පුරවැසි කොලම

මහින්ද රාජපක්ෂ යනු විධායක ජනාධිපති ක්‍රමය රැකීමට හෝ අහෝසි කිරීමට මහා ඝෝෂාවක් කළ අයකු හෝ ඒ මඟින් තීරණාත්මක දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කළ නායකයෙක් නොවේ. නමුත් හදිසියේම මාධ්‍යවේදියකු විසින් නඟන ලද ප්‍රශ්නයකට ඔහු ලබාදුන් පිළිතුරක් මුල්කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟ වී ඇති බවට ව්‍යාජ ඝෝෂාවක් මතු කෙරෙන බවක් දක්නට ඇත. මහා සමාජය තුළ ඒ පිළිබඳව කැලඹීමක් ඇති වී නැතත් මහින්දවාදීන් අතර සිටින ජනමාධ්‍යයෙන් මතු කරන ප්‍රශ්නවලට හුදෙකලාව හදිසි පිළිතුරු බඳින යම්කිසි පිරිසක් කලබල වී ඇති බවක් දක්නට ඇත. නමුත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව වචනයක් හෝ කතා නොකරන පිරිසක්ද මහින්ද රාජක්ෂ මහතාට ‍ෙදාස් කියන බව අසන්නට ලැබිණි. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම මාතෘකාව අතිශයෝක්තියෙන් ඉහළට ගැනීමට යම් පිරිසකට උනන්දුවක් තිබෙන බවය.

ඒ වුවමනාව කුමක්ද? එක් පැත්තකින් ආණ්ඩුව විසින් කරගෙන යනු ලබන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ සැබෑ භයානකකම සැඟවීමේ හෝ දියාරු කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇත. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රභාරාත්මක ප්‍රවේශයක් ගනු ලැබ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිශ්චිත සහ තීරණාත්මක ප්‍රකාශයක් කිරීම සහ ස්ථාවරයක් ගැනීම වැළැක්වීම සඳහා ඔහු තුළ මානසික බාධක පැනවීමේ වුවමනාවක් ද ඇත. ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කරනු ලබන්නට යෙදුණේ ආණ්ඩුව විසින් තමාගේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරනු ලැබිය යුතු බවත් අනෙක් පාර්ශ්ව තමාගේ ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතු බවත්ය. එවිට ජනතාව තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය. එය ප්‍රහාරාත්මක ප්‍රවේශයකි. ඒ මඟින් ඉඟි කෙරුණේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථාවට විකල්ප ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවය. සැබැවින්ම එය බෙදුම්වාදීන් තැතිගන්වන ප්‍රකාශයකි. ඒ නිසා ව්‍යවස්ථාව ගැන නිරවුල්ව කතා කිරීම වැළැක්වීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි එක් කෑල්ලක් අල්ලාගෙන විවාද කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතා අමාරුවේ දැමිය හැකි බව ආණ්ඩුවේ එන්.ජී.ඕ. උපදේශකයෝ ඉතා හොඳින් දනිති. දැනටමත් මහින්ද පිලේ සිටින යම් විද්වතුන් විවෘතව ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් 13 වැනි සංශෝධනයද අහෝසි කළ යුතු බවය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ වර්තමාන ආණ්ඩුව තුළින් වර්තමාන ව්‍යවස්ථාව සංශෝධනය කොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පිළිබඳව නොවේ. ඒ ආකාරයට 13 අහෝසි කිරීමක් පිළිබඳව මාතෘකාව වැදගත් වන්නේ එසේ කරනවානම්ය. මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන ආකාරයේ නව ව්‍යවස්ථාවක 13 වැනි සංශෝධනයක් නැත. ඒ අනුව ප්‍රශ්නයේ ගැඹුර නොදැක ඝෝෂා කරන අය විසින් ඇති කරනු ලබන පැටලිල්ල පැහැදිලි වේ.

නමුත් එම පටලැවිල්ලට මහින්ද රාජපක්ෂ මහතාට ‍ෙදාස් පැවැරීම සාධාරණ නොවේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැති බවට කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට දුන් පිළිතුර මුල්කරගෙන මෙම පටලැවිල්ල නිර්මාණය කළ බව දැන් පැහැදිලි වේ. ඉහත සඳහන් කළ ආකාරයට මෛත්‍රි – මහින්ද – රනිල් එකඟතාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡාවක් සිදු වන බවට මාධ්‍ය විසින් කරන ලද මතය සිතා මතා අවුලක් හැදීම සඳහා නිර්මාණය කළ එකක් බවට දැන් සැකයක් නැත. නමුත් දැන් ඒ මෙහෙයුම දියත් කළ පුද්ගලයන්ගේ අරමුණු බොහෝවිට ඉටු වී තිබිය හැකිය.

එසේ නම් කුමක්ද ඒ අරමුණු. ඉහත සඳහන් කළ ආකාරයට ප්‍රධානතම අරමුණක් ලෙස හඳුනාගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා අමාරුවේ දැමීම සහ ඔහු තුළ මානසික බාධක පැනවීම බවට සැකයක් නැත. දැන් සමහරවිට ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කතා කිරීමේදී අනවශ්‍ය ලෙස පරෙස්සම් වීමේ හෝ කතා නොකර සිටීමේ වරද ඔහුගෙන් සිදු විය හැකිය. ඊට අමතරව දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මතු කරන ලද ආකාරයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයට එරෙහිව ජාතිකවාදී, වාමවාදී මහා සන්ධානයක් ගොඩනැඟිය යුතුය යන මතය යටපත් වී නොකෙරෙන දෙයක් පිළිබඳ සංවාදයක් මතු වී ඇත. නොකෙරුණු දෙය ලෙස අදහස් කෙරෙන්නේ මෛත්‍රි – මහින්ද – රනිල් එකට එකතු වී ව්‍යවස්ථා සංශෝධනය කිරීමය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට විරුද්ධව මහා දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සහ ඒ මහා සන්ධානය විසින් රට බෙදුම්වාදී මර උගුලෙන් ගලවා ගනු ලබන ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීම යන උපාය මාර්ගික අවශ්‍යතා දෙකම මේ නව ව්‍යවස්ථා සංවාදය විසින් යටපත් කරනු ලබන බව පෙනේ. ඒ අනුව පොදු ජාතික සන්ධානයක් ගොඩනැඟීමට විරුද්ධව කටයුතු කරන පිරිස්වලටද මෙම ව්‍යාජ ව්‍යවස්ථා සංවාදය ආශීර්වාදයකි.

මහින්ද රාජපක්ෂ මහතා හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන්පාඨයට වශී වී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන නව ව්‍යවස්ථා මර උගුලට හෝ ඔහුගේ අනුදැනුම ඇතිව අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන 20 වැනි සංශෝධන මර උගුලට පය තබනු ඇතැයි විශ්වාස කළ හැක්කේ දේශපාලන ළදරුවන්ට පමණි. නමුත් යම් වැඩිහිටියන් ළදරුවන් ලෙස ක්‍රියා කරන අවස්ථාද ඇත. විශේෂයෙන්ම සිදුවීම් හෝ මතවාද දෙකක් තර්කානුකූල නොවන ආකාරයට එකට ගැට ගැසීමට උත්සාහ කරන විට එවැනි වැරැදි සිදුවෙයි. උදාහරණයක් ලෙස “මහින්ද රාජපක්ෂ මහතාට දැන් විධායක ජනාධිපති ධූරයට තරග කළ නොහැකි නිසා විධායක අගමැති ධූරය ලබාගැනීම සඳහා ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්තක් දැක්විය හැකි යැයි සිතීම, දැක්විය හැකිය. එසේම මෛත්‍රිපාල සිරිසේන මහතාට නැවත වාරයක් ජයග්‍රහණය කළ නොහැකි නිසා විධායක ජනාධිපති වෙනුවට විධායක නොවන ජනපති ලෙස පාර්ලිමේන්තුව හරහා පත් වීමේ වුවමනාවක් තිබිය හැකි යැයි උපකල්පනය කිරීමද එවැන්නකි. එවැනි හුදෙකලා සිතිවිලි සහ උපකල්පනවලින් දේශපාලන තේරීම් සිදුකිරීම රට පැත්තෙන් ගත් විට ඉතා භයානක දෙයකි.

දේශපාලන තේරීම් සිදුකළ යුත්තේ දේශපාලන බලවේගවල උපායමාර්ගික වුවමනාවන්ට සාපේක්ෂවය. ඊට අමතරව ඒ වුවමනාවන් ඉටුකර ගැනීමේදී ඊට විරුද්ධව සහ පක්ෂව ක්‍රියාත්මක වන සාධක මතය. බෙදුම්වාදී බලවේග පැත්තෙන් ඔවුන්ගේ මූලික අරමුණට සාපේක්ෂව ගත් විට විධායක ජනාධිපති ක්‍රමය කරුණු 03ක් නිසා ඔවුන්ට වැදගත් වේ. පළමුවෙන්ම ඔවුන්ගේ කේවල් කිරීමේ බලය වැඩි වන්නේ සමස්ත රටේම ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කරන විටය.

ඒ නිසා එමඟින් බෙදුම්වාදී අරමුණුවලට බාධාවක් නොමැති නම් එම ක්‍රමය අහෝසි කිරීමට ඔවුන්ට කිසිදු වුවමනාවක් නැත. නමුත් රට බෙදුම්වාදී මර උගුලින් බේරී තිබෙන්නේ හෝ බේරා ගැනීමට හැකිවී තිබෙන්නේ සහ අනාගතයේදී එසේ බේරා ගැනීමට හැකි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා යැයි ව්‍යාජ මතයක් ගොඩනැඟීම ඔවුන්ට වාසි සහගත වෙයි. එවිට එක් පැත්තකින් මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාවක් ගැන සැබෑ ලෙසම භයානක සාධකය නොසලකා හරින මනෝභාවයක් ඇති වෙයි. එවිට සැබෑ සටන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැළැක්වීමේ සටනක් බවට ලඝුවේ. අනෙක් පැත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව උඩට ගැනීමෙන් ව්‍යාවස්ථා සංශෝධන ක්‍රියාවලියේ සැබෑ අරමුණු යටපත් කිරීමට අවස්ථාව ලැබෙයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයක් අලවා බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

මෙම මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමවලින් මහජනයා ගලවා ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය මඟින් කළ හැකි දේ සහ නොහැකි දේ පිළිබඳව ගැඹුරු සංවාදයක් අවශ්‍ය වේ. එදා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අත කරකවා ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කෙරෙන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සඳහාය. එම සංශෝධනය එසේ අප රටේ ව්‍යවස්ථාවට ඇතුළු කෙරෙන්නේ ඒ මඟින් විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී රට බෙදීමේ වුවමනාව ඉටු කරගත හැකි බැවිනි. සැබෑ ලෙසම එම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉටු කරගැනීමට අපේක්ෂා කළ අරමුණු ඉටුකරගත නොහැකි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොව ඊට එරෙහිව පනවා ඇති සෙසු ව්‍යවස්ථාමය බාධක නිසාය. එවැනි බාධක 5ක් මූලික වශයෙන් හඳුනාගත හැකිය.

ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එම බාධක ඉවත් කළහොත් විධායක ජනාධිපතිට අසරණව බලා සිටීමට සිදුවේ. ඒ නිසා මෙම ව්‍යවස්ථාව තිබෙන තුරු ජාතික බලවේග විසින් ඉටු කරනු ලැබිය යුතු භූමිකාව වන්නේ මූලික වශයෙන් එම බාධක ඉවත් කිරීමට ඉඩ නොදී සිටීමය.

එම බාධක එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කර ගැනීම බෙදුම්වාදී බලවේගවලට වැදගත් නැත. ඔවුන්ට වැදගත් වන්නේ පළමුව අදාළ බාධක ඉවත් කර ගැනීමටය. එම බාධක ඉවත් කළහොත් විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී ඔවුන්ගේ මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යෑමට බාධාවක් නැත. නමුත් එම බාධක සහ විධායක ජනාධිපති ක්‍රමය යන දෙකම එකවර ඉවත් කිරීම ඉහත සඳහන් කළ ආකාරයට මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් ලෙස වැදගත්වේ. නමුත් ආණ්ඩුකාරවරයාගේ බලතල අදාළ බාධක ඉවත් කිරීම මඟින් දුර්වල කළ විට ඊට ඉහළින් සිටින විධායක ජනපතිට කළ හැකි දෙයක් නැත. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය මඟින් ජනපති බලතල දුර්වල කොට ඇති තත්ත්වයක් යටතේ එය තවදුරටත් අදාළ වේ. ඊට අමතරව 2002දී විධායක ජනාධිපතිවරයා බලවත්ව සිටියදී අගමැතිවරයා විසින් සටන් විරාම ගිවිසුම “තනි හිතුමතයට” අස්සන් කරනු ලැබ රට අමාරුවේ දැමූ ආකාරය රහසක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් ගත් විට ඔහු අත්තනෝමතික විධායක බලයට දැඩි ලෙස කැමැති අයකු වුවත් ඔහුට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කොට එම බලය අත්පත් කරගත නොහැකිය. පවතින ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය ඔවුන්ට වැදගත් වන්නේ දුර්වල විධායක ජනාධිපතිවරයකු යටතේ නිල නොවන විධායක අගමැති ලෙස කටයුතු කිරීම සඳහාය. නමුත් එම උපාය මාර්ගය ප්‍රායෝගිකව අර්බුදවලට ලක්වූ ආකාරය ඔහු විසින් දෙවරක්ම අත්විඳිනු ලැබීය.

ඒ නිසා ඔහුට වඩා වැදගත් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විධායක අගමැති පුටුවේ වාඩි වීම බවට විවාදයක් නැත. නමුත් ඔහුට වඩා වාසිදායක වන්නේ පවතින ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා නව ව්‍යවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එවිට ඔහුට මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පරාජය කොට ජයග්‍රහණය කරන තමාගේ අපේක්ෂකයාගේ විධායක සළුපිළි ගලවා අගමැති ලෙස තමා විසින්ම ඒවා පැලඳ ගනු ලැබීමේ අවස්ථාව උදාවේ. මහින්ද පරාජය කිරීම මඟින් ජාතිකවාදී බලවේග දුර්වල කොට බෙදුම්වාදී බලවේග ශක්තිමත් කිරීමේ වුවමනාවද ඒ මඟින් ඉටු වේ.

පවතින ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් විධායක අගමැති ලෙස සෘජුව බලය තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලැබේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඊට උදවු කළහොත් ඔහු කිසි දිනෙක විධායක අගමැති ලෙස පත් නොවන බව ජාතික බලවේග විසින් සහතික කරනු ඇත. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා විධායක අගමැති කිරීම සඳහා මහජනයාගෙන් අති බහුතරයක් විසින් දකිනු ලබන සිහිනය සැබෑ කළ හැක්කේ ඔහු විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා විසින් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනු ලබන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පමණි.

සැබෑ ලෙසම ජාතික බලවේග පැත්තෙන් ගත් විට ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා විධායක අගමැති ලෙස පත් කිරීමට වඩා වැදගත් වන්නේ බෙදුම්වාදී මර උගුලෙන් රට සදාකාලිකවම ගලවා ගැනීමටය. ඒ දෙකම එක විට ඉටු කරගත හැකි නම් ඔවුන් වඩාත් කැමැති වන බව ඉතා පැහැදිලිය. විධායක ජනාධිපති ක්‍රමය බිහි වූ දා සිට සියලු ජාතිවාදී බෙදුම්වාදී පක්ෂ බලවත් වූයේ එම ක්‍රමයට පින්සිදු වන්නටය. ඔවුන්ට විධායක අගමැති ක්‍රමයක් යටතේ ලබාගත නොහැකි කේවල් කිරීමේ බලයක් විධායක ජනාධිපති යටතේ ලැබිණි.

ඒ නිසා එක් පැත්තකින් රට බෙදීමේ ව්‍යවස්ථාමය අනතුරක් නොමැති තත්ත්වයක් යටතේ ජාතිවාදී බෙදුම්වාදී බලවේගවල කේවල් කිරීමේ හැකියාව බිඳ දැමීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතිකවාදී බලවේගවලට වාසිදායක වේ. විධායක බලය කොතැන තිබුණත් එය අයුතු ලෙස භාවිත කිරීමේ අනර්ථය වෙනස් වෙන්නේ නැත. එසේම ජාතික බලවේගවල මූලික අරමුණ වන්නේ බෙදුම්වාදී මර උගුලෙන් රට සදාකාලිකවම ගලවා ගැනීමයි. කෙටිකාලීනව ගත් විට ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක ගැලවීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමෙන් එය ඉටුකර ගත හැකිය. එහෙත් දීර්ඝ කාලීනව එය පරාජය කිරීම සඳහා සමස්ත බෙදුම්වාදී ප්‍රතිපාදන සියල්ල ගලවා ඉවත් කිරීමට අවශ්‍ය වේ. නමුත් පවතින ව්‍යවස්ථාවෙන් 13 වැනි සංශෝධනය ගලවා ඉවත් කිරීම සටන් පාඨයක් මිස ප්‍රායෝගික යථාර්ථයක් නොවේ.

එසේ නම් දේශපාලන වශයෙන් වැඩි ශක්‍යතාවක් තිබෙන්නේ ඊනියා 13 වැනි ව්‍යවස්ථාවක් නැති නව ව්‍යවස්ථාවක් මඟින් ඒ වුවමනාව ඉටු කර ගැනීම සඳහාය. එසේ නොකොට පවතින ව්‍යවස්ථාවේ අඩංගු ඉහත සඳහන් බාධක ඉන් ඉවත් කිරීමට ඉඩ නොදී තබා ගැනීමෙන් පමණක් ඒ දීර්ඝ කාලීන අරමුණු ඉටු නොවේ. එයට හේතුව කුමක් හෝ මොහොතක දීර්ඝකාලීන අරමුණු ඉටු නොවේ.

එයට හේතුව කුමන හෝ මොහොතක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරය ලබා ගත් විට එය කළ හැකි වීමය. එසේ සදාකාලිකවම බෙදුම්වාදී ප්‍රතිපාදන ඉවත් කිරීමට නම් නව ව්‍යවස්ථාව තුළට ජනමත විචාරණයකින් තොරව බෙදුම්වාදී හිතවාදී ප්‍රතිපාදන ඇතුළු කිරීමට නොහැකි වන ලෙස ප්‍රතිපාදන පැනවිය යුතුය. නමුත් බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නම් වූ සටන් පාඨයට මුවා වී ජාතික බලවේග අමාරුවේ දැමීමය. ඒ නිසා දැන් කළයුත්තේ සතුරාගේ ආයුධ උදුරාගෙන උෟටම පහරදීමය. බෙදුම්වාදී මර උගුලින් රට දීර්ඝ කාලීනව ගලවාගත හැකි ව්‍යවස්ථාවක් යටතේ විධායක අගමැතිවරයකු බිහිවනවා නම් ජාතික බලවේගවල අරමුණු ඉටුවේ. එම අරමුණු ඉටුකර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් උපායමාර්ගික සැලැස්මක් දියත් කිරීම හැර අන් මඟක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More