පුරවැසි කොලම

දැන් ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය කුමක්ද?

මම ශ්‍රී ලනිපයෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන්නෙ.

ඔබලාගේ අතීත උරුමයක් වූ ශ්‍රී ලනිපය පැත්තකට දාලා අද වෙනම පක්ෂයක නේද ඉන්නේ?

ශ්‍රී ලනිපයෙන් තමයි අපේ පරම්පරාවම දේශපාලනයට ඇවිල්ලා ඉන්නෙ. එදා එජාප ප්‍රතිපත්තිවලට විරුද්ධව බණ්ඩාරනායක මහතා ප්‍රමුඛව ශ්‍රී ලනිපය ගොඩනැඟුවේ. හැබැයි අද අපිට සිද්ධ වෙලා තියෙනවා ශ්‍රී ලනිපය එක්සත් ජාතික පක්ෂයට කඩේ යනකොට ඊට විරුද්ධව නැඟී සිටින්නට.

ඒකාබද්ධ විපක්ෂය කියා පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ පිළිගැනීමට නොහැකි බවයි කථානායකවරයා ප්‍රකාශ කෙළේ?

කථානායකවරයා සම්පූර්ණයෙන් ආණ්ඩුවේ අගමැතිවරයාට ඕනෑ විදියට තමයි පාර්ලිමේන්තුවේ හැසිරෙන්නෙ. එහෙම නම් 16 දෙනෙක්ගෙන් යුත් දෙමළ සන්ධානයට 6 දෙනෙක්ගෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ඉන්න අවශ්‍ය නෑ.

පෝය දෙකෙන් ආණ්ඩු පෙරළනවා කියලා කතා කළාට අද වන තුරුත් ඊට කිසිම සූදානමක් නැති බවයි පෙනෙන්නෙ?

ආණ්ඩුව පෙරළන්න අපි සූදානම්. සැප්තැම්බර් 5දා ජනබලයත් එක්ක පාගමන එන්නෙ එහි පළමු අදියර. ඊළඟ වෙසක් පෝය වෙනකොට ආණ්ඩුව පෙරළිලා තියෙයි.

එළැඹෙන ජනාධිපතිවරණයට ඔබලාගේ සූදානම කොහොමද?

ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන්. ඕනෑම ජාතික මැතිවරණයකදී ආණ්ඩු වෙනසක් කරන්න අපි සූදානම්.

ඕනෑම මැතිවරණයකට සූදානම් කිව්වත් ජනාධිපතිවරණයක් නිසා නේද මේ සියලු ප්‍රශ්න මතුවෙලා තියෙන්නෙ?

මම හිතන්නෙ ආණ්ඩුවේ ද්විපාර්ශ්වයන්හි ගහගැනීම තුළ ආණ්ඩුව අද ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. මොකද මෛත්‍රිපාල මහත්තයා ආයෙ ඉල්ලන්නෙ නෑ කිව්වට ආයෙ ඉල්ලන්න වුවමනාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඕනේ ඒ පැත්තෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. මේ දෙගොල්ලන්ගේ ඝට්ටනය උඩ තමයි ජනාධිපතිවරණයක් ගැන කතා කරන්නෙ. 19 වැනි සංශෝධනය තුළ මේ ආණ්ඩුව කිව්වා අග්‍රාමාත්‍යවරයා යටතේ තමයි බලය තියෙන්නෙ කියලා.

නමුත් මෙහි තිබෙන ලොකුම ප්‍රශ්නය නැවත රාජපක්ෂ කෙනෙක්ම බලයට ගෙන ඒමේ බලපොරය නේද?

රටේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්ති සමඟ මේ රටේ නායකත්වය භාරගන්න කියන එක. එතැන රාජපක්ෂ කෙනෙක් නෙවේ ඉන්නෙ. එහි ඉන්නෙ මහින්ද රාජපක්ෂ.

ඔබට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතියෙන් බාධාවක් තිබෙනවා?

ඔව්. මට ඉල්ලන්න බෑ.

ඔබටත්, ඔබේ පියාටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නම් ඊළඟට ඉන්නෙ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ?

ඇයි චමල් රාජපක්ෂ මහත්තයත් ඉන්නවා.

ඔබේ කැමැත්ත මේ තිදෙනාගෙන් කාටද?

දෙන්නෙක් බාප්පලා. එක් කෙනෙක් ලොකු තාත්තා. තුන්දෙනාගෙන් කවුරු ආවත් මට පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි රටේ ජනතාවගේ සහ පක්ෂයේ මතය තුළ මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කරයි කවුද ගේන්නෙ කියලා.

ඔබලාගේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නෙ මධ්‍යම කාරක සභාවද? එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ද?

මේ තීන්දුව ගන්නෙ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. මොකද එතුමාව තමයි ජනතාව ඉල්ලන්නෙ. එතුමාව ජනතාව ඉල්ලනවා නම් එතුමා එන්නෙ නැත්නම්, නමුත් එතුමාට එන්න බෑ කියලා නෑ තවම. උසාවියෙන් තීන්දුව අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා එතුමාට මේ තීන්දුව ගැනීමේ අයිතිය පවරලා තියෙනවා.

ඔබේ ඔය ප්‍රකාශ තුළින් ඍජුවම පැහැදිලි වෙන්නෙ කොහොම හරි බලය ලබාගත යුත්තේ රාජපක්ෂ කෙනකුට කියලා?

රාජපක්ෂ කෙනෙක්ද නැද්ද කියන එක තීන්දු කළ යුත්තෙ පක්ෂය සහ අපිත් එක්ක සන්ධානගත වෙලා ඉන්න අය. ඒ අය තීන්දු කළොත් මහින්ද රාජපක්ෂ මහත්තයා එන්න ඕනෑ කියලා එතුමාට නීත්‍යනුකූල බාධකයකුත් තියෙනවා නම් එතුමා තීරණය කරයි කවුද එන්න ඕනෑ කියලා.

කොහොම වුණත් මේ ජනාධිපතිවරණය නිසාම රාජපක්ෂ පවුල තුළ ප්‍රශ්න ඇතිවෙලා නේද?

කිසිම ප්‍රශ්නයක් නෑ පවුල තුළ.

නමුත් ඔය ගැටුම නිසාම නේද නැවත ඉල්ලන්න පුළුවන්ද කියලා හිටපු ජනාධිපතිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසන්න යන්නෙ?

මං හිතන්නෙ ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසන්න යන්නෙ ජී.එල්. පීරිස් මැතිතුමා. ඒක මහින්ද මහතාගේ වුවමනාවක් නෙවේ.

පසුගිය කාලය තුළ ඔබලා ආණ්ඩුව ගන්නවා කිව්වා. පසුව අගමැතිකම ගන්නවා කිව්වා. ඊටත් පසු විපක්ෂ නායකකම ගන්නවා කිව්වා. දැන් මහින්දට තුන්වරක් පුළුවන් කියනවා.

මේ කරන්නෙ දේශපාලනයේ එදා වේල ගත කරමින් පාක්ෂිකයා උදේ‍යා්ගීව තබාගන්න කරන උප්පරවැට්ටියක් නේද?

අපි කිසි දවසක ඩීල් එකක් දාලා ආණ්ඩු ගන්න මතයෙ හිටියේ නෑ. අපි මෛත්‍රිපාල ජනාධිපතිතුමාට කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් අයින් කරලා තමන්ට ඕනෑ අගමැතිවරයෙක් පත් කරන්න. අපි විපක්ෂයේ සිට ඒ සඳහා සහයෝගය දෙන්නම් කියලා. අපේ ඉලක්කය ජාතික මැතිවරණයකින් ආණ්ඩුව පෙරළන්න.

යම් හෙයකින් ඔබලාගේ මතයට ඇහුම්කන් නොදී එක්සත් ජාතික පක්ෂය සමඟ දිගටම ආණ්ඩුව කටයුතු කරගෙන ගියොත් මොකද කරන්නෙ?

මේ ආණ්ඩුව අද අරාජික වෙලා තියෙන්නෙ. රට අකාර්යක්ෂමයි. ආර්ථිකය එන්න එන්න කඩා වැටෙනවා. ආණ්ඩුවට වෙන විකල්පයක් නෑ ජාතික මැතිවරණයකට යනවා හැර. ජාතික මැතිවරණයකට නොගියොතින් වෙන දේ තමයි මේ රට එන්න එන්න අගාධයට වැටෙනවා. දේශපාලන, සමාජයීය, ආර්ථික ප්‍රශ්න තව තව වැඩි වෙනවා. අපිට අද වෙනකම් ඒවට විසඳුමක් තියෙනවා කියලා පේන්න නෑ. ඒ නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා රට ගැන හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා රට ගැන සහ පක්ෂය ගැන හිතනවා නම් දෙන්නට තියෙන එකම විකල්පය තමයි ජාතික මැතිවරණයකට යෑම.

ඇයි අද වන තුරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විස¼දාගන්න බැරි වුණේ?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කරනවාට වඩා හොඳයි මාධ්‍යත් එක්ක සාකච්ඡා කරන එක. මොකද එතුමා හැමදේම දකින්නෙ පත්තරෙන්.

ඔබලා විවිධ සටන් පාඨවල හිටියට ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න එකකටවත් මැදිහත් වන බවක් පේන්න නෑ?

මේ සියල්ල ජනතාවගේ ප්‍රශ්න. බදු බර, ජීවන වියදම, විරැකියාව ජනතාවට බලපාන ප්‍රශ්න. ආයෝජන එන්නෙ නෑ. නිෂ්පාදන නෑ. අපි මේ කතා කරන සටන් පාඨ මේ රටේ ඒවා. අපි ඍජුව කියන කාරණයක් තමයි අපේ දේශපාලන ගමන්මඟ යන්නෙ චින්තනයත් දර්ශනයත් එක්ක මිස අහවල් කෙනාගෙන් පළිගන්න කියලා හිතලාවත් අහවල් කෙනාගේ රෙදි ගලවල ගෝල්ෆේස් එකේ එල්ලන්නවත් නොවේ. අපි ජනතාවට දීපු ප්‍රතිපත්තියක් තියෙනවා. මහින්ද චින්තනයේ ඉදිරි දැක්මක් තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට සේවය කිරීම මිස එක් කෙනෙක් දෙන්නෙක්ගෙන් පළිගැනීමට නෙවෙයි අපි කටයුතු කරන්නෙ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ඔබලා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා.
බහුතරයක් ඔබලා සමඟ සිටිනවා. එසේ තිබියදීත් මොකක්ද ඔබලා සිදු කරන එකදු සටනක්වත් ජයග්‍රහණය කර ගන්න නොහැකි අසාර්ථකකම?

ප්‍රතිඵලයක් එනවා. සටන් කියන දේ එක රැයින් ප්‍රතිඵල එන්නෙ නෑ. ක්‍රිකට් මැච් එක බලලා අවසන් ඕවරේ බලලා වගේ රටේ බල පෙරළි ඇති කරන්න බෑ. ඒකට සාධාරණ කාලයක් යනවා. අපි විශ්වාස කරනවා දැන් තමයි හරි කාලේ ඊට.

ඔය කියන හරි කාලේ එනකොට ජනතාව කොතැන ඉඳියිද? ආර්ථිකයට කුමක් වෙයිද?

ඔබත් මාධ්‍යවේදිනියක් හැටියට එසේ හිතනවා නම් හොඳ දෙයක්.

ඔබ මාතෘකාව වෙනස් කරනවා?

නෑ. යථාර්ථය තමයි ආර්ථිකය බංකොලොත් කියන එක.

සැප්තැම්බර් 5 ජනබලය කොළඹට, මොකක්ද මෙහි ප්‍රධාන අරමුණ?

ප්‍රධාන අරමුණ තමයි මේ රටේ ආණ්ඩු විරෝධී බලවේගය ඒකරාශී කරන්න වේදිකාවක් නිර්මාණය කිරීම. මේ තුළ එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරුණු අය වෙන්න පුළුවන්. ශ්‍රී ලනිපය ගැන කලකිරුණු අය වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ගැන කලකිරුණු අය වෙන්න පුළුවන් සහ මේ ආණ්ඩු නිසා අසාධාරණයට ලක්වූ සියලුම පාර්ශ්වයන් දේශපාලන, ආර්ථික, සමාජයීය වශයෙන් සියලුම අසාධාරණයට ලක් වූ පාර්ශ්වයන් ඒකරාශි කර ආණ්ඩුව පලවා හැරීමේ මහා ජනබලය එදිනට කොළඹට එනවා.

මීට පෙරත් ඔබලා නුවර සිට පාගමනක් ආවා. නුගේගොඩ රැලියක් පැවැත්වූවා. විශ්වාසභංග යෝජනා ගෙනවා. මේ 5දා සිදු කරන්නෙත් එවැනි මාධ්‍ය සන්දර්ශනයක්ද?

අපි නුවර ඉඳලා කොළඹට ආ පාද යාත්‍රාවේ ප්‍රතිඵල තියෙනවා. අවසානයේ ප්‍රාදේශීය සභා අති බහුතරයක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා. ඒ ගමනත් එක්ක ව්‍යවස්ථා සංශෝධන, නොයෙක් එට්කා, සිංගප්පූරු වැනි ගිවිසුම් ක්‍රියාත්මක කිරීම යම් කිසි ප්‍රමාදයකට ලක් වුණේ, හම්බන්තොට වරාය විකිණීම පරක්කු වුණේ එහෙම නැත්නම් නැවත වතාවක් ආණ්ඩුවට කොළඹ වරාය ඉදිකිරීම කරන්න සිදුවුණේ ඒ ජනතා බලවේගවලින් ආපු ප්‍රතිඵල නිසා. හැබැයි ඒකෙ අනෙක් පැත්තට අද ආණ්ඩුව පොඩ්ඩක් ගම ගැන හිතන්න පටන් අරන්. ගම්පෙරළිය කියන්නෙ පරණ දිවි නැඟුමට.

ඒ කියන්නෙ ඔබ පිළිගන්වා ආණ්ඩුව ගම ගැන හිතනවා කියලා?

ආණ්ඩුව දිවි නැඟුමෙ නම ගම්පෙරළිය කියලා මාරු කරලා තියෙනවා. දැයට කිරුළ කියන නමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ඉංග්‍රීසි නමක් දාගෙන. එදා හොඳ නෑ කියපු දේ ආණ්ඩුව අද ඉංග්‍රීසි නමකින් හොඳ වෙලා තියෙනවා. මහින්ද කරපු දේ හරි. හැබැයි දැන් ආණ්ඩුව පරක්කුයි. මොකද ආණ්ඩුවට මේවා ක්‍රියාත්මක කරන්න විදියක් නෑ.

ඔබ හම්බන්තොට වරාය, සිංගප්පූරු ගිවිසුම ගැන කරුණු මතක් කළා. හැබැයි ඔබේ පියා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන කාලේ කළ විකිණීම් – පැවැරීම් ගැන කවුරුත් කට ඇරලා කතා කළේ නෑ?

මොනවද විකුණුවෙ?

යුද හමුදා මූලස්ථානයට අයත්ව තිබූ ගෝල්ෆේස් ඉඩම?

ගෝල්ෆේස් ඉඩම සම්පූර්ණයෙන්ම විකිණුවේ නෑ. අක්කර 5යි දුන්නෙ. ඒ අක්කර 5 දීලා ගෙනාපු ආයෝජන මේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණලා ගත්ත ගාණ හා සමානයි. අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට කොළඹ ෂැංග්‍රිලා හෝටලයක් විවෘත කරන්න අවස්ථාව ලැබුණේ එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග නිසා.

ආයෝජකයෙක් ලංකාවට එන්නෙ නැති මොහොතක ඒ අක්කර 5 දීලා ඊළඟ අක්කර 5 බද්දට දීලා ඩොලර් බිලියන 800ට වැඩි ආදායමක් ලංකාවට ලැබුණ නිසා. ඒ විතරක් නෙමේ අද ෂැංග්‍රිලා හෝටලයේ වාර්ෂික බදු කුලිය විතරක් වැට් ආදායම රුපියල් බිලියනය පන්නලා. එහා පැත්තෙ ගොඩනැඟිලි ටික ආවට පස්සෙ රුපියල් බිලියන දෙකක් වෙනවා. ආණ්ඩුව මේ අක්කර පහ ගැන පම්පෝරි ගැහුවට අද ආණ්ඩුවට රුපියල් බිලියනයක් එන්නෙ ඔය ආයෝජනය නිසා. මේ ආණ්ඩුව ආපස්සට මොකද කළේ ශත පහක් ආදායමක් නැතිව සිමෙන්තිවලයි ගල්වලයි ගාණ හදලා හම්බන්තොට විකුණුවා.

හම්බන්තොට වරාය විකිණීමට ඔබලා සැලැසුම් කරලා තිබුණේ. ඒ බව ඔබේ ලොකු තාත්තා වන චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පිළිගත්තා?

විකිණීමට සැලැසුම් කරලා නෙවේ. ඒක නිවැරැදි කරන්න ඕනෑ. සිදු කෙළේ ඉභනනතරඥප ඒනපචබඥ ඊපචදඵටඥප එකක්. එහි සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මුල් අයිතිකරුවාට. ර්ථීර්ථී එකක් හරහා අවුරුදු 99කට බදු දුන්නම එය සම්පූර්ණයෙන්ම බලය යන්නෙ අවුරුදු 99කට සහ තව අවුරුදු 99කට ඒ ගත්ත ආයතනයට. මොකද ඉභනනතරඥප ඒනපචබඥ ඊපචදඵටඥප හා ර්ථීර්ථී කියන්නෙ දෙකක්. හැබැයි අවුරුදු 40ක ඉර්ණීඊ අපේ ඉඩම අපේ ආදායම විතරයි ඒ අය සපයන්නේ.

ඒ වගේම එදා තෙල් සංස්ථාවේ නැවි තෙල් අංශය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ විකුණූ­ පසු නඩු කටයුත්තක් මඟින් එය නැවත රජයට පැවැරුවා. නමුත් ඔබලාම නැවත එය පෞද්ගලික අංශයකට විකුණුවා. කොහොමද ඔබ කියන්නෙ රටේ සම්පත් විකුණන්න රාජපක්ෂලා කටයුතු කළේ නෑ කියලා?

ඒ කියපු සියලුම කාරණා පිළිබඳ ගත්තම අපේ රටට වාසි වන ගිවිසුම් එක්ක අපි හිටියේ. හම්බන්තොට වරායට, මත්තල ගුවන්තොටුපොළට ආයෝජකයෙක් ගේනවට අපි විරුද්ධ නෑ. අපි පුන පුනා කියන්නෙ අපි මේ ආයෝජනවලට නොවේ විරුද්ධ රට විකුණන ගිවිසුම්වලට. ඒ ගිවිසුම් අපේ රටට වාසිසහගතද, අවාසිසහගතද කියලා අපි බලන්න ඕනෑ.

හැබැයි යම් කිසි වරායක්, ගුවන්තොටුපොළක් අවුරුදු 99කට සම්පූර්ණ පරිපාලන අයිතිය වෙනත් සමාගමකට දුන්නම ඒ සමාගමට යටත් වෙනවා.

පාඩු පිට පාඩු ලබන ඒ ඒ ආයතන මේ ආණ්ඩුව විසින් පැවැරීම සාධාරණ නැද්ද?

අවංකව පාඩුවක් ලබනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි හිතාමතා විකිණීමේ අවශ්‍යතාව මත ඒවා පාඩු ලබන ආයතන බවට පරිවර්තනය කරනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. හම්බන්තොට, ත්‍රි’මලේ, කොළඹ වරායවලින් ඩො.මි. 500ක් ණය සහ වාරික ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු 22ක් ඇතුළත ගෙවලා ඉවර කරන්න පුළුවන්. හැබැයි එහෙම තියෙද්දි එන වාහන කොළඹට පදවලා එන නැව් ටික නවත්තලා මේක පාඩුයි කියලා තෙල් ටැංකිවල තෙල් ටික ගහන්නෙ නැතිව තියාගෙන ඉඳලා පාඩුයි කියලා හිතාමතා පාඩු ලබන ආයතන බවට පත්කරනවා නම් ඒක සම්පූර්ණ සැලැස්මක්.

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන වංචා, දූෂණ ගැන ප්‍රශ්න කරන්න ඔබලාට සදාචාර අයිතියක් තියෙනවාද? මොකද ඇතැම් පාර්ශ්ව කියන්නෙ මේකට ‘හොරුන්ට එරෙහිව හොරුන් පෝස්ටර් ගහනවා’ කියලා?

අපිට අයිතිය තියෙනවා වංචා දූෂණවලට එරෙහි වෙන්න.

ඔබලාට බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා?

චෝදනාවලට අවුරුදු 3ක් ගතවෙලා තියෙනවා. හිරෙත් දාලා ඇපත් දීලා තවම චෝදනා කර කර ඉන්නවා.

ඇයි ඔබලාට පවරලා තියෙන නඩුවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න යද්දී දේශපාලන පළිගැනීම් කියන්නෙ?

සම්පූර්ණයෙන් දේශපාලන පළිගැනීම්.

එතකොට එල්ල වී ඇති චෝදනාවලින් හෝ පවරා ඇති නඩුවලින් එකක්වත් නිවැරැදි ඒවා නොවෙයිද?

කිසිම දෙයක් වෙච්ච දේවල් නෙවෙයි. ආණ්ඩුව විසින් හිතා මතා කළ චෝදනා. කෝ ලැම්බෝගිනි හම්බවුණාද? රත්රන් අශ්වයෝ හොයාගත්තාද? නාමල් රාජපක්ෂගේ හෙලිකොප්ටර් හම්බවුණාද? ඒ සියල්ලම එදා මවපුවනෙ. අපේ රටේ සමහර ජන කොට්ඨාස ඇත්තටම නාමල් රාජපක්ෂලාට ලැම්බෝගිනි තිබුණා කියලා හිතුවනෙ. හැබැයි අන්තිමට අද වන විට මේ සියල්ල බොරුවක් කියන එක පැහැදිලියි. බැසිල් රාජපක්ෂට දාලා තියෙන නඩු බලන්න.

හැබැයි දැනට තියෙන සමාජ මතය අනුව නම් ඔබලාගේ මේ චෝදනාවලට අනුව නීතියේ රැහැනට කොටු නොවෙන්නෙ ඔබේ පියා මහින්ද රාජපක්ෂත්, අගමැති රනිල් වික්‍රමසිංහත් අතර පවතින ඩීල් එකක් නිසා කියලා?

හැබැයි මං හිතන්නෙ චන්ද්‍රා බාප්පාගේ මළගෙදරින් පසු මහින්ද – මෛත්‍රි ඩීල් බවටත් දැන් කතා වෙනවා.

එහෙම මහින්ද – රනිල් ඩීල් එකක් තියෙනවා කියනවා නම් මං දැක්කා මහින්ද – මංගල අතරත් ඩීල් තියෙනවා කියලා රන්ජන් රාමනායක කියලා තියෙනවා. ඒ මළගෙදර ආපු නිසා හදපු කතාවක්. විවිධ විදියට අර්ථකථන දෙන්න පුළුවන් ඕනෑ කෙනකුට.

ඔබේ බාප්පා චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමඟුල් උත්සවයට පැමිණි ජනපති මෛත්‍රි හා හිටපු ජනපති මහින්ද දෙදෙනා දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. මේ නව දේශපාලන ගමනක පෙරනිමිත්තක්ද?

කබීර් හෂීම්. මංගල සමරවීර මහත්තුරුත් ආවා.

නමුත් හිටපු හා වත්මන් රාජ්‍ය නායකයන් දෙදෙනෙක්ගේ සාකච්ඡාවක් විශේෂයි?

ඒ දෙන්නා පරණ යාළුවෝ. පරණ යාළුකමට එතුමා ආවා. දේශපාලන කතා වුණේ නෑ. හැබැයි රටේ දේශපාලන වෙනසක් වෙනවා.

ඔබේ ඥාතීන් වන රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග, ඇමෙරිකානු හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය දෙදෙනා විවෘත වරෙන්තු තිබියදී අධිකරණය මඟහරිමින් සිටිනවා.

නීතිය පිළිබඳ දැනුමක් ඇති ඔබ මෙය සාධාරණීකරණය කරනවාද?

ඒ අය අපි ආරක්ෂා කරනවා කියලා කියන්නෙ නෑනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා නම් ඇලෝසියස් මුදලාලිගෙ බෑනා හිරේ ඉන්නවා මහේන්ද්‍රන් ඉන්න තැන දන්නෙ නෑ කියලා එතුමා සිංගප්පූරු ගිහින් ඇවිත් ඉන්නකොටත් ඒ ගැන ඊට එහා කතා කරන්න දෙයක් නෑනෙ.

මං අහන්නෙ උදයංග – ජාලිය දෙදෙනා මෙලෙස අධිකරණය මඟහැරීම සාධාරණද?

ඔවුන් වෙනුවෙන් කතා කරන්න මං ඒ පිළිබඳ නඩුවෙ තියෙන වාර්තාව හෝ දැන් ඉන්න වාතාවරණය ගැන මට දැනුමක් නෑ. හැබැයි යම් කිසි හෙයකින් ඔවුන් අධිකරණයට වාර්තා කරන්න අවස්ථාව තියෙනවා නම් ඔවුන් වාර්තා කරයි.

එයාර් ලංකා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ (ඔබේ මාමා) ඔහුට අදාළ චෝදනා සම්බන්ධව ප්‍රශ්න කරද්දී ඔහු දෙන පිළිතුරත් මං දන්නෙ නෑ කියලා. මං දන්නෙ නෑ කියන එක දැන් බේරෙන්න කරන ප්‍රකාශයක් වෙලා වගේ?

තමන්ගේ කර්තව්‍ය පිළිබඳ අහන කොට දන්න දේවල්වලට උත්තර දෙනවා. නොදන්න දේවල්වලට එතුමා උත්තර දෙන්නෙ නෑ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා බැඳුම්කර සම්බන්ධව කරන කතා බලන්න.

ඒකද මේ අයත් දැන් මේ කරන්නෙ?

නෑ. අපිට හංගන්න දෙයක් නෑ. අපි කරපු දේවල් අපි කළා කියනවා. නැති දේවල්වලට අපි නෑ කියනවා.

එක්වරෙක ඔබේ පියා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා තමන්ගේ ආණ්ඩුවේ වැරැදි කරපු අය හිටියා. ඒ අය ආරක්ෂා කළ එකයි වරද කියලා. හැබැයි ඒ සෙට් එකම නේද අදත් ඔහු වටකරගෙන ඉන්නෙ?

ඒ සෙට් එක දැන් කැබිනට් මණ්ඩලයෙ ඉන්නෙ.

ඒ කියන්නෙ චෝදනා තියෙන වැරැදි කරපු කවුරුත් දැන් මහින්ද රාජපක්ෂ මහතා ළඟ නෑ. එහෙමද?

හොරු ඉන්නවද නැද්ද කියන එක අධිකරණය තීන්දු කරයි. හැබැයි එදා අපිට චෝදනා නඟපු අයගෙන් භාගයක් දැන් ඉන්නෙ මෛත්‍රි මහත්තයා ළඟ.

හැබැයි බරපතළ චෝදනා එල්ල වී සිටින අයට විශේෂ වරප්‍රසාද හිමිවන බවත් ප්‍රසිද්ධ රහසක්?

ඒ කවුද? මොන චෝදනාද?

සිරිලිය ගිණුම සම්බන්ධ ඔබේ මව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් කටඋත්තරයක් ගන්න කථානායක නිල නිවෙසට නිලධාරීන් කැඳවනවා? එක් කොටසකට එක් සැලකිල්ලක්, අනෙක් කොටසට තව සැලකිල්ලක්?

නෑ. සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයාගේ බිරිය සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සලකලා පොලිසිය තමන් ළඟට ඇවිත් කටඋත්තරයක් ගැනීම කිසිම වරදක් නෑ.

මම ඔබෙන් ඍජු පිළිතුරක් අපේක්ෂා කරනවා. බරපතළ අපරාධ දූෂණ චෝදනා තියෙන පුද්ගලයන් ඔබේ පියාණන්ගේ ජනප්‍රියතාව පිටුපස සැඟවී දේශපාලනය කරනවා කියලා ඔබ හිතන්නෙ නැද්ද?

නෑ. මං හිතනවා රටේ ජනතාව ගොඩක් බුද්ධිමත්. රටේ ජනතාව අද හොරු කවුද හොරු නොවන්නෙ කවුද කියලා දැනුවත්. අදටත් මං දැඩි සේ විශ්වාස කරනවා රටේ ජනතාව දේශපාලනික වශයෙන් බුද්ධිමත් කියලා.

ඔබේ පැරැණි මිතුරා අර්ජුන් ඇලෝසියස් බලන්න ගියේ නැද්ද?

නෑ මං ගියේ නෑ.

ඔබ ගියා කියලා ආරංචියි?

නෑ. මට බලන්න යන්න වුවමනාවක් නෑ. දුමින්ද සිල්වා මන්ත්‍රිතුමා බලන්න නම් ගියා කිහිප වතාවක්. තවමත් යනවා. හැබැයි ඇලෝසියස් මුදලාලි බලන්න ගියේ නෑ.

ඇලෝසියස් – නාමල් දුරකථන සංවාදය පිළිබඳ චෝදනාව නිසා ඔබ ප්‍රවේශමෙන් උත්තර දෙන්නෙ?

නෑ. බය වෙන්න දෙයක් නෑ. ඇලෝසියස් මුදලාලි ඉන්න වාට්ටුවේ මා එක්ක හිරේ හිටපු අයත් ඉන්නවා. හැබැයි සමහර විට ඇලෝසියස් එක්ක මටත් හිරේ ඉන්න වෙයි ඉස්සරහට මේ කරන චෝදනා එක්ක.

සීමා නිර්ණ වාර්තාව එදා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහාය දුන්නා නම් ඡන්දය පවත්වන්න දින යොදාගන්න තිබුණා නේද?

නෑ. කිසිසේත්ම නෑ. මොකද මාර්තු මස ඡන්දය තියෙනවා කියලා තමයි ශ්‍රී ලනිපය – ජවිපෙ සහ එජාපය නව ඡන්ද පනතට ඡන්දය දුන්නෙ. හැබැයි අපිට එක ඡන්දයක් නිසා සමස්ත පරම්පරා ගණනාවකට අවුල් මැතිවරණ ජාලයක් ලබා දෙන්න අපි සූදානම් නෑ.

නමුත් ඡන්ද ක්‍රමයට වඩා දැන් වැදගත්ම ඡන්දයක් පැවැත්වීම නේද?

අනිවාර්යයෙන්ම මිනිසුන්ට ඕනෑ ජාතික මැතිවරණයක්. හැබැයි ඒ දෙන ඡන්දය තව අවුරුදු 5කින් ගෙනිහින් අවුලකට ගෙනියනවා නම් අපි ඒකට සූදානම් නෑ.

මේ සීමා නිර්ණ වාර්තාව සැකසීමටම රුපියල් ලක්ෂ 260ක් වියදම් වූ බව කියනවා?

ලක්ෂ 260. පාර්ලිමේන්තු විවාදයට දවසට ලක්ෂ 50යි. ඊට අමතරව ලක්ෂ තුන්හාරසීයක් වියදම්. නාස්තිය, දූෂණය ගැන කතා කරන ආණ්ඩුව මේ ගැන දෙපාරක් හිතන්න ඕනෑ.

ඡන්දය කල් දාන්න ඒකාබද්ධ විපක්ෂයටයි ආණ්ඩුවටයි ඕනෑ වෙලා කියලයි චෝදනාව?

හෙට පතනක් ගේන්න පාර්ලිමේන්තුව විසුරුවන්න. අපි ඒකට ඡන්දෙ දෙනවා. අපිට ඡන්දයක් ඕනෑ.

ආණ්ඩුව කිව්වා පසුගිය අවුරුදු 3ට හුස්ම ගන්න තත්ත්වයට රට පත්කළා කියලා. ඔබලා හැම එකටම චෝදනා කිරීම වැරැදියි නේද?

5 වැනිදා බලාගන්න පුළුවන් ජනතාව ඇත්තටම හුස්ම ගත්තද කියලා. ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් නෑ. එදා දවස යැපෙන විදිය විතරයි එකම අරමුණ. බදු ආදායම ටි්‍රලියන 1.5 ඉඳලා ටි්‍රලියන 2කට වැඩි කළා. පළමුවතාවට බදු ගහපු එක ගැන ආණ්ඩුව ආඩම්බරයෙන් කතා කරනවා. ජනතාවට කරපු දෙයක් නෑ. දුන් පොරොන්දු ටිකවත් ඉෂ්ට කරගන්න බැරි වුණා. එක මතයක් එක දර්ශනයක් ආණ්ඩුවට නෑ. රාජපක්ෂලාට නඩු දාලා හිරේදාලා හරි ආණ්ඩුව කරගෙන යන්නයි ඕනෑ.

ඔබ සමස්ත ආණ්ඩුවට චෝදනා කළත් අද වෙද්දී මෛත්‍රි – රනිල් දෙපාර්ශ්වය අතරත් ප්‍රබල ගැටුමක් උග්‍ර වෙලා තිබෙන බව පැහැදිලියි?

මෛත්‍රි – රනිල්ගෙ දීගෙ ඉවරයි දැන්. ඩිවෝස් එක ෆයිල් කරලා තියෙන්නෙ. ෆයිල් කළේ විශ්වාසභංගය දවසෙ. ඩිවෝස් වෙලා එක ගෙදර ඉන්න ගියාම තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More