ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය 2018 ජුනි මස හිස්විය. 2018 පෙබරවාරි පැවැති පළාත් පාලන ඡුන්දයෙන් අන්ත පරාජයට පත් වූ එජාපය සහ ශ‍්‍රීලනිපය මාරාන්තික සටනක යෙදී සිටියේය. ඒකාබද්ධ විපක්‍ෂයේ මෙහෙයවීමෙන් අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජය වී තිබිණි. ශ‍්‍රීලනිපය නැවතත් බෙදීමකට ලක් වී තිබිණි. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලය තවදුරටත් හීන කරමින් ‘16. කණ්ඩායම බිහිවිය. එම කණ්ඩායමේ ප‍්‍රබලයකු වූ තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්විය. එම පුරප්පාඩුව පිරවීමට එජාපය සහ ශ‍්‍රීලනිපය තරග කළේය. එජාපය මොනරාගල දිස්ත‍්‍රික්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයසුන්දර මුදියන්සේලාගේ ආනන්ද කුමාරසිරි තම නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේය. ඒකාබද්ධ විපක්‍ෂය ශ‍්‍රීලනිපයේ අනුමැතිය ඇතිව ගම්පහ දිස්ත‍්‍රික්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඉදිරිපත් කළේය. 2018 ජුනි පැවැති ඡුන්දයෙන් ආනන්ද කුමාරසිරි වැඩි ඡුන්ද 44 කින් එම තනතුරට පත්විය. වෘත්තියෙන් නීතිඥයකු වන ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායක ධුරයට පත්වන්නේ ශ‍්‍රී ලංකාවේ නාස්තිකාර පාර්ලිමේන්තුව ඉතා වේගයෙන් පරිහානියට පත් වෙමින් පවතින අවස්ථාවකය.
කථානායක ධුරයට හෝ නියෝජ්‍ය කථානායක ධුරයට ඡුන්දයෙන් පරාජය වූ කිසිදු පුද්ගලයකු පත් නොකළ යුතුය. ඇත්ත වශයෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතාව ප‍්‍රතික්‍ෂේප කරනු ලබන පුද්ගලයකු ජාතික ලැයිස්තු හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒම ඡුන්දය දෙනු ලබන ජනතාවට කරනු ලබන බලවත් අසාධාරණයකි. එලෙසම අපහාසයකි. කිසිදා විය යුතු නැති ක‍්‍රියාවකි.
කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව තිලංග සුමතිපාල ප‍්‍රතික්‍ෂේප කළේය. නමුත් ශ‍්‍රීලනිප නායක සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සුමතිපාල ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කළේය.
2018 ජුනි මස සුමතිපාල ඉවත් විය. ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය. මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් එජාප බලයෙන් පහ කිරීමට කළ උත්සාහය 2018 දෙසැම්බර් තුන්වන සතිය වන විට අසාර්ථක විය. රනිල් වික‍්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත්විය. නමුත් වික‍්‍රමසිංහ නැවත අගමැතිකම භාර ගන්නා අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරන සිදුවීම් පෙළක පළමු ප‍්‍රහාරය සිදු වී තිබිණි. එම සිද්ධිය 2018 නොවැම්බර් 30 දින මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වව්නතිව් ප‍්‍රදේශයේදී සිදුවිය. එම සිදුවීම නිසියාකාරව පරීක්‍ෂණයට භාජනය සිදු නොවීය. එජාප රජයට වව්නතිව් ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කිරීමට කිසිදු වුවමනාවක් නොවීය. රජය සහ ආරක්‍ෂක අංශවල අපරික්‍ෂාකාරී ක‍්‍රියාකලාපය හේතුවෙන් ජීවිත 260 ක් අහිමි විය. පුද්ගලයන් 500 පමණ තුවාල ලැබීය. වව්නතිව් ප‍්‍රහාරය නිසියාකාරව සොයා බැලූවා නම් අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාර හේතුවෙන් සිදු වූ මිනිස් ජීවිත හානිය අවම කර ගැනීමට තිබිණි. අවාසනාවකට රජය වගකීමෙන් තොරව ක‍්‍රියාකිරීම හේතුවෙන් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මිනීමරු ව්‍යාප්තිය සාර්ථක විය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවට නායකත්වය දීමේ වගකීම ආනන්ද කුමාරසිරි මන්ත‍්‍රීවරයාට හිමිවිය.
අප පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි කාරක සභාවක් පත්කළ පළමුවන අවස්ථාව මෙයයි.
පසුගිය ජූලි 14 දහවල් මෙම ලියුම්කරු ආනන්ද කුමාරසිරි මන්ත‍්‍රීවරයාගෙන් ගණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තු කටයුතු ජූලි 10 ස හ ජූලි 12 නවතා දැමීම පිළිබඳව විමසීය.
මන්ත‍්‍රීවරයාගෙන් එම විමසීම කළේ එතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා නිසාය. ආනන්ද කුමාරසිරි පැවසුවේ තමා මන්ත‍්‍රීවරුන්ගේ සභභාගි නොවීම පිළිබඳව කනගාටුවටත්” ලැජ්ජාවටත් පත්වන බවය. නියෝජ්‍ය කථානායක පමණක් නොව” කථානායකද” ශ‍්‍රීලනිපයේ නායක ලෙස මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද” එජාප නායක අගමැති වික‍්‍රමසිංහ” ඒකාබද්ධ විපක්‍ෂයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මෙම තත්ත්වය පිළිබඳව කනගාටු විය. ලැජ්ජා විය යුතුමය. එලෙසම වගකීම භාරගත යුතුය.
නමුත් මෙම ලිපියේ ප‍්‍රධාන පරමාර්ථය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තු කාරක සභාව මුහුණ දෙන අභියෝගය සාකච්ඡුා කිරීමයි.
මෙම ලිපිය සම්පාදනය කිරීමට මෙම ලියුම්කරු පෙළඹුණේ නියෝජ්‍ය කථානායකවරයා සමග පාර්ලිමේන්තු කාරක සභාව නියැළි සිටින භාරදූර කාර්යය පිළිබඳව කෙටි අදහස් හුවමාරු කර ගැනීමකින් පසුවයි.
පාර්ලිමේන්තු කාරක සභාව මුල් වරට පාර්ලිමේන්තුවේ රැස්වන අවස්ථාවේ ආනන්ද කුමාරසිරි නිල විදේශීය සංචාරයකට
සහභාගිවී සිටියේය. පාර්ලිමේන්තු කාරක සභාව මෙහෙයවීමේ වගකීම ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නට හිමිවිය. ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් හසල අත්දැකීම් ඇති එතුමා” ලංකා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයකු ලෙස එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ මහජන නියෝජිතයෙකි. උගතෙකි. ජනාධිපති නීතිඥයකු ලෙස එතුමා 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ සම්මත කර ගැනීමට කළ කාර්යභාරය විශාලය. එදා යහපාලන මෙහෙයුම ආරම්භ වන අවස්ථාවේ ජයම්පති වික‍්‍රමරත්න මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරායගේ් නීති උපදේශක විය. ආනන්ද කුමරසිරි කැනඩා සංචාරයෙන් පසුව පාර්ලිමේන්තු කාරක සභාවේ වැඩ කටයුතු භාර ගත්තේය.
මෙම පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකත්වය හිමිවූයේ 2015 මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට එජාප නායකත්වය යටතේ සටන් වැදුන දේශපාලන පක්‍ෂවලටය. ආනන්ද කුමාරසිරි (එජාප)” ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (එජාප” ජාතික ලැයිස්තු)” රවි කරුණානායක (එජාප)” වෛද්‍ය රාජිත සේනාරත්න (එජාප)” මහාචාර්ය අංශු මාරසිංහ (එජාප ජාතික ලැයිස්තුව)” එම්. ඒ. සුමන්තිරන් (ද්‍රවිඩ ජාතික සන්ධානය)” ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න (එජාප ජාතික ලැයිස්තුව ලංකා සමසමාජ පක්‍ෂය) වෛද්‍ය නලින් ද ජයතිස්ස (ජවිපෙ) සහ රවුෆ් හකීම් (එජාප ජාතික ලැයිස්තුව” ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය) මෙම කාරක සභාවට අයත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම කාරක සභාවට සම්බන්ධ වීම ප‍්‍රතික්‍ෂේප කළේය.
ආනන්ද කුමාරසිරිගේ කාරක සභාව මුහුණ දෙනු ලබන ප‍්‍රබලම අභියෝගය ඉන්දියානු රජය අපේ‍්‍රල් 04” 2019 ලබාදුන් බුද්ධි තොරතුරු අනුව ක‍්‍රියානොකිරීමෙන් අපේ‍්‍රල් 21” 2019 පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට අවස්ථාව සැලසුන බව තහවුරු කර ගැනීමයි. එලෙසම එසේ සිදුවූවා නම් එම වගකීම භාරගත යුතු වන්නේ කවුරුන්ද යන්නයි.
නීතිය සහ සාමය ඇමැති ධුරය දැරූ ජනාධිපති සිරිසේන ප‍්‍රහාරයේ වගකීම භාරගත යුතුද? ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාය එලෙසම ආරක්‍ෂක ඇමැති ධුරය හොබවන්නේ ද එතුමාය. පාර්ලිමේන්තු කාරක සභාවෙන් කැඳවීමක් ලැබුණත් තමන් එය නොසලකා හරින බව ජනාධිපතිවරයා පවසයි. පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට නොයෑමෙන් ජනාධිපතිවරයා වගකීමෙන් ගැලවෙන්නේ නැත. ජනාධිපතිවරයා වැරදිකරු ලෙස හුවා දැක්වීමෙන් ආනන්ද කුමාරසිරිගේ කාරක සභාවට වාසියක් අත්වේද?
රටේ අවශ්‍යතාවය පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ලකිරීමට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අවශ්‍ය පරිසරය සකස් කළේ කවුරුද? එම සංවිධානයේ රහස් මෙහෙයුම හෙළිකර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවාවට නොහැකි වූයේ මන්ද? එවැනි අතපසුවීමක් නැවත නොවීමට ගතයුතු ක‍්‍රියාමාර්ග කවරේද?
2015 ජනවාරි යහපාලන රජය බලයට පැමිණීමත් සමගම එවකට කි‍්‍රයාත්මක වෙමින් පැවැති ආරක්‍ෂක විධි විධාන වෙනස් කෙරිණි. එම තත්ත්වයට එජාපය සහ ශ‍්‍රීලනිපය වගකිව යුතුය. දින 100 තුළ යහපාලන රජය කළ ප‍්‍රධානතම වෙනසක් වූයේ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි විශ‍්‍රාමික මේජර් ජනරාල කපිල හෙන්දාවිතාරණ ඉවත් කර විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එම තනතුරට පත් කිරීමයි. එම වෙනසත් සමගම ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී හට ලැබෙන තොරතුරු යුද හමුදා බුද්ධි අංශයට ලබාදීම නතර කෙරිණි. සිසිර මෙන්ඩිස් රහස් පොලිසියේ සේවය කළ දක්‍ෂ පළපුරුදු නිලධාරියෙකි. ජාතික බුද්ධි ප‍්‍රධානි තනතුර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ මැදිහත්වීම මත එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ස්ථාපිත කළේ රහස් මෙහෙයුම් සම්බන්ධ පළපුරුදු නිලධාරියකුට බව රහසක් නොවේ. එම තනතුර ඇති කළේ හෙන්දාවිතාරණටමය. එහි රහසක් නැත. 2007 මුල් කාලයේදී එම තනතුරේ හෙන්දාවිතාරණ වැඩ භාරගත්තේය. හෙන්දාවිතාරණ කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට ප‍්‍රධාන කාර්යභාරයක් කළේය. නැෙඟනහිර කොටි නායක කරුණා අම්මාන් 2003 මැයි එම සංවිධානය කඩාගෙන පැමිණීමේ සිට හෙන්දාවිතාරණ ප‍්‍රබල කාර්යභාරයක් කළේය. එම ගෞරවය ඔහුට හිමිවිය යුතුය. එලෙසම එම තනතුරෙන් ඔහුව ඉවත් කිරීම සලකා බැලිය යුතු වන්නේ ඔහුට එරෙහිව එජාපය එල්ල කළ චෝදනා ද සැලකිල්ලට ගනිමිනි. එජාපය කළ පළමුවන බරපතළ වැරැද්ද නව රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් හට ලැබෙන තොරතුරු යුද හමුදා බුද්ධි අංශයට ලබා දීම නතර කිරීමයි. මෙම ලියුම්කරු බොරැල්ලේ පිහිටි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව නිල නිවසේදී යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක බැහැදැකපු අවස්ථාවට සහභාගි විය. කතෝලික නායකයා තමන්ව දැනුවත් කිරීමට රජය සිතා මතා අපොහොසත් වූ බව පැවසූ විට” හමුදාපතිවරයා තමන්ද ඉන්දියානු අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බව පැවසීය. හමුදාපතිවරයා අගරදගුරු හිමිපාණන් හමුවූයේ අපේ‍්‍රල් 22 දහවල්ය.
සිිසිර මෙන්ඩිස් සහ හමුදාපති සේනානායක පාර්ලිමේන්තු කාරක සභාව කැඳවීය. නමුත් ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස බලවත් යුද හමුදා බුද්ධි සේවාවට ඉන්දියානු වාර්තාව ලබා නොදුන්නේ ඇයි දැයි ප‍්‍රශ්න කිරීමක් නොවීය. 2019 අපේ‍්‍රල් 04 ලැබුණු රහස්‍ය වාර්තාවත් 2019 අපේ‍්‍රල් 21 දක්වා ජාතික බුද්ධි ප‍්‍රධානි යුද හමුදා බුද්ධි සේවාව සමග බෙදා නොගත් බව අදහා ගැනීමට බැරිය. දේශපාලන මැදිහත්වීමක් මත ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි යුද හමුදා බුද්ධි සේවාවට අදාළ තොරතුරු නිල වශයෙන් ලබා නොදුන්නත් අවශ්‍ය දැනුවත් කිරීම් කළ හැකිව තිබිණි.
රටේ ආරක්‍ෂාව යනු ජනතාවගේ ආරක්‍ෂාවයි. අප රටේ දේශපාලන නායකයන්ට භූමියේ තත්ත්වය පැහැදිලිව නොපෙනීම අවාසනාවකි. එසේත් නැතහොත් වර්ධනය වෙමින් පවතින තත්ත්වය දේශපාලන හේතු මත නොදැක්කා සේ කටයුතු කිරීම අපරාධයකි. ජනාධිපතිවරයා” අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා (ප‍්‍රහාරය සිදුවන විට මෛත‍්‍රිපාල සිරිසේන පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටියේය. එතුමා සිංගප්පූරුවට සේන්දු වූයේ ඉන්දියාවේ තිරුපති දේවාලය වැඳ නමස්කාර කළාට පසුවය.) අපේ‍්‍රල් 04 සිට අපේ‍්‍රල් 21 දක්වා මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නොහැකි වූ බව කිසිවකු පිළිගන්නේ නැත. ඉන්දියානු අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක” මහින්ද රාජපක්‍ෂව දැනුවත් නොකළා නම් ඔහුගේ ආරක්‍ෂක ප‍්‍රධානීන්ගෙන් ද පළක් නැත.
ඉන්දියානු රහස් ඔත්තු සේවාව මෙම අනතුරු ඇඟවීම ජාතික බුද්ධි ප‍්‍රධානි හට ලබාදීම පුළුල්ව විමර්ශනය කළ යුතුය. අනිවාර්යයෙන් ම ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය තම බුද්ධි තොරතුරු කොළඹ සිටින මිත‍්‍ර තානාපති කාර්යාලය සමග බෙදාගත් බවට සැකයක් නැත. කෙසේ වෙතත් ඉන්දියානු ජාතිකයන් ඇතුළුව විදේශිකයන් 50 ක් පමණ ප‍්‍රහාරයෙන් මියගිය බව අපට අමතක කළ නොහැක.
ඇත්ත වශයෙන් ම ජාතික තව්හිද් ජමාත් සංවිධානයෙන් එල්ල වී තිබුණ බලවත් තර්ජනය මැඬපැවැත්වීමට කටයුතු කිරීමේ වගකීම පොලිසිය සහ හමුදාවේ බව කාටත් අමතක වී ඇත. ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනය මැඬපැවැත්වීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ගැනීමට දේශපාලන නායකත්වයේ අවසරයක් අවශ්‍ය නැත. නමුත් දේශපාලන නායකත්වය දැනුවත් කිරීම අනිවාර්යය. පාර්ලිමේන්තු කාරක සභාවේ වගකීම අපේ‍්‍රල් 04 – 21 කාලය තුළ දේශපාලන සහ ආරක්‍ෂක අංශ කටයුතු කළ ආකාරය නිරවුල්ව තහවුරු කර ගැනීමයි.
අමාත්‍ය හරින් ප‍්‍රනාන්දුගේ පියා අපේ‍්‍රල් 21 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳව දැනුවත්ව සිටියා නම් ජනාධිපති” අගමැති” රාජ්‍ය ආරක්‍ෂක ඇමැති සහ විපක්‍ෂ නායක දැනුවත් වී නොසිටිය බව කිව හැකිද?
ආනන්ද කුමාරසිරි නායකත්වය දෙන පාර්ලිමේන්තු කාරක සභාව විශේෂයෙන්ම විමසා බැලිය යුතු කාරණයක් වන්නේ රාජ්‍ය බුද්ධි යාන්ත‍්‍රණයේ අසමත්කමය.
ඉන්දියානු බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට බන්දේසියක් මත තබා ලබාදුන් රහස්‍ය තොරතුරු අනුව ක‍්‍රියා නොකිරීම බලවත් වරදකි. එම වරද රාජ්‍ය බුද්ධි සේවාව සහ දේශපාලන නායකත්වය බාරගත යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාාලන පක්‍ෂ නියෝජනය කරනු ලබන කාරක සභාව විශේෂයෙන් ම සොයා බැලිය යුත්තේ රාජ්‍ය බුද්ධි සේවාව” හමුදා බුද්ධි බළකාය” ත‍්‍රස්තවාදි විමර්ශන අංශය” 2018 නොවැම්බර් 30 දින මඩකලපුවේ වව්නතිව් ප‍්‍රහාරය පිළිබඳව නිසියාකාර පරීක්‍ෂණ නොකළේ මන්ද යන්නයි. එම ප‍්‍රහාරයේදී ගාල්ලේ නිරෝෂන් ඉන්දික ප‍්‍රසන්න (34) සහ කල්මුණේ ගනේෂ් දිනේෂ් (28) පොලිස් නිලධාරීන් දෙදෙනා මරුමුවට පත්විය. පොලිසිය කදිරගාමර් තම්බිරාසා කුමාර් නොහොත් අජන්තන් නමැති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු අත්අඩංගුවට ගත්තේය. ඔහුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගත්තේය. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවට නායකත්වය දුන් සහරාන් හෂීම් ගේ රියැදුරු ලෙස කටයුතු කළ මොහොමඞ් සරිබු ආදම් ලෙබ්බේ කාත්තන්කුඩියේදී අත්අඩංගුවට ගැනිනි. ප‍්‍රශ්න කිරීමේදී ඔහු හෙළි කළේ වව්නතිව් ඝාතන ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් සිදු කළ බවය. මරා දැමුන නිලධාරීන්ගෙන් පැහැරගත් අවි ආයුධ ඔහු රහස් පොලිසියට බාර දුන්නේය.
සහරාන්ගේ රියැදුරු කළ හෙළිදරව්වත් සමගම අත්අඩංගුවේ සිටින හිටපු කොටි සංවිධානයේ සාමාජිකයා නිදහස් කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිීතිඥ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගෙන් විමසීය. හෙළිදරව්වී ඇති කරුණු මත හිටපු කොටි සාමාජිකයා නිදහස් කිරීමට කටයුතු කළ හැකි බව එම නිලධාරීන් දෙදෙනාම පෙන්වා දුනි. ද්‍රවිඩ ජාතික සන්ධානය ද හිටපු කොටි සාමාජිකයා නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළේය. මේ අනුව මැයි 11 දින මඩකලපුව මහෙස්ත‍්‍රාත් අධිකරණය එම සැකකරු නිදහස් කළේය.
ඉතා පැහැදිලිව බුද්ධි අංශ වව්නතිව් ප‍්‍රහාරය සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල පොලිස් වසමේ 2018 දෙසැම්බර් මස ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිසියාකාර අවධානයක් යොමු කළා නම්” ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මිනීමරු සැලසුම ව්‍යාර්ථ කිරීමට තිබිණ. එම පරීක්‍ෂණ නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් ඉන්දියාව ලබාදුන් අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බුද්ධි අංශවලට හෝ දේශපාලන නායකත්වයට වුවමනාවක් සහ බලපෑමක් නොවීය.
පොදු විපක්‍ෂය චෝදනා කරන පරිදි බුද්ධි අංශ නිලධාරීන්ගේ දේශපාලන හේතු මත සිරගත කිරීම හේතුවෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට බැරි විය. මෙය හුදු දේශපාලන ප‍්‍රකාශයක් පමණි. රටේ අවාසනාවකට බුද්ධි අංශ කටයුතු කළේ දේශපාලන නායකත්වය තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ ත‍්‍රස්තවාදී තර්ජනය හමුවේ. නිහඬව සිටීම 2015 න් පසු ඇති කළ යහපාලන ක‍්‍රමය වූ නිසාවෙනි.
වව්නතිව් ප‍්‍රහාරය එල්ල කළේ හිටපු කොටි ත‍්‍රස්තවාදීන් බව විශ්වාස කළ ආරක්‍ෂක අංශ ප‍්‍රවේසමෙන් කටයුතු කළ බව පෙනේ. තව්හිද් ත‍්‍රස්තවාදීන් 2018 නොවැම්බර් 30 වව්නතිව් ප‍්‍රහාරය එල්ල කළේ ඇයි? එම සිද්ධිය පිළිබඳව 2018 දෙසැම්බර් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ‘කොටි මහා විරු දිනය. සැමරීමට වව්නතිව් පොලිසිය අවසර නොදුන් නිසා ඊට පළිගැනීමට නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බවයි.
සහරාන්ගේ රියැදුරු අත්අඩංගුවට පත් නොවන්නට වව්නතිව්හිදී කළ මිනීමැරුම් තවමත් හිටපු කොටි සාමාජිකයන්ගේ
ගිණුමට බැරවීමට ඉඩ තිබිණි. තව්හිද් ත‍්‍රස්තවාදීන් ඉතාමත් සැලසුම් සහගතව ගාල්ලේ සිංහල සහ කල්මුණේ ද්‍රවිඩ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බව පැහැදිලිය. එම අවස්ථාවේ ජනාධිපතිවරයා ගත් 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථානුකූල නොවන ක‍්‍රියාමාර්ගය නිසා පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වී රටම ව්‍යාකූල තත්ත්වයට පත් වී තිබිණි. මෛත‍්‍රී – මහින්ද කණ්ඩායම සහ රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙනු ලබන දේශපාලන බලවේගය පාර්ලිමේන්තුවේ මාරාන්තික සටනක යෙදී සිටියේය. පාර්ලිමේන්තුව තුළ උද්ගත වූ තත්ත්වය නිසා රට අරාජික වී තිබිණ. ඇත්ත වශයෙන් ම තව්හිද් ත‍්‍රස්තවාදීන් වව්නතිව් ප‍්‍රහාරය (2018 නොවැම්බර්) මාවනැල්ලේ බුදුපිළිම විනාශ කිරීම (2018 දෙසැම්බර්) සහ එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ නිලධාරි මොහොමඞ් රසාත් තස්ලිම් (37) ඔහුගේ දනගම මාවත” මාවනැල්ලේ පිිහිටි නිවසේදී වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීම (2018 මාර්තු) පාස්කු ප‍්‍රහාරයට පෙර සිදු වූ ප‍්‍රධාන සිදුවීම් විය.
මොහොතකට සිතා බලන්න. මෙම ප‍්‍රහාරයන් තුන එල්ල නොකර තව්හිද් ත‍්‍රස්තවාදින්ගේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව 2018 දෙසැම්බර් 24 දින හෝ 25 දින නත්තල් දේව මෙහෙයට එල්ල කළා නම් ඇතිවන තත්ත්වය කෙබඳුද? 2018 දෙසැම්බර් තුන්වන සතිය වන විට වික‍්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම මත අගමැති ධුරය නැවත ලබාගත් බව අපට මතකය. පසුව අමාත්‍ය මණ්ඩලය පත් කෙරිණි. අස්ථාවර භාවය එලෙසම පැවතුණි. අදටත් තත්ත්වය එසේය.
නැවත එජාප රජය ස්ථාපිත කිරීමත් සමඟම තව්හිද් ත‍්‍රස්තවාදීන් ක‍්‍රියාත්මක වූවා නම් තත්ත්වය මීටත් වඩා බරපතළ වීමට ඉඩ තිබිණ.
ආනන්ද කුමාරසිරිගේ පාර්ලිමේන්තු කාරක සභාව තව්හිද් ප‍්‍රහාරය එල්ල කළ දිනය තීරණය කළ ආකාරය පිළිබඳව ද” පුළුල් අධ්‍යයනයක් කළ යුතුය. මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් වන්නේ වව්නතිව්” මාවනැල්ලේ සහ දනගම මාවත මාවනැල්ලේ ප‍්‍රහාර එල්ල නොකර” කතෝලික පල්ලි සහ සුප‍්‍රසිද්ධ සංචාරක හෝටල්වලට පහර දුන්නා නම් රටේ කුමන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණාද?
එය එසේ සිදු වූවා නම් ඉන්දීය බුද්ධි තොරතුරු වාර්තාව එවකට සිටි ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්ට නොලැබෙන්නට තිබිණ.
පාර්ලිමේන්තු කාරක සභාව ඉන්දියානු මහා කොමසාරිස් තරංජිත් සිං සන්දු හරහා ඔහුගේ රජයෙන් කළ යුතු රහස් විමසීමක් ඇත. එනම් 2019 අපේ‍්‍රල් 04 දින ශ‍්‍රී ලංකාවට ලබාදුන් තව්හිද් ජමාත් පිළිබඳ බුද්ධි තොරතුරු ඉන්දියාව තහවුරු කරගත්තේ කවදාදැයි යන්නයි. ආනන්ද කුමාරසිරි නායකත්වය දෙන පාර්ලිමේන්තු කරක සභාවේ අතපසුවීම්” අඩුපාඩු පෙන්වා දිය යුතුය. සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රස් නායක වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුරුදින්ව නිසියාකාරව ප‍්‍රශ්න කළාද? පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමට සහරාන් ගත් තීරණය පිළිබඳව බදුරුදින් දැනුවත් කිරීමත් නොකළ බව ලියුම්කරුගේ විශ්වාසයයි. බදුරුදින් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මුස්ලිම් මන්ත‍්‍රීවරයකු තව්හිද් ජමාත් ප‍්‍රහාරය පිළිබඳව දැන නොසිටිය බව පැහැදිලිය. කිසිදු මහජන නියෝජිතයකු තව්හිද් ජමාත් කළ අමන ක‍්‍රියාව අනුමත කරන්නේ නැත. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්‍ෂයට ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමග යහන්ගත වීමට නොහැකිය. නමුත් බදුරුදින් සැකයට භාජන වන්නේ අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙනි. නමුත් සැක උපදවන ආකාරයට හැසිරීම මත බදුරුදින් හෝ වෙන මහජන නියෝජිතයකු වරදකරු කළ නොහැක. බදුරුදින් සැකයට භාජනය වන්නේ ඇයි? පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයකුගේ පුත‍්‍රයා සම්බන්ධයෙන් ලූතිනන් ජනරාල් සේනානායකගෙන් විමසීම නිසාය. අමාත්‍යවරයාගෙන් දුකරථන ඇමතුම් කිිහිපයක් තමන්ට ලැබීම පිළිබඳව මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කරන්නේ
හමුදාපතිවරයා ය. ඔහු එවැනි ප‍්‍රකාශයක් නොකළේ නම් අදටත් බදුරුදින් ත‍්‍රස්තවාදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීමක් කළ බව හෙළි නොවීමට ඉඩ තිබිණි. හමුදාපතිවරයා කළ ප‍්‍රකාශයක් සමගම ඒකාබද්ධ විපක්‍ෂයේ සහ ඊට සම්බන්ධ සිවිල් ආගමික සංවිධානවල බලවත් දෝෂාරෝපණයට ඔහු ලක්විය. ඒකාබද්ධ විපක්‍ෂය ගෙනා දෝෂාභියෝගයට මුල් වූයේ එම දුරකථන ඇමතුම් ය.
අගමැති වික‍්‍රමසිංහ ජූලි 14 ත‍්‍රිකුණාමලයේ කින්නියාවේ පැවැති උත්සවයකදී බදුරුදීන් අමාත්‍යවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කිසිදු ආකාරයකට සම්බන්ධ නැති බවට බුද්ධි අංශ වාර්තාවකින් පෙන්නා දී ඇති බවයි. පාර්ලිමේන්තු කාරක සභාව සැලකිල්ලට ගත යුතු කරුණු
(I) බදුරුදින් හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති විජයවර්ධන ලබාදුන් උපදෙස් අනුවද? තමන්ට එලෙස උපදෙස් ලැබුණ බව බදුරුදින් හෙළි කළේ පාර්ලිමේන්තුවේදීය. එම ප‍්‍රකාශය කළ අවස්ථාවේ ආනන්ද කුමාරසිරිගේ කණ්ඩායමේ කිසිවකු පාර්ලිමේන්තුවේ සිිටියේ නැද්ද?
(II) බදුරුදින්ගේ සහෝදරයා මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාහනයක රාජ්‍ය ලාංඡුනය ප‍්‍රදර්ශනය කරමින් ගමන් කරන විට හමුදාව ඔහුව රඳවාගෙන පොලිසියට භාර දෙන ලදි. මන්නාරමේ සිදුවීම පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සිදුවිය. බදුරුදින්ගේ සහෝදරයාව හමුදාව රඳවා ගන්නේ ඔහු ආරක්‍ෂක මුර කපොලූ දෙකක් පසුකළ වාහනය නොනවත්වා ගමන් කිරීම නිසාය. මෙම සිදුවීම පිළිබඳව හමුදාවෙන් වාර්තාවක් කැඳවිය හැකිය.
(,,,) එවකට නැෙඟනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රාත‍්‍රියේ පාසිකුඩා හි හෝටලයකදී සවුදි අරාබි ජාතිකයන් කණ්ඩායමක් හමුවීම පිළිබඳව ඔහුගෙන් ප‍්‍රහ්න කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවට අමතක විය. ආනන්ද කුමාරසිරි සිදු වූ අතපසුවීම් නිවැරැදි කරගනු ඇති බව ලියුම්කරුගේ විශ්වාසයයි.
(III) ජවිපෙ සාමාජිකයකු අත් බෝම්බ ප‍්‍රහාරයක් එවකට ජනාධිපති ආර්. ජයවර්ධන අගමැති ආර්. පේ‍්‍රමදාස ඇතුළු කැබිනට් මණ්ඩලයට 1987 එල්ල කළ බව මතකය. එම මතකය කරගෙන තව්හිද් ජමාත් සාමාජිකයකු පාර්ලිමේන්තු සේවය කිරීම විමසා බැලිය යුතුය. ජවිපේ සාමාජිකයා පාර්ලිමේන්තු පිරිසිදු කිරීමේ අංශයේ සේවය කළ අතර 2006 පාර්ලිමේන්තු සේවක මණ්ඩලයට බැඳුණ තව්හිද් ජමාත් සාමාජිකයා වගකියුතු රැකියාවක යෙදී සිටියේය.
(IV) සහරාන්ගේ මිනමරු සගයන් දෙදෙනකු 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් කළ ජවිපෙ ජාතික ලැයිස්තුවට ඇතුළුවීම ඇත්ත වශයෙන්ම ප‍්‍රශ්නයකි. ශ‍්‍රී ලංකාවේම ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ජවිපේ ජාතික ලැයිස්තු සාමාජික ඉබ්රාහිම් එම පක්ෂයේ ප‍්‍රවර්ධනයට මුදල් ලබා දුන්නාද? ජවිපෙ ඉබ්රහිම් සමග තිබූ සම්බන්ධතාවය නොසලකා එම පකෂයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු කාරක සභාවට පත්කිරීම සුුදුසුද? ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මේ පිළිබඳ මතුකළ විරෝධතාව පාර්ලිමේන්තුව ඉවත දැම්මේය.
(V) කතුන් වඳ භාවයට පත්කිිරීම සහ අයථා මාර්ගයෙන් මුදල් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් බදුරුදින් ඇමැතිවරයා හරහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් 2015 අගෝස්තු මහා ඡුන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණේ කෙසේද? පරාජය වූ ෂාෆි නැවත විශේෂ කැබිනට ප‍්‍රතිකාවක් හරහා ඔහු සිටි තනතුරටම පත්කළ ආකාරයද විමසා බැලිය යුතුය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හුදු ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයත් පමණක් ලෙස සැලකීම ඉතාම අනුවන ක‍්‍රියාවකි. අවසන් කාරණාව ඉහත සඳහන් සෑම කාරණාවකට වඩා වැදගත්ය.
(VII) පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ද්‍රවිඩ ජාතිකයන් 60 කට වඩා මියගොස් 100කට වඩා තුවාල සිදුවිය. මඩකලපුවේ ‘සියොන්. දේවස්ථානයට පහර දුන්නේ ද්‍රවිඩ ජාතික බැතිමතුන් ඉලක්ක කර ගෙනය.
කොළඹ කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානයට පහර දුන්නේ ද්‍රවිඩ බසින් පූජාව පැවැත්වෙන අවස්ථාවේදීය. තව්හිද් ජමාත් ද්‍රවිඩ බැතිමතුන් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කළ බව පැහැදිලිය. මරණයට පත්වූ මුළු සංඛ්‍යාවෙන් 1/4 පමණ ද්‍රවිඩ ජාතිකයන් බව පැහැදිලිය. මරණයට පත්වූ විදේශිකයන් අතහැර බැලූවිට ද්‍රවිඩ ජාතිකයන් සංඛ්‍යාව තුනෙන් එකකට ආසන්නය. නමුත් ද්‍රවිඩ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙස පෙනී සිටින ද්‍රවිඩ ජාතික සන්ධානය තව්හිද් ජමාත් ප‍්‍රහාර එල්ල වූයේ සුළු ජාතීන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතා ලබානොදීම නිසා බව ප‍්‍රකාශ කර ඇත. එම සන්ධානය වෙනුවෙන් යාපන දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් එම ප‍්‍රකාශය කළේ 2019 අපේ‍්‍රල් 29 දින ‘අනින්දා. පුවත්පතේ පළමුවන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ සැමරූ අවස්ථාවේදීය. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම” කථානායක කරු ජයසූරිය සහ ආනන්ද කුමාරසිරිගේ කාරක සභාවේ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්සද එම අවස්ථාවට සහභාගි විය. මෙම ලියුම්කරුද එම අවස්ථාවට සහභාගි විය. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා තව්හිද් ප‍්‍රහාරය සාධාරණීකරණය කළ බවට සැකයක් නැත. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එවැනි ප‍්‍රකාශයක් කළේ ඇයි?
පාස්කු ඉරිදා ප‍්‍රහාරය තවමත් අභිරහසකි. සහරාන් ඇතුළු සගයන් බෝම්බ තම පිටවල් වල බැඳගෙන යන දර්ශන අන්තර්ජාලයේ ඇත. බොහෝ තොරතුරු ඇත. නමුත් ප‍්‍රහාරයේ සැබෑ පසුබිම තවමත් හෙළිවී නැත. 2015 සහ 2016 මහා බැංකු බැඳුම්කර වංචා සමග සැසදුවහොත් තව්හිද් ප‍්‍රහාරය සැබවින්ම අභිරහසකි. ඇත්ත වශයෙන් ‘සත්‍ය. සහරාන්ට වඩා බියකරු බව ලියුම්කරුගේ හැඟීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...