1944 දෙසැම්බර් 22 දා සෝල්බරි කොමිසම ලංකාවට ආවේ ය. ඒ වන විට ඩී.එස්. සේනානායක ඇතුළු ඇමැති මණ්ඩලය ද ලංකා ජාතික සංගමය ද සෝල්බරි කොමිසම වර්ජනය කිරීමට ගත් තීරණය වෙනස් කර තිබුණේ නැත. ඊට අමතර ව සෝලබරි කොමිසම ලංකාවට එවීමට යටත්විජිත ලේකම් කාර්යාලය ගත් තීරණය 1943 දී ඔවුන් ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය උල්ලංඝනය කිරීමක් සේ සලකා ඊට විරෝධය පෑම පිණිස, ඇමැති මණ්ඩලය ඊට පෙර තමන් සකස් කර යවා තිබූ ව්‍යවස්ථා කෙටුම්පත ඉල්ලා අස් කර ගෙන තිබුණේ ය. එහෙත් ඩී.එස්. සේනානායක සහ ඔලිවර් ගුණතිලක වර්ජනය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර කොමිසම සමඟ හොර රහසේ ගනුදෙනුවක් ආරම්භ කළෝ ය. ඒ ගනුදෙනුවේ අරමුණ වූයේ පළමු අගමැති ලෙස ඩී.එස්. සේනානායක පත් කර ගැනීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා සෝල්බරි කොමිසමේ සාමාජිකයන්ගේ උපකාරය ලබා ගැනීමයි. යටත්විජිත ලේකම් කාර්යාලයේ පිළිවෙතට විරෝධය පළ කරන බව ප්‍රසිද්ධියේ පෙන්වන අතර සෝල්බරි කොමිසම සමඟ හොර රහසේ ගනුදෙනු කිරීම අද දවසේ වචනවලින් නම් හැඳින්විය යුත්තේ ‘ඩීල් එකක්’ යනුවෙනි.
ඩී.එස්. අගමැති කිරීමේ වැඩසටහනේ මහ මොළකාරයා වූ ඔලිවර් ගුණතිලක සියල්ල සැලසුම් කළේ ය. වැඩසටහන දියත් කිරීම සඳහා පමණක් නොව සෝල්බරි කොමිසමේ සාමාජිකයන් ආපසු ලංකාවෙන් පිට වී යන තෙක් ඔවුන් සතුටු කිරීම සඳහා (ඇතැම් විචාරකයන් කියන අන්දමට කොමිසමේ සාමාජිකයන්ගේ ජීවිත ප්‍රීතිමත් කිරීම සඳහා) ඔලිවර් ගුණතිලක විසින් දියත් කරන ලද සියලු සාත්තු සප්පායම් වැඩසටහන් වෙනුවෙන් වූ පිරිවැය හෙවත් බරපැන දරන ලද්දේ ඩී.එස්. විසිනි. සැලැස්ම සාර්ථක කර ගැනීමට නම් සෝල්බරි කොමිසමේ උපකාරය අවශ්‍ය බව ඩී.එස්. සහ ඔලිවර් දැන සිටියෝ ය. ඇමැති මණ්ඩලය සහ ලංකා ජාතික සංගමය සෝල්බරි කොමිසම වර්ජනය කිරීමට තීරණය කර තිබුණත් ඔවුන් දෙදෙනා කොමිසම සමඟ හොර රහසේ ගනුදෙනුවක් ආරම්භ කළේ එබැවිනි.
පස්සා දොරෙන් කළ ඒ ගනුදෙනුව ආරම්භ වූයේ කොමිසමේ සාමාජිකයන් ලංකාවට පැමිණ දෙදිනකට පසු ව උදා වූ නත්තල් දවසේ දී ය. එදින කොමිසමේ සාමාජිකයන් වෙනුවෙන් ඔලිවර් ගුණතිලකගේ නිවසේ දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කරන ලදී. ආරම්භය ඉතා සාර්ථක විය. එහි සාර්ථකත්වයෙන් දිරිමත් වූ ඔලිවර් ගුණතිලක ඊට දින පහකට පසු ව උදා වූ දෙසැම්බර් 31 දා කොමිසමේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ගාලු මුවදොර හෝටලයේ ආලිංගන නැටුම් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් (Thirty first night dinner dance) ද සංවිධානය කළේ ය. මේ අවස්ථා දෙකට ම සහභාගි වූ සෝල්බරි සාමිවරයා ඇතුළු කොමිසමේ සාමාජිකයන් තිදෙනා උපරිම සතුටක් ලැබූ බව සඳහන් වේ.
ඔලිවර් ගුණතිලකගේ අදහස වී තිබුණේ සැලැස්ම සාර්ථක කර ගැනීමට නම් කොමිසමේ සාමාජිකයන් ග්‍රහණය කර ගත යුතු බව ය. යටිකූට්ටු වැඩක් ලෙස හැඳින්විය හැකි මේ සැලැස්ම කොතෙක් දුරට සාර්ථක වූයේ ද කියතොත් වැඩි දවසක් යන්නට කලින් ඔලිවර් ගුණතිලක සෝල්බරි කොමිසමේ ලේකම්වරිය දැලේ දමා ගන්නට ද සමත් විය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ මේ ආදර සම්බන්ධය ඩී.එස්. අගමැති කිරීමේ සටකපට වැඩපිළිවෙළේ ප්‍රධාන සහායක බලවේගයක් ලෙස ක්‍රියා කළේ ය. ඔලිවර් තම අලුත් පෙම්වතියගේ සහායෙන් සෝල්බරි සාමිවරයා අල්ලේ නැටවිය හැකි තත්වයට පත් කර ගත්තේ ය. මේ කූට සැලැස්මට හසු වූ සෝල්බරි සාමිවරයා ඇතුළු කොම්සමේ සාමාජිකයන් තිදෙනා ඔලිවර් ගුණතිලකගේත් ඩී.එස්. සේනානායකගේත් කුළුපග මිත්‍රයන්ගේ තත්වයට පත් වූ අතර ඔවුන් දෙනොගේ සිතැඟි අනුව කොමිසමේ කටයුතු පවත්වා ගෙන යන තරමට ඒ මිත්‍රත්වය බලවත් වූ බව කියනු ලැබේ. කොමිසමේ ලේකම්වරිය වූ වූ ෆීලික්ස් මිලර් මෙනවිය එහි රහස්‍ය තොරතුරු පවා, සිය පනස් හය හැවිරිදි පෙම්වතා වූ ඔලිවර් ගුණතිලකට ලබා දුන්නා ය.
ඇත්ත වශයෙන් ම සෝල්බරි කොමිසම ලංකාවට ආවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා නොවේ. ඔවුන් පත් කර එවා තිබුණේ ඩී.එස්. විසින් අයිවර් ජෙනිංස් ලවා සකස් කරවා ගෙන යටත්විජිත ලේකම් කාර්යාලය වෙත යවන ලද (ඇමැති මණ්ඩල කෙටුම්පත යනුවෙන් පසු ව හැඳින්වුණු) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට සංශෝධන අවශ්‍ය වේ දැයි සොයා බලා ඒ පිළිබඳ ව නිර්දේශ ඇතුළත් වාර්තාවක් යටත්විජිත ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන්නට ය. ඒ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර තිබුණේ 1943 වයිට්හෝල් අධිකාරිය (යටත්විජිත ලේකම් කාර්යාලය) විසින් ලංකාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට අනුකූල වන පරිදි ය. එබැවින් වයිට්හෝල් අධිකාරියේ විරෝධයට, අමනාපයට හෝ අඩු වශයෙන් සිත් රිදීමකට වත් හේතු විය හැකි කිසිවක් ඒ ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් ව තිබුණේ නැති බව එය කෙටුම්පත් කළ ජෙනිංස් මෙන් ම ඩී.එස්. ද දැන සිටියේ ය. එහෙත් සෝල්බරි කොමිසම මෙහි එවන ලද්දේ තමන්ගේ ව්‍යවස්ථා කෙටුම්පත ඉවත දමා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්නට යැයි ඩී.එස්. ඇතුළු නායකයෝ සිතූහ. කොමිසමට එරෙහි විරෝධයක් පැනනැඟුණේ එබැවිනි.
කෙසේ වෙතත් සෝල්බරි කොමිසම ඇමැති මණ්ඩල කෙටුම්පතෙහි මූලික පදනමේ කිසිවක් වෙනස් කළේ නැත. එක් අංගයක් පමණක් අලුතින් එකතු කරන්නට කොමිසම යෝජනා කර තිබිණි. ඒ නම් පාර්ලිමේන්තුවේ මහජන ඡන්දයෙන් පත් වන මන්ත්රීවරුන්ට අමතර ව පත් කරනු ලබන මන්ත්‍රීවරුන් 30කින් සමන්විත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමයි. අනික් අතට ඩී.එස්.ගේ ඇමැති මණ්ඩල කෙටුම්පතට හානි වන ආකාරයේ සංශෝධන කිසිවක් සිදු කරන්නට සෝල්බරි කොමිසමට හේතුවක් තිබුණේ ද නැත. මන්ද එය සකස් කර තිබුණේ ම බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ සිතුම් පැතුම්වලට අනුකූල වන පරිදි බැවිනි. ඩී.එස්.ගේ ව්‍යවස්ථා කෙටුම්පත මඟින් යෝජනා කර තිබුණේ තව දුරටත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය පිළි ගන්නා කැබිනට් ආණ්ඩු ක්‍රමයකි. එය නිදහස් රාජ්‍යයක් සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නොවී ය. එය බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතාව ඉටු වන ව්‍යස්ථාවක් සඳහා වූ කෙටුම්පතක් වූ බැවින් එය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැති බව ඩී.එස්. දැන සිටියේ ය.
සාක්ෂ්‍ය විභාගය අවසන් කළ සෝල්බරි කොමිසම සතුටු සිතින් යුතු ව 1945 අප්‍රේල් 09 දා ආපසු පිටත් ව ගියේ ය. කොමිසමේ සාමාජිකයන්ගේ සතුටට හේතු වූයේ වයිට්හෝල් අධිකාරිය අමනාපයට පත් වන, අපහසුතාවට පත් වන ආකාරයේ කිසිවක් ඔවුන්ගේ සාක්ෂ්‍ය විභාගය පැවැත්වෙන කාලය තුළ දී සිදු නොවීමයි. ඉන්දියවේ මෙන් නිදහස ඉල්ලා ඇරඹූ සටන් ව්‍යාපාරයක් මෙහි නොවී ය. ඒ වෙනුවට ලංකාවේ දී ඔවුන්ට හමු වූයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යය පිළිගන්නා දේශපාලන නායකයන් පිරිසකි. බ්‍රිවතාන්‍ය ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් වීම සඳහා කිසිවකුගේ උනන්දුවක් නොවී ය. ලංකාවේ නායකයන්ට අවශ්‍ය වී තිබුණේ තවදුරටත් බ්‍රිතාන්‍ය සෙවණේ සිටින අර්ධ ස්වාධීන පාලන ක්‍රමයක් පමණි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා වැඩි ම උනන්දුවක් දැක්වූ සංවිධානය ලෙස සැලකිය හැකි ලංකා ජාතික සංගමය අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ බ්‍රිමතාන්‍ය පාලකයන්ගේ සිත නොරිදවා, සාකච්ඡා මඟින්, රැස්වීම් මඟින් ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් ඔස්සේ පාලන බලතල හිමි කර ගැනීම ය.
ඩී.එස්. ඇතුළු නායකයෝ මේ ව්‍යාපෘතිය මුළුමනින් ම මහජනතාවගෙන් ඈත් කර තබා ගැනීමට සැලකිලිමත් වූහ. නිදහස ලබා ගැනීම උදසා කටයුතු කිරීම තමන්ගේ කටයුත්තක් ලෙස මහජනයාට ඒත්තුගන්වමින් ඔවුන් කිසි දු අවස්ථාවක මේ ක්‍රියාවලියට සහභාගි කර ගැනීමෙන් වැළකීමට ඩී.එස්. හැම විට ම වග බලා ගත්තේ ය. මහජනයා මේ සඳහා සහභාගි කර ගැනීම ඇඟ රිදෙන පන්නයේ සටන් පිළිවෙතකට යන්නට සිදු වන හේතුවක් වන බව දැන සිටි ඩී.එස්. නිදහස ලබා ගැනීම තමන්ගේ වැඩක් ලෙස පවරා ගෙන සිටින බව පෙන්වන්නට සෑම විට ම උත්සාහ කළේ ය.
සෝල්බරි කොමාසම ලංකාවෙන් පිටත් වී ගොස් මාස තුනකට පසු ව යටත්විජිත ලේකම් කාර්යාලය සුහද සංචාරයක් සඳහා ඩී.එස්. බ්‍රිතාන්‍යය වෙත කැඳවී ය. ඒ වන විට බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්වය ද වෙනස් වී තිබුණේ ය. එතෙක් බලයේ සිටි වින්සන්ට් චර්චිල්ගේ කොන්සර්වේටිව් පක්ෂය පරාජයට පත් වී තොමස් ඇට්ලිගේ කම්කරු පක්ෂය බලයට පත් වී තිබිණ. ජූලි මාසයේ ඩී.එස්. සහ ඔලිවර් ගුණතිලක එහි ගිය පසු ඔලිවර්ගේ පෙම්වතිය ඒ වන විටත් නිල වශයෙන් නිකුත් වී නොතිබුණු සෝලබරි කොමිෂන් සභා වාර්තාවේ සෝදුපත් බලන්නටත් පෙර සකස් කෙරුණු පිටපත ඔවුන් දෙදෙනාට හොර රහසේ පෙන්වූවා ය. ( පසු ව ඔලිවර්ගේ දෙවැනි කසාද බිරිඳ බවට පත් වූවා ඇයයි.) එහි සඳහන් වී තිබුණු එක් කරුණක් පමණක් ඩී.එස්.ගේ නොසතුටට හේතු විය. ඒ කරුණ නම් ලංකාවට ඩොමීනියන් තත්වයක් ලබා දීම සඳහා අන්තර් කාල සීමාවක් තිබිය යුතු ය යන්නයි. එය ඩී.එස්.ගේ නොසතුටට හේතු වූයේ ඩොමීනියන් තත්වය වත් ලබා නොගෙන ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ඔහු තුළ තිබූ චකිතයයි. ඩොමීනියන් තත්වය ලබා ගත හැකි වුව හොත් නිදහස ලබා ගත් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වී විශාල ජයග්‍රහණයක් ලැබිය හැකි බව ඔහුගේ ගණන් බැලීම විය. එබැවින් සොල්බරි කොමිෂන් වාරතාවෙන් නිර්දේශ කර ඇති අන්තර් කාලසීමාව ඉවත් කර වහා ම ඩොමීනියන් තත්වය ලබා දෙන්නැයි ඔහු වයිට්හෝල් අධිකාරියෙන් ඉල්ල සිටියේ ය.
එහෙත් වයිට්හෝල් අධිකාරිය ඔහුගේ ඉල්ලීම සලකා බැලුවේ නැත. සෝල්බරි කොමිසමේ වාර්තාව සලකා බැලූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඒ වාර්තාව පදනම් කර ගැනීමට 1945 සැප්තැම්බර් 11 දා තීරණය කළේ ය. ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුත්තක් බවත් එය වහා ම සිදු කළ නොහැකි බවත් ප්‍රකාශ කළ කැබිනට් මණ්ඩලය 1945 සැප්තැමිබර් 17 දා කැබිනට් තීරණය අඩංගු වාර්තාවක් ඩී.එස්. වෙත ද ලබා දුන්නේ ය. ඒ තීරණය පිළිගැනීම හැර ඊට එරෙහි ව කළ හැකි කිසිවක් ඩී.එස්.ට නොවී ය. සෝල්බරි කොමිසමේ වාර්තාව 1945 ඔක්තෝබර් 31 දා නිකුත් කරන ලදී. ඒ සමඟ ම ලංකාවට ආණ්ඩුක්රටම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ ව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ තීරණ ඇතුළත් ධවල පත්‍රිකාවක් ද නිකුත් කරන ලදී.
ඒ වාර්තාව සහ ධවල පත්‍රිකාව ද රැගෙන ආපසු ලංකාවට ආ ඩී.එස්. ඉහත කී ධවල පත්‍රිකාව සම්මත කර ගැනීම සඳහා 1945 නොවැම්බර් මාසයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කළේ ය. ඔහු ඉදිරිපත් කළ යෝජනාව මෙසේ ය.
‘මහරජාණන් වහන්සේගේ ආන්ඩුව ලංකාව පූර්ණ ඩොමීනියන් තත්වයකට ඇතුළු කර ගැනීම කල් දැමීම ගැන මේ සභාවේ බලාපොරොත්තු කඩ කිරීම ප්‍රකාශ කර සිටියි. එහෙත් සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් ඇතුළත දී එවැනි තත්වයක් ලැබිය හැකි වන පරිදි මහරජාණන් වහන්සේගේ ආණ්ඩුව ලංකා ජනතාවට සහයෝගය දක්වන බවට1945 ඔක්තෝබර් 31 දා ධවල පත්‍රිකාවේ අඩංගු වී ඇති ප්‍රතිඥා සලකා පූර්වෝක්ත ධවල පත්‍රිකාවෙන් ප්‍රදානය කර ඇති ආණ්ඩුක්‍රම ව්ය වස්ථාව අන්තර් කාල පරිච්ඡේදය තුළ දී පිළිගත යුතු යැයි මේ සභාව තීරණය කරයි.’
ඔහුගේ මේ යෝජනාව විශාල බහුතර ඡන්දයකින් සම්මත විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඡන්දබලය සහිත වූ මන්ත්‍රීවරුන් 57න් 51ක් යෝජනාවට පක්ෂ ව ඡන්දය දුන් අතර විජයානන්ද දහනායක, අයි එක්ස් පෙරේරා සහ නටේස අයියර් යන මන්ත්‍රීවරු තිදෙනා පමණක් ඊට විරුද්ධ ව ඡන්දය දුන්හ.
Dharma Sri Kariyawasam
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
හැමදාම වගේ රටට වින කලේ එ. ජා. පය තමයි. ඒත් කරුමේ කියන්නෙ අපේ ජාතිකවාදී කියනනායකයොත් එවුන්ටමනෙ උඩ ගෙඩි දෙන්නෙ. මහින්ද රාජපක්ශත් මීට වඩා වැඩි වෙනසක් නෑ. ගෝඨාබයව ගෙනෙන බව පෙන්නලා බැසිල්ව ගෙනෙන්න යන්නෙ ඇයි? එහෙම බලනකොට මහින්දත් එ.ජා. ප. යින්ට වඩ වැඩි වෙනසක් නෑ. යුද්දේ දිනුව තමයි . ඊත් යුද්දෙ දිනුවෙ ඔහුට ඒ වෙලාවෙ රට ඇතුලෙන් ආව පීඩනය නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි …