එදා 1970 දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණ තුල රටේ ඉරණම තීන්දු කරන ප්‍රභල දේශපාලන සංවාදයක් සිදු විය. ඊට අදාළව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැන නැගුණු සංවාදයේදී මෙම ලියුම්කරු එක් පාර්ශවයක් නියෝජනය කළේ ය. ඇත්තවශයෙන්ම ඒ ආරම්භක යුගයේදී සිටියේ එක් පාර්ශවයක් පමණි. එනම් උතුරේ තීවුවෙමින් පැවති දෙමළ බෙදුම්වාදී ප්‍රශ්ණය එම ජනතාවට ස්වයංතීරණ අයිතිය දීමෙන් විසඳිය යුතුය යන මතවාදී පාර්ශවයයි. ඒ අනුව එදා එම මතවාදය න්‍යායාත්මකව තහවුරු කළ ප්‍රධාන පුද්ගලයා වූ එවකට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ලයනල් බෝපගේ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කැඳවා මහා සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරිණි. එම සංවාදයේදී ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් නොවූ අතර කිසිදු විවාදයකින් තොරව “ ස්වයංතීරණ අයිතිය ” නම් වු න්‍යාය පිළිගැනීමට ලක්විය.
එම න්‍යායට අනුව උතුරේ පැන නැගි ඇත්තේ “ ජන වාර්ගික ගැටළුවක් ” යනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගොඩනගා තිබූ මතය සනාථ විය. ඊට අමතරව එකල එම අරගලය විමුක්ති අරගලයක් ලෙස හඳුනා ගැනුනු අතර දකුණේ ජනතාව එම අරගලයට සහය දිය යුතු බවටද පිළිගැනුණි. ඉන්පසුව 1981 දී රෝහණ විජේවීරයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ දේශනයකට පසුව එම මතවාදය අභියෝගයට ලක් වන කථිකාවක් පැණ නැගුණි. පසුව එම කථිකාව ජ.වි.පෙ තුළ ප්‍රභල ගැටුමක් බවට පරිවර්ථනය වු අතර ඒ මත 1983 දී එම පක්ෂයේ ලේඛම් ලයනල් බෝපගේ මහතාට පක්ෂයෙන් ඉවත් වීමට පවා සිදු විය. ඉන් පසුව එම පක්ෂය තහනමට ලක් වී බලවත් මර්ධනයකට ගොදුරුවී සිටි තත්වයකදි පවා රෝහණ විජේවීරයන් විසින් 1985 දී අදාළ සංවාදය කූඨප්‍රාප්තියට ගෙන එමින් ඊළාම් අරගලයට විසඳුම කුමක් ද? යනුවෙන් නිබන්ධනයක් රහසිගතව ප්‍රකාශණයට පත් කරනු ලැබීය.
එම නිබන්ධනය මඟින් උතුරේ අරගලයට මුල් වූ සන්නද්ධ ව්‍යාපාරය අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් මිස විමුක්ති ව්‍යාපාරයක් නොවන බව තහවුරු කෙරිනි. එනම් එම අරගලය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව මත රට බෙදා වෙන්කොට රජ්‍ය දුර්වල කොට අත්පත්කර ගැනීම සඳහා දියත් වන ජාත්‍යන්තර උපායමාර්ගික මෙහෙයුමක් බව තර්කානුකූලව ඔප්පු කෙරුණි. ඊට අනුව උතුරේ ජන වාර්ගික ගැටළුවක් තිබෙන බවට එ් වන විට සෙසු වාමාංශික දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් දැරූ මතය ප්‍රතික්ෂේප කෙරිණි. එසේම එම ගැටළුව “ ජාතික ගැටළුව ” ලෙස නිර්වචනය කළ අතර ඊට අවසාන වශයෙන් විසදුම ලැබෙන්නේ සමාජවාදී රාජ්‍යක් පිහිටුවීමෙන් පසුව බවටද මතවාදීව තහවුරු කෙරුණි. ඊට අමතරව බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය සහ පොදු දෙමළ ජනතාව අතර බෙදුම් රේඛාව ඇදීම සහ එම ජනතාව ආරක්ෂා කිරීම බෙදුම්වාදී විරෝධී සටනේ මූලික පූර්ව කොන්දේසි ලෙස හදුනා ගැනුනි.
එම න්‍යායාත්මක පදනම අනුව දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය නිර්ධන පන්තිය සහ ජනතාව භේද කරන අතර පන්ති සටන හෙවත් සමාජවාදී අරගලයට හතුරු ප්‍රවණතාවකි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා තබූ සමාජ විප්ලවයට අදාළ මූලික උපායමාර්ගික ප්‍රවේශය වූ “ අධිරාජ්‍යවාදී අරගලය තුළින් සමාජවාදයට ” යන පදනම මත බෙදුම්වාදී විරෝධය අධිරාජ්‍ය විරෝධි අරගලේ මූලික සහ ප්‍රමුඛතම සටන් බිම ලෙස හැදින්විණි. ඊට අනුව පන්ති සටනද එම අරගලයේ ම කොටසක් හෙවත් ඒ තුළ අන්තර්ගතව පවතින සටනක් ලෙස පිළිගැණුනු අතර බෙදුම්වාදයට එරෙහි සටන ප්‍රමුඛත්ව සටනක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් අතට ගනු ලැබීය. ඒ අනුව බෙදුම්වාදී යුද්ධයේ දේශපාලන පෙරමුණ වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනීසිටීම ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කළ අතර එම නිසා ඊනියා දේශපාලන විසඳුමට අනුව ඉදිරිපත් වූ ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහි දැඩි සටන් ක්‍රියාමාර්ග තෝරනු ලැබීය.
එම සටන් තුළ එම පක්ෂයේ නායකයා ඇතුළු 60,000ක් තරුණ තරුණියන්ට දිවි පිදීමට සිදු වු අතර එදා, එම ඊනියා දේශපාලන විසඳුමට පක්ෂපාතී වූ වාමාංශික පක්ෂ සියල්ල ආණ්ඩුවටත් වඩා ඉදිරියට ගොස් විරුද්ධ පාර්ශවය බවට පත් විය. එම ප්‍රචණ්ඩ විරෝධය නිසා අදාළ දේශපාලන විසඳුම ඉන්දියාව බලාපොරොත්තු වූ මට්ටමට බලවත්ව ස්ථානගත කිරීමට ඉන්දියාව සහ ආණ්ඩුව යන පාර්ශව දෙකම අසමත් විය. ඇත්තවශයෙන්ම වඩා සාධාරණව ඊට අදාල ‘’පසු වදන’’ ලියන්නේ නම් දැන් කිව යුත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාව විසින් ඇටවූ උගුලට එක් පයක් තැබූ නමුත් ඊට යම් අඩකොට තැබීමට සමත් වූ බවය.
ජේ.ආර්. ජයවර්ධන යනු ප්‍රාන්තවලට බලය බෙදාදීමේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය අනුමත කළ පුද්ගලයෙකු නොවේ. ඔහු පෙනී සිටියේ සිංගප්පූරුව මෙන් මධ්‍යගත බලවත් “ වෙළඳ රාජ්‍යයක් ” වෙනුවෙනි. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුම අනුව නිර්මාණය කළ නව රාජ්‍ය ව්‍යුහය තුළ බෙදුම්වාදීන්ගේ අවසන් උවමනාව වන වෙනම රාජ්‍යයක් ඒකපාර්ශවීයව ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුව අවශ්‍ය ව්‍යවස්ථානුකූල තත්වය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ගැනීමට ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදි බලවේග අසමත් විය. එසේ පළාත් බලය මධ්‍යම රජයේ පාලනයට යටත් කරන “ යම් අඩකොට ” ප්‍රමාණයක් තැබීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුට උපදෙස් දුන් යම් නිලධාරීන් සමත් වු බැවින් පළාත් සභාව ජාත්‍යන්තර නීතිය යටතේ පහසුවෙන් වෙනම රාජ්‍යක් බවට පරිවර්ථනය කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය නොවීය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව එවැනි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වේ. එදා අධිකරණයට බලපැම් කොට යම් ප්‍රතිපාදන ඇතුළත් කළත් සමස්ථය ලබා ගැනීමට බෙදුම්වාදීන් අසමත් වන්නේ ජනමත විචාරණයක් පැවැත්වීමට තරම් තත්වයක් රට තුළ නොතිබුණු බැවිනි. එම තත්වය නිර්මාණය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ විරෝධය මඟිනි.
කෙසේවෙතත් ලෝකයේ බෙදා වෙන් කොට ඇති 26ක් වන රටවල් වල සිදුවූ දේ ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ එසේ රටවල් බෙදා වෙන් කිරීම සඳහා ප්‍රධාන උපායමාර්ගික ප්‍රවේශයන් දෙකක් යොදා ගෙන තිබෙන බවය. පළමු වැන්න, සන්නද්ධ ව්‍යාපාරයක බලපෑම මත රටක ව්‍යවස්ථාව වෙනස්කොට බෙදාවෙන්කිරීමට නියමිත භූමිය බල ඒකකයක් ලෙස සළකුණු කිරිමය. දෙවැන්න සන්නද්ධ ගැටුමක් විසඳීමේ මුවාවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු කොට ජාත්‍යන්තර ගිවිසුමක් මඟින් අදාළ බලඒකකය නිර්මාණය කිරීමය. ජාත්‍යන්තර බෙදුම්වාදි බලවේග සුඩානයේදී නෝර්වේජියානුවන් හරහා සාර්ථකව අත්හදා බලනු ලැබුවේ ඒ දෙවන ක්‍රමයයි. එම සැළසුමේ කාබන් කොපිය 2002 දී ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට ආදේශ කෙරුණු බව රහසක් නොවේ. එනම් ශ්‍රී ලංකාවේ දී දෙමුහුන් ක්‍රමයක් හෙවත් ව්‍යවස්ථාව මඟින් සළකුණු කොට ඇති බෙදා වෙන් කෙරෙන බල ඒකකය ජාත්‍යන්තර ගිවිසුමක් මඟින් තහවුරු කිරීමය.
එදා, එම තීරණාත්මක ජාත්‍යන්තර බෙදුම්වාදී මෙහෙයුම පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වන්නේ කුමක් නිසා ද? ඒ 1989 විනාශයට පෙර බෙදුම්වාදයට අදාලව ඉදිරිපත් කළ න්‍යායාත්මක විග්‍රහය 1994 දී නැවත නැගිටීමෙන් පසුව තවදුරටත් තහවුරු කොට ප්‍රායෝගිකව යොදා ගත් බැවිනි. එදා එපමණ විශාල වන්දියක් ගෙවා ඉගෙනගත් හෙවත් තහවුරුකළ න්‍යායාත්මක පදනම මත ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත්ව නැවත දෙපා තබන්නේ සෝමවංශ අමරසිංහයනයන්ගේ දූරදර්ශි නායකත්වය නිසාය. එනම් ඔහු සතුව තිබූ සුවිශේෂි සහ සම කළ නොහැකි උපායමාර්ගික ඥාණය නිසාය. සටන්විරාමය තුළින් උපදින තාවකාලික ආණ්ඩුව පරාජය නොකළහොත් එය වෙනම රාජ්‍යක් බවට ඉතා පහසුවෙන් පරිවර්ථනය කෙරෙන බවට ඔහු ඉදිරිපත් කළ න්‍යායාත්මක විග්‍රහය පසුකළෙක සුඩානයේදී ඉතා නිවැරදිව තහවුරු කෙරිණි.
එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරළීම සඳහා තමා පිළිකුල් කළ නායකයෙකු වූ චන්ද්‍රිකා මැතිණිය සමඟ උපාය මාර්ගික සංධානයකට සෝමවංශයන් එකඟ වන්නේ ඒ න්‍යායාත්මක විග්‍රහයට අනුවය. එම ක්‍රියාවලියේම දිගුවක් ලෙස තම පක්ෂය අකමැති නායනයෙකු වු මහින්ද රාජපක්ෂයන් ජනාධිපති බවට පත් කිරීමේ උපායමාර්ගික තීන්දුව ගනු ලබන්නේද සෝමවංශ අමරසිංහයන්ගේ දැඩි මැදිහත් වීමෙනි. ඉන් පසුව තම කේඩරීය පක්සය මහා බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්ථනය කොට මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමෙන් නතර නොවී ඔහුගේ පාලනය යුද්ධයට තල්ලු කිරීමේ උපාය උපක්‍රම තෝරන්නේද සෝමවංශ අමරසිංහයන්ගේම බලවත් නායකත්ව මැදිහත් වීමෙනි. ඊට විමල් වීරවංශයන් වැනි සුළුතරයකගේ සහය ලැබුණද අද සිටින නායකයින් සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ මතවාද වලය.
එදා බෙදුම්වාදි විරෝධි අරගලය “ජනතා යුද්ධයක් ” බවට පත් කළ යුතු බව සහ ඊට අනුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනතාව රජයේ හමුදාව සමඟ එක පෙරමුණක සිටගත යුතු බවට සෝමවංශයන් ඉදිරිපත් කළ න්‍යායාත්මක විත්‍රහයන් හමුවේ අද සිටින නායකයින්ගේ දෙපා වේව්ලූ බව ජනතාව දන්නේ නැත. එම ක්‍රියාවලිය තුළ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය පවා දකුණට රැගෙන ගොස් සටනට සූදානම් විය යුතු බවට සෝමවංශයන් තර්ක ඉදිරිපත් කරන විට එමනායකයින් “ බුදු අම්මෝ, එහෙම වුනොත් අපට වෙන්නේ බංකර් ඇතුළේ ජීවත් වෙන්නයි. ” යනුවෙන් පලායාමේ තර්ක ඉදිරිපත් කළහ. ඒ බව රටේ ජනතාව මෙන්ම තම පක්ෂයේ පහළ සාමාජිකයින් දන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේ දී එම පක්ෂය යුධ ජයග්‍රහණයේ තම කොටස පවා ප්‍රතික්ෂේප කරන තත්වයට න්‍යායාත්මකව අංශක 1800 කින් හැරවීමට ඒ බිය සුළු නායකයින් සමත් විය. එම පරිවර්ථනය සෝමවංශ අමරසිංහයන්ගේ පැත්තෙන් ගත් විට ඔහු මුහුණ දුන් ඉතිහාසයේ කෘරතරම සරදම බවට විවාදයක් නැත.
එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ හමුවන කිර්ති විජේබාහු , වලගම්බාහු හෝ ධාතුසේන වැනි උපායමාර්ගික විශිෂ්ටයන්ට හිමි වු ස්ථානය සෝමවංශ අමරසේනයන්ටද හිමි විය යුතු ය. ඔහු දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි. ඔහු විසින් ඉටුකළ ඓතිහාසික භූමිකාව නොවන්නට අද අප සුඩානය මෙන් බෙදී වෙන්වී එකිනෙකා මරා ගන්නා අවාසනාවන්ත ජාතියක් බවට මෙම ලියුම්කරුට නම් කිසිඳු සැකයක් නැත. සැකයක් තිබේ යැයි යමෙකු තර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්විමට මෙම ලිපිකරු ඉදිරිපත් වේ. එපමණක් නොව මහා විහාරය ගිනි තැබූ මහසෙන් රජු ඉතිහාසය විසින් මහසෙන් දෙවියන් බවට පරිවර්ථනය කළ ආකාරයටම සෝමවංශ අමරසිංහයන්ට ද ඉතිහාසය විසින් සාධාරණය ඉටු කරනු ඇත. එතෙක් නොසිට මේ ලියුම් කරු බුදුන් වදින සෑම අවස්ථාවකම සම්ප්‍රදායානුකූලව බදුන්වැදීමෙන් පසුව දෙවියන්ට පින් දෙන්නේ සෝමවංශයන් මතක්කරමින් බවද සඳහන් කළ යුතු ය. ඒ ඔහු නොසිටියා නම් සූඩානයට අත් වූ ඉරණම අප රටටත් අත්වන බව සක් සුදක් සේ පැහැදිළි නිසා පමණක් නොව ඔහු නැති ජ.වි.පෙ අද ඔහුගේ භූමිකාවද අතහැර ඇති නිසාය. ජ.වි.පෙ විසින් තම ඓතිහාසික භූමිකාව හෙවත් සෝමවංශයන් විසින් පණදුන් භූමිකාව අත්හැරීම නිසා අද රට දෙයාකාරයකින් නැවත වටයකින් බෙදුම්වාදයට ගොදුරුවෙමින් පවතින එවැනි තත්වයක් තුළ සෝමවංශයන්ගේ භූමිකාව ඉතිහාසය තුළ වඩාත් සුවිශේෂි වේ.
අද එක්පැත්තකින් භූගෝලීය බෙදුම්වාදී තර්ජනය එසේම තිබියදී ඉස්ලාම් මූලධර්ම වාදය මුල්කොට ගත් සමාජ බෙදුම්වාදයකට රට ගොදුරු වෙමින් ඇත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අද , එදා භූගෝලිය බෙදුම්වාදයට එරෙහිව රෝහණ විජේවීරයන් තෝරාදුන් න්‍යායාත්මක විග්‍රහයට පිටුපාන අතර ඉස්ලාම් මූලධර්මවාදයට අදාළවද නිවැරදි න්‍යායාත්මක විග්‍රහය තෝරාගැනීමට අසමත් වී ඇත. එම වරද එදා සෝමවංශයන් සිදු කළා නම් අද රට මුහුණ දෙන්නේ කෙබඳු ඉරණමටද යන්න මෙම ලිපියේ දීර්ඝ පූර්විකාවෙන් පැහැදිලි කෙරෙති. එවැනි දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ යම් ගැටුමකය අදාළව න්‍යායාත්මක විග්‍රහය මත සටනේ සොභාවය පමණක් නොව අවසන් ප්‍රතිඵලයද තීරණය වන බව පෙන්වා දීම සඳහාය.
එදා ලයනල් බෝපගේලා සහ සෙසු වාමාංශික පක්ෂ දෙමළ බෙදුම්වාදයට අදාළ න්‍යායාත්මක විග්‍රහය වරදවාගත් ආකාරයටත් වඩා භයානක ආකාරයට ඉස්ලාම් මූලධර්මවාදය හෙවත් වහබ්වාදී අන්තවාදය විග්‍රහකර ගැනීමට ජ.වි.පෙ අසමත් වී ඇත. එදා බෝපගේලා වරදවා ගත්තේ න්‍යායාත්මකව පමණි. අද ජ.වි.පෙ න්‍යායාත්මකව පමණක් නොව ප්‍රායෝගිකව මූලධර්මවාදය පෝෂණය කරන ආකාරයට දේශපාලනය තෝරති. ඔවුන් ආගමික මූලධර්මවාදී බලවේග ආරක්ෂා කිරීමට අමතරව එම අන්තවාදීන් විසින් තෝරනු ලබන සටන් ක්‍රියාමාර්ග න්‍යායාත්මකව සාධාරණීකරනය කිරීමටද ඉදිරිපත් වේ. එම ආගමික මූලධර්මවාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රභලයෙකු තම පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන්නේ එම අවස්ථාවේදී ඔහු ගැන හෙළිදරව් වී නොතිබුණු තත්වයක් යටතේ බව එම පක්ෂයට ප්‍රකාශ කළ හැක. එහෙත් එම මූලධර්මවාදීන්ගේ ප්‍රධාන උපාය මාර්ගික ප්‍රවේශයක් වන විරුද්ධවිය හැකි බලවේග “ බැලන්ස් කිරීමේ න්‍යායට ” ඔවුන් ගොදුරු වී ඇති බව සැඟවිය නොහැකිය. අද වන විට රටේ විපක්ෂ නායකයාද එම න්‍යායට ගොදුරු වෙමින් සිටින තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් යම් ළදරු තර්ක ඉදිරිපත් කළ හැක.
එදා සන්නද්ධ භූගෝලීය බෙදුම්වාදීන් අධිරාජ්‍යවාදීන්ගේ කුලී හේවායන් ලෙස හැඳින්වු ජ.වි.පෙ ට අද සන්නද්ධ ඉස්ලාම් ආගමික අන්තවාදීන් පෙනෙන්නේ සිංහල ජාතිවාදයට මුහුණ දෙන ආනාරක්ෂිත සටන්කරුවන් පිරිසක් ලෙසය. ඉසලාම් මූලධර්මවාදය හෙවත් දේශපාලන ඉස්ලාම් ධර්මය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක් බවට වන ප්‍රභල සාක්ෂි දෙස ඔවුන් හැරි නොබලති. අද ජනප්‍රිය ‘’ජාතිවාදී විරෝධී’’ ස්ථාවරයන් තුළ ජ.වි.පෙ ට තීරණාත්මක දේශපාලන න්‍යායාත්මක විග්‍රහයක් වැරදී ඇති බව පැහැදිලිව පෙනේ. 18 වන සියවසේ සිට ඉස්ලාම් මූලධර්මවාදය බ්‍රිතාන්යන් විසින් පෝෂණය කළ ආකාරය සහ දේශපාලන උපාංගයක් ලෙස යොදාගත් ආකාරය පිළිබඳ මෙන්ම අද එය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රභලතම අවියක් බවට පත්වී ඇති ආකාරය පිළිබඳ සාක්ෂි ලෝකය පුරා පුචලිතව තිබුණත් ඔවුන්ට එය ගෝචර වන බවක් දක්නට නැත. එදා දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට සාපේක්ෂව අද ඉස්ලාම් මූලධර්මවාදී සමාජ බෙදුම්වාදයට නිරුපද්‍රිතව වැඩෙන්නට හැකි වන්නේ සහ ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයින් සුළුජන ඡන්ද නම් වූ එකම කෙවිටක් පෙන්වා යටත් කිරීමට හැකිවන්නේ සෝමවංශයන් නොමැති ජ.වි.පෙ විසින් නිර්මාණය කරන රික්තකය තුළ බව ඉතිහාසය විසින් ලියා තබනු ඇත.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...