පුරවැසි කොලම

බෙදුම්වාදී මාර්ග සිතියම කළමණාකරනය කරන උපාය මාර්ගික විශේෂඥයන් විසින් විපක්ෂ බලවේග පටලවා ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සඳහා මූලික පදනම දමන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය මගිනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශේෂ බහුතරය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම මගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටුකර ගැනීම ඔවුන්ගේ අභිප‍්‍රාය විය. ඒ සඳහා තවත් පූර්ව කොන්දේසි තුනක් ද ඔවුන් විසින් ඉටු කරගනු ලැබිණි. පළමු වැන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතට ගැනීමය. දෙවැන්න මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුකම්පාවට යටත් වන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්නා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමය. තුන්වැන්න මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම පමණක් නොව ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු සහ විපක්ෂ නායකකම පවා අහිමි කිරීම්ය.
ඒ ආකාරයට ගහන ගහන තරමට ව`දින හෙවත් යටත්වන තත්වයකට විපක්ෂ බලවේග පත්කිරීම සදහා ඔවුනට මානසික බලපෑම් එල්ල කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සමත් වී ඇත. මෙම හැකියාව එතුමාගේ දක්‍ෂතාවයකට වඩා එතුමාට ඉහළින් සිටින උපදේශකයින් විසින් විපක්ෂ බලවේග තුළට යවා ඇති ඔත්තුකරුවන්ගේ දක්ෂතාවය බව පිළිගැනීමට සිදුවේ. ඔවුන් විසින් ඉතා සූක්ෂම මනෝවිද්‍යාත්මක උපක‍්‍රම භාවිතා කරන බව විපක්ෂ බලවේග වල නායකයින්ට ඒත්තු ගැන්වීම පහසු නැත. ඔවුන් කිසිදු මහජන ඉල්ලීමකින් තොරව සහ මහානායක හිමිවරුන් ඇතුළු ජාතික බලවේග වල ප‍්‍රභල වූ විරෝධයක් තිබියදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දිගින් දිගටම රැුදී සිටිම්න් ආණ්ඩුවට සහය දැක්වීම තුළින් එම යුද උපක‍්‍රම කෙතරම් බලවත් ද යන්න පැහැදිලි වෙයි.

එසේ ඔත්තුකරුවන් විසින් මොළ සෝදන ලද යම් නායකයින් දිගින් දිගටම තර්ක කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ රැුඳී සිටීම මගින් තොරතුරු ලබා ගත හැකි බව සහ මෙම ක‍්‍රියාවලිය කල්දමා ගත හැකි බවය. නමුත් ඔවුන් එසේ ආණ්ඩුවට වක‍්‍රව සුජාතභාවය ලබාදීම නිසා අවසන් ප‍්‍රතිඵලය කුමක් ද යන්න ඉතා හොඳින් දන්නා එම ක‍්‍රියාවලියට එරෙහිව මහජන විරෝධතා උත්සන්න කිරීමට නොහැකි වී ඇත. ප‍්‍රභල මහජන විරෝධයක් නොමැතිව බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මන්ත‍්‍රීවරුන් පෙළගැස්වීම කළ නොහැකි බව ඔවුන් පිළිගන්නේ නැත. ඔවුහු පුද්ගලික මැදිහත්වීම් ම`ගින් මන්ත‍්‍රීවරුන් එකා බැගින් දිනා ගන්නා බවට මහජනයාට ව්‍යාජ ගණන් හිලව් ඉදිරිපත් කරති. සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස පළාත්් සභා මැති මැතිවරණ සංශෝධන පනත සම්මත කළ අවස්ථාවේදී ඊට තුනෙන් දෙකේ විශේෂ බහුතරය අහිමි කිරීමට එම ගණන් හිලව් වලට නොහැකි විය.

ඔවුන් ඒ ආකාරයට බොළඳ දේශපාලන තර්ක ඉදිරිපත් කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවවරුන්ගේ ඉල්ලීම නොසලකා කටයුතු කිරීමට ආණ්ඩුවට ඉඩ දී ඇත ඒ තුළ තමා විසින් ඉතා බරපතළ දීර්ඝ කාලීන දේශපාලන වරදක් සිදු කරන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. මහජන දායකත්වය සහ කැමැත්ත ඉතා අත්‍යවශ්‍ය වන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියක අවසන් ප‍්‍රතිඵලය හෙවත් එහි අන්තර්ගතයට වඩා එම ක‍්‍රියාවලිය සිදුකරන ආකාරය සහ ඊට දායකවන පුද්ගලයන්ගේ ගරුත්වය සහ විශ්වසනීයත්වය ඉතා වැදගත් වෙයි. ඒ බව මෙම ළදරු දේශපාලනඥයින් තේරුම් ගන්නේ නැත. ඒ බව වැටහෙනවා නම් සහ ආණ්ඩුව ගෙන එන්නේ බෙදුම්වාදී බලවේග සතුටු කරන ව්‍යවස්ථා සංශෝධනයක් බවට සාමාන්‍ය අවබෝධයක් හෝ තිබෙනවා නම් එම ක‍්‍රියාවලියට අභියෝග කිරීම සඳහා ඕනෑවටත් වඩා දේශපාලන ඉඩ කඩ ඇත. නමුත් විපක්ෂ බලවේග එම ඉඩ ප‍්‍රායෝගිකව භාවිතා කරන්නේ නැත.
එම තත්ත්වය තුළ ආණ්ඩුව නිරුපද්‍රිතව සහ ඉතා කූට ලෙස බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සමත් වී ඇත. මෙම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලයේ භයානක කම සැඟවීම සඳහා සහ ගොඩනැගෙමින් පවතින මහජන විරෝධය සමනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉතා සූක්ෂම මානසික යුද උපක‍්‍රම ප‍්‍රමාණයක් යොදාගනී. ඒවා ඉතා පැරණි උපක‍්‍රම වුවත් විපක්ෂ බලවේග ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට සහාය දීම නිසා ඒවා ඉතා ප‍්‍රතිඵලදායක ලෙස යොදා ගැනිමට හැකි වී ඇත. එවැනි සියුම් මානසික යුද උපක‍්‍රම රාශියක් අතුරින් කීපයක් මෙසේ හඳුනාගත හැක.

ඉන් පළමුවැන්න ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පිහිටුවන අවස්ථාවේ සිට යොදා ගත් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ සටන් පාඨය ඉහළට ගැනීමය. ඒ තුළ එක පැත්තකින් ආණ්ඩුව සහ ඊට සහාය දක්වන එන්.ජී. ඕ කල්ලි පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ භික්ෂු සංවිධාන විසින් පවා එම සටන් පාඨය ඉහලට ඔසවති. අනෙක් පැත්තෙන් ආණ්ඩු විරෝධී බලවේග විසින් ආණ්ඩුවේ සැබෑ අරමුණ එළිදරව් කරනවා වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බවට ඝෝෂා කරති. එම ඝෝෂාව තුළ එක් පැත්තකින් ආණ්ඩුවට තම සැබෑ සැලසුම් ආවරණය කර ගැනීමට හැකි වී ඇති අතර අනෙක් පැත්තෙන් ආකාර දෙකකට ඔවුනට තම සදාචාර බලය වර්ධනය කර ගැනීමට ද අවස්ථාවක් නිර්මාණයවේ. ඒ එක් පැත්තකින් පොදු මහජන ගැරහීමට ලක්වී සිටින එන්.ජී. ඕ නඩය විසින් කරනු ලබන බලපෑම නොසලකා හැරීම මගිනි. අනෙක් පැත්තෙන් ජාතික බලවේගවල යම් ඉල්ලීම් වලට අවනත වන බව පෙන්වා ව්‍යාජ ලෙස ඔවුන් සතුටු කිරීම මගිනි.

එම මානසික යුද උපක‍්‍රමය තවදුරටත් වර්ණ ගැන්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ යම් පක්ෂ නායකයින් මෙන්ම මහා සංඝරත්නයේ යම් පාර්ශවය කටයුතු කරති. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ඉතා පැහැදිලිව නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට අනුශාසනා කර තිබියදී යම් පිරිස් විසින් නව ව්‍යවස්ථාවක් එපා යන්න පමණක් මතු කරන්නේ කෙසේද? මහා සංඝරත්නය විසින් එවැනි වරදක් කරන්නේ සිතා මතා නොවන බවට තර්ක කළ හැකි වුවත් දේශපාලන නායකයින්ට අදාළව එවැනි මතයක් කිසිසේත්ම පිළිගත නොහැක. කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව විසින්ම හෙළිදරව් කළ මෙහෙයුම් කමිටු වාර්තාව අනුව නව ව්‍යවස්ථා කතාව තවදුරටත් වලංගුනොවේ. එහි අඩංගු යෝජනා සියල්ල ඉදිරිපත් කෙරෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවට ඉදිරිපත් කෙරෙන සංශෝධන ලෙසය. එසේවුවත් විපක්ෂය උපදේශකයින්ට අනුව මහින්ද රාජපක්ෂ මහතාට විධායක අගමැති කම ලබා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා ලවා විධායක ජනාධිපතිකම අහෝසි කළ හැකිය. ඒ ඒ මගින් විපක්‍ෂය දිගින් දිගටම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ රැුඳී සිටීම සාධාරණීකරණය කෙරේ.
ඒ අතර ව්‍යවස්ථාදායක සභාව තුළ සිටිමින් සටන්කරන බව කියන විපක්ෂ බලවේග ඒ තුළ කිසියම් වූ සටනක් කරන බවක් පොදු මහජනයාට පෙනෙන්නේ නැත. නමුත් ජාතික බලවේග විසින් දේශපාලන පක්‍ෂවල ප‍්‍රභල මග පෙන්වීමකින් තොරව වුවත් කරනු ලබන දැනුවත් කිරීම් සහ ක‍්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ උපාය මාර්ගයට එරෙහිව යම් මහජන මතයක් ගොඩනැෙ`ගමින් ඇත. එම සංවාදය වෙනත් පැත්තකට යොමු කිරීම සඳහා හෙවත් ආණ්ඩුවේ සැබෑ අරමුණ සැඟවීම සඳහා සුවිශේෂී මානසික උපක‍්‍රමයක් මේ ආණ්ඩුව විසින් ඉතා සාර්ථකව යොදා ගෙන ඇත. ඒ ඒකීය වචනය වෙනස් කිරීම සහ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම සඳහා ආණ්ඩුව විසින් උත්සාහයක් ගන්නා බවට අතිශයෝක්තියෙන් විශාල ඝෝෂාවක් ඇති කිරීමයි. ඒ සඳහා ජාතික බලවේග පෙළඹවීම තුළ ඒකීය වචනය වෙනස් කිරීම සහ ඒකීය භාවය නැති කිරීම අතර පවතින බරපතළ වෙනස අවතක්සේරු කිරීමක් ද සිදුවේ. ඒකීය වචනය වෙනස් නොකර ඒකීය භාවය අහෝසි කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රමවේදය බෙදුම්වාදීන් විසින් සොයාගෙන ඇත. ඒ සඳහා කළයුතු ව්‍යවස්ථා සංශෝධන වලට ම`ග පෙන්වීම සඳහා ශ‍්‍රී
ලංකාවේ ශේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු දෙකක් මෙන්ම ජාත්‍යන්තර අධිකරණයේ නඩු තීන්දු දෙකක් ද ඇත.

එම මනෝවිද්‍යාත්මක යුද උපක‍්‍රමයට ගොදුරුවන පිරිස් විසින් ඒකීය වචනය සහ බුද්ධාගමට හිමි තැන පිළිබදව සංවාදය ඉහළට ඔසවන විට බෙදුම්වාදීන් සැබවින්ම ඉල්ලා සිටින ඊනියා ‘‘කුඩා කුඩා’’ සංශෝධනවල භයානක කම යටපත්වේ. විපක්‍ෂයට උපදෙස් දෙන ඔත්තුකරුවන් කියන‘‘කුඩා කුඩා’’ සංශෝධන වලින් බෙදුම්වාදීන්ට අවශ්‍ය සියලූ දේ ඉටුකර ගැනීමේ හැකියාව ඇත. ඒ ස`දහා ජනමත විචාරණයක් අවශ්‍යවන සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ නැත. ඊට අමතරව අවසාන කෙටුම්පත ඉදිරිපත් කරනතෙක් එම ව්‍යාජ සංවාදය පවත්වාගෙන යාම තුළ අවසානයේදී ඒවා නොකර සිටීම මගින් ආණ්ඩුවට ඒකීය වචනය සහ බුද්ධාගම බේරාගත් වීරයන් බවටද පත්විය හැක.

එම සංවාදය තුළ තවත් සූක්ෂම මානසික යුද උපක‍්‍රමයක් ද දියත් වේ. ඒ රට බෙදන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙදි පරාජය කළ යුතයු සහ එසේ කළ හැකිය යන මතය තහවුරු කරනවා වෙනුවට ජනමත විචාරණයකින් එය පරාජය කළ හැකියි යන මතය ගොඩ නැගීමය. ඒ මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට බලපෑම් එල්ල කිරීම සඳහා ක‍්‍රියා ක‍්‍රියාමාර්ග තේරීම වෙනුවට සටන් බිම තවදුරටත් දුරස් කිරීම සිදු වේ. එනම් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තුනෙන් දෙක අහිමි කිරීමේ සටන් බිමේ සිටින සේනාව එතැනින් ඉවත් කොට ජනමත විවිචාරණ සටන් බිම දක්වා රැුගෙන යාමය. එය ඉතා සූක්‍ෂම පාවාදීමකි. ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී කෙසේ හෝ පරාජය කරන්නේ නම් ජනමත විචාරණක් අවශ්‍ය වන්නේ නැත. එසේ කරන්නේනම් ජනමත විචාරණ සටනට සූදානම් වීමට අවශ්‍ය නැත. ජනමත විචාරණයක් දක්වා ව්‍යවස්ථා සංශෝධනයක් ගමන් කරන්නේනම් එහි ජය පරාජය කුමක් වුවත් ඒ ප‍්‍රතිඵල දෙකම බෙදුම්වාදීන්ට වැඩි වාසි සහගත වෙයි. ඒ නිසා කළ යුත්තේ සියලූ ශක්තිය යොදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමි කිරීම ම`ගින් ජනමත විචාරනය වැලැක්වීම මිස එය පරාජය කිරීම ස`දහා සූදනම් වීම නොවේ.

මානසික යුද උපක‍්‍රම පිළිබඳ කතා කිරීමේදී ඉතා දුෂ්ඨතම පාවාදීම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඔවුන්ට අනුව මේ වනතුරු ව්‍යවස්ථා කෙටුම්පතක් දැකගැනීමට ලැබී නොමැති බැවින් විරෝධය පළ කිරීම විහිළුවක්ය. ඒ පිළිබඳ ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප‍්‍රශ්නයක් පමණි. ඒ 1987 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොවැම්බර් මාසයේ දී සම්මත කළ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ජුලි 27 දින සිට ප‍්‍රබල විරෝධතා පැවැත්වූයේ කුමක් නිසාද යන්නයි. එදා ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ඉන්දියානු බලපෑමට යටත්ව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න ජුනි 29 වැනිදා ය. එම ගිවිසුමේ අඩංගුවන්නේ කුමක්දැයි දකින්නේ නැතිව ඊට එරෙහිව විරෝධතා ආරම්භ කරන්නේ 27 වැනිදා සිටය. එම ගිවිසුමේ අඩංගු වූයේ කුමක්දැයි නිශ්චිතව නොදැන සිටියද ඒ මගින් සිදුවන අනතුරු කුමක්දැයි එදා ජවිපෙ නායකයෝ ඉතා හොඳින් දැන සිටියහ. බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරන්නේ 1987 දීය. නමුත් ඒ දක්වා යන බෙදුම්වාදී මාර්ග සිතියම පිළිබද විජේවීරයන් විසින් පර්යේෂණ නිබන්ධනයක් මගින් ජනතාව දැනුවත් කරන්නේ 1985 දීය. එසේ කළ හැකි වන්නේ එදා සිටි නායකයින් දුර දක්නා නුවනින් බෙදුම්වාදී මෙහෙයුම් වටහා ගැනීමට සමත්වීම නිසාය.
එදා ඉන්දු ලංකා ගිවිසුම්ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ ප‍්‍රබල විරෝධය නිසා ජනමත විචාරණයක් අවශ්‍ය වන බරපතළ සංශෝධන ඉවත් කිරීම සඳහා ප‍්‍රබල කේවල් කිරීමක් කිරීමට ජේ. ආර් ජයවර්ධන මහතාට හැකිවිය. ඒ අනුව ඔහු ඉන්දියාව විසින් ඉදිරිපත් කළ දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව බාධක ප‍්‍රමාණයක් පැනවීය. ඒ නිසා එම සංශෝධනයේ භයානක ප‍්‍රතිඵල මහජනයාට අත්විඳීමට සිදු වූයේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ 1989 විනාශයෙන් පසුව 1994 දී නැවත නැගිටීමෙන් පසුව බෙදුම්වාදයට අදාලව නිවැරදි න්‍යායාත්මක පදනමක සිට කටයුතු කරන්නේ එදා 1987 දී ඒ සඳහා කරනු ලැබූ මහා ජීවිත පරිත්‍යාගයේ මහිමය නිසා ය. එසේ නොවුනානම් 2002 දී සටන් විරාම ගිවිසුම් සහ තාවකාලික ආණ්ඩු යෝජනා පරාජය කිරීම සඳහා මහා මෙහෙයුමක් ඔවුන් විසින් දියත් කරන්නේ නැත. එසේ නොවුනා නම් අද වන විට සුඩානයට හිමි වී ඇති විනාශය අප විසින් අත්විඳිනු ඇත. අද ආණ්ඩුව විසින් කරන්නට උත්සාහ කරන්නේ එදා ජේ.ආර් ජයවර්ධන මහතා පැනවූ ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ඉවත් කොට එය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමය. බෙදුම්වාදීන්ට අවශ්‍ය වන්නේ එපමණකි. තර්කයක් ලෙස ගත්විට එදා ජනතා විමුක්ති පෙරමුණ 13 වැනි සංශෝධනයට එරෙහිව තම නායකයා ඇතුළු 60,000 සාමාජිකයන්ගේ ජීවිත පරිත්‍යාග කළා නම් අද එය සම්පූර්ණයෙන්මබලාත්මක කරන විට 120,000 ජීවිත පරිත්‍යාග කළ යුතුය. නමුත් අද ජවිපෙ විසින් කරමින් සිටින්නේ ඊට සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ දේ නොවේද? ආණ්ඩුවේ යුද උපක‍්‍රම වලට වැඩි වශයෙන්ම සහ කැමැත්තෙන්ම ගොදුරවන්නේ ජනතා විමුක්ති පෙරමුණ නොවේද?

වෛද්‍ය කේ. එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More