පුරවැසි කොලම

”දරිද්‍රතාවෙන් පෙළෙන අය විසින් දුප්පත්කම නිර්මාණය කර නැත. ඒ නිසා ඔවුන්ට චෝදනා කරන්න එපා. ඔවුන් එයට ගොදුරු වී සිටිති. ලෝකය තුළ පවත්නා ආර්ථික හා සමාජ ක්‍රමය තුළින් දරිද්‍රතාව නිර්මාණය වී තිබේ. නිරපේක්ෂ දරිද්‍රතාවට මුහුණදුන් අය වෙත ඉතිරිව ඇති අවසාන බලාපොරොත්තුව වන්නේ ණයයි. එය මූලික අයිතිවාසිකමක් ලෙසද පිළිගත යුතුයි. කාන්තාවනට ණය මුදල් සපයා එමගින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක කළ යුතුයි”.

මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ 2006දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ආමොෂ් ඉර්මාන් මොහොමඩ් යූනුස් මහතාය. ඔහු බංග්ලාදේශ බැංකුකරුවෙකු සහ ආර්ථික විද්‍යඥයෙකු වේ. දිළිඳු පුද්ගලයන්ට ඇපවීමකින් තොරව ණය ලබාදීම සඳහා ආරම්භ කෙරුණු ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ පුරෝගාමියා වන්නේ ඒ මහතාය. 1970 දශකය අගභාගයේදී බංග්ලාදේශයේ දිළින්දන්, විශේෂයෙන්ම කාන්තාවන්, බල ගැන්වීමේ කාර්යය ආරම්භ කළ ඔහු විසින් 1983දී ග්‍රාමීන් බැංකුව පිහිටුවන ලද්දේ දුප්පත් ජනතාවට ණය සැපයීම මගින් කුඩා ව්‍යාපාර නිර්මාණය කිරීම සහ ඒ තුළින් ඔවුන්ගේ දරිද්‍රතා චක්‍රය බිඳ දැමීමටය.

මෙම සංකල්පය ලොව පුරා කෙතරම් ව්‍යාප්ත වූවාදැයි කිවහොත් එය ලංකාව පුරා අතු ඉති දා වැඩීමට වැඩි කාලයක් ගත වූයේ නැත. මෙය මුල් අවදියේදී සර්වෝදය වැනි රාජ්‍ය නොවන ආයතන කිහිපයක් රටේ දිළිඳු ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩසටහනක් වුවද, වර්තමානය වනවිට විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන සේම තනි පුද්ගලයන් විසින්ද ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යනු ලබයි. එහෙත් ලංකාව දෙස බැලූ කල මේ මගින් මහාචාර්ය යූනුස් අපේක්ෂා කළ කාර්යය ඉටුවී තිබේද යන්න පිළිබඳ ගැටලුවක් මතුවේ ?

අද වන විට ගම් නියම්ගම් වෙළා ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවීම් පිළිබඳ ගැටලුව සමාජ ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව අපටද පිළිගැනීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව හා සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය නිෂාන් සකලසූරිය මහතාගෙන් අප අදහස් විමසූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පැවසීය.

&මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කියන තත්ත්වය ඇති වෙන්න එක හේතුවක් තමයි සමාජය තුළ ප්‍රාග්ධනය පිළිබඳව තියෙන ගැටලුව. සමහර මිනිස්සුන්ට ජීවත්වීම සඳහා යැපුම් මාධ්‍යයක් නෑ. සමහරුන්ට තියෙනවා. තිබෙන, නොතිබෙන හැමෝගෙම කැමැත්ත තමයි ඉන්න තත්ත්වයට වඩා හොඳ ජීවිතයක් ළඟා කරගන්න එක. ඒකට මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා අමතර මුදලක්. ඒක ළඟා කරගන්න පහළ පන්තිවල ඉන්න මිනිස්සුන්ට අවකාශයක් නෑ. ඒගොල්ලෝ බැංකුවකින් ණය මුදලක් ගන්නවා නම් දේපළක හරි, රැකියාවක හරි සුරැකුමක් තියෙන්න ඕන. එහෙම දේවල් ඔය කියන මිනිස්සු ළඟ නෑ. ඒක නිසා රාජ්‍ය හරි පෞද්ගලික හරි නිල මූල්‍ය ආයතනවලින් මුදල් ලබා ගන්න ඒ අයට බෑ. ඒ තත්ත්වය තුළ තමයි රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා මෙවැනි කුඩා කණ්ඩායම් හදා ගත්තේ. මේක හොඳ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණු දෙයක්. ඒකේ ක්‍රියාත්මක වුණේ එකිනෙකාට සම්බන්ධ වෙලා, තමන්ගේ තියෙන මුදල් එහාමෙහා කරගෙන, හදිස්සියකට ගන්න යම්කිසි හුවමාරු වැඩසටහනක් පවත්වාගෙන යන එකයි. කාලයක් යනකොට මේක ව්‍යාපාරයක් බවට පත්වුණා. සල්ලි තිබෙන අය කෝටියක් දෙකක් මේකට යොදවලා ලාභ උපයන්න පටන් ගත්තා. මේ ඛේදවාචකය පටන් ගන්නේ එතැනින්. අද වෙන විට ගත්ත ණය මුදලට, ගෙදරට ගත්ත භාණ්ඩයට, වාරිකය ගෙවා ගන්න බැරිව මිනිස්සු සියදිවි හානි කර ගන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අද මේක ජාවාරමක් වෙලා.

ඔවුන්ගේ ඉලක්කගත කණ්ඩායම සමාජයේ පහළ කණ්ඩායම්. ඒ අයගේ අධ්‍යාපන තත්ත්වය ඉතා අඩුයි. නීතිය ඉස්සරහට යන්න බයයි. ඒක නිසාම මේ වෙනකොට සමාජයේ ගැඹුරු ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතිනවා. ජනතාවගේ අවම ජීවන තත්ත්වය පවත්වාගෙන යාමේ වගකිම ඉටුකිරීමට රජය අපොහොසත් වෙලයි ඉන්නේ. පොඩි බිඳ වැටීමකදී මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මේකෙදී අපි කාන්තාව ණය ගත් අය හැටියට සැලකුවත් ඇත්තෙන්ම ඇය ණය අරන් තියෙන්නේ පිරිමින්ගේ අවශ්‍යතා සැපිරීමටයි. ඇතැම් කාන්තාවන් ප්‍රමාණයක් ඇති පිරිමින් නොදැන ණය අරගත්ත. සමහර විට ගත්ත ණය පිරිමින් නිස්කාරණේ වියදම් කරන්න ඇති. එහෙමත් නැතිනම් යොදවපු කාරණේ අසාර්ථක වෙන්න ඇති. නමුත් අද කාන්තාව ණය හිමියන් බවට පත්වෙලා. ඇය අද ණය උගුලක හිරවෙලා. ඒ ණය ගෙවන්න තව තැනකින් ණය ගන්නවා. ඒකේ නිමාවක් නෑ. සමාජ ප්‍රශ්න පුද්ගලීකරණය වීමේ ප්‍රතිඵලයක් තමයි අද අපි මේ අත් විඳින්නේ. සමාජ ප්‍රශ්න පෞද්ගලික කරගෙන විසඳගන්න බෑ. සමාජීය ප්‍රශ්න සමාජීයකරණයක් කරන්නයි ඕනේ. සමාජය විසින් හදන ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න විධියට පිළිගත්තම ඒවට උත්තර හොයන්න වෙන්නේ සාධනීය විදිහට නෙමෙයි. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිත ඛේදවාචකයක් කරගෙනයි. ඒක නිසා මේ ව්‍යවසනයට උත්තර හොයන්න වෙන්නේ අපිට සමාජයක් විදිහටයි. එහෙම උත්සහයක් වත් නොදැරුවොත් අළු යටින් තියෙන මේ ගිනිදලු සමාජයම දවාහළු කරන දිනය වැඩි ඈතක නොවේ කියන එක තමයි මට නම් අවධාරණය කරන්න වෙන්නේ.

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ නියැළෙන සමාගම් 1500කට අධික සංඛ්‍යාවක් ඇති අතර, ඔවුන් නියෝජනය කරන ලංකාවේ එකම වෘත්තීය ආයතනය සේ සැලකෙන ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව 76ක් පමණි. එසේම මෙම බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වී නොමැත.
මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර තතු විමසීමේදී රුහුණ විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය ඒ. සී. කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
&ලංකාවේ තියෙන ලොකුම දුර්වලතාව තමයි නියාමනයේ තියෙන අඩුපාඩුව. රජයක් හැටියට වගේම රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන ගත්තත් ඒ ක්‍රියාවලිය තියෙන්නේ ඉතාම දුර්වල තත්ත්වයක. රජය විසින් මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීමත් ඉතාම වැදගත්. නමුත් ඒක වෙන්නේ නෑ. ඒක නිසා ගොඩක් අය ණය ගන්න මොකක් හරි ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනවා. එහෙම කරලා ණය ගන්නවා. ඒක ආයෝජනය කරන්නේ නෑ. බොහෝ විට වෙන්නේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ඒක යොදා ගන්න එකයි. ඊළඟට ණය ගෙවන්න ආදායමක් නෑ. ණය ගෙවන්න තවත් ණය ගන්නවා. ඒක හිර වුණාම තවත් ණය ගන්නවා. අවසානයේ ණය උගුලක හිරවෙනවා.

අපි දන්නවා ණය මුදලක් ගත්තම එක ගෙවන්න අපි වගකීමකට බැඳෙන බව. නමුත් මේ අයට ආපසු මේ ණය ගෙවන්න ඕනේ කියන හැඟීම නෑ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ප්‍රශ්න තිබෙනවා. ඒ අයගේ පොලිය වැඩියි. ගත්ත ණය මුදල නිවැරදි ආකාරයෙන් යෙදෙව්ව කෙනෙකුට වුණත් යම් බිඳ වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නිවැරදි ආකාරයෙන් යොදවලා බිඳ වැටුණු පිරිස ඉතාම අඩුයි. බොහෝ විට අපට හමුවෙන්නේ වගකීම් විරහිතව, ගන්න ඕනවට ණය මුදලක් අරගෙන මොකක් හරි කරලා, අවසානයේ හිරවෙන විට කවුරුහරි ඇවිත් තමන් බේරයි කියන පිරිස් තමයි. ඒකට හේතුව තමයි බොහෝ අයගේ සිතුවිල්ලක් තියෙනවා මේවා ආධාර, උපකාර කියලා. ඒ අය ණය නොගෙවීම එච්චර බැරෑරුම් කටයුත්තක් හැටියට ගණන් ගන්නේ නෑ. මොකද සමාජයේ කෝටි ගණනින් හොරකම් කළ අයත් නිදැල්ලේ ඉන්න නිසා ඔවුන් හිතනවා තමන්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. ඇත්තටම අද පවතින වාතාවරණය අනුව ජනතාවගේ හිතේ හොරකම, වංචාව, ණය ගෙවීම් පැහැර හැරීම වගේ දේවල් රටේ නීතිගත වෙලා තියෙනවා කියන තත්ත්වය ඇති වෙන එක වළක්වන්න බෑ. ඔවුන් හිතනවා මේ ණය නොගෙව්වොත් රජය ඒක ගෙවාවි කියලා. අද වුණත් කිසිදු වග විභාගයකින් තොරව හැම තැනින්ම ණය ගත්ත ජනතාව මොකද්ද රජයෙන් ඉල්ලන්නේ? මේ ණය කපා හරින්න කියලයි. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල දහසකුත් වැරදි තියෙන්න පුළුවන්. ඒ ගැන තර්කයක් නෑ. හැබැයි ණය ගන්න කෙනාත් දැන ගන්න ඕනේ මම මොකටද මේ ණය ගන්නේ? කොහොමද ඒක ගෙවන්නේ කියලා.

අනෙක් කාරණේ තමයි අද ලංකාවේ තියෙන ආර්ථික ක්‍රියාවලිය. අද රටේ තියෙන්නේ සේවා ආර්ථිකයක්. රටක් දියුණු වෙන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් තිබිය යුතුයි. මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් බැලුවත් ඒකට හොඳ උදාහරණයක්. දවසකට අපේ රටේ එවැනි සේවාවන් සපයන මූල්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. නමුත් නිෂ්පාදන කාර්යයන්ට උරදෙන ආයතන ඇතිවෙන්නේ කීයෙන් කීයද? සරලව කිව්වොත් ජනතාවගේ සාක්කුවට මුදල් වැටෙන ආයතන එකක් දෙකක් බිහිවෙනකොට ඒ මුදල පොකට් ගහන්න ආයතන දුසිම් ගණනින් බිහිවෙනවා. මේ සුළු පරිමාණ ව්‍යාවසායකයන්ට නිෂ්පාදන ක්‍රියාවලියට සෟජුවම සම්බන්ධ වෙන්න බැරි වෙයි. නමුත් සුළු පරිමාණයෙන් හරි අපි කරන්න ඕනේ ඔවුන් එතනට යොමු කරන එකයි. මොකද විවිධ අලුත් දේවල් නිෂ්පාදනය කරනවා නම් ඒකට වෙළෙඳ පොළක් හැදෙනවා. උදාහරණයක් ගත්තොත් අපේ ගස් යට කුණු වෙන කොස්, දෙල්, මඤ්ඤෙක්කාවලින් දේශීය වගේම විදේශීය වෙළෙඳ පොළට කොයි තරම් නිෂ්පාදනයන් කරන්න පුළුවන්ද? නමුත් එවැනි දෙයක් තවමත් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
මෙහි නෛතික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අප ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කාරක සභා සාමාජික එස්. මෝහනරාජා මහතාගෙන් අදහස් විමසූ අතර, ඒ මහතා මෙසේ පැවසීය.

ණය ලබාගැනීමේදී, ඒ ණය මුදල් අය කරගන්න ගෙදරට එන අවස්ථාවේදී කුණු හරුපෙන් බැනීමට, බලහත්කාරකම්වල යෙදීමට ඉඩදෙනවා කියලා ජනතාව කොයිම ආකාරයෙන් වත් ගිවිසුමකට බැඳිලා නෑ. ක්ෂුද්‍ර මූල්‍ය පණතෙන් වත් ඔවුන්ට එවැනි ඉඩක් ලබාදීලා නෑ. ණය මුදල් ගෙවීම පැහැර හරිනවා නම් ලංකාවේ නීතිය යටතේ ඒවා ලබාගැනීම සඳහා ප්‍රතිපාදන තිබෙනවා. බොහෝ විට සිද්ධ වෙන්නේ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිත්‍යානුකූල නොවන නිසා, ඔවුන් අය කරන පොලිය නීත්‍යානුකූල නොවන නිසා, ණය මුදල් අය කර ගැනීමට අධිකරණය ඉදියට නොගොස් බලහත්කාරය පාවිච්චි කිරීමයි. නමුත් එම ක්‍රියා ලංකාවේ නීතිය අනුව අපරාධ ගණයටයි වැටෙන්නේ. දණ්ඩ නීති සංග්‍රහයේ 433 වැනි වගන්තිය යටතේ යම් කිසි පුද්ගලයෙක් අවසරයකින් තොරව නිවසකට ඇතුළුවීම වරදක්. අවසර අරන් ඇතුළු වුණත්, එහෙම ඇතුළට ආවට පස්සේ අපට බලපෑම් කිරීම, භීතිය ඇති වෙන ආකාරයෙන් කටයුතු කිරීම, ගෞරවය කෙලෙසීම වැනි දේවල් සිදුකිරීම අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. දණ්ඩ නීති සංග්‍රහයේ 341 වැනි වගන්තියේ යටතේ, යම් වරදක් සිදු කිරීම සඳහා හෝ බලහත්කාරය පෑමෙන් එසේ බලහත්කාරකමට යටත් වූ තැනැත්තාට නීති විරෝධීව පාඩුවක් සිදුකිරීමේ හෝ, භය කිරීමේ හෝ, අප්‍රසන්නතාවක් ඇති කිරීමේ අදහසින් හෝ, එබඳු බලහත්කාරය පෑමෙන් එකී තැනැත්තාට එබන්දක් විය හැකි බව දනිමින්ම, යම් තැනැත්තෙකුට ඔහුගේ කැමැත්ත නොමැතිව, යමෙක් ඕනකමින්ම බලහත්කාරය පායි නම් ඔහු එකී අනෙක් තැනැත්තාට සාපරාධී බලහත්කාරය පෑමක් ලෙස සලකනු ලබනවා. මෙසේ සාපරාධී බලහත්කාරය හා අඩත්තේට්ටම් කිරීම් අපරාධයක් බවට දණ්ඩ නීති සංග‍්‍රහයේ 340 සහ 342 යන වගන්තිවලිනුත් මනාව පැහැදිලි කරලා තිබෙනවා.
ඒ වගේම ණය අය කර ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තාවන් වෙත ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමද බරපතළ වරදක්. 1995 අංක 25 දරන පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තියේ සඳහන් ආකාරයට, අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ, වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී, අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකින්ම හෝ ඔහුට දඬුවම් කරනු ලැබිය හැකි බව සඳහන් වෙනවා.

ඒ වගේම, දණ්ඩ නීති සංග්‍රහයේ 346 වැනි වගන්තිය යටතේ, යම් තැනැත්තකු විසින් කරනු ලැබූ බරපතළ වූත්, හදිසි වූත්, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී, ඔහුට අගෞරව කිරීමේ අදහසින් යමෙකු අඩන්තේට්ටම් කරතොත් හෝ සාපරාධී බලහත්කාරය පාතොත්, ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ, දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඩුවම් කිරීෙම් හැකියාවක් පවතිනවා.

අනෙක් අතින් ණය මුදල් අය කර ගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් පොලිස් නිලධාරින් භාවිතා කරනු ලැබූ අවස්ථා ගණනාවක් අපට අසන්නට පුළුවන්. එවැනි බලපෑම් කිරීමේ හැකියාවක් පොලීසියට නෑ. ණය ගෙවීම පැහැර හැරීම අපරාධයක් නොවේ. ඒක සිවිල් ගනුදෙනුවක්. ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි සිවිල් නීති රටේ තියෙනවා. පොලිස් පණත අනුව අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය කිරීම, අත්අඩංගුවට ගැනීම හා ආරක්ෂා කිරීම යන ත්‍රිවිධ රාජකාරි තිබියදී මූල්‍ය ආයතන හා බලය ඇති පුද්ගලයන් වෙනුවෙන් අහිංසක මිනිසුන්ව පොලිස් ස්ථානවලට ගෙන්වා බලපෑම් කිරීම් විශාල වශයෙන් සිදු වෙනවා. පොලිස් නිලධාරින් විසින් සිදුකරනු ලබන මෙම නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ජනතාවට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකියි. එසේම එවැනි නීති විරෝධී බලපෑම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටත්, පොලිස් කොමිෂමටත් පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. එසේම බලය අයුතු ලෙස භාවිත කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කිරීමේ හැකියාවද ජනතාව සතුයි.

පොලිස් නිලධාරීන් ණය අයකර දීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට සහයෝගය ලබාදීම මෙන්ම මෙම ගැටලුව කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වන ආකාරය සමිබන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් අප අදහස් විමසූ අතර, ඒ මහතා මෙසේ පැවසීය.

කිසි ලෙසකින්වත් පොලිස් නිලධාරීන්ට ණය අයකර දීම සඳහා මැදිහත්වීමේ අවකාශයක් නෑ. නමුත් යම් කිසි පැමිණිල්ලක් පොලිස් ස්ථානයට ලැබුනොතින් එයට සම්බන්ධ දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසීමේ හැකියාව පොලීසියට තිබෙනවා. එහිදී පොලීසිය ක්‍රියා කරන්නේ මැදිහත්කරුවෙකු ලෙස පමණයි. ගැටලුව සාමකාමීව නිරාකරණය කිරීමටයි පොලීසිය සෑම විටම උත්සාහ දරන්නේ. එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට පක්ෂව, වාසි සහගත ආකාරයෙන් ක්‍රියා කිරීමට පොලීසියට බලයක් නෑ. කිසියම් නිලධාරියෙකු එසේ කටයුතු කරනවා නම් එය වරදක්. නමුත් පැමිණිල්ලක් ලැබුණු පසු එය විභාග කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වනවා. බලෙන් සල්ලි අරන් දෙන්න අපිට බෑ. එම සිද්ධියේදී වංචාවක් සිදුවී ඇත්නම් පමණක් අපිට කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ ඇරෙන්න ණය අය කර දීමේ ක්‍රියාවලියට පොලීසියට සම්බන්ධ වීමේ හැකියාවක් නෑ.
මුදල් අය කර ගැනීම කියන්නේ වෙනම දෙයක්. ඒ වෙනුවෙන් තර්ජනය කරන්න බෑ. ඒ වගේම කිසිදු ගෙයකට ෙගහිමියාගේ අවසරය නැතුව බලහත්කාරයෙන් ඇතුළු වෙන්න බෑ. නමුත් ණය අය කර ගැනීමට මෙතන බැඳීමක් තියෙනවා. ඒකට ඒ අය නිතර යනවා එනවා. නමුත් නිවසේ පිරිමියෙක් නැතිව, කාන්තාවක් හෝ දරුවන් තනියම සිටින අවස්ථාවන්වලදී බලහත්කාරයෙන් නිවස තුළ රැඳී සිටීමේ හැකියාවක් කිසිවෙකුටත් නෑ.

මෙහිදී දරුවන්ගේ සුරක්ෂිතභාවය ඉතාම වැදගත්. දරුවන්ට බලපෑම් කිරීම ළමා අපචාර යටතට ගැනෙන වරදක්. මෙවැනි වැරදි සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. එසේ පැමිණිල්ලක් ලැබුනොතින් අපි ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය වෙන්නේ ජනතාව පොලීසියට මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීම පමණයි.

ණය හිමියන්ට එල්ල වන තාඩන පීඩනවලට එය හොඳ පිළිතුරකි. එහෙත් ඔවුන්ගේ ණය ගෙවීම පිළිබඳ ගැටලුවටද පිළියම් අවැසිය. එය රජය සතු වගකීමක් වුවත්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ රජයේ මූල්‍ය ආයතනවලටද එම වගකීමෙන් ගැලවිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් මෙම ආයතන කොතරම් අවධානයකින් සිටිනවාද? ක්ෂුද්‍ර ණය උගුලෙන් ජනතාව ගලවා ගැනීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇතිද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

නුවරඑළිය – සම්පත් ජයලාල්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More