ශ්රී ලංකාවේ කතෝලික පල්ලි කිහිපයකත් හෝටල් තුනකත් සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවක් නිසා මේ රටේ ජනයා යළි ‘‘සුපුරුදු පරිදි’’ සන්ත‍්‍රාසයෙන් විසඥ වූහ. මේ රටේ බෝම්බ සංස්කෘතිය වසර 2009 දී අවසන් විය. මිනිසකු මිය යෑම දුක් විය යුතු කාරණයක් වුවත් නන්දිකඩාල් කලපුව අසලදී ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හමුවීමත් සමගම මේ රටේ ජනයා රතිඤ්ඤා පත්තු කර කිරිබත් අනුභව කළහ. මරණයකදී මඟුල් කෑමක් නැත. එහෙත් ප‍්‍රභාකරන් මියගිය බවත් පොට්ටු අම්මාන් සහ කොටි පොලිස්පති නඬේසන් මියගිය බවත් ආරංචි වූ කල්හී මේ රටේ ජනයා එකවර මඟුල් කෑහ. 2009 න් පසු බෝම්බයක් පුපුරන ලද්දේ නම් එක්කෝ එය පාතාලය විසින් සිදුකරන ලද්දකි. නැත්නම් කොටි සංවිධානය විසින් අත්හැර දමන ලද බෝම්බයක් පුපුරා යෑමකි. එහෙත් ඒවා බස්වල, කෝච්චිවල, සංචාරක හෝටල්වල හෝ කතෝලික පල්ලි සහ පන්සල් තුළ පිපිරුවේ නැත. ඒවා නිතර මහ පාරේ පිපිරූ අතර ගැටුම්වලට අදාළ පාර්ශ්ව පමණක් (බොහෝ විට) ඒවායින් තුවාල ලබා මියගියහ.
ඊයේ (21දා) උදේ පුපුරා ගිය බෝම්බ මාලාව එවැන්නක් නොව කිසියම් දේශපාලන සහ ත‍්‍රස්තවාදී අරමුණක් එක් කළ LTTE බෝම්බ ප‍්‍රහාර හා සමාන එහෙත් LTTE නොවන ප‍්‍රහාරයන් බව පෙනෙයි. සංචාරක හෝටල්වල බෝම්බ පිපිරූ විට සංචාරකයෝ එම හෝටල්වලට නොඑති. පල්ලි පන්සල් වල සහ මහ පාරේ බෝම්බ පිපිරූ විට සංචාරකයන් පමණක් නොව සාමාන්‍ය ජනයාද මහපාරට නොබසිති. වසර 2009 දී අවසන් කරන ලද සුවිශාල භීෂණය ප‍්‍රතිනිර්මාණය කිරීමට එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන බව පෙනේ. ඒ පුද්ගලයා හෝ කණ්ඩායම සිංහලද දෙමළද එහෙමත් නැත්නම් ඉස්ලාම්ද යන කාරණයෙන් වැඩක් නැත. වැදගත් වන්නේ එම පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ ත‍්‍රස්තවාදී අරමුණ කුමක්ද යන්න පමණය. එම අරමුණ බෝම්බ ගසා සාක්‍ෂාත් කර ගැනීමට යන අරමුණක් නම්, නිසි කලෙකත් යහපත් අරමුණක් වන්නේ නැත. එතැනදී කළ යුත්තේ අරමුණ මෙන්ම එහි අයිතිකරුවන්ද තලා දැමීමය.
ඊයේ උදේ සිදුවූ ප‍්‍රහාරය ඉතාම දුෂ්ට ප‍්‍රහාරයකි. කතෝලිකයන් විසින් ඉමහත් භක්තිකයන් සමරනු ලබන පාස්කු ඉරු දිනය වැදගත් වන්නේ කි‍්‍රස්තුස් වහන්සේ මළවුන්ගෙන් අවදි වූ හෙවත් ‘උත්ථානය’ ලද දවස නිසාය. කි‍්‍රස්තුන් වහන්සේ උත්ථානය ලද දිනයෙහි කතෝලික බැතිමතුන් සියයකට වැඩි පිරිසක් පල්ලිවලට බෝම්බ ගැසීම මගින් පරළොව යැවීම එම ආගමට මෙන්ම මනුෂ්‍යත්වයටද කරන ලද සරදමකි. ලංකාව යනු පිටරටවලදී කතා බහට ලක්වීමට තරම් සුදුසු මාතෘකාවක් නැතිව තිබූ රටකි. පසුගිය දශක කිහිපයේදී මේ රට ගැන පිටරටදී කවරකු හෝ කතා කළේ නම් එක්කෝ යුද්ධය ගැනය. නැත්නම් කි‍්‍රකට් ගැනය. යුද්ධය සහ ක‍්‍රිකට් එක සැරේට වාගේ බැස ගිය නිසා පසුගිය කාලයේදී ලංකාව ගැන කිසිවක් කතා කිරීමට පිටරටවලට තිබුණේ නම් ඒ යුද අපරාධ ගැනය. දැන් නැවතත් ලංකාවේ බෝම්බ ගැන කතා කිරීමේ අවස්ථාව පිටරටවලට උදාවී තිබේ.
මේ ප‍්‍රහාරය සිදුකළේ කවරෙක්ද යන්න මේ කතුවැකිය ලියන මොහොත වනතුරුත් හෙළිදරව් වී තිබුණේ නැත. එහෙත්, කටුවපිටිය පල්ලියේ ප‍්‍රහාරය මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් බව සමහරු කියති. එසේ මරාගෙන මළ ප‍්‍රහාරකයා ගැන කිසියම් තොරතුරක් දැනගත හැකිවූ තැන පටන් ප‍්‍රහාරය සංවිධානය කළ පුද්ගලයන් හෝ සංවිධානය ගැන තොරතුරු හෙළිකර ගත හැකිය. රජීව් ගාන්ධි ඝාතනය කළේ කොටි සංවිධානය බව දැනගන්නට ලැබුණේ ‘ධනු’ ගේ ඔළුගෙඩිය බිම වැටී තිබූ නිසාය. ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය කළේද කොටින් විසින් බව හෙළිවූයේ ‘බාබු’ ගේ ඔළුව බිම වැටී තිබූ නිසාය.
එහෙත් ඊයේ උදේ හටගත් ප‍්‍රහාර මාලාව ධනු සහ බාබුගේ ත‍්‍රස්ත පරම්පරාවට කිසිදු සම්බන්ධයක් නැති බව අපට විශ්වාසය. මෙය කළේ කවුරුන්දැයි යන්න ගැන සෑම දෙනා තුළම එක්තරා ස්ථාවර හැඟීමක් ඇතත් සැකයේ වාසිය විත්තියට නිසා ඒ ගැන කවුරුත් කතා කිරීමට කැමැති නැත. අප ඒ ගැන කිසිවක් නොකියන්නේ ‘දිවයින’ ජාතිවාදය අවුස්සන්නේය යන චෝදනාව අපේ ඇඟ මත සුපුරුදු පරිදි කඩා වැටීමට ඉඩ ඇති හෙයිනි. ජාතිවාදය සහ ජාතිකවාදය යනු දෙකකි. ජාතිකවාදයේ අරමුණ වන්නේ රට ජාතිය නැංවීමය. අපේ අරමුණ වන්නේ ජාතිය යන්නට පුළුල් අර්ථකථනයක් දී මේ භූමියේ වෙසෙන සියලූ ජාතීන් නැංවීමය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...