් සඳහා පමණි. ඒ සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන් සුදුසුකම් ලබන්නේ පුරවැසියන් පමණි. නමුත් සිංගප්පූරුවේ පුරවැසියන්ට පමණක් නොව පුරවැසියන් නොවන ස්ථිර පදිංචිකරුවන්ට ද වීසා ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බැදී සිටියි.
නමුත් මානව සම්පත් සේවා සැපයීමේ දී 3 වැනි ක්‍රමවේදයේ කොන්දේසි අදාළ නොවේ. එහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ තුළ ඉල්ලුම තිබේ නම් ඕනෑම රටක පුරවැසියන් එසේ ශ්‍රමිකයන් ලෙස සැපයීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති රාමුව තුළ රැකියා සඳහා වීසා ලබා දීමේ දී විශේෂ සීමා පැනවීමක් නැත. නමුත් සිංගප්පූරුවේ නීතිමය රාමුව තුළ බරපතළ සීමාකම් පනවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සිංගප්පූරුවට අයත් සමාගමක් විසින් ලබා ගන්නා ශ්‍රමිකයන් සැපයීමේ කොන්ත්‍රාත්තුව අනුව අදාළ ශ්‍රමිකයින් සංඛ්‍යාවට වීසා ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටියි. ගිවිසුමක් නොමැති තත්වයක් යටතේ ඒකපාර්ශ්වීයව එසේ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඇත’ නමුත් දැන් ගිවිසුම යටතේ එසේ ප්‍රතික්ෂේප කිරීම වන්දි ගෙවීමට තරම් වරදක් වේ.
ශ්‍රී ලංකාවට අඩුම මිලට ශ්‍රමිකයන් සැපයීම සඳහා වඩාත් ලාභදායී සැපයුම් වෙළඳපොළ ඇත්තේ ඉන්දියාවේ ය. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ශ්‍රමිකයන් සංක්‍රමණය වීමේ දී සංක්‍රමණික පිරිවැය ඉතා අවම මට්ටමක පවතී. එසේම ශ්‍රමිකයන් අධි සැපයුමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයකුට ගෙවන දිනක කුලියෙන් අඩකට ඉන්දියානුවකු ලබාගැනීමේ හැකියාව ඇත. ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් හෙවත් තමාගේ ගම්බිම්වලින් දුරබැහැර ස්ථිර නොවන රැකියාවල නියුක්ත පිරිස මිලියන 20ක් පමණ වේ. ඒ අතුරින් 10% පමණ එනම් ලක්ෂ 20ක් පමණ කෙටිකාලීන විදේශීය ශ්‍රම බලකායට වරින් වර එකතුවේ. ඒ අතර දළ වශයෙන් ලක්ෂ 5ක් පමණ පිරිසක් අසල්වැසි විදේශ රටකින් කුමන හෝ මොහොතක ලැබෙන ඉල්ලීමකට අනුව පිටත් වීමට සූදානමින් සිටිති. දැනටමත් ශ්‍රී ලංකාවේ සංචාරක වීසා යටතේ කම්කරුවන් ලෙස රැකියා නියුක්තික ඉන්දියානුවන් ප්‍රමාණය ලක්ෂ 2ක් පමණ වේ යැයි ඇස්තමේන්තු කෙරෙයි. ඒ අනුව නීත්‍යනුකූලව රැකියා වීසා ලබාදීම ආරම්භ කළ පසු ගංවතුර ගේට්ටු ඇරීමට සමාන තත්ත්වයක් ඇති වනු ඇත.
එවැනි තත්වයක් තුළ ඉන්දියානු කම්කරුවන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොදා ගැනීම මගින් ඔවුන් වීසා නොමැතිව වුව ද දීර්ඝකාලීනව රට තුළ රැඳීමට සහ අවසානයේ දී ඉන්දියානු වතු කම්කරුවන් මෙන් ස්වීකරණය වීමේ වැඩි ඉඩක් ද පවතී. එසේම ඒ ආකාරයට ශ්‍රම වෙළඳපොළ තුළ වැටුප මුල්කර ගෙන ඇති වන තරගය නිසා ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම ද බෙහෙවින් පහළ වැටීමට ඉඩ ඇත. කේෂත්‍රයේ විද්වතුන්ගේ මතය අනුව දිනක කම්කරු වැටුප රුපියල් 750 දක්වා පමණ පහත වැටීමට ඉඩක් ඇත. එවැනි තත්ත්වයක් තුළ තනිකඩ ඉන්දියානු කම්කරුවන්ට ජීවත්විය හැකි වුවත් ශ්‍රී ලාංකික කම්කරු පවුල් බරපතළ ආර්ථික පීඩනයකට ලක් වනු ඇත. ඒ අනුව සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මගින් සේවා අංශයේ වෘත්තිකයන්ට මුහුණ දීමට සිදුවන ගැටළුවලට වඩා බරපතළ සමාජ, ආර්ථික හා සංස්කෘතික අර්බුදයකට සමස්ත සමාජයටම මුහුණ දීමට සිදු වනු ඇත. විශේෂයෙන්ම ලිංගික ශ්‍රමිකයින්ගේ සංක්‍රමණය බරපතළ සමාජ සංස්කෘතික ගැටළුවක් බවට පත්විය හැක.
අපද්‍රව්‍ය වර්ග 65ක ලැයිස්තුවක්
සේවා වෙළඳාමට අදාළව තවත් බරපතළ ගැටළුවක් වන්නේ අපද්‍ර්‍රව්‍ය බැහැර කිරීමේ සහ කළමනාකරණය කිරීමේ සේවාවන්ට ඉඩ සැලසීම ය. ඊනියා ‘අපද්‍රව්‍ය කළමනාකරණය’ සඳහා රට තුළට ගෙන එන විස සහිත අපද්‍රව්‍ය සඳහා තීරු බදු අයකරන්නේ නැත. ඒ නිසා සිංගප්පූරුවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල් බැහැර කරන විස සහිත රසායනික අපද්‍ර්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ටික සහ සායනික අපද්‍රව්‍ය ප්‍රතාපනය කිරීමේ භූමිය බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත. ලෝකයේ කිසිදු රටක් එවැනි විනාශකාරී තත්ත්වයකට ඉඩ දෙනු ඇතැයි සිතිය හැකි ද? සෝසේජස් නිෂ්පාදනය සඳහා ආනයනය කළ යම් සත්ව නිෂ්පාදන අපද්‍ර්‍රව්‍යය සඳහා පනවා තිබූ 15% තීරු බද්ද පවා මෙම ගිවිසුම යටතේ ඉවත් වේ. එවැනි අපද්‍රව්‍ය වර්ග 65ක ලැයිස්තුවක් ගිවිසුමට ඇතුළත් කොට ඇත.
කෙසේවෙතත් සේවා විවෘත කිරීමේ අනර්ථයට සමාන හෝ ඊටත් වඩා බරපතළ අනර්ථයක් භාණ්ඩ වෙළඳාම නිදහස් කිරීමෙන් සිදුවිය හැක. තීරු බදු වර්ග කිරීම් අනුව භාණ්ඩ 1400ක නිෂේධාත්මක ලැයිස්තුවක් හඳුන්වා දී ඇත. ඒවා ආනයනය කිරීම සඳහා සහන නොලබන භාණ්ඩ ලෙස හැඳින්විය හැක. නමුත් එම ප්‍රමාණයෙන් 50%ක තීරු බදු දැනටමත් බින්දුව වට්ටමේ පවතී. ඉතිරි භාණ්ඩ ලැයිස්තුවෙන් හෙවත් ධනාත්මක ලැයිස්තුවෙන් 50%ක් හෙවත් තීරුබදු වර්ගකිරීම් 300ක් පමණ ආරම්භයේ සිටම තීරු බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. ඒ අතර තවත් 20%ක භාණ්ඩ ප්‍රමාණයක තීරු බදු වසර හයක දී සම්පූර්ණයෙන්ම නිදහස් වේ. එනම් තීරු බදු සහ අනෙකුත් අතුරු බදු ක්‍රමයෙන් බින්දුව දක්වා පහළ දැමෙනු ඇත. කෙසේ වුවත් එම බදු ඒකපාර්ශ්වීයව ශ්‍රී ලංකා රජයේ කැමැත්ත අනුව ඕනෑම වේලාවක බින්දුව දක්වා පහළ දැමිය හැක.
එවැනි භාණ්ඩ ලැයිස්තුවට ‘වී’, පළතුරු වැනි භාණ්ඩ පවා අයත් වේ. එහිදී නිෂේධනාත්මක සහ ධනාත්මක වශයෙන් භාණ්ඩ ලැයිස්තු වෙන් කිරීමෙන් තොරව එකම ලැයිස්තුවක සලකුණු කිරීම මගින් එම ක්‍රියාවලිය හිතාමතා පටලවා ඇත. කෙසේ වෙතත් සිංගප්පූරුවේ අපනයනය සදහා ‘වී’ වගා නොකරන බව කුඩා දරුවකු වුව ද දන්නා කරුණකි. එසේනම් ඒ ආකාරයට බින්දුව දක්වා තීරු බදු අඩු කිරීම සඳහා අපේක්ෂිත භාණ්ඩ කාණ්ඩයට ‘වී’ අයත් වන්නේ කෙසේ ද? තායිලන්තය, කාම්බෝජය වැනි රටවල අතිරික්ත වී සිංගප්පූරුව හරහා අඩු මිලට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ වුවමනාව සඳහා එම සහනය ලබා දී ඇති බව පැහැදිලි ය. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පසුව යම් ප්‍රබල සහල් මෝල් හිමියන් තම ගබඩා කිරීමේ ධාරිතාව දෙගුණයක් කිරීම සදහා පිඹුරුපත් සකස් කිරීම නිසා ඒ බව තවදුරටත් ඔප්පු වේ.
ඒ ආකාරයට වෙතත් රටක නිෂ්පාදනයක් සිංගප්පූරුවේ නිෂ්පාදනයක් ලෙස තීරු බදු රහිතව ආනයනය කිරීමට ඉඩ සැලසෙන්නේ එම ගිවිසුමේ පවතින ප්‍රබල දුර්වලතාවක් නිසා ය. එනම් ‘සම්භවයේ නීතිය’ අනුව භාණ්ඩයේ සම්භවය සොයා බැලීමේ දී එම භාණ්ඩය සිංගප්පූරු තොටුපළකින් නැව්ගත කිරීම පමණක් සැලකිල්ලට ගත හැක. ඒ අනුව තායිලන්තයේ නිෂ්පාදනයකට වටිනාකම එකතු කිරීම යනු තායිලන්තයේ නිෂ්පාදිත වී සිංගප්පූරු සමාගමක් නමින් බහාලුම්වලට පිරවීම පමණක් විය හැක. ඒ ආකාරයටම මැලේසියාවේ පාම් තෙල් සිංගප්පූරුව හරහා තීරුබදු රහිතව ශ්‍රි ලංකාවට ආනයනය කෙරෙනු ඇත. එමගින් ශ්‍රී ලංකාවේ වී වගාව සහ පොල් වගාවට මෙන්ම ගොවියාට සහ වැවිලිකරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කොට නැත. එසේ සොයා බැලීමක් අල්පමාත්‍රව හෝ සිදු වූවා නම් එවැනි විනාශකාරී තීන්දු අනුමත වන්නේ නැත. එපමණක් නොව එවැනි සොයා බැලීමක් සිදු කළා නම් ජනාධිපතිතුමා විසින් දේශීය පළතුරු වගාව ආරක්‍ෂා කිරීම සඳහා ආනයනික පළතුරුවලට බදු පනවන බව ප්‍රකාශ කරන්නේ නැත. ඊට හේතුව සිංගප්පූරු ගිවිසුම මගින් ආනයනික පළතුරු සඳහා පනවා ඇති බදු වසර 6ක දී බින්දුව දක්වා අඩු කිරීම ය.
ශ්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම
වෙළදාම ප්‍රචලිත කිරීමේ නාමයෙන් නිලධාරීන් අතලොස්සක් විසින් ගනු ලබන තීරණ නිසා පළමු වටයේ දී ශ්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම ඩොලර් මිලියන 10ක් ලෙස සිංගප්පූරු නිලධාරීන් විසින් ගණන් බලා ඇත. පාඩුව සිදු වන්නේ දැනට පවතින ආනයන මට්ටම අනුව ය. මේ වන විට ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 1300ක භාණ්ඩ ආනයනය කරන විට ශ්‍රී ලංකාව අපනයන කරන්නේ මිලියන 200ක් වටිනා භාණ්ඩ ප්‍රමාණය කි. ආනයන තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ විට එම ආනයන ප්‍රමාණය ඉතා විශාල වශයෙන් ඉහළ යන බවට සැකයක් නැත. එවිට සිංගප්පූරුවෙන් භාණ්ඩ ආනයන සමාගම් විසින් උපයන ලාභය ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇත. එසේ බදු අඩු කිරීම නිසා ශ්‍රී ලංකාවේ රජයට අහිමි වන ආදායම අදාළ ආනයන සමාගම්වල ලාභය බවට පරිවර්තනය වේ. මෙම තත්වය තුළ දේශීය නිෂ්පාදන කර්මාන්තකරුවන් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වී “ආනයන වෙළදාමට” වැඩි නැඹුරුතාවක් දක්වනු ඇත. අවසානයේ දී ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගත නොහැකි ආකාරයට පරිහානියට ලක්වීම වැළැක්විය නොහැක.
සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල එවැනි නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ ඉන් ලැබෙන වාසි අවාසි මහජනයාට දැනුම් දීමෙන් පසුව ය. ශ්‍රී ලංකාවට සිදු වන පාඩුව අපට වඩා හොඳින් සිංගප්පූරුව දැනගන්නේ ඒ නිසා ය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට භාණ්ඩ ආනයනය කිරීමේදී ඛනිජ තෙල් සහ මධ්‍යසාර හැර සෙසු සියල්ල සඳහා තීරු බදු අය කිරීමක් නැත. ඒ නිසා මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළට සුවිශේෂී වාසියක් සිදු වන්නේ නැත. එසේ නම් ඒ මඟින් වැඩි වාසි සිදු වන්නේ ශ්‍රී ලංකාවේ රජයට නොව ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන සමාගම්වලට පමණකි. එසේ රාජ්‍ය නිලධාරින් විසින් රජයට පාඩු සිදු වන ලෙස යම් සමාගම්වලට වාසිදායක තත්වයක් ඇති කරන්නේ නම් එය අල්ලස් සහ දූෂණ පනත යටතේ දූෂණයක් ලෙස සැලකෙන වරදකි.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
පංචායුධ පුවත්පතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...