වත්මන් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මේ මස 24 දින විශ‍්‍රාම ගැනීමට නියමිතව ඇත. 2015 නොවැම්බර් 27 දින රජයේ විගණකාධිපති තනතුරේ වැඩ භාර ගත් ඔහු මේ දක්වා රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් ඉතා ස්වාධීනව විශාල කාර්යභාරයක් කළේය. ඔහු කළ මෙහෙවර නිසාම ඇතැම් අවස්ථාවලදී ඇතැම් රජයේ මැති ඇමැතිවරු පවා ඔහුව විවේචනයට ලක් කළ බව අපට මතකය. එහෙත් ඒ කිසිම අභියෝගයකට නොසැලී ගාමිණී විජේසිංහ මහතා රජයේ විගණකාධිපති ධුරයේ රාජකාරි ඉතාමත්ම ස්වාධීනව කරගෙන ගියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ දින ගණනාවක් මුළුල්ලේ සාක්ෂි දෙමින් ඒ තොරතුරු ද රටට හෙළි කළ මෙවැනි නිලධාරියෙක් මෙවැනි තනතුරකින් විශ‍්‍රාම
ගැනීම රටට විශාල පාඩුවකි. පහතින් සටහන් වන්නේ මේ තීරණාත්මක මොහොතේ විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්ව අප ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරුයි.
ප‍්‍රශ්නය – ඔබ රජයේ විගණකාධිපතිවරයා ලෙස පත් වූයේ කවදාද ?
පිළිතුර – මම 2015 නොවැම්බර් මාසේ තමයි වැඩ භාර ගත්තේ.
ප‍්‍රශ්නය – එදා සිට 2019 අපේ‍්‍රල් දක්වා සැලකිය යුතු කාලයක් ඔබතුමා රජයේ විගණකාධිපතිවරයා ලෙස රාජකාරි කරලා තියෙනවා. ඔබතුමා මේ කාලයේ කරන්නට ලැබුණු සේවය ගැන තෘප්තිමත් වෙනවද?
පිළිතුර – ඇත්තවශයෙන්ම තෘප්තිමත්. ඒකට ප‍්‍රධාන හේතුව තමයි මම මේ දෙපාර්තමේන්තුව භාර ගන්නකොට මේ දෙපාර්තමේන්තුවේ ධාරිතාවයේ ලොකු ප‍්‍රශ්නයක් තිබුණ. එහි අඩුවක් තිබුණා. මම විගණකාධිපතිවරයෙක් ලෙස වෙන රටවල් ගැන අධ්‍යනය කරලා තිබුණ. රටක කරන රාජකාරියට වඩා අඩු වැඩ ප‍්‍රමාණයක් තමයි ඇත්තවශයෙන්ම කෙරුණේ. ඒක රජයේ හිටපු විගණකාධිපතිවරුන්ගේ වරදක් නෙවෙයි, නීතිය හැදිලා තිබුණේ ඒ ආකාරයට තමයි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ විශාල ලෙස එය විවෘත කරලා දුන්න. ඒ සමග මට අලූත් ක්ෂේත‍්‍රයක් හම්බ වුණා. ඒ තනතුරේ වැඩ කටයුතු හරියට කරන්න. ඒ නිසා මම ඒක අලූත් අභියෝගයක් ලෙස භාර ගත්ත, භාර අරන් කරගෙන ගියා.
උදාහරණයක් හැටියට කියනව නම් ඒ වෙනකොට වැඩිපුර අවධානය යොමු කරලා තිබුණේ මුල්‍ය විගණනයටයි. හැබැයි මුල්‍ය විගණනය කියල කියන්නේ විගණකාධිපතිවරයෙක්ගේ කාර්යභාරයෙන් බොහොම අඩු කොටසක්. සියයට 15ක් 20 ක් වගේ කොටසක් තමයි තියෙන්නේ. නමුත් මේ තනතුරේ වැදගත්ම කාර්යය… මට 1500 කට වඩා සේවකයෝ ඉන්නවා. ඒ අය හරියටම නඩත්තු කරන්න ඕන. ඔවුන් සතුටින් තියන්න ඕන. ඊට පස්සේ වාර්තා 1500 ක් විතර නිකුත් කරනව, ඒවාට අවශ්‍ය ක‍්‍රමවේද හරියට සකස් කරගන්න ඕන. ඊට අමතරව කාර්යසාධන විගණනයට වැඩි බරක් දුන්න 19 වන සංශෝධනයෙන් පස්සේ. ඒ නිසා කාර්යසාධන විගණනය විශාල වශයෙන් කෙරිලා තිබුණේ නෑ. නමුත් අපට සෑම ආයතනයකටම කාර්යසාධන විගණනය ශක්තිමත්ව කරන්න සිදු වුණා. ඊට අමතරව පරිසර විගණනය ආව. ඒවගේම වෝහාරික විගණනය ආව. ඒ ඔක්කොම අලූතින් කරන්න සිදු වුණා. ඊටත් එහා ගිහිල්ල ගත්තොත් මේ අලූත් යහපාලන සම්බන්ධයත් එක්ක ජාත්‍යන්තර වශයෙන්ම මේක ගොඩනැගුණ. මොකද ජාත්‍යන්තර සම්බන්ධතා විශාල වශයෙන් ගොඩනගන්න සිදු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනාදිය එකතු වුණා. ඊළඟට යූඑස් ඒඞ් වැඩසටහන… ඒ හැම එකක්ම අපට උදව් කරන්න පටන් ගත්ත මේ සංවර්ධනයත් සමග. ඒ නිසා ඒ අභියෝගය බොහොම සතුටින් භාර අරන් තමයි මේ ආයතනය මේ තරම් ඉස්සරහට මම අරන් ආවේ.
ප‍්‍රශ්නය – විගණන පනතේ දායකත්වය කුමක්ද ඒ සඳහා?
පිළිතුර – ඇත්තවශයෙන්ම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ ටික ඔක්කොම දුන්න. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිගේ විෂය පථය විශාල වශයෙන් පුළුල් කරා. කරල
විගණකාධිපතිවරයා රාජ්‍ය සේවයේ කාර්යසාධනයට බලපාන ඕනෑම සිද්ධියක් විගණනය කරන්න පුළුවන් විදියට මේක පුළුල් කරා. ඒ නිසා තමයි මේ සෑම දෙයක්ම රාජ්‍ය සේවයේ විතරක් නෙවෙයි සියයට 50 කට වඩා කොටස් තියෙන රජයට අයත් සමාගම්වල පවා විගණනය සහ කාර්යසාධන වාර්තා සකස් කිරීම සඳහා බලය දීල තියෙනවා. ඊට අමතරව ඒකෙ දිගුවක් තමයි ඔය විගණන පනත කියන්නේ. ඒ නිසා විගණන පනතින් තවදුරටත් ඒවා විවෘත කරලා රාජ්‍ය සේවයේ කාර්යසාධනය විශාල වශයෙන් පසුබෑමකට ලක්වෙලා තියෙනවා කියන එක එතකොටත් ඉතාම පැහැදිලියිනේ. පසුගිය දශක දෙක තුන තුළ ක‍්‍රමානුකුලව අඩු වෙලා තිබුණේ. ඒකට පිළිතුරක් හොයා ගැනීම සඳහා ඒක වර්ධනය කර ගන්න අවශ්‍ය සැලසුම් සහ ඒ අධීක්ෂණය කරන්න අවශ්‍ය බලතල ලබා දුන්න. ඉතිං ඒ අභියෝගය භාර අරන් තමයි මම වැඩ කළේ.
ප‍්‍රශ්නය – එතකොට විගණන කොමිෂන් සභාව?
පිළිතුර – විගණන කොමිෂන් සභාවත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආපු එකක්නේ. එතකොට විගණන කොමිෂන් සභාව කියන්නේ අනෙකුත් කොමිෂන් සභාවලට වඩා ගොඩක් වෙනස්. මේක විගණන සේවා කොමිෂන් සභාව. මොකද විගණකාධිපතිවරයාගේ කාර්යන්ට සහාය දැක්වීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම තමයි විගණන සේවා කොමිෂන් සභාවෙන් කෙරෙන්නේ. එතකොට අපේ නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් උසස් කිරීම, මාරු කිරීම සහ ඔවුන්ගේ විනය කටයුතු යනාදිය තමයි එතනින් කෙරෙන්නේ. ඒ නිසා ඒකෙන් විගණන කටයුතුවලට ලොකු බලපෑමක් එතනින් වෙන්නේ නෑ. විගණනය නැවතත් තනිකර විගණකාධිපතිවරයාට තියෙන්නේ. ඔහුගේ නිලධාරීන්ටම තමයි ඒ වැඬේ කරන්න වෙන්නේ. ඒවාට මැදිහත්වීමක් විගණන සේවා කොමිෂන් සභාවෙන් වෙන්නේ නෑ. රාජ්‍ය
විගණන සේවය ගොඩනගල විගණන කාර්යාලය ශක්තිමත් කිරීම හරහා තමයි ඔය වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය මාර්ගය 19 වන සංශෝධනයෙන් සහ විගණන පනතෙන් විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපට කැමති වුණත් අකමැති වුණත් අනිවාර්යෙන්ම මේ ගමන ඉස්සරහට යන්න වෙනවා.
ප‍්‍රශ්නය – මේ විගණනය තුළින් මේ වංචා සහ දූෂණ හෙළිදරව් වෙනකොට ඒවට සම්බන්ධ අයගෙන් නොයෙකුත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. එහෙම අභියෝගාත්මක තත්ත්වයන් පසුගිය කාලේ ඇති වෙන්න ඇති. ඒ ගැන ඔබතුමා දෙන පිළිතුර කුමක්ද?
පිළිතුර – මට ලොකුවට අභියෝග කියල දෙයක් ඇති වුණේ නෑ. මම බොහොම හොඳට සහ ඉතාමත්ම ස්වාධීනව තමයි මේ තනතුරේ වැඩ කළේ. ඒ නිසා ස්වාධීනව වැඩ කරන ඕන කෙනෙකුට එනිසා චෝදනාවන්ට ලක් වූ අය පවා ගෞරව කරනවා. ඒක මම හොඳටම දැක්ක යම් යම් සිද්ධීන්වලදී විවේචනයට භාජනය කළාට ඒ ගරුත්වය පාර්ලිමේන්තුවෙන් හම්බ වුණා. ඒ වගේම එහි කෝප් සහ කෝපා කමිටුවලදී ඇත්තටම ලැබුණ. ඊළඟට රාජ්‍ය සේවයෙන්, රටෙන් හැම තැනෙන්ම ලැබිල තිබුණා. ඒ නිසා එහෙම ප‍්‍රශ්නයක් ඇත්තවශයෙන්ම ඇති වුණේ නෑ. මම බොහොම විවෘතව ඒ වාර්තා හරිගස්සල ඒ වාර්තාව එළියට දානවා. එතකොට ඒ මිනිස්සුන්ට දඬුවම් කිරීම හෝ ඒ අය උසාවි අරන් යෑම හෝ විගණකාධිපතිවරයාගේ රාජකාරියක් නෙවෙයි. ඒ නිසා මට තියෙන්නේ ඒවා හොයල බලල හරියට ඒවා ඉදිරිපත් කරන එක. ඒ නිසා ඒ ඉදිරිපත් කරන එහෙකටවත් එහෙම ලොකු අභියෝගයක් කොහෙන්වත් ආවේ නෑ. මොකද ගොඩාක් පරිස්සමින් තමයි වාර්තාවක් හදල නිකුත් කරන්නේ.
ප‍්‍රශ්නය – ඔබතුමා ඔහොම කිව්වට ඔබම වරක් කියපු කතාවක් අපට මතකයි. ඔබ කියල තිබුණ රාජකාරිය හරියට කරන්න බැරි වුණොත් ගිහිල්ල කුඹුරු කොටනවා කියල. ඒවා මාධ්‍යවල පළ වුණා. එහෙම කිව්වේ ඔබතුමා මුහුණ දුන් අභියෝගාත්මක පරිසරය හින්ද නෙවෙයිද?
පිළිතුර – ප‍්‍රධාන වශයෙන්ම 19 වන සංශෝධනයෙන් පස්සේ ලොකු වගකීමක් විගණකාධිපතිවරයට පැවරුණා. හැබැයි ඒ වගකීම ඉටු කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික හදල දෙන්න එපැයි. එතකොට ඒ යටිතල පහසුකම් විශාල මදිපාඩුවක් තිබුණ. ඒ මදිපාඩුවත් එක්ක තමයි මේ ප‍්‍රශ්නය ඇති වුණේ. උදාහරණයක් කිව්වොත් දැන් පනත ගෙන එක. පසුගිය කාලේ මේ සියලූම වැඩ කරන අතරේ මට වැඩිපුරම කාලයක් වය කරන්න වුණේ මේ පනත ගෙන වැඬේට. ඇත්තවශයෙන්ම ඒක මගේ වගකීමක් නෙවෙයි.
ප‍්‍රශ්නය – ඒක රජයේ වගකීමක්?
පිළිතුර – ඔව්. ඒක රජයේ වගකීමක්, නමුත් මට සිද්ධ වුණා පනත වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්න. ඒ නිසා මට තේරුණා මේක කරන්න දෙන්නේ නැද්ද කියල. ඒ මතය මට ආවා. ඊගාවට පනත සම්මත වෙලා දැන් මාස අටක් විතර ගිහින්. තාමත් රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කර ගන්න බැරිව ගියා. තාමත් මම උත්සාහ කරනවා රාජ්‍ය විගණන සේවය හදා ගන්න. ඒ නිසා විගණන සේවා කොමිෂන් සභාවට අදටත් සම්පූර්ණ ධාරිතාවයෙන් වැඩ කරන්න හැටියක් නෑ. හේතුව රාජ්‍ය විගණන සේවය අදටත් ස්ථාපිත නැහැ. එතකොට තමයි තේරෙන්නේ මේ රාජ්‍ය මුල්‍ය විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න සහාය ඔක්කොම එකතු වෙලා දෙන්නේ නැතුව මේක තනියම යන්න පුළුවන් ගමනක් නෙවෙයි. එතකොට හිතෙනවා පසුබැහැල ගිහින් කුඹුරක් කොටන් ඉන්න එක හොඳයි කියල. මට හොඳටම කුඹුරු වැඩ පුළුවන්. මම ජීවිතේ බිම ඉඳලම ඇවිත් තියෙන්නේ.
ප‍්‍රශ්නය – ඔබතුමාගේ ගම්පළාත කොහෙද?
පිළිතුර – මම පොළොන්නරුවේ. මම විශ්වවිද්‍යාලේ යනකං කුඹුරු අක්කර 50ක් පමණ වැඩ කළා. ඒ නිසා මට ඒ වැඩ හොඳට පුළුවන්. ඒ නිසා ජීවත් වෙන්න කියල සල්ලි කෝටි ගණන් අපට අවශ්‍ය නෑනෙ. ඒ නිසයි මම එහෙම කියල තියෙන්නේ.
ප‍්‍රශ්නය – ඔබතුමාගේ රාජකාරි කාලයේදී කරපු ලොකුම විගණනය කුමක්ද? විශාලතම කාලයක් වැය කරපු සහ විශාල හෙළිදරව් කිරීම් සිදු වූ ගැඹුරුතම විගණනය කුමක්ද?
පිළිතුර – මම හිතන්නේ ඒක රටම දන්නා කාරණය බැඳුම්කර සිද්ධිය. ඒ ගැන අපට වැඩිම කාලයක් යොදවන්න සිදුවුණා. ඒ වගේම ඒවගේ තවත් සිද්ධි ගණනාවක් තියෙනවා. දැන් යන ඒවත් තියෙනවා. එන්ට‍්‍රස්ට් එක ගැන අපි වෝහාරික විගණනයක් කරනවා. මීට අමතරව ඔය හාල් ගෙන්වීම ගැන, ඊට අමතරව පොහොර සහනාධාරය සම්බන්ධයෙන්… ඒ වගේ විශාල වාර්තා ගණනාවක් නිකුත් කරලා තියෙනවා. ඒ ඔක්කොම කළේ අර සාමාන්‍ය එදිනෙදා වැඩවලට අමතරව. මොකද මට එක්කෙනෙක්වත් ස්ටාෆ් එක වැඩි කරලා දීල නෑ. ඒක කරගන්න අපට තාම බැරි වුණා. ඒ ඉන්න ස්ටාෆ් එක අපි දිරිමත් කරලා, මිනිස්සුන්ට සහන වැඩිපුර දීල කතා කරලා ඒ අය සතුටින් තියල තමයි ඒ වැඩ ඔක්කොම කර ගත්තේ. ඒ නිසා එළියට ඇවිල්ල තියෙන වාර්තා සම්බන්ධයෙන් මමත් සෑහීමට පත්වෙනවා, මම හිතන්නේ ඒ ගැන රටත් සෑහීමට පත් වෙනවා. මේ කාලය තුළ වැඩ කරපු විදිය ගැන.
ප‍්‍රශ්නය – මේ බැඳුම්කර සිද්ධියේ විගණනය ගැන තියෙන විශේෂ අත්දැකීම කොහොමද?
පිළිතුර – මම දන්නවා ඇත්තවශයෙන්ම රාජ්‍ය සේවයේ විවෘතභාවය තියෙන්න ඕන. මොකද යම්කිසි තැනක රහස්‍යභාවය ඇති වෙනව නම් ඒ රහස්‍යභාවය පිටිපස්සේ තියෙන්නෙම හොරකම සහ වංචාව. ඒ නිසා රාජ්‍ය ආයතනවල රහස්‍යභාවය කියන එක තනිකරම අයින් කරන්න ඕන. ඒ රහස්‍යභාවය කියන එක පුද්ගලයකුගේ කටයුත්තක් තවත් පුද්ගලයෙකුගේ අධීක්ෂණයට භාජනය වෙන්නේ නැත්නම් ඔහු අනිවාර්යෙන්ම ක‍්‍රමානුකුලව වරදට පෙළඹෙනවා. ඉතින් ඒක තමයි ලොකුම ප‍්‍රශ්නය. මහ බැංකුවටත් වෙලා තිබුණේ ඒක තමයි. සෙන්ට‍්‍රල් බෑන්ක් එකේ වැඩවලට විගණකාධිපතිවරයාට පවා මැදිහත්වීමේ නොහැකියාව පසුගිය කාලේ තිබුණ. ඒ නිසා ඔය කියන අංශ හුඟක් වෙලාවට අත ගහන්න බැරි වෙලා තිබුණ අංශ. නමුත් අපට පුළුවන් වුණා මේ යටතේ එක විවෘත කරලා දීලා ඒ කාර්ය කරන්න. ඒ නිසා ගොඩක් දේවල් එළියට ආවා. ඉතිං රාජ්‍ය සේවයේ මමත් දකින්නේ, මුළු රාජ්‍ය සේවයම මේ වගේ විවෘත වෙන්න ඕන. රහස්‍යභාවයක් තියෙන්න විදිහක් නෑ. විගණකාධිපතිවරයත් එක්ක කොහොමත් රාජ්‍ය සේවයට රහස්‍යභාවයක් තියෙන්න විදිහක් නෑ. ඔහුට පුළුවන් වෙන්න ඕන ඕනෑම තොරතුරක් ඕනෑම වෙලාවක ඕනෑම ගැඹුරකට ගිහින් පරීක්ෂා කරලා බලන්න. ඉතිං ගොඩක් ඒවා එහෙම විවෘත කරන මට්ටමට පත් වුණා. විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනුත් කළා. පනතෙත් අපට ඒ පහසුකම් ඔක්කොම අපට දැන් සපයල දීල තියෙනවා. අලූත් විගණන පනතෙන්. ආයතන පමණක් නෙවෙයි ඒ ආයතන සම්බන්ධව යම්කිසි තවත් ආයතනයක් ඒ සමග ගනුදෙනු කරනවා නම් විගණකාධිපතිවරයාට හිතෙනව නම් මෙතන වංචාවක් තියෙනවා හෝ ඒ ආයතනයත් එක්ක වංචාවක් සිදු වෙලා තියෙනව නම් ඒ ආයතන පරීක්ෂා කරන්න බලයත් අපට මේ පනත යටතේ දුන්නා. ඒ නිසා ඒක ඇත්තටම ලොකු වෙනසක්. ඒ හරහා යම් ආකාරයකට අපට මේක තවදුරටත් පාලනය කරගන්න පුළුවන් වෙයි මේ දූෂණය සහ නාස්තිය.
ප‍්‍රශ්නය – බැඳුම්කර සිද්ධියේදී අපට මතකයි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් ලියුමක් පවා දීල තිබුණ රහස්‍යභාවය ගැන කියල…
පිළිතුර – ඔව්… ඔව්…
ප‍්‍රශ්නය – දැන් මේ අලූත් විගණන පනතින් ඒ බාධාවන් ඉවත් වෙලාද?
පිළිතුර – ඇත්තවශයෙන්ම පරණ පනත යටතෙත් බාධාවක් තිබුණේ නෑ. නමුත් අපට, විගණකාධිපතිවරයාට බලහත්කාරයෙන් යන්න අවශ්‍ය බලය යම් ආකාරයකට තිබුණේ නැහැ. නමුත් අලූත් පනත යටතේ, 19 වැනි සංශෝධනය යටතේ ඒවා ඔක්කොම විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් විගණකාධිපතිවරයාට රහස්‍යභාවය රකින්න කිසිම ආයතනයකට බැරි මට්ටමට දැන් පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට ඒවා නැවතත් සිද්ධ වෙන එකක් නෑ කියල මම විශ්වාස කරනවා.
ප‍්‍රශ්නය – එතකොට කලින් බැඳුම්කර සිද්ධියේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග කටයුතු කිරීමේදී අවශ්‍ය සහාය ඔබට අන්තිමට ලැබුණද?
පිළිතුර – නෑ. ඒ නිසානේ ඔය ප‍්‍රශ්නය වුණේ. 2004 දී මට මතකයි හිටපු විගණකාධිපතිවරයා නීතිපතිවරයාට ලියල නීතිපතිවරයාගෙන් නියමයක් ගත්තා විගණකාධිපතිවරයාට මේ තොරතුරු දෙන්න කියල. නමුත් තවදුරටත් ඒවා සංවේදී තොරතුරු… ඒ නිසා එළියට දාන්න බෑ කියල නොයෙකුත් වෙන වෙන ප‍්‍රශ්න දාලා තමයි රහස්‍යභාවය රැකගෙන හිටියේ. සෙන්ට‍්‍රල් බෑන්ක් එක කියනවා ඒගොල්ලෝ ස්වාධීනයි කියල. ස්වාධීන ඒවාට ඇඟිලි ගහන්න එපා කියල ඒවගේ ප‍්‍රශ්න තිබ්බ. නමුත් මේ ඔක්කොම රටේ සල්ලි. ආණ්ඩුවේ සල්ලි නේ. ඒ නිසා විගණකාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕන මේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලන්න.
මේ අය නිසි ආකාරයට වැඩ කරනවද කියල.මොකද එතන වෙන්නේ… යම්කිසි වැරැද්දක් වුණොත් ඒ වැරැද්දේ බලපෑම එතනින් නෙවෙයිනේ නතර වෙන්නේ. ඒක මුළු රට පුරාම යනවා. හොඳම උදාහරණය බැඳුම්කරේ පොලී අනුපාත තීරණය කරපු එක. ඉන්ටරෙස්ට් රේට් එක සියයට 9 ගාණේ ඉඳන් සියයට 12.5 ට ගියා. හැබැයි වසර 30 කට මුළු රටම වන්දි ගෙවනවානේ. ඒකයි ඒ නිසා රාජ්‍ය අංශයේ ආයතනයක් ගන්න තීරණයක් ඒ ආයතනය තුළ පමණක් රඳා පවතින්නේ නෑ. ඒක අනිවාර්යෙන්ම ව්‍යාප්ත වෙනවා මුළු රටටම. ඒ නිසා තමයි පරිස්සම් වෙන්න ඕන.
ප‍්‍රශ්නය – මහ බැංකුවත් එක්ක ඒ බැඳුම්කර සිද්ධියේ දී මතු වූ රහස්‍යභාවය පිළිබඳ ගැටලූ නිරාකරණය වුණාද?
ප‍්‍රශ්නය – ඇත්තවශයෙන්ම. අන්තිමට සියලූ දේවල් නිරාකරණය වුණා. සියලූ දේවල් දෙන්න වුණානේ. ඒකනේ අධිකරණයට වුණත් ඒ ඔක්කොම අරන් ගියේ. ඒ නිසානේ ඒ සැකකරුවන් අත්අඩංගුවට අරන් ඒ වැඩකටයුතු වුණත් කරගෙන යන්නේ. ඒවා එළියට ගත්තත් තවදුරටත් වෝහාරික විගණනය දැන් කෙරෙමින් පවතිනවා. ඒවා ඉවර වුණාම තවත් ගොඩක් දේවල් එළියට ඒවි.
ප‍්‍රශ්නය – ඔබතුමාගේ වාර්තාවල බැඳුම්කරයේ පාඩු ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් 2015.02.27 දින ගත්තොත් ඒ නිසා වූ පාඩුව සහ ඊට පසු බැඳුම්කර නිකුතු වලදීත් පොළී වැඩි වීම නිසා රජයට වූ පාඩු අදාළ පරිණත කාලයන්ට වෙන වෙනම ගණනය කරන්නත් ඕන. මහ බැංකු නිලධාරීන්ම බැඳුම්කර ජනාධිපති කොමිසමට ඇවිත් සාක්ෂි දෙමින් කිව්වා 2015.02.27 දින සිද්ධිය නිසා පොලී අනුපාත ව්‍යුහයටම ඉහළ ගිය බව සහ එම ඉහළ පොලිය ඉදිරි බැඳුම්කර නිකුතුවලටත් බලපෑමෙන් රජයේ පොලී වියදම් ඉහළ යන බව. එහෙත් ඔබතුමා ගණනය කළේ ඒ සිද්ධිය නිසා අදාළ නිකුතුවෙන් රජයට වූ පාඩුව පමණයි. ඔබතුමාගේ වාර්තාවෙන්ම කිව්වා ඒවා වෙනම ගණනය කරන්න ඕන කියලත්…
පිළිතුර – ඔව් ඔව්
ප‍්‍රශ්නය – හැබැයි ඇතැම් අය ඔබතුමාගේ වාර්තාව උපුටා දක්වමින් කියන්නේ රජයට වූ පාඩුව එපමණයි කියල. ඒත් රජයට වූ පාඩුව කියන එක ඊට වඩා විශාල අගයක්..?
පිළිතුර – අනිවාර්යයෙන්ම. මම ඒක සියයට සියයක් පිළිගන්නවා. අපට ඒවා එහෙම ගණනය කරන්න බෑ. එම වෙන්දේසියෙන් වූ පාඩුව ගණනය කරන එකයි කළේ. මොකද ඒ බැඳුම්කර වෙන්දේසියේදී සීලින් එකක් තිබුණ. එකෙන් පල්ලෙහාට ගියාම වෙන අලාභය කියන එක තිබුණ. දැන් දෙවන බැඳුම්කරයේදී, බිලියන 70 දී ඒකනේ වුණේ මුළුමනින්ම ඕපන් කරලා වෙන්දේසියට ගියේ. ඒ නිසා ලිමිට් එක හොයා ගන්නත් බෑ. ඒ නිසා තමයි ඒකේ ගාණවත් අපට කියා ගන්න බැරි වුණේ. නමුත් අරකෙ පැහැදිලිව තිබුණ මෙච්චරක් ගන්නවා, මේක තමයි කටෝෆ් පොයින්ට් එක කියල. ඒකයි ඒක කරන්න පුළුවන් වුණේ. මේක තව කාලයක් යනකම් යනවා…
ප‍්‍රශ්නය – එතකොට පැහැදිලියි ඒ වෙන්දේසියේ පාඩුවට අමතරව පොලී අනුපාත ඉහළ යෑම ඊට පසුව සිදු කළ බැඳුම්කර වෙන්දේසිවලටත් බලපෑම නිසා රජයට ඒවායිනුත් පාඩුවක් සිදු වූ බව. ඒ නිසා මේ බැඳුම්කර සිද්ධිය නිසා රජයට සිදු වූ පාඩුව කියන එකේ අදහස ඔබ කොහොමද පැහැදිලි කරන්නේ?
පිළිතුර – ඒක ඇත්තටම දිගුකාලීනව දැනටත් සිදු වෙමින් පවතිනවා.
ප‍්‍රශ්නය – සමහර අය ඒ අයගේ වාසියට කියන්න හදනවා ඔබතුමාගේ වාර්තාවේ තියෙන ගාණ විතරයි බැඳුම්කර වංචාවෙන් රජයට වූ පාඩුව කියල?
පිළිතුර – නෑ නෑ. ඒක මම පැහැදිලිවම කියල තියෙනවනේ. මේ නිශ්චිත අවස්ථාවේ, එනම් මේ තීරණය ගත්ත වෙලාවේ සිදු වූ අලාභය කියල මම කියල තියෙනවා. ඒ තීරණය ගත්ත ගනුදෙනුවේ අලාභය විතරයි වාර්තාවේ දක්වල තියෙන්නේ. ඊට අමතරව මාකට් එකේ සිදු වූ අලාභ මම ගණනය කරලා නෑ.
ප‍්‍රශ්නය – බැඳුම්කර සිද්ධියේ වෝහාරික විගණනයේ තත්ත්වය කොහොමද දැන්?
පිළිතුර – ඒක මහ බැංකුවෙන් තමයි ඔක්කොම මිල ගණන් කැඳෙව්වේ. නමුත් අපිත් සම්බන්ධීකරණය කරනවා.
විගණකාධිපතිවරයාත් එහි කොටසක් ලෙස ඇතුළත් කරලා තියෙනවා. මගේ නිලධාරීන් මම එතනට නම් කරලා තියෙනවා. මගේ නිලධාරීන් ඒ සියලූ සාකච්ඡුාවලට යමින් පවතිනවා. දැන් ෆයිනලයිස් කරලා සෑහෙන දුරට ඉවරයි මම හිතන්නේ. තව වැඩි දවසක් යන්න පෙර ටෙන්ඩර් ඔෆර් කරයි.
ප‍්‍රශ්නය – එම විගණනය කරන්නේ විදේශ ආයතන නේද ?
පිළිතුර – ලංසු කැඳවා ඉවරයි ඔක්කොම. ආයතන කිහිපයක් ටෙන්ඩර් දාල තිබුණ.
ප‍්‍රශ්නය – ඔබතුමා හිතන විදියට ඔය වෝහාරික විගණනය අවසන් වෙන්න කොපමණ කාලයක් යාවිද?
පිළිතුර – ඒ එක එක විගණනයන් සඳහා කාලයන් දීල තියෙනවා. මට කාලයන් නම් මතක නෑ. මොකද එතන වෝහාරික විගණන පහක් ගැන කතා කරනවා. ඒ කාලයන් එකිනෙකට වෙනස්.
ප‍්‍රශ්නය – රාජ්‍ය විගණනය තවදුරටත් යහපත් සහ දියුණු කරන්න ඔබතුමා කරන යෝජනා මොනවාද?
පිළිතුර – ඔව් අනිවාර්යෙන්ම ජාතික විගණන කාර්යාලය තවත් ශක්තිමත් කරන්න ඕන. දැන් ඒ නම තමයි භාවිතා කරන්නේ. ඒ නමත් එක්ක තියන ආයතනය ඉතාම ස්වාධීන වෙන්න ඕන. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕන ඒ ආයතනයට. මොකද විගණනය ස්වාධීන කරන්නේ නැතුව මේ එකක්වත් කරන්න බෑ. ඒ නිසා රාජ්‍ය මුල්‍ය විනයට අවශ්‍ය වැඩකටයුතු ගොඩක් දැන් සකස්වෙලා තියෙන්නේ. ඉදිරියේදී හැම ආයතනයකටම විගණකාධිපති නිර්දේශ ලබා දෙන්න ඕන. ඒ නිර්දේශ පසු විපරම් කරන්න ඕන. එතකොට ඒ ආයතනය බැඳී සිටිනවා ඒවාට ඇක්ෂන් ගන්න. ඒ විදිහට ගොඩක් ආයතනත් එක්ක සම්බන්ධය වගේම වගකීම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ඒ විදිහට සාර්ථක වෙයි. නමුත් අපි නිර්දේශ දුන්නත් වැඩක් නෑ ඒවා ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම් රාජ්‍ය අංශය පුළුවන් තරම් පරිගණකගත ක‍්‍රමවේදවලට යන්න ඕන. ඬේට ගබඩා කරගන්න ඕන. ඒවා හරහා පුළුවන් තරම් ගනුදෙනුවලට පුද්ගල සහභාගිත්වය අඩු කරල ඉස්සරහට අරන් ගියත් මේවා තවදුරටත් සාර්ථක කරගන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතනයකින් යම්කිසි පුද්ගලයන් දෙන්නෙකුට වඩා මොකක් හරි සේවයක් ගන්නවා නම් ඒ සේවය මොනම හරි රාජ්‍ය ආයතනයකින් නියාමනය වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. එහෙනම් ඒ නියාමනය හරියට වෙනවද කියන එක හරියට හොයල බලන්න ඕන. ඇත්තටම අපේ ධාරිතාවය මදි. 1500ක් වගේ පිරිසක් ඉන්නේ ඒ අයට මේ කටයුතු කරන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ කරන්න තියන වැඩ ප‍්‍රමාණයත් එක්ක. ඒ නිසා මේකට වැඩි පහසුකම් දුන්නොත් රටට වැඩි මුදලක් වසර අගදී ඉතුරු කරගන්න පුළුවන්. එච්චරට වැඩ කටයුතු ඉතුරු වෙලා තියෙනවා කර ගන්න බැරුව. ඒ නිසා මෙය තවත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල හදන්නේ නැතුව මේ වැඬේ සාර්ථක කරගන්න බැහැ. මම විශ්වාස කරනවා මේ යන විදිහට එක කරගන්න පුළුවන් වෙයි කියල. ඒ නිසා ඉදිරියේදී ස්වාධීනව විගණකාධිපතිවරයාගේ තීරණවලට බලපෑම් කරන්නේ නැතුව ඒ වැඩ කරන්නත් පසුගිය නිර්දේශ ක‍්‍රියාත්මක කරන මට්ටමට රාජ්‍ය ආයතන ගොඩනගන්න ඕන. ඒ හරහා රටේ රාජ්‍ය අංශයේ සෑහෙන පිබිදීමක් ඇති කරන්නත්, රාජ්‍ය අංශයේ කාර්යසාධනය ශක්තිමත් කරන්නත් හැකියාව ලැබේවි.
ප‍්‍රශ්නය – ඔබතුමා අපේ‍්‍රල් 24 දින විශ‍්‍රාම
ගැනීමට නියමිතයි. විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔබතුමා මොනවද කරන්න හිතන් ඉන්නේ? විශ‍්‍රාම සුවයෙන් ඉන්නවද? වෙනත් වගකීමක් භාර ගන්න කැමැත්තෙන් ඉන්නවද?
පිළිතුර – විවේකයෙන් ඉන්න තමයි කැමැත්ත. මම දැන් වසර 34 ක් රාජ්‍ය සේවයේ. මගේ කාලය ගොඩක් ගත වෙලා අවසන්. ඒ නිසා ඉතුරු කාලය මට මගේ දහම් කටයුතු කරගන්න අවශ්‍යයි. ඒ නිසා මම ස්වාධීනව ඉන්නවා. ඒ අතර මේ කටයුතුවලට පාට්ටයිම් සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණොත් සම්බන්ධ වෙනවා. ඒ හැරෙන්න ලොකුවට සම්බන්ධකම් ගොඩනගා ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඒක ඉදිරියේදී එන විදියට තමයි තීරණය වෙන්නේ. කෙසේ වෙතත් පුළුවන් තරම් ස්වාධීනව මගේ බණදහමක් කරගෙන විවේකීව ගත කරන්න තමයි මම සැලසුම් කරගෙන තියෙන්නේ.
සාකච්ඡුා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...