පුරවැසි කොලම

සිංහල බෞද්ධ ජනතාව භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා දොහොත් මුදුන් දී පිළිගැනීම සමහර බලවේගයන්ට විශාල ගැටලූවක් වී ඇති බවට සාධක ඇත. එම බලවේගයන්ගේ උත්සාහයන් පිළිබඳව අප විමසා සිටියේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙනි. උන්වහන්සේ ඒ පිළිබඳව පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – මේ මොහොත වනවිට මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා විවේචනය කිරීමේ, හෙළා දැකීමේ සීමාවන් ඉක්මවා ගොස් මහා සංඝරත්නයට අපහාස කිරීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙම තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර – අතීතයේ පටන්ම මේ රටේ භික්ෂූන් වහන්සේ මේ රටේ දේශපාලන කටයුතුවලට පමණක් නොවෙයි ජන ජීවිතයේ සෑම ක්‍ෂේත‍්‍රයකම කටයුතු සඳහා මැදිහත් වූවා. ශාසනයේත්, මාතෘ භූමියේත් චිරස්ථිතිය වෙනුවෙන් තමයි භික්ෂූන් වහන්සේ ඒ ආකාරයට කටයුතු කරන්නේ. ඒක උන්වහන්සේලාගේ උරුමයක්.

භික්ෂූන් වහන්සේ මැදිහත් වීම නිසා දේශපාලන ක්‍ෂේත‍්‍රයට විශාල බලපෑමක් වී තිබෙනවා. රටටත්, ජනතාවටත් අයහපතක් වනවා නම් ඊට එරෙහිව නිරන්තරයෙන්ම පෙරමුණ ගන්නේ භික්ෂූන් වහන්සේ.

පසුගිය කාලයේදී රාජතාන්ති‍්‍රක වශයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීමෙන් ආගමික සහ දේශපාලනමය වශයෙන් වැදගත් ව්‍යවස්ථා සංශෝධනයන් පවා කරන්න හැදුවා. මොවුන් උත්සාහ කළේ රාජ්‍ය පාලන ක්‍ෂේත‍්‍රයෙන් බුද්ධාගම ඉවත් කිරීමට. ඒ වගේම බුද්ධාගම විකෘති කිරීමටත් මොවුන් උත්සාහ දරනවා. මොවුන්ගේ අරමුණ තමයි බුද්ධාගම සමඟ බැඳුනු මේ රටේ ස්ථාපිතව පවතින සංස්කෘතිය, චාරිත‍්‍ර සහ සම්ප‍්‍රදායන් විනාශ කර දැමීම. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් ඒ සඳහා තමයි සුරාවට සහ කැසිනෝවලට බලපත‍්‍ර ලබා දෙමින් ඒවාට අනුබල ලබා දෙන්නේ. භික්ෂූන් වහන්සේ හැමදාමත් ඊට විරුද්ධයි. සදාචාර ධර්මයට අනුවත් භික්ෂූන් වහන්සේලා හැම කාලයකම ඒවාට විරුද්ධයි. එම බලපත‍්‍ර ලබාදීම මගින් උත්සාහ කරන්නෙත් සාරධර්ම හා හර පද්ධතීන් විනාශ කිරීම තමයි. නමුත් එම සැලසුම් එකක් වත් ඉෂ්ට කර ගැනීමට නොහැකි වූවා.

ඉන්පසුව තමයි භික්ෂූන් වහන්සේ මර්දනය කරන්නේ කොහොමද කියන එක එම බලවේග කල්පනා කළේ. භික්ෂූන් වහන්සේ මර්දනය කිරීම සඳහා තමයි කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙන ආවේ. ඒ වගේම ජනතාවගේ හැඟීම් අවුස්සනවා යන ව්‍යාජ චෝදනාවන් යොදා ගනිමින් ජාතිය සහ ආගම පිළිබඳව කතා කිරීම නැවැත්වීම සඳහාත් පනතක් ගෙන ආවා. නමුත් අපගේ මැදිහත් වීම නිසා එම අරමුණත් ඉෂ්ට කර ගැනීමට නොහැකි වූවා.

එම අරමුණු පරාජය වූ නිසා දැන් බලනවා වෙනත් මාර්ගයකින් හෝ තම අරමුණු ඉෂ්ට කර ගැනීමට. දැන් එම බලවේගයන් ජනතාව තුළ භික්ෂූන් වහන්සේ පිළිබඳව සෘජුවම පිළිකුලක්, කලකිරීමක් ඇති වන ලෙස කටයුතු කරමින් සිටිනවා. මොවුන් එම මාර්ගයෙන් උත්සාහ කරන්නේ භික්ෂූන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත් ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ දමා තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට සිද්ධ කර ගන්න.

මීට වසර කිහිපයක සිට සමහරුන් භික්ෂූන් වහන්සේ නමින් කතා කරනවා. පසුගිය කාලයේදී එහි ක‍්‍රමානුකූල වර්ධනයක් අපි දැක්කා. භික්ෂූන් වහන්සේ නමින් කතා කිරීමෙන් උන්වහන්සේට ගැරහීමක්, පහත් කොට සැලකීමක් සිද්ධ වෙනවා.

2017 දී අපි අස්ගිරිය පාර්ශ්වය මගින් පැහැදිලිව කිව්වා භික්ෂූන් වහන්සේ නමකට උන්වහන්සේගේ නමින් කතා කළ හැක්කේ උපසම්පදාවෙන් තමන්ට වඩා බාල අයකුට පමණක් බව. ඒක තමයි ශාසනික සම්ප‍්‍රදාය.

සමහර දේශපාලනඥයන් භික්ෂූන් වහන්සේට නම් අඬ ගැසීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව 2017 ප‍්‍රකාශකයේ තිබුණ බව ඔබට මතක ඇති. නමුත් එහි නැවතීමක් නැහැ. විවිධ ස්වරූපයෙන් ඉස්මතු වනවා.

ඒ වගේම සමහර ඇමැතිවරු මේ රට බෞද්ධ රටක් නොවෙයි කියලා කියනවා. බුද්ධාගම ප‍්‍රධාන ආගම නොවෙයි කියලා කියනවා. එම ප‍්‍රකාශ තුළින් ගම්‍ය වන්නෙත් මම ඉහතින් සඳහන් කළ අදහසම තමයි.

අපි දන්නවා පවතින සමාජ ක‍්‍රමය අනුව කාන්තාවකට හෝ භික්ෂුවකට පහරදීම සඳහා අවසාන වශයෙන් යොදා ගන්නේ ලිංගිකත්වය කියන එක. ඒක චරිතය කෙලෙසීම සඳහා යොදා ගන්නා උපාය මාර්ගයක්.

එම කටයුතු සඳහා දැන් අන්තර්ජාලයත් යොදා ගනිමින් සිටිනවා. නව පරපුර වගේම, බොහෝ දෙනකු විසින්් දැන් මාධ්‍ය භාවිතා කරනවා. ඒක අලූත් ප‍්‍රවේශයක්.

මෙම නව මාධ්‍යයත් ක‍්‍රමානුකූලව මතවාද හැසිරවීම සඳහා භික්ෂූන් සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව කලකිරීම් ඇති කිරීම සඳහා වගේම ධර්මය විකෘති කිරීම සඳහාත් යොදා ගනිමින් සිටිනවා.

මේ ආකාරයට අන්තර්ජාලය යොදා ගන්නා පාර්ශ්වයන් දෙකක් සිටින බව දකින්න තිබෙනවා. එක් පිරිසක් දේශපාලනඥයන්ගේ මූලිකත්වයෙන් හිතාමතාම ඉහත සඳහන් අරමුණ ඇතිව මෙම මාධ්‍ය යොදා ගන්නවා. තවත් පිරිසක් සිටිනවා සමාජ මාධ්‍ය යොදා ගනිමින් මුදල් උපයන. ඔවුන් ඒ සඳහා කුණු රසය ඇවිස්සෙන, අසභ්‍ය ඕප¥ප යොදා ගන්නවා. එම කටයුත්ත සඳහාත් ඔවුන් භික්ෂූන් වහන්සේ යොදා ගනිමින් සිටිනවා.

මේ රට ආරක්ෂා කිරීමට හැමදාම පෙරමුණ ගත්තේ භික්ෂූන් වහන්සේලා. නමුත් භික්ෂූන් වහන්සේ මාර්ග ඵලයන්ට පත් වී නොමැති නිසා විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. වර්තමානයේ ඉස්මතු වී තිබෙන ඉස්ලාම් අන්තවාදී කි‍්‍රයාවන් සම්බන්ධයෙනුත් කටයුතු කරන්නේ භික්ෂූන් වහන්සේම තමයි. මේ වනවිට මේ රටේ ජනතාවට තිබෙන එකම පිහිට උන්වහන්සේ බව පිළිගැනීමට සිද්ධ වන තැනට කටයුතු සිද්ධ වී තිබෙනවා. එම තත්ත්වය මෙම දේශපාලනඥයන්ට ඉවසුම් දෙන්නේ නෑ. එම නිසා ඔවුන් මේ වනවිට කටයුතු කරමින් සිටිනවා භික්ෂූන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය කෙසේ හෝ බිඳ දැමීමට. ඒ සඳහා තමයි ඔය විවිධ අභූත චෝදනා කරන්නේ.

ප‍්‍රශ්නය – රට, ජාතිය සහ ආගම ආරක්ෂා කිරීම සඳහා හැමදාම භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත් බව ඔබ වහන්සේ සඳහන් කළා. එය තවදුරටත් පැහැදිලි කරනවා නම්,

පිළිතුර – වසර දහස් ගණනක් පුරා සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් ආරක්ෂා කිරීම සඳහා භික්ෂූන් වහන්සේ විසින් ඉටු කළ කාර්යභාරය පිළිබඳව මෙන්ම කළ කැප කිරීම් පිළිබඳවත් මහාවංශය ඇතුළු ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන් වෙලා තිබෙනවා. යටත් විජිත යුගයේදී වුවත් රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගැනීමට මෙන්ම ධර්ම ශාස්තී‍්‍රය කටයුතු මෙන්ම ශිල්ප කලා ආරක්ෂා කිරීමටත් උන්වහන්සේ කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය – මහා සංඝරත්නයට එල්ල කරන අභූත චෝදනා පිළිබඳව භික්ෂූන් වහන්සේත් විවිධ ස්වරූපයෙන් ප‍්‍රතිචාර දක්වනවා. එම ප‍්‍රතිචාර ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර – මහා විහාර ලෙස මෙම ප‍්‍රශ්න දෙස බලන්නේ ඓතිහාසික ස්වරූපයකින් තමයි. එම නිසා අනිකුත් භික්ෂූන් වහන්සේ ප‍්‍රශ්න හමුවේ කටයුතු කරන ආකාරයට නොවෙයි අපට කටයුතු කිරීමට සිද්ධ වෙන්නේ.

ආසන්නතම උදාහරණය තමයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පිළිබඳ ප‍්‍රශ්නය. අපි එතුමාට කැඳවීමක් කළා. මතභේදයට තුඩුදුන් කාරණය පිළිබඳව ප‍්‍රශ්න කළා. එහිදී අපට පෙනී ගියා නිසි කළමනාකාරීත්වයකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම තුළ එතුමා ලොකු අර්බුදයකට පත් වී තිබෙන බව. අධිකරණය සම්බන්ධයෙන්, කොකේන් සම්බන්ධයෙන් සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ විධිමත් ආකාරයට කළා නම් ඔය අර්බුද ඇති නොවන්න ඉඩ තිබුණා. එම නිසා අපි කරුණු පැහැදිලි කරලා නිවැරදි වශයෙන් සමාව ගත යුතුය යන කාරණය පෙන්වා දුන්නා.

ප‍්‍රශ්නය – මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා දිගින් දිගටම නොතකා හරිමින් දේශපාලනඥයන් කටයුතු කරනවා නම් ගත හැකි පියවර කුමක්ද?

පිළිතුර – අපි දිගින් දිගටම විවිධ දේ සඳහා මැදිහත් වනවා. දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සිටින පුද්ගලයන්ට විවිධ ක්‍ෂේත‍්‍රවල වගකීම් දරන පුද්ගලයන්ට මේ රටේ ගමන් මාර්ගය පැවැත්ම සම්බන්ධයෙන් කළ යුතු දේ කුමක්ද කියන එක අපි පෙන්වාදී තිබෙනවා. අපි ඒ සඳහා ඇතැම් අවස්ථාවලදී කාදිනල්තුමා වගේම අනෙක් ආගමිකයන්ගේ නියෝජිතයනුත් සම්බන්ධ කරගෙන තිබෙනවා.

නමුත් ඒවා කි‍්‍රයාත්මක වන බවක් අපට පේන්නේ නෑ. උදාහරණයක් විදියට සඳහන් කරනවා නම් මේ රටේ එක නීතියක් තියෙන්න ඕන කියන කාරණය පෙන්වා දුන්නා. ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම් ඇති කර ගැනීමේදී රටට හිතවාදීව කටයුතු කරන්න ඕන කිියෙන කාරණයත් අපි පෙන්වා දුන්නා. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැතිව කටයුතු කරන බව තමයි අපිට පේන්න තියෙන්නේ.

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳව නිසි ආකාරයට පර්යේෂණයක් සිද්ධ වන බව පේන්න නෑ. නමුත් තේරීම් කාරක සභා පත් කරලා ප‍්‍රශ්නය දියාරු කිරීමට, වසන් කිරීමට කටයුතු සිද්ධ වන බව නම් පේන්න තිබෙනවා.

එම නිසා අපි ඉදිරියේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලෙස දේශපාලනඥයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා මොන ප‍්‍රතිපත්ති රාමුවක් තුළ ද කටයුතු කරන්න ඕන කියන කාරණය පිළිබඳව. පවතින තත්ත්වය අනුව කවුරුන් බලයට ආවත් අපිට රටක් ඉතිරි වන්නේ නැති තත්ත්වයක් තමයි පේන්න තිබෙන්නේ. එම තත්ත්වය වළක්වා ගැනීම පිළිබඳව තමයි අපි කල්පනා කළ යුත්තේ. ගිහි සහ පැවිදි යන දෙපාර්ශ්වයන්ට පක්ෂ පිළිබඳ මතිමතාන්තරවලින් බැහැර වෙලා රට පිළිබඳව සිතා කටයුතු කළ යුතු වනවා.

ඒ වගේම අලූත් ඡුන්ද දායකයන් තමන්ගේ ඡුන්දය ඉදිරි මැතිවරණවලදී බුද්ධිමත්ව පාවිච්චි කළ යුතු බවත් සඳහන් කළ යුතු වනවා.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
සාකච්ඡුා කළේ එරික් ගාමිණී ජිනපි‍්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More