ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමන් රාජපක්ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය
මෙම ලිපිය පළවන්නේ කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භ වී වසර 60 ගත වීම සමරන ‘‘විදුලකර පුනරාවලෝකනය‘‘ වෙනුවෙනි.
වර්ෂ 1815 ඉංග‍්‍රීසීන් සමග ලාංකිකයන් ඇති කරගත් කන්ද උඩරට ගිවිසුමට අනුව ඉංග‍්‍රීසි පාලනය දියත් නොවීම මුල් කරගනිමින් අහිමි වී ගිය ජාතික ආගමික නිදහස යළි දිනා ගැනීමට අවස්ථා ගණනාවක දී ඉංග‍්‍රීසීන්ගේ පාලන තන්ත‍්‍රය සමග සටන් වැදීමට ලාංකිකයන්ට සිදුවිණ. මේ සෑම සටනක්ම ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඉතා දරුණු ලෙස මර්දනය කළේ ය.
දිගින් දිගටම සටන් කිරීමෙන් පමණක් තමාට අහිමි වූ නිදහස යළි ලබා ගැනීමට නොහැකි බව වටහා ගත් එවක භික්ෂූන් වහන්සේ ප‍්‍රමුඛ ගිහි උගත්හු නිදහස දිනා ගැනීම ස`දහා වෙනයම් විකල්ප මාර්ග සෙවූහ. ඒ අනුව ඉංග‍්‍රීසීන්ගේ මර්දනකාරී පාලනයෙන් බුදුදහම සහ බෞද්ධයා මුදා ගැනීම ස`දහා ද, ක‍්‍රිස්තියානි මිෂනාරීන්ගේ බෞද්ධ හා සංස්කෘතික විරෝධී ඉගැන්වීම්වලින් බුදු දහම සහ බෞද්ධයා මුදා ගැනීම පිණිස ද බෞද්ධ අධ්‍යාපනය දියුණු කළ යුතු බව භික්ෂූන් වහනසේ ප‍්‍රමුඛ බෞද්ධ උගත්හු කල්පනා කළහ. ඒ අනුව බෞද්ධ අධ්‍යාපනය ඔස්සේ මෙරට ජාතික නිදහස් සටන ප‍්‍රාණවත් කිරීමට ඔවුහු කටයුතු කළහ.
නමුත් මේ වන විටත් බෞද්ධයන් සතුව පැවති ප‍්‍රධානතම ගැටලූව වූයේ විසිරී පැවති ඔවුන්ගේ ශක්තිය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කිරීමට සුදුසු ස්ථානයක් හෝ නිශ්චිත ව්‍යුහයක් නොමැති වීමයි. මෙය ජාතික ප‍්‍රබෝධය ඇති කිරීමෙහිලා බාධකයක් ද විය.
මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ පිරිවෙන් නමැති උසස් අධ්‍යාපන ආයතන ආරම්භ වේ. එමගින් රටවැසියා ශාස්ත‍්‍රීය වශයෙන් ඥාන ගවේෂණයට යොමු කිරීම ස`දහා ද පවත්නා සමාජ, සංස්කෘතික අරගල වටහාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට සමත් පෞරුෂයක් රටවැසියා තුළ නිර්මාණය කිරීම ස`දහා ද අවකාශ සැලසෙයි. ඒ කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලැබෙන පසුබිමක් තුළය.
ඒ අනුව වර්ෂ 1873 හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ද 1875 රත්මලානේ ශ‍්‍රී ධර්මාලෝක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන ද ආරම්භ කෙරේ.
රටවැසියාට නිදහස ලබාගැනීම ස`දහා ඔවුන් මතවාදීව පෙලඹවීම පිණිස අවශ්‍ය නායකත්වය සැපයීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේට විශාල කාර්යභාරයක් පැවරුණහ. පිරිවෙන් ඒ සදහා භික්ෂූන් වහන්සේ පුහුණු කරන විද්‍යාස්ථානයක් බවට පත්වේ. ඒ අනුව ලංකාවාසී බෞද්ධයාගේ ධර්මය වන බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම, ව්‍යාප්ත කිරීම, බෞද්ධයාට ස්වකීය ජීවිත ඥානය සිද්ධිය සැලසීම, බෞද්ධය තුළ ආගමික ප‍්‍රබෝධය ඇති කරවීම වැනි පරමාර්ථ මුල් කරගනිමින් මෙරට පිරිවෙන නැමැති උසස් අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගියේය.
ආරම්භයේ දී පාලි, සිංහල, සංස්කෘත භාෂා ඉගැන්වීම් මෙන්ම වෛද්‍ය ශාස්ත‍්‍රය, තර්ක ශාස්ත‍්‍රය, ගණිතය වැනි විෂයයන් ද පිරිවෙන තුළ ඉගැන්වූයේ ය. මීට අමතරව පිරිවෙන් අධ්‍යාපනය තුළ ධර්ම, විනය, සාහිත්‍ය, සාහිත්‍ය රීති හා සම්ප‍්‍රදාය මෙන්ම රටවැසියාගේ ජාතිකත්වය හා ජාතිමාමක හැඟීම ඉස්මතු කළ හැකි ඥාන දර්ශනයක් පැවතුණි.
ඒ අනුව කාලාන්තරයක් මුළුල්ලේ පිරිවෙන් අධ්‍යාපනය මගින් මෙරට ගිහි පැවිදි ප‍්‍රජාව මතවාදීව ජාතික නිදහස් අරගලය ස`දහා සංවිධානය කෙරිණි. නිදහස ලබා ගැනීමෙන් පසු බලයට පත් මෙරට පාලකයෝ විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන්වල මෙතෙක් පැවති ක‍්‍රියාකාරීත්වය තීව‍්‍ර කිරීමට ද වේගවත් කිරීමට ද කටයුතු කළහ. ඒ අනුව 1956 දේශපාලන පෙරළියත් සමග එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සාම්ප‍්‍රදායික පිරිවෙන් විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒමට කටයුතු කරයි.
ඒ අනුව අද දිනට විද්‍යාලංකාර පිරිවෙන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බවට පත් වී වසර හැටක් සපිරේ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දශක හයක ගමන් මග දෙස හැරී බලන විට අපට දක්නට ලැබෙන්නේ කුමක්ද? විද්‍යාලංකාර පිරිවෙන මගින් එවකට ගෙන ගිය ශාස්ත‍්‍රීය සහ සමාජීය සංස්කෘතික මෙහෙවර මෙන් නව සමාජ මෙහෙවරක නියැළීමට අභිනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට හැකි වී ඇති ද? යන්න විමසා බැලිය යුතුය. ඒ අනුව පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වීමේ පරමාර්ථ නිසි පරිදි හ`දුනාගැනීමෙන් පමණක් විශ්වවිද්‍යාලයේ පැවැත්ම ආරක්ෂා වන බව මෙහිදී සිහිපත් කළ යුතුය.
මීට වසර හැටකට පෙර එනම්, 1959 වර්ෂයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ එහි ප‍්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නාහිමි මෙසේ ප‍්‍රකාශ කළහ.
විශ්වවිද්‍යාලයක් වශයෙන් මේ විද්‍යා පීඨය කෙරෙහි පැවරෙන භාරදූර වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට මේ රටේ අධ්‍යාපන සේවාව පිළිබ`ද අපේ දීර්ඝ අත්දැකීම් උපයෝගී කරගැනීමට අප උත්සාහ ගනිමු. ඒ පිළිබ`ද ධර්ම ශාස්ත‍්‍ර රසික හැමදෙනාගේත් සහයෝගය අපි අපේක්ෂා කරමු. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මහා විහාර, නාලන්දා, වික‍්‍රමශීලා, විජයබාහු ආදී කීර්තිධර විශ්වවිද්‍යා පීඨයන් මෙන්ම ආගම් භේද, කුලභේද, ජාතිභේද විරහිතව නිදහස් ආයතනයක් වශයෙන් බුද්ධිය හා විචාරය, සේවාව හා පරිත්‍යාගය, චරිතය හා ආදර්ශය මුල් තැන්හිලා සලකාගෙන පැවැත්වීමට අපි හැමවිටම ප‍්‍රයත්න දරමු.
මේ ප‍්‍රකාශය මගින් අභිනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සමාජ, සංස්කෘතික මෙහෙවර පුළුල් පරාසයක පැතිර පවත්නා බව පෙනේ. විශ්වවිද්‍යාලයක් බවට පත් වී වසර හැටක් ගත වූ තැන නූතන කැලණිය විශ්වවිද්‍යාලය කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නාහිමියන්ගේ අරමුණට ළඟා වී හෝ එය පසුකර යෑමට සමත් වී ඇති ද යන්න විමසා බැලිය යුතුය. අප මෙම හැට වන සංවත්සරය ඒ ස`දහා අවස්ථාවක් කර ගනිමු.
අනගාරික ධර්මපාලතුමන් පැවසූ පරිදි රටක අධ්‍යාපනය නිදහස් විය යුතු ය. කාර්මික හා තාක්ෂණික මූලධර්ම මත අධ්‍යාපනය සකස් විය යුතු ය. රටට අවශ්‍ය නායකයන් බිහි කරගැනීමට එම අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ හැකිවිය යුතු ය.
ධර්මපාලතුමාගේ මෙම දර්ශනය පදනම් කරගෙන සී. ඩබ්. ඩබ්. කන්නගර මැතිඳුන් මෙරට නිදහස් අධ්‍යාපන සංකල්පය ක‍්‍රියාවට නැංවීය. කන්නන්ගර මැතිතුමාගේ ද දර්ශනය වූයේත් නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපන නිදහසත් ආරක්ෂා කරගැනීමයි. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ශාස්ත‍්‍රීය නිදහස ආරක්ෂා කිරීම ආචාර්යවරුන්ගේ ද විද්‍යාර්ථීන්ගේ ද පරිපාලන නිලධාරීන්ගේ ද වගකීම වන්නේ ය. නිසි ශාස්ත‍්‍රීය නිදහසකින් තොර තරගකාරී සහ විභාග පමණක් කේන්ද්‍රීය වූ ඒකාකාරී මාර්ගයක් ඔස්සේ විශ්වවිද්‍යාලය නැමැති ශිල්පායතනයේ පරමාර්ථ ඉටු කරගැනීමට නොහැකිය.
විශ්වවිද්‍යාලයක පරමාර්ථ පිළිබඳ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී කර්තෘ වැලිවිටියේ ශ‍්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය. උන්වහන්සේගේ මෙම විවරණය නිසරු දැනුමක් සහ අධ්‍යයන ක‍්‍රමවේදයක් කරතබාගෙන දුවන නූතන ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියෙහිම මාර්ග දර්ශනය වශයෙන් වුව ද ගත හැකි ය.
විශ්වවිද්‍යාලයක් මහා සමුද්‍රයකට සමාන කළ හැකිය. එයට නොයෙක් දිගින් ගංගාවෝ ගලා බසිත්. ඒවා සමුද්‍රයට වන් විට වෙන් වෙන්ව තිබුණු නම් අතුරුදන් වී එකම සමුද්‍ර නාමයෙන් හඳුන්වනු ලැබෙත්. එසේම නොයෙක් අධ්‍යාපන ආයතනවල නොයෙක් ආචාර්යවරුන්ගෙන් උගත් හා නා නා විධ අදහස්වලින් යුත් නා නා විධ පරිසරයන්හි වැඩුණු ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළුව එකම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතු ය. සමුද්‍රය ගැඹුරු ය. එසේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතු ය. සමුද්‍රයෙහි ඇත්තේ එකම රසයකි. එනම් ලූණු රසය යි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ පරමාර්ථය ද එකක් විය යුතු ය. එනම් රටට යෝග්‍ය රටට ගැලපෙන රටට ප‍්‍රයෝජනවත් පුරවැසියන් වීමයි. සමුද්‍රය හැම කුණු කසළක්ම ගොඩට ගසයි. නොපිළිගෙන ඈත් කරයි. ඉවතලයි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ද නිතර ම සත්‍යයම පිළිගත යුතු ය. අසත්‍යය, වැරදි දෙය ඈත් කළ යුතු ය. සමුද්‍රය කිසි කලක වෙරළ නොඉක්මවයි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ද ස්වකීය විශ්වවිද්‍යාලයීය සම්ප‍්‍රදායට එයට ඇති ලැදියාව අත්නොහළ යුතු ය.
මෙම විශ්වවිද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේම පිළිගන්නා විවේචනයට අකමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ඇති අගුණ වසාගෙන නැති ගුණ රුවා පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩබෑ හැටියේ විදේශීය භාණ්ඩ වැනි මෙරටට අමුතු වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘත‍්‍රිම රූකඩයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් පසු වන තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විනෝද විය යුතු ය. විවේචනශීලී විය යුතු ය. ගවේෂී විය යුතු ය. එහෙත් ඒ හැම තැනම සත්‍යගරුක විය යුතු ය. යුක්ති ගරුක විය යුතු ය. බුද්ධිමත් විය යුතු ය. සභ්‍ය විය යුතු ය. සීමාන්තික නොවිය යුතු ය.
විශ්වවිද්‍යාලය යනු, විශ්ව දැනුම කේන්ද්‍ර ගත වූ තැනක්, එමෙන්ම දැනුම බෙදා හරින ස්ථානයකි. එමෙන්ම විශ්වවිද්‍යාලය මගින් නව දැනුම උත්පාදනය කළ යුතුය. එසේම උත්පාදිත නව දැනුම විස්තාරණය ද විශ්වවිද්‍යාලයේ කාර්යභාරයට අයත් වන්නකි.
පෙර අපර දෙදිග ප`ඩුවන් විසින් විස්තර කර තිබෙන අධ්‍යාපන පරමාර්ථ රැසකි. මේවායින් සමහරක් පැරණි ය. සමහරක් අලූත් ය. ඒ නිසා මෙහි ලා, පළමු ව, පැරණි පරමාර්ථ කීපයක් ගෙන බැලීම වඩා පහසු ය. ඉන්දියාවේ පැරණි පඬිවරු (1) අසත්‍යයෙන් සත්‍යය වෙන් කර දැක්වීමත්, (2) අ`දුරෙන් එළියට ගැනීමත්, (3) මරණයෙන් අමරණීයත්වයට පත් කිරීමත් ඉගෙනීමේ පරමාර්ථ කොට තැකූහ. මේවා පිළිබඳ වූ දාර්ශනික නැතහොත් ලෝකෝත්තර අදහස් පැහැදිලි කිරීමට වඩා ව්‍යවහාරික නැතහොත් ලෞකික අදහස් විස්තර කිරීම මෙහි දී වඩා ප‍්‍රයෝජනවත් ය. බඹරැන්දේ සිරි සීවලි මාහිමි (අධ්‍යයන කලාව)
සිරි සීවලී හිමියන්ගේ ඉහත උපුටනය මගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පරමාර්ථ වටහා ගැනීමට පිළිවන. ඕනෑම අධ්‍යාපන සම්ප‍්‍රදායක කලානුරූපව වෙනස් වන හා දිගුකාලීනව වෙනස් නොවී පවත්නා අධ්‍යාපන සංකල්ප දැකගැනීමට හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය මූලික කොටගෙන ගොඩනැ`ගී පවත්නා අධ්‍යාපන පරමාර්ථ කලින් කලට පාලකයාගෙන් පාලකයාට වෙනස් වන ප‍්‍රවණතාවක් හ`දුනාගත හැකිය. නමුත් එවැනි චංචල අධ්‍යාපන පරමාර්ථවලින් කිසිදු අධ්‍යාපන ආයතනයකට අපේක්ෂිත අරමුණු ළ`ගා කරගත නොහැකිය.
බඹරැන්දේ සිරි සීවලී හිමි දැක්වූවාක් මෙන් අධ්‍යාපන පරමාර්ථ සමාජ ක‍්‍රියාවලිය සමග නිසි පරිදි බද්ධ නොවූව හොත් සමාජයේ සාමාජිකයන්ට අධ්‍යාපනයේ පරමාර්ථ ඉටු කරගැනීමට හා එහි ඵලය භුක්ති වි`දීමට නොහැකි වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ හැට වසරක ශිල්ප චාරිකාව විමසා බලමින් අප නව ලොවට ගැලපෙන අධ්‍යාපන පරමාර්ථ සකස් කරගත යුතුය. එම පරමාර්ථ මෙරට පිරිවෙන් යුගයේ පැවතියාක් මෙන් දේශයේ උන්නතිය ස`දහා වන මානවවාදී, ආචාරශීලී මෙන් ම දේශීය අනන්‍යතාව ලොව හමුවේ කියාපෑමට හැකි අංගයන්ගෙන් පරිපූර්ණ විය යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...