වර්තමානයේ මෙරට මහජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබෙන කමිටුවක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හඳුන්වා දිය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක දේශපාලනය පිළිබඳව හා මෙරට දේශපාලනය පිළිබඳ හසළ දැනුමක් ඇති ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු හා මාධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක මහතා දැක්වූ අදහස්ය.
මේ මොහොතේ අපේ රට ඉතාම තීරණාත්මක මොහොතකයි තිබෙන්නේ. මේ මොහොතේ රටේ පාලකයොත් ජනතාවත්, විවිධ දේශපාලන පක්ෂත් , තමන්ගේ පටු බල දේශපාලන අරමුණු අත් හැරලා නිවැරදි ක්‍රියාමාර්ගය නොගතහොත් අපේ රට නැවත ගොඩනගාගත නොහැකි අන්දමේ අරාජික භාවයකට, අස්ථාවර භාවයකට, ආර්ථික අවුලකට හා ප්‍රචණ්ඩත්වයකට තල්ලුවී යා හැකි බව දේශීය හා විදේශීය මෙවැනි ආර්ථික හා සමාජ වර්ධනයන් පිළිබඳ අධ්‍යයනයන් කරන කෙනෙක් ලෙස මම දකිනවා. වගකිවයුතු පිරිස් හැසිරෙන ආකාරය බැලුවොත් එක් අයෙකුවත් වගකීමෙන් හැසිරෙන බවක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. සරල කාරණාවක් අරන් ඒ ගැන කිව්වොත් ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මෙම ප්‍රශ්නය අවුල් කිරීමට හා උත්සන්න කිරීමට තුඩු දෙන ස්වභාවයක් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චෝදනා නැගෙන පිරිසගේ හැසිරීම ඊටත් වඩා නරකයි. අපි බැලුවොත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා පසුගියදා පවසා තිබුණා අපි ලංකාවේ සුළුතරය වුණාට ලෝකයේ බහුතරය, අපිව ලෙහෙසියෙන් වට්ටන්න බැහැ කියලා. මෙය අතිශය ආඩම්බර, අනුවණ, ප්‍රකෝපකාරී සාහසික ප්‍රකාශයක්. මෙතෙන තිබෙන ප්‍රශ්නය තමයි ඔවුන් තේරුම් ගන්නේ නැහැ ඔවුන් පත්වෙන්නේ තනිකර මුස්ලිම් ඡන්දවලින් නොවන බව. ඒ වගේම මුස්ලිම් ජනතාවට එරෙහිව නොවෙයි මේ විරෝධය ඇතිවී තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතැම් පිරිස් ආවේගශීලීව හැඟීම් බරව හා සීමාන්තිකව වැඩකරනවා වගේම කතා කරනවා. නමුත් ඒ තත්ත්වයට යම් ජන කොටසක නායකයන් හා
දේශපාලන නායකයන් වැටෙනවා නම් අනිත් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද?
ලෝකයේ මුස්ලිම් ජනගහනය බිලියන 1.8ක් පමණ සිටිනවා. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 24%ක්. නමුත් මෑත කාලයේදී මුස්ලිම් රටවල්වලට කෙතරම් ව්‍යසනයන් සිදු වුණාද? ඇෆ්ගනිස්තානය සුන්බුන් ගොඩක්. ඉරානය , ලිබියාව සුන්බුන් ගොඩක්. සිරියාව එසේ වෙමින් පවතිනවා. පලස්තීනයේ ප්‍රශ්නය මුළුමනින්ම පාහේ යටපත් කරන් තිබෙනවා. මේවායේදී මොනවද ඔය බහුතරය කළේ? අපි මේ රටේ සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න අවශ්‍යයි.
ආණ්ඩුව තේරීම් කාරක සභාව පත්කළේ ඇත්ත සොයන්න නොවේ
ආණ්ඩුව මේ ප්‍රශ්නයේ සුලමුල සෙවීමට යැයි කියා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියා කලාපය මේ ප්‍රශ්නය විසඳන්න කෙතරම් හේතු වෙනවාද? නැතිනම් ප්‍රශ්නය අවුල් කිරීමට හේතු වෙනවාද? එහි නරක අතුරු ප්‍රතිවිපාක තිබෙනවාද? යන ඒවා අපි මේ මොහොතේ මුහුණදෙන ප්‍රශ්නයන්.
මෙම තේරීම් කාරක සභාව පත්කළේ ආණ්ඩුවයි. මෙම ප්‍රහාරයේ සුලමුල සොයාගෙන නිවැරදි තැනකට රට යොමු කිරීමත්, සංහිඳයාව ඇතිකිරීමත්, අන්තවාදයට වැට බැඳීමත්, ප්‍රචණ්ඩත්වයට තිත තැබීමත් මෙම කමිටුවෙන් සොයා ගන්නා කරුණුවලින් සිදු කරන බවයි ආණ්ඩුව පවසන්නේ. මේ රජයේ අරමුණ එය නම්, ප්‍රථමයෙන්ම මේ විනාශය සිදුවෙන්න කලින් නවතා ගන්න තිබුණා. විනාශය වළක්වා නොගෙන දැන් මෙවැනි සන්දර්ශනයක් සිදුකරමින් තවත් අවුල් කිරීමෙන් ඉහත ප්‍රකාශිත අරමුණු ඉටුවෙනවා යැයි හිතන්න බැහැ.
ඊයේ පෙරේදා ඉල්ලා අස්වූවා යැයි පැවසෙන බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා මෙම විනාශය පිළිබඳ තොරතුරු දන්වා යැවූ ලිපියේ දාතම සටහන් වන්නේ මෙම වසරේ අප්‍රේල් 11 දිනයයි. මීළඟට ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කළා ඉන්දීය බුද්ධි අංශ මේ පිළිබඳව මෙරටට දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා බවට. එසේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගන්නට සති දෙකහමාරක කාලයක් ආණ්ඩුවට තිබුණා. නමුත් මේ දැනුම් දීම දුන්නේ ජනාධිපතිටද? අගමැතිටද? ආරක්ෂක ප්‍රධානින්ටද? මේ අය අතර සම්බන්ධීකරණයක් නැති බව පෙනී යනවා. මීළඟට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයාව කැඳවූයේ නැති බව කියනවා. එසේ නම් ඒ ඇයි කියා සොයා බලලා අවශ්‍ය පියවර ගැනීම අගමැතිවරයාගේ වගකීමක් වගේම යුතුකමක්. එය පැහැර හරින්න බැහැ. එසේ නොමැතිව අසවලා මට කිව්වේ නැහැ කියලා පොඩි ළමයි වගේ කියන්න බැහැ. ඇත්තටම වුණේ ආණ්ඩුවට මේ පිළිබඳව උවමනාව තිබුණේ නැහැ.
අපි අතීතයට ගියොත් 1962 වර්ෂයේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව තිබියදී ආණ්ඩුවට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ඉතාම හොඳින් සැලසුම් කෙරෙනවා. නමුත් එම සැලසුම ක්‍රියාත්මක කරන්න ඉතාම කෙටි වේලාවක් තිබියදී මැතිණියට මේ ගැන හිතෛශී අයෙකුගෙන් දැන ගැනීමට ලැබෙනවා. මැතිනිය ඇය යන්න හිටපු ගමනක් නවත්වලා ඉතාම කෙටි වේලාවක් තුළ අවශ්‍ය පියවර ගන්නවා. සියලුම කුමන්ත්‍රණකරුවන්ව අත්අඩංගුවට ගන්න ඇය නියෝග කරනවා. ඒ කාලයේ අද වගේ ජංගම දුරකථන, පරිගණක, ටැබ් තිබුණේ නැහැ. සාමාන්‍ය කෙනෙකුටවත් දුරකථන ඇමැතුමක් දීලා සම්බන්ධ කරගන්න බැරි කාලෙකයි එතුමිය එම කඩිනම් ක්‍රියා මාර්ග ගත්තේ. රාජ්‍ය නායකයන් අන්න එහෙමයි යම් තොරතුරක් ලැබුණම ක්‍රියා කළ යුත්තේ. එසේ නම් ආණ්ඩුව තේරීම් කාරක සභාව පත්කළේ ඇත්ත සොයන්න නොවේ වෙනත් අරමුණු කිහිපයක් සඳහායි යන්න පැහැදිලි වෙනවා. මගේ දේශපාලන කියැවීම අනුව එම අරමුණු මෙසේ දැක්විය හැකියි.
තමන්ගේ ඇඟ බේරා ගැනීම
ආණ්ඩුව හා දේශපාලන නායකයන් පිළිබඳව ජනතාව අතරින් බරපතළ විරෝධයක්, කෝපයක් හා පිළිකුලක් ඇතිවී තිබෙනවා. දැන් සාර්ථක වුණත් නැතත් ඇඟ බේරා ගන්න අවශ්‍යයි. මේ අගමැතිවරයා නායකත්වය දෙන කොට්ඨාසය නිදොස් වෙන්නයි උත්සහයක යෙදෙන්නේ.
සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා පිට පැටවීම
නිසැකව මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා සතුයි. ඒ වගේම අගමැතිවරයාත් මෙයට වගකිව යුතුයි. නමුත් මේ තේරීම් කාරක සභාව හරහා සිදුකරන්න උත්සහ කරන්නේ ජනාධිපතිවරයා පිටට මෙහි සම්පූර්ණ වගකීම පැටවීම බවයි පෙනී යන්නේ.
කෝන්තර පිරිමසා ගැනීම
මහබැංකු බැඳුම්කර වංචාව දිගහැරෙන විට මුල් අවස්ථාවේදී නිහඬව සිටි ජනාධිපතිවරයා දේශපාලන වාසි බලාගෙන මේ වංචාව පිළිබඳ සොයන්න ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ කොමිසම මගින් අගමැතිවරයා නායකත්වය දෙන කණ්ඩායම අපහසුතාවයට පත්කළා. ඒ කොමිසමෙන් සිදුවුණ දෙයක් අද දක්වා අපිට පෙනෙන්නට නැහැ. තමන්ට රිද වූ ජනාධිපතිවරයාට රිදවීම හා ජනතාව හමුවේ ජනාධිපතිවරයාව හෑල්ලුවට ලක්කිරීම මෙහි අරමුණක්.
දැනටමත් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා පැහැදිලිව කියනවා ජනාධිපති තමයි මෙයට සෘජුව වගකිවයුතු කියන එක. ඒ පමණක් නොව තමන්ගේ ඇඟ බේරා ගන්නට පොලිස්පතිට තනාපතිකමක් දෙන්න ජනාධිපතිවරයා උත්සහ කළ බව කියනවා. නමුත් මෙහි බරපතළකම තමයි තමන්ගේ කෝන්තර පිරිමසාගන්න ගියාම රටේ දේශපාලන අස්ථාවර භාවය තව
දුරටත් අවුලෙන් අවුලට ගමන් කිරීම.
ජනාධිපතිවරයා කියනවා මේ කමිටුව හමුවේ සාක්ෂි දෙන්න ආරක්ෂක නිලධාරීන්ට යන්න නොදෙන බව. කථානායකවරයා තේරිම් කාරක සභාවට ඕනෑම අයෙක්ව කැඳවිය හැකි බවට ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එසේ නොපැමිණෙන අයෙකුට අත්වන ඉරණම හා ප්‍රතිවිපාක දැනගත යුතුයි යන්නත් ඔහු පවසනවා. මෙය වක්‍රව ජනාධිපතිවරයාට ගහපු කනේ පාරක්. කථානායකවරයා මෙම සිද්ධිය සාධාරණීයකරණය කරන්න ඇමෙරිකාවෙත් මෙලෙස සිදුකළ බව කියනවා. ඇමෙරිකාවේ සිදුවන හැම දේම නිදර්ශනයට ගෙන, වැරැද්දක් නිවැරදි කර සුජාත භාවයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඇමෙරිකාවේ කවදාවත් තමන්ගේ ආරක්ෂක හමුදා ලෝකයට පාවා දීමක් සිදු කර නැහැ. ඇමෙරිකාවේ සෙනෙට් සභාවේ මෙවැනි විවෘත සාක්ෂි විමසීම් තිබෙනවා. ඒ පොදු මහජන ආරක්ෂාව පිළිබඳ කරුණු මිසක් රටේ ආරක්ෂක හමුදාව හෝ බුද්ධි අංශ අනාවරණය කර පාවාදීම නොවෙයි සිදුවෙන්නේ.
ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් තමන්ගේ ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ උපරිමයෙන් ආරක්ෂා කරනවා. එක් අවස්ථාවක මානව හිමිකම් කඩවීම් චෝදනාවක් හමුවේ එංගලන්ත අගමැතිනී තෙරේසා මේ පැවසුවා &මම නීති වෙනස් කරලා හරි මගේ හමුදා ආරක්ෂා කරනවා* කියලා. එහෙමයි ඒ රටවල් කටයුතු කරන්නේ. එහෙම කරද්දී තමයි අපේ රට ව්‍යාජ නිදසුන් ගෙනහැර පාන්නේ.
රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක්
ඒ වගේම කියන්න ඕන යහපාලන ආණ්ඩුව පත්වූ දා සිටම ආරක්ෂක හමුදා දුබල කිරීම පැහැදිලිවම සිතාමතාම සැලසුම් සහගතව සිදු කළා. බුද්ධි අංශය දුර්වල කළා. සිතා මතා සැලසුම් සහගතව මේ දේවල් කළා. බුද්ධි අංශ නිලධාරීන්ව චෝදනා නැතිව අත්අඩංගුවේ රඳවාගෙන ඔවුන්ව අධෛර්යමත් කළා. මෙය මේ ආණ්ඩුවේ ආර්ථික දේශපාලන දර්ශනයේ කොටසක්. 2001 දෙසැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් බලයට පැමිණි වත්මන් අගමැතිවරයාගේ ආණ්ඩුව 2002 පෙබරවාරි 21 වෙනිදා එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබුවා. ඉන් පසු අපේ බුද්ධි අංශ බරපතළ ලෙස සතුරාට නිරාවරණය කළා. එල්. ටී. ටී. ඊ. තුවක්කුකරුවන් විසින් බුද්ධි අංශ නිලධාරීන් 15ක් පමණ ඝාතනය කළා. දෙහිවල පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙකු රාජකාරී නිමවී විවේක සුවයෙන් නිදා සිටියදී එල්. ටී. ටී. ඊ. පිස්තෝලකරුවෙකු ඇතුළට ඇවිත් වෙඩි තබා ඔහුව ඝාතනය කළා. මිලේනියම් සිටි සිදුවීමත් එහි එක් කොටසක්.
මෙයින් සිදුකරමින් සිටින්නේත් එක ගලෙන් කුරුල්ලෝ කිහිපදෙනෙක් මරා ගැනීමේ ප්‍රයත්නයක්. මොකද ඇත්ත සොයන්න නම් මෙවැනි මාධ්‍ය සන්දර්ශනයක් නැතුව බුද්ධි අංශ ප්‍රධානින් ආරක්ෂක අංශ ප්‍රධානින් ප්‍රසිද්ධියේ නිරාවරණය නොකර මේ දේවල් කරන්න පුළුවන්. ඇමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කරද්දී, ඉන්දියාව, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කරද්දී
මෙවැනි විවෘත භාවයක් නොතිබුණේ ඇයි?
යහපාලනයේ එක් අංගයක් තමයි විනිවිද පෙනෙන බව. ඒක හොඳයි. නමුත් එය හැම තැනටම එක ලෙස තිබිය යුතුයි. රටක බුද්ධි අංශය කියන්නේ රහස් සංවිධානයක්. එය මාධ්‍යයට හෝ මහජනතාවට නිරාවරණය කිරීම රටට අහිතකරයි. එයට ඉන්ටලිජන්ස් කියන ඉංග්‍රීසි වචනය භාවිත කරන්නේ ඒ නිසයි. මේ ව්‍යාපෘතිය මගින් අද අප මුහුණපා තිබෙන භේදකාරී, ජනකොටස් අතර වෛරය පතුරවන ,අන්තවාදයට අවශ්‍ය පරිසරය හා පසුබිම සකසන තත්ත්වයට පෝෂණය කිරීමට ඉවහල් වීමයි සිදුවන්නේ. එයට හොඳම නිදසුන තමයි රතන හාමුදුරුවන් කළ උපවාසය. එයට මහජනතාවගේ අවධානය යොමු වුණා. මාධ්‍ය විශාල ප්‍රචාරයක් දුන්නා. නමුත් උපවාසයේ අවසන් ප්‍රතිඵලය වුණේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව නිදොස්කොට නිදහස් වීමයි. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ආවා නම් බොහෝ කරුණු අනාවරණය වෙනවා. ඇතැම් විට ආණ්ඩුවේ සිටින කතෝලික මැති ඇමැතිවරුන්ට සිදුවෙනවා ඔහුට විරුද්ධව ඡන්දය දෙන්නට. එවිට ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. ඒ වගේම මේ නාට්‍ය‘යේ තිර පිටපතේ තවත් අංශයක් තමයි මුස්ලිම් මැති ඇමැතිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වීම. එය ඉතාම තර්ජනාත්මක ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ.
ජනසමාජයෙන් කෝපය ආවේ බහුතර මුස්ලිම් ජනසමාජයට නොවෙයි. නමුත් බහුතර ජනසමාජයේ බියක් ඇති වුණා. මෙය බරපතළ ව්‍යසනයක් වෙන්න තිබුණා. බොරු කීමෙන් මේක වහන්න බැහැ. එවැනි භයානක තත්ත්වයක් තමයි මෙහි පිටුපස තිබෙන්නේ. සන්දර්ශන පවත්වමින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරමින් තමන්ගේ ව්‍යාපෘති ඉස්සරහට ගෙන යමින් කරන මේ දේවල් නිසා තවදුරටත් රට අවුල් වීම මිසක් යහපතක් වේ යැයි අපිට දකින්න බැහැ. දැනටමත් ඒ පිළිබඳ විශාල විරෝධයක් ඇති වී තිබීමෙන්ම එය පැහැදිලි වෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය තනි සිදුවීමක් නොවෙයි
මීළඟ කාරණය තමයි මේ තේරීම් කාරක සභාව විශ්වාස කරන්න පුළුවන්ද? යන්න. එහි සිටින සියලු දෙනාම යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ අයයි. ඔවුන්ට මේ ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එවැනි පිරිසක් අපිට විශ්වාස කරන්න පුළුවන්ද? යුක්ති සහගත විමර්ශනයක් හා අවශ්‍ය පුද්ගලයන් ගෙනවිත් ප්‍රශ්න කරයිද? ජනතාව අපේක්ෂා කරන ප්‍රතිඵලයක් මින් ලැබෙයිද? කියන ගැටලුවක් දැනටමත් ඇතිවී තිබෙනවා.
මේ තේරීම් කාරක සභාව සමාන කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාර අගවිනිසුරුවරිය ඉවත් කිරීම වෙනුවෙන් පත්කළ තේරීම් කාරක සභාවට. මොකද එහි සිටියේත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුයි. ඔවුන්ට සිද්ධ වුණා සිය නායකයන්ගේ අරමුණු ඉෂ්ට කරන්නට. එවැනි තේරීම් කාරක සභාවක් තමයි දැනුත් දිග හැරෙමින් තිබෙන්නේ.
මේ ශාපයට මුල තමයි 2015 ජනවාරි 08 ආණ්ඩුව පත්වුණේ විදේශ බලවේගවල උදව්වෙන් වීම. එය තමයි මේ ප්‍රශ්නයට මුල් වූ එක කාරණයක් වන්නේ. අද ලෝකය පාලනය කරන බලවතුන් අතර දැවැන්ත තරගයක් මෝදු වෙමින් පවතිනවා. සමහරවිට ඉදිරි කාලයේදී යුද්ධයක් දක්වා වර්ධනය වන්නත් පුළුවන්. මූලික වශයෙන් මෙහි තරගය තිබෙන්නේ ඇමෙරිකාව හා චීනය අතරයි. අපි මේ ගැටුමේ ඉත්තෙක් නැත්නම් ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය තනි සිදුවීමක් නොවෙයි. එය මහා ව්‍යාපෘතියේ තවත් කොටසක්. කාදිනල්තුමා කිව්වා මේ ප්‍රහාරය කළ පිරිස ඇත්ත වශයෙන්ම නොදන්නවා විය හැකියි ඔවුන් පිටුපස ඉන්නේ කවුද කියන දෙය සම්බන්ධව කියලා. එයයි අපි ඇත්ත වශයෙන්ම ගතයුතු කාරණාව වන්නේ.
මේ ප්‍රහාරය හා අවුල් පිටුපස ඉන්නේ ලෝකය පාලන කිරීමට උත්සහ දරන ලෝක බලවතුන්. 2015 වර්ෂයේ ඔවුන්ගෙන් සහය අරන් බලයට පත්වූ නිසා ඒ බලවතුන්ගේ ගොදුරක් බවට අපි පත්වෙමින් ඉන්නවා. ජනවාරි 08 සිදුවූ දෙය ස්වභාවික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයකට වඩා විවිධ අරමුණු සහිත පිරිස් එකතු වී සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ. ඒ සැලැස්ම අනුව ඔවුන්ට හැකි වුණා විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔවුන් යටතට ගොනු කරගන්නට. එසේ ගොනු කළ ආකාරය පවා ප්‍රශ්නකාරීයි.
මොහාන් සමරනායක
අද
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...