විදේශ පුවත්

සෞදි ජාතික, සුප්‍රකට මාධ්‍යවේදියකු වන ජමාල් ඛෂෝජි ගේ අබිරහස් අතුරුදන් වීම මේ වනවිට විශාල ආන්දෝලනයක් සහ කුතුහලයක් ජනිත කළ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ වනවිට සෞදි අරාබියේ පාලන කටයුතු මෙහෙයවමින් සිටින, ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියකු ලෙස සැලකෙන ඛෂෝජි දැන් කාලයක සිටම ජීවත් වන්නේ සෞදියෙන් පිටත ය. පසුගිය ඔක්තෝබර් 2 වෙනි දින ඔහු කිසියම් කටයුත්තක් සඳහා තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇති අතර එයින් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගන්නට නැත. ඔහු කොන්සල් කාර්යාලය තුළට යන අන්දම ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති නමුත් නැවත පිටතට ආ බවක් ඒවායේ සටහන්ව නොමැති බව ද වාර්තා වෙයි. තුර්කි පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ ඇතැමුන් පවසා ඇත්තේ ඛෂෝජි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඉතා සැලසුම් සහගත ආකාරයෙන් ඝාතනය කර ඇති බවට සාක්ෂි තිබෙන බවයි. නමුත් එම සාක්ෂි පිළිබඳව වැඩි විස්තරයක් ඔවුන් අනාවරණය කර තිබුණේ නැත.

කලක් සෞදි රජ පවු‍ලේ සමීප හිතවතෙකු ලෙස ද, සමහර සෞදි නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ඛෂෝජි කටයුතු කර ඇති නමුත් පසුකාලයේ රජ පවුල සහ ඔහු අතර යම් දුරස්ථ බවක් වර්ධනය වී ඇති බව සඳහන් වෙයි. විශේෂයෙන් සෞදියේ මීළඟට රජකමට පත් වීමට සිටින මොහොමඩ් බින් සල්මාන් කුමරු වඩාත් බලවත් වීමත් සමග ඛෂෝජි බොහෝ අවස්ථාවල ඔහු ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට පටන් ගත්තේය. මෙම තත්ත්වය තුළ තමාගේ ආරක්ෂාවට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජන ඇති වූ බව ද ඛෂෝජි පැවැසූ අතර පසුව ඔහු සෞදි අරාබියෙන් පිට වී ඇමෙරිකාවේ ‘වොෂින්ටන් ‍පෝස්ට්’ පුවත්පතටත්, තවත් රූපවාහිනි නාලිකාවලටත් සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට විය. ඔහු විසින් ලියන ලද තීරු ලිපිවලට සහ සමාජ මාධ්‍ය හරහා පළ කළ සටහන්වලට විශාල පාඨක ආකර්ශණයක් පැවැති අතර ලක්ෂ 18 කට ආසන්න පිරිසක් ඔහුගේ ට්විටර් සටහන්වල පාඨකයන් බවට පත්ව සිටි බවද සඳහන් වෙයි.

පසුගිය ඔක්තෝබර් 2 වෙනි දින ඔහු තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ කිසියම් පෞද්ගලික කටයුත්තක් සඳහා බව සඳහන් වේ. ඒ ඔහු සිය කලින් විවාහයෙන් දික්කසාද වී සිටින බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලිපි‍ලේඛන වාගයක් ලබා ගැනීමට ය. මේ වනවිට ඛෂෝජි දවෛනි විවාහයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද දැනගන්නට තිබේ. ඔහු එදින කොන්සල් කාර්යාලය වෙත ගොස් ඇත්තේ ද විවාහ වීමට සිටින හතිජේ ෂෙන්ගිස් සමග බවද සඳහන් ය. නමුත් ඇය කාර්යාලය තුළට නොගොස් පිටත රැඳී සිට ඇති බව පෙනේ. තමා ආපසු නොපැමිණියහොත් තුර්කි ජනාධිපති එර්ඩුවාන් ගේ එක්තරා උපදේශකයෙකු වෙත ඒ බව දැනුම් දෙන ලෙස ඛෂෝජි තමාට පැවැසූ බවද ඇය කියා තිබේ. ඇය පවසන පරිදි කොන්සල් කාර්යාලය තුළට යද්දී එහි දොරටුවේ දී ඛෂෝජි ට ඔහුගේ ජංගම දුරකථනය ද භාර දීමට සිදු වී ඇත. කාර්යාලය ඉදිරිපිට පැය ගණනක් ඔහු එනතුරු බලා සිටීමෙන් පසු ෂෙන්ගිස් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කර ඇති බව සඳහන් වේ.

කෙසේ හෝ වේවා, කොන්සල් කාර්යාලය තුළ දී ඛෂෝජි ඝාතනය කරන්නට ඇති බවට තුර්කි පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා සෞදි රජය ප්‍රතික්‍ෂේප කරමින් සිටියි. කොන්සල් කාර්යාලය පවසන්නේ ඔහු එහි පැමිණ ටික වේලාවකට පසු පිටව ගිය බවයි. එසේ නම් ඒ බව ඔප්පු කරන ලෙස තුර්කිය ඉල්ලා සිටියි. මෙයට අදාළ විඩියෝ දර්ශන ඉදිරිපත් කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. නමුත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් සෞදි කොන්සල් කාර්යාලය එවැනි සාක්ෂි ඉදිරිපත් කළ බවක් වාර්තා වී තිබුණේ නැත.

සමහර විට ඔහු ඝාතනය කර සිරුර කොන්සල් කාර්යාලයේ වාහනයකින් පිටතට රැගෙන යන්නට ඇති බවට ද අදහස් පළ වී තිබෙනු දැකිය හැකි වෙයි. ඛෂෝජි කාර්යාලය තුළට ගොස් ටික වේලාවකට පසු කාර්යාලයේ සිට නික්ම ගිය කළු පැහැති වාහනයක් ගැනද, එදින සෞදියේ සිට තුර්කියට පැමිණ කෙටි වේලාවක් තුළ නැවත පිටව ගොස් ඇති සෞදි ගුවන් යානයක් ගැනද අවධානය යොමු වෙමින් තිබේ. මෙම කාරණා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් ඇති බව ද සඳහන් වෙයි. ඛෂෝජි ඝාතනය කිරීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් තුර්කියට පැමිණ ඇති බවට ද තුර්කිය පැත්තෙන් ප්‍රකාශ වී තිබිණි.

ඛෂෝජි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කරන ලද බවට එල්ල වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්‍ෂේප කරන අතර විමර්ශන සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව කොන්සල් කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමට ඔවුන් තුර්කි බලධාරීන්ට අවසර ලබා දී තිබිණි. මාධ්‍යවේදියා කොන්සල් කාර්යාලය තුළදී කිසියම් සිද්ධියකට මුහුණ දුන් බවට පැතිරෙන කටකතාවල කිසිදු පදනමක් නැති බවත්, ඒවා අසත්‍ය ප්‍රචාර බවත් ඇමෙරිකාවේ සිටින සෞදි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම මහත් ආන්දෝලනාත්මක සිදුවීම පිටුපස ඇති සත්‍යය පිළිබඳව තවමත් කිසිදු අදහසක් ඇති කර ගැනීම අපහසු වුවත්, මේ සම්බන්ධයෙන් දැවැන්ත අවධානයක් ජාත්‍යන්තර වශයෙන් යොමු වෙමින් පවතී. සෞදිය තුර්කි භූමිය තුළ දී මෙවැනි ඝාතනයක් සිදු කළා නම් එය බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කරන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. සෞදි අරාබියේ මිත්‍රයන් ලෙස සැලකෙන බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි රටවල් පවා මේ පිළිබඳව සෞදිය වෙත යම් පීඩනයක් එල්ල කරමින් සිටිති. ඛෂෝජි කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බව ඔප්පු කිරීමට සෞදි බලධාරීන් පියවර ගත යුතුව ඇති බව මේ බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇති බව පෙනේ.

මේ අතර, තුර්කිය සහ සෞදිය අතර දැන් කාලයක සිටම විරසකයන් පවතින බව ද මෙහිදී සැලකිල්ලට ලක්විය යුතු කාරණයකි. තුර්කියේ මිතුරෙකු වන කටාර් රාජ්‍යයට එරෙහිව පසුගිය කාලයේ සම්බාධක ආදිය පැනවීමට සෞදි අරාබිය ක්‍රියා කිරීම තුර්කි පාලකයන්ගේ ප්‍රසාදයට හේතු වූයේ නැත. මෑත කාලයේ තුර්කි- සෞදි සබඳතා පළුදු කිරීමට හේතු වූ සිදුවීම් අතර මෙය ද ප්‍රධාන සිදුවීමකි. මේ ආකාරයෙන් තුර්කිය සහ සෞදිය අතර පවතින ආතතීන් ද ඛෂෝජි ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දිග හැරෙන සිදුවීම් දාමයේ දී කිසියම් කාර්යභාරයක් ඉටු කරන බවද මෙහි දී සඳහන් කළ හැකිය. මෙම සිද්ධිය හරහා සෞදි අරාබියට දැඩි ජාත්‍යන්තර පීඩනයක් එල්ල කිරීමට තුර්කියට හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ හෝ වේවා, මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම පිළිිබඳ කාරණය කවර ආකාරයෙන් විසඳෙනු ඇත්ද යන්න පිළිිබඳව බොහෝ පාර්ශ්ව තුළ දැඩි කුතුහලයක් සහ උනන්දුවක් පවතින අතර ඛෂෝජි කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බව සෞදි පාර්ශ්වය විසින් සනාථ කෙරෙනු ඇත්ද යන්න කවුරුත් උනන්දුවෙන් බලා සිටින කාරණයක් බවට පත්ව තිබේ.

නිහාල් පීරිස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More