දේශීය පුවත්

නිසි ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නොමැති නිසා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ ගිවිසුමක් නොමැති බව සලකා එය ශූන්‍ය සහ බලරහිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි.

පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ඉහත ගිවිසුම පිළිබඳව සමාලෝචනය කරන ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය.

එහි දී අදහස් දැක්වූ කපිල ගමගේ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘මේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම නිසි ක්‍රමවේදයකින් තොරව කාටත් කොලේ වහලා ගෙන ආ එකක් බව දැන් මේ රට හමුවේ අනාවරණය වී තිබේ. මෙම ගිවිසුමට එරෙහිව අපි දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු හතක් පවරා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙම ගිවිසුමට අදාළව මුදල් අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙකටත් එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් නඩු දෙකක් පවරා තිබෙනවා. ඒ සියලූ නඩු 2018 ඔක්තෝබර් 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසා බැලෙනවා.

ඒ නඩු පැවරීම්වලට අමතරව මෙම ජනාධිපතිවරයා පත් කළ කමිටුවට ඉදිරියේ වෙ කරුණු දැක්වීමෙන් ද යම් සහනයක් ජනතාවට ලබාදිය හැකි නම් ඒ අවස්ථාව යොදා ගත යුතු යැයි අපි හිතුවා. සිංගප්පූරුව සමග මේ වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමේදී තමන් යම් රැවටීමකට ලක් කර ඇති බවට ජනාධිපතිවරයා තුළ යම් සැකයක් මතු වී තිබෙන නිසා ඒ පිළිබඳව යළි විමසා බැලීම සඳහා මෙවැනි කමිටුවක් පත් කළ බවයි පෙනී යන්නේ.

මේ ගිවිසුම පිළිබඳ කමිටුව ඉදිරියේ දී මා පෙන්වා දුන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමේදී පැහැදිලිව ජනාධිපතිවරයා රැවටීමකට ලක් කර ඇති බවයි. ජනාධිපතිවරයා මෙම ගිවිසුම පිළිබඳව තම නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේදී මලික් සමරවික්‍රම ඇමතිවරයාට දන්වා සිටියා වෙළඳ ප්‍රතිපත්තිය අනුව මෙම ගිවිසුමේ සියලු සංශෝධන සිදු කරන්න කියා. මෙහිදී මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයා වෙළඳ ප්‍රතිපත්තිය ලෙස අදහස් කළ 2017 ජුලි මාසයේ දී සම්මත කළ වෙළඳ ප්‍රතිපත්තිය වෙනුවට 2017 අගෝස්තු මාසයේ ඔහුට උවමනා පරිදි වෙනත් වෙළෙඳ ප්‍රතිපත්තියක් හදලා ඒකට නව වෙළෙඳ ප්‍රතිපත්තිය කියා නමක් දමලා ඒ වෙළඳ ප්‍රතිපත්තිය අනුව මේ කටයුතු කරගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අගමැතිවරයාගේ උපදෙස් පරිදි සිදුකොට ඇත්තේ ජනාධිපතිවරයාට උවමනා දේ නොවෙයි කියා. ජනාධිපතිවරයා රැවටීමකට ලක් කොට තිබෙන බව පැහැදිලි නිසා මෙවැනි විමර්ශනයක් සිදු කිරීම යෝග්‍යයි.

මේ ගිවිසුම අහෝසි කිරීමක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඇත්තෙන්ම මෙහිදී නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙතැන අහෝසි කිරීමට ගිවිසුමක් නැහැ. ඒ නිසා අපි දිගටම ඉල්ලා සිටින්නේ මේ අත්සන තබා ඇති ලියවිල්ල ශූන්‍ය සහ බලරහිත කරන්න කියලයි. මෙවැනි ගිවිසුමක් ඇති වුණේ නැහැ කියා සලකා දැන් මෙම ලියවිල්ල ශූන්‍ය සහ බලරහිත කිරීමයි ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුව ඇත්තේ.

මෙවැනි ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරීමට බලපෑ හේතුවක් කුමක්ද කියා මා පවසන්නම්. මෙතෙක් කලක් චීනය වෙනත් රටවලින් බැහැර කරන ලද අපද්‍රව්‍ය භාර ගනු ලැබුවා. නමුත් චීනයේ නව ජනාධිපතිවරයා එසේ ලෝකයේ වෙනත් රටවලින් අපද්‍රව්‍ය භාර ගැනීම තහනම්කර තිබෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය තොග බැහැර කිරීමට රටක් නැති වෙනවා. ඒ අනුවයි න්‍යෂ්ටික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, සිංගප්පූරු ජාතිකයන්ගේ මළපහ විතරක් නොවෙයි කොණ්ඩා පවා භාණ්ඩ විදියට අප රටට බාර ගැනීමට සිදුවන මේ ගිවිසුම අත්සන් තබා ඇත්තේ. ලෝකයේ කුණු බැහැර කිරීමට රටක් නැති වන විට ඒ සඳහා සඳහා ශ්‍රී ලංකාවේ දොරටු හැර දීමයි අමාත්‍යවරයා හා අගමැතිවරයා සිදුකර තිබෙන්නේ. ජනාධිපතිවරයා ද නොදැනුවත්කම නිසා හෝ මේ විනාශයට දායක වී තිබෙනවා.

මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ සිංගප්පූරුවට ආදරය කරන සිංගප්පූරු අගමැතිවරයා හා සිංගප්පූරුවට ආදරය කරන ශ්‍රී ලංකාවේ අගමැතිවරයා විසින්. ඒක හරියට එදා ඊළමට ආදරය කරන ප්‍රභාකරන් සහ ඊළමට ආදරේ කරන රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා වගේ. ලංකාව ලෝකයේ කුණු ගොඩක් වෙනවා පමණක් නොවෙයි මේ ගිවිසුම, එට්කා ගිවිසුම මගින් බලාපොරොත්තු වූ භයානක අරමුණු ඉටුකර දේවි. අවසානයේ දී සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දියා, චීන, මැලේසියා සමාගම්වල සේවකයන්ගේ සංක්‍රමණය වේගවත් වීමෙන් ලංකාවේ තියෙන ජන සංයුතිය පවා ඉදිරියේදී වෙනස් වේවි.

අප ඉල්ලා සිටින්නේ මෙවැනි ගිවිසුමක් ඇති වුණේ නැහැ කියා සලකා මෙම ලියවිල්ල ශුන්‍ය සහ බලරහිත කරන ලෙසයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More