මේ රටේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්‍ෂයක්ද තිබේ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එජාප කතානායකවරයා මන්ත්‍රීවරුන් 50කට වඩා සිටි ඒකාබද්ධ විපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් හැටියට පිළිනොගෙන, මන්ත්‍රීවරුන් 16 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකකම පිරිනැමුවේය. මන්ත්‍රීවරුන් 6ක් සිටින ජනතා විමුක්ති පෙරමුණට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබුණේය. මේ අනුව සෑම වසරකම යහපාලන ආණ්ඩුවේ අයවැයට විරුද්ධව ඡන්දය දෙමින්, පාර්ලිමේන්තුව ඇතුළෙත්, පිටතත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ඒකාබද්ධ විපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් නොවන ලෙසත්, සෑම වසරකම යහපාලන අයවැයට පක්‍ෂව ඡන්දය දෙමින් පාර්ලිමේන්තුව ඇතුලේත් පිටතත් ආණ්ඩුවට පක්‍ෂව කටයුතු කරන දෙමල ජාතික සන්ධානය ප්‍රධාන විපක්‍ෂය හැටියටත් යු.එන්.පී කතානායකවරයා විසින් සලකනු ලබයි. මෙවැනි විකෘත්තියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදාක අපි අත්දැක නැත.
2015 ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටත් ඉහලින් “ජාතික විධායක සභාවක්” පිහිටවූ විට ජවිපෙ හා දෙමළ සංධානය එම සභාවේ ප්‍රධාන කොටස්කරුවන් විය. එයත් සමඟම යු.එන්.පී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරාජය වූ ආණ්ඩුවේ සාමාජිකයන් දඩයම් කොට සිරගත කිරීම සඳහා පිහිටුවන ලද ඊනියා “දූෂණ විරෝධී කමිටුව” තුළද ජවිපෙට හා දෙමළ සන්ධානයට කැපී පෙනෙන කාර්යභාරයක් හිමිවිය. එම දූෂණ විරෝධී කමිටුවේ අංගයක් හැටියට පිහිටවනු ලැබූ “හදිසි වැටලීම් ඒකකය” ක්‍රියාත්මක වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුද්ගලික අධීක්‍ෂණය යටතේය. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ මුල් දවස්වල ජවිපෙ සාමාජිකයන් පොලීසියේ කාර්යභාරය සියතට ගෙන පරණ ආණ්ඩුවේ වැරදි සෙවීමට ආණ්ඩුවේ මෙන්ම පුද්ගලික ආයතනද වැටලුවේය.
මේ ක්‍රියාදාමයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම තුළින් විධිමත් භාවයක් ලබාදෙනු ලැබූ පසුත්, එම නව පොලිස් ඒකකය පාලනය කළ කමිටුවේ සාමාජිකයන් හැටියට ජවිපෙ හා දෙමළ සන්ධාන නායකයන්ද දිගටම ක්‍රියා කලේය. විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හැටියට ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් රඟපෑමක් කරන අතරම මේ පක්‍ෂ දෙක පසුගිය අවුරුදු තුන මුලුල්ලේ යහපාලන ආණ්ඩුව විසින් ගෙන තිබෙන සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකටම සහයෝගය දක්වා තිබේ. 2017 අගෝස්තු මාසයේදී ව්‍යවස්ථාවට මෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටද පටහැනිව පලාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ජවිපෙ හා දෙමළ සන්ධානය ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. ඒ අවස්ථාවේදී සිදුවූයේ එවක පැවති පලාත් පාලන ඡන්ද නීතියේ තිබුණු සුලු තාක්‍ෂණික දෝෂ ගණනාවක් නැවැරදි කිරීමට ගැසට් කරන ලද පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී නව සංශෝධන විශාල ප්‍රමාණයක් එක් කිරීමෙන් සම්පූර්ණයෙන්ම අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමයි.
පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වන කියවීමේදී සම්මත වූයේ දෙවනි කියවීමෙන් පසු ඇති වූ විවාදයේදී සාකච්ඡා වූ පනත් කෙටුම්පත නොවේ. මේ ආකාරයට හඳුන්වා දෙනු ලැබූ නව පලාත් පාලන ඡන්ද ක්‍රමය ප්‍රසංශා කරමින් එය ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කලේ ජවිපෙ මන්ත්‍රීවරුන්ය. එමෙන්ම 2017 සැප්තැම්බර් මාසයේදී පලාත් සභා ඡන්ද ක්‍රමයද වෙනස් කොට පලාත් සභා ඡන්දයද කල් දමා ගැනීමට අණ්ඩුවට පාර්ලිමේන්තුවේ අවශ්‍ය වූ තුනෙන් දෙකේ බලය ලබා දුන්නේද ජවිපෙය. මේ අවස්ථාවේදීද සිදුවූයේ පලාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමට හඳුන්වා දී තිබූ පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී විශාල සංශෝධන ප්‍රමාණයක්ගෙන ඒමෙන් සම්පූර්ණයෙන්ම අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමයි. පසුගියදා යහපාලන ජනාධිපතිවරයා තම ධූර කාලය අවුරුදු 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය හැටියට තනතුරු හොබවන දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමෙන්ද ඔවුන් සැබවින්ම සිටින්නේ ආණ්ඩුව පැත්තේ යැයි නැවත වතාවක් රටට ඔප්පුකර පෙන්වීය. වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ – දෙමළ සන්ධාන ඡන්ද වලින් පත් කරගත් අයෙක් බවද අපි අමතක නොකළ යුතුය.
1971 සිටම ජවිපෙ අරමුණ වී ඇත්තේ රටේ පාලනය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කොට තමන්ට බලය ලබා ගැනීමට හැකි තත්වයක් ඇති කර ගැනීමයි. 1971 දී අලුත් ආණ්ඩුවක් බලයට පත්වී මාස 9ක් ඇතුළත ආයුධ සන්නද්ධ කැරැල්ලකින් එම ආණ්ඩුව බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම තුළින් ඔවුන් තරුණ ජීවිත 10,000ක් බිල්ලට දුන්නේය. 1987 – 89 සමයේදී, අද පවතින පලාත් සභා ක්‍රමය හඳුන්වාදීමට එරෙහිව නැවත වතාවක් සන්නද්ධ අරගලයක් දියත් කර තරුණ ජීවිත 60,000කට අධික ප්‍රමාණයක් බිල්ලට දුන් ජවිපෙ අද යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථා යෝජනාවලියට කිසිදු විරෝධයක් දක්වන්නේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ මේ ආකාරයට රට කැබලි කිරීමෙන් ඇතිවන අරාජිකත්වය ප්‍රයෝජනයට ගෙන ජවිපෙට බලය ඩැහැ ගැනීමට හැකිවෙන වාතාවරණයක් නිර්මාණය කර ගැනීම විය හැක.
1971 හා 1987– 89 සමයේදී සන්නද්ධ කැරළි තුළින් දේශපාලන බලය ඩැහැ ගැනීමට ජවිපෙ කළ උත්සාහයන් වලදී, ඡන්ද පැවැත්වීම තහනම් කොට ඡන්දපොලට ගිය ඡන්ද දායකයන් බුරුතු පිටින් ඝාතනය කරන ලදී. රාජ්‍ය පරිපාලනය කඩාකප්පල් කිරීමේ අටියෙන් ග්‍රාම සේවක නිලධාරීන් ඇතුලු රජයේ සුළු නිලධාරීන් සිය ගණන් ඔවුන් මරා දමන ලදී. ප්‍රවාහන පද්ධතිය කඩාකප්පල් කිරීමේ අටියෙන් ප්‍රවාහන සේවකයන් සිය ගණන් ඝාතනය කරන ලදී. රටේ නීතිය ක්‍රියාත්මක වීම නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් ඝාතනය කරන ලදී. තම ත්‍රස්ථ ව්‍යාපාරය සඳහා ආයුධ එකතු කිරීමට ඔවුන් හමුදා කඳවුරු වලට පහර දුන්නේ, මුලු යුද හමුදාවම 1987 කොටි සංවිධානයට එරෙහිව වඩමාරච්චි මෙහෙයුම සඳහා යොමුකොට තිබෙන අවස්ථාවකය. ඔවුන් දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා කළ අරගලයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන් මරා දැමුවා පමණක් නොව කොටි සංව්ධානයවත් නොකල ආකාරයට සන්නද්ධ හමුදා සමාජිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ද ඝාතනය කලේය.
1987 – 89 ජවිපෙ දෙවන කැරැල්ල සමයේදී එහි ප්‍රධාන නායකයන් සිටියේ වෙනත් ගරිල්ලා සංවිධාන වල නායකයන් මෙන් කැලෑ වල නොව ධනවත් ව්‍යාපාරිකයන් හා ඉඩම් හිමියන් හැටියට වෙස් වලාගෙන සුඛෝපබෝගී ජීවති ගත කරමිනි. මේ සඳහා ඔවුන් මුදල් සොයා ගත්තේ බැංකු මංකොල්ල කෑමෙන් හා මහජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමෙන්ය. ජවිපෙ මන්ත්‍රීවරුන් මේ රටේ ඉපදී සිටින අවංකම, අහිංසකම දේශපාලඥයන් හැටියට රඟපාන හැටි පමණක් දැක තිබෙන අලුත් පරපුර ඔවුන්ගේ බිහිසුණු යටගියාව ගැන කිසිවක් දන්නේ නැත. අද නිල විපක්‍ෂ නායකත්වය දරණ දෙමළ ජාතික සන්ධානයද, අවසන් මොහාත දක්වාම කොටි ත්‍රස්තවාදීන්ට සහයෝගය දැක්වූ දේශපාලන පක්‍ෂයක් බවද අපි අමතක නොකල යුතුය. ජවිපෙ හා දෙමළ සන්ධානය වැනි දේශපාලන පක්‍ෂ නෛයිසර් ගිකව කතාවට දක්‍ෂ වුවත්, පරිපාලනයේදී අසමත්ය. 2004–2005 සමයේදී ජවිපෙට චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ බලගතු අමාත්‍යංශ හතරක් ලැබුණු අතර ඉන් එකක් වූයේ කෘෂිකර්ම ඉඩම්, වාරිමාර්ග හා පශුසම්පත් අමාත්‍යංශයයි. එහි ඇමතිවරයා අනුර කුමාර දිසානායක වූ අතර නියෝජ්‍ය ඇමතිවරයා වුයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දා උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අංක 05/0036/039/002 දරණ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ දිසානාක ඇමතිවරයා විසිනි. අවුරුදු පනහක පමණ කාලයක් මුලුල්ලේ විවිධ ආණ්ඩු යටතේ සාකඡ්චා වෙමින් පැවති උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවන ලදී.
2014 දෙසැම්බර් අවසානයේදී මගේ ආණ්ඩුව පරාජය වීමට දින කිපයකට කලින් උමා ඔය ව්‍යාපෘතිය සඳහා ඉඳිකරමින් පැවති උමං මාර්ගයක් තුළට ජලය කාන්දු වීමට පටන් ගත්තේය. මගෙන් පසු බලයට පත් වූ වැඩ බැරි ආන්ඩුව මේ ගැන නිසි කලට නිසි පියවර නොගැනීම නිසා ජල කාන්දුව වැඩිවී පලාත පුරාම භූගත ජලය අඩුවී ගොඩනැගිලි හා වගාවන් වලටද හානි සිදුවිය. මේ ආකාරයට උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු ඇති වූ විට ජවිපෙ කළේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන් කල කාර්යභාරය ජනතාවගෙන් වසන් කරමින් ඇඳ යටට රිංගාගෙන මේ සියලුම ප්‍රශ්න ඇති වූයේ මගේ ආණ්ඩුව විසින් උඩරට ජල සම්පත් දකුණට හැරවීමට ගත් උත්සාහය නිසා යැයි ජනතාවට කීමයි.
ජවිපෙ ඇමතිවරයෙකු විසින් මුලපුරන ලද එකම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටීම තියා එයට ඔවුන් මුලපුරපු බවවත් පිලිගැනීමට ආත්ම ශක්තියක් නැති, සුලු ගැටලුවක් මතුවුවත් වහාම ඇඳ යටට රිංගා ගන්නා පක්‍ෂයකට රටේ සංවර්ධනයක් ඇතිකල හැකිද? උමං හෑරීමේදී අනිවාර්යෙන්ම එයට ඉහලින් ඇති භූගත ජලය උමඟ තුළට කාන්දු වේ. මෙය වැලැක්වීමට උමඟ හාරන අතරම එය සීල් කල යුතු වේ. මේ වන විට උමා ඔය ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් අදාල උපකරණ ගෙන්වාගෙන ජල කාන්දුව පාලනය කර ඇත. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ගැටලු නිරන්තරයෙන්ම ඇති වේ. පරිපාලකයන්ගේ කාර්යභාරය වන්නේ එවැනි ගැටලු ඇතිවූ විට විසඳුම් ලබාදීමය. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වකවානුව පුරාම නැවත නැවතත් ඔප්පුකොට ඇත්තේ ඔවුන්ට කතා පැවැත්වීමට දක්‍ෂතාවයක් තිබුණත් වැඩ කිරීමට දක්‍ෂතාවයක් නැති බවයි. ඔවුන් විසින් දියත් කරන ලද සන්නද්ධ කැරළි අසාර්ථක වී, තරුණ ජීවිත 70,000 කට අධික ගණනක් නැති වූයේද මේ නිසාය. අසාර්ථක කැරළිකරුවන්ට සාර්ථක පරිපාලකයන් විය හැකි යැයි සිතන්නේ කවුද?
2001 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව සමඟ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමෙන් පසු 2002 දී ජවිපෙට මුල් වතාවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීමට හැකි විය. 2006 දී මගේ ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින සමයේ ඔවුන්ට නැවත වතාවක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනා ගැනීමට හැකි විය. නමුත් 2011 දී අපෙන් වෙන්වීමෙන් පසු ඔවුන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පරාජය වී තුන්වන තැනට ඇද වැටුනේය. ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්‍ෂ, හුදු විරෝධකල්පික උද්ඝෝෂණකරුවන්ගේ දේශපාලන පක්‍ෂ වේ. 2004–2005 කාලය තුළදී ජවිපෙ අමාත්‍යංශ හතරක් පාලනය කිරීම, දෙමළ ජාතික සන්ධානය උතුරු පලාත් සභාව පාලනය කිරීමට සමාන විය. වැඩබැරි යහපාලන ආණ්ඩුවක් මෙන්ම වැඩබැරි යහපාලන විපක්‍ෂයක්ද මේ රටේ තිබෙන බව සියලුම ඡන්ද දායකයන් අවබෝධ කර ගැනීම වැදගත්ය. මේ යහපාලන පාර්ශව දෙකම ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු වේ.
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...