පුරවැසි කොලම

වහාබ් අන්තවාදය පෝෂණය කිරීමට බුද්ධිමය දායකත්වය සපයන වියතුන් පසුගිය දිනවල තරු පහේ හෝටල් කිහිපයක වැඩමුළු පැවැත්වූ බව වාර්තා විය. එහිදී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ ඔවුන් මුහුණ දී ඇති දුෂ්කර පැය පසු කර ගැනීමට අදාළ කරුණු බවද දැන ගන්නට ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පළමු වටයේ දී විවිධ මුස්ලිම් උගතුන් විසින් වහාබ් අන්තවාදී ප්‍රවණතාව හෙවත් ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිව යම් මෘදු විරෝධයක් ප්‍රකාශ කරන්නට යෙදුනි. යම් උගතුන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මුස්ලිම් ප්‍රජාව අතුරින් එවැනි අන්තවාදී ප්‍රවණතාවක් මතුවීමට හේතු කාරක වූ යම් සාධක වේනම් ඒවා පිළිබඳව ස්වයං විවේචනයක් කිරීමට තමන් සූදානම් බවය. නමුත් අද වනතුරු ඒ කිසිවෙකු එවැනි කාරණා එකින් එක සඳහන් කොට ඒවා පිළිබඳව ස්වයං විවේචන සිදු කෙළේ නැත. එම ප්‍රකාශය එදා පැවති දුෂ්කර අවස්ථාවට මුහුණදීම සඳහා සිදු කළ ව්‍යාජ ප්‍රකාශයක් බව දැන් පැහැදිලි වේ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හෙවත් සමස්ථ මුස්ලීම් ප්‍රජාවට මග පෙන්වීම ලබා දෙන උත්තරීතර වියත් සංවිධානය තුළ වහාබ් අන්තවාදය ගුරුකොටගත් 8 දෙනෙකු සිටින බව වාර්තාවෙයි. ඊට අමතරව පසුගිය දශක දෙක තුනක කාලයක සිට මෙරට මුස්ලිම් ජනතාව අරාබි කරණය කිරීමට මතවාදය සපයන සහ මෙහෙයුම් දියත් කරන තබ්ලික් ජමාත්වරු 17 දෙනකු සිටින බවද වාර්තාවේ. ශ්‍රී ලංකාවේ වසර 500- 600 කාලයක සිට පොදු සමාජ සංස්කෘතික දේහය තුළ සාමකාමීව ජීවත් වූ මුස්ලිම් ප්‍රජාවගේ කොටසක් අතර අරාබි අනන්‍යතාවය ප්‍රචලිත කිරීමට උනන්දු වූ එම පිරිස් සහ ඉස්ලාම් මූලධර්මවාදී මතවාද ලොව පුරා ප්‍රචලිත කිරීමට මුදල් විසි කරන අරාබි රටවල් අන්තවාදී සංවිධාන අතර සබඳතා තිබෙන බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. එසේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මත ශරියා නීතිය සහ අරාබි මූලධර්මවාදී මතවාද, වත්පිළිවෙත් පැටවීම මගින් ඔවුන් අතර සහ ඔවුන් සහ මහා සමාජය අතර සමාජ බෙදුම්වාදයක් ප්‍රවර්ධනය කිරීමටට මුල් වන බලවේග ඉවසා සිටීමේ වරද පිළිබඳව ඉහත සඳහන් කළ ඉස්ලාම් උගතුන් අද වනතුරු ස්වයංවිවේචනයක් කළේ නැත.

විශේෂයෙන්ම එම අරාබිකණයට එරෙහි වූ සහ රටේ පොදු අනන්‍යතාවය මත ජීවත්වූ සුෆි මුස්ලිම් වරුන් මත ප්‍රචණ්ඩ අධිකාරී බලය පැටවීමේ දී පවා නිහඬව සිටීම මගින් අන්තවාදය පෝෂණය වීමට ඉඩ සැලසීම පිළිබඳ ව හෝ ඔවුන්ගේ ඊනියා ස්වයං විවේචනය සිදුවුයේ නැත. අන්තවාදී බලවේග සමාජය තුළ පීඩනයට සහ අවමානයට ලක් කොට බහුතර මුස්ලිම් ජනතාව එම ප්‍රචණ්බත්වයෙන් ගලවාගැනීම සඳහා අවශ්‍ය මානසික බලපෑම එම උගතුන් විසින් සිදුකලේ නැත. ඒ වෙනුවට අන්තවාදී බලවේග ආරක්ෂා කිරීම සඳහා මධ්‍යස්ථ බලවේග ඉදිරිපත් වන තැනට එම ඊනියා උගතුන් විසින් තත්ත්වය නිර්මාණය කරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උපවාස විරෝධය නිදහසට කාරණයක් ලෙස ඉදිරිපත් කොට මධ්‍යස්ථ දේශපාලන බලවේග අන්තවාදීන්ගේ වලිගයේ ගැටගැසීමට ආණ්ඩුවේ නායකයන් සහ අන්තවාදී බලවේග කටයුතු කරන විට එම වරද පිළිබඳව ඔවුන් කතා කළේ නැත.
අවසානයේදී අන්තවාදීන්ට එරෙහි වීම නිසා මාවනැල්ලේදී වහාබ් අන්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ සම්බන්ධීකරණ ලේකම් වරයාගේ අමාත්‍යවරයා සහ එම අන්තවාදය පෝෂණය කරන අමාත්‍යවරුන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව සමාජයට පෙන්වීම්ට අන්තවාදී බලවේග සමත් විය. කෙසේ වෙතත් අවසානයේදී මරුම් කෑමට ලක්වන සුෆි වරුන් නියෝජනය කරන අමාත්‍යවරුන් සහ එළිපිට වහාබ් අන්තවාදය පෝෂණය කරන අමාත්‍යවරුන් අත්වැල් බැඳ ගැනීම තුළින් වහාබ්වාදීන් පෝෂණය කරන බවට චෝදනා එල්ල වූ අමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් ගලවා ගනු ලැබීය. එසේ නොවූයේ නම් ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුන් මුහුණදී සිටි පීඩනය තුළ ආණ්ඩුව තුළ බෙදීමක් ඇති වී අදාල අමාත්‍යවරයාට ධූරය අහිමි වීම පමණක් නොව ආණ්ඩුව අර්බුදයකට ගමන් කිරීමද සිදුවේ. වහබ්වාදීන්ගේ උපායමාර්ගය තුළ ඒ දෙකම රැක ගැනීම මූලික පූර්ව කොන්දේසියකි. වහාබ්වාදීන් පෝෂණය වූයේ ආණ්ඩු බලය තුළ නියෝජනය වෙමිනි. කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද තමාට සැබැවින්ම නැති බලයක් පෙන්වීමෙන් අමාත්‍යධූර ලබාගැනීමට අන්තවාදය පෝෂණය කරන සහ ඔවුන් මත යැපෙන දේශපාලන බලවේග සමත් වී ඇත.

එම තත්ත්වය උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය සමඟ සැසඳීමේ දී වෙනස් තත්වයකි. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ආණ්ඩුව සමග කේවල් කරනු ලැබුවේ විපක්ෂය තුළ නියෝජනය වෙමිනි. එහිදී සන්නද්ධ පෙරමුණේ යුධ බලය පෙන්වා දේශපාලන පෙරමුණ විසින් දේශපාලන ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කේවල් කරනු ලැබීය. නමුත් ඉස්ලාම් මූලධර්මවාදී උපායමාර්ගය අනුව දැන් ආයුධ බලය විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව මතම පටවන බලහත්කාරය සහ ආණ්ඩු බලය යන දෙකම එකවිට යොදා ගන්නා බව පැහැදිලිව පෙනේ. එම උපායමාර්ගය තුළ වහබ් අන්තවාදයට එරෙහි වන මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම සුෆි වරුන් සහ අන්තවාදීන් අතර බෙදීමක් ඇති කිරීම වැලැක්වීම මූලික පූර්ව කොන්දේසියක් බවට පත් වේ. රතන හාමුදුරුවන් පිට දමා එම මූලික කොන්දේසිය ඉටුකර ගැනීමට අන්තවාදීන් හා ඊනියා මධ්‍යස්ථවාදී උගතුන් හෝ වියතුන් ලෙස පෙනී සිටින එහෙත් අන්තවාදයට යටත් වන හෝ ඔවුන් මත යැපෙන බලවේග යන දෙපිරිසම සමත් වී ඇත.

ඒ අනුව පාස්කු ප්‍රහාරයට පසුව ඉතා පරිස්සමින් වචන පාවිච්චි කළ වියතුන් පවා දැන් ඊතල මෙන් ප්‍රහාරාත්මක සහ ප්‍රකෝපකාරී වචන භාවිතා කරති. ඒ තුළ දැන් සහරාන් ඉස්ලාම් අන්තවාදියෙකු ලෙස හැඳින්වීම ද බලවත් වරදකි. එසේනම් සහරාන් සහ ඔහුගේ කල්ලිය බෞද්ධ හෝ හින්දු අන්තවාදීන් විය යුතුය. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට එරෙහිව එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ ආරූඪ කරගත් මහා බලයක් සහිතව බව පැහැදිලිව පෙනේ. ඔහුට එරෙහිව ඉස්ලාම් උගතුන්ගෙන් එක වචනයකින් හෝ බලපෑමක් එල්ල වන්නේ නැත. එම තත්ත්වය ගොඩනැගෙන්නේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ ආවේණික අසරණකම නිසා පමණක් නොවේ. ඒ සියල්ල එසේ සිදු වන්නේ වැරදිකරුවා විසින් පැමිණිලි කරුවා යටත් කිරීමේ මූලික උපාය මාර්ගයට අනුව බව පැහැදිලිව පෙනේ. දැන් ජාත්‍යන්තරය පමණක් නොව ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන කථිකාව තුළද බහුතර සිංහල ජනතාව වැරදිකරුවා බවට පත් වී ඇත. 2009 දී යුද්ධය අවසන් කළ පසුව සිදු වූයේ එයමය.

‘‘ද ඉකොනොමිස්ට්‘‘ සඟරාවේ පළ වූ ලිපියක මාතෘකාව බවට පත් වී ඇත්තේ ‘’ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනාධිපති ධූර කාලය කුමන ආකාරයට පෙනේවිද’’ යන්නයි. එම ලිපියේ සඳහන් වන ආකාරයට එවැනි පාලනයක් පැමිණියහොත් සුළු ජාතිකයන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට ඉතාම නරක කාලයක් උදාවනු ඇත. දැනටමත් මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් උත්සන්න වී තිබෙන තත්වයක් තුළ එවැනි පාලනයක් තුළ සිංහල ජාතිවාදය උත්සන්න වීම මගින් සුළු ජනතාවට එරෙහිව පීඩනය තවදුරටත් උත්සන්න වනු ඇත. එම ප්‍රකාශ හෝ නිගමන වලින් කියාපාන්නේ කුමක්ද? ඒ තුළින් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ බලවේග වලට එරෙහිව සුළු ජන ඡන්ද භාවිතා වන බවට සහතික කර ගැනීම සඳහා යොදා ගන්නා උපාය මාර්ගය පැහැදිලිවේ. එම උපාය මාර්ගය තුළ කිසිසේත්ම ලබාගත නොහැකි බවට සහතික කළ හැකි සුළුතරයේ බහුතරය විපක්ෂයට අහිමි කිරීම පමණක් නොව බහුතරයේ ‘’අති බහුතරය’’ දිනා ගැනීම සඳහා වන උපායමාර්ගය පීලි පැන්වීම සඳහා වන මානසික බාධකද පැනවෙයි.

ඒ ආකාරයට විපක්ෂ බලවේග අතර මානසික බාධක පැනවීමේ ක්‍රියාවලිය මුස්ලිම් උගතුන් විසින් හඳුන්වන්නේ ‘‘බැලන්ස්‘‘ කිරීමේ හෙවත් සමතුලිත කිරීමේ න්‍යාය ලෙසය. ඔවුහු මතුපිටින් වහබ්වාදය සහ මූලික වශයෙන් ඉස්ලාම් මූලධර්ම වාදයට විරුද්ධ බව පෙන්වති. එහෙත් අන්තවාදීන් සහමුලින්ම පරාජය කළ හොත් තමාගේ කේවල් කිරීමේ බලය හීන වන බව අභ්‍යන්තරිකව පිළිගනිති. ඒ අනුව ඔවුහු වක්‍රව හා යම් විටෙක සෘජුව අන්තවාදය ආරක්ෂා කිරීමේ හා පෝෂණය කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටිති. එම ක්‍රියාවලිය තුළ යම් මුස්ලිම්වරුන්ට භාරදී ඇති හෝ ඔවුන් විසින් භාරගෙන ඇති වගකීම වන්නේ විපක්ෂය විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ‘‘බැලන්ස්‘‘ කිරීම හෙවත් ඔහුට මානසික බාධක පැනවීමය. මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දෙන එවැනි උගතෙකු තමාගේ අභ්‍යන්තර කතාබහක දී ඒ බව පිළිගෙන ඇති බවට සාක්ෂි ඇත.

එම උගතුන් විසින් ඉදිරිපත් කරන තර්ක වලට අනුව සමස්ත මුස්ලිම් ඡන්ද හෙවත් 2019 දී ලක්ෂ 14කට ආසන්න විය හැකි එම ඡන්ද ප්‍රමාණය බෙදීයන්නේ රිෂාඩ් බදුර්දීන් කඳවුරට 30% රාවුෆ් හකීම් කඳවුරට 30% සෙසු කණ්ඩායම්වලට 5% එක්සත් ජාතික පක්ෂයට 30% සහ මහින්ද රාජපක්ෂ මහතාට 5% වශයෙනි. ඔවුන් විපක්ෂයට පෙන්වා දෙන්නේ මුස්ලිම් ඡන්ද වලින් 70% ලබා ගැනීම සඳහා කෙසේ හෝ රිෂාඩ්- හකීම් ඇමතිවරුන් සතුටු කරන ලෙසය. එසේ නැතහොත් අඩු තරමින් ඔවුන්ගේ සිත් රිදවන ක්‍රියාවලින් වැළකී සිටින ලෙසය. තමා වටා සිටි විපක්ෂ බලවේග වලටද ඒ ආකාරයට හැසිරෙන ලෙස මානසික බාධක පනවන ලෙස ඔවුහු විපක්ෂ නායකවරයාට මානසික බලපෑම් කරති. එම සමස්ත ක්‍රියාවලිය ඔවුන් විසින් හඳුන්වන්නේ විපක්ෂය බැලන්ස් කිරීම ලෙසය. ඒතුළ සාෆි වෛද්‍යවරයාට හෝ රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා ඔප්පු වන තුරු කතා නොකළ යුතු බව පවසන පිරිස් නුගේගොඩ රැස්වීම ගැන විවෘතව දොස් පවරති.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විපක්ෂ නායකනායකවරයා කෙතරම් පරිස්සමින් වචන භාවිත කළාද යන්න තුළින් එම බැලන්ස් කිරීමේ න්‍යායේ සාර්ථක හෝ අසාර්ථක බව මැන බැලිය හැක. කෙසේ වෙතත් වක්‍රව වහබ්වාදී න්‍යාය පත්‍රයට අනුව තම භූමිකාව ඉටු කරන මෙම උගතුන් සඳහන් කරන එක් කරුණක් පසුගිය ජනාධිපතිවරණයේදී සනාථ විය. එනම් මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ මුස්ලිම් ඡන්ද වලින් 5%ක් පමණක් යන තර්කය මේ වන විට ඔප්පු වී ඇත. සුළු ජන ඡන්ද අතුරින් මුස්ලිම් ඡන්ද බහුතරයක් පවතින ගම්පහ, කළුතර ආදී දිස්ත්‍රික්ක වලින් මහින්ද රාජපක්ෂ මහතා 2015දී ලබාගෙන ඇති සමස්ත මුළු සුළු ජන ඡන්ද ප්‍රතිශතය 5% පමණි. මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල එම ප්‍රතිශතය 2% හා 4% දක්වා පහත වැටී ඇත. නමුත් දෙමළ ජනතාව 11%ක් සහ මුස්ලිම් ජනතාව 2% සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ දී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 27%කි. එසේම දෙමළ ජනතාව අති බහුතරයක් වාසය කරන සහ මුස්ලිම් ජනතාව ප්‍රතිශතයක් ලෙස නොසලකා හැරිය හැකි මට්ටමක් පවතින යාපනය දිස්ත්‍රික්කයේදී මහින්ද රාජපක්ෂ මහතා 22% සුළු ජන ඡන්ද ලබා ගැනීමට සමත් වේ.
ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජය වන්නේ සුළු ඡන්ද ඔහුට අහිමි වීම නිසාය, යන මතය සංඛ්‍යාලේඛන වැරදි ආකාරයට අර්ථකථනය කිරීම මගින් තහවුරු කෙරෙන්නෙකි. ඔහු 2010 දී උතුරු හා නැගෙනහිර පළාත් වල ෆොන්සේකා මහතාට එරෙහිව ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට වඩා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අඩු වන්නේ ඡන්ද 21,000කින් පමණි. නව ඡන්ද හෙවත් තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට ඔහු අසමත් වී ඇති බව සත්‍යයකි. එසේනම් ඔහු පරදින්නේ 2010 දී ඔහු සෙසු පළාත් වලින් ලබාගත් වැඩි ඡන්ද ලක්ෂ 18 තුළ අඩංගු වූ බහුතර සිංහල ඡන්ද නැවත දිනා ගැනීමට අසමත්වූ බැවින් සහ නව ඡන්ද ආකර්ෂණයෂණය කරගැනීමට අසමත් වූ බැවිනි.

මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරය හා මොණරාගල දිස්ත්‍රික්ක වලින් සිංහල ඡන්ද පිළිවෙළින් 60% සහ 65% බැගින් ලබා ගන්නා විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්නේ 45% කි. එනම් ඔහු ලබාගත් සාමාන්‍ය සිංහල ඡන්ද ප්‍රතිශතය වන 58% ට වඩා අඩු ප්‍රමාණයකි. එම තත්ත්වය කතෝලික ඡන්ද අහිමි වීම නිසා ඇතිවූ තත්ත්වයක් බවට උපකල්පනය කළ හැක. එදා 2015 දී ලක්ෂ 8ක් පමණ වූ කතෝලික ඡන්ද වලින් ලක්ෂ 6ක් වත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය භාවිතා කරන්නට ඇති වගකිවයුතු කතෝලික පූජකවරු පවසති. ඔවුන්ගේ මතය අනුව මෙවර මහින්ද රාජපක්ෂ පිලට කතෝලික ඡන්ද වලින් 65%ක් 70%ක් ලබාගැනීම යනු පහසුු ඉලක්කයකි. නමුත් ඒ සඳහා වන පූර්ව කොන්දේසියක් ගැන ඔවුන් සඳහන් කර ති. ඒ පාස්කු ප්‍රහාරයේ දී මියගිය සහ තුවාල වූ ජනතාවට සත්‍ය වශයෙන්ම සාධාරණය ඉටු කිරීමය. නමුත් මුස්ලිම් උගතුන්ගේ ‘’බැලන්ස්’’ කිරීමේ න්‍යාය තුළ ඊට ඉඩක් නැති බව පැහැදිලිය.

කෙසේවෙතත් එහි දී කතෝලික ඡන්ද දිනා ගැනීම සඳහා හෝ බෞද්ධ ඡන්ද දිනාගැනීම සඳහා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට හෙවත් කූඨ හෝ ව්‍යාජ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මේ වනවිට අනාරක්ෂිත මනසකින් පසුවන්නේ කතෝලික සහ බෞද්ධ ජනතාව පමණක් නොවේ ටී.එන්.ඒ පක්ෂයට ඡන්දය නොදුන් 65% ක් වූ දෙමළ ජනතාව පමණක් නොවේ. ටී.එන්.ඒ පක්ෂයේ මතවාද පිළිගත් 35% වූ දෙමළ ජනතාව ද පසුවන්නේ අනාරක්ෂිත මනසකිනි. ඔවුන්ගේ ඒ අනාරක්ෂිත මනස සුවපත් කළ හැක්කේ වහාබ් අන්තවාදීන්ට සහ පොදුවේ ඉස්ලාම් මූලධර්මවාදයට යටත් නොවන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කිරීමෙනි. සැබෑ ලෙසම අනාරක්ෂිත මනසකින් පසුවන සහ අන්තවාදය පිටුදකින මුස්ලිම්වරුන් විශේෂයෙන්ම සුෆි වරුන් දිනාගත හැක්කේ ද එම සෘජු ප්‍රතිපත්තිය තුළ පමණි.

නමුත් ඉහත සඳහන් කළ බැලන්ස් කිරීමේ න්‍යාය යටතේ මානසික බාධක පනවාගෙන වහබ්වාදය පෝෂණය කරන අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයින් කිහිප දෙනා සතුව පවතිනවා යැයි කියන 60% මුස්ලිම් ඡන්ද නම් වූ මිරිඟුව හඹා යාම මගින් ඒ දෙය කළ නොහැක. එසේ වුවත් දැන් පවතින තත්ත්වය තුළ විපක්ෂයේ නායකයින් සිටින්නේ කිසිවක් නොකර සිටීම හෙවත් ‘’බිංදුව’’ මට්ටමේ නොව වහබ් අන්තවාදයට විරුද්ධව හඩනගන්නට බැන අඬගසන නිශේධාත්මක තත්ත්වයකය. කෙසේ වෙතත් මුස්ලිම් අන්තවාදී දේශපාලනඥයින් සහ තමාගේ කේවල් කිරීමේ බලය රැකගැනීම සඳහා ඔවුන්ට ඔවුන්ව රකින ඊනියා මධ්‍යස්ථ වාදීන්ගේ පුරසාරම් වල සත්‍ය විමසා බැලීමෙන් තොරව අදාළ මානසික බාධකවලින් ගැලවිය නොහැක. තමාට වාසි සහගත තැනක තනිව ඉල්ලීමේ සහ සෙසු ප්‍රදේශවල ප්‍රධාන දේශපාලන පක්ෂවල වලිගයේ එල්ලීමේ න්‍යාය මුස්ලිම් අන්තවාදී පක්ෂ විසින් අනුගමනය කරන්නේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතුය.

ඊට හේතුව මුස්ලිම් අන්තවාදී දේශපාලකයින්ට තනිව තරග කිරීම මගින් මුස්ලිම් ජනතාවගේ බහුතර ඡන්ද ප්‍රමාණයක් දිනා ගත නොහැකි වීමය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බෙදී ගොස් තිබූ මුස්ලිම් ඡන්ද එක ගොඩට එකතු කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1989 පාර්ලිමේන්තු මැතිවරණයේද දිස්ත්‍රික් 13කින් ලබාගන්නේ මුස්ලිම් ඡන්ද වලින් 32%ක් පමණි. එම ඡන්දයේ දී ඔවුන් නැගෙනහිර පළාතෙන් ලබාගන්නේ 50%ට මඳක් අඩුවෙනි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් නැගෙනහිර පළාතේ ලබා ගන්නේ 50%කට අඩු මුස්ලිම් ඡන්ද ප්‍රමාණයකි. කෙසේ වෙතත් අශ්රෆ් මහතාගේ මරණයෙන් පසුව ඇතිවූ අනුකමනුකම්පාව මත 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ඡන්ද වලින් 66%ක් ගැනීමට මුස්ලිම් කොංග්‍රසය සමත් විය. නමුත් 2012 දී පළාත් සභා මැතිවරණයේදී ඔවුන් එම ප්‍රදේශයෙන් ලබාගැනීමට සමත් වන්නේ මුස්ලිම් ඡන්ද 37%කි.
මුස්ලිම් දේශපාලන පක්ෂ සියල්ල සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ද තත්ත්වය වෙනස්වී නැත. 2014 බස්නාහිර පළාත් ඡන්දයේ දී එම සන්ධානය ලබාගැනීමට සමත් වන්නේ මුස්ලිම් ඡන්දවලින් 17% කි. 2009 දී පැවති මැතිවරණයේදී අදාළ ඡන්ද ප්‍රමාණය 18% කි. ඒ අනුව ජාතිවාදී ලෙස සන්ධානගත වීම මගින් ඔවුන්ට ලැබී ඇත්තේ අව ගමනක්ය. 2014 දී ඌව පළාතේදී මුස්ලිම් පක්ෂ සන්ධානයට අත්වූයේ වඩා දරුණු තත්වයකි. පළාතේ 40,000 ක් වූ මුස්ලිම් ඡන්දවලින් ඔවුන්ට ලැබෙන්නේ ඡන්ද 5035 කි. එනම් අටෙන් එකකි. ඒනිසා හේතු දෙකක් මත බැලන්ස් කිරීමේ න්‍යායට යටත්ව වහබ්වාදීන්ගේ ඡන්ද තොගය නැමැති වෘෂණකෝෂ වැටෙන තෙක් බලා සිටීම යනු මහා වන්දියක් ගෙවීමට සිදුවන දේශපාලන වරදකි. පළමුවෙන්ම ඉහත සඳහන් කළ ද ඉකොනොමිට්ස් ඟරාවේ ලිපියේ යටි පෙලෙන් කියවෙන උපායමාර්ගය තුළ ඊලාම්වාදී භූගෝලීය බෙදුම්වාදීන් මෙන්ම වහාබ්වාදී සමාජ බෙදුම්වාදීන් ද රාජපක්ෂ විරෝධී පිලේ සිටගන්නා බවට සැකයක් නැත. ඒ නිසා වෘෂණ කෝෂ ඉදිරි මැතිවරණයේදී බිමට නොවැටෙන බව දතයුතුය. දෙවැන්න මුස්ලිම් අන්තවාදීන්ට මුස්ලිම් ජනතාව අතර ඔවුන් පෙන්වන තරම් බලයක් නොමැති වීමය. ඒ නැති බලය වෙනුවෙන් බහුතරයේ බලය අත් හැරීම හෝ නොසලකා හැරීම සදහා උපදෙස් දෙන්නේ කාගේ උවමනාවටද?

ඒ නිසා වහබ්වාදී අන්තවාදීන්ගේ තැරැව්කරුවන් විසින් පනවන මානසික් බාධක වලින් ගැලවී වචන පටලවන්නේ නැතිව කෙලින් කතා කිරීමට විපක්ෂය ඉගෙනගත යුතුය. ඒ සඳහා නායකයා විසින් කිව යුත්තේ වාක්‍ය දෙක තුනක් පමණි. එනම් ‘’අපරාජිත බවට ලෝක පූජිතව සිටි කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට අහිංසක දෙමළ ජනතාව ලක්ෂ තුනක් බේරා ගත් ආකාරයට මරාගෙන මැරෙන බෝම්බ බැදගෙන එන බියසුළු වහාබ් අන්තවාදීන් මවුබිමෙන් අතුගා දමා සුළුතරයේ වැරදිවලට වන්දි ගෙවන බහුතර මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව දුකින් මුදවා ගන්නා බව පමණකි.’’

කෙසේ වෙතත් වහබ්වාදී තැරැව්කරුවන් ව්‍යාජ ලෙස සංඛ්‍යා ලේඛන මත පදනම් ව තර්ක ඉදිරිපත්පත් කරන බැවින් තවදුරටත් ඒ ඔස්සේ තර්ක කිරීමට සිදුවේ. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සිංහල ඡන්ද වලින් 58% ක් සහ සුළු ජන ඡන්දවලින් හෙවත් දෙමළ-මුස්ලිම් ඡන්ද එකතුවෙන් 12.5% ක් ලබා ගැනීමට සමත් විය. එම සුළු ඡන්ද පදනම එසේම තිබියදී සිංහල ඡන්ද ප්‍රතිශතය 10%කින් ඉහළ දමා ගැනීමට ඔහු සමත් වූවා නම් ජයග්‍රහණය කරන්නේ ඔහුය. මෙවර 2009දී ඡන්ද ලක්ෂ 18 ක ට අධික නව ප්‍රමාණයක් එකතු වන තත්වයක් යටතේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව ලක්ෂයක 140 දක්වා ඉහල යනු ඇත. නමුත් ඉහත තර්කය එනම් සුළු ජන ප්‍රතිශතය එසේම තිබියදී හෝ යම් පමණකට පහල වැටීමකදී වුවද සිංහල ඡන්ද 10%කින් ඉහළ දමා ගැනීමට මහින්ද රාජපක්ෂ පිළ සමත් වේ නම් ජයග්‍රහණයය නියතය. ඔවුන් සිංහල ඡන්ද වලින් 70% ක් ලබා ගැනීමට සමත් වේ නම් සුළු ජන ඡන්ද එකක් හෝ නොමැතිව ජයග්‍රහණය කළ හැක. නමුත් එවැනි අමන තර්කයක් නරකම ඊනියා සිංහල අන්තවාදියෙකු විසින් හෝ ඉදිරිපත් කරන්නේ නැත.

නමුත් ඒ මඟින් කියැවෙන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ලෙස තර්ක-විතර්ක වලින් තොරව සැලකිය හැකි පසුගිය ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජ රාජපක්ෂ මහතාට ඡන්දය පාවිච්චි කළ 5% ක් වූ මුස්ලිම් ජන පද නම ආරක්ෂා කරගනිමින් සිංහල ඡන්ද පදනම 10%කින් ඉහළ දමා ගැනීම යනු ප්‍රායෝගික සහ සක්‍යතාවය සහිත පහසු ඉලක්කයකි. විශේෂයෙන්ම ලක්ෂ නවයකට ආසන්න වන කතෝලික ඡන්ද වලින් අති බහුතරය ලබාගැනීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන්නේ නම් එම අභියෝගය තවදුරටත් පහසු වනු ඇත. පවතින තත්වය යටතේ ටී.එන්.ඒ පක්ෂයට ඡන්දය නොදෙන 65% ක් වූ බෙදුම්වාදී අන්තවාදයට පක්ෂපාතී නැති දෙමළ ජනතාවගෙන් ලබාගත් සමස්ථ දෙමළ ජනතාවගෙන් 7.5% ක්වූ ඡන්ද ප්‍රමාණය 10-15% දක්වා වර්ධනය කර ගැනීමේ පහසු විභවයක් ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ කපුවන් හෙවත් ටී.එන්.ඒ හරහා දෙවියන් හෙවත් ජනතාව ඇමතීම වෙනුවට සෘජුව ඒ ජනතාව ඇමැතීමය. ඒ සියල්ල සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ වැටෙනවා යැයි බලා සිටින හෝ එසේ වැටෙන බවට බලාපොරොත්තු ඇති කර වන ‘’වෘෂණකෝශ’’ දෙස බලා සිටීම අත්හැර කෙලින් කතා කර කෙලින් වැඩ කිරීමය. එසේ නොමැතිනම් 2015 ගෙවූ වන්දිය නැවත ගෙවීමට සිදුවන බවට කිසිදු සැකයක් නැත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More