දේශීය පුවත්

‘හානිපූරණය සඳහා වන කාර්යාලය පනත’ නම් වූ පනත් කෙටුම්පතක් හෙට (10) දිනයේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත ය. එසේ සම්මතකර ගැනීමට සැරසෙන පනතේ මූලික අරමුණ වන්නේ යුද්ධයේ දී මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ට ජනතාවගේ බදු මුදලින් රජය විසින් වන්දි ගෙවීම ය. එල්ටීටීඊ සංවිධානය යනු ශ්‍රී ලංකා රජයට එරෙහිව අභ්‍යන්තර යුද ගැටුමක යෙදී සිටි බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයකි. මෙමගින් තම රජයට එරෙහිව යුද වැදී මියගිය ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සඳහා නීති සම්මත කරන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය සහිතව ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ 30/1 යෝජනාවට අනුව ය. අන්ධයන් සේ තම බටහිර හාම්පුතුන්ට දුන් පොරොන්දු ඉටු කරන යහපාලන ආණ්ඩුව මෙසේ වන්දි දීමට සැරසෙන්නේ දැනටත් ලොව පුරා රටවල් 32ක තහනම් කරන ලද බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක මියගිය සාමාජිකයන්ට ය. එසේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1373 යෝජනාව අනුව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධයක් සහිත සංවිධාන 15ක් හඳුනාගෙන ඒවා ලෝක සාමයට බාධාවක් වන සංවිධාන ලෙස ලැයිස්තුගත කොට තිබේ. මෙසේ කොයි මොහොතක හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර ලෝක සාමයට බාධාවක් සිදු කරයිදැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද ලොව පුරා රටවල් 32ක් ද විමසිල්ලෙන් පසුවන බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක මියගිය සාමාජිකයන්ට වන්දි ගෙවීම ‘ත්‍රස්තවාදය ප්‍රවර්ධනය’ කිරීමක් මිස අන් යමක් නොවේ.

තමන්ට බලයට ඒමට පාර කපා දුන් කොටි හිතවාදීන් සැනසීමට, ඔවුන්ට කළගුණ දැක්වීමට තම පුද්ගලික මුදලින් මෙවැනි වන්දි ප්‍රදාන කළාට අපට කමක් නැත. එහෙත් වසර තිහක් තිස්සේ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ මෙරට මහජනයාගේ බදු මුදලින් එසේ කිරීමට ඉඩ දීමට අපට අයිතියක් නැත. මේ පනත් කෙටුම්පත පැරදවීම සඳහා බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ඡන්දය ලබා දිය යුතු ය. එසේ කිරීමට තම මහජන නියෝජිතයන්ට බල කිරීමට මහජනතාව පෙරට ආ යුතු ය.

තව ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද මෙම පනත් කෙටුම්පත පිළිබඳ එමගින් ලබා දී ඇති තීන්දුව වන්නේ ‘ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය වීම පිළිබඳ වන්දි ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රතිපාදන නොමැති බවත් එසේ කිරීමට ජනමත විචාරණයකට යා යුතු බවත්’ය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ ඉහත කරුණ සඳහන් වගන්තිය ඉවත්කර මෙකී පනත් කෙටුම්පත සම්මතකර ගැනීමට ය. එහෙත් එම වගන්තිය ඉවත් කළ ද මෙම පනත් කෙටුම්පත සකසා ඇත්තේ එම වගන්තියෙන් කියැවෙන සංකල්පය, එනම් ‘ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය වීම පිළිබඳ වන්දි ගෙවීම’ යන්න අනුව ය. එසේ නම් ඒ වගන්තිය ඉවත්කර එය සම්මත කිරීමට උත්සාහ ගතහොත් එමගින් උල්ලංඝනය වන්නේ මේ රටේ මූලික නීතිය ය. එනම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය. එහෙයින් මේ පනත් කෙටුම්පත එකී වගන්තිය ඉවත්කර නීති විරෝධීව සම්මත කිරීම නවතා එක්කෝ සම්පූර්ණ පනත් කෙටුම්පත ඉවත්කර ගැනීමට හෝ නැතිනම් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට හෝ ආණ්ඩුව කටයුතු කළ යුතු ය.

එසේම අප මෙසේ විරෝධය පළකරන්නේ යුද්ධයෙන් පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වන්දි ගෙවීමට නොව ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද වැදි බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට රජයේ මුදලින් වන්දි ගෙවීමට බව ද යළි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018/10/09



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More