පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම පිළිබඳ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (15 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම මෙම මස 22 වැනිදා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16 දා) තීරණය කළේය.
අදාළ පෙත්සම විභාග කර අවසන් කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක්
පළාත් පාලන ඇමැතිවරයා විසින් පත් කළ පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු නිර්දේශ මත නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත්, එම ගැසට් නිවේදනය අනුව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම තහනම් කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (15 වැනිදා) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන ලදි.
එම පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක් පවත්වා අවසන් වනතෙක් එම ගැසට් නිවේදනයට අනුව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
මහනුවර විලියම් ගොපල්ලව මාවත පදිංචි ඩබ්ලිව්. ඩී. ජී. විඡේරත්න මහතා ඇතුළු 06 දෙනකු විසින් පෙත්සම ගොනු කර තිබිණි.
අභියාචනාධිකරණයේ සභාපති ටී. ඩී. දෙහිදෙණිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ඒ. ඇල්. එස්. ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ පෙත්සම කැඳවන ලදි. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ඒ. ඇම්. ෂහීර් මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.
ඒ අතර පෙත්සම සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයට මැදිහත් වී පෙත්සම්කරුවන් කරන ඉල්ලීම්වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, සාගරිකා අභයවික්‍රම මහත්මිය විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියහ.
ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් කරන ඉල්ලීම් උසාවිය පිළිගතහොත් දැනට නියම කර ගෙන ඇති දින වකවානුවලදී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි බවයි. පෙත්සම් විභාගයට මැදිහත් වීමට කරන ඉල්ලීමට ඉඩ දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද දැනුම් දෙන බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
පළාත් පාලන ඇමැති µයිසර් මුස්‌තාපා, සහ එම අමාත්‍යාංශයේ ලේකම් එච්. ටී. කමල් පද්මසිරි යන මහත්වරුන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු කියා සිටියේ පෙත්සමෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය අද උසාවියට දැනුම් දෙන බවයි.
කොටහේන පදිංචි ටී. සිරිසේන ප්‍රනාන්දු, හල්මිල්ලෑවැව ආර්. ඒ මහින්ද කරුණාතිලක, බණ්‌ඩාරවෙල පට්‌ටියගෙදර දිලන්ත කනිෂ්ක ආරියරත්න, උඩවලවේ ජනක කුමාර රාජපක්‍ෂ සේනාධීර, දෙනියාය හංදිය පී. එච්. යොහාන් දනුෂ්ක මෙම පෙත්සම ගොනු කළ අනිත් පස්‌දෙනායි.
පෙත්සම්කරුවන් හයදෙනා පිළිවෙළින් මහනුවර සහ කොළඹ නගර සභා සහ පඬුවස්‌නුවර, හාලිඇළ, ඇඹිලිපිටිය සහ කොටපොල ප්‍රාදේශීය සභා බල සීමාවන් තුළ පදිංචිකරුවෝ වෙති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ඒ. එම්. ෂහීර් මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම් පනත යටතේ සීමා නිර්ණ කමිටුවක් පිහිටුවා ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතන ඡන්ද කොට්‌ඨාසවල ඇතුළත් විය යුතු ප්‍රදේශ සීමාවන් පිළිබඳව පළාත් පාලන අමාත්‍යවරයාට නිර්දේශ කිරීමට බවයි.
එකී සීමා නිර්ණ කමිටුව කළ නිර්දේශවලට අමතරව අමාත්‍යවරයා විසින් 2017 පෙබරවාරි 17 දා පත් කරන ලද තවත් කමිටුවක් කළ නිර්දේශවලට අනුව ඡන්ද කොට්‌ඨාස සීමා නිර්ණය කිරීම්වලට අමතරව සභිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු තවත් වෙනස්‌කම් රාශියක් සිදුකර ඇති බවත් එය සම්පූර්ණයෙන් ම ඇමැතිවරයාට පැවරී ඇති බලතල ඉක්‌මවා ක්‍රියා කිරීමක් බවත් අධිනීතිඥ ෂහීර් මහතා කීය.
අමාත්‍යවරයා හිතුවක්‌කාර ලෙස තනි මතයට ගත් තීරණ නීතියට වලංගු නැති බැවින් ඔහු ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයත් ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමත් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිනීතිඥ ෂහීර් මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුර විභාගය අද (16 දා) පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...