පුරවැසි කොලම

වසර තිහක් තිස්සේ රට පෙළුෑ ත‍්‍රස්තවාදය නිම කොට රටට සාමය උදාකර දුන් රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි හංවඩු ගසා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් ජිනීවා 30/1 යෝජනාව 2015 වසරේදී ගෙන ආවේ ඇමරිකාවය. අපේ රටේ වර්ත.මාන පාලකයෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එම යුද අපරාධ චෝදනා අගය කරමින් පිළිගෙන එම 30/1 යෝජනාවට ජනපතිගේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියකින් තොරව, ලෝකයේ අන් කිසිම රටක් නොකරන අයුරින්, සම අනුග‍්‍රාහකත්වය දක්වන ලදි.

ඉන්පසු මීට ටික කාලයකට ප‍්‍රථම අපට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එම ඊනියා යෝජනාව ගෙන ආ ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යනු අගතිගාමි දේශපාලනයේ අශූචි වළක් යැයි පවසමින් ඉන් ඉවත්විය. නමුත් ඉන් පසුවත් අපේ පාලකයෝ එම කොන්දේසි සපිරීමේ කාර්යයේ නිරතව සිටියහ. මෙවර ජිනීවා සමුළුවේදී ඇමරිකාව නොමැති නිසා, ඉහත 30/1 යෝජනාවේ දැනට ඉතිරිව ඇති කොන්දේසි ඇතුළත් කොට 40/1 යෝජනාව ගෙන ආවේ එංගලන්තයයි. එයටද වර්තමාන පාලකයෝ ජනපතිගේවත්, කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව සම අනුග‍්‍රහකත්වය දැක්වූහ. අදටත් රටේ ජනපතිවරයා, මෙම සම අනුග‍්‍රහකත්වය දක්වා ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව යැයි පුන පුනා පවසයි.

පසුගිය මාර්තු මස පැවති ජිනීවා සමුළුවේ අපට විරුද්ධව මෙම 40/1 ජිනීවා යෝජනාව ගෙන ආ එංගලන්තය පැවසුවේ ශ‍්‍රී ලංකාව මානව හිමිකම් වගවීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත්, මානව හිමිකම්වලට ගරු කළ යුතු බවත්, මානව හිමිකම් උල්ලංඝනය කරනවුන් සම්බන්ධයෙන් ක‍්‍රියා කළයුතු බවත්ය. මානව හිමිකම් ඔස්තාර්වරයකු නැතහොත් පුරෝගාමියකු ලෙස ජිනීවාහි දී පෙනී සිටිමින්, අහිංසකයන් දහස් ගණනක් නිකරුනේ මරාදැමූ ත‍්‍රස්තවාදය පරාජය කළ අපේ රණවිරුවන් මානව හිමිකම් කඩකළ යුද අපරාධකරුවන් යැයි එංගලන්තය එසේ ඉඟිකරද්දී අපේ රටේ නියෝජිතයෝ කිසිත් නොකියා ඔහේ බලා සිටියහ. අපට මානව හිමිකම් ගැන දේශනා කිරීමට එංගලන්තයට සදාචාරාත්මක අයිතියක් තිබේද?

මීට වසර 200 කට පමණ ප‍්‍රථම, එනම් ඉතා මෑත ඉතිහාසයේදී එදා ‘සිංහලේ’ නම් වූ අපේ රටේ, ඉංග‍්‍රීසින් විසින් සිංහලයන්ට පමණක් විරුද්ධව කරන ලද අතිශය දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විස්තරයන් විශේෂයෙන් සිංහලයන් විසින් දැනගතයුතු හෝ නැවත සිහිකැඳවා ගතයුතු බව මගේ හැඟීමයි. මන්ද, එසේ අමානුෂික ලෙස ක‍්‍රියා කළ ඉංග‍්‍රීසි ජාතිකයන්ට, අපෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලා රටෙන් කොල්ලකාගත් වස්තුව නැවත අපට බාර දෙනතුරු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව අපට චෝදනා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි යන කතිකාවත ඉදිරියට ගෙනයා හැකි බැවිනි. රටේ පාලකයන් අධිරාජ්‍ය ගැති නිවටයන් වුවත් රටේ බහුතර වැසියන් එසේ නොවන බැව් ලෝකයාට ඒ තුළින් පෙන්විය හැකි බැවිනි.

‘මවුවරුන්ගේ තනේ කිරිබොන ලදරුවාගේ සිට සියලූම සිංහල මිනිස්සු ගැහැනු මරා දමනු’. වර්ෂ 1812 දී ලංකාවේ පත් වුණ තුන්වන ආණ්ඩුකාරවරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් 1818 සිහලූන්ගේ නිදහස් සටනේදී මේජර් ජෙනරල් හේ මැක්ඩොවල්ට දුන් නියෝගයයි ඒ. අද මානව හිමිකම් ගැන අපට බණ දෙසන, ‘වගවීම්’ සම්බන්ධයෙන් නියෝග දෙන, ලෝක සම්මත මානව හිමිකම් චර්යාවන් හිස මත තබාගෙන සිටින එංගලන්තය දැන් මතක් කරගත යුත්තේ බි‍්‍රතාන්‍ය මහ රැජිනට කළ සේවය වෙනුවෙන් පසුව නයිට් පදවියෙන් පුද ලත් පුද්ගලයන් විසින් එදා මේ රටේදී නිකුත් කළ එම අමානුෂික නියෝගයන්ය.

බ්රී 2බි‍්‍රතාන්‍යයන් අපේ රට ආක‍්‍රමණය කළ බැව් අප දනිමු. නමුත් ඔවුන්ට ලංකාව යුද ජයග‍්‍රහණයකින් යටත්කර ගැනීමට නොහැකිවිය. ඔවුන් මේ රට යටත්කර ගත්තේ, 1815 මාර්තු මස 2 වැනිදින අත්සන් කළ බි‍්‍රතාන්‍ය කිරීටය මගින් යා කරගත් මහනුවර රාජධානිය පරිපාලනය කරන කොන්දේසි ඇතුළත් ගිවිසුම මගින් බව, ඉතා පැහැදිලි වේ. වසර 2357 ක් තිස්සේ රැකගත් සිංහලයන්ගේ නිදහස එදා නැතිවුණේ එසේය.උක්ත ගිවිසුම අත්සන් කළ තීත්ත වේලීයෑමටද මත්තෙන් ඉංග‍්‍රීසීහු එම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් උඩරට නිලමේවරුන් ප‍්‍රකෝපයට පත් කරමින් කටයුතු කළහ. ඔවුන් උඩරට රාජධානිය පැවති සමයේ නිලමේවරුන් විසින් භුක්ති විඳින ලද සාම්ප‍්‍රදායී වරප‍්‍රසාද සම්බන්ධ පොරොන්දු සියල්ල කඩකරන ලදි. ඒ සියල්ල කූඨප‍්‍රාප්තියට පත්වූයේ මිල්ලෑව දිසාවෙගේ බල අධිකාරිය අභිබවා බි‍්‍රතාන්‍යයන් විසින් තමන්ට පක්‍ෂපාතී වූ මුස්ලිම් ජාතික හජ්ජි මරික්කාර් නමැත්තා වෙල්ලස්සේ මුහන්දිරම් ලෙස පත් කිරීමත් සමගය.

සිංහලයන්ගේ නිදහස් සටන 1817/18 ආරම්භ වූයේ ඉන්පසුවය. ඌව වෙල්ලස්ස විමුක්ති සටන යනුවෙන් අදත් අප සිහිපත් කරන්නේ ආක‍්‍රමණික සුද්දන්ගෙන් අප රට මුදා ගැනීමට අපේ සිංහල වීරෝදාර මුතුන් මිත්තන් තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දියත් කළ ඒ යුද්ධයයි.

ලංකා ඉතිහාසයේ ඌව ප‍්‍රධාන ස්ථානයක් ගනුයේ (බදුල්ල/ මොනරාගල) බුදු වහන්සේ ප‍්‍රථම වරට ලංකාවට වැඩියේ ඌව දකුණු ප‍්‍රදේශයේ පිහිටි මහියංගනයට බැවිනි. වෙල්ලස්ස යනු වෙල් ලක්ෂයක් තිබූ, ක‍්‍රමවත් වාරි පද්ධතියකින් යුක්ත, ලංකාවටම බත සැපයූ මධ්‍යස්ථාන යයි. සශ‍්‍රීක තුරු ලතාවන් සපිරුණු, සතුටින් සාමයෙන් මිනිසුන් විසූ, චමත්කාර ප‍්‍රදේශයකි.

තමන් සමග එවකට සේවය කළ කැප්පෙටිපොළ දිසාවේ බි‍්‍රතාන්‍ය විසින් එම කැරලිකරුවන් මර්දනය කිරීමට ඉංග‍්‍රීසි හමුදාව සමඟ පිටත් කර යවන ලදි. නමුත් ඒ වනවිට ඉංග‍්‍රිසින්ගේ වංක ක‍්‍රියා ගැන කලකිරී සිටි කැප්පෙටිපොළ ඔවුන් සමඟ අලූපොත දක්වා ගොස් සුද්දන්ට එරෙහි එම නිදහස් සටනට එක් විය. කැප්පෙටිපොළ දිසාවේට ඉතා පහසුවෙන් සිංහල සටන්කාමීන් සමග එක්ව තමා සමග ආ එම ඉංග‍්‍රීසි භටයින් සියල්ල මරා දමා උන්ගේ තුවක්කු සහ පතුරම් සියල්ල තමන් සතු කර ගැනීමට හැකියාව තිබුනත් ඔහු එසේ කළේ නැත. තොපේ තුවක්කු වලින් තොපිට වෙඩි තියන්න තරම් අප නිවට නැහැ’ යනුවෙන් පවසා එම ඉංග‍්‍රීසි හමුදාව නිරුපද්‍රිතව ආපසු හරවා යැවීය. අද එංගලන්තය පමණක් නොව ඇමරිකාව ඇතුළු සියලූම බටහිර රටවල් දැනගත යුතු කරුණක් නම් සිංහලයන් යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්/ මානුෂීය සහ විවිධ යුද නීති ගෙන ඒමට වසර සියගණනකට පෙරාතුව අපේම සදාචාර යුද නීති වලට යටත්ව සටන් කළ ජාතියක් බවයි. එසේම සිංහලයන් යනු අසරණ වූ සතුරාගේ පවා මානව හිමිකම් සුරැකී අදීන ජන කොට්ඨාසයක් බවයි.

මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ හැර අන් සියලූම නිලමේවරුන් නිදහස් සටනට එක් විය. නමුත් කරුණු බොහොමයක් නිසා නිදහස් සටන අසාර්ථක විය. අද මෙන්ම එදත් සුද්දට දනින් වැටී උන්ගේ වරප‍්‍රසාද වලට ලොල්වී ජාතිය පාවා දුන් සිංහලයෝ සිටියහ. උන් ඉංග‍්‍රීසි හමුදාවට සිංහලයන් විසින් අවහිර කර තිබූ සැපයුම් මාර්ග රහසේ විවෘත කර දුන්හ. නිදහස් සටන පරාජය වීමට මූලික හේතුවක් වූයේ එයයි.

ඉංග‍්‍රීසින් මෙම නිදහස් සටන පරාජය කළේ සටන්කාමීන් සමග සටන් කිරීමට වඩා අහිංසක සිංහල ජනතාව බුරුතු පිටින් මරා දමා, ගම් නියම්ගම් ගම් විනාශ කොට, සටන්කාමීන්ගේ බිරින්දන්/දරුවන් ප‍්‍රාණ ඇපකරුවන් සේ, තබාගෙන ඉතාමත් නින්දිත නිවට ආකාරයෙනි.

රොබට් බවුන්රිග් ගේ නියෝග යටතේ ඉංග‍්‍රීසිහු ඌව වෙල්ලස්සේ කිරි බොන දරුවන් ඇතුළු වයස අවුරුදු 18 ට ඉහළ සියලූම මිනිසුන් ඝාතනය කළහ. ඇහැ ගැටෙන සියලූම සිංහල කාන්තාවන් දූෂණය කළහ. පොල්, දෙල්, පලතුරු ගස් සියල්ල කපා දැමූහ. කුඹුරු, ඇළදොල, පොකුණු සියල්ල විනාශ කලහ. සියලූම පානීය ළිං වලට වස දමා හරකා බාන සියල්ලම ඝාතනය කළහ. මේ සියල්ල කළේ බවුන්රිග් විසින් සකස් කරන ලද ”ස්කෝච්ඞ් අර්ත් පොලිසි” හෙවත් කර්කශ, දවාලූ පොළොවක් යන ප‍්‍රතිපත්තියේ සිටිමිනි. එය යුදමය උපායමාර්ගයක් විය. එහි අරමුණ වූයේ ඉදිරියට යන විට හෝ පසු බසින විට හෝ සතුරාට ප‍්‍රයෝජනවත් විය හැකි සියලූම දේ විනාශ කිරීමයි. ආහාර නිෂ්පාදන, සන්නිවේදන, ජීවන මාර්ග සියල්ල වසා දැමීමයි.

යුද්ධයකදී/ ගැටුමකදී සිවිල් ජනතාවගේ ආහාර සැපයුම විනාශ කිරීම අද එක්සත් ජාතීන්ගේ 1977 පළවන මුල් ලේඛනයේ 54 වන වගන්තිය යටතේ තහනම් කොට තිබේ. එහි සඳහන් වන්නේ මෙසේය. සිවිල් ජනතාවගේ ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය දේවල් වන ආහාර සහ ආහාර නිෂ්පාදනය කරන කෘෂි කර්මාන්තය, ධාන්‍ය, සත්ව ගොවිපළවල්, පානීය ජලය, වාරි ක‍්‍රම යනාදිය කුමන කරුණක් සඳහා වුවද, එනම් ඔවුන් සාගතයෙන් මිය යෑමට සැලැස්වීමට හෝ ඔවුන් එම ප‍්‍රදේශයෙන් එළවා දැමීම සඳහා හෝ විනාශ කිරීම සපුරා තහනම් වේ යනුවෙනි. එසේනම් බි‍්‍රතාන්‍යයන් විසින් එදා අහිංසක සිංහල ජනතාවට කරන ලද්දේ අන්තර් ජාතිකය විසින් මෙදා බරපතළ යුද අපරාධයක් යැයි තහනම් කොට ඇති එම දේම නොවේද ?

එදා බදුල්ලේ හිටපු දිසාපති වූ හර්බට් වයිට් නමැති බි‍්‍රතාන්‍ය ජාතිකයා ”ජර්න්ල් ඔෆ් ඌව” නමැති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ සඳහන් කොට ඇත. ‘කැරැල්ලෙන් පසුව ඌවේ ජනගහනය හෝ කෘෂිකාර්මික සංවර්ධනය ගැන හෝ සාධක කිසිවක් සොයා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. ඌව, මෙම කැරැල්ලට පළමුව තිබුණේ කෙසේදැයි සිතා ගැනීමට ද කිසිදු සාක්ෂියක් නොමැත. සටනේදී මිය ගියා නම් මියගොස් ඇත්තේ ඉතා බුද්ධිමත් නිර්භීත සටන්කාමීන්ය. දැනට ඉතිරිව ඇත්තේ කුඩා ළමුන් සහ මහල්ලන් පමණක් නම් කරන ලද විනාශය අසීමිතයි. කෙටියෙන් කිවහොත් මිනිසුන් තම ජීවිත සහ සම්පත් සියල්ල අහිමි කර ගෙන ඇත. මෙම විනාශයෙන් ඌව නැවත කවදා ප‍්‍රකෘති තත්ත්වයට පැමිණේ ද යන්න සැක සහිතය’ යනුවෙනී. අපට අද මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන බන දෙසන ඉංග‍්‍රිසීන් එදා අපේ මානව හිමිකම් ආරක්ෂා කර ඇත්තේ එසේය.

(ලබන සතියේ, ලූතිනන් මැක්ලේන් උදය ආහාරය ගන්නා විට සිංහලයෙක්ව එල්ලා මරනු දැකිය යුතුයි).

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More