පුරවැසි කොලම

ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් – අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.

ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.

චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය – එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් – අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.

ගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.

මෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.

මේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.

ධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.

ධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් – අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More