ව්‍යාපාරික පුවත්

ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීමට මත්තෙන් සිංගප්පූරු ගිවිසුම අහෝසි කොට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළ යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එය රටේ නායකයාගේ වගකීමක් බවයි.

වෘත්තීය ජාතික පෙරමුණ මේ පිළිබඳව නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැත. රටේ සියලුම දෙනා වෙළෙදාම සම්බන්ධයෙන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඉල්ලා සිටියද දිගින් දිගටම එය මඟහැරීමට ආර්ථික සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කරන ලදී. දිගින් දිගටම ඇති වූ ප්‍රබල විරෝධතා නිසා ව්‍යාජ ලෙස ‘නව වෙළෙඳ ප්‍රතිපත්තිය’ ලෙස නවසීලන්ත ජාතිකයකු ලියූ ලියවිල්ලක් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ලෙස පෙන්වා රටම රැවටීමට උත්සාහ ගන්නා ලදී. නමුත් දැන් එය ව්‍යාජ ලියවිල්ලක් බව ඔප්පු වී හමාරය.

මේ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. දිනෙන් දින රුපියල අවපාත වෙමින් පවතී. ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත පහළ යමින් පවතී. මෙයට ප්‍රධානම හේතුව නිසි ආර්ථික ප්‍රතිපත්තියකින් තොරව ආර්ථිකය හැසිරවීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ඇමැතිවරුන් හට ආර්ථික කටයුතු ගැන ඇති දැනුම ගැටලු සහගතය.

මේ ඇමැතිවරුන් හා අතළොස්සක් වූ ඔවුන්ගේ උපදේශකයන් යැයි කියා ගන්නා පිරිස දිගින් දිගටම පැවැසුවේ ආර්ථික ලිහිල්කරණය මඟින් රටේ ආර්ථික වර්ධනය ලබාගත හැකි බවයි. මේ නිසාම ඔවුන් කිසිදු ක්‍රමවේදයකින් තොරව හිතුමතේ ආර්ථික ලිහිල්කරණය කරමින් පිටරටින් මෙරටට එන භාණ්ඩවලට බදු සහන ලබාදෙන ක්‍රියාවලියක නිරත විය. එය තවදුරටත් තීව්‍ර කරමින් ද්විපාර්ශ්වික ගිවිසුම් මඟින් ආර්ථික ලිහිල්කරණයට යෑම දක්වා ඔවුන් අන්තගාමී විය. නිසි ප්‍රතිපත්තියකින් තොරව මෙලෙස භාණ්ඩ ලිබරල්කරණය කිරීම තුළින් රටට අගතියක් සිදුවන බව වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත රටම දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී. එවිට ඔවුන් පැවැසුවේ එලෙස කියන්නේ ළිං මැඩි සංකල්පයේ සිටිනා නිසයි. නමුත් අද වන විට එලෙස චෝදනා කළ පිරිසම අපනයන සීමා කිරීම සඳහා කටයුතු කරමින් සිටී. මේ වන විට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන භාණ්ඩ රැසකට බදු පනවා ඇත.

රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සහන රාශියක් නවත්වා ඇත. රටේ ජනතාවගෙන් දේශීය භාණ්ඩ මිලදී ගන්නා ලෙස ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියට පැමිණ ඉල්ලමින් සිටී. එදා වෘත්තිකයන් පැවැසූ දේ විශ්වාස නොකළ, ඇහුම්කන් නොදි, අත්තනෝමතික ලෙස ක්‍රියා කළ පිරිස අද රටම ආර්ථික ආගාධයකට ඇද දමා ඇත.

සිංගප්පූරු ගිවිසුම ද්විපාර්ශ්වික භාණ්ඩ හා සේවා වෙළෙඳ ගිවිසුමකි. ඒ තුළින් ආනයනික භාණ්ඩ 7000ක් පමණ බදුවලින් නිදහස් කර ඇත. ඒ තුළින් රටට මේ මොහොතේ අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 1,600ක් පමණ වේ. ඉදිරියේදී මේ ගිවිසුම තුළින් රටේ මිනිසුන්ගේ රැකියා ටිකද අහිමි වීමේ අවදානමක් මතුව ඇත. ඒ අනුව සිංගප්පූරු ගිවිසුම තුළින් රටේ මතුව ඇති ආර්ථික අර්බුදය තවතවත් තීව්‍ර කරනු ඇත. එය අපි මෙවන් අර්බුදයකට මුහුණ දීමට පෙරම පෙන්නුම් කළෙමු. සිංගප්පූරු ගිවිසුම නිසි ක්‍රමවේදයක් අනුගමනය කර සෑදූ ක්‍රමවේදයක් නොවේ. එය නිසි ආකාරයෙන් අනුමැතිය ගත් ගිවිසුමක්ද නොවේ.

එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැත. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැත.

එය එක් අමාත්‍යාංශයක අත්තනෝමතිකත්වය තුළින් බිහිවූ ගිවිසුමක් පමණි. ඒ නිසා ජනාධිපති වහා මේ සඳහා මැදිහත් වී දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීමට කලින් සිංගප්පූරු ගිවිසුම අහෝසි කර ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කිරීම සඳහා නායකත්වය ගත යුතු බව අපගේ අදහසයි.
එය රට වෙනුවෙන් රටේ නායකයා කළ යුත්තකි. එය ඔහුගේ වගකීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More